ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාවට තිබෙන කැක්කුමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ අයිතිවාසිකම් සහ කැක්කුම දෙරටේම ජාතික දේශපාලනය තුළ සුප්‍රකට, එසේම ඉහළ ඉල්ලුමක් ඇති රසවත් කටගැස්මකි. ලංකාවේ නම් ජාතික මැතිවරණ තුළද ඉන්දියාවේ නම් ප්‍රාන්ත මැතිවරණවලද අතදිග හැර මාකට් කළ හැකි මාතෘකාවකි. ඒ අනුව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය ‘වැලන්ටයින්’ දවසේ චෙන්නායි හිදී කළ ප්‍රකාශය දෙරටේම ජාතික සහ ප්‍රාන්ත දේශපාලනයට මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලටද අදාළ විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වීම වැදගත්ය.
මෙරට දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබඳව ඉන්දීය නායකයකු විසින් ප්‍රකාශයක් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. යුද්ධය පැවැති කාලය තුළ මෙවැනි ප්‍රකාශ ලවක් දෙවක් නැතිව නිකුත් කෙරුණු බව අපට මතකය. එහෙත් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොටින් විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව එවැනි ප්‍රකාශ නිකුත්වීම අඩු විය. ඒවායේ සැර බාල විය. එතෙක් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පිළිබඳව සතුරු ආකල්පයකින් සහ මෙරට රජයේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය වන අන්දමින් නිකුත් කෙරුණු ප්‍රකාශ, රටේ යුද්ධය ඉක්මනින් අවසන් වී සිංහල-දෙමළ සියලු ජනතාවට සාමකාමීව සහජීවනයකින් යුතුව ජීවත්විය හැකි විසඳුමක් අවශ්‍ය බවට පළකෙරෙන දියාරු ප්‍රකාශ බවට පත්විය. යුද්ධය අවසන් වීමෙන් පසුව ඉන්දියාව දැරූ ස්ථාවරය වූයේ උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස සහ ඔවුන්ගේ අභිලාෂ ඉටුකරගත හැකි විසඳුමකි. එසේම මෝදිගේ රජය බලයට පත්වීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කලින් තිබුණාට වඩා සමීප සහ මිත්‍රශීලී බවක් ගොඩනැගුණු බව කැපී පෙනෙයි. මෝදි යුද්ධයට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට පත්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.
එසේ ශ්‍රී ලංකාව සමග යහපත් සහ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනංවාගෙන තිබූ මෝදි හදිසියේම ශ්‍රී ලංකාවේ ‘දෙමළ සහෝදර සහෝදරියන්ගේ’ සුබසාධනය සහ අභිලාෂයන් ඉටුකර ගැනීම ගැන කතාකර තිබේ. සිය ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවගේ යහපතට සැමවිටම පියවර ගෙන ඇති බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් කියමින් සිදුකළ මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ රජයේ දැඩි අවධානයට ලක්වූ බවට සැකයක් නැත. දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කරදීමට ක්‍රියාකරන බවටද මෝදි සිය ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවට මතක් කර දීමක් කර තිබේ.
ඒ සමගම ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ කාර්යාල ශ්‍රී ලංකාවේත් නේපාලයේත් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයිද සඳහන් වෙයි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා මේ බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබිණි. සමහරවිට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ආසන්නව තිබෙන හෙයින් මෝදිගේ මේ කතා දේශපාලන වාසි ලබාගැනීමට කරන කතා වශයෙන්ද අර්ථ නිරූපණය කළ හැකිය.
මේ ප්‍රකාශ දෙකම ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සිදුකෙරුණු රාජ්‍යතාන්ත්‍රික තරවටුවක්දැයි අවබෝධ කර ගැනීම ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රථම කාර්යය බව අපි සිතමු. ජිනීවා මානව හිමිකම් සැසියේ රතු එළි දැල්වෙමින් තිබියදී කලාපීය රාජ්‍ය නායකයන්ගේ සහයෝගය ලබාගැනීම ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වන අවස්ථාවක එම නායකයන් සමග අමනාප නොවී සහයෝගයෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙයි. එහෙත් පසුගිය කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කළ ආකාරය එම කොන්දේසිය ඉටු කිරීමට වඩා එය කඩකිරීමට හේතු වූවාදැයි යන සැකය අප තුළ වෙයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ අර්බුදය එහි ආසන්නම අවස්ථාවය.
