IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


සර්පයන්ට මෙත් වඩන මෙලූෂා

ජීවිත අවදානම දෝතින් දරාගෙන වසර හයක කාලයක් තිස්සේ සිට අනාරක්ෂිතව මරණය අභිමුඛව සිටින නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ඝෝර සර්පයින් නිරුපද්‍රිතව අල්ලා අභය දානය දීමේ නිරතව සිටින මෙලූෂා පද්මිකා ඒ කාර්යයේ නිරතව සිටින්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව හුදෙක් එම සත්වයින් කෙරෙහි දක්වන  දයානුකම්පාව නිසාය.
මේ වන විට ඇය විසින් අල්ලා ආරක්ෂිත ස්ථානවලට මුදාහැර ඇති නාගයන් සහ පොළොංගු ගණන පමණක් දෙදහසකට වැඩිය.
දියණියන් තිදෙනෙකුගේ ආදරණීය මවක වන මෙලූෂාගේ බාල දියණිය රුවින් දරනි මේ වනවිට පසු වන්නේ දහ අට හැවිරිදි වියේය. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන්නීය. මව විෂඝෝර සර්පයින් අල්ලාගෙන ඒමට යන විට ඇයද ඒ කාර්යය සඳහා මවට සහාය වීමට යන්නීය. මේ මව සහ දියණිය අනාරක්ෂිතව සිටින විෂ ඝෝර සර්පයන් මුදාගැනීමේ මෙහෙයුම්වලට සහභාගී වෙන්නේ දිවා රාත්‍රි නොබලාය. තමන්ටම අයත් මෝටර් රථයෙන් විසකුරු සර්පයින් ඇල්ලීමට යන ඇය, ඒ සඳහා කිසිදු මුදලක් අයකරන්නේ නොමැති වීමද විශේෂත්වයකි.
ගහට කොළට සතා සීපාවාට බෙහෙවින් ආදරය කරන මෙලූෂා, ඇගේ ආදරණීය සැමියා සහ දියණියන් තිදෙනා පදිංචිව සිටින්නේ බත්තරමුල්ල, රජමල්වත්ත ප්‍රදේශයේය.


එක් වරක් මෙලු‍ෂා නාගයෙකු අල්ලා විශාල ප්‍රමාණයේ බෝතලයකට දමාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඒ නාගයා දෂ්ට කිරීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගත්තාය. එහෙත් මේ නිර්භීත ගැහැනිය විසකුරු සර්පයන් ඇල්ලීමේ කටයුත්ත කිසිසේත් නතර කළේ නැත.
රෝගාතුරව සිටි නාගයින් සහ පොළොඟුන් අල්ලා පශු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාදී සුව වූ පසු විල්පත්තුව රක්ෂිත වනාන්තරයට මුදාහැර ඇත. කොතරම් අවදානම්සහගත වුවත් නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ගෝර සර්පයන් අල්ලා ආරක්ෂිත ස්ථානවලට මුදාහැරීම විනෝදාංශයක් කරගත් මෙලූෂා, ඒ හා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළේ මේ අන්දමිනි.


