(අංජුල මහික වීරරත්න)
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ සම්පූර්ණ කතාව මෙසේය.
මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.
1948 පෙබරවාරි 4 වන දා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නෙ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.
මේ දවස උදා කිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාගයන් කළ සියලු වීරෝධාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝධාර මිනිසුන් කඳුපල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වනවා.
අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්‍රයේ මේ අභිමාවනවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන ඒ ඓතිහාසික බර දරා ගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරා ගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.
අපට අපේ ආර්ථික නිදහස වෙනුවෙන්, අපට අපේ සමාජ සංස්කෘතික නිදහස වෙනුවෙන්, කොටින්ම නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය ගැනීම වෙනුවෙන්, එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික බේද, ආගමික බේද, කුල බේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, ආයතන ප්‍රධානීන් හා ආයතන කාර්ය මණ්ඩල අතර, මගීන් සහ පොදු ප්‍රවාහනය මෙහෙයවන්නන් අතර, රජයේ සේවකයන් සහ තම වුවමනා ඉටු කිරීමට එන පොදුජනයා අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර මේ ආදී මේ සෑම තැනකම මුල් බැස ගෙන ඇති අගතීන් සෝදා හැර මේ සමාජය පවිත්‍ර කර කළ යුතුව තිබෙනවා සේම නූතන ලෝකයට උරුම මානව ගරුත්වය, ආදරය සහ දයාව සියලු මිනිස් සබඳතාවන්ගේ පදනම බව අප අපටම අවධාරණය කර ගත යුතුව තිබෙනවා. එසේම මේ රටේ පුරවැසියන් ලෙස මනුෂ්‍යයෙකුට හිමි වන ගෞරවය හෝ ආදරය ආබාධිතබව නිසා, වයෝවෘධබව නිසා, රෝගී බව නිසා හෝ එවැනි කිසිදු නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ.
යටත්විජිතවාදයෙන් මිදී වසර 77ක් සපිරෙන විට රටක් ලෙස නිදහස ගැන අපට අලුතෙන් සිතිය හැකි වන්නේ එවිටයි.
මේ නිසා අප මතක තබා ගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගලබිමක අරගලකරුවන් වන බව. අප සියලු දෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.
මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් සහ ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා, අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ ජාතියේ නිරෝගීබව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලිසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා, අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන, අපේ රට කාර්මීකරණය කරා ගෙන යන, අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාට එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේදලු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට, අපෙන් දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට, තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉහළට ගෙන යාමට වෙර දරන, සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්නට වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා.
ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක් ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතු ව තිබෙනවා. ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලය තුළ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැහැ.
ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්නට ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක්. එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා.
එසේම මේ රටේ අනාගත පරපුර හදා-වඩා ගන්නා සුවහසක් ආදරණීය මව්වරුන් ලෙස ආදරණීය පියවරුන් ලෙස ඔබටත් එහි ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක්.
ඒ වගේම හෙට දින මේ රට භාරගැනීමට සූදානමින් අද දින සිප්සතර හදාරන දුවා-දරුවන් ලෙස ඔබට එහි අද්විතීය භූමිකාවක් තිබෙනවා.
මේ රටට අසීමිත ලෙස ආදරය කළ මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්, ලේ කඳුළු දහදිය මතින් මේ රට අනාගතය වෙත ගෙන යන වගකීමේ යෂ්ටිය අප වෙත භාර වූ පරිද්දෙන් අප විසින් ඒ ගෞරවනීය වගකීම මතු දිනයකදී ඔබට භාර කරනු ලබනවා. එහෙත්, 2025 පෙබරවාරි 4 වන දා, යටත් විජිතකරණයෙන් නිදහස් වී වසර 77 කට පසු ජාතික නිදහස සමරන අද දිනයේ ඔබට මා එක දෙයක් සපථ කර කිව යුතු ව තිබෙනවා. ඔබට අප විසින් බාර දෙනු ලබන ඒ රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව ඔබ විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ආසා කරන, ඔබේ පුරවැසි අභිමානය ගරු කරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් වන බවයි. එසේම මානව ශිෂ්ටාචාරය මේ වන විට අත් කර ගෙන ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ චින්තනමය ජයග්‍රහණ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුරවැසියෙකු ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කරනු ලැබූ රටක් වන බවයි.
මා ස්ථිරසාර ලෙස අද ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නොමැති වන නිසයි. අප එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරනු ඇති. එසේම අප විසින් ඔබ හට බාර දෙන අපේ මේ ආදරණීය මාතෘභූමිය අපටත් වඩා වැඩි සෙනෙහසකින්, අපටත් වඩා වැඩි ජවයකින් ඔබ විසින් අනාගතය වෙත ගෙන යන බව මට විශ්වාසයි.
මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත් හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමයි. එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමයි. නිදහස වෙනුවෙන් වන අරගලය බැඳී ඇත්තේ මෙන්න මේ උත්තුංග අරමුණ සමගයි.
මේ නිසා ඒ නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු.
සමහර විට ඔබ සහ මම, අපි සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවද මතක තබා ගන්න. අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකියි.
77වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කතෝලික ආගමික දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින බොරැල්ල සියලු සාස්තුවරයන්ග
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ
තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ’’ රණවිරු ස්මාරකය ’’ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙ
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත
තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට අද (04) දින අලුයම භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්
40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්ද අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු