IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නාකොටික් කුඩු ජාවාරමට එස්.ටී.එෆ් තව 12 ක් හවුල්

(*** නිමන්ති රණසිංහ)

නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (31) කරුණු අනාවරණය කළේය.

මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක කලුපහනගේ අජිත් ප්‍රේමලාල් නමැති සැකකාර නිලධාරියා සමග මෙම පොලිස් නිලධාරීන් 12 දෙනා කොල්ලුපිටිය මරීනා මෝල් රථ ගාලේදී සිදුකර ඇතැයි කියන හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇතැයි තොරතුරු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේදී සිදුවූ බව කියන හෙරොයින් කිලෝ 294 සිද්ධියට අදාළව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ප්‍රේමසිරි නිලධාරියා සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නිලධාරියා සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති අතර, එම සිද්ධියේ ව්‍යාජ වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම නිලධාරීන් 12 දෙනා සහභාගී වී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා සම්බන්ධ බවට ඔහු අත්අඩංගුවට ගැනීමට මාස දෙකකට පමණ පෙර හෙළිකරගෙන තිබුණත්, ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් තුළින්ම ආවරණයක් බිහිව තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම කාලය තුළ මෙම සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නමැත්තා ඔහුට එරෙහිව ඇති සාක්ෂි වසන් කළා ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුව ඇති බවත්, මාස දෙකක් ගතවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 18 වැනිදා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පිරිස් දැනටමත් නිදැල්ලේ සිටිත් නම් ඒ අය අත්අඩංගුවට ගත යුතුව ඇති බවත්, එසේ නොවුණහොත් තවත් සාක්ෂි විනාශවීමේ හැකියාව ඇතිවා සේම ඔවුන් විදේශගත වීමට වුවද හැකියාව ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත හැකිවූ බවත් මෙම නිලධාරියාට පොලීසියේ ඉහළින් ආවරණයක් ලැබී තිබූ බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිය සැමට පොදු දෙයක් බවත් එය පොලිස් දෙපාර්තමේන්තුවට කියා වෙනසක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙහි යම් අයකු නිදැල්ලේ සිටිනවා නම් එය විශාල ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් වහාම විමසා බැලිය යුතුව ඇති බවත් සඳහන් කළාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සැකකාර උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා මරණීය දණ්ඩනය නියමව සිටින ගම්පොළ විද‌ානලාගේ සමන්ත කුමාර නොහොත් “වෙළේ සුදා” නමැත්තා සමග දුරකතන සංවාද 1000කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වමින් දීර්ඝ වශයෙන් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළිවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (31) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරීන් 13 දෙනා අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා තබා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් ගණන 23 දෙනකු සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම, මෙම ජාවාරම සම්බන්ධයෙන් 14 වන සැකකරු වශයෙන් දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන උදාර සම්පත් නමැත්තා නම් කරනු ලබන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නමැත්තාගේ ඥාති සොහොයුරා ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා, පොලිස් සැරයන් කරුණානායක, උප පොලිස් පරීක්ෂක උපාලි යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:
ස්වාමීනි, මෙහි 14 වැනි සැකකරු වශයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන උදාර සම්පත් නමැත්තා නම් කරනවා. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම සැකකාර නාකොටික් නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් කොළඹට ගෙනල්ලා ඉන් කිලෝ 25ක් හික්කඩුවේ විහඟ ප්‍රභාත් දේවින්ද නොහොත් ‘මැණික්’ සහ ඔහුගේ රියැදුරා වශයෙන් කටයුතු කළ තත්සර කාවින්ද සූරියාරච්චි යන අයට ලබා දෙනවා. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු අනාවරණය කරගන්නවා ‘නීල්’ නමැත්තෙකු සම්බන්ධයෙන්. මෙහිදී නීල්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ වළ දමා තිබියදී හෙරොයින් කිලෝ 11 ග්‍රෑම් 880ක්, ටී-56 ගිනිඅවි 2ක්, එහි උණ්ඩ සහ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල 2ක්, එහි උණ්ඩ සහ මැගසින් ඇතුළු තොගයක් සොයා ගත්තා. මේ සොයාගත් හෙරොයින් තොගය මේ සැකකාර නාකොටික් නිලධාරීන් විසින් බෙදාහරින ලද ඒවා. ඒ වගේම මෙම සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ආයුධ ජාවාරම සිදුකර ඇති බවට මුල සිටම අපි අධිකරණයට දැනුම් දුන්නා. මේ ආයුධ යුද හමුදාවෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් හෝ බෝට්ටුවලින් හෝ ලැබුණු ඒවාදැයි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනය කරනවා.

