මාධ්‍ය කරුවා කියන්නේ ප්‍රබුද්ධ සමාජයේ කොටසක්
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
සිද්ධි වාර්තා කිරීමේ දී ආණ්ඩුව ගෙන යන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණවලට, සදාචාරයට, සංස්කෘතියට බලපාන්නෙ කොහොමද කියන කරණා ගැන මාධ්‍ය කටයුතු කළ යුත්තේ සුවිශාල වගකීමකින්. ඒත් ලංකාවේ එවැනි මාධ්‍ය භාවිතයක් පේන්නෙ නෑ
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය හා පුවත්පත් මණ්ඩලයේ සභාපති ටියුඩර් වීරසිංහ
ආණ්ඩුවක් බලයට පත් වූ පසු මාධ්‍ය හා ආණ්ඩුව අතර ගැටුම් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති ආකාරයක් දැකිය හැකි ය. මේ වෙද්දිත් එවැනි සිදුවීම් වාර්තා වේ. ආණ්ඩුවක් කරන වැරදි විවේචනය කිරීමේ අයිතිය මුළු රටට ම හිමිය. විපක්ෂය, ජනතාව, ජනමාධ්‍ය මේ ආදී ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩුව විවේචනය කළ හැකි ය. එහෙත් ජනමාධ්‍ය වැරදි කරන විට ඒවා විවේචනය වෙන්නේ ඉතාම අඩුවෙනි. විවේචනය නොවෙන තරම් ය. විවේචනය කළහොත් එය ජනමාධ්‍ය මර්දනයක් ලෙස හුවා දක්වන සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. එය මෙරට මාධ්‍ය නියාමනයේ බරපතළ ගැටලුවකි. මාධ්‍යට විශේෂ වරප්‍රසාද හිමි විය යුතු නැත. යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් අපි ද මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමු. ඒ වෙනුවෙන් මතවාදී වේදිකාවක් ගොඩනැගීමේ අරමුණින් ජනමාධ්‍ය විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු වෙන මහාචාර්ය ටියුඩර් විරසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේ ය.
ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු ජනමාධ්‍ය සමග පවතින සබඳතාව තරමක් දුරට මතභේදාත්මක වෙනවා. ඔබ හිතන විදියට එහෙම වෙන්නෙ ඇයි?
සෑම ආණ්ඩුවක්ම බලයට පත් වීමට පෙර විපක්ෂයෙ ඉන්නෙ. විපක්ෂයේ ඉන්න පක්ෂයක් ආණ්ඩුවට යෑමත් ආණ්ඩු බලය හොබවපු පක්ෂයක් විපක්ෂයට යෑමත් තමයි සිද්ධ වෙන්නෙ. පසුගිය දසක හතක කාලය පුරාවටම දකින්න ලැබුණෙ මේ තට්ටු මාරු ක්‍රමය. ඒ නිසා ඒ පක්ෂ බලයට පත් වුණාට පසු මාධ්‍ය සමග ගනුදෙනු කිරීම අලුත් දෙයක් නොවෙයි. මොකද ඔවුන්ට මීට පෙර ආණ්ඩුවලදි මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන නිසා. නමුත් මෙවර සිදු වුණු බල හුවමාරුව ඊට වඩා වෙනස්. ඕනෑම රටක දේශපාලන ප්‍රභූත්වය කණ්ඩායම් තුනකට ගොනුවෙලා තියෙනවා. එකක් තමයි ආණ්ඩුව කරන කණ්ඩායම. දෙවැන්න විපක්ෂයේ සිටින කණ්ඩායම. තුන්වැනි කොටසට අයත් වෙන්නෙ වාම රැඩිකල් කණ්ඩායම්. ඔවුන් අනිත් කණ්ඩායම් දෙකටම වඩා වෙනස් ප්‍රතිපත්ති හා දර්ශනයක් අනුව කටයුතු කරන පිරිසක්. වාම රැඩිකල් කණ්ඩායමක් මේ දක්වා ලංකාවේ බලයට පත් වුණේ නෑ. නමුත් පසුගිය වසරේ සිදු වුණු බල පෙරළිය ලංකාවේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් ජයග්‍රහණය කළා. එම පක්ෂය විපක්ෂයේ සිටියදී මාධ්‍ය සමග තිබූ සබඳතාවයි පළමුවරට ආණ්ඩු බලය ලබා ගත් පසු මාධ්‍ය සමග පවත්වන සබඳතාවයි අතර ගැටලුවක් මතුවෙන්න පුළුවන්.
