අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත් ඇඳුමක් තෑගි ලෙස ලබන්නත් අපි කැමැතියි. මේ තෑගි සොයන්නන් සොයා, අපි පසුගිය දිනවල සවාරියක නියුතු වුණා.
අපේ සවාරියේ පළමු ඉලක්කය වුණේ, වසරේ ඕනෑම කාලයක රෙදිපිළි සඳහා ප්‍රසිද්ධියට පත්, උත්සව සමයේ පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන මහරගම පමුණුව ප්‍රදේශයයි.
විවිධාකාරයෙන් ඇඳුම් පැලඳුම් ඇති, වායු සමීකරණය කළ කඩසාප්පු වලට ගොඩවීමට ප්‍රථමයෙන්, එදාවේල සරිකර ගනිමින් ජීවිකාව ගෙනයාමට පදික වේදිකාවේ තට්ටුවක් දමාගෙන, උගුර ලේ රහ වෙනතුරු කෑගසන, පදික වෙළෙඳුන් කිහිප දෙනකු දෙසට අපේ අවධානය යොමුවුණා.
ඒ අතර සිටි, වසර දහයක් මුළුල්ලේ තම ජීවිතයම පදික වේදිකාවේ ලෑලි තට්ටුවක තබා ඔට්ටුවෙන සුමනලතා මහත්මිය පැවසූයේ මෙවැන්නකි.
“මම පාදුක්කෙ ඉඳලා පමුණුවේ බිස්නස් කරන්න එන්නෙ. පසුගිය කාලෙනම් වැඩිය ආදායමක් ලැබුණෙම නැහැ. නමුත් මේ අවුරුදු සීසන් එක නිසා, අනෙක් දවස්වලට වඩා මෙදා සැරේ බිස්නස් හොඳටම හොඳයි. අපි වගේ මිනිස්සුන්ට, දවසේ ආදායම හොයාගන්න පුළුවන්නම් ඊට වැඩිය දෙයක් නැහැ”
පමුණුවේ රෙදි තොග වෙළෙඳාම් සිදුකරන ‘‘නිශාන්ත ටෙක්ස්’’ හි අධිපතිගෙන් තම තොග වෙළෙඳාම් පිළිබඳව සිදුකළ විමසීමකදී ඔහු දුන්නේ මෙවන් වූ විස්තරයකි.
“අපි තොග ගානට තමයි රෙදි විකුණන්නෙ. ලංකාවෙ උතුර, දකුණ, නැගෙනහිර මේ හැම පැත්තෙන්ම මිනිස්සු එනව තොග ගානට රෙදි ගන්න. මේ අවුරුදු කාලෙ නිසා ගොඩක්ම සති අන්තයේ වෙළෙඳුන්ගෙ පැමිණීමේ වැඩි වීමක් දැකගන්න පුළුවන්. ඒ කොහොම උනත්, අපි රෙදි විකුණන්නෙ උපරිම සාධරණ මිල ගණන් යටතේ. ගිය අවුරුදුවලට සාපේක්ෂව, මේ අවුරුද්දේ වෙළෙඳාමේ වැඩිවීමක් දකින්න පුළුවන්. ඉතින් මම හිතනව, පමුණුවේ තොග වෙළෙන්ඳන්ට මේ අවුරුදු කාලෙ හොඳයි කියල.”
ලංකාවේ සිව් කොනෙන්ම මිනිසුන් පමුණුවට පැමිණේ. එහි සිටින ඇතැම් වෙළෙන්ඳන්, ඇඳුම් වෙනත් තැනකින් මිලදීගෙන, ලාභයක් තබාගෙන විකුණති. ඇතැම් රෙදි වෙළෙඳුන්, ඔවුන් විසින්ම ඇඳුම් මැසීම සිදු කරයි. නමුත් ඇඳුම් මැසීම තරමක් අපහසු බව ඔවුනගේ අදහස විය. එයට හේතුව රෙදි, නූල් මිල වැඩි වීමයි. ඇතැමෙකුට අවුරුදු වෙළෙඳාම් කටයුතු සරුසාර වෙද්දී, තවකෙකුට එසේ නොවුණි. රටේ පවතින ආර්ථික මට්ටම හමුවේ, කෙසේ හෝ මුදලක් සොයාගෙන අවුරුද්ද සමරන මිනිසුන් අප අතර නැතුවාම නොවේ.
