IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


2019 උසස්පෙළ විශිෂ්ටයෝ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විවිධ විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් විශිෂ්ටයන් පහත පරිදි වේ.

------------------------------------------------------------------------------------------------------------

(ඩයනා උදයංගනී)

අධ්‍යාපනයේදී මතුවන ගැටලු එවේලේම නිරවුල් කරගැනීමෙන් අපේක්ෂිත ඉලක්කයට යාහැකියි

ජීව විද්‍යා අංශය: කොළඹ විශාඛාවේ සචිනි

අධ්‍යාපන කටයුතුවලදී මතුවන ගැටලු එවෙලේම නිරවුල් කරගනිමින් හා විභාගය අපහසු බව අවබෝධ කරගෙන කටයුතු කිරීමෙන් තමන්ගේ ඉලක්කය කරා ගමන් කිරීමට හැකිවන බව මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි මලීෂා විජේවර්ධන ශිෂ්‍යාව ලංකාදීපයට ඊයේ (29) පැවැසුවාය.

වෛද්‍යවරියක වී රටට සේවය කිරීම තම අනාගත අරමුණ බව ද ඇය සඳහන් කළාය.

සචිනිගේ මව හා පියා දෙදෙනාම විශේෂඥ වෛද්‍යවරුන් වන අතර එකම සොහොයුරා ද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ සිසුවෙකි.

ඇගේ පියා වන මංජුල විජේවර්ධන කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර මව වන නාලිකා කරුණාරත්න මහත්මිය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

තමන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සචිනි මලීෂා ශිෂ්‍යාව මෙසේ පැවැසුවාය.

“මම පාසලේදී විෂය බාහිර කටයුතුවලට වැඩි වශයෙන් දායක වුණ කෙනෙක්. පාසලේ ෂේක්ස්පියර් නාට්‍ය ඒකකයේ, නිවේදන කටයුතුවල මෙන්ම කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත් මම කටයුතු කළා. උසස් පෙළ කරන සමයේත් පාසලේ උදෑසන නිවේදන කටයුතු සිදුකළා. ඒ වෙනුවෙන් උදෑසනම පාසලට ආවා. ඒ වගේම පාසලේ උත්සවවලදීත් නිවේදන කටයුතුවලට දායක වුණා. සාමාන්‍ය පෙළ විභාගයේදීත් මම ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත්තා.

නමුත් උසස් පෙළ පන්තිවලදී අමතර කටයුතු වෙනුවෙන් සවස් කාලයේ පාසලේ සිටීම සීමා කරගත්තා. ගුරුවරුන් කළ මගපෙන්වීම් අනුව හොඳ ඉගෙනීමේ කටයුතුවල නිරත වුණා. ගුරුවරුන්ගේ මගපෙන්වීම හැර මගේ වෙනත් ලොකු සැලැසුමක් තිබුණේ නැහැ. පාසලෙන් මේ ජයග්‍රහණයට හොඳ මගපෙන්වීමක් ලැබුණා. දිනපතාම පාසල් ආ නිසා මගේ මිතුරියන් සමඟ එක්ව පාඩම් කරන්න, ගැටලුකාරී තැන් සාකච්ඡා කරන්න, එකිනෙකාගෙන් ප්‍රශ්න කරමින් දැනුම දියුණු කරගන්න හැකියාව ලැබුණා. මම කළ යුතු අධ්‍යාපන කටයුතු ඒ මොහොතේම අවසන් කරන්නට හුරු වී සිටියා. නිවෙසේදී කරන්න දෙන දේවල් වුවත් පාසලේ විවේකයක් තිබුණොත් අවසන් කරනවා. ඒ නිසා කරන්න දේවල් එකතු වුණේ නැහැ.

ඒ වගේම අපි විෂයන් හා අමතර පන්ති තෝරා ගැනීමේදී මිතුරන් කරන නිසා හෝ මව්පියන් කියන නිසා හෝ රැල්ලට නොයා අපට පහසු දේ කළ යුතුයි. ඉගෙන ගන්න අවස්ථාවලදී ඒ කටයුතු ගැන අවධානයෙන් සිටීම හා මතුවන ගැටලු ඒ අවස්ථාවේම නිරාකරණය කරගැනීමත් වැදගත්. ගැටලුකාරී තැන් ආවොත් ගුරුවරුන්ගෙන් දුරකතනයෙන් හෝ විමසා විසඳා ගැනීමට මම කටයුතු කළා. පාසලේ විදුහල්පතිනිය, ගුරුවරුන් හොඳ මගපෙන්වීමක් ලබාදුන්නා.

ඒ වගේම මම ආගමික දේවලටත් නැඹුරු වුණා. එයින් මානසික සුවයක් ලැබෙනවා. මගේ නිවෙසින් හොඳ මගපෙන්වීමක් ලැබුණා. අම්මාත්, තාත්තාත් අපට නිදහස දුන්නත් කාලය නාස්ති කරන්න දුන්නේ නැහැ. දිවයිනේ ඉහළ ප්‍රතිඵලයක් ලබාගත හැකි වේ යැයි ගුරුවරුන් පැවැසුවත් මම ඒ ගැන එතරම් හිතුවේ නැහැ. මම හිතුවේ මට ලබාගත හැකි උපරිම ප්‍රතිඵලය ලබාගැනීම ගැනයි. ඒ නිසාම මේ ප්‍රතිඵලයෙන් මම පුදුම වුණා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍ය පීඨයට ඇතුළු වී වෛද්‍යවරියක වීමයි. ඒ වගේම වෛද්‍ය පරීක්‍ෂණ කටයුතුවල නිරතවීමේ කැමැත්තක් තිබෙනවා.

විභාගය අමාරුයි. ඒ බව අවබෝධ කරගෙන නිවැරැදි තීරණ ගැනීමෙන් අපේ ඉලක්ක, සිහින කරා යන්න පුළුවන්. ඒ වගේම නොතේරෙන විෂය කරුණු ගැන ගුරුවරුන්ගෙන් අසා දැනගැනීමට ලජ්ජා විය යුතු නැහැ. ඒ වගේම හැමදාම පාසල් යාමත් ඉතා වැදගත් වෙනවා.”

------------------------------------------------------------------------------------------------------------

(ගම්පහ - තිලකරත්න දිසානායක)

ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවකු වී රටට සේවයක් කිරීම බලාපොරොත්තුවයි

භෞතික විද්‍යා අංශය: කොළඹ ආනන්දයේ තරුෂ සිහාන්

ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙක් වී රටට සේවය කිරීම තමාගේ බලාපොරොත්තුව බව මෙවර උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථමයා වූ කොළඹ ආනන්ද විදුහලේ තරූෂ සිහාන් ෆොන්සේකා සිසුවා ඊයේ (29) ලංකාදීපයට පැවැසීය.

දිවයිනේ ප්‍රථමයා වීම සම්බන්ධව ලංකාදීපය තරූෂ සිහාන් ෆොන්සේකාගෙන් විමසා සිටි අවස්ථාවේදී එම සිසුවා එසේ කීය.

මොරටුව, මොරටු මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති තරුෂ පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 175ක් ලබා ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව අද වනවිට ආනන්දයට සහ රටට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇත.

මොරටුව, කොරළවැල්ල පදිංචි දරු පවුලක දෙවැන්නා වන තරූෂට සොයුරියන් දෙදෙනකු වන අතර වැඩිමහල් සොයුරිය සඳුනි දිල්නිකා  යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදය තෙවැනි වසරේ සිසුවියකි. බාල සොයුරිය දෙවන්යා චන්මිනි ගල්කිස්ස බෞද්ධ විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.

සිය ඉහළ සාමාර්ථය පිළිබඳව තරූෂ සිහාන් සිසුවා මෙසේ අදහස් දැක්වීය.

“මුලින්ම මම මේ මොහොතේ මට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගැන්වීම් කටයුතු කළ ගුරු පියවරුන්ට, මව්වරුන්ට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මට මේ ගමන එන්න අම්මා, තාත්තා වගේම මගේ සහෝදරියන් ද මට ශක්තියක් වුණා. ඒ වාගේම උපකාරක පන්තිවලදී දැනුම ලබා දීම සිදුකළ සියලුම ගුරුවරුන් සිහිපත් කරනවා.

මගේ බලාපොරොත්තුවක් තිබුණා දිවයිනෙන් දස දෙනා අතරට එන්න. ඒත් රටේම පළමු වැනියා වෙයි කියල නම් හිතුවෙ නැහැ. ආනන්දයේ හය වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම පන්තිවලදී ගුරු මහත්ම මහත්මීන් මට කිව්ව දෙයක් තමයි ඔයාට දුර ගමනක් යන්න පුළුවන් කියලා. මෙසේ කියමින් මාව දිරිමත් කළා.

