IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යුද ගිනි අළු මතින් නැගී සිටි උතුරේ දිරිය කත

ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ට වඩා උතුරුකරයේ කාන්තාවන් ශක්තිමත් යැයි පැවසෙයි. තිස් වසරක යුද්ධයෙන් බැට කා, ඔවුන් සිටියේ හෙම්බත්වය. ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් නොයෙක් ආබාධිත තත්ත්වයන්ට ලක්වීම හෝ මිය යෑම නිසා පවුලේ ආර්ථිකය කරට ගැනීමට සිදුවූයේ උතුරේ කාන්තාවටය. එම නිසා උතුරේ ආර්ථිකයට ඇය ශක්තියක් එක් කරන්නේ වෙහෙස මහන්සියෙනි. එම නිසා එම ප්‍රදේශවල නිෂ්පාදන කටයුතුවල බහුලව නිරත වෙන්නේ කාන්තාවන්ය. ඒ අනුව අල්පේච්ඡ ජීවිතයක් ගෙවන උතුරේ වැසියන්ගේ දියුණුවට හෝ දෛනික ජීවිකාව සරිකර ගැනීමට කාන්තාව අනිවාර්ය සහභාගිත්වයක් දක්වයි.
යාපනයේ පුදුකුඩිඉරිප්පු නගරයේ වෙසෙන ක්‍රිෂ්ණදාස් සාජිරාණි ද යුද සමයේ සහ යුද්ධයෙන් පසුව බොහෝ දුක් පීඩා විඳි කාන්තාවකි. නමුත් ඇය මේ වෙන විට ස්වෝත්සාහයෙන් නැගිට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර එම ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන්නීය. ඇය දැනට ලබා ඇති සාර්ථකත්වයට පෙර ඇයගේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් ද ඇත. එම අමිහිරි මතක ඇය අවදි කළේ මෙසේය.


“මගේ උපන්ගම මුලතිව්වල පුදුකුඩිඉරිප්පු. විවාහ වෙලා පදිංචි වෙලා හිටියෙත් පුදුකුඩිඉරිප්පුවලමයි. මගේ ස්වාමිපුරුෂයා එල්.ටී.ටී.ඊ එකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. යුද්ධයේ අවසන් සමයේ අපි හමුදාවට බාර වෙන්න තීරණය කළා, අපි කණ්ඩායමක් විදිහට. එනකොට එල්.ටී.ටී.ඊ එක අපිව කොටු කරලා පිටතට යන්න නොදී තියාගෙන හිටියා. ආරක්ෂක පවුරක් විදිහට එල්.ටී.ටී.ඊ එක තියන් හිටියේ සාමාන්‍ය මිනිස්සුන්ව. ඒත් අපි එල්.ටී.ටී.ඊ එකේ පාලනයෙන් මිදිලා නන්දිකඩාල් කළපුව හරහා හමුදාව ඉන්න පැත්තට ආවා. 2009 කියන්නේ යුද්ධය දරුණුවට තිබුණු සමයක්. 
හිසට උඩින් ෂෙල් ප්‍රහාර, නන්දිකඩාල් කළපුවේ දී ගොඩක් අය ෂෙල් වැදිලා මැරුණා. කළපුවේ සිරුරු පා වෙනවා. කළපුවේ වතුර රතු පාට වෙලා. මගේ ස්වාමිපුරුෂයත් මගේ ඇස් ඉදිරිපිටදීම ෂෙල් වැදිලා නැතිවුණා. මටත් ෂෙල් කැබැල්ලක් වැදිලා නළල තුවාල වුණා. ඒ වෙනවිට මගේ පුතාට වයස අවුරුදු 9 යි. කළපුවේ වතුරේ ඇවිත් එයා අසනීප වුණා. හමුදාවට බාර වුණාට පස්සේ පුතාව රෝහල් ගත කළා. මටත් පුතත් එක්ක රෝහලේ ඉන්න සිද්ධ වුණා.  ඒ අමිහිරි මතකයන් මගේ ජීවිතයෙන් කවදාවත් අමතක වෙන්නේ නැහැ.”
තම ස්වාමිපුරුෂයාගේ මරණය වෙනුවෙන් කිසිදු ආගමික කටයුත්තක් සිදු කිරීමට නොහැකි වීම පිළිබඳව සාජිරාණි අදටත් කම්පා වෙන්නීය. තම පුතා සමග දින දහයක කාලයක් රෝහලේ නේවාසිකව සිට සුව වීමෙන් පසුව යුද්ධයෙන් අවතැන් පිරිස් කණ්ඩායමක් වව්නියාව විශ්වවිද්‍යාලයේ අවතැන් කඳවුර වෙත යොමු කරන ලදී. ඉන් මාස තුනකට පසුව සෙට්ටිකුලම් හි පිහිටි ආනන්ද කුමාරස්වාමි යනුවෙන් නම් කරන ලද අවතැන් කඳවුර වෙත යොමු කරන ලදී.


