මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට වූයේ පොඩි අතුල යන නමිනි. අසූව දශකයේ ඔහු පුවත්පත් කලාවට පිවිසි දා සිටම සමීපතමයන් ඔහුට ආමන්ත්‍රණය කළේද ‘අතුල අයියා’ යන නමින්ය. ඉකුත් 19 වැනිදා ඔහු මියගියේ 76 වැනි වියේදීය. මෙරට ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ආරම්භකයා ලෙස වික්ටර් අයිවන් මහතාට ජනමාධ්‍ය සමාජයේ බුහුමන් හිමිවේ.
1987 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුර පුවත්පත්වල පළ වූ කැරලිකරුවන් පිළිබඳ ලිපි ලේඛනවලට තරුණ පරපුර අතර විශාල ඉල්ලුමක් ඇති විය. තරුණ පාසල් සිසුවකු ලෙස අපට ද මෙම ස්වභාවධර්මයාගෙන් උරුම වූ අරගලකාරීත්වයෙන් මිදීමට නොහැකි විය. දේශප්‍රේමීන්ට හිතවත්කමක් දක්වන ‘රාවය’ නමැති සඟරාවක් ගැන අපට දැනගන්නට ලැබුණේ ඒ අතරතුරය. පුවත්පත් කඩයට ගොස් ඉතා රහසිගතව ලබාගත් රාවය සඟරාවක් පාසල් පොත් බෑගයේ දමාගෙන ගෙදර ආවේ රටක් රාජ්‍යයක් දිනාගත්තාක් හා සමානවය. වික්ටර් අයිවන් නමැති මාධ්‍යවේදියාගේ හැකියාව අප මනසට කා වැදුණේ 1988 පෙබරවාරියේදී පමණය. එතැන් සිට වසර කීපයක් යනතුරුම රාවය නමැති සංවාදශීලි සඟරාව තුළින් දේශපාලන පිපාසය සංසිඳවා ගත් පරම්පරාවේ එක් සාමාජිකයකු වීමි.
එකල සෙසු ජාතික පුවත්පත් මෙන් ප්‍රවෘත්තිමය ආවරණයකින් නොව රාවය සංවාදශීලි ජාතික මාසික සඟරාව සැකසී තිබුණේ කාලීන උණුසුම් දේශපාලන මාතෘකා වලිනි. 1987 – 1989 යන වසර තුනක කාලය තුළ දේශපාලන සංවාදශීලි සඟරාවක් පවත්වාගෙන යාම එකිනෙකා කාගෙන යුද වැදුණු දෙපාර්ශ්වයක් අතර ඉතා අසීරු කරුණකි. එහෙත් වික්ටර් අයිවන් ඉතා විචක්ෂණ ශීලීව එම වසර තුන ගෙවා ගත්තේය. ජවිපෙ කැරැලිකරුවන් ගැන මෙන්ම රජයේ හමුදා පිළිබඳවද විචාරශීලී ලිපි එහි පළවිය. එහෙත් දෙපාර්ශ්වයෙන්ම මරණ වරෙන්තු ගෙන්වා ගැන්මකින් තොරව එකී කාලසීමාව පසුකර යාමට ඔහු සමත් විය.
එක්දහස් නවසිය අසූව සහ අනූව අතර දශකය තුළ මෙරට දේශපාලනයේ බුද්ධිමතුන් මෙන්ම පතාක යෝධයන් දුසිම් ගණනක් රටට අහිමි විය. උතුරේ ඊළාම් අරගලයත් දකුණේ ජවිපෙ අරගලයත් එයට බලපෑවේය. පැවැති එජාප ආණ්ඩුව ගත් සමහර වැරදි තීන්දු හේතුවෙන් රටම ගිනිගත් ඒ අඳුරු දශකය තුළ එජාපයේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක වැනි විශිෂ්ඨ ඝනයේ නායකයන්ද ජවිපෙ නායක රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක හා සමන් පියසිරි ප්‍රනාන්දු වැනි විශ්මය ජනක හැකියාවෙන් යුත් නායකයෝ ද විජය කුමාරතුංග වැනි රටම ආදරය කළ නායකයෝද අකාලයේ මරු වැලඳ ගත්හ. එහිදී ලලිත් ඇතුලත්මුදලි තමා එතෙක් කල් සේවය කළ එජාපය විසින්ම එලවා දමනු ලැබ සිටියේය. ලලිත් සමග වික්ටර් අයිවන් මහතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. ලලිත් ඝාතනය වූ පසු ‘ලලිත් ඔබට ආයුබෝවන්’ යන හිසින් වික්ටර් අයිවන් ලියූ ලිපියක මේ කරුණු අඩංගුය.