ඇත්තෙන්ම මෙදා සැරේ අවුරුදු සරුද? ඇතැම් වෙළෙඳුන්ගේ මුවින් නැඟුණේ නම් එතරම් සුභවාදී හඬක් නොවේ. අපි පමුණුව රේල්පාර දිගේ ඉදිරියට ගියේ තවත් වෙළෙඳුන් කිහිප දෙනකුගෙන් මෙවර අලුත් අවුරුදු වෙළෙඳාම් තත්ත්වය දැනගැනීමේ අරමුණෙන් යුතුවය.
ඇතැමෙකුගේ වෙළෙඳාම, වායුසමනය කළ ගොඩනැගිලිවල සිදුකරගැනීමට පහසුකම් සැලසෙද්දී, තවකෙකුට සිදුවූයේ රේල්පාරක් අසල තම වෙළෙඳාම සිදුකරගෙන යාමටය. විටෙක එය අනතුරුදායක වුවත්, තවමත් සුරක්ෂිතව තම වෙළෙඳාම සිදුකරගෙන යාමට රසිකා මහත්මිය කටයුතු කරයි. ඇයද සිල්ලර මිලට ඇඳුම් අලෙවි කරන වෙළෙන්දියකි. තොග වෙළෙඳුන්ට සාපේක්ෂව, සිල්ලර වෙළෙඳුන්ට ද මෙදා සැරේ අවුරුදු කෙසේ ද කියා අප කළ සොයාබැලීමක දී දැකගන්නට මෙන්ම අසන්නට ලැබුණේ මෙවන් වූ තත්ත්වයකි.
හාල් කිලෝ එකයි පරිප්පු ග්‍රෑම් 250යි තුනපහ බඩු ටිකයි ගත්තම දවසේ පඩිය ඉවරයි. අවුරුදු ෙහාඳයි සල්ලි තියෙන මිනිස්සුන්ට.
“අවුරුදු පහක හයක ඉඳන් මම මේ ඇඳුම් ව්‍යාපාරය රේල්පාර අසළ සිදුකරගෙන යන්නෙ. අනතුරුදායකයි තමයි. ඒත් අපි කියල මොනව කරන්නද. ලොකු ගොඩනැගිලිවලට දෙන්න අපිට සල්ලි නැහැ. ඒ නිසා බඩු මිලදී ගන්න එන මිනිස්සුන්ගෙ ආරක්ෂාව වගේම වෙළෙඳාම ගැනත් හිතල, තියෙන සම්පත් ප්‍රමාණයෙන් මේ වෙළෙඳාම සිදුකරගෙන යනවා. මේ ඇඳුම් මහන්නෙත් මමමයි. ඇත්තෙන්ම පහුගිය අවුරුදුවලට සාපේක්ශව, මටනම් වෙළෙඳාම් මේ අවුරුද්දෙ ගොඩක්ම අඩුයි. සති අන්තයේ ටිකක් සෙනඟ එනව. නමුත් පහුගිය අවුරුදුවල තරම්නම් නැහැ. මේ හම්බවෙන මුදලින් එදාවේල සරිකරගෙන කන්න විතරයි පුළුවන්කමක් ලැබෙන්නෙ”
නිශාන්ත ද අවුරුදු 30ක පටන් රෙදි වෙළෙඳාම සිදුකරගෙන යයි. මුල් කාලයේ දී වෙළෙඳාම හොඳින් සිදුවූවත් එම තත්ත්වය මේ වෙද්දි වෙනස් වී ඇති බව නිශාන්තගේ අදහසයි.
“අප්‍රේල් අවුරුදු කාලෙදි තමයි මේ රෙදි, තොග ගණන්වලට අපි ගෙනාවෙ. යම් ප්‍රමාණයක ඇඳුම් අපිත් මහනවා. වෙනදට අවුරුදු සතිය වෙද්දි අපිට විකුණන්න රෙදි මදි වෙනවා. ඒත් මේ අවුරුද්දෙ එහෙම නැහැ. හේතුව මොකද්ද කියන්න දන්නෙ නැහැ. ඒත් මිනිස්සු එන ප්‍රමාණයේ අඩුවක් තියෙනවා. සති අන්තයේ ජනතාවගේ පැමිණීමේ වර්ධනයක් තිබුණා. පසුගිය දිනවල රුපියල් 2100ට ගෙනාව ගවුමක් රුපියල් 1000කට විකුණුවේ. අවුරුද්ද තව ළං වෙද්දි රුපියල් 600කට වගේ මිලකට තමයි විකුණන්න වෙන්නෙ.”
