IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘දූෂිතයන් රකින ආණ්ඩුව පලවා හරිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

හොර දූෂිත කොල්ලකරුවන් රකින රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව පලවා හැරීමේ ජාතික විප්ලවය ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන් ඇතුළු සමගි ජන බලවේගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ අද (1) පැවැති මැයි දින රැළියේදී ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ රට ගොඩනැගීමට 2048 වෙනකම් නොසිටින බවත්, හර්ෂ, කබීර්, එරාන් ඇතුළු කණ්ඩායම සමග ලැබෙන පළමු අවස්ථාවේදීම රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඔහු කීවේය.

රාජ්‍ය තනතුරුවලට කෑදරකමින් කෙළ හළන පිරිස් දේශපාලනය තුළ සිටින බවත්, ඕනෑ නම් ඉන්න බැරි නම් යන්න කියන පැහැදිලි පණිවිඩය සෑම තැනකම කකුල් ගසා සිටින දෙපිට කාට්ටු වැඩ කරන පිරිසට තමන් දැනුම් දෙන බවත්, “වැඩබිමෙන් ඇරැඹෙන මව්බිමේ අරගලය” මැයෙන් කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලට රැස්වූ ජනතාව එතැන් සිට විරෝධතා පා ගමනින් මරදාන, ටෙක්නිකල් හන්දිය, කොළඹ කොටුව ඔස්සේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයට පැමිණ මැයි දින රැළිය පවත්වනු ලැබීය.

එහිදී සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද සඳහන් කළේය.

“සමගි ජන සන්ධානය විදිහට අපි අද දිනයේ විශාල මැයි රැළි දෙකක් සංවිධානය කළා. කොළඹ පැවැත්වෙන මේ දැවැන්ත මැයි රැළියට අමතරව බදුල්ලේදී තවත් දැවැන්ත රැළියක් අපි සංවිධානය කළා.

අපි තනතුරු තාන්න මාන්න බලාගෙන දේශපාලනය කරන අය නෙමෙයි. අපි දේශපාලනය කරන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

අල්ලස දූෂණය වංචාව රජ කරන යුගයක් බවට අද පත්වෙලා තියෙනවා. ජපන් රජයෙන් කොමිස් ඉල්ලපු පිරිස් මේ ආණ්ඩුවේ ඉන්නවා. දැක්කේ නැති පෝර නැව්වලට ඩොලර් ගෙවපු, නැති එයා බස්වලට වන්දි ගෙවපු, එක්ස්ප්‍රස් පර්ල් විනාශයෙන් අල්ලස් ගත්, ආණ්ඩුවට යනවා ද කියලා අපෙන් අහනවා. අපි ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයෙක් සමගයි කියලා මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා.

බොහෝ දෙනෙක් අද අයි.එම්.එෆ්. ඩීල් එක ගැන කතා කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් අයි.එම්.එෆ්. එකට දෙපාරක් ගියා. කවුරුත් කිව්ව පලියට පොදු ජනතාවගේ සහන කැපුවේ නෑ. අයි.එම්.එෆ්. එකට මුලින්ම යන්න කිව්වෙත් සමගි ජන බලවේගයේ අපියි.

මේ ආණ්ඩුව ලෙඩාව බේර ගන්න හදන්නේ අත් කකුල් කපලා. කන් නාසය කට කපලා. මේ විදිහට ලෙඩා බේර ගන්න ආර්ථික ඔස්තාර් තමයි රනිල්. අපි කිසිම දවසක කොටස් වෙළෙඳපොළ වහන්න හිතන්නේ නෑ. බැංකු වහන්න හිතන්නේ නෑ. ආර්ථිකය වහන්නේ නෑ. ආර්ථිකය සංකෝචනය කිරීම, දරා ගන්න බැරි විදිහට පොඩි මිනිහට බදු ගැසීම අපේ ක්‍රමය නෙවෙයි.

සුරංගනා කතාවලින් රට ගොඩනගන්න බෑ. නූතන ආර්ථිකයක් තුළින්, නව තාක්ෂණය තුළින්, කර්මාන්ත විප්ලවය තුළින්, පරිගණක විප්ලවය තුළින්, නවීකරණය කරමින් කාර්යක්ෂම කරමින් රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න අපි සූදානම්.

අපේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා ෆස්ට්. ලොව ප්‍රථම තැනට අපේ රට පත් කිරීම. මේ රටේ ජනතාවට විහිළු තහළු සපයලා බලය ගන්න උත්සාහ කරන අය එහෙම කතාවක් කියනකොට හිනා වෙනවා. හැබැයි මතක තියා ගන්න රුවන්ඩාවේ ඇති වූ ගැටුමෙන් ලක්ෂ 8ක් නැති වුණා. ඒත් අද එය අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ෆස්ට් වැඩපිළිවෙළ යටතේ දස වැදෑරුම් වැඩපිළිවෙළක් අපට තිබෙනවා. කම්කරුවන් ඇතුළු ජන සමාජයේ සැවොටම ශක්තිමත් ජීවිතයක් ගත කළ හැකි, සියලු දෙනා සවිබල ගන්වන නූතන ආර්ථිකයක් ඇති කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය මානව සිවිල් ආගමික සංස්කෘතික අයිතිය සුරකිනවා. අල්ලස දූෂණය වංචාව සොරකම දුරලනවා. තරුණයන්ට මුල් තැන ලබා දෙනවා. නවීන තාක්ෂණය තොරතුරු තාක්ෂණය තුළින් සුහුරු දේශයක් ඇති කරනවා. නව කාර්මික විප්ලවයේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සුරකිනවා. හරිත විප්ලවයේ නිල ආර්ථිකයේ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන රටක් ඇති කරනවා. අපනයන භෝග කෘෂි ආර්ථිකය ඇතුළු වගා ක්‍රියාවලි නවීකරණය කිරීම තුළින් ශක්තිමත් කරනවා. අධ්‍යාපනය සෞඛ්‍යය නවීකරණය තුළින් කාර්යක්ෂම කරන සුබසාධන රාජ්‍යයක් ඇති කරනවා. ජාති ආගම් කුල මල පන්ති භේද තුරන් කර ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර කුඩු සංස්කෘතිය විනාශ කර දේශාභිමානය ඇති ප්‍රෞඩ දේශයක් ඇති කරනවා අපි.

පහුගිය වසරෙ නුවරින් පා ගමන් අරඹා මැයි දිනයක් කරා ගෙනැවිත් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පණ දුන්නා. මෙවර මැයි දිනයේදී රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව හොර දූෂිත කොල්ලකරුවන් රකින ආණ්ඩුව ගෙදර යැවීමේ ජාතික විප්ලවය දියත් කරනවා.

අපේ රජයක් තුළ අයි.එම්.එෆ්. ගිවිසුම නැවත සාකච්ඡා කරනවා. පොඩි මිනිහාගේ පැත්තෙන් ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින ජනතවාදී ජනහිතකාමී ගිවිසුමකට අපි එළැඹෙනවා. මැයි දිනයෙන් පසුව අපි නැවත වරක් ඔබේ ගමට එනවා. අද රටේ තියෙන්නේ ඡන්දයට බය බියගුලු නිවට ආණ්ඩුවක්. සමගි ජන පවුර ජාතික වැඩසටහන තුළින් ඡන්ද පොළ මට්ටමේ සියයේ සිට 150 බළකාය නිර්මාණය කරලා ජුනි 16 සිට සෑම ආසන බලමණ්ඩලයකම සැමට ශක්තිය ලබා දෙන වැඩපිළිවෙළක් ගොඩනගනවා.”

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ කීය.

“මේ මැයි දිනය සමරද්දී අපට ආණ්ඩුවෙන් විශාල බලපෑම් ආවා. අපි ගෝල්ෆේස් පිටිය, කැම්බල් පිටිය ඉල්ලුවා. අපේ ජන බලයට බයෙන් ඒ කිසිම තැනක් අපට දුන්නේ නැහැ. රටේ ජනතාව මේ ආණ්ඩුව යටතේ විශාල මර්දනයකට, පීඩාවකට යටත් වෙලා තියෙනවා.