‘ලලිත් ඇතුළත්මුදලි මහතාට ආවේණිකව තිබූ ඉතා වැදගත් තවත් ලක්ෂණයක් වූයේ එක් ක්ෂේත්‍රයක සිට ඊට මුළුමනින්ම වෙනස් තවත් ක්ෂේත්‍රයකට මාරුවීමට ඔහුට තිබූ අපූරු හැකියාවය. ඔහු තමන් යටතේ තිබූ හැම අමාත්‍යාංශයක්ම ඉතාමත් දක්ෂ ලෙස පවත්වාගෙන ගිය අතර තමන් යටතට පත් හැම අමාත්‍යාංශයක් වෙනුවෙන්ම කැපී පෙනෙන වැඩකොටසක් ඉටු කිරීමටද සමත් විය. දෝෂාභියෝගය ජය ගන්නවාට වඩා පරාජය වීම යහපත් යැයි මම සිතමි. එය ජයගත්තේ වී නම් වෙනසක් ඇති වන්නට ඉඩ තිබුණු මුත් එය ගැඹුරට මුල් දිව යන වෙනසක් වනු ඇතැයි සිතිය නොහැකිය.’ වික්ටර් අයිවන් සඳහන් කරයි. ලලිත් හා ගාමිණී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහායෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝගයේදී සිට වික්ටර් අයිවන් මහතා පෙනී සිටියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම සඳහාය. පසුකාලීනව 2001 – 2004 එජාප රජය යටතේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ බොහෝ ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට ඔහු සමත් විය. ‘තොරතුරු පනත’ ඉන් එකකි.
ලංකාවේ සිංහල පුවත්පත් කලාවේ දේශපාලන විචාර පිළිබඳ නම්දැරූ පුවත්පත් කලාවේදීහු තිදෙනෙක් වෙති. වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය සහ උපුල් ජෝශප් ප්‍රනාන්දු ඒ තිදෙනාය. මේ තිදෙනාටම එකිනෙකාට අනන්‍ය රටාවක් ඇත. වික්ටර් අයිවන්ගේ දේශපාලන විචාරය කියවන්නාට මාතෘකාවට අදාළ බොහෝ කරුණු කාරණා ඉගෙන ගත හැකි වෙයි. ඔහුගේ ලියවිල්ල සිත් කාවදී. බොහෝ දේශපාලන විචාරවල ඇති නිසරු වැකි එහි නැත. සෑම විටම තමා ලියන ලිපිය පිළිබඳ වගවීමක් ඔහු තුළ තිබූ අතර ලිපිය කියවන පාඨකයාට සාධාරණයක් ඉන් ඉටුවිය.
රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ අභීත මාධ්‍ය මෙහෙවරේ කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ අධිකරණ ස්වාධීනත්වයට එල්ල වූ බාධා සම්බන්ධයෙන් ‘රාවය’ පුවත්පත ඔස්සේ කරන ලද දිගුකාලීන අරගලයයි. නීතිපති සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු කරමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීන්දුවට එරෙහිව වික්ටර් අයිවන් තම විරෝධය පළ කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ඉදිරියේ අගවිනිසුරු ලෙස සරත් නන්ද සිල්වා මහතා දිවුරුම් දෙන ඡායාරූපය ඔළුවෙන් සිටුවා පළ කරමිනි.