පමුණුව නගරය පාරිභෝගිකයනගෙන් පිරි ගොස්ය. ලෑලි තට්ටු අසල සහ වෙළෙඳසල් තුළට ගොඩවී, යළිත් හිස් අතින්ම එළියට විත්, කඩවුණු බලාපොරොත්තු සහිතව ගමන්ගත් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් ද අපට දැකගැනීමට ලැබිණි.
“මොන අවුරුදු ද සල්ලි නැතුව?” අප පමුණුව තුළ කළ සංචාරයේදී අප වෙත අදහස් දැක්වූ කුරුණෑගල සිට පැමිණි දයානන්ද හේරත් පැවසීය.
“දැන් තියෙන ආර්ථිකේ එක්ක බැලුවම බිරිඳ, දරුවෝ එක්ක එහෙම එකට ගිහින් රෙදි ගන්න, බඩු ගන්න තත්ත්වයක් නැහැ. මීට අවුරුදු පහ හයකට කලින් වගේ නෙවෙයි දැන් තියෙන තත්ත්වේ. ඒක නිසා දැන් හරි අමාරුයි අවුරුදු කන්න. අවුරුදු සමරන්න කලින් බලන්න ඕනැ එදා දවස ජීවත් වෙන්නේ කොහොමද කියලා. බඩු ගන්න බැහැ. හැම බඩුවක්ම ගිනි ගණන්. රෙදිපිළි ගන්න විදිහක් නැහැ. වෙන අවුරුදුවල අතේ තියෙන සල්ලිවලට අවුරුද්දට මුළු පවුලටම රෙදි, බඩු ගන්න පුළුවන්. ඒ වුණාට අද එහෙම ගන්න බැහැ.”
වෙළෙන්දාට අවුරුදු සරු වුණත්, පාරිභෝගිකයාට හිතන තරමට අවුරුදු සරු නැත. ඒ පිළිබඳව තුෂාර ප්‍රකාශ කළේ මෙවන් වූ අදහසකි.
“අවුරුදු කනව කියන එක අද කාලෙ හැටියට ගොඩක් අමාරු දෙයක්. 35,000ක් 40,000ක් වගේ පඩියක් අරගෙන මේ හැම දේම කරගන්න අමාරුයි. එහෙමයි කියල, ගෙදර පොඩි උන් දෙන්නට ඇඳුමක් අරන් නොදී ඉන්න බැහැ. අවුරුද්දට එක පාරයිනෙ මේ වගේ කාලයක් එන්නෙ. අපිට නම් පුළුවන් මොනවහරි කාල ඇඳල ඉන්න. ඒත් ඒ ගැන දරුවන්ට අඟවන්නත් බැහැ. මේ අවුරුදු සතියේ බඩුගන්න ආවෙත් ටිකක් හරි අඩුයි කියල හිතාගෙන. ඒත් තුනපහවල විතරක් නෙවෙයි, ප්ලාස්ටික් බේසමක ගාණත් වැඩිවෙලා. ඇත්තටම මේ ජීවන වියදමත් එක්ක, හරිම අමාරුවෙන් තමයි අපි කාල ඇඳල ඉන්නෙ.”
මෙවර අවුරුදු සැමරීම අනෙකුත් වසරවලට සාපේක්ෂව ඇතැම් පාරිභෝගිකයන්ට අසීරු කරුණක් බවට පත්ව ඇත. පොලියට කීයක් හෝ සොයාගෙන, එදාවේල පිරිමහ ගැනීමට මෙන්ම, ගෙදර රැකියාවක් කරනන්නෙකු සිටීනම් ඔහුගේ බෝනස් මුදලෙන් පිරිමහගෙන, නැතිනම් කනකර බඩුවක් උකස් කර, අවුරුදු සමරන මිනිසුන් සිටින බව නොරහසකි.
මේ පාර අවුරුදු කන්න කනකර උකස් කරන අය වෙන අවුරුදුවලට වඩා වැඩියි.
අලුත් අවුරුදු උදාවට ආසන්න මේ දින කීපය තුළ උකස් අංශයේ වැඩි වීමේ වර්ධනයක් පවතින බවත් සහ පෙබරවාරි අග සහ මාර්තු මාසයේ මුල කාල පරාසයේ දී රන් භාණ්ඩ උකස් කිරීමේ සාපේක්ෂ වර්ධනයක් දැකගත හැකි බවත් මහරගම දැඩිගම උකස් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ක්‍රිෂාන්ත ධර්මප්‍රිය අප වෙත ප්‍රකාශ කළේය.