මෙම සමහර ගිනිඅවිවල අංක මකා දාලා. ඒ සියල්ල ගැන තොරතුරු ලබාගන්න ඕන රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් අනතුරුව තමයි. මේ තොරතුරු අනුව අනිවාර්යෙන්ම සැකකරුවන් සහ ජාවාරම්කරුවන් අතර ඇති සබඳතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ලංකාවේ කීර්තිමත් ආයතනයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මේ ජාවාරම්කාර පිරිස සමග එක්වී ඔවුන්ට ආරක්ෂාව සපයා ඇති බවට මේ අධිකරණයේ හෙළි කිරීමක් කළා. මේ ආන්දෝලනාත්මක සිදුවීම ගැන හෙළි කළාම ඒ ගැන ගොඩක් අය විවේචනය කළා. ඒ වගේම මේ ගැන ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කළෙත් නැහැ. නමුත් මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කලුපහනගේ අජිත් ප්‍රේමලාල් කියන නිලධාරියා එම සැකකාර නාකොටික් නිලධාරීන් එක්ක ජාවාරමට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඔහු අත්අඩංගුවට ගත්තේ 2020 අගෝස්තු මාසේ 18 වැනිදා. අපි කරන්න බැරි දේවල් කිව්වේ නැහැ. කරලා පෙන්නුවා. දැන් මේ සැකකරු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. මේ සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බළකායට බලපෑමක් වෙලා ඇති. නමුත් නිලය, තත්ත්වය සැලකිල්ලට නොගෙන නීතිය ක්‍රියාත්මක කරලා ඔහු අත්අඩංගුවට ගත්තා. මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මරණීය දණ්ඩනය නියමව මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොල විදානගමගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග දීර්ඝ වශයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. වෙලේ සුදා මේ වනවිට රඳවා සිටින්නේ බන්ධනාගාරයේ. මොහු මේ සම්බන්ධතා පවත්වලා තිබෙන්නේ ඒ අවස්ථාවේදී කිසිදු බාධාවකින් තොරව. මොහු අවස්ථා 1000කට වැඩියෙන් දුරකතනය මගින් මොහු හා සම්බන්ධ වෙලා තිබෙනවා. මේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් අනාවරණය කරන්න ගොඩක් අය බය වුණා. මොහු බලපිටිය, මාතර සහ කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ හෙරොයින් සිද්ධීන්වලට සම්බන්ධවෙලා තිබෙනවා. කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ රථගාලේදී සිදුවූ ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකරු සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනකු සම්බන්ධ වෙලා තිබෙනවා. මොවුන් අතරින් ප්‍රේමලාල් නමැති සැකකරු ජාවාරම්කරුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා තිබෙනවා. මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මාස දෙකකට කලින් දැනගත්තා. එහෙත් ඔහු හිටියේ එළියේ. මේ කාලය තුළ මොහු සාක්ෂි මෙන්ම යම් යම් කරුණු ද වසන් කරලා කියලා සැකයක් තිබෙනවා. මොහුට පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් ආවරණයක් ලැබිලා තිබුණා.