‘අධිකරණ නිදහසේ මළගම’ යන මාතෘකාවෙන් යුතුව එදින රාවය පුවත්පතේ මුල් පිටුව පළකරන ලද්දේ සම්පූර්ණයෙන්ම කළු පැහැයෙනි.
ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහතා රාවය ටැබ්ලොයිඩ් පුවත්පතක් බවට පත්වෙද්දී එහි ආරම්භක ඡායාරූප ශිල්පියාය.
අතුල අයියා (වික්ටර් අයිවන්) සමග ප්‍රියන්ජන්ගේ සබඳතාව ඉතා පැරණිය.
‘මම රාවය ඇසුරු කරන්නට පටන් ගත්තේ එය සඟරාවක් ලෙස පැවැති සමයේ සිටමය. ටැබ්ලොයිඩ් පුවත්පතක් බවට පත්වෙද්දී මට රාවයේ ඡායාරූප ශිල්පියා ලෙස බැඳෙන්න අවස්ථාව ලැබුණා. අතුල අයියා තමයි අපිව ගවේෂණාත්මක මාධ්‍ය කලාවක යෙදෙන්න මෙහෙය වූවේ. මෙරට ගවේෂණාත්මක මාධ්‍යකලාවේ ආරම්භකයා වන්නේ අතුල අයියා. රාවය සඟරාවක් ලෙස තිබියදී එයට බ්‍රෝඩ්ෂීට් පත්තරයක් බවට පත්වෙන්න ප්‍රතිපාදන ලබාදුන්නේ එවකට ඇමැතිවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහත්තයා. ලලිත්ව ඊළඟ ජනාධිපති කරන්න අතුල අයියා පත්තරෙන් ලොකු සටනක් අරගෙන ගියා. ඒ එක්කම දෝෂාභියෝගය ආවා, දේශපාලනය වෙනස් වුණා. ඇතුළත්මුදලි ඝාතනය වුණා. ඊට පස්සෙ ඊළඟ ජනාධිපති ධුරයට චන්ද්‍රිකා සුදුසුයි කියන මතවාදය ගෙනාවෙ අතුල අයියා. ඔහු ඒ වෙනුවෙන් වෙහෙසුණා. අතුල අයියා චන්ද්‍රිකාව පොලඹවා ගත්තා බස්නාහිර මහ ඇමැති ලෙස පළාත් සභාවට තරග කරන්න ලංකාවට එන්න. චන්ද්‍රිකාගේ ඡන්ද කැම්පේන් එකේ ඡායාරූප ටික ගැනීමත් මටයි භාර දුන්නේ. චන්ද්‍රිකා දිනුවට පස්සේ අතුල අයියා චන්ද්‍රිකාගෙ උපදේශකයකු ලෙස හිටියා. ඊට පසුව විරසකයක් ඇතිවුණා.’ ප්‍රියන්ජන් සඳහන් කළේය.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ වික්ටර් අයිවන් අතර විරසකයට හේතු වූයේ ඔහු බලාපොරොත්තුව සිටි කුමක් හෝ රජයේ තනතුරක් ලබා දීම චන්ද්‍රිකා ප්‍රතික්ෂේප කිරීමය. ඒ පිළිබඳ විවිධ කටකතා ඇතත් ඒවා තහවුරු කිරීමේ ස්වාධීන මාර්ගයක් අපට නැත. චන්ද්‍රිකාට බලය ලබා ගැනීම සඳහා තම පුවත්පතෙන් සුවිශාල සේවයක් කළ වික්ටර් අයිවන් ඉන්පසුව චන්ද්‍රිකා රජය සමග දැඩි ගැටුමකට පිවිසෙන්නේ එවකට නීතිපති සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීමට චන්ද්‍රිකා ජනපතිනිය ගත් තීන්දුවත් සමගය. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ඒ පිළිබඳ මතකය මෙසේ දිග හරියි.