ජිනීවා මානව හිමිකම් කොමිසම මෙවර ශ්‍රී ලංකාව දැඩි ග්‍රහණයකට හසුකර ගැනීමට පිඹුරුපත් සකසන බවට හැම අතින්ම ලකුණු පහළ වෙමින් තිබියදී මෙවැනි ප්‍රකාශ රටට අවාසියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව තුළ මානව හිමිකම් කඩකළ බවට බරපතළ චෝදනා ඇතුළත්ව තිබෙන බවද උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඒ අතරේ තිබෙන බවද සඳහන් වෙයි.
මේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබුණත් මානව හිමිකම් සැසිවාරය තුළදී එම වාර්තාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට එය බාධාවක් නොවේ. මෙහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය තුළ තමන්ට හිතවත් රාජ්‍ය නායකයන් පිරිසකගේ සහයෝගය ලබාගනිමින් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික පවුරක් ගොඩනංවා ගැනීමය. එවැනි වැඩපිළිවෙළකට ඉන්දියාවේ සහයෝගය ලැබිය යුතුමය. එහෙත් මෝදිගේ කතාවෙන් පැහැදිලි වන්නේ ඉන්දියාව උතුරේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ ජිනීවා කොමිෂන් සභාවේ වාර්තාව අතර වැඩි වෙනසක් නැති බවය. මේ තත්ත්වයට හේතු වූයේ කුමක්දැයි තේරුම් ගැනීම රජයේ වගකීමය.
ඉන්දීය අගමැතිවරයා ඉහත සඳහන් මතභේදකාරී ප්‍රකාශය සිදුකර තිබුණේ චෙන්නායි හිදී ය. ලබන අප්‍රේල් මාසයේ තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතර චෙන්නායි එහි දේශපාලන වශයෙන් ඉතාම වැදගත් නගරයයි. තමිල්නාඩුවේ ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 62.6ක් වන අතර එහි අති බහුතරය දෙමළ ජාතිකයෝ වෙති. මේ නිසා මෝදි ලංකාවේ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සානුකම්පිතව කතා කිරීම තමිල්නාඩුව තුළ තමන් සහාය දක්වන පාර්ශ්වයට ඡන්දය ලබාගැනීමේ කදිම තුරුම්පුවක්ද විය හැකිය. එය එසේමදැයි හරියටම කිව නොහැකි වුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තීන්දු ගැනීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම පෙන්නුම් කරන අවිනිශ්චිතභාවය සහ ප්‍රතිපත්තිමය ගැටුම් මේ ආකාරයෙන් අනවශ්‍ය විදෙස් අතපෙවීම්වලට දොර හැරදෙන බවද පෙන්වා දිය යුතුය.
(***)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝදි මේ තැනට ආවේ ශ්‍රී ලංකාවේ වරදින් නොවේද?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 February 2021 06:20 AM
සත්‍ය වශයෙන්ම, මෝදි ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකුව සිටියේය. අපට උදව්, උපකාර කළේය. ගිලන්රථ සේවය එවන් එකකි. ඒත්, අපේ බොහෝ පක්ෂවල දේශපාලකයින් එදා එයට විරුද්ධ විය. ලොව රටවල කොටස් වෙළෙඳපොළ හරහා ගනුදෙනු කරනුයේ අදාළ රටට හෝ සමාගමට කොටස් සීයට 51ක් තබාගෙන ඉතිරි ඒවා කොටස් කරුවන් අතර බෙදාදීම වේ. ඇමරිකාව ඇතුළු ලොව දියුණුවේ.. ව්‍යාපාරික න්‍යාය මෙයයි. මෙය රට හෝ ඒ සමාගම් විකිණීමක් නොවේ. මේ දේ නොදත්, උද්ඝෝෂකයන් හා උපවාස කරුවන් නිසා හොඳින් විසඳීමට ගිය ප්‍රශ්නය අවුලක් බවට පත්විය. කරුණු නොදත් ඇතැම් දේශපාලකයන් සාමාන්‍ය ජනයාව තම පැත්තට හරවා ගැනීමට ලේ රත්වෙන සටන්පාඨ කියනු පෙනුනි. මේ රටේ ජනතාවද සැමදාම පක්ෂ පාටට රැවටෙන කොටසකි. ඔවුන්ටද පුහු සටන් හා සටන් පාඨද, උපවාස වැනි දේ සැබෑ දේට වඩා වටින්නේය. වෘත්තීය සමිතිකාරයින්ගේ හා උපවාස කරුවන්ගේ ව්‍යාපාරික නුවණ ගැන ඔවුන්ට වුවමනාවක් නැත. ජැටිය ගනුදෙනුව සඳහා ඇතැම් දූෂිත දේශපාලකයන් අල්ලස් ගත්තේ යැයි පැතිරෙන ආරංචි වල හරි වැරැද්ද ගැන අප දන්නේ නැත. කිසිඳු පැත්තකට ආවඩන්නට අපට අවශ්‍ය නැත. එහෙත්, අපගේ නොදැනීම හා දුරදිග නොබලා කටයුතු කිරීම නිසා ඉන්දියාව අමනාප වූ බව නොකිය නොහැක්කේය.