එතැනදි අත්දැකීම් පරිචය නොමැතිකම පිළිබඳ ප්‍රශ්නයක් ඔබ දකිනව ද?
න්‍යායික වශයෙන් රාජ්‍ය බලය හා මාධ්‍ය සන්නිවේදන බලය අතර තියෙන සම්බන්ධතාව පිළිබඳ අවබෝධය අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ හැමෝටම තිබුණත් භාවිතයට ආවහම පරිචය හා ව්‍යවහාරය සම්බන්ධ ආගන්තුකභාවයක් තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. දැන් අපි නිරීක්ෂණය කරන්නෙ ඒ අවධිය. ඒක සාමාන්‍ය තත්ත්වයක්. එවැනි සන්දර්භයක විවිධ සිද්ධි මතු වෙන්න පුළුවන්. මේ දිනවල දැකිය හැකි මාධ්‍ය සම්බන්ධ සිද්ධි උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.
ජවිපෙ දේශපාලන විවේචන නුරුස්නා බව ප්‍රසිද්ධ විවේචනයක්. ඒ විදියෙ විවේචන නුරුස්නා ස්වභාවයක් මේ ආණ්ඩුකරණය ඇතුළෙ දකින්න තියෙනවා ද?
ජවිපෙ වැනි වාමාංශික දේශපාලන පක්ෂවල විවේචන නුරුස්නා ගතියක් තියෙන බව කිව්වත් ජවිපෙ දේශපාලන දහරාව ඇතුළෙම තමයි ධනේශ්වර ලිබරල් පක්ෂවලට වඩා විවේචනය හා ස්වයං විවේචනය කියන සංකල්පය වර්ධනය වුණේ. ඒ කියන්නෙ ජවිපෙ වැනි පක්ෂ ඇතුළෙ ස්වයං විවේචනය සෛද්ධාන්තිකව තියෙන දෙයක්. දක්ෂිණාංශික පක්ෂවල මේ තත්ත්වය දකින්න ලැබෙන්නෙ නෑ. සමාජයේ මතයක් තියෙනවා ජවිපෙ අන් මතවලට සවන් දෙන සංස්කෘතියෙන් බැහැර වෙලා කියලා. ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. ජවිපෙ දීර්ඝ කාලයක් ආණ්ඩු බලයෙන් පරිබාහිරව කටයුතු කළ නිසා ඔවුන්ගෙ සමාජ ආර්ථික ප්‍රතිපත්ති සර්ව සම්පූර්ණයි කියලා ඔවුන් හිතනවා. ඒ කියන්නෙ ඒගොල්ලො නිවැරදි ස්ථාවරයක ඉන්නවා කියන එක.
ඒක දේශපාලන අධිතක්සේරුවක් ද?
ඒක දේශපාලනික වශයෙන් අධිතක්සේරු තත්ත්වයක්. එහෙම වෙන්න හේතු වුණේ පෙර බලයේ සිටි පක්ෂවල ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ප්‍රායෝගික නොවන බවටත් වර්තමාන ජාතික හා ගෝලීය තත්ත්වයන්ට ඒවා නොගැළපෙන බවටත් ජිවිපෙ අඛණ්ඩව ගෙනගිය විවේචනය. ඒ කියන්නෙ ඒ පක්ෂවල ප්‍රතිපත්ති ජනතා කේන්ද්‍රීය නැති බවයි. තමන්ගෙ ප්‍රතිපත්ති හා අදහස් ජනතා කේන්ද්‍රීය ඒවා බවත් ජවිපෙ විශ්වාස කරනවා. ඒත් ජවිපෙ බලය ලබාගත්තට පසු ඔවුන්ගේ එම අදහස් හා යථාර්ථය අතර පරස්පරතාවක් තියෙනවා. ප්‍රතිවිරෝධතාවක් තියෙනවා. සමාජ දේශපාලනික ආර්ථික සහ විදේශ සබඳතා පිළිබඳ යථාර්ථය ඔවුන්ගෙ අදහස් හා මතවාදවලට ඇතුළු කරගන්න ජවිපෙ උත්සාහ කරනවා. නමුත් ඒවා එහෙම ඇතුළු කර ගන්න බෑ. මොකද කලින් හදා ගත්ත අදහසට වඩා යථාර්ථය සංකීර්ණයි සහ ප්‍රතිවිරෝධාත්මකයි. එහෙම වුණහම විරෝධතා මතු වෙනවා.
