IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩුබායි සිට පණපොවන ලාංකික පාතාලය

ආරක්ෂක අංශ සතු වාර්තා අනුව, දැනට ඩුබායි සහ අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් එරට වෙසෙන පකිස්ථාන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මගින් එකවර කිලෝ 100 සිට 300 දක්වා ප්‍රමාණයක් ගොඩබිම් මාර්ගයෙන් පකිස්ථානය හරහා රතු මුහුදට රැගෙන එයි. ඇෆ්ඝනිස්තානයේ නිෂ්පාදිත හෙරොයින් මත්ද්‍රව්‍ය ඒ වෙනුවෙන්ම විශේෂිත වූ ජාවාරම්කරුවන් ජාලයක් මගින් අලෙවි කෙරේ.

දැනට දසකයකට පමණ පෙර සාමාන්‍ය ජනතාව අතර ඩුබායි දේශය ඇතුළු මැදපෙරදිග ප්‍රසිද්ධ වූයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සම්බන්ධවය. විශාල වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මැදපෙරදිගට සංක්‍රමණයවීම නිසා ජනතාව අතර මැදපෙරදිග කලාපය නිරන්තර කතාබහට ලක්විය. නමුත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස්වී ඇත. දැන් ඔවුන් කතා කරන්නේ ඩුබායි දේශයේ සිට මෙහෙයවන පාතාලයන් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම් පිළිබඳවය. 
එයට සම්බන්ධ මෑතක දී වාර්තා වූ ආසන්නතම සිද්ධිය වන්නේ ක්ලබ් වසන්ත ඝාතනයයි. වාර්තා වෙන තොරතුරු අනුව මෙම ඝාතනය කර ඇත්තේ ඩුබායි දේශය සිට හා ප්‍රංශයේ සිට පාතාලය මෙහෙයවන පාතාල නායකයන් බවය. ඔවුන් විසින් සජීවීව මෙම ඝාතනය කැමරා මගින් නරඹා ඇති බවද වාර්තා වේ. 
පසුගිය වර්ෂ කීපය තුළ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීමත් සමග රටේ තරුණ පරපුර ශීඝ්‍රයෙන් එයට ඇබ්බැහි වී ඇති බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාවේ පොලීසිය ඇතුළු නීති අංශ විසින් ඒකාබද්ධව මෙහෙයවූ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය, විශේෂයෙන් හෙරොයින් කිලෝ 1000  කට අධික ප්‍රමාණයක් මහ මුහුදේදී සොයාගැනීමට හැකි විය. ඒ සමගම විශාල ආයුධ ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට 
හැකි විය.


දැනට වර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එනු ලැබුවේ අසල්වැසි ඉන්දියාවේ සිටය. එය ගුවන් මගින් හෝ වැඩිපුරම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කර ඇත. ඉන්දියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඇෆ්ඝනිස්ථානයේ නිෂ්පාදනය කරන ලද මත්ද්‍රව්‍ය පකිස්ථානය හරහා ඉන්දියාවටත්, එතැනින් ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවලට බෙදාහැරීමත් සිදුකර ඇත. සාමාන්‍යයෙන් එකවර කිලෝ දෙකක හෝ තුනක ප්‍රමාණයක් දෙරටේ ධීවරයන් යොදාගෙන ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කර මන්නාරම සිට යාපනය තෙක් ඇති වෙරළ තීරයට ගෙනැවිත් එතැන් සිට බෙදාහරින්නන් මාර්ගයෙන් රට තුළට යොමුකර ඇත. එය තවමත් කුඩා පරිමාණයෙන් ආරක්ෂක අංශවල ඇස් වසා ක්‍රියාත්මක වෙමින් පවතී. 
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය පාලනය කරන්නේ ප්‍රධාන පෙළේ පාතාල කෙරුමන් පිරිසකි. ඒ අතර ප්‍රසිද්ධ චරිත වන්නේ මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, රත්ගම විදුර, ගොනාකෝවිලේ ශාන්ත, සිද්ධික්, දෙමටගොඩ චමින්ද, කංජිපානි ඉම්රාන් වැනි නමගිය අපරාධකරුවන්ය. මොවුන් අතරින් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී ඇති අතර, ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් සිද්ධික් අත්අඩංගුවට ගෙන ඇත. රට තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් ඇල්ලීමේ මෙහෙයුම් නිසා මෙරටේ සිටි සෙසු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ඩුබායි දේශයට ගොස් එහි ජීවත්වන අතර සමහරක් ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල 
ජීවත් වේ.
මෙසේ පිටරටවල ජීවත්වෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් ඔවුන් විසින් හම්බකරගත් ධනය යොදාගෙන එම රටවල සුපිරි ජීවිත ගතකරන අතර, එම රටවල ජීවත්වෙන ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්වී ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවීම ආරම්භ කර ඇත. ඒ අනුව පසුගිය වසර කීපය තිස්සේ ඔවුන් විසින් ලංකාවට එවා ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ගණනක් බව 
වාර්තා වේ. 