gamunuWednesday, 17 February 2021 05:50 PM
එසේ ශ්‍රී ලංකාව සමග යහපත් සහ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනංවාගෙන තිබූ මෝදි හදිසියේම ශ්‍රී ලංකාවේ ‘දෙමළ සහෝදර සහෝදරියන්ගේ’ සුබසාධනය සහ අභිලාෂයන් ඉටුකර ගැනීම ගැන කතාකර තිබේ. එයට හේතුව නම් ලංකාවේ රට පාලනය කරන සහෝදර සමාගම ඔවුන් පිළිබඳ කිසිඳු තැකීමක් සිදු නොකරන නිසාවෙනි.
chandana Wednesday, 17 February 2021 06:25 AM
සමස්ථ ඉන්දියාව කිසිඳු කලක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිට නැත. එබැවින් රටක් වශයෙන් ඉන්දියාව විශ්වාසී සගයකු නොවේ. එහෙත් ඉන්දියාවේ ශ්‍රී ලංකාවට පක්ෂපාතී අදහස් දරන්නන්ගෙන් අඩුවක් නැත. ඉන්දියාව වේවා, ඇමරිකාව වේවා බ්‍රිතාන්‍යය වේවා අපේ රටට කරන අතපෙවීම් පාලනය කිරීම සඳහා ස්වදේශික චින්තනයෙන් පොහොසත් වූ, රටපුරා එකම නීතියක් බලගැන්වෙන, දේශීය සම්පත් විදේශකරණය කළ නොහැකි, බුදු දහමත්, සංස්කෘතිත් බලගන්වන, රට පාවාදෙන්නවුන්ට දැඩි දඬුවම් පැමිණවිය හැකි, ශක්තිමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර පාර්ලිමේන්තුවේ 2/3ත්, ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතුයි.
sharm warn Wednesday, 17 February 2021 07:06 AM
කතුතුමා ඔබ හරියටම විග්‍රහ කර තිබෙනවා.. අපේ දේශපාලකයන්ගේ අමන තීරණ නිසා අද අපි වැටිලා තියෙන තත්වය. මේ රැළට පුටුව රැකගන්න ඕනෑ වෙද්දී ‘‘අනේ ඉතින් කමක් නැහැ.. ඔයගොල්ලොත් ඡන්දය ඉල්ලන්න..අපේ අමනාපයක් නැහැ..කියලා නිකන්ම රට පාවලා දෙන්න බැරි කමක් නැහැ.. එච්චරටම අදූරදර්ශී පාලනයක් මේ රටේ තියෙන්නේ. වැඩියෙන්ම ගොනාට අඳින්න බලාගෙන ඉන්න මිනිස්සු ඡන්දෙ දෙන්න ඉන්නකොට මේවා සරල උපක්‍රම..
චින්තක Wednesday, 17 February 2021 10:51 AM
ඔබතුමා "මංගලගේ" නෑයෙක්වද්ද? ඔබතුමා කියන විදියට මෝදිව හොඳින් තියාගන්න, ජිනීවා වලදී අපිට පක්ෂව ඡන්දය දෙන්න අල්ලසක් විදියට අපේ වගේම, අපේ දරුවන්ගේ ජාතික උරුමයන් වන වරාය, ගුවන්තොටුපල වගේ ජාතික සම්පත් ඉන්දියාවට දෙන්න ඕනෑද? රටේ බහුතරයක් ජනතාව ඔබතුමන්ලාව ගෙදර යැව්වේ ඔය "හම්බන්තොට වරාය" වගේ උරුමයන් නොරටුන්ට දොළ පිදේනි විදියට දුන්නු නිසා තමයි. අනික් අතට මෝදිගේ තරවටුව ගැන ලොකුවටම පුදුම වෙන්න ඕනත් නැහැ.
anura Wednesday, 17 February 2021 07:33 AM
මම නම් හිතාගෙන හිටියේ ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයා මනුෂ්‍යයෙක් කියලා. එවැනි බාරදූර තනතුරක් උහුලන්නෙක් තරහා ගියාට තීරණ ගන්නේ නැහැ. එසේ කරණවානම් ඔහු මනුෂ්‍යයෙක් නොව වන අලියෙක්, කොටියෙක් වැනි සතෙකි...
