IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්ග්වේය. හෙමින්ග්වේගේ ඒ අමරණීය වචන දුප්පත් ධීවරයෙකුගේ මුවට නංවන්නේ ‘%මහල්ලා සහ මුහුද’ කෘතිය ලියමිනි. අද අපේ කතාවේ කතා නායිකාවට ද මෙම වචන සාකල්‍යයෙන්ම ගැළපෙන බව සඳහන් කළ යුතුය. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති දරුණු යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ දහස් ගණන් ජීවිත අහිමි වූ අතර තවත් දහස් ගණනක් ආබාධිතයන් බවට 
පත් වූහ.


එලෙස ආබාධිත වූවන් අතරින් ඇතැමෙක් සිය ආබාධිත තත්වය බාධාවක් කර නොගනිමින් ජීවිතයේ ඉදිරියට පැමිණි අවස්ථා එමටය. ඇස් පෙනීම දුර්වලව, දකුණු අත අහිමිව ලිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකවලින් තොර වුවද, ඇය එයින් පරාජයට පත් නොවීය. අද ඇය වෙනදාටත් වඩා වැඩියෙන් ලියන්නීය. මේ වෙනවිට ග්‍රන්ථ 13 ක් ඇය අතින් රචනා වී ඇත. ඒ අතර විචාර ග්‍රන්ථ ද අන්තර්ගතය. එම කෘති පිටපත් 3000 ඉක්මවා විකිණී ඇති බවද ඇය සඳහන් කරයි. 
ඇය නමින්, වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා ය. මන්නාරම අඩන්පන් ගමෙහි උපන් ඇය පාසල් වියේදීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නේ, 1983 කළු ජූලියෙන් දමිළ ජනයාට සිදුවන අසාධාරණකම් ගැන ඇසීමෙන් හා දැකීමෙනි. ඒ අනුව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකාවකි. එහෙත් ඇය මේ වෙනවිට කිවිඳියක, ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක, මාධ්‍යවේදිනියක මෙන්ම මනෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන්නීය.
“මම පාසල් ගියේ, අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලයටයි. යුද්ධය නිසා ඒ පාසල් වැසී ගියා. ඊට පස්සේ කාත්තන්කුලම පාසලට සම්බන්ධ වෙලා මගේ ඉගෙනීමේ කටයුතු කරගෙන ගියා. යුදමය තත්වය වර්ධනය වීම නිසා ඒ පාසලේ ගුරුවරු පාසලට පැමිණීම අඩු වුණා. ළමුන්ගේ පාසැල් යෑමත් නතර වුණා. මගේ වැඩිමහල් සහෝදරයා මේ වෙනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා හිටියා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටි මටත් තද බල අවශ්‍යතාවක් තිබුණා සංවිධානයට සම්බන්ධ වෙන්න. මේ කාලයේ මම දමිළ ජාතියට සිදුවන හිංසනය හා මම ලබපු අත්දැකීම් ගැන විරෝධාකල්ප කවි ලිව්වා. 1991 අවුරුද්දේදී මම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වුණා. එතකොට මට වයස අවුරුදු 17 යි. ඒ දවස්වල මම හිතුවේ සංවිධානයට වැඩිපුර තරුණ තරුණියන් එකතු වුණොත් යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලයි.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්න යනකොට මම ගෙදරටවත් කිව්වේ නැහැ. ඒත් අම්මාට දැනිලා තිබුණා නැවත මම එන්නේ නැති ගමනක් මේ යන්නේ, කියන හැඟීම තමයි මගේ හිත ඇතුළේ තිබුණෙ. සංවිධානයට යනකොට මගේ ඇඳුම් ගත්තෙ නැහැ, මම ලියපු කවි පොත්, පෑන් විතරයි අරගෙන ගියේ. ඒ තරම්ම මම සාහිත්‍ය වැඩවලට ආසයි.”
පළමු වරට සංවිධානයේ දී වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා හට මූලික පුහුණුවීමක් ලැබිණි. නමුත් ඇය සංවිධානයෙන් සටන් පෙරමුණ කරා එවීමට කටයුතු කළේ නැත. ඇයට මූලික පුහුණුව ලබාදීමේ දී කණ්ඩායමේ නායකයා පවා කනගාටුව ප්‍රකාශ කළේය. ඊට හේතුව කටුක ගරිල්ලා ජීවිතයට ඔරොත්තු දීමේ ඇගේ හැකියාව පිළිබඳව ඇති වූ සැකය නිසා විය හැකිය.
“එල්.ටී.ටී.ඊ. එකේ ඉඳිද්දිත් මම සංවිධානයේ කලා හා සංස්කෘතික අංශයට සම්බන්ධව වැඩ කටයුතු කළා. මම කවි ලියලා ඒවා පොත් විදිහට බැඳලා සංවිධානයේ අයට කියවන්න දුන්නා. සංවිධානයේ විශේෂ දිනවලට කවි, කෙටි කතා වගේ දේවල් ලිව්වා. ඒ නිසා සාහිත්‍යයට මම දක්ෂයි කියලා කණ්ඩායමේ නායක මට්ටමේ අය 
දැනගෙන හිටියා.
මෙහෙම වැඩ කරගෙන ඉද්දි යුද පෙරමුණට යන්න මට අවස්ථාව ලැබුණා. 1993 නොවැම්බර් 30 වැනිදා මට අමතක නොවන දවසක්. මට එතකොට වයස 19 යි. එල්ල වුණු ප්‍රහාරයකින් මගේ ඇස් දෙක පේන්නේ නැතිව ගියා. ඒ වගේම මගේ මුළු ශරීරයම තුවාල ගොඩක්. ඒ විතරක් නෙවෙයි මගේ දකුණු අතත් මට අහිමි වුණා. මේ නිසා මං ගොඩක් අසරණ වුණා. සංවිධානයේ දොස්තරවරු තමයි ප්‍රතිකාර කළේ. ඒ අය හිතුවේ මම ජීවත් වෙන එකක් නැහැ කියලයි. දකුණු ඇස මට අහිමි වුණා. නමුත් වම් ඇසේ ශල්‍යකර්මයක් කළාට පස්සේ සුළු පෙනීමේ තත්ත්වයක් ලැබුණා. ඉන් පසුවයි මට මගේ ජීවිතය ගැන පොඩි විශ්වාසයක් ආවේ. මේ අතර මට ආරංචි වුණා මගේ අයියාත් ප්‍රහාරයට ලක්වෙලා කකුලක් අහිමි වුණා කියලා.”
“තුවාල හොඳ වෙලා මාව ගෙනාවේ සංවිධානයේ කඳවුරට. එහිදී මට දකුණු අත නැතත් වම් අතින් හරි ලියන්න ඕන කියන සිතිවිල්ල ආවා. මම වම් අතින් අකුරු ලියන්න පුරුදු වුණා. ඒ මගේ ඇස් හා අත් අකුරුවලට හුරු කරන එක ගොඩක් අමාරු වැඩක්. ඒකත් අරගලයක් කිව්වොත් නිවැරදි.”