“මගේ නළලට ෂෙල් කැබැල්ලක් වැදිලා තුවාල වුණාට පස්සේ මට ෆිට් එක හැදෙනවා. වෛද්‍යවරු උපදෙස් දීලා තිබුණා ටෙන්ට් ඇතුළේ ඉන්න එක අවදානම් කියලා. ඒ නිසා මටයි මගේ පුතාටයි වව්නියාවේ මගේ ඥාති කෙනෙකුගේ නිවසට යන්න අවසර ලැබුණා. එහිදී මම පුතාව වව්නියාව දමිළ විද්‍යාලයට ඉගෙනීම සඳහා ඇතුළ් කරලා එයාව එහේ නැවැත්තුවා. 
මටත් හැමදාම ඥාති නිවසේ ඉඳගෙන නිකං ඉන්න එකත් එපා වුණා. ඒ අතර වව්නියාව හෝටලයක රස්සාවක් හොයාගන්න මට පුළුවන් වුණා. දවසට රුපියල් 300 පඩියට මම එහෙ වැඩ කළා. පුතාට පාසලේ නේවාසිකාගාරයේ ඉඳලා එයාගේ වැඩ ටික තනිවම කරන්න අමාරු වුණා. ඒ නිසා චාවකච්චේරියේ මගේ ඥාති සහෝදරියකගේ නිවසට පදිංචියට ගියා. මම එහෙ ඉන්න කාලේ වඩේ, රෝල්ස් වගේ කෑම වර්ග හදලා කඩවලට දැම්මා.”
සාජිරාණි එසේ සිය අතීත මතකය අලු‍ත් කළේ එදා ඒ දැනුන වේදනාවේ තවමත් නොමැකී ඇති මතක අතරිනි. 2013 වර්ෂයේ දී එවකට  අවතැන් උතුරේ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු රජයේ මූලිකත්වයෙන් ඇරඹුණි. ඒ අනුව සාජිරාණි ද ඇයගේ පුතා සමඟ පුදුකුඩිඉරිප්පුවලට පැමිණියාය.
“අපේ ගේ තිබුණු තැන කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තනිකරම කැලය වැවිලා තිබුණේ. ඒ දවස්වල රාජ්‍ය නොවන සංවිධානයකින් අවතැන් මිනිස්සුන්ට රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දුන්නා. ඒ වගේම තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ටෙන්ට් එකක්ද ලැබුණා. අපි හිටපු තැන කිට්ටුව බඩු ගන්න කඩයක්වත් තිබුණේ නැහැ. මම හෝටලේ රස්සාව කරලා එකතු කරපු සල්ලිත් දාලා, චාවකච්චේරියට ගිහින් බඩු ගෙනැවිත් පුංචි කඩයක් දැම්මා. හාල්, මිරිස්, ලූනු වගේ සිල්ලර බඩු කිලෝ 5 ගණනේ වගේ ගෙනැවිත් විකුණන්න පටන් ගත්තා.”
මේ අනුව යාපනයේ බොහෝ කාන්තාවන් තමන්ගේම කියා ස්වයං රැකියාවක් නැතහොත් කුමන හෝ රැකියාවක නිරත වේ. එමෙන්ම යාපනයේ කෘෂි ආර්ථිකය තුළ නියැළෙන කාන්තාව ගොවිබිම් කරා ගොස් මහපොෙළාවත් සමග ඔට්ටු වෙමින් හරි හරියට වගා කටයුතු කරයි. මේ ආකාරයෙන් ගෙවන යාපනයේ කාන්තාවගේ ජීවිතයේ අපතේ යැවීමට කිසිම කාලයක් ඉතිරි වී නොමැත. පශ්චාත් යුද සමයෙන් පසුව උතුරේ සංවර්ධනයට කාන්තාවගෙන් ලැබෙන්නේ මහත් පිටුබලයකි. ඇය සියලු වේදනාවන් දරාගෙන සිටිනවා යැයි කිවහොත් නිවැරදිය. දැන් දැන් උතුරේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට එකී පරිවර්තනීය වෙනස සැබවින්ම දැකගත හැකිය.   