Nuwan Wednesday, 17 February 2021 08:41 AM
2009 යුද ජයෙන් පස්සේ කොච්චර හොඳට කරන්න තිබුණු රටක්ද මේක? තට්ටු මාරු ක්‍රමයෙන් රට දේශපාලුවෝ කෑවා. පවුල් බලය සහ විදේශීය සංහිඳියා න්‍යාය පත්‍ර මේ රට අද තියෙන විනාශ මුඛයට ඇදලා දැම්මා. කව්රු හරි තවත් දේශපාලකයන්ගේ වහල් කමින් බැඳිලා ඉන්නවා නම් ඒ තරම් නූගතුන් මේ ලෝකේ කොහෙවත් නැහැ ලංකාවේ ඇරෙන්න.
දිලාන් Wednesday, 17 February 2021 10:53 AM
ලොක්කා, රටක් දුවවන්න ඔහේලා, අපි වගේ ජොකියන්ට බැහැනේ, දේශපාලකයන් ඉන්නම ඕනෑනේ..
NuwanWednesday, 17 February 2021 01:23 PM
ලංකාවේ ඉන්න ලොන් හැලිච්ච බල තණ්හාවෙන් පෙලෙන ජෝකියෝද රටට ඕනේ? නැත්නම් සිංගප්පුරුවේ වගේ රට පෙරට තබා වැඩ කරන ජෝකියෝද?
වීරසිංහ.Wednesday, 17 February 2021 03:32 PM
නුවන් මහතා ඔබ මෙන් නොවේ. හොඳ ජොකියෙකි. රටක් දුවවන්න ඔබ වැන්නන් හට නොහැකි වුවත්, නුවන් මහතා වැනි සුපිරි ජොකියන්ට පුළුවන් බව ඔබ වැනි ජොකියන් දැනගැනීම වැදගත්ය...
දිලාන් Wednesday, 17 February 2021 07:23 PM
වැඩ්ඩා වගේ ඕපාදූප කෙටුවට ලෝකේ ගැන දැනුමෙන් නම් හීන පාටයි. ලොක්කා ඔය උදේ හවස දණ්ඩ නමස්කාරය කරන සිංගප්පූරුව සුර පුරයක් කෙරුවේ "ලී කුවාන් යු" කියන මහලු දේශපාලකයා මිසක් ඔය පොර ටෝක් දෙන වෙන ජෝකියෝ නෙමෙයි. එතකොට අද ලෝකෙන්ම බලවත්ම රට වෙන ඇමෙරිකාව පාලනය කරන්නේ "ජෝ බයිඩන්" කියන අවුරුදු 78ක මහල්ලෙක්. කොටින්ම කියනව නම් ඇමෙරිකාවේ රජ පුටුවේ කවදාවත් අවුරුදු 55ට අඩුවයසේ කෙනෙක් වාඩිවෙලා නැහැ. තවත් ඕනෑම නම් ලෝකේ දෙවන බලවත්ම රාජ්‍ය වන රුසියාව වැටුණු තැනින් නැගිට්ටලා ගත්තේ අවුරුදු 68 ක වයසක් තියන "පුටින් " කියන නායකයා. රටේ මායිම් ගම්මාන සංකල්පය ඇතිකරලා ගොවි ජනපද බිහිකරේ සේනානායක කියන 67 ක වයස දේශපාලකයෙක්. එතකොට අපි අවුරුදු 30ක් බැටකාපු යුද්ධය නවත්වන්න නායකත්වය ගත්තේ "මහින්ද රාජපක්ෂ" කියන අවුරුදු 60 ගාණක වයස මනුස්සයෙක්.. ඔය දේශපාලකයන් "එපෝ එපෝ" කියලා පොර වෙන්න ජෝක් දැම්මට රටක් දුවවන්නේ දේශපාලකයන් ලොක්කා. බුද්ධිය අඩු මනුස්සයාට ඇත්ත තිත්තයි ලොක්කා...