‘සරත් සිල්වාගේ ප්‍රශ්නයේදී පත්තරයෙ මුල් පිටුව ලොකු වෙනසකට ලක් කරල අතුල අයියා ඒක ජනතා අවධානයට ලක් කෙරුවා. අගවිනිසුරු දිවුරුම් දීමේ ඡායාරූපය උඩු යටි කුරු කරල පළකළේ. අධිකරණ නිදහසේ මළගම කියන හෙඩ්ලයින් එකත් සමග අධිකරණයේ ස්වාධීනත්වය විනාශ වුණා කියන පණිවිඩයයි රටට දුන්නේ. මේ සිද්ධියෙන් පස්සේ අතුල අයියාට එරෙහිව අපහාස නඩු විසි එකක් පවරල තිබුණා. ඒත් ඒ කිසිවකින් නොසැලී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ නීති විරෝධී ක්‍රියා ගැන හෙළිදරව් කළා. අධිකරණයත් විවේචනයට ලක් කළ හැකි තැනක් කියන පණිවිඩය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ අතුල අයියා. මොන බලපෑම් ආවත් කුමන තර්ජන ආවත් අතුල අයියා තමන්ගේ මතයේ හැමදාම නොසැලී හිටියා.’ ප්‍රියන්ජන් කියයි.
වික්ටර් අයිවන්ගේ ලිපි සැරිය බොහෝ විට කැපවූයේ දේශපාලකයන්ගේ වැරදි රටවැසියන්ට පෙන්වා දීම සඳහාය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ඇමැතිවරුන් සහ ජනාධිපතිනිය දැඩිව විවේචනය කළ ඔහු මෙම ලිපි එකතු කර ‘චෞර රාජ්‍යය’ නමින් පොතක්ද ‘චෞර රැජින’ නමින් පොතක්ද පළ කළේය. සාමාන්‍යයෙන් දේශපාලන විචාර අඩංගු පොත්වලට මෙරට ලොකු ඉල්ලුමක් නොමැති මුත් අයිවන්ගේ ‘චෞර රැජින’ 2006 නිකුත් වූ පළමු මුද්‍රණයෙන් පසු 2020 දක්වා මුද්‍රණ හයක් පළවීමෙන්ම ඔහුගේ ලිපි සඳහා පාඨකයන් තබා ඇති විශ්වාසය පැහැදිලි වෙයි.
ඉකුත් මැතිවරණ දෙකේදී ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය පාලනය හිමිවෙමින් ප්‍රභූ දේශපාලනය අතු ගෑවී යාම සඳහා වික්ටර් අයිවන්ගේ පන්හිඳ සුවිශාල සේවයක් ඉටුකළේය. දාහත් වසරක එජාප පාලනය පෙරළා දමමින් බෝධිසත්ව වරුන් කණ්ඩායමක් සේ පොදුජන එක්සත් පෙරමුණ බලයට ආ 1994 වකවානුවේ ජනතාව සිටියේ විපක්ෂ දේශපාලකයන් වන්දනා මාන කරන තත්ත්වයකය. එහෙත් පාලන බලය ලැබී ඉතා කෙටි කලකින් පොදුජන එක්සත් පෙරමුණ ද පැවැති එජාප දේශපාලනයේම කාබන් පිටපතක් බව ඔප්පු කළේය. ඒ සඳහා වික්ටර් අයිවන්ගේ දේශපාලන ලියැවිල්ල මහඟු කාර්ය භාරයක් ඉටු කළේය. 2005 මහින්ද රාජපක්ෂ පාලනයේත් ඉන්පසුව බලයට ආ මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ කාලයේත් මෙරට දේශපාලන පරම්පරාව රාජ්‍ය ධන සම්පත් කොල්ලකන චෞරයන් පිරිසක්ය යන මතය ජන සමාජයට ගෙන ගිය ප්‍රධාන පන්හිඳක් සතු වූයේ වික්ටර් අයිවන්ටය. ඔහුගේ ලිපි සැරියට පෙම් බැඳි අතිවිශාල පිරිසක් සමාජයේ සිටි බව රහසක් නොවේ. ජනමාධ්‍ය සමාජයට ඔහුගෙන් වන හිස් තැන පිරවීමට කිසිවකු සමත්වනු ඇතැයි මම නොසිතමි.
ප්‍රේමකීර්ති රණතුංග
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ආරම්භකයාගේ අභාවය