IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්  අද (26)පැවසීය.

ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අය අනාගතයේ දිනක රටට ද්‍රෝහි වීමේ හේතුව මත තමන්ගේ දූ දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත් වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් මෙසේද  සඳහන් කළේය.

අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. 

අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා. 

ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී  අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. 

රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.

Sri Lanka Won …. !!

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.

මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා. 

මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. 

2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා. 

අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි. 

2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ. 

මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා. 

නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්. 

ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.

අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා. 

අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා. 

සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි. 

ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා. 

මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා. 

අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා. 

එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ. රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා. 

හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා. 

මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා. 

ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්. 

"යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි! 

මම බය නැතුව වැඩේට අත ගැහුවා.

2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.

1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට  අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම

4. මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීම

මම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.

සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.

ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්, අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.

අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.

ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.

2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?

එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.

2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.

2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා. 

ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.

මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.

එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.

ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා. ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.

මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.

කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ. 

මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේවි.

නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.

අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ. 

අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.

අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි. 

මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.

ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.

අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි. සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.

තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.

සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.

රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි?  මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?

මෙන්න මේකයි හේතුව.

ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.

ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.

ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා. 

ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.

මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.

එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.

මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද? 

මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද?  නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා. ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.

බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි. ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.

ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද? 

මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.

හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා. 

නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.

“දෙයක් වේ නම් යම් - සුදුස්සාටම ලැබිය යුතු ය..

රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය....."

ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.

එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි යැයිද ජනාධිපතිවරයා කීය.



අදහස් (26)

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘

Achini Wednesday, 26 June 2024 08:36 PM

පතිව්‍යුහගත කිරීම! සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ණයට ගැනීම සහ තවමත් නූපන් පරම්පරාවට ආපසු ගෙවීමේ බර නිර්ලජ්ජිත ලෙස පැවරීම සඳහා මෙය ගෞරවනීය වචනයකි. ,

:       129       44

Dharshini Wednesday, 26 June 2024 08:38 PM

ඕනෑම ණය දෙන්නා විසින් අත්තිකාරම් කළ මුදල් අයකර ගැනීම සඳහා ඕනෑම වියදමක් දරා ගිවිසුමකට එළැඹීමට උත්සාහ කරනු ඇත .සමහර අනුවණ පාලක දේශපාලකයින් මේ සඳහා ණය ලබා ගැනීමට උත්සාහ කරන බැවින් එය පැහැර හරින ලද ණයක් සම්බන්ධයෙන් බැංකුවක් සාමාන්‍යයෙන් කරන්නේ මෙයයි

:       71       30

ගමේ එකාලා Wednesday, 26 June 2024 08:43 PM

දේශපාලුවන්ගේ සුබ ආරන්චි කතා අපිට අහලාම ඇතිවෙලා.. ඡන්දේ කිට්ටු වෙනකොට තමයි ඔක්කොම මතක් වෙන්නේ? දර්මිෂ්ඨ සමාජයක්, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආස්චර්ය, සෞභාග්‍යයේ දැක්ම, කරලා තියෙන්නේ යස අපූරුවට... නොදකින් බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවන්, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට බන්කොලොත් කෙරුවා මදිවට ආයෙමත් ජනතාව අන්දවන්න හිතාගෙන ඇති...

:       52       2

sara Wednesday, 26 June 2024 08:44 PM

ඔබ බාරගත්තේ නැහැ. රාජපක්ෂලා ඔබට බාර දුන්නා, කොහෙද එල්ලෙන්නේ කියලා බලාගෙන හිටපු ඔහේ පැනලා ගත්තා. පහත සඳහන් දේවල් බලන්න ඔබේ ලඟින් ඉන්න මහින්දානන්දමයි කියලා තියෙන්නේ රනිල් ජනපති කළ අය මහින්දානන්ද හෙළි කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබූවේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු හා බැසිල් රාජපක්ෂ මහතාගේ එකඟතාවයක් මත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එබැවින් එහි වගකීම ඔවුන්ට පැවරෙන බවත් තමා එම තීරණය අනුව කටයුතු කරන බවත් සඳහන් කරයි. තම පක්ෂයට ජාතික කැඳවුම්කරුවකු නොසිටි බැවින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඒ සඳහා රෝහිත අබේගුණවර්ධන මහතා පත් කිරීමට තීරණය ගත් බව ද ඔහු සඳහන් කරයි.