Rata PerataFriday, 19 February 2021 08:07 AM
ලොක්කා කට වහගෙන හිටියා නම් දැනුම ටිකක් තියෙනවා කියලා හිතාගන්න තිබුණා..
Nirosh Wednesday, 17 February 2021 09:29 AM
ඔබතුමා හරි, දෙයක් දෙනවා කිව්වා නම් ඒක දෙන්න ඕනෑ. නැගෙනහිර ජැටිය දුන්නා නම් මේ ප්‍රශ්න නැතිවෙන්න තිබුණා. දැන් බලන්න කරගත්තු අපරාදයක්.
Thiw Wednesday, 17 February 2021 09:43 AM
ඉන්දියාව ඔය විදිහටම මැලේසියාවේ දෙමළ අයගේ ප්‍රශ්න වලට අත දාන්න ගියා, මැලේසියාව කිව්වා තමන්ගේ රටේ දේවල් වලට හොට දාන්න එන්න එපා.. අපි ඒවා බලාගන්නම් කියලා, ඉන්දියාව කට වහගත්තා..
විජිත් Wednesday, 17 February 2021 12:02 PM
ශ්‍රී ලංකාවේ මෝඩ පාලකයිනේ..., ඔබලා වැපිරූ දේවල් තමයි මේ දැන් නෙලාගනිමින් පවතින්නේ. මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලනය කාලේ චිනාව අතේ දුරින් තියාගත්තේ. කිහිපවරක්ම සමහර ව්‍යාපෘති චීනාට නොදී තිබුණා. ඒ වගේමයි ඉන්දියාව සමගත් සමාදානයෙන් හිටියා. එයට හේතුවක් තියෙනවා. චන්ද්‍රිකාට ජාත්‍යන්තර දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා. ප්‍රංශයේ සයන්ස්පෝ උසස් අධ්‍යාපන ආයතනයේ ඉගෙනීමෙන් ඇය ලද දැනුම මේ සඳහා ඉවහල් වෙන්න ඇති කියා සිතමි. නමුත් මහින්ද රාජපක්ෂගේ කාලයේදී චීනා මේ රටට ඔලුව දා ගත්තා. දැන් චීනා අපිට කොරෝනාවට වඩාදරුණු වසංගතයක් වෙලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ රජයක් යටතේදී ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන්නා. දැන් ඒ අසල ඇති අනෙකුත් ටැංකි අසලටවත් අපේ මිනිස්සුන්ට ඉන්දියන් කාරයෝ එන්න දෙන්නේ නැතිලු. ත්‍රිකුණාමලේ වරාය අමෙරිකාවෙන් ඉල්ලනවාලු.. රනිල් ඒ ගැන අකමැති නැතිව හිටියාලු, MCC ගිවිසුම අත්සන් කරන අන්තිම දවසත් අපිට දැනුම් දීලා තිබුණාලු... ඒ දිනය පැන්න ගමන් පාස්කු බෝම්බය පිපුරුවා. ඒ අපිට අවවාදයක් ලෙස කළ චුටි තරවටුවක්ද..?
Raveenda Wednesday, 17 February 2021 03:01 PM
අප තනි පුද්ගලයන් හැටියට මෙන්ම රටක් විදියට සැවොම සමග සුහදව සිටිය යුතුය. එහි කිසිදු වැරද්දක් නොමැත. එලෙසම කිසිවෙකුට අපේ පුද්ගලිකත්වයට හෝ රටේ අභ්‍යන්තර දේවලට ඇඟිලි ගසන්නේ නම් එයට අප එකහෙලා විරැද්ධ විය යුතුමයි.? තවද තමන්ගේ අභිප්‍රායන් ඉටුනොවීම හේතුවෙන් කිසිවෙකු මිත්‍රකම අමතක කරන්නේ නම් නියම මිත්‍රයකු නොවෙන බව පැරණි කියමනකි. එය අදටත් වලංගුයි. මක්නිසාදයත් මිත්‍රකම පවත්වාගෙන ඇත්තේ යටි හිතේ ලාබ ප්‍රයෝජන ගොන්නක් හිතේ තබාගෙන පමණක් බැවිනි...
වින්කා Thursday, 18 February 2021 05:53 AM
නිවටකම් වල සීමාවක් තිබිය යුතුයි. ඉන්දියාව කවද්ද අවට රටවල් එක්ක හොඳින් හිටියේ?