“මම දෙහිවල සත්වෝද්‍යානයේ තරුණ සත්වවේදීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ව සිටි කාලයේ එහි උරග ඒකකය භාරව සිටි පීරිස් මහත්තයා සර්පයන් අල්ලන හැටි බලාගෙන ඉඳලා සර්පයන් අල්ලන්න පුරුදු වුණා. මගේ දියණියන් තුන්දෙනත් තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකාවන්. වැඩිමල් දියණියන් දෙදෙනා විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරනවා.
 විෂ ගෝර සර්පයින් අල්ලන්න පටන් ගත්ත මුල් කාලේ මට ගෙදර අයගෙන් ලොකු විරෝධයක් ආවා. නමුත් ඒ විරෝධය පසුකාලීනව නැතිව ගියා. ගෙවල් ළඟ ගෙදරකට රිංගාගෙන සිටි දැවැන්ත නාගයෙක් මම මුලින්ම ඇල්ලු‍වා. දවල් රෑ කියලා වෙනසක් නැහැ. අනාරක්ෂිතව සිටින සර්පයින් අල්ලන්න මම යනවා. මාත් එක්ක මගේ බාල දුවත් එනවා.  විෂඝෝර සර්පයෙක් අල්ලලා ඉවර වූ ගමන්ම මගේ මහත්තයාට දුරකථන ඇමතුමක් ලබා දී සාර්ථකව ඒ සතා අල්ලා ගත් බව කියනවා. එහෙම මම කියන්නේ මහත්තයා මම ඒ වැඩේට ගිය වෙලාවේ ඉඳලා ඒ ගැන කල්පනා කර කර  ඉන්න නිසයි. එයා බයයි මම විෂඝෝර සර්පයෙන් අල්ලන්න ගිහිල්ලා අනතුරකට ලක්වෙයි කියලා.
සර්පයන්ට කතා කළාට කන් ඇහෙන්නේ නැහැ. ඒ බව දැන දැනත් මම සර්පයින්ට ආදරයෙන්, කරුණාවෙන් කතාබහ කරනවා. සමහරු හිතනවා සර්පයන් අල්ලන්න මන්තර බලයක් නැතුව බැහැ කියලා. මන්තර බලයක් හෝ වෙනත් කිසිම ගුප්ත බලවේගයක් ඒ සඳහා අවශ්‍ය නැහැ. කෙනෙක් එහෙම හිතනවා නම් ඒක මහා ලොකු බොරුවක්. සර්පයන් අල්ලා ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් කම්බියකින් කොක්කක් සාදාගෙන තිබෙනවා. ඒ කොක්ක ආධාරයෙන් මම සර්පයා අල්ලා උගේ වලිගයෙන් අල්ලාගෙන කිසිදු හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට මම අරගෙන යන බෑගයේ හෝ පෙට්ටියේ දමාගන්නවා. මගෙන් ඇතමුන් අහනවා සර්පයන් අල්ලා ගන්න උපකරණයට මන්තර ජීවම් කරලා තියෙනවාද කියා. අනේ එහෙම දෙයක් මම කරලා නැහැ මම දන්න මන්තර ගුරුකමකුත් නැහැ. මිනිස්සු තුළ නාගයන් ගැන ගොඩක් මිත්‍යා විශ්වාස තිබෙනවා. පැහැදිලිවම කියනවා නම් කිසිදු මන්තර බලයක් හෝ ගුප්ත බලයක් සර්පයින් අල්ලන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ මනා හික්මීම සහ පළපුරුද්දයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් නයි සහ පොළොඟුන් අල්ලන්නේ මන්තර බලයෙන් කියා ඒක මහා පට්ට පල් බොරුවක්.