:       47       1

sachith Wednesday, 26 June 2024 08:45 PM

මේ බයිලා නම් කියෙව්වේ නෑ. මොකද කියන්නේ අමු බයිලයක් කියලා දානවා. ණය ගෙවන එක නවත්තලා, ඒකට දඩ පොලියත් එක්කම ආයෙම ගෙවන්න වෙන්නේ නැද්ද එතකොට?

:       40       1

Bandara Wednesday, 26 June 2024 08:51 PM

ඔබව ඉදිරි අවුරුදු 5කට නැවත පත්කර ගත යුතුයි. ආපහු පෝලිමේ ඉන්න නම් බෑ. 69 ලක්ෂය රට බේරාගත්තා වගේ. අනුරයි, සජිතුයි හොඳයි තොරණක විරිදු කියන්න.

:       0       47

විපුල Wednesday, 26 June 2024 09:12 PM

බොරුවට ඡන්ද තියන්න වියදම් කරන්න එපා, මේ රටේ ඉන්න ගුනමකු මිනිස්සු ඔබට චන්ද දෙන්නෙ නැහැ. ඒ මෝඩ කමට, මේ ආකාරයට තව අවුරුදු දෙකක් රට කරගෙන යන්න,

:       60       121

K Perera Wednesday, 26 June 2024 09:25 PM

ඔබතුමාගේ මේ කතාව තේරඅම් ගන්න වෙන්නේ ටිකක් හරි උගත්කමක් තියන අයට පමණි.

:       65       112

Samitha Rajeewa Hendawitharana Wednesday, 26 June 2024 09:59 PM

වැදගත් කතාවක්... !

:       0       1

Sanath Kandy Wednesday, 26 June 2024 10:01 PM

ඉන්දියාවෙන් අත මාරුවට ගත්තු ඩොලර් බිලියන 3 හදිසියේ ආපහු ඉල්ලුවොත් එහෙම මොකද කරන්නේ කියලා කියන්නකෝ මුත්තේ...

:       1       0

Shaf Wednesday, 26 June 2024 10:09 PM

ඔහු මහ බැංකුවෙන් කොල්ල කෑවේ නැත්නම්, අපි කෙසේ හෝ කළමනාකරණය කරන්නෙමු. දැන් ඔහු තම මංකොල්ලය වසාගෙන ණය ලබාගෙන ජනතාව මත තවත් බර පටවමින් සිටියි. මෙය හොඳින් උගත් ළමයෙකුට වුවද අවබෝධ විය යුතුයි. නමුත් මෙය ශ්‍රී ලංකාවයි.

:       1       0

Noordeen Wednesday, 26 June 2024 10:46 PM

පට්ටම කතාවක්..!! තේරුම් ගන්න එකාට හරියටම ඔලුවටම වදින්න කියලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ, මිනිස්සු මේ කතාව අහන්නේ පාට කන්නාඩි දාලා. රට ගොඩගන්න වැඩපිළිවෙල කලින්ම කියල්ලා ඒ අනුව වැඩේ කරලා රිසල්ට් එක පෙන්නලා කරපු කතාවක්. ලී ක්වාන් යු ගේ කතා වගේ කවදා හරි ඉතිහාසේ කියැවෙන කතාවක් වෙයි මේක...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 June 2024 11:26 PM

ඔබ දරුවා දරුවා කියන්නේ මයිනා පැටියෙක්ට නේද….?

:       0       0

kotiya Thursday, 27 June 2024 01:34 AM

මිත්‍රවරුණි, ලංකාවට නිදහස් අධ්‍යාපනය හිමිකර දුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා ඊළඟ ඡන්දයෙන් පරාද විය. විදේශීය අයිතිය සහ යටත් විජිත රාජ්‍යය අයිතිය යටතේ තිබූ වරාය, ලංගම වැනි ආයතන ජනසතු කල බණ්ඩාරනායක මහතාට වෙඩි තබා මරා දැමීය. මහත්මා දේශපාලනයේ යෙදුනු බත් දුන් පියා, ඩඩ්ලි සේනානායක පරාජයවී යන විට හූ කියා එලවීය. සරසවි සිසුන්ට මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇතුළු බොහෝ සේවා සිදු කළ ලලිත් ඇතුළත් මුදලි ඝාතනය විය. තිස් වසරක යුද්ධය අවසන් කල මහින්ද මහින්ද රාජපක්ෂට හොරා යැයි හංවඩු ගැසීය. (අද වන තුරු එම හොරකම් උසාවියේ ඔප්පු වී නැත.) මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජය ගතහොත් ඒ ලංකාවේ නම් විය නොහැක්කේමය.