ප්ලේටෝගෙ කාලයේ පටන්ම මතයක් තියෙනවා අදහස් මගින් ලෝකය පාලනය කරයි කියලා. වමේ පක්ෂ සම්ප්‍රදායක් විදියට හිතනවා ඔවුන්ගෙ අදහස් වඩාත්ම යථාර්ථවාදියි කියලා. වඩාත්ම සාධාරණයි කියලා. ඒ අදහස් තමයි දැන් ක්‍රියාත්මක කරන්නෙ. ඒක කරද්දි පවතින යථාර්ථය සමග ගැටෙනවා. ලංකාවේ දේශපාලන හා මාධ්‍ය සංස්කෘතිය උත්තරාරෝපිතයි. ඒ කියන්නෙ ඒවා ලංකාවේ ස්වාභාවික විකාශනයෙන් සැකසුණු ඒවා නොවෙයි. ඒ නිසා මාධ්‍ය කොපමණ දුරට ජනතාවට සමීප ද කියන ප්‍රශ්නය මතු වෙනවා. කලින් බලයේ සිටි ආණ්ඩුත් පාවිච්චි කළේ මේ උත්තරාරෝපිත දේශපාලන සංස්කෘතියේ ආයතන හා මාධ්‍ය. මේ ආණ්ඩුවට පාවිච්චි කරන්න වෙන්නෙත් මේ දේශපාලන ආයතන හා මාධ්‍ය. නමුත් වෙන අරමුණකින්. මාධ්‍යයෙ ප්‍රමුඛතම කාර්යයක් තමයි බලයට පත් වූ අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් පිළිබඳව යම් ආකාරයක සමාජ සංකතිකාවක් ගොඩනගන එක. උදාහරණයකට ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන කියන්නෙ මේ ආණ්ඩුවේ අලුත් වැඩසටහනක්. මාධ්‍ය මේ සම්බන්ධයෙන් තොරතුරු එකතු කරලා ඒ ගැන සමාජ කතිකාව ගොඩනගන්න ඕන. ඒ සඳහා ප්‍රවිෂ්ට වීමට අපේ මාධ්‍ය සංස්කෘතිය සමත් ද කියන ප්‍රශ්නය මතු වෙනවා.
සමාජවාදී හෝ අර්ධ සමාජවාදී රටවල මාධ්‍ය මර්දනයක් හෝ රාජ්‍ය කේන්ද්‍රීය මාධ්‍ය සංස්කෘතියක් දකින්න පුළුවන්. මේ ආණ්ඩුව වාම මූලයක් සහිත ආණ්ඩුවක් නිසා සාම්ප්‍රදායික වමේ රටවල දැකිය හැකි මාධ්‍ය සංස්කෘතියක් ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෘෂ්ටිය ද කියන ප්‍රශ්නයත් නගන්න පුළුවන් නේද?
මාධ්‍ය මර්දනය වමට විතරක් පොදු දෙයකුත් නොවෙයි. දක්ෂිණාංශික ලිබරල්වාදී පක්ෂත් බොහොම තියුණු ලෙස මාධ්‍ය මර්දනය කරනවා. මාධ්‍ය කියන ආයතනයෙ මූලික ස්වභාවය අපි වටහා ගන්න අවශ්‍යයි. මාධ්‍ය කියන්නෙ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයට පසු සිව්වැනි බල කේන්ද්‍රය ලෙසයි හඳුන්වන්නෙ. මා දකින විදියට මාධ්‍ය කියන්නෙ ඊටත් එහා ගිය දෙයක්. මා දකින ප්‍රධාන බල කේන්ද්‍ර දෙකක් වර්තමානයේ තියෙනවා. මූල්‍ය හා මාධ්‍ය බලය. මේ දෙක ඒකාබද්ධව තමයි බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ. කවර සමාජයක වුණත් මාධ්‍යයක ප්‍රධාන වගකීම තමයි තත්කාලීන ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජ වේදිකාවක් සකස් කිරීම. ඇතැම් සමාජවාදී රටවල මාධ්‍යයට සාපේක්ෂ නිදහසක් නෑ කියන කාරණය සලකා බැලිය යුත්තෙ ඒ සමාජවල සැකැස්ම අනුව. චීනය ගත්තොත් කොමියුනිස්ට් පක්ෂය තමයි ආණ්ඩුව වෙන්නෙත්. පක්ෂ රහිත සමාජයක්. මාධ්‍ය හැසිරවීම සම්පූර්ණයෙන්ම කරන්නෙ රාජ්‍ය