මුල්ලේරියාව පැත්තේ ගෙදරකට ලොකු නාගයෙක් රිංගාගෙන  ඉන්නවා කියලා මට මහ රෑ පණිවිඩයක් ආවා. මම දුවත් එක්ක ඒ පණිවිඩය ලැබුණු ගමන්ම ගියා. ඒ ගෙදර කුඩා දරුවො දෙන්නෙක් හිටියා. නිවසේ සිටි කාන්තාව ගැබිනියක්. ගෙදර ඔක්කොම බයවෙලා හිටියේ. ගෙදරට විදුලිය නැහැ. නාගයා ගෙයි වහල අස්සේ රිංගගෙන ඉන්නවා කියලා ඒ ගෙදරට ගියාම මට කිව්වා. මහ රෑ නයි පොළොඟුන් අල්ලන එක ලොකුම ලොකු අවදානමක්. ඒත් මම ගෙදර අය පත්වෙලා ඉන්න අසරණ තත්ත්වය ගැන හිතලා ඉනිමගක් ගෙන්වා ගෙන වහලයට ගොඩවෙලා  විදුලි පන්දමක ආලෝකයෙන් බොහොම අසීරුවෙන් සෑහෙන වෙලාවක් ඔට්ටු වෙලා ඒ නාගයා අල්ලා ගත්තා.”
විෂඝෝර සර්පයින් අල්ලන්න ගිහින් ලබපු අත්දැකීම් එහෙම නැද්දැයි කියා ඇයගෙන් විමසූ අවස්ථාවේ ඇය සිනාසෙමින් කිව්වේ අපොයි මොකද නැත්තේ මගේ හිස කෙස් ගානට එවැනි සිදුවීම් තිබෙනවා යැයි කියාය. අදටත් අමතක නොවන එක් සිද්ධියක් ගැන ඇය තොරතුරු හෙළි කරමින් මෙසේ කීවාය.
“කොරෝනා වයිරස් පැතිර යෑමේ දෙවැනි රැල්ල පටන් ගත් මුල් කාලයේ අපේ ගමේ පන්සලට නාගයෙක් රිංගාගෙන ඉන්නා බව මට දැනුම් දුන්නා. එදා නාගයා අල්ලන්න මාත් එක්ක දුව ආවේ නැහැ. මම ඒ නාගයා අල්ලා බෝතලයකට දමන්න යද්දී මගේ එක ඇඟිල්ලක් සපා කෑවා. මම නාගයා වත් බෝතලේ දමාගෙන තනියම කාර් එකත් එළවාගෙන ගෙදර ආවා. නාගයාව සුරක්ෂිතව ගෙදර කාමරයක තියා මම ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන පසුවදා ගෙදර ආවා. තවත් අමතක නොවන සිද්ධියක් මම කියන්නම්. ගොඩගම ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුළු වී සිටි නාගයෙකු පසුපස ඒ ගෙදර සුරතලයට ඇති කරන සුනඛයා එළවාගෙන ගිහින් කටින් හපලා මරන්න උත්සාහ කර තිබෙනවා. ඒ අවස්ථාවේ නාගයා සුනඛයාට දෂ්ට කර තිබෙනවා. ඒ පහර වැදී තිබෙන්නේ සුනඛයාගේ එක් ඇසක් අසලටමයි. ගෙදර හුරතලයට ඇති කරන සුනඛයාට දෂ්ට කිරීම නිසා සුනඛයා මියගොස් තිබෙනවා. ඒත් ගෙදර අය නාගයා මරා දමලා නැහැ. ගෙදර අය මට කෝල් කරලා දැනුම් දුන්න ගමන්ම මම ඒ ගෙදරට ගියා. බොහොම සීරු මාරුවට මම නාගයා අල්ලා ගත්තා.”
මෙලූෂා පවසන ආකාරයට ඇය ඇතැම් දවස්වලට නාගයන් තුන් හතර දෙනාද ඇය අල්ලාගෙන නිවසට ගෙනැවිත් ඇත. ඇය අල්ලා ඇති ලොකුම නාගයාගේ දිග අඩි හතකි. 
නිවෙස්වල ඇතුළු පහසුවෙන් අල්ලා ගැනීමට නොහැකි අසීරු තැන්වල සැඟව සිටි නාගයින් නිරුපද්‍රිතව අල්ලා ගැනීමට තරම් ඇය දක්ෂ තැනැත්තියක වූවාය. කොන්ක්‍රීට්  තට්ටු යට සහ අල්මාරි  ලාච්චුවල පවා සැඟව සිටි නාගයින් ඇය අල්ලාගෙන ඇත.


“අඹතලේ ප්‍රදේශයේ කුණු ගොඩක සැඟව සිටි නාගයෙක් මම මීට දවස් දෙක තුනකට කලින් අල්ලාගෙන ආවා. ඒ නාගයා අඩි පහක් විතර දිග එකෙක්. මොකක් හෝ රෝගී තත්ත්වයක් නිසා උගේ ඇඟ පුරාම ගෙඩි තිබෙන බව මට පෙනී ගියා. මේ නාගයාව මම මේ පසුගිය 21 වැනිදා අත්තිඩිය වනජීවී කාර්යාලයේ පිහිටි සත්ත්ව රෝහලට භාර දුන්නා. විවිධ හේතු නිසා රෝගාතුර වන නයි පොළොඟු‍න්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ගම්පහ, ගනේමුල්ල ප්‍රදේශයේ, අනිත් එක්කෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික සත්ත්ව සායන පවත්වාගෙන යනවා. මා දන්නා තරමින් මේ පැත්ත පළාතක නාගයින්ට සහ පොළොංගුන්ට ප්‍රතිකාර කරන්නේ ඒ දෙන්නා විතරයි. ඒ දෙන්නා ළඟට තමා මම රෝගාතුර වූ සර්පයන් අරගෙන යන්නේ. ඒ දෙන්නා මගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ.” යැයිද ඇය පවසන්නීය. රෝගාතුරව සිටින විෂඝෝර සර්පයන්ට තමා කෑම බීම පවා කවන පොවන බව ඇය පැවසුවාය.
“මම අල්ලාගෙන එන විෂඝෝර සර්පයන් අපේ ගෙදර දින කිහිපයක්  ආහාර ලබා දී සුරක්ෂිතව තබාගන්නවා. එවැනි සර්පයන් පස් දෙනෙක් හය දෙනෙක් විතර එකතු වුණහම විල්පත්තුව රක්ෂිත වනාන්තරයට මගේ කාර් එකේ දමාගෙන රැගෙන ගොස් මුදාහරිනවා. තවත් සමහර අවස්ථාවල අත්තිඩිය වනජීවී කාර්යාලයට ගෙන ගොස් භාර දෙනවා. මගේ අතපය හයිය තියෙනකම් මේ වැඩේ දිගටම කරගෙන යනවා. මොනම හේතුවක් නිසාවත් සර්පයන් මරා දමන්න එපා.” යැයි ඇය කාරුණික ඉල්ලීමක් කිරීමටද අමතක නොකළාය.
මෙලූෂාගේ 0777685135 යන ජංගම දුරකතන අංකයට කතා කිරීමට මේ ගැන උනන්දුවක් දක්වන ඔබටද හැකියාව ඇත

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

සර්පයන්ට මෙත් වඩන මෙලූෂා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

කරුංකා උල්පත්ට පයින් ගැසූ හැටි
2024 සැප්තැම්බර් මස 09 83 0

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු‍ සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යා


හිරබත් කන උගත්තු
2024 සැප්තැම්බර් මස 09 53 0

“කලාවට නොගිය හිත කැලෑවට යනු ඇත” මෙය වහරේ ඇති ප්‍රකට කියමනකි. බොහෝ අපරාධකරුවන්, දාමරිකයන්, සමාජ විරෝධීන් බිහි වෙන්නේ සෞන්දර්යයෙන් කලාවෙන් සහ අධ්‍යාපනය


බාල ආලේපන වලින් කරන බාල වැඩ
2024 සැප්තැම්බර් මස 09 41 0

බියුටි සැලොන් ලංකාවේ සිල්ලර කඩ තරම්ය. මහ නගරෙට ගියත් ගම මැද්දට ගියත් ඩිස්පෙන්සරියක් නැතිවුණාට බියුටි සැලොන් එකක් නැති තැනක් නොමැත. අපේ කාන්තාවන් මේ තර


මහ මුහුදු මැද ගැහැණු පිරිමි බාධකය බිද දැමු හිත හයිය දකුණේ කෙල්ල
2024 සැප්තැම්බර් මස 09 42 0

කාන්තාව ලොව ජීවනාලිය බඳුය. ඇය ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩකරන්නීය. ලෝකය සුන්දර කරන්නී ඇයයි. ඒ රූප සුන්දරිය හුදෙක්ම ළඳ බොළඳ හෝ සියුමැලි බියගුලු චරිතයක් න


විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 39 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 33 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site