IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආර්ථිකය ශක්තිමත්: තව සහන ඉදිරියට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ  වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින හෙයින් ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන දෙන  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (6) පැවසීය.

සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුව බව කී ජනාධිපතිවරයා බලය වෙනුවෙන් කිසිදා අසත්‍ය ප්‍රකාශ නොකළ තමා අද වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නොව, රට යළි ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් බව ද අවධාණය කළේය. 

බොහෝ දේශපාලන කණ්ඩායම් බලය උදෙසා සුරංගනා කතා පැවසුවද මහ පොළවේ යථාර්ථය ඔවුන් අමතක කර දමා ඇති බව පැවසූ ජනාධිපතිවරයා අද රට හමුවේ ඇති ආර්ථික ගැටලුවට සිල්ලර විසඳුම් නැතැයි ද  එවැනි දේ වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කළ නොහැකි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තිබෙන අයට වැටහිය යුතු යැයිද කීය.

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මාර්ගයේ ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණපනත් හා නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය. 

එබැවින් මේ යන මගෙහිම ඉදිරියට ගොස් ආර්ථිකය ශක්තිමත් විමේ යහ ප්‍රතිඵල රටක් ලෙස භුක්ති විඳිනවාද? එසේ නොමැතිව එම සැලැස්මෙන් ඉවත් වී වසර එකහමාරකට පෙර රට වැටී තිබූ අදුරු යුගයට ඇද දමනවාද? කියා තීරණය කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන අයත් ඉන්නවා. 

ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් එය ජනතාවට දැනෙන්නෙ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. 

සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අප විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා.ඒ මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තියෙන බවයි.

මේක අපට අපූරු පාඩමක්. සාමන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතැනදී තත්වය වෙනස්.අද අපිත් යන්නෙ අතුරේ. පහුගිය කාලයේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල් පාලමක් තරණය කරන්න. අතුරේ ගමනක් යන්න. 

අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදූරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්‍ෂ රජයේ සාධනීය වැඩ සැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩාකප්පල් කර දැමීම මෙන්ම රාජ්‍ය දේපල විනාශ කර දැමීමයි.

මේ නිසා රටට විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබුණා. අප අවස්ථා ගණනාවකදී මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. නමුත් අඛණ්ඩව එවැනි සැලසුමක් ක්‍රියාත්මක කරන්නට අවකාශ සැලසුණේ නෑ. 

මම මෙහිදී ආචාර්ය චන්දිම විජේබණ්ඩාර 1989 දී බුදුසරණ පත්‍රයට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න කැමතියි. එතුමා බුදුන් වහන්සේ දේශනා කළ කූඨදන්ත සූත්‍රය ගැන ඒ ලිපියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා.

 "සංවර්ධනය සැලැස්මකින් තොරව කළ නොහැකි ය. දීඝ නිකායේ කූඨදන්ත සූත්‍රය සංවර්ධනය පිළිබඳ මෙම සැලසුම්වල අවශ්‍යතාවය පැහැදිලි කරන්නෙකි. ඌන සංවර්ධිත රටක නිර්ධන පන්තිය, රාජ්‍ය විරෝධී අර්බුදයක් උද්ගත කළ අවස්ථාවේ, රජය සැලැස්මක් මගින් රට සංවර්ධනය කළ අයුරු එහි දැක්වේ. එය රාජ්‍ය මූලික ආර්ථික සැලැස්මකි. එය සාර්ථක වූ බවත්, ජනයා ආර්ථික අංශයෙන් පමණක් නොව සාරධර්ම අංශයෙන් ද පොහොසත්ව, මනා සමාජ සබඳතා ඇතිව, සොම්නසින්, සැණකෙළි සිරියෙන් විසූ බව ද එම සූත්‍රයෙහි දැක්වේ."