ව්‍යුහයන් විසින්. පාලක පන්තියේ අදහස් තමයි මාධ්‍ය මගින් වැඩිපුර ඉස්සරහට ගේන්නෙ. පිට ඉඳලා බලද්දි ඒක මාධ්‍ය මර්දනයක් වගේ පේනවා. නමුත් ඒ රටවල මිනිස්සුන්ට මාධ්‍ය මර්දනය කියලා හැඟීමක් නෑ. ලංකාව වගේ රටවල තියෙන මාධ්‍ය සංස්කෘතිය වෙනස්. බාහිරින් පේන මාධ්‍ය බහුත්වවාදයක් තියෙනවා. ඒ කියන්නෙ විවිධ මාධ්‍ය ආයතන තියෙනවා සහ ඒවා නොයෙක් ආකාරයට තොරතුරු වාර්තා කරනවා. නමුත් මිනිසුන්ගෙ මූලික ප්‍රශ්නවල වෙනසක් වෙන්නෙ නෑ. ඇමෙරිකාවෙ වුණත් යුරෝපා රටවල වුණත් මේ තත්ත්වය දකින්න පුළුවන්. අපි නිතරම කතා කරන්නෙ මාධ්‍ය කොහොමද සමාජයට බලපාන්නෙ කියන එක ගැන. නමුත් සමාජය කොහොමද මාධ්‍යයට බලපාන්නෙ කියන එක ගැන අපි කතා කරන්නෙ නෑ. සමාජයක තියෙන මූලික ව්‍යුහයන් හා ගති ලක්ෂණ අනුව තමයි ඒ සමාජයේ මාධ්‍යයේ ස්වරූපය සකස් වෙන්නෙ. ඒ වගේම මාධ්‍යයට පුළුවන් සමාජ ව්‍යුහයන්ට බලපෑමක් කරන්න. මේ ආණ්ඩුව උත්සාහ කරන්නෙ ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න. මාධ්‍යයට සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. ජනමතයක් ඇති කිරීමේ බලය හැකියාව මාධ්‍යයට තියෙනවා. ඒක නොනිල මතයක්. නොනිල මතය සමහරවිට නිල මතයට වඩා ප්‍රබල වෙන්න පුළුවන්.
මාධ්‍ය කරන වැරදි දේශපාලන අධිකාරිය විසින් පෙන්වා දෙන විට එයත් මාධ්‍ය මර්දනයක් ලෙස හුවා දක්වන සංස්කෘතියක් ලංකාවේ ඇති වෙලා තියෙනවා. මෙය නිවැරදි ද? ලංකාවේ මාධ්‍ය නියාමනයක් තියෙනවා ද?
ඒක තමයි වැදගත්. ඒක සමාජයෙන් සමාජයට වෙනස් වෙන්න පුළුවන්. ලංකාව වගේ රටක සමාජය සාම්ප්‍රදායිකයි. ඒත් මාධ්‍ය නූතනයි. මේ දෙක අතර පරස්පරයක් තියෙනවා. ලංකාවේ මාධ්‍ය උත්තරාරෝපිත වුණාට යුරෝපයේ තත්ත්වය වෙනස්. යුරෝපයේ මාධ්‍ය ජනතාවගේ දෛනික ක්‍රියාකාරීත්වයත් සමග බද්ධ වෙලා තියෙන්නෙ. ඒ රටවල මාධ්‍ය කියන්නෙ සංස්කෘතියේම කොටසක්. නමුත් අපේ මාධ්‍ය සමාජය මත යැපෙන සමාජය තමන්ගෙ පෝෂක ප්‍රදේශයක් බවට පත් කරගෙන තියෙන ක්ෂේත්‍රයක්. ඒක ඇතුළෙ මාධ්‍ය කලාව නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත් වැඩිපුරම බරවෙලා තියෙන්නෙ වාණිජ ව්‍යාපාර පැත්තට. ඒ නිසා මාධ්‍යයෙ පැවැත්ම සඳහා විවිධ සිද්ධි අවශ්‍යයි. සිද්ධිත් එක්ක තමයි මාධ්‍ය හුඟක් දුරට වර්ධනය වෙන්නෙ. සිද්ධි වාර්තා කිරීමේදී ආණ්ඩුව ගෙන යන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණවලට, සදාචාරයට, සංස්කෘතියට බලපාන්නෙ කොහොමද කියන කරණා ගැන මාධ්‍ය කටයුතු කළ යුත්තෙ සුවිශාල වගකීමකින්. ඒත් ලංකාවේ එවැනි මාධ්‍ය භාවිතයක් පෙන්නෙ නෑ. ඒක නොපෙනෙන්නෙ ඒක දෙවැනි පෙළට දාලා තියෙන නිසා. පවතින තරගකාරීත්වය නිසා මාධ්‍ය