අන්තිමට උසස් පෙළ ආසන්න වනවිට ආනන්දයේ විදුහල්පති  එස්.එම්. කීර්තිරත්න සර් ඇතුළු ආචාර්යවරුන් මට කිව්වාා ඉහළ සාමාර්ථයක් ලබාගත හැකි බව. මම ඒ සියල්ලන්ගේම වදන් මේ ජයග්‍රහණයට ශක්තියක් කර ගත්ත කිව්වොත් හරි. ඒ වාගේම ඒ හැමෝගෙම අපේක්ෂාවක් තිබුණා මම ආනන්දයට ගෞරවයක් ගෙන දේවි කියලා. මම හිතන්නේ එය මම ඉටුකළා කියා.

මට අවශ්‍ය වුණේ ආනන්දයට ආනන්දයක් වෙන්න. මම එය ඉටුකළා.

ඉතින් මට තවත් දුර ගමනක් යන්න තිබෙනවා. ඒ ගමන සාර්ථක කර ගැනීම තමයි ඉලක්කය.

මම මගේ අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්, විෂයන්ට අදාළව වාගේම විෂය බාහිර කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළා. විද්‍යාලයේ තාරකා විද්‍යා  සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙසත් විද්‍යා දැනුම මිනුම සාමාජිකයකු ලෙසත් කටයුතු කරනු ලැබුවා.

මට අධ්‍යාපනය ලබන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ, තමන් තමන්ගේ ගමන් මග දැනගන්න ඕන. අරමුණක්, ඉලක්කයක් ඇතිව සෑම දෙයක්ම කළ යුතුයි. තමන් ඉගෙන ගන්නා දේ තමන්ගේ සුභ සිද්ධිය තකාම නොව අනුන්ගේ ද සුභ සිද්ධිය තකා බව සිත්හි තබා ගනිමින් කටයුතු කළ යුතුයි. මගේ මේ ජයග්‍රණයට ආනන්ද විද්‍යාලයෙන් ලැබුණු දැනුම වගේම උපකාරක පන්තිවලින් ලැබුණු දැනුමත් මේ මොහොතේ සිහිපත් කරන අතර ඒ සෑම ගුරු පියකුටම, ගුරු මෑණියකුටම යළිත් ගෞරවය පුදකර සිටිනවා.”

තරූෂගේ පියා යසරත්න ෆොන්සේකා මහතා මෝටර් රථ කාර්මිකයකු ලෙස කටයුතු කරන අතර මව මෙලනි සිතාරා මහත්මිය ගෘහනියකි.

මව තම පුතණුවන්ගේ ඉහළ සාමාර්ථය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“අපේ පුතාගේ මේ ජයග්‍රහණය ගැන කියන්න බැරි තරම් සතුටක් තමයි තියෙන්නෙ. ඒක වචනයෙන් කියන්න බැරි තරම්. රටක් වටින පුතෙක්. පුතා පෙරපාසල් කාලයේ සිටම දක්ෂයි. සෑම විභාගයකින්ම ඉහළ ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. උසස් පෙළ දිවයිනෙන්ම දස දෙනා අතරට ඒවි කියල බලාපොරොත්තුවක් තිබුණා. පුතා පොත් කියවන්න ආසයි පොඩි කාලේ ඉඳන්ම. පාසලේ කටයුතු වගේම අංගම්පොර ක්‍රීඩාවත් කරනවා. වැඩිහිටියන්ට ගරු කරන කාටත් උදව් උපකාර කරන කෙනෙක්. මේ ආශිර්වාදයත් පුතාට ඇති.”

------------------------------------------------------------------------------------------------------------

(ඩයනා උදයංගනී)

දක්ෂතා හඳුනාගනිමින් නිසි සැලසුමක් ඇතිව වැඩ කිරීම මා ලද විශිෂ්ට ප්‍රතිඵලයේ රහසයි

වාණිජ විෂය: බිෂොප් විදුහලේ ටෙෂානි

තමන්ගේ දක්‍ෂතා හඳුනා ගනිමින් නිසි සැලැසුමක් ඇතිව කටයුතු කිරීම නිසා තමන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වූ බව මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාව (නව නිර්දේශය) යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා හෙට්ටිගේ ශිෂ්‍යාව ලංකාදීපයට ඊයේ (29) පැවැසුවාය.