උපතින් දකුණු අත හුරුකාරියක වූ ඇය, දකුණු අත අහිමි වීමෙන් පසුව වම් අත හුරු කර ගත්තාය. කෙසේ හෝ වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා තම උත්සාහය අත්හැරියේ නැත. සිය සාහිත්‍ය හා කලා නිර්මාණ සඳහා තම සටන්කාමිත්වය යොදා ගත්තාය. මෙම අහිමිවීම් දරා ගනිමින් යළි නැගී සිටි ඇය නිදර්සනම්, පුලිගලින් කුරල් යන පුවත්පත්වලට සිය දායකත්වය ලබා දුන්නාය.
සාහිත්‍ය සහ දේශපාලනය යන දෙකේදීම ඉස්මතු වනුයේ විමුක්තිය යන කරුණයි. සැබවින්ම මිනිස් ඉතිහාසය යනු රුධිර ගංගාවකි. මිනිසාගේ සොයා ගැනීම්, දක්ෂකම්, වීරකම්, කලා සාහිත්‍ය නිර්මාණ, දර්ශනවා ද, ආගමික මතවා ද ආදි සියල්ල මිනිසාගේ යහපත සඳහා කළ කී දෑ සියල්ල, නිර්මාණය කළ දෑ සියල්ල එක් රාත්‍රියක දී යුද ගිනි ජාලාවන්ට හසුව දැවී යයි නම්, නූතන මිනිසාට තමන්ගේ දියුණුව පිළිබඳ උදම් ඇනිය හැකිද? විල් පත්ලෙන් නෙළුම් හටගන්නාක් මෙන් අමානුෂික යුද බිමෙන්ද, මනුෂ්‍යත්වයේ සුවඳ වහනය වන අගනා සාහිත්‍යයක් ඇය බිහි කළාය. එපමණක් නොව සංවිධානයේ සයිඩ් ඩ්‍රම් වාදන ශිල්පිනියක ලෙසින් ද කටයුතු කළාය.
“1995 දී මම හිටියේ වලිකාමම් කඳවුරේ. ඒ කාලයේ මම යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපතිවරයා ඇසුරු කළා. ඒ වගේම චාවකච්චේරි පුස්තකාලයේ සාමාජිකත්වය ගත්තා. කඳවුරේ සිටින කාලය තුළ මට පොත් කියවන්න අවස්ථාව ලැබුණා. මගේ කැමැත්තෙන්ම එල්.ටී.ටී.ඊ. කාන්තා අංශයේ සිට දේශපාලන අංශයට මාව මාරුකරන ලෙස ඉල්ලා සිටියා. සංවිධානයෙන් ඊට අනුමැතිය ලැබුණා. තුවාල වීමෙන් පස්සේ මම සංවිධානයේ කටයුතු කියලා කළේ, මාධ්‍ය හා සාහිත්‍ය සම්බන්ධ ලේඛන කටයුතු පමණයි.”