:       0       0

thissa Thursday, 27 June 2024 02:54 AM

ලංකාවේ ඉන්න කුහක මෝඩ මිනිස්සුන්ටමතක නැහැ මේ මනුස්සය එන්න ඉස්සර තිබුණු තත්වය. මේ ගත්ත කියන ණය මේ මනුස්සය ගෙදර ගෙනිච්චේ නැහැනේ . ඒවායින් කෑවේ බිව්වේ පහසුකම් ලැබුවේ මේ කුහකයෝ ඇතුළු ඔක්කොම තමයි . අතීතය ගැන කියකිය ඉඳල වැඩක් නැහැ . දැන් කරන්න තියෙන දේ කරනවා මිසක . කවුරුත් කිවේ නැහැනේ ණය හිමියෝ ණය එපා කිව්වා කියලා . ඒවා ගෙවන්න කල් දීම තමයි මෙතැනදී උනේ. බැංකුවක් කරන්නේ අන්තිමට ණය ගැතියාගේ දේපල විකිණීමයි . ඒ නිසා රනිල් මහතා කල දේ තේරුම් ගන්න මේ කුහකයෝ කැමති නැහැ. බලාගෙන ඉඳපල්ලා උඹලගේ කයිය නායක ඇවිත් සේරම උඹලට නිකන් දේවි .මොකද මිනිහගේ තඹුත්තේගම හේන් වලින් එන අදායම ඇතිනේ වැඩේට .

:       0       0

lalith Thursday, 27 June 2024 02:54 AM

බබාගේ තාත්තා ඇවිත් ගහලා එලෙව්වට පස්සේ අල්ලපු ගෙදර එකා ඇවිත් බබාගේ බාප්පා වෙන්න දඟලනවා

:       0       0

Perera Thursday, 27 June 2024 05:28 AM

ලංකාවේ බහුතරය අමුම අමු මැටි මෝල්ලු .උන් මේ වගේ සුරංගනා කතා විශ්වාස කරනවා

:       49       12

ජයනාත් Thursday, 27 June 2024 05:39 AM

ජනතාව ගොනාට අන්දපු කාලෙ ඉවරයි . ඩොලර් බිලියන 100 ණයට කිසිවක් වෙලා නැහැ . වෙලා තියෙන්නේ ⁣ආපහු ගෙවන්න තව කල් දීපු එක විතරයි . දඩ පොලිය සමහර ණයට එකතු වෙලා . මේ වගේ එකකට රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් මෝඩයකුට විතරයි . සුද්දා රට භාර දුන්නා ට පස්සේ රට බංකොලොත් කල දේශපාලකයන් දැන් උදම් අනනවා නම් ඒ ඉදිරියටත් රට විනාශ කරන්න බලාගෙන ඉන්න පිරිසක් . අපනයන ආර්ථිකය වර්ධනය කරන්න මේ වනතුරු කිසිම පියවරක් ගත්තෙ නැහැ .මේ හැත්ත ගෙදරටම ගාල් කල යුතුය .

:       66       15

පියල් Thursday, 27 June 2024 05:39 AM

සුභ ආරංචිය ඔයා මවක් වෙන්න යනවද? අපි හිතන් හිටියේ වෙන කෙනෙක් කියලා.

:       65       11

Saman Thursday, 27 June 2024 06:49 AM

මටනම් මේ රටේ ඉන්න මිනිසුන්ගේ අහන්න තියෙන්නේ හරිම සරල ප්‍රශ්නයක් , දැන් මේ ණය නොගෙවා ඉන්න තව කාලයක් ලැබුන කියල ලොකු ෂෝ එකක් තියල ජාතිය අමතන රනිල් එදා මේ ණය ගන්න කොට රටට කියුවද ? රටේ මිනිස්සු දැනගෙන හිටියට ? ඒවා කෙරෙන්නේ ඔක්කොම හොර පාරෙන් ... ගෙවන්න උනහම තමයි රටේ මිනිස්සු මතක් වෙන්නේ