මෙරට විශ්වවිද්‍යාලයකින් හෝ විදෙස් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබා රටට සේවයක් කිරීම තම අරමුණ බව ද ඇය සඳහන් කළාය.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන ටෙෂානිගේ පියා වන දර්ශ හෙට්ටිගේ ව්‍යාපාරිකයෙකි. මව වන රසිකා හෙට්ටිගේ ගෘහනියකි. ඇගේ බාල සොහොයුරු එෂේන් හෙට්ටිගේ සහ සොහොයුරිය වන චනුලි හෙට්ටිගේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටී.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ ටෙෂානි මෙසේ සඳහන් කළාය.

“මම පොත පතටම සීමා වූ කෙනෙක් නෙවෙයි. පාසලේදී අධ්‍යාපන කටයුතුවල මෙන්ම විෂය බාහිර කටයුතුවලත් යෙදුණා. මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළා. ඒ වගේම පිහිනුම් ක්‍රීඩාවේත් නිරත වුණා. ඒ දේවල් නිසා පාසල් වැඩ මගහැරුණු අවස්ථාත් තිබුණා. නමුත් මට මේ සියල්ල සමබරව කරගැනීමට පාසලෙන් මෙන්ම මගේ පවුලෙන් විශාල සහයෝගයක් ලැබුණා.

උසස් පෙළ පන්තියට පැමිණි පසු මම මුල සිටම සැලැසුමක් ඇතිව අධ්‍යාපන කටයුතු සිදුකළා. මම විනෝදාංශයක් විදියට පිහිනීම් කටයුතුවල නිරත වුණා. අමතර පොත් පත් කියෙව්වා. ඒ වගේම පැරැණි විභාග ප්‍රශ්න පත්‍ර හා විෂයට අදාළ වෙනත් ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපැයූවා. විභාගය ආසන්න වෙද්දීත් මම පාඩම් වැඩ අවසන් කර තිබුණේ නැහැ. ඒ නිසා අන්තිම කාලය දක්වාම පාඩම් කළා. මට උත්සාහ කළොත් සමස්ත ලංකා මට්ටමේ ප්‍රතිඵලයක් ලබාගත හැකි බව ගුරුවරුන් පැවැසුවා. නමුත් මගේ සිතේ ඒ ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. ප්‍රතිඵලය දකිද්දී මම පුදුම වුණා. ඒ වගේම විශාල සතුටක් ඇති වුණා.     

මගේ අනාගත බලාපොරොත්තුව මෙරට විශ්වවිද්‍යාලයකින් හෝ විදේශ විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හදාරා ඉදිරියට යාමයි. විදෙස් ශිෂ්‍යත්වයක් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් ඉදිරියට ගොස් රටට සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි.

අනාගතයේදී විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාටත් මම කියන්නේ තමන්ගේ දක්ෂතා හඳුනාගෙන මුල සිටම නිසි සැලැසුමකින් කටයුතු කරන්න කියලයි. ඒ වගේම අධ්‍යාපනය ලබද්දී දුර්වල තැන් නිවැරැදි කරගෙන ඉදිරියට යාමත් වැදගත් වෙනවා. මුල සිටම නිසි සූදානමක් තිබුණොත් ජයග්‍රහණයක් ලැබීම අපහසු නැහැ.”    

------------------------------------------------------------------------------------------------------------

(වැල්ලවාය - අයි.ආර්. ඉන්දික, ලුණුගල - ප්‍රසන්න පද්මසිරි සහ බිබිල විශේෂ - කේෂර ගුණතිලක)

පාසලට කීර්තියක් අත්කර දෙමින් ලැබූ ජය ගැන තිබෙන්නේ නිහතමානි සතුටක්

ජෛව පද්ධති තාක්ෂණවේදය: මැදගම ජාතික පාසලේ නිසංසලා

මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් ලැබේවි කියලා නම් මා හිතුවේ නෑ. නමුත් දිස්ත්‍රික්කයේ ඉහළ ස්ථානයක් හිමි කරගන්න හැකි වෙයි කියලා හිතුණා. අපේ පාසලට ලොකු කීර්තියක් අත්කර දෙන්න හැකි වුණා. ලැබුණු ජයග්‍රහණය ගැන තියෙන්නේ නිහතමානී සතුටක් ආඩම්බරයක්.”

තාක්ෂණවේදය විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ (නව විෂය ධාරාව) මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලැබූ මැදගම ජාතික පාසලේ ඉගෙනුම ලබන නිසංසලා සංජීවනී සිසුවිය පැවැසුවාය.