අධිකරණය:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම ඔහු අත්අඩංගුවට ගන්න එපැයි. ඒකේ වගකීම තියෙන්නේ සී.අයි.ඩී. එකේ නේද? ඇයි එයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:
මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන පරීක්ෂණ කණ්ඩායම කරන්නේ ලොකු මෙහෙයක්. මේ වගේ උප පොලිස් පරීක්ෂකවරයකුට මේ දේවල් තනියම කරන්න බැහැ. විශාල මුදලක් වියදම් කරලා තොරතුරුකරුවන් මෙහෙයවන්න, ලොකු මුදල් යොදවලා බෝට්ටු ගන්න මේ නිලධාරීන්ට තනිවම කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා විහිදෙනවා. මේ පොලිස් නිලධාරියාට තනිවම ගොස් මේ දේවල් කරන්න බැහැ.

අධිකරණය:
 දැනටමත් මේ සිද්ධියට සම්බන්ධ තවත් අය නිදැල්ලේ ඉන්නවා නම් ඒ අය අත්අඩංගුවට ගන්න එපැයි. ඒකට සී.අයි.ඩී. එකට බාධාවක් නැහැ නේද? එහෙම නොවුණොත් මේ විමර්ශනවලට ඒක බාධාවක්. මේ නිසා තවත් සාක්ෂි විනාශ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොවුන් විදේශගත වෙන්න පුළුවන්. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:
 මාස දෙකක් ගිහිල්ලත් මේ නිලධාරියා අත්අඩංගුවට ගන්න බැරි වුණේ පොලීසියේ ඉහළ නිලධාරීන්ගෙන් ආපු බලපෑම් නිසයි. අධිකරණයට වාර්තා කළාට පස්සේ තමයි මෙහෙය හරි වුණේ. මේ නිලධාරියාට විශාල ආවරණයක් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම තිබුණා.

අධිකරණය:
නීතිය හැමෝටම එකයි. පොලිස් දෙපාර්තමේන්තුවට කියලා වෙනසක් නැහැ. මේ අය නිදැල්ලේ ඉන්නවා නම් ඒක ගැටලුවක්. ඒ නිසා මේක ගැන බලන්න ඕන.
සැකකාරයන් සතුව තිබී අත්අඩංගුවට ගත් ගිනිඅවි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඒවා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව එම ගිනිඅවි සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
මෙහි සැකකරුවන් සම්බන්ධයෙන් වූ ලිඛිත සැලකිරීම් කිහිපයක් ද ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය වෙත භාරදුන්නා.
මෙහි සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ 2019 වර්ෂයට අදාළව දෛනික කුලී පදනම මත වෑන් රථ සහ කැබ් රථ ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පොලිස්පතිවරයා අවසර ලබා දී ඇති බවය. නමුත් මේ සම්බන්ධයෙන් පැමිණිල්ල අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බව ද මෙහිදී නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරමින් සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මෙම සිද්ධියේ සැකකාර නාකොටික් නිලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩුව ද ඊයේ (31) අධිකරණය හමුවේ කැඳවීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සැකකරුවන්ට අයත් ඉඩම් 23ක් මේ වනවිට සොයාගෙන ඇති බවය. විශේෂයෙන්ම මෙහි සැකකරුවන් ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලින් මෙම ඉඩම් ලබාගෙන ඇත්තේ අඩු වටිනාකම් ඉදිරිපත් කරමින් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම තැනැත්තන්ගේ තොරතුරු සොයාබැලීම සඳහා ණය තොරතුරු කාර්යාංශයෙන් විමසීමට අදාළව අවසරය ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අධිකරණය අදාළ නියෝග ලබාදුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියේදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන ලයනල්, උප පොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උප පොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි, පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ සහ සුබසිංහ ආරච්චිගේ දිනේෂ් නිර්මල යන අයවලුන්ය.

 



අදහස් (2)

නාකොටික් කුඩු ජාවාරමට එස්.ටී.එෆ් තව 12 ක් හවුල්

banda Tuesday, 01 September 2020 07:44 AM

බලාගෙන ගියාම එස්.ටී.එෆ්. එකේ ඉන්නෙත් ගල් හොරු නේද?

:       0       25

Bamunuarachchi Tuesday, 01 September 2020 11:55 AM

ඉන්න අයට පාඩමක් ඉගෙන ගන්න මේ අයව රැකියාවෙන් දොට්ට දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1439 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2886 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 834 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2215 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1185 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5797 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 402 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site