මේ කාලයේම තවත් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සාජිරාණි ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීමට හා භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන බව පවසා ඇත. එම අවස්ථාවේදී සාජිරාණි  පවසා ඇත්තේ, තමාගේ සුළු ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමට ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙසය.
“මේ වෙනකොට මට රියදුරු බලපත්‍රයක් තිබුණේ නැහැ. මගේ උත්සාහයෙන් මට රියැදුරු බලපත්‍රයක් ගන්න හැකි වුණා.  මට ලැබුණු පනස් දහසක මුදලට මම ඉතිරි කරගත් මුදලු‍ත් දාලා මම අඳුනන හිතවතෙකුගේ මාර්ගයෙන් ලීසිං ක්‍රමයට ත්‍රීවීලරයක් මිල දී ගත්තා. මගේ ව්‍යාපාරයට අලු‍ත් යමක් කරන්න ඕනැ කියලා හිතලා, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලු‍ණු එහෙම ගෙනල්ලා පැකට් කරලා කඩවලට දැම්මා. ඒ සෑම පැකට් එකකටම මම අතින් ලේබල් ලිව්වා. මුරුක්කු, වඩේ වගේ කෑම වර්ගත් හදලා කඩවලට දැම්මා. සෙනසුරාදාට පුතාත් එක්ක ත්‍රීවීලර් එකේ ගිහින් කොස්, ගස්ලබු, පොල්, කෙසෙල් එහෙම එකතු කරගෙන ඇවිත් ඉරිදා පොළට දාලා විකුණුවා.”
සාජිරාණි මෙසේ පියවරෙන් පියවර නැගී සිටියාය. ඒ අතරතුර රජයේ අනුග්‍රහයෙන් තුනපහ ආදී මිශ්‍රණ සකස් කර විකිණීම පිළිබඳ පුහුණුවකට සහභාගි වීමට හැකිවිය. මෙහිදී යාපනයේ එවැනි ව්‍යාපාරිකයන් හමුවීමට ද ඇයට අවස්ථාව ලැබුණි.  නමුත් ඒ ගැන සාජිරාණි පැවැසුවේ මෙවැන්නකි.
“යාපනයේ බොහෝ දෙනෙක් තුනපහ මිශ්‍රණ සකස් කර විකිණීමේ යෙදී සිටිනවා. ඒ වගේ ව්‍යාපාර ගොඩක් තියෙන නිසා ඒ ව්‍යාපාරිකයින් සාර්ථක වෙලා හිටියේ නැති බව මම දැක්කා.  ඒ නිසා මට ඒ ව්‍යාපාරයක් විතරක්ම කරලා සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන් කියලා හිතුණේ නැහැ. මට ඕනැ වුණේ වෙනස් යමක් කරන්නයි.”
ඇය අලු‍තින් ව්‍යාපාරයක් කිරීමට සිතන්න පටන් ගත්තේ එතැන් සිට බව කියන්නීය. ඒ අනුව සාජිරාණි  
වෙනස් ව්‍යාපාරයක් කිරීම සඳහා පදනම සකස් කළාය.