:       72       11

Lakmal Thursday, 27 June 2024 07:12 AM

මුඩුමයා .ගෙදර යන්න

:       52       14

Chathuri Thursday, 27 June 2024 07:16 AM

මේ තරම් විලාප දෙන්න ඕන නැහැ. තමන් උගත් නම් හොද නරක තේරෙනවානම්. මට වැඩිය උගත් නම්. මේ දරුවා දැන් අන්ග විකල තත්වෙට පත්කෙරුවෙ ඔබ ඇතුලු හොර නඩේ නේද. මහ බැංකුවේ හොරු ඇල්ලුවද. තමන්ගෙ යාලුවා ලොකුම හොරා. මහින්දගෙ පරම්පරාව හොරා කෑවා. දැන් උන්ව රකින්න ජනතාවට බදු වැඩිකරනවා. නඩේ ඉන්නෙ රජයේ නිවාස වල. අපි පන දාගෙන බොරු බිල් ගෙවලා උඹලව නඩත්තු කරන්නම්. දරුවා ගෙ ඇට දෙක වත් නැහැ, ඒකත් විකුනම් කාලා. දැන් දරුවෙක් ගැන කියනවා. ඔය කතාව ලියලා දුන්නෙ අම්මාද. සුද්දා දරුවා බර දෙන කොට මුලු ලෝකේම කිව්වෙ ඉන්ෆ්හියාවෙ මුතු ඇටේ කියලා. දැන් ඒ ඇටේ කෝ. මුන් සේරම වටවෙලා විනාස කරලා. දැන් දරුවා රකින්න චන්ෆ්හේ ඉල්ලනවා. මී හරක් ටිකක් ඉන්නවා උන්ට මුල මතක නැහැ. උන් තප්පුලයි චන්දෙ දවසට. අනිත් සේරම අනුර කුමාරට. මේ රට ගොඩගන්න දරුවට පන දෙන්න පුලුවන් හොර බොරු නැති හොරුන්ට දඬුවම් දෙන නායකයෙක්ට විතරයි

:       77       12

Nalaka Thursday, 27 June 2024 07:39 AM

ඇත්තටම අපි , ණය අරන් හොරා කාලා, කෙලවුනාමා බේරගත්ත පින්වත් සීයාට ඉක්මන් ගමන්...

:       58       12

fairoos Thursday, 27 June 2024 12:12 PM

හොඳටම ඇමැතිලා තියෙනවා දැන් ඉතින් ආපහු අපිට රට බේරගන්න වෙනවා

:       29       2

de silva berlin Thursday, 27 June 2024 03:27 PM

තමුන් නියෝජනය කරන පොහොට්ටු පක්ෂෙට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන අවස්ථාවක පුළුවන් අත්‍යවශ්‍ය ඕනෙම පනතක් සම්මත කරගන්න , විපක්ෂේ උදවු ඉල්ලන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිනම් පමණි , විපක්ෂේත් ආණ්ඩුවට ගියහම , විපක්ෂේ නියෝජනය කරන්නේ කවුද ? එහෙම වුනහම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නැහැ , විපක්ෂේ කිවේ ඔයගොල්ලන්ට කරන්න බැරිනම් ඡන්දයක් තියල ජනතාවට කැමති කෙනෙක් තොර ගන්න ඉඩ දෙන්න කියල , පාර්ලිමේන්තුවේ ජනාධිපති තොරණ කොට විපක්ෂ දේශපාලකයොත් ඉදිරිපත් වුන අභියෝගය භාරගන්න , නමුත් බහුතරයක් තිබෙන පොහොට්ටු පක්ෂේ ඡන්දෙ දුන්නේ පස්සදොරෙන් පාර්ලිමේන්තු පැමිණි ඔබට .

:       65       4

R.T.sarath Thursday, 27 June 2024 03:57 PM

2019 ජනතාව රට භාරදුන්නේ ගොටභය රාජපක්ෂට මිසක් ඔබට ,අනුරට හෝ සජිත්ට නොවේ , 2020 ජනතාව පාර්ලිමේන්තු බලය දුන්නේ පොහොට්ටුවට මිසක් ජවිපෙට හෝ සමගි බලවෙගෙට නොවේ , එම නිසා පොහොට්ටුවේ යුතුකමක් , ගෝටා පැනලගියත් කොහොම හරි රට පාලනය කරන එක , එහෙම නැතුව ජනතා මතයට සහ සදාචාරයට විරුධව සජිත්ට හෝ අනුරට රටපාලනය කරන්න බැහැ , ඔවුන් යථාර්තය තේරුම් ගෙන ජනතා මතයට ගරු කරමින් විපක්ෂේ ඉන්නවා , චන්දයක් තිබොත් ජනතා මතයට අනුව ඔවුන් විපක්ෂේ හෝ පාලක පක්ෂේ කටයුතු කරවී ,මෙවැනි සරල ප්‍රජාතන්ත්‍රවාදයට අදාල දෙයක් තේරුම් ගන්න බැරි වයසක ඔබ කියන බහුභූත වලින් අපට වැඩක් නැහැ . ඔබ අත්‍යවශ්‍ය , රජයේ සේවය , අධ්‍යාපනය , සවුක්ය සේවය ප්‍රතිව්‍යුහගත ගතකරනම් , ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කර ජිවන වියදම අඩු කල නම් සලක බලන්න තිබුන ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 164 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 555 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2897 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1501 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site