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල ගුවන්විදුලිය ලෙස සලකනු ලබන්නේ “කොටිහඬ” ගුවන් විදුලියයි. චන්ද්‍රකලාගේ දක්ෂතාව නිසාම සංවිධානයේ නිල ගුවන්විදුලිය වන කොටිහඬ ගුවන් විදුලියෙහි පිටපත් රචිකාවක් ලෙස සම්බන්ධ වීමට හැකි විය.
“1999 වසරේ දී කොටිහඬ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න කියලා සංවිධානයෙන් මට ආරාධනාවක් කළා. මම ඊට එකඟ වුණා. මම අවුරුදු පහක්ම ඒ කියන්නේ 2004 අවුරුද්ද වෙන තෙක්ම මට ගුවන් විදුලි නාට්‍ය, ගීත ලියන්න හම්බ වුණා. ඒ වගේම වැඩසටහන් නිෂ්පාදන කටයුතු වගේම නිවේදන කටයුතුත් මම සිදුකරලා තිබෙනවා. විශේෂයෙන් මහ විරු දිනය, සංවිධානයේ සුවිශේෂ දවස් මූලික කරගෙන තමයි වැඩසටහන් කරන්න වෙන්නෙ. ඒ වගේම තමයි සාහිත්‍ය වැඩසටහනුත් මම කළා. ඒ වගේ වැඩසටහනක් තමයි යුද්ධයේ නියැළී සිටින අක්කා කෙනෙක් කොළඹ සිරගතව සිටින මල්ලි කෙනෙකුට ලියපු ලියුම් කියවන තේමාවෙන් වැඩසටහනක් සිදුකළා. එය ඉතා ජනප්‍රිය වුණා. කොහොම වුණත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සාහිත්‍ය කලා වැඩසටහන්වලට අපිට පූර්ණ නිදහස දීලා තිබුණා. කොටිහඬ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ තමිලන්බන් නමැති තරුණයෙක්.”
2004 වසරේ දී වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා සිය පළමු පොත “වෙන්නිලා” (සඳ) එළිදක්වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහාය ද ඇතිවය. 
“2000 වසරේ දී තමයි මම මුලින්ම පරිගණකයක් භාවිත කළේ. එල්.ටී.ටී.ඊ. මාධ්‍ය අංශයේ සිටිය නිසා මට ඒ අවස්ථාව ලැබුණා. මම තනිවම කොහොම හරි පුරුදු වුණා. මගේ පළමු පොතේ සිට මේ වෙනකම් ලියපු සියලු‍ම පොත් ලිපි ටයිප් කරන්නේ මමයි. මගේ ලැප්ටොප් පරිගණකය මට තනි අතින් හසුරුවන්න පුළුවන්.” 2009 මැයි මාසයේ යුද්ධය අවසාන වීමත් සමගම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක ලෙස චන්ද්‍රකලා පුනරුත්තාපන කඳවුර වෙත පිටත් කෙරිණි.