ප්‍රමුඛ තැන දෙන්නෙ ඉක්මනට තොරතුරු වාර්තා කිරීමට. ඒ වාර්තා කිරීම්වල විකෘතිතා තියෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් වෙනවා. මේ පසුබිමේ සමාජය ඇතුළෙ මානසික හා සාමාජීය වශයෙන් යම් අරාජිකත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වය නියාමනය විය යුතුයි. සෙසු අංශ වගේම මාධ්‍යයත් නියාමනය විය යුතුයි. නියාමනයක් නැති වුණොත් ඒකෙ අහිතකර ප්‍රතිඵල මාධ්‍යයටම තමයි බලපාන්නෙ. සමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයයට තියෙනවා. 1973 දී ගෙනා පුවත්පත් මණ්ඩල පනතත් සමග පුවත්පත් ක්ෂේත්‍රය නියාමනය වෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යයට නියාමනයක් ඇත්තෙම නෑ. මේ නිසා මාධ්‍ය නියාමනය විය යුතුයි. මේක බරපතළ කාරණයක්. දැන් සිදු වෙමින් තියෙන්නෙ ඒක තමයි. මාධ්‍ය තමයි සමාජයක ජාතියක අධ්‍යාත්මයේ ගෘහ නිර්මාණ ශිල්පියා. සමාජයේ චින්තනය සකස් කරන්නෙ මාධ්‍ය මගින්. මාධ්‍යකරුවා කියන්නෙ ප්‍රබුද්ධ සමාජයේ කොටසක්.
ලංකාවේ අපි නිතරම මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම් සම්බන්ධ සිද්ධි තවමත් නොවිසඳුණු අබිරහස් හැටියට පවතින සමාජයක සැබෑ මාධ්‍ය නිදහසක් ගැන කතා කළ හැකි ද?
මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණය අපේ සමාජයේ විතරක් නෙවෙයි ඕනෑම සමාජයකට සංවේදී සහ සංකීර්ණ කාරණයක්. මාධ්‍ය බිහිවීමේ කාලයේ පටන්ම මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නය තිබුණා. මාධ්‍යයට නිදහස තිබිය යුතුයි. නිදහස එක්කම මාධ්‍යයට වගකීමත් තියෙනවා. මේ දෙක වෙන්කර හඳුනාගන්න බෑ. ලංකාවේ සිදුවුණු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් හා පැහැරගැනීම් තේරුම් ගත යුත්තෙ ඒ අවස්ථාවේ රටේ තිබුණු සන්දර්භය අනුව. උදාහරණයක් විදියට එදා සුදු වෑන් සංස්කෘතියක් තිබුණට අද ඒ ගැන කතා කරන්න බෑනෙ. එහෙනම් ඇසිය යුතු ප්‍රශ්නය තමයි ඇයි එදා සුදු වෑන් සංස්කෘතියක් ආවෙ කියලා. ඇයි එවකදී මාධ්‍යවේදීන් ඝාතනය කළේ සහ අතුරුදන් කළේ කියලා. එදා තිබුණු වගකීම හා නිදහස පිළිබඳ ප්‍රශ්නය දේශපාලන තන්ත්‍රය හා මාධ්‍යවේදීන් මොන විදියට ද තේරුම් ගත්තෙ. ඒ දෙගොල්ලො අතර තිබුණු සම්බන්ධයේ ප්‍රශ්නය නිසා තමයි නොවිය යුතු දේවල් සිදු වුණේ. ඒ නිසා තමයි මම කිව්වෙ මේ දෙපාර්ශ්වයෙම අන්තර් සම්බන්ධය ඉතාම වැදගත්. මනුෂ්‍ය ඝාතන කියන්නෙ කොහොමත් වැරදි දෙයක්.
සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන
මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.
ශ්රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා