IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


මද පමණින් ඇරඹෙන මත් පැන් විපත

“මතට තිත” කියල කීමට කීවත් - තවමත් තිත තියාගන්න බැරිවුණ බොහෝදෙනෙක් සිටින බව රිය අනතුරු වාර්තාවල සිටින බීමත් රියැදුරන් ගණනිනුත්, රෝහල්වල දිනෙන් දින අලු‍ත් වෙන රෝගීන්ගේ සංඛ්‍යා ලේඛනවලිනුත් තහවුරු වෙමින් පවතී. මිනිසා ශාරීරිකව මෙන්ම මානසිකවත් ලෙඩ කරන, සමාජ ප්‍රශ්න බොහෝමයක මූලබීජය වන මේ මත්උවදුර අද සමාජයට මෙන්ම රටටත් මහත් හිසරදයක් ගෙන දෙන සමාජ ප්‍රශ්නයකි. මත්ද්‍රව්‍ය වෙනුවෙන් දරන වියදම, ගතකරන කාලය ඇසිල්ලක සුවය වෙනුවෙන් දීර්ඝකාලීන වේදනාවක් මිලදී ගැනීමක් වග බොහෝ දෙනාට නොදැනෙන්නේ එහි ඇති තාවකාලික විනෝදය නිසාම විය හැක. කෙසේ නමුත් පෞද්ගලිකව තමන්ටත්, තමාගේ සමීපතමයන්ටත්, පොදුවේ මුළු මහත් සමාජයටත් අහිතකර බලපෑම් ගෙන දුන්නද තවමත් ඉන් සමාජය ගලවා ගැනීමට නොහැකි වූ තැන මේ මත් උවදුරේ බරපතළකම සොයා බැලීම වැදගත් යැයි අපි සිතුවෙමු.


මත්ද්‍රව්‍ය යනු ශරීරගත කරගත් පසු සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරමින් බොහෝ විට මනෝභාවය, හැසිරීම, සංජානනය හෝ භෞතික තත්ත්වය වෙනස් කරන ද්‍රව්‍යයන් වේ.  භාවිතයේ පවතින විවිධාකාරයේ මත්ද්‍රව්‍ය අතර මද්‍යසාර, කැෆෙන් සහ දුම්කොළ ආදිය නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය ලෙසත් කොකේන්, මරිජුවානා, මෙතම්ෆෙටමින් සහ හෙරොයින් වැනි දේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙසත් සැලකේ. ඒ අතර හෙරොයින් බහුලවම අපයෝජනයට ලක්වන ද්‍රව්‍ය වේ. ඇල්කොහොල්, කැෆෙන් සහ නිකොටින් වැනි සමහර මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල වුවද වයස, භාවිත කරන ස්ථානය, රිය පැදවීම සහ අලෙවිසල් රෙගුලාසි මත පදනම්ව සීමාවන්ට යටත් කොට තිබෙයි. 
මේ ආකාරයට සාමාන්‍ය තත්ත්වය වෙනස් කරන මත්ද්‍රව්‍ය ගණයට විටෙක ඇතැම් ඖෂධත් ගැනේ. එනම් ඖෂධ නීත්‍යනුකූල විය හැකිය, නමුත් නියමිත මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම තුළින් මත්ද්‍රව්‍ය බවට පරිවර්තනය වේ. උදාහරණයක් ලෙස අසනීප හෝ වේදනාව කළමනාකරණය කිරීමට භාවිත කරන බෙහෙත් වට්ටෝරු ඖෂධ  නීත්‍යනුකූලය. නමුත් පිළිගත් වෛද්‍ය භාවිතයක් නොමැතිව භාවිතයට ගැනීම සෞඛ්‍යයට අවදානමක් ඇති කරන මත්ද්‍රව්‍ය භාවිතයක් වැන්නකි. 
වර්තමානයේ ලංකාව තුළ ඇති සෝචනීයම තත්ත්වය නම් රටේ අනාගත උරුමකරුවන් වන තරුණ පරපුර ශීඝ්‍රයෙන් මේ මතට ඇබ්බැහි වීමට පටන් ගෙන තිබීමයි. මෙය ස්ත්‍රී පුරුෂ භේදය නොසලකා වර්ධනය වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය තුළින් මිනිසා ශාරීරිකව, මානසිකව මෙන්ම සමාජීය වශයෙනුත් පසුබෑමට ලක්වන බව දැන දැනත් පාසල් මට්ටමේ සිටම දරුවන් මතට ලොල් වී සිටීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.
ඒ අනුව මේ තත්ත්වයේ ඇති බලපෑම් සහගතබව පැහැදිලි කර ගැනීමට සම්බන්ධ කරගත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මත්ද්‍රව්‍ය හෝ අධිමාත්‍රිත ඇල්කොහොල් ශරීරගත වීමෙන් පසු ශරීර අභ්‍යන්තරයේ සිදුවෙන විද්‍යාත්මක වෙනස්වීම් පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි;
“මත්පැන් ඕනෑම කෙනෙකුගේ ශරීරයට ඉක්මනින් බලපායි. එය ආමාශයේ ශ්ලේෂ්මල පටලය හරහා රුධිරයට අවශෝෂණය වී ශරීරයේ පටකවලට පැතිරෙයි. මත්වතුරවලට මොළයට ළඟාවීමට ගතවන්නේ මිනිත්තු පහක පමණ පොඩි කාලයකි. ඒනිසා මිනිත්තු 10 ක් ඇතුළත මුළු ශරීරය පුරාම පැතිර ගොස් අදාළ පුද්ගලයාට බලපෑම් කිරීමට පටන් ගනී. මිනිත්තු 20 කට පසු, මිනිස් අක්මාව තුළ මත්පැන් සැකසීමට පටන් ගනී. සාමාන්‍යයෙන්, අක්මාවට සෑම පැයකටම මත්පැන් අවුන්ස 1ක් වියෝජනය කළ හැකිය. මත්පැන් පානය සඳහා නීත්‍යනුකූල සීමාව වන 0.08 ක රුධිර මද්‍යසාර මට්ටමක් මිනිස් ශරීර පද්ධතියෙන් ඉවත් වීමට පැය පහහමාරක් පමණ ගත වේ. එමෙන්ම මත්පැන් මුත්‍රාවල පැය 80ක් දක්වාත්, කෙස්වල මාස තුනක් දක්වාත් පවතියි.”‍
මත්ද්‍රව්‍ය ශරීරගතවීමෙන් පසු මත්වීමේ ස්වභාවය අදිය‍ර කිහිපයක් යටතේ සිදුවේ. එහිදී රුධිර මද්‍යසාර අන්තර්ගතය 0.01ත් 0.05ත් අතර නම්, එය මත්වීමේ පළමු අදියරයි. මෙහිදී මත්පැන් පානයකර ඇතිබවක් නොපෙනුණත්, පුද්ගලයාගේ ප්‍රතික්‍රියා කාලය මත හැසිරීම සහ විනිශ්චය තරමක් වෙනස් විය හැකිය. බර අනුව, බොහෝ අය එක් පානයකින් පසු මෙම අදියරට පත් වේ. රුධිර මද්‍යාසාර අන්තර්ගතය. 0.03 සහ 0.12 අතර වන විට “‍ටිප්සි”‍ ලෙස හඳුන්වනු ලබන දෙවන අදියර ඇති වේ. මත්පැන් පානය කිරීමේ මුල් අවධියේදී, මොළය වැඩිපුර ඩොපමයින් නිකුත් කරමින් රසායනික සතුට සමග සම්බන්ධ වේ. පසුව ඉන් සැහැල්ලු‍වක් සහ විශ්වාසයක් දැනිය හැකි නමුත්, තර්කනය සහ මතකය තරමක් දුර්වල විය හැකියි. 0.08 සිට 0.25 දක්වා රුධිර මද්‍යසාර අන්තර්ගතය වැඩි වූ පසු මත් වේ. මෙම මත්වීමේ මට්ටම ඔබේ මොළයේ ඔක්සිපිටල් ලොබ්, ටෙම්පරල් ලොබ් සහ ඉදිරිපස ලොබ්වලට බලපායි. ඕනෑවට වඩා මත්පැන් පානය කිරීමෙන් එක් එක් ලොබ් භූමිකාවට විශේෂිත සංකූලතා ඇතිවිය හැක. එනම් පිළිවෙළින් නොපැහැදිලි පෙනීම, නොපැහැදිලි කථනය සහ ශ්‍රවණය සහ පාලනය නොමැතිකම ලෙසයි. එමෙන්ම සංවේදක තොරතුරු සකසන පරියේටල් ලොබය ද බලපෑමට ලක් වේ. තවද සියුම් මෝටර් කුසලතා නැතිවීම සහ මන්දගාමී ප්‍රතික්‍රියා කාලයක් තිබිය හැකිය. මෙම අවධිය බොහෝ විට මනෝභාවය වෙනස්වීම්, දුර්වල විනිශ්චය සහ ඔක්කාරය හෝ වමනය ඇතිවීම සලකුණු කරයි. 0.18 සිට 0.3 දක්වා තිබීමේදී බොහෝ විට ව්‍යාකූලවීමක් සිදු වේ. එහිදී සම්බන්ධීකරණයට උපකාරී වන පුද්ගල මස්තිෂ්කයට බලපෑම් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඇවිදීමට හෝ සිටගෙන සිටීමට උපකාරයක් අවශ්‍ය විය හැකියි. එමගින් තාවකාලික සිහිය නැතිවීම හෝ කෙටිකාලීන මතකය ඇතිවීම සිදුවීමට ඉඩකඩ තිබේ. එයට හේතුව නව මතකයන් ඇතිකිරීමට වගකිව යුතු මොළයේ කලාපය වන හිපොකැම්පස් හොඳින් ක්‍රියා නොකිරීමයි. 0.25 ක අගයකට ළඟාවීමේදී මත්පැන් විෂ වීමේ ඉඩකඩ ඇති වේ. මෙම අවස්ථාවේ දී, සියලු‍ම මානසික, ශාරීරික සහ සංවේදක ක්‍රියාකාරකම් දැඩි ලෙස දුර්වල වී සිහිය නැතිවී හුස්ම හිරවීමට සහ තුවාලවීමට අවදානමක් ඇති වේ. මින්පසු තත්ත්වය බරපතළ වන අතර 0.35 ක අගයකදී කෝමා තත්ත්වයකට පවා පත්වීමේ අවදානමක් ඇත. මෙය සිදුවන්නේ ශ්වසනය සහ සංසරණය අඩාල වීම නිසාය. මෙම අදියරේ සිටින පුද්ගලයෙකුට මරණ අවදානමක් පවතින අතර, රුධිර මද්‍යසාර අන්තර්ගතය 0.45 ට වඩා වැඩි වූ විට මත්පැන් විෂවීම හෝ ශරීරයේ වැදගත් ක්‍රියාකාරකම් පාලනය කිරීමට මොළය අසමත්වීම හේතුවෙන් මරණයට පත්විය හැකියි. මේ ආකාරයට මත්ද්‍රව්‍ය ශරීරගත වීමේ මට්ටම මත එහි බලපෑම විවිධ වේ. එයට පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, සමස්ත සෞඛ්‍යය, ශරීර බර, කොපමණ ප්‍රමාණයක් පානය කරනවාද, කොපමණ කාලයක් මත්පැන් පානය කර තිබේද සහ සාමාන්‍යයෙන් කොපමණ වාරයක් පානය කරනවා ද වැනි හේතුසාධක ප්‍රධාන වේ. 
ගෝලීයකරණය, විවෘත ආර්ථිකය, කාන්තා අයිතිවාසිකම් වැනි විවිධ සංකල්ප හමුවේ කාන්තාවගේ සමාජගතවීම ඉහළ යාමත් සමග විලාසිතාවට හෝ වේවා, තම රුචිකත්වයන් නිසා හෝ වේවා දැන් දැන් පිරිමින්ටත් වඩා කාන්තාවන් මේ භාවිතයන්ට හුරුවී ඇත. 