“යුද්ධයේ අවසානයෙන් පසුව මාව හමුදාව බාරයට අරගෙන පම්බයිමඩු පුනරුත්ථාපන කඳවුරට ඇතුළත් කළා. පුනරුත්ථාපන කඳවුරේ ජීවිතය මානසිකව පීඩාකාරී. ඒ තත්වයෙන් මිදෙන්න මම කළේ ලේඛන කටයුතු. එහිදී මම පොත් කීපයක්ම කළා. මම පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස් වුණේ 2010 වසරේ දී. එහෙම ලියපු පොත් මම නිදහස් වුණාට පස්සේ එළිදක්වන්න පුළුවන් වුණා. විශේෂයෙන් මම දැක්ක යුදමය අත්දැකීම් සහ යුද්ධයෙන් පසුව ගතකරන ජීවිතය පිළිබඳ අත්දැකීම් ගැන සඳහන් කර, නවකතා පොත් මම රචනා කළා. එහෙම ලියපු පොතක් තමයි “ආරිපෝන කායන්ගලින් වලි” (සුව වූ තුවාලවල වේදනාව) යන පොත. ඒ වගේම “පෝරාලිඉන් කාදලි” (විප්ලවවාදියාගේ පෙම්වතිය) යන පොත. යුද්ධයේ අවසන් කාලය ගැන මගේ අත්දැකීම් සඳහන් කරමින් “ඊලපෝරින් ඉරුදි නාට්කල්” (ඊළාම් යුද්ධයේ අවසාන දවස්) යන පොත් මං රචනා කළා. 2007 වසරේදී සංවිධානයේ කඳවුරේ ඉන්න කාලයේ, “සුදන්දිර පරවෙයි” (නිදහස් පක්ෂියා) යන කවි පොත රචනා කරලා මුද්‍රණය කළා.”
“මීට අමතරව විවිධ ආබාධ සහිත අය වෙනුවෙන්, එවැනි අය ඉදිරියට ගෙන ඒම අරමුණු කරගත් කෙටි කතා මම ලිව්වා. 2016 වසරේදී මම ලියපු පොත මේ වෙනකොට මුද්‍රණ තුනකින් පිටපත් 3000 කට ආසන්න ප්‍රමාණයක් විකිණී තිබෙනවා.”
සාහිත්‍ය කටයුතුවලට අමතරව චන්ද්‍රකලා, යුද්ධයෙන් ආබාධිත වූවන් මුහුණදෙන ගැටලු‍ විසඳීමට පිහිටුවාගෙන ඇති සමාජ සේවා ආයතන රැසකට සිය දායකත්වය සපයයි. එපමණක් නොව, තම ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ඇය හැකි අයුරින් උදව් උපකාර කරයි. ඇය මේ සඳහා යොදාගන්නේ ඇයගේ පොත් පත් විකිණීමෙන් ලැබෙන මුදල්ය. 
“මම ලියපු පොත් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි ගත කළ ජීවිතය, විඳපු දුක සිංහල පාඨකයනුත් කියවන්න ඕන.” ඇය කියයි. 
හිටපු අරගලකාරියක යනුවෙන් සිදු කරනු ලබන හැඳින්වීමට ඇය දැඩි ලෙසින් විරුද්ධ වෙයි. සාමාන්‍ය ජනතාව සෑම දිනකම අරගලවල නිරත වෙන බැවින් “හිටපු” යන විශේෂ පදයක් එකතු කිරීම නොසුදුසු බව ඇය දරන මතය වේ.
ලේඛන කටයුතුවලින් තම වේදනාව මකා දැමීමට හැකි වූ බව ද ඇය සඳහන් කරයි. තමන් ලද අත්දැකීම් ජාති භේදයකින් තොරව අනාගත පරපුර වෙත දැනුම් දීමට අවශ්‍ය නිසාම ඇය ලේඛන කාර්යයේ නිරත වූවාය.
“සංහිඳියාව කියන දේ වචනවලට සීමා නොකර ක්‍රියාවෙන් පෙන්විය යුතු දෙයක්. මම හිතන්නේ එහෙමයි. ජාති භේදයක් නැතිව දැන් අපි කවුරුත් සමගියෙන් ඉන්නවා. රටක් දියුණු වෙන්න තියෙන්න ඕන මූලිකම කරුණත් ඒකමයි.” අවසානයේ වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලාගේ මුවින් පිට වූයේ මෙම වදනයි.

 

එම්. තාරික්



අදහස් (0)

යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site