“වසවිසෙන් තොරව සකස් කරන ලද ස්වභාවික ආහාරවලට ඉල්ලු‍මක් තිබෙන බව මම දැනගත්තා. මම ගොටුකොළ සාරයෙන් ටිපිටිප් හදන්න මුලින්ම උත්සාහ කළත් ඒ උත්සාහය අසාර්තක වුණා. පසුව මම ගොටුකොළ සාරයෙන් පපඩම් හැදුවා. පස්සේ මම එළවළුවලින් පපඩම් හැදුවා. ඒ නිෂ්පාදනය ඉතා සාර්ථක වුණා. මුරුංගා කොළවලින් පපඩම් හැදුවා. කෝපි කුඩු, හාල් පිටි, කුරක්කන් පිටි පැකට් කරලා විකුණුවා. ඒ වගේ දේවල්වලට හොඳ ඉල්ලු‍මක් තිබුණා. මට ව්‍යවසායකත්ව වෙළෙඳ ප්‍රදර්ශනවලටත් කැඳවීම් ලැබුණා. ඒ අනුව 2014 වසරේ මහනුවර පවත්වපු වෙළෙඳ ප්‍රදර්ශනයේ දී මගේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. 
එහි සංවිධායක මණ්ඩලය මගේ නිෂ්පාදන එළවළු නිෂ්පාදනම ද කියලා රිසර්ච් සෙන්ටර් එකට ගෙනගිහින් රිසර්ච් කළා. එයින් මගේ නිෂ්පාදන 100% ක්ම එළවළු නිෂ්පාදන කියලා පිළිගත්තා. ඊට පස්සේ මාව කොළඹට ගෙන්වලා සම්මානයකුත් පිරිනැමුවා. මම මුලින්ම කොළඹ දැක්කෙත් එදා තමයි. දිස්ත්‍රික්ක 25 න් මට දෙවැනි ස්ථානය දිනා ගන්න පුළුවන් වුණා. සම්මානය ලබපු එකම දමිළ කාන්තාව මමයි. 2018 වසරේදී කොළඹ බී.එම්.අයි.සී.එච්. එකේ තිබුණ වෙළෙඳ ප්‍රදර්ශනයටත් මම සහභාගි වුණා.” සාජිරාණි පවසන්නේ මහත් ආඩම්බරයකිනි.
සෑම ව්‍යවසායකයෙක්ම තම ව්‍යාපාරය වර්ධනය කරගැනීමට නොයෙකුත් ක්‍රියාමාර්ගවලට එළඹේ. ඒ අනුව සාජිරාණි  ද තම ව්‍යාපාරයේ ඉදිරි ගමන ගැන, වර්ධනය ගැන තීන්දු තීරණ ගනු ලැබුවාය. ඇය යාපනය ප්‍රදේශයේ ගොවීන්ගෙන් ස්වාභාවික අමුද්‍රව්‍ය මිලදී ගෙන තම නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම සිදුකරන්නීය.
“මුලින්ම මම පොඩි ගොඩනැගිල්ලක තමයි ව්‍යාපාරය පටන් ගත්තේ, මට 2015 දී ඉඩමක් ලැබුණා. ඒ ඉඩමේ දැනට මම මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකරගෙන ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනවා. මගේ ව්‍යාපාරයේ කටයුතුවලට දැන් මගේ පුතාත් උදව් කරනවා. ව්‍යාපාරයේ කර්මාන්තශාලාවේ සේවය කරන සියලු‍ දෙනාම යුද්ධයෙන් වැන්දඹු බවට හෝ ආබාධිත බවට පත්වූ කාන්තාවන්. එවැනි අය 17 දෙනෙක් දැනට සේවය කරනවා. මගේ ශක්තිය ඒ අය තමයි. දැන් මගේ ව්‍යාපාරය දියුණු 
වෙලා මේ තත්ත්වයට එන්න උදව් වුණේ ඒ අයගේ ශ්‍රමයයි.”