ආරක්ෂක අංශ සතු වාර්තා අනුව, දැනට ඩුබායි සහ අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් එරට වෙසෙන පකිස්ථාන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මගින් එකවර කිලෝ 100 සිට 300 දක්වා ප්‍රමාණයක් ගොඩබිම් මාර්ගයෙන් පකිස්ථානය හරහා රතු මුහුදට රැගෙන එයි. ඇෆ්ඝනිස්තානයේ නිෂ්පාදිත හෙරොයින් මත්ද්‍රව්‍ය ඒ වෙනුවෙන්ම විශේෂිත වූ ජාවාරම්කරුවන් ජාලයක් මගින් අලෙවි කෙරේ.
රතු මුහුදේ සිට විශාල ප්‍රමාණයේ ධීවර ට්‍රෝලර් යාත්‍රා මගින් ඉන්දියානු හෝ ශ්‍රී ලංකා ගැඹුරු මුහුදු තීරයට රැගෙනවිත් එතැන් සිට එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ කීපය බැගින් වූ කොටස්වලට වෙන්කර, මධ්‍යම ප්‍රමාණයේ ධීවර බෝට්ටු වෙත බාරදෙයි. ඊට පසු ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයට පැමිණ තවත් කුඩා පරිමාණයේ ධීවර බෝට්ටු වෙත භාරදෙනු ලැබේ. එතැන් සිට එම කුඩා බෝට්ටු විශාල ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දකුණ මුහුදු වෙරළට කිලෝ 1 හෝ 2 වැනි ප්‍රමාණයන්ගෙන් සමන්විත හෙරොයින් පාර්සල් මෙරට සිටින පාතාල සාමාජිකයන් අතරට රැගෙන එයි. එ්‍වා එතැන් සිට ඉතා සූක්ෂ ම ලෙස රට අභ්‍යන්තරයේ අස්සක් මුල්ලක් නෑරම බෙදාහැරීම සිදුවේ. 
මෙරටට සියලු‍ම මත්ද්‍රව්‍ය තොගය පැමිණි පසුවය, ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් අතර මුදල් පියවීම සිදුවන්නේ. එම මෙහෙයුමේදී කුමන ආකාරයෙන් හෝ ආරක්ෂක අංශ අතට මෙම මත්ද්‍රව්‍ය පත්වුවහොත් ගැනුම්කරුවන් විසින් ඩුබායිහි වෙසෙන ජාවාරම්කරුට මුදල් ගෙවීමක් සිදු නොකරයි. ඒ අතර, සමහර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඕනෑකමින් කිලෝ කීපයක් ආරක්ෂක අංශ ලවා අල්ලා ගැනීමට සලස්වා, ඩුබායි වෙසෙන පකිස්ථාන ජාවාරම්කරුවන්ට මුදල් නොදී මගහැර යාමේ අවස්ථා පවා වාර්තා වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් සමග, ටී 56, ඒකේ 47 හෝ පිස්තෝල අඩුම වශයෙන් 10ක ප්‍රමාණයක් එවීමට කටයුතු කරයි. එම ආයුධ සඳහා මුදල් අයකිරීමක් නොමැති බව වාර්තා වේ. 
ආරක්ෂක අංශ පවසන පරිදි, මෙසේ විවිධ අවස්ථාවන්වලදී කොටස් වශයෙන් බෝට්ටුවලට හුවමාරු කරගන්නේ, කුමන හෝ අවස්ථාවකදී ආරක්ෂක අංශ භාරයට පත්වුවහොත් එය ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වෙන බැවිනි. ඒ සමගම මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පානදුර සිට කිරින්ද දක්වා විශාල ධීවර පිරිසක් තමන්ගේ බෝට්ටු සමගින් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී විශාල මුදල් ප්‍රමාණයක් උපයති. ඒ අනුව, එක ගමනක් සඳහා රුපියල් ලක්ෂ 50 ක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම එක බෝට්ටුවකට ලබාදෙන බව හෙළිදරව් වී ඇත.
දැනට මෙම ක්‍රියාවලිය ඉතාමත් ලාභදායී ලෙස ආදායම් උපයන්නක් බැවින්, ඒ සඳහා ඉතා විශාල ධීවර බෝට්ටු ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.   
එමෙන්ම කුමන හෝ  ආකාරයකින් පාතාල සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමග ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගතහොත් ඒ වෙනුවෙන් පෙනීසිටීම සඳහා ප්‍රධාන පෙළේ නීතිඥවරු සූදානම්ව සිටීමත්, ඔවුන් විසින් කුමන හෝ ආකාරයකින් එම අත්ඩංගුවට පත් අයවලු‍න් නිදහස් කිරීමට කටයුතු කිරීමත් නිසා මෙහෙයුම් සිදුකළ ආරක්ෂක අංශ අසරණ වන අවස්ථා බොහොමයක් පසුගිය කාලවල දී 
වාර්තා වී ඇත.