මැදගම කැන්දවින්න, කොස්වත්ත පදිංචි ඩී.එම්. උභයවර්ධන මහතා හා ඩී.එම්. පුංචි මැණිකා මහත්මියගේ බාලම දියණිය වන ඇය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ප්‍රථම වරටය.

නිසංසලා සංජීවනී සිසුවිය අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියාය.

“විභාගය සඳහා හොඳින් සූදානම් වුණා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අභ්‍යාස විශාල ප්‍රමාණයක් කළා. අපේ පාසලේ ආචාර්ය මණ්ඩලය ඉගැන්වීම් කටයුතු හොඳින් සිදු කළා. විද්‍යාගාර ඇතුළු සියලු පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් විභාගයට මුහුණ දුන්නා. තාක්ෂණවේදය ඉගැන්වූ අනුෂ්ක සර්, ඉන්ද්‍රාණි විදුහල්පතිතුමිය, චන්ද්‍රා ගුරුතුමිය ඇතුළු බොහෝ දෙනෙක්ගේ සහයෝගය මට ලැබුණා. ගුරුවරුන්ට කීකරු වෙලා කැපවීමෙන් වැඩ අතපසු කරගන්නේ නැතිව වැඩ කළොත් මේ වගේ ජයක් ලබා ගන්න පුළුවන්.”

තාක්ෂණවේදය විෂය ධාරාවේ ජෛව පද්ධති විෂය අංශ ප්‍රධානී අනුෂ්ක පියදිගම මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“මගේ පළමු ගුරු පත්වීම ලැබුණේ මේ පාසලට. 2014 වසරේ ඉඳලා අපි දරුවන් වසරින් වසර ජයග්‍රහණය සඳහා මෙහෙයවනු ලැබුවා. එහි ඉහළම ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ලංකාවෙන් පළමුවැනියා, ලංකාවෙන් හයවැනියා වගේම ලංකාවෙන් දහඅටවැනියා මැදගම ජාතික පාසලෙන් බිහි වුණා. දිස්ත්‍රික්කයේ පහසුකම් තියෙන දැවැන්ත පාසල් රැසක් අභිබවමින් ලැබුණු මේ ජයග්‍රණය ගැන අපි ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. ඒ වගේම නිහතමානීව ඒ සතුට භුක්ති විඳිනවා.

අපි දරුවන් වෙනුවෙන් විෂය නිර්දේශයට අනුකූලව ක්‍රමවත් වැඩපිළිවෙළක් වසර දෙක පුරාම ක්‍රියාත්මක කළා. උත්තර පත්‍ර පරීක්ෂකවරයකු ලෙස ලබාගත් දැනුම දරුවන් වෙනුවෙන් උපරිම අයුරින් ලබා දුන්නා. සකස් කළ අනුමාන ප්‍රශ්න විශේෂයෙන්ම මුලාකෘති ප්‍රශ්න පත්‍ර මේ සමස්ත ජයග්‍රහණ පිටුපස තිබුණා. ඒ වෙනුවෙන් පාසලේ විද්‍යා අංශයේ සියලු ගුරුවරුන්ගෙන් ලැබුණු දායකත්වය අතිවිශිෂ්ටයි. ඒ සියලු දෙනා වෙනුවෙන් ස්තුතිය පුද කළ යුතුයි.”

මැදගම විදුහල්පතිනි එම්. ඉන්ද්‍රා විජේබණ්ඩාර මහත්මිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.

“විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්ත වෙලාවේ අපිට කියා ගන්න බැරි සතුටක්. දිවයිනේ පළමුවැනි ස්ථානය, හයවැනි ස්ථානය, දහඅටවැනි ස්ථානය ඇතුළු දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ රැසක් අපේ දරුවන් විද්‍යාලයට ලබා දීලා තියෙනවා. මේ දරුවන් තිදෙනාම සාමාන්‍ය පවුල්වල දරුවෝ. ඒ පාසලේ සිටි දක්ෂ දරුවන් අතර අතිදක්ෂ දරුවන් තිදෙනකු ද වෙනවා. ඒ වගේම ජයග්‍රහණ වෙනුවෙන් මඟපෙන්වූ තාක්ෂණවේදය විෂය ධාරාවේ ගුරුවරුන්ටත් මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි.