අප එවැනි විද්‍යාත්මක හා සැලසුම් සහගත මගක් අනුගමනය කළේ නෑ. සමහර කණ්ඩායම් එහෙම වැඩ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා රට පත්වුණු තත්වය ගැන ඔබ සැවොම දන්නවා. රට බංකොලොත් වුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. ආර්ථික පීඩනය දරා ගන්න බැරි වුණා. 

සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරිකයා දක්වා සියළු දෙනාම බරපතල ලෙස දුක් වින්දා.විදුලිය කප්පාදු වුණා. පෝලිම් යුගයක් නිර්මාණය වුණා. රැකියා අහිමි වුණා. ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටුණා. සමහරු රට හැර ගියා. මුළු රටම ගිනි ගත්තා. ආර්ථික අපායකට රට ඇද වැටුණා මේ අවස්ථාවේ රට අරාජික වෙමින් තිබුණා. පාලනය ගිලිහෙමින් තිබුණා. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජයීය හා දේශපාලන වශයෙන් බරපතල අනතුරකට වැටෙමින් තිබුණෙ.

කිසි කෙනෙක් මේ තත්වය ආපසු හැරවීමේ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වුණේ නෑ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැහුවා. ඒ කිසි කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නෑ. හැබැයි මම රට වෙනුවෙන් ඒ අභියෝගය බාර ගත්තා. ගිනි ගොඩ මැදට ගිහින් මම ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ වෙහෙසකර ව්‍යායාමයට මට සහය වුණු සියළු දෙනාම මම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා.

අපි ක්‍රමවත් හා විධිමත් ගමනකට මුල පිරුවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්වී ආර්ථික සැලැස්මක් සකස් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෙස දවසින් දවස රට සාමාන්‍ය තත්වයට පත්වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙන්න පටන් ගත්තා. 

ඒ බව පැහැදිලි වෙන ආර්ථික දර්ශකයන් කීපයක් මම මේ සභාව හමුවේ තබන්නට කැමතියි.

2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින් දිගටම කාර්තු 6 ක් පුරා හැකිළුණු අපේ ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්නට පටන් ගත්තා. මේ වසරේ දී අපට සියයට 2 ක 3 ක වර්ධනයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තියෙනවා. 

රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට අපට පුළුවන් වුණා.

ගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට අපට පුළුවන් වුණා. මේ නිසාම රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් තිස්සේ ගෙවීමට බැරිව තිබූ සියළු හිඟ මුදල් අප ගෙවා අවසන් කළා.

2022 වසරේ පළමු මාස අට තුළ, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 හි සමස්ත පාඩුව රු. බිලියන 720 ක් වුව ද, 2023 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ එය රු. බිලියන 313ක ලාභයක් බවට පරිවර්තනය කරගැනීමට අප සමත් වුණා.

ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථිකය යළි පිබිදී ඒමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලූතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819 ක් සමාගම් රෙජිස්ටාර් ආයතනයේ ලියාපදිංචි වී තියෙනවා. 2023 වසරේ ආයතන 22,376 ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995 ක් ලියාපදිංචි වී තියෙනවා.

මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලූම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ වැටුණා.

උද්ධමනය අඩුවීමත් සමගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින්, 2023 වසරේ දී සියයට 30 ඉක්ම වූ පොලී අනුපාත සියයට 10 කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා. 

2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත් කර තියෙනවා.

1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ දී ගෙවුම් ශේෂයේ, ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී රුපියල් 363ක්ව පැවති ඇමෙරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308 ක පමණ අගයක් කරා අවප්‍රමාණය වෙලා තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළු මහත් සමාජය පුරාම අද දකින්න තිබෙනවා.

අත් ට්‍රැක්ටරයේ සිට විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ, සිරීපාදේ වඳින්න යන ජනතාව කොයි තරම් ද? තලවිල, මඩුපල්ලි වන්දනාවේ යන ජනතාව කොයි තරම් ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයි තරම්ද? වාහන මිළදී ගත්තු ණය ගෙවා ගන්න බැරිව, පාරෙ අයිනෙ ඒවා නවත්තගෙන, ඒවායේ ඩිකිය ඇරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්, අද හිතේ බරක් නැතිව ඉන්නවද? දුර ගමන් කෝචිචියක ආසනයක් වෙන් කරගන්න කොයි තරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොන තරම් සෙනඟක් ඉන්නවද? රටේ හැම තැන සංචාරකයො මොන තරමක් ඉන්නවද?