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා ප්‍රකාශ කළේ, කංජිපානි ඇප මත නිදහස් වූ වහාම රටින් පිටවීමට පහසුකම් සැලසීමට ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. 
“කංජිපානි රටින් පැන ගිය හැටි දන්නේ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පමණයි. අපි දන්නවා අපරාධකාරයන්ගෙන් කෝටි ගණන් මුදල් උපයන නීතිඥවරු කිහිප දෙනෙක් ඉන්නවා.” යැයි අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
“අපි මේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පාපෝච්චාරණය කළේ තමන් කංජිපානි කැටුව ගොස් බෝට්ටුවකින් පැන යාමට පහසුකම් සැලසූ බවයි. සියලු‍ම නීතිඥයින් එක සමාන නොවූවත්, ඇතැම් නීතිඥයින් අපරාධකරුවන්ගෙන් ප්‍රයෝජන ලබන බව මෙයින් පැහැදිලි වෙනවා. සමහර නීතිඥවරු ඉන්නවා මත්ද්‍රව්‍ය නඩු වෙනුවෙන් පෙනීසිටීම ප්‍රතික්ෂේප කරනවා,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව සතු නීති පද්ධතිය පවා විශාල වෙනස්වීමකට භාජනය කළ යුතු කාලය ඇවිත් ඇති බව මෙමගින් පෙන්නුම් කරයි. 
ආරක්ෂක අංශ පවසන පරිදි, ජාවාරම්කරුවන් විසින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිත කරන බව සොයාගෙන ඇත. ඒ අනුව ආරක්ෂක අංශවලට නොදැනෙන ලෙස චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගැනීම මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඉතාමත් සාර්ථකව සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු යල් පැනගිය තාක්ෂණ උපකරණ හේතුවෙන්, ජාවාරම්කරුවෝ සිතු පරිද්දෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරති. 
මේ වෙනවිට 75කට වැඩි ශ්‍රී ලාංකික අපරාධකරුවන් පිරිසක් පිට රටවල ජීවත්වෙන බව වාර්තා වේ. ඔවුන්ගෙන් 20කට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇත. නමුත් මෙම අපරාධකරුවන් එම රටවල නිහඬව ජීවත්වන බැවින් ඔවුන් පිළිබඳ තොරතුරු අවම මට්ටමක පවතී. තවද, සමහර රටවල් තම රටවල වෙසෙන ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර නොගන්නේ එම ජාවාරම්කරුවන් විසින් විශාල වශයෙන් එම රටවලට රැගෙන එන කළු සල්ලි 
(Black Money) නිසාවෙනි. 
එ්ත් සමගම, අපරාධකරුවෙකු කුමන හෝ රටකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ගෙන එ්මේ දී විශාල නීති ප්‍රශ්නවලට මුහුණ දේ. එම රටවල ඇති අභ්‍යන්තර නීති වෙනස් බැවින් එයට අදාළ නීති රීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ වෙනස් නොවීම ද ගැටලුවක් පවතී. එක අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලාංකික අපරාධකරුවෙකු විදේශීය රටක සිට මෙරටට රැගෙන ඒමේ දී  එම රට විසින්, ශ්‍රී ලංකාවේ උසාවියකින් එම අපරාධකරුවා වැරදිකරුවෙකු කළ තීන්දුව රැගෙන එන ලෙස උපදෙස් දී ඇත. මෙසේ සෑම අතකම බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන විදේශගත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ එවැනි පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා අනාවරණය කළේය. අවශ්‍යව සිටින සැකකරුවන් 30 දෙනාගෙන් 29 දෙනෙකු ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන බවත්, ප්‍රංශය කේන්ද්‍ර කරගෙන සිටින එක් අයෙකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටරටට යාමත් සමගම, එම අඩුව පිරවීමට තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ බිහිවී ඇත. ඒ සමගම කුඩා ප්‍රමාණයේ බෙදාහරින්නන් රටේ වර්තමානයේ තිබෙන ආර්ථික ප්‍රශ්න හමුවේ මෙම ව්‍යාපාරය සඳහා යොමු වී ඇති බව නැවත වාර්තා සඳහන් කරයි.