“ගිය අවුරුද්දට සාපේක්ෂව, මේ අලුත් අවුරුද්ද සමරන්න මිනිස්සු ආර්ථිකමය වශයෙන් මූල්‍ය පහසුකම් සපුරගන්න, අපි ළඟට එන පිරිසේ වැඩි ප්‍රවණතාවක් මේ අවුරුද්දේ තිබෙනවා. බොහෝ ව්‍යාපාරිකයන් රන් භාණ්ඩ උකස් කරලා තමයි ව්‍යාපාර කටයුතු වලට මුදල් ආයෝජනය කරන්නෙ සහ මූල්‍ය ශක්තිමත් කරගන්නෙ. ඒ උකස් කරන භාණ්ඩ බේරගන්න අප්‍රේල් 12-13 දවස් දෙක ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් යොදා ගන්නවා. ඒ වගේම, මධ්‍යම පන්තිය සහ පහළ මධ්‍යම පන්තිය භේදයක් නැතුව 10 වෙනිදා පමණ වෙනවිට අලුත් ඇඳුම් පැලඳුම් ගන්න අලුත් අවුරැද්දට සූදානම් වෙන්න තමන්ගේ රන්භාණ්ඩ උකස් කිරීම සිද්ධ කරනවා. අතීතයේ මිනිසුන් ඉතා සැහැල්ලුවෙන් අලුත් අවුරුද්ද පිළිගත්තාත් වර්තමානයේ මෙරට පවතින ආර්ථිකමය ගැටලු නිසා මිනිසුන්ට එය සැහැල්ලුවෙන් සිතන්නට බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අවුරුද්ද ළං වෙනකොට, සල්ලි නැතත් දරුවන්ට අවුරුදු කන්න දෙන්න දෙමාපියෝ රත්තරන් බඩුවක් හරි උකස් කරනවා.”
කොළඹ පිටකොටුව කියන්නෙත් උත්සව කාලවලදී කාර්යබහුල වැඩිම නගරයකි. ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම් වගේම පාරිභෝගිකයන් අවුරුදු සමය තුළ ගෙදරට අවශ්‍ය බොහෝ දේ ගන්නට පැමිණෙන්නේ පිටකොටුවටයි. අපේ ඊළඟ නැවතුම වූයේ කොළඹ පිටකොටුවේ අවුරුදු සොයාගෙනයි. පිටකොටුවේ බොහෝ ව්‍යාපාරිකයන්ගේ අදහස වූයේත් ගිය අවුරුදුවලට සාපේක්ෂව, මෙවර අවුරුද්දේ පාරිභෝගිකයන්ගේ පැමිණිම අඩු බවයි.
මේ අවුරුදු 5ක පමණ සිට, බෑග් වෙළෙඳාමේ යෙදෙන, මොහොමඩ් තාලිෆ්ගේ අදහස යි.
“මේ දවස්වල බිස්නස් හරි අඩුවෙන් යන්නේ. මිනිස්සුන්ට සල්ලි නෑ. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද බිස්නස් අඩුයි. අනිත් එක, සෑහෙන්න බඩු ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මං හිතන්නේ මිනිස්සු එන්නැත්තේ. පඩියට වැඩිය වියදම වැඩියි. ඒක තමයි ප්‍රශ්නය. කරන්ට් බිල, වතුර බිල වුණත් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා අවුරුද්දටවත් මිනිස්සුන්ට සතුටින් ජීවිතේ විදින්න අමාරු වෙලා තියෙනවා.
කොටුවෙහි රෙදි තොග වෙළෙඳාමේ යෙදෙන ‘නවලංකා’ ව්‍යාපාරයේ මනෝහරන් ප්‍රකාශ කළේ, මෙම වසරෙහි බිස්නස් ඉතා හොඳ බවයි.
“ගිය අවුරුදුවලට වඩා බිස්නස් හොඳයි. දකුණට, උතුරට, මහනුවරට තමයි වැඩිපුරම රෙදි තොග, විදිහට අරගෙන යන්නේ. කලින් සති ටිකේ බිස්නස් හොඳට තිබුණා. ඒ දවස් ටිකට වඩා මේ අවුරුදු සතියේ බිස්නස් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි සාමාන්‍ය රෙදි මීටරයක් රුපියල් 250කට වගේ දෙනවා.”