අද මෙහෙම ගමන් බිමන් යන්නෙ, විනෝද වෙන්නෙ, ගෙදරින් එළියට බහින්න විදියක් නැතිව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙන යන්න, මරණයක් සුසාන භූමියට ගෙන යන්න වාහනේට තෙල් ටිකක් ගහගන්න බැරුව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්න ගෑස් නැතුව, එළියෙ දරලිප් බැඳගෙන කෑම උයාගත්තු ජාතියක්. ළමයෙකුට අසනීපයක් හැදුණාම පැරසිටමෝල් පෙත්තක් හොයාගෙන මහ රෑ ගෙන්ගෙට ගිය ජාතියක්. ඒ තත්වය දැන් සම්පූර්ණයෙන්ම පාහේ කණපිට හැරෙමින් පවතිනවා.

වර්තමානයේ අපට පෙනෙන, අපට දැනෙන ආර්ථික දියුණුව ගැනත් සමහරු විවේචනය කරනවා. මෙහෙම තත්වයක් ඇති වෙලා තියෙන්නේ ණය ගෙවීම් අත්හිටුවලා තියෙන නිසා බව ඔවුන් කියනවා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන් රට ආපහු නරක තත්වයකට ඇද වැටෙන බවට ඔවුන් තර්ක කරනවා. අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියලයි ඔවුන් කියන්නෙ. ඒ විවේචනයේත් කිසිදු පදනමක් නැති බව මම අවධාරණය කරන්න කැමතියි. 

අප මේ වන විට විදේශ ණය ඇතුළු සියළු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ බලාපොරොත්තුව මේ සාකච්ඡා නුදුරේදීම සාර්ථකව අවසන් කර ගැනීමයි.

2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ තාවකාලික සහනයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි මාසයේ සිට 2027 දෙසැම්බර් මාසය දක්වා.ඉන් පසු 2027 සිට 2042 දක්වා කාලය තුළ ණය ආපසු ගෙවීමට අප ක්‍රියා කරනවා. 

ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වූ රටක්. 2022 වෙද්දී අපට වසරකට අමෙරිකා ඩොලර් බිලියන හයක් පමණ විදේශ ණය ගෙවන්න නියමිතව තිබුණා. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 ක පමණ ප්‍රමාණයක්. රටකට දරන්න අමාරු ප්‍රතිශතයක්.

ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්ඡා සාර්ථක කර ගැනීම මගින් වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 සිට සියයට 4.5 දක්වා අඩු කර ගැනීමට අපට පුළුවන් වෙනවා. බාගෙට බාගයක් අඩු කර ගැනීමක්.

2022 සහ 2023 වසරවල අප ලබා ඇති ආර්ථික වර්ධනය මේ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන ගියොත් රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක රඳවා ගන්න හැකි වෙනවා. එහෙම වුණොත් ණය ගෙවීම රටට බරක් වෙන්නේ නෑ. 

වර්තමානයේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 කට ආසන්න මට්ටමකට වැඩි කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා අපට වැට් බද්ද පනවන්න සිද්ධ වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණය අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නෑ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්න වෙනවා.

වැට් බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම ශක්තිමත් වුණා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු වුණා.  

රාජ්‍ය ආදායම් වැඩි වී, ආර්ථිකය පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න වෙන්න ඉන්ධන ඇතුළු ආනයන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට් බදු ගෙවන සියළු ආයතනත් දැන් රුපියල ශක්තිමත් වීමේ වාසිය ලබනවා. මුළු රටටම ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට මීටත් වඩා වාසියක් ලැබේවි.  