තවත් ප්‍රධාන කරුණක් ​ෙවන්නේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල වශයෙන් ජාවාරම්කරුවන් හා සම්බන්ධ වීමයි. වාර්තාවලට අනුව ලංකාවේ සිදුවන අපරාධවලින් සියයට 60 ක ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ගනුදෙනු සියයට 60ක්, හිරගෙවල සිට මෙහෙයවන බව වාර්තා වේ. එයට හේතුව සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් හා එක්ව කටයුතු කිරීමයි. 
 ලබන 2025 වසරේ දෙසැම්බර් මාසය වෙනවිට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවත් මෙම බාධක මධ්‍යයේ එසේ කළ හැකිද යන්න සාකච්ඡාවට භාජනය කළ යුතු කාරණයකි.
එස්. ජයසිරි 



අදහස් (0)

ඩුබායි සිට පණපොවන ලාංකික පාතාලය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 21 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 29 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම
2024 අගෝස්තු මස 27 77 0

ඵෙතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුදු මැද පිහිටි එකම දේවාලයයි. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමාන


සර්පයන්ට මෙත් වඩන මෙලූෂා
2024 අගෝස්තු මස 27 83 0

ජීවිත අවදානම දෝතින් දරාගෙන වසර හයක කාලයක් තිස්සේ සිට අනාරක්ෂිතව මරණය අභිමුඛව සිටින නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ඝෝර සර්පයින් නිරුපද්‍රිතව අල්ලා අභය


ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය
2024 අගෝස්තු මස 27 67 0

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක් වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයා


තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්
2024 අගෝස්තු මස 21 35 0

1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායෙන් හඳුන්වාදුන් මෙරට තේ වගාව හොඳම තේ නිපැයුම්කරුවා වශයෙන් නමක් දිනා ගත්තේය. නමුත් එය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site