------------------------------------------------------------------------------------------------------------

(ගම්පහ - තිලකරත්න දිසානායක)

මගේ ඉහළ සාමාර්ථයට හේතුව පාසලේ වැඩ නිසියාකාරව සිදුකිරීමයි

තාක්ෂණ විෂය ධාරාව: ගම්පහ බණ්ඩාරනායකයේ විනුර

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 තාක්ෂණ විෂය ධාරාව (ඉංජිනේරු තාක්ෂණය) නව විෂය නිර්දේශය යටතේ දිවයිනෙහි ප්‍රථමයා වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසධ ගාල්ලගේ සිසුවා සමත්ව ඇත.

රන්පොකුණගම මහා විද්‍යාලයෙන් පළමු ශ්‍රේණියෙහි සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති විනුර උසස් පෙළ හැදෑරීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර මෙම දරුවාගේ අපේක්ෂාව වී ඇත්තේ ඉංජිනේරුවකු වශයෙන් රටට සේවය කිරීමටය.

තමන් උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් බලාපොරොත්තු වූ බව පැවැසූ හෙතෙම තම සමත්වීම සහ අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“නව තාක්ෂණයට මම කැමැති නිසා තාක්ෂණ විෂය ධාරාව තෝරා ගන්න හේතු වුණා. මගේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මෙකාටොනික් අංශයෙන් ඉංජිනේරුවරයකු වීමයි. විද්‍යාලයේ නව නිපැයුම් අංශයට එක්ව කටයුතු කරමින් නව නිර්මාණ කිරීමේ කටයුතු සිදු කළා වගේම පරිගණක අංශයෙන් විවිධ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වුණා. විද්‍යාලයේ පරිගණක සංගමයෙහි ලේකම් වශයෙන් ද කටයුතු කිරීමේ අවස්ථාව මට හිමි වුණා.

මගේ මේ ගමන් මගේදී පළමු ශ්‍රේණියෙහි සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ රන්පොකුණගම මහ විදුහලේ වගේම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී අධ්‍යාපනය ලබාදීම සිදු කළ විදුහල්පතිතුමන්ලා ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මීන් සිහිපත් කරන අතර ඒ සැමටම හෘදයාංගම භක්තිය පුදකර සිටිනවා. ඒ වාගේම මගේ අම්මා, තාත්තා සහ අයියා මේ සැවොම සිහිපත් කරනවා.”

මම අපේ පාසලේ ගුරු මහත්ම මහත්මීන් විසින් කළ පාඩම්වලින් හොඳට දැනුවත් වුණා. නියමිත පරිදි පාසලේ විෂය කටයුතුවලින් දැනුම ලබා ගත්තා. නිසියාකාරයෙන් පාසලේ කටයුතු සිදු කිරීම මගේ මේ ඉහළ සාමාර්ථයට හේතු වුණේ යැයි කිව්වොත් හරි.”

නිට්ටඹුව, නාපානාගොඩ පදිංචි පවුලක බාල දරුවා වන විනුරගේ එකම සහෝදරයා ද බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරෙහි අධ්‍යාපනය ලබයි.

විනුර ඔසධගේ පියා වන එම්.ඩී.එම්. ගාල්ලගේ මහතා මුද්‍රණ ආයතනයක සේවය කරන අතර මව දමයන්ති මහත්මිය ගෘහනියකි.
සිය පුතුගේ ඉහළ සාමාර්ථය පිළිබඳව මව මෙලෙස අදහස් දැක්වූවාය.

“පුතා කුඩා කල සිටම සෑම දෙයකටම දක්ෂතාවක් දැක්වූවා. එය අපි වගේම රන්පොකුණගම විද්‍යාලයෙත්, බණ්ඩාරනායක විද්‍යාලයෙත් ගුරු මහත්ම මහත්මීන් දැක්ක නිසා එයාට අවශ්‍ය මාර්ගය සකස් කර දුන්නා. අපේ ලොකු පුතාත් බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරෙහි අධ්‍යාපනය ලබනවා. අයියා යන පාරෙම මල්ලිත් යනවා. පුතා නව නිර්මාණ පැත්තට ලැදියාවක් තිබෙන නිසා ඒ පැත්තෙන් ඉංජිනේරුවරයකු වෙන්න කැමැතියි. ඊට අපිට කළ හැකි දේවල් කරනවා.”