මේ මාර්ගයේම සාර්ථක ලෙස ඉදිරියට ගියොත් මේ අවුරුද්ද අවසන් වෙද්දී අපේ ආර්ථිකය තව තවත් ස්ථාවර තත්වයකට පත් වෙනවා. 

ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල පාඩුව ජනතා බදු මුදලින් පියවීමේ ක්‍රමය නවතා තිබෙනවා. ඒ ආයතන ප්‍රතිව්‍යූහගත කර ආයෝජකයන්ට ලබා දෙනවා.

බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේ දී මිලියන 1 ට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය සියයට 130 ක ඉහළ යෑමක්. මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. රාජ්‍ය මුදල් හා ආර්ථික කළමනාකරණය වැඩි දියුණු කිරීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට නෛතික රාමුව, පද්ධති හා ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් තියෙනවා. 

දකුණු ආසියාවේ පළමු වරට පාලනය පිළිබඳ විනිශ්චයාත්මක වාර්තාව පළ කර ඇති අතර, පාලනය වැඩි දියුණු කිරීමට හා දුෂණ අවදානම්වලට එරෙහිව කටයුතු කිරීමට පියවර ක්‍රියාත්මකයි.

ආයෝජන ආකර්ශනය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා.

කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්‍ෂිතතාවය යටතේ මහා පරිමාණ ගොවිපල ඇරඹීමට මේ වන විටත් විදේශ රටවල් කිහිපයක් කැමැත්ත පළ කර තියෙනවා.

අපනයන සඳහා විදේශ වෙළඳපොල ක්‍රමක්‍රමයෙන් විවෘත කරගන්නවා. මෙහිදී  සාම්ප්‍රදායික නොවන අපනයන සඳහා දැඩි අවධානයක් යොමු කරනවා.

අපේ රට හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් කලාපීය ආර්ථික හා සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. වරාය නගරය ජාතන්තර මුල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරනවා. හැබැයි ඒ සියල්ල කළ හැක්කේ මේ සැලසුම ඔස්සේ ඉදිරියට ගියොත් පමණයි.

අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් නිසා රටේ බහුතර ජනතාවකට පහසුකම් සහ සහන ගණනාවක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා.

උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්‍ෂ විස්සක් ඉඩම් හිමිකරුවන් බවට පත්වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබුණු ඉඩම් උරුමය ඔවුන්ට යළිත් ලැබෙනවා.

දිළිඳු හා අවදානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්න අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් ලක්‍ෂ 24 කට අස්වැසුම හිමිවෙනවා. 

පාසැල් දරු දැරියන් ලක්‍ෂ 45 ක පමණ පිරිසකට සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙනවා.

තොරතුරු තාක්‍ෂණය විෂයයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පංති කාමර ලබා දෙනවා.

ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්‍ෂයකට ශිෂ්‍යත්ව ලබා දෙනවා.

ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තියෙනවා.

කඳුකර දශකය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර තියෙනවා. මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී තියෙනවා.

විමධ්‍යගත අයවැය මගින් මැතිවරණ කොට්ඨාශවල සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක් මූලික කරගෙන කෘෂි නවීකරණ කටයුතු ආරම්භ කර තියෙනවා.

සංචාරක ව්‍යාපාරය දැන් ඉහළටම එසැවී තියෙනවා. විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලබනවා. ඒ ක්ෂේත්‍රය තව තවත් දියුණු කරලීම උදෙසා අප පියවර ගනිමින් ඉන්නවා. හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා. විහිදෙනවා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා. 

ව්‍යාපාරික ආයතන සඳහා පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපට තිබුණේ බැංකු ක්‍රමය ශක්තිමත් කරන්නයි. එසේ නොකළහොත් බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කොහොම වුණත් පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කළා.  මේ සතියේ අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා.

ඒ වගේම ඉදිරියේදී පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ, බේත් හේත් වැනි අංග වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.

අපි දවසින් දවස, ඉතා අසීරුවෙන් නමුත්  ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි.

සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා. ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.