“දැන් මගේ නිෂ්පාදනවල මුරුංගා කොළවලින් පපඩම්, එළවළු පපඩම්, කෝපි කුඩු, හාල් පිටි, කුරක්කන් පිටි, ගොටුකොළ පිට්ටු පිටි, පෝෂණ අග්ගලා, පාම් හකුරු, ලුණු කුඩු, මුරුංගා කොළ කුඩු, තනපහ කුඩු, ඉඟු‍රු කුඩු හා මික්ෂර් වර්ග ඇතුළු තවත් බොහෝ දේ තිබෙනවා. ඒවා පැකට් කිරීම, බෝතල්වල ඇසිරීම සෑම කටයුත්තක්ම කරන්නේ කාන්තාවන්. මේ නිෂ්පාදන යාපනය, වව්නියාව, කිළිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලටත් යවනවා. කුඩා ලොරි රථයකුත් ලීසිං පහසුකම යටතේ ගන්න පුළුවන් වුණා. නිෂ්පාදන කඩවලට දාන්න මමත් ලොරි රථය පදවගෙන යනවා. ඒ වගේම මගේ නිෂ්පාදන නියෝජිතයෙකු මාර්ගයෙන් කොළඹ කඩවලටත් අලෙවි කරනවා.”
එපමණක් නොව, සාජිරාණි තම නිෂ්පාදන ස්විට්සර්ලන්තය, 
කැනඩාව හා ප්‍රංශය වැනි රටවලටත් අපනයනය කරන්නීය.
“අපි කරන නිෂ්පාදනවලට ඉන්දියාවේ තියෙන්නේ තරගකාරි වෙ​ෙළඳපොළක්. මට ඕනැ වුණා මගේ නිෂ්පාදන ඉන්දියාවටත් අපනයනය කරන්න. මම පසුගිය වසරේ මුම්බායට ගියා මුකේෂ් අම්බානි මහතාව හමුවීමටත්. මගේ ඒ ගමනේ අරමුණ වුණේ ඉන්දියාවේ තරගකාරි වෙළෙඳපොළ ඇතුළට යන්න, මගේ නිෂ්පාදන ගැන ප්‍රචාරණයක් විදිහට යි.”  
සිය නිෂ්පාදන සෑම වර්ගයක්ම සකස් කරන්නේ, තමන් විසින් බවත් නැතිනම් තමාගේ සෘජු අධීක්ෂණය යටතේ බවත් සාජිරාණි  ප්‍රකාශ කළාය. කිසිදු ගුරුවරයෙකුගෙන් ඒ පිළිබඳව කිසි දිනෙක හදාරා නැති ඇය, බොහෝමයක් නිෂ්පාදන කරන්නේ තමන් ස්වෝත්සාහයෙන් දියුණු කරගත් දැනුම තුළින් බව පවසා සිටියාය.
“මම අලු‍ත් නිෂ්පාදනයක් කරද්දි ඒ ගැන පර් යේෂණය කරනවා. ඒ නිෂ්පාදනය රසට හා ගුණාත්මකව හදන්නේ කොහොමද කියන එක මම 
අත්හදා බලලා තමයි, වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ.”
ඩහදියේ මුසුවෙන් සිය සාර්ථකත්වයේ කතාව ගොඩනගාගත් ඇය අද මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් තනා එය කර්මාන්ත ශාලාවක් ලෙසින් හා වෙළෙඳ ආයතනයක් ලෙසින් වර්ධනය කරගෙන ඇත. “සදු නිෂ්පාදන” යනු ඇයගේ නිෂ්පාදනවල නාමයයි.
රටක කොඳුනාරටිය බඳු ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සාජිරාණි මහත්මිය වැනි කාන්තාවක් ලංකාවට සිදුකරන්නේ සුවිශාල මෙහෙවරකි.
එම්. තාරික්



අදහස් (0)

යුද ගිනි අළු මතින් නැගී සිටි උතුරේ දිරිය කත

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 21 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 29 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම
2024 අගෝස්තු මස 27 77 0

ඵෙතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුදු මැද පිහිටි එකම දේවාලයයි. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමාන


සර්පයන්ට මෙත් වඩන මෙලූෂා
2024 අගෝස්තු මස 27 83 0

ජීවිත අවදානම දෝතින් දරාගෙන වසර හයක කාලයක් තිස්සේ සිට අනාරක්ෂිතව මරණය අභිමුඛව සිටින නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ඝෝර සර්පයින් නිරුපද්‍රිතව අල්ලා අභය


ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය
2024 අගෝස්තු මස 27 67 0

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක් වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයා


තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්
2024 අගෝස්තු මස 21 35 0

1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායෙන් හඳුන්වාදුන් මෙරට තේ වගාව හොඳම තේ නිපැයුම්කරුවා වශයෙන් නමක් දිනා ගත්තේය. නමුත් එය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site