------------------------------------------------------------------------------------------------------------

(ඩයනා උදයංගනී)

විභාගයට මාස 2 ක් තියා සියලුම බාහිර  වැඩවලින් ඈත්වුණා

කලා අංශය: කොළඹ දේවි බාලිකාවේ තෙෂානි

කිසිවකුගේත් බලපෑම් අනුව නොව තමන්ට පහසු විෂයන් තෝරා ගැනීම නිසා තමන්ට දිවයිනේ ප්‍රථමයා ලෙස විභාගය ජයගැනීමට හැකි වූ බව මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් නව නිර්දේශය යටතේ දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙෂානි මිලින්දි වැලිගමගේ ශිෂ්‍යාව ලංකාදීපයට ඊයේ (29) පැවැසුවාය.

තමන් මුලදී උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය ධාරාව තෝරාගනු ලැබුවත් පසුව වඩාත් ගැළැපෙන්නේ කලා විෂය ධාරාව බව තේරුම් ගෙන කලා විෂයන් හැදෑරූ බව ද ඇය කීවාය.

තෙෂානි උසස් පෙළ විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ ප්‍රංශ භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍යය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යන විෂයයන් හදාරා තිබේ.

ඇගේ පියා වන සනත් වැලිගමගේ මහතා ජීව විද්‍යා ඉංජිනේරුවරයෙක් ලෙස මාලදිවයිනෙහි සේවය කරන අතර මව වන රේණුකා වැලිගමගේ ගෘහනියකි. තෙෂානි පවුලේ එකම දරුවා වේ.

ඇය තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලංකාදීපයට මෙසේ අදහස් දැක්වූවාය.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178ක් ලබාගෙන කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. අපේ පදිංචිය හොරණ වුණත් රාජගිරිය නාවල පාරේ තාවකාලික පදිංචියට පැමිණියේත් මගේ අධ්‍යාපන කටයුතුවලට පහසුවක් වෙන්නයි.

මම හැමදාම පන්තියේ පළමුවැනියා, අපේ අංශයේ පළමුවැනියා වී තිබුණත් හැමදාම වෙලා නැහැ. නමුත් මම මුල සිටම හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙනුත් ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගත්තා. මගේ දෙමාපියන් කැමැති වුණේ මා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවාටයි. ඒ නිසා මම ජීව විද්‍යාව තෝරාගත්තා. නමුත් මාස 5ක් පමණ යනවිට එම විෂයයන් ගැන මට කැමැත්තක් නැති බව වැටහුණා. මම කැමැති වුණේ විදේශ භාෂා වැනි දෙයක් හදාරන්නයි. ඒ නිසා කලා අංශයට යොමු වුණා. එයට අමාරුවෙන් දෙමාපියන් කැමැති කරගත්තා.

මම පාසලේ විෂය බාහිර කටයුතු බොහොමයක නිරත වුණා. 2017/18 වසරවල පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත්, 2015/16 වසරවල කනිෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ වගේම වෙඩි තැබීමේ ඉසව්ව ක්‍රීඩාවක් ලෙස සිදුකළා. පාසලේ ෂේක්ස්පියර් නාට්‍ය කවය, මාධ්‍ය ඒකකය, සිංහල නාට්‍ය කවය, පාසල් තත්ත්ව කවය, විදේශ භාෂා සංගමය නියෝජනය කළා.

නමුත් විභාගයට මාස දෙකක් පමණ තබා බාහිර දේවලින් ඈත් වී සම්පූර්ණයෙන්ම විභාගය වෙනුවෙන් අවධානය යොමු කළා. මට මේ ජයග්‍රහණය ලැබුණේ විෂය ධාරාව වෙනස් කළ නිසයි. අපි විෂයයන් තෝරාගත යුත්තේ දෙමාපියන් කියන නිසාවත්, යාළුවන් කරන නිසාවත් නෙවෙයි. අපට හදාරන්න පුළුවන් නම් පමණයි. මෙහිදී මගේ පාසලෙන්, ගුරුවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.

නීතිය හා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයක් ලබා එම ක්‍ෂේත්‍රයන්හි උපරිම දුරක් ගොස් රටට සේවයක් කිරීම මගේ අරමුණයි.”



අදහස් (1)

2019 උසස්පෙළ විශිෂ්ටයෝ

Ransamali Tuesday, 07 July 2020 05:32 PM

2019 පැරණි නිර්දේශයේ විශිෂ්ටයෝ?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 0 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 87 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 14 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 389 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1369 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 429 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site