අද අප අනුගමනය කරන පිළිවෙත නිසා සමාජයේ තනි තනි පුද්ගල කොටස්වලට යම් යම් පීඩාවන් ඇතිවී තියෙනවා. ඒ බව අප අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමයක් නොවෙයි. එවැනි ක්‍රමයක් කිසි දිනෙක පූර්ණකාලීන විසඳුමක් වෙන්නේ නෑ. තිරසාර විසඳුමක් වෙන්නේ නෑ. අප මේ වෙහෙසෙන්නේ මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තබන්නයි. පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්නයි.



අදහස් (9)

ආර්ථිකය ශක්තිමත්: තව සහන ඉදිරියට

Surain Wednesday, 06 March 2024 10:26 AM

ඔය ඩීල් දාලා හොරු ආරක්ෂා පින් පාලකයෙක් මිස රටට වැඩ කරන කෙනෙක් නොවෙයි. අනික මේ රටේ තිබුණ ශක්තිමත්ම තනි පක්ෂය බංකොළොත් කරපු හාදයා නේ තව මොන කතාද ඔයා ගැන...!

:       6       5

Rawana Wednesday, 06 March 2024 11:44 AM

මේ මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්න බැරි කට්ටිය එක එක කතා කියයි, නමුත් බුද්ධිමත් ජනතාව ඔබ සමගයි, ජය නියතයි

:       20       17

RamaWednesday, 06 March 2024 01:11 PM

ඔබ සමඟ මම එකඟයි. කාලකන්නි කුහකයන්ට 2022 ඉන්ධන, ගෑස් පෝලිම්වල දිනගණන් දුක්වින්ද හැටි අමතක වෙලා. මෙතුමා පොරොන්දු වුණු විදියට රට ගොඩගත්තා. ඊළඟ ජනාධිපතිත් මෙතුමා තමයි.

:       8       7

Nimal Wednesday, 06 March 2024 11:44 AM

විදෙස් රටවලින් සහ ආයතනවලින් ගත් ණය ගෙවීම පැහැර හරිනකල් ආර්ථිකය ශක්තිමත්. ඒවා පොලියත් එක්ක ගෙවන්න සිදුවූ දිනයේ අනාගත පරපුරත් විනාශයි.

:       11       22

Sara Wednesday, 06 March 2024 11:48 AM

විශිෂ්ටයි ජනාධිපතිතුමනි. රට වලෙන් ගොඩට ගත හැක්කේ ඔබට පමණයි.

:       17       13

duminda Wednesday, 06 March 2024 12:24 PM

ජනතාව එකතු වෙලා බංකොළොත් කරපු රට දැන් ගොඩඅරන් තියෙන්නේ. රටට හෙණ ගහන තැනට වැඩ කරපු අය ගැන කිසිම කතාවක් නෑ. මොකද ඔක්කොම එකවල්ලෙ පොල්... මෙයා දැන් දෙවියෙක් වගේ වැඳලා ඔක්කොම හරිගස්සලා තියෙන්නේ. කොහෙන් හිනාවෙන්නද මන්දා..

:       10       12

Sellakkara Kolla Wednesday, 06 March 2024 12:48 PM

රාජපක්ෂවරු රකින්නේ නැත්තන් මෙයා නියමයි. මතකනෙ තෙල් පෝලිම්, දවස ගානේ කපපු කරන්ට් එක එහෙම...

:       0       7

Rata Perata Wednesday, 06 March 2024 12:53 PM

හිටි ගමන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දේශපාලන කයියක් ගහලා යනවා. දැන් පාර්ලිමේන්තුව අභයාරාමය වගේ... අවුරුදු 40 ගාණක් ඉඳලා. මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණ කෙනෙක් කියන කතා විශ්වාස කරන්න නම් මෝඩ රජෙක් වෙන්න ඕනෑ...

:       6       3

හිරාන් Wednesday, 06 March 2024 02:55 PM

අනේ සීයෙ තව සුරංගනා කතාවක් කියන්නකො

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 291 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 506 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 344 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 930 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site