ඒ අනුව ස්ත්‍රී පුරුෂ භේදය මත මත්ද්‍රව්‍ය ක්‍රියාත්මකවීම වෙනස් විය හැකිද යන ප්‍රශ්නයට වෛද්‍ය චමල් සංජීව මෙසේ පැවසීය.
”‍ඇත්තෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ භේදය අනුව වෙනස් විය හැක. එයට මූලිකවම බලපාන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයයි. සමහර කාන්තාවන් අඩු මද්‍යසාර ප්‍රමාණයකින් මත්වන අතර, තවත් සමහර කාන්තාවන්ට ඒ සඳහා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ. එසේම මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මොළයේ සමහර කොටස්වල උත්තේජනයක් ඇති වී තාවකාලික අභිප්‍රේරණ තත්ත්වයක් ඇතිවේ. කෙසේ වුවත් නිශ්චිත වශයෙන්ම ගැහැනු සහ පිරිමි තුළ මත්පැන් රසායනිකව ක්‍රියාත්මක වන අන්දම සොයා බැලීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයන හා පර්‌යේෂණ ක්‍රියාත්මක වේ.”‍

දුලක්ෂි ලියනගේ

මේ ආකාරයට ශරීර අභ්‍යන්තරයේ සිදුවන විද්‍යාත්මක වෙනස්වීම් නිසා පුද්ගල ශරීරය රෝගීවීමත්, මානසික සෞඛ්‍යය රෝගීවීමත් සිදු වේ. එහිදී වැඩි වශයෙන්ම ශරීරයේ බලපෑමට ලක්වන අවයවය ලෙස අක්මාව සහ මොළය දැක්විය හැකියි. ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා අක්මාවේ විවිධ ගැටලු ඇතිවීම සහ අක්මා දැවිල්ල ඇති විය හැකියි. මොළයට ඇතිවෙන බලපෑම පිළිබඳ අවධානය යොමුකිරීමේදී මත්ද්‍රව්‍ය මොළයේ සෑම අංශයක් වෙතම ගමන් කිරීම නිසා විවිධ අවයව තුළ විවිධ ගැටලු‍ මතු වේ. ඒ යටතේ මත්පැන් මොළයේ සන්නිවේදන මාර්ගවලට බාධා කරමින් මොළයේ පෙනුම හා ක්‍රියාකරන ආකාරය කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙම බාධා කිරීම් නිසා මනෝභාවය සහ හැසිරීම වෙනස් වියහැකි අතර, පැහැදිලිව සිතීමට සහ සමතුලිතව ගමන් කිරීමට අපහසු වේ . මීට අමතරව මුඛ කුහරය, ස්වරාලය, හිස සහ බෙල්ල යන ඉන්ද්‍රීයන්වල පිළිකා ඇතිවීම, අක්‍රමවත් හෘද ස්පන්දනය, ආඝාතය, අධිරුධිර පීඩනය වැනි තත්ත්ව ඇතිවීම, ෆයිබ්‍රෝසිස්, සිරෝසිස් වැනි රෝග ඇතිවීම, අග්න්‍යාශයේ ඉදිමීම සහ වේදනාව ඇතිකිරීම, නිසි ආහාර දිරවීම සඳහා එන්සයිම සහ හෝමෝන සෑදීමේ හැකියාව අඩාල කිරීම ආදී බොහෝ අවදානම් සෞඛ්‍ය තත්ත්ව ඇති වේ. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරමින් ශරීරය රෝග සඳහා වඩාත් පහසු ඉලක්කයක් බවටත් පත් කරයි.  
මින් මනසට ඇතිකරන බලපෑම මීළඟට අවධානයට ගතහොත් එය කෙටි කාලීන සහ දිගුකාලීන යන දෙඅංශයෙන්ම විවිධ මානසික බලපෑම් ඇති කරයි. පළමු අවස්ථාවේ ඉන් මධ්‍ය ස්නායු පද්ධතිය අවපාතයට පත්කරයි. කෙසේ වෙතත්, අධික ලෙස මත්පැන් පානයකිරීම නිසා මතකය අඩාල කරයි. එය දුර්වල තීරණ ගැනීමේ සහ අවදානම් සහගත හැසිරීම්වලට හේතුවිය හැක. කාලයත් සමග නිතර මත්පැන් භාවිතය - මනෝභාවය වෙනස්වීම්, කාංසාව සහ මානසික අවපීඩනය ඇති කරන අතර, එය මොළයේ ස්නායු සම්ප්‍රේෂකවල සමතුලිතතාවට බාධා කරයි. එමනිසා මතක ශක්තිය නැතිවීම සහ අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇති කරයි. මෙවැනි හේතු නිසාවෙන් බීමත් රියදුරන් අතින් රියඅනතුරු ඇතිවීමේ ඉඩප්‍රස්ථා නිර්මාණය වේ. එමෙන්ම දරුණු අවස්ථාවල දී, ඩිමෙන්ෂියාව හෝ මනෝව්‍යාධිය වැනි මානසික සෞඛ්‍ය ආබාධ පවා ඇතිවිය හැකිය. එපමණක් නොව, මත්පැන් පානය කලින් පවතින මානසික සෞඛ්‍ය තත්වයන් උග්‍ර කළ හැකි අතර, කාංසාව හෝ මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ නරක අතට පත්කරයි. තවද වක්‍රාකාරව පුද්ගලයන්ට මත්පැන් පානය කිරීමට නොහැකි වූ විට තෘෂ්ණාව, නුරුස්නා බව සහ චිත්තවේගීය අස්ථාවරත්වය ඇතිවීම නිසාත් වෙනත් සමාජ ගැටලු‍ ඇති කරයි.
මේ අනුව මද්‍යසාර භාවිතය නිසා ඍජුව ශාරීරික හා මානසික රෝග ඇති වීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් වක්‍රව සමාජ ගැටලු‍ ඇති කරන තත්ත්වය දක්වා පැමිණ ඇත. ඒ අතරින් රිය අනතුරු, පුද්ගල කණ්ඩායම් අතර ගැටුම්, පවුල් ආරවුල්, ඝාතන සිදුකිරීම් ආදිය ප්‍රධාන වේ. එයට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතය නිසා මොළයේ ඇතිවන සංකූලතාවන් ය. එනම් බොහෝ දෙනා මේ මත් අවදිය තුළ තමා තුළ තාවකාලික වශයෙන් ඇතිකරගන්නා අභිප්‍රේරණය නිසා තමා අසීමිත අයෙක් යැයි සිතීමට පෙළඹේ. ඒ තාවකාලික තෘප්තිය මත මිනිසුන් සමග ගැටෙන්නට උත්සහ කරයි. මෙය වළකාගත යුතු තත්ත්වයක් වන්නේ ඉන් සිදුවන අහිතකර තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බැවිණි. දිනෙන් දින ඉහළ යන ඝාතන සංඛ්‍යාවල වැඩියෙන්ම ඇත්තේ එක්කෝ මත්පැන් පානයෙන් ඇති වූ තත්ත්වයන් නැතිනම් මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් ඇතිවූ මරණයි. රියඅනතුරු අතරිනුත් වැඩිම පිරිසක් බීමත් රියදුරන්ය. මේ අනුව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය සමාජයට අහිතකර පිළිලයක් බවයි. මේ තත්ත්වයන් පාලනයට නම් රජය මෙන්ම පුරවැසියාත් තම වගකීම නිසි පරිදි ඉටුකළ යුතුය. ඒ වෙනුවෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත්, නෛතිකමය තීරණ ගැනීමටත්, මනා අවධානයක් ලබාදිය යුතුයි. එමෙන්ම පොදු ජනයා ලෙසින් අප මේ උවදුරෙහි ඇති බලපෑම් සහගත බව, අවදානම හරිහැටි තේරුම් ගනිමින් අපි තුළින්ම පාලනයක් ඇති කරගත යුතුයි. ඉන් මතට තිත තැබීමට මෙන්ම බොහෝ සමාජ ගැටලු‍වලටත් තිත තැබීමට හැකියි.



අදහස් (0)

මද පමණින් ඇරඹෙන මත් පැන් විපත

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 22 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගී මිහිර අපට දී නික්මගිය ප්‍රියාදර ප්‍රියා
2024 දෙසැම්බර් මස 30 29 0

සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන


අනුරාධපුර නිල් දරු උපත
2024 දෙසැම්බර් මස 30 29 0

මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.


දමිළ නාට්‍ය කලාවේ සරච්චන්ද්‍රයන් හමු වීම
2024 දෙසැම්බර් මස 30 14 0

ශ්‍රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට


මද පමණින් ඇරඹෙන මත් පැන් විපත
2024 දෙසැම්බර් මස 30 19 0

“මතට තිත” කියල කීමට කීවත් - තවමත් තිත තියාගන්න බැරිවුණ බොහෝදෙනෙක් සිටින බව රිය අනතුරු වාර්තාවල සිටින බීමත් රියැදුරන් ගණනිනුත්, රෝහල්වල දිනෙන් දින අලු‍


සිහිනය වෙනුවෙන් කැපවුණ කොන්දොස්තර දුව
2024 දෙසැම්බර් මස 24 56 0

පිරිමින් ආධිපත්‍යය පතුරවමින් සිටි රැකියාවන්ද දැන් දැන් කාන්තාවෝ ආක්‍රමණය කරමින් සිටිති. ඒ එම රැකියා කළ හැක්කේ පිරිමින්ට පමණක් යයි හංවඩු ගැසි තිබූ නි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 364 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site