සජබෙන් පළුවක් යනවා අරයා ගියා මෙයා ගියා කියලා දැන් ආණ්ඩුව කතා පතුරවනවා. අද අපේ කවුරුත් ගිහින් නැහැ. හැබැයි ආණ්ඩුවේ කොටස් ගැලවිලා. 154ක් හිටපු ආණ්ඩුව115ට අඩු වෙලා. ඕනෑම මැතිවරණයකට ඕනෑම අභියෝගයකට ස.ජ.බ. අපි සූදානම්. ඊළඟ මැයි රැළිය සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පැවැත්වීමට අපි කටයුතු කරනවා.”

සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ සඳහන් කළේය.

“රටක පාලකයන් දූෂිතයි නම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා දූෂිත පාලකයන්ගෙන් රට බේරා ගැනීමට ජනතාව කටයුතු කළ යුතුයි. අද රටේ පාලකයා ත්‍රස්ත විරෝධී පනතක් ගෙනැවිත් මර්දනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ දවස්වල ඔහු අයි.එම්.එෆ්. අඳෝනාවක් නගනවා. ජනතාව ගැන කිසිදු තැකීමක් මේ පාලකයාට නැහැ. රට මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගයයි.”

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.

“දිවයිනේ දැවැන්තම මැයි රැළිය පවත්වන්න අපට හැකියාව ලැබුණා. අපට ජාතික ආණ්ඩුවකට ජනාධිපතිවරයා කතා කරනවා. මේ රට බංකොළොත් කළ රට විනාස කරපු අයත් එක්ක එකතු වෙලා අපි ජාතික ආණ්ඩුවක් හදන්නේ කොහොම ද කියලා අහනවා. කඩා වැටෙන ආණ්ඩුවකට මුක්කු ගහන්න අපේ කවුරුත් සූදානම් නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මේ රට දිනවීමට අපි කටයුතු කරනවා.”

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන්, සමගි වෘත්තීය සමිති සංගම් සභාපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ දොම්පේ ප්‍රධාන ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

සමගි ජන සන්ධානයට අනුබද්ධිත පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, පී. දිගම්බරම්, මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන්, වී. රාධා ක්‍රිෂ්ණන්, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, බුද්ධික පතිරණ, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, එස්.එම්. මරික්කාර්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් අමරසේන, වරුණ ලියනගේ, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මැයි දින සැමරුමට සහභාගි වූහ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සමගි විහිදුම් බලගණය, සමගි රණවිරු බලවේගය, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ ද මේ සඳහා එක්ව සිටියහ.

 

කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය සඳහා එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණානයක, කබීර් හෂීම්, ජේ.සී. අලවතුවල, තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඡායාරූපයේ වෙති.

මැයි දින රැළිය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.



අදහස් (4)

‘‘දූෂිතයන් රකින ආණ්ඩුව පලවා හරිනවා‘‘

Lalla Tuesday, 02 May 2023 09:42 AM

රජයක් පිහිටුවීමට හැකිවුවහොත් ඇමති මණ්ඩලය විස්සකට සීමා කරන්න පොරොන්දු දෙන්න.....

:       1       6

Liar Tuesday, 02 May 2023 12:52 PM

ආණ්ඩු ගෙදර යවන්න ඉස්සෙල්ලා අර බලෙන් පදිංචි වෙලා කුලී ගෙවන්නැතුව නෝන කරගෙන යන සැලොන් එකෙන් ගෙදරට ගෙන්නගන්න.

:       5       4

මුනේTuesday, 02 May 2023 08:56 PM

මඩ ගහන්න එපා. ඇය ව්‍යාපාරයක් කරන කාන්තාවක්... අනිත් බිරිඳලා වගේ ආණ්ඩුවෙන් පිනට කන කෙනෙක් නෙමෙයි.

:       0       0

ANURA ROME Tuesday, 02 May 2023 07:24 PM

මොන වෙලාවක ඉපදුණු කෙනෙක්ද මන්දා..? 

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 27 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 212 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 92 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 978 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1128 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 594 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site