උත්සව කාලවලදී, වෙනදා මෙන්, කොටුවේ පාරිභෝගිකයන් නොගැවසුණ ද, අප කිහිප දෙනෙකු සමඟම කතා කළ අතර, ඔවුන් මෙවර අවුරුද්ද සම්බන්ධව කතා බහ කළේ කලකිරුණු ස්වරයෙනි. චතුමි මහත්මිය කොටුවෙහි බඩු බාහිරාදිය ගැනීමට පැමිණි අයෙකි. මෙදා අවුරුද්ද ඉතාමත් අසීරු බව ඇය පැවසුවාය.
“මම මේ ආවේ ළමයින්ට හරි ඇඳුමක් අරන් යන්නම් කියලා. මට ළමයි 4 දෙනෙක් ඉන්නවා. මහත්තයා කරන්නේ කුලී වැඩ. මේ තියන බඩු මිල එක්ක මොන අවුරුදු ද? පොඩි ළමයෙකුට ඇඳුමක් ගන්න ගියත් රුපියල් 2000ට වැඩී. එදා වේල හම්බකරගෙන කන අපිට, සල්ලි තියනවනම් හැමදාම අවුරුදු තමයි. හාල් කිලෝ එකයි පරිප්පු ග්‍රෑම් 250යි තුනපහ බඩු ටිකයි ගනිද්දීම දවසේ පඩිය ඉවරයි. අවුරුදු හොඳයි සල්ලි තියන මිනිස්සුන්ට.”
අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් ගන්න වගේම, තම නිවස හුණු පිරියම් කිරීම ද අවුරුදු සූදානමේ කොටසකි. මේ දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩ සේම තීන්ත වර්ග අලෙවිය ද නොයෙකුත් අයුරින් කතාබහට ලක්වෙන කරුණකි. කොළඹ කොටුවෙහි මේ සියලු භාණ්ඩ අඩුවක් නැතුව සපයන ස්ථානයක් බැව් ප්‍රකටය. තීන්ත වර්ග අලෙවිය පිළිබඳව ද වෙළෙඳුන්ගෙන් කළ විමසීමක දී ඔවුන් දැක්වූයේ මෙවන් වූ අදහසකි.
“මම මොහොමඩ් රවුෆ්. අවුරුදු 37ක ඉඳලා මේ කඩේ කරගෙන යනවා. දැන් බිස්නස්නම් ඉස්සර තරම් නෑ. හරිම අඩුයි. සියයට 45-39 වගේ තමයි බිස්නස් යන්නේ. ඉස්සර ඉඳන් අපේ රටේ පාලකයන් මුදල් හොරකම් කරපු නිසා, අපේ රටේ මුදල් විනාශ කරපු නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. මේ තීන්ත, බඩු ඉස්සර මෙහෙම තිබුණේ නෑ. දැන් තීන්ත ලීටර් 4 රු.700යි. කොරෝනාවලට කලින් මේවා මෙහෙම තිබුණේ නෑ. ආපු ගමන් බඩු ඉවරයි. මිනිස්සු පොරකනවා අවශ්‍ය ද්‍රව්‍ය ගන්න. හාඩ්වෙයාර් බඩු ඉස්සර තරමට යන්නෑ.”
සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේම මිනිසුන්ගේ මානසික නිදහස මත, අවුරුද්ද සරුද නැති ද යන්න තීරණය වීමකි. කෙනෙකුට සරුසාර වෙද්දී ඇතැමෙකුට සරුසාර නොවෙන්නේ, අතමිට සරුවීම හෝ නොවීම මත ඇතිවෙන මානසික සිතුවිලි නිසයි. ඒ කෙසේ වෙතත්, සියල්ලන්ටම සුභ කාලයක් උදා වී, එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය, සතුටින් සාමකාමීව අගහිඟකමකින් තොරව ගත කිරීමට අවස්ථාව උදාවෙන්නේ නම් රටටම අවුරුදු එවිටය.
සුදර්ශනි කෝණාර
මදූෂා දිල්ෂානි
ඡායාරූප - සුමුදු හේවාපතරණ,
ළහිරු හර්ෂන
අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්
එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ
මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර
ශ්රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ
මියන්මාරයේ සිදුවූ භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකු
අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙදා සැරේ අවුරුදු සරුද?