එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ සතුටු සිනාවෙන් ඔප වැටෙද්දි බක්මහේ උදාවෙන හෙළයේ මහා මංගල්‍යය, සිංහල අලුත් අවුරුද්ද සමරන්නට තවත් ඇත්තේ එක් දිනකි. සිංහල අලුත් අවුරුද්ද යනු, පැල්පතේ සිට මන්දිරය දක්වාත් ජනයාගේ සතුට සමඟිය පිරී ඉතිරී යන, දුරස් වූ බැඳීම් ළං කරන, විරසක ලෙංගතුකම් අලුත් කරන, අපූරු වූ සංස්කෘතික මංගල්‍යයකි. උතුරේ දමිළ වැසියාත් දකුණේ සිංහලයාත් එකම මොහොතක වැඩ වරන, වැඩ අල්ලන, කිරි උතුරවන සිංහල හින්දු අලුත් අවුරුද්දට සොබාදහමෙන් එකතු වෙන ආශීර්වාදය ද අපූරුය.
එහෙත් අද අපට සිංහල අවුරුද්ද පිළිබඳව කතා කරන්නට සිදුව ඇත්තේ, එදා අපූරු වූ රටාවන් මැවූ, විචිත්‍ර වූ අලුත් අවුරුදු මංගල්‍යයේ, බොහෝ සංස්කෘතික චාරිත්‍ර අංගයන් පරිහානියට පත්වෙමින් යන මොහොතකය. සිංහල, හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර විධි ආශ්‍රිතව පැන නැගී ඇති ඒවා, වළපල්ලට යමින් ඇති යුගයක, ඒ පිළිබඳව කතිකා කරන්නට අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත සම්බන්ධ කර ගත්තෙමු.
Q සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික හැඳුනුම්පත අලුත්කර ගැනීමක්
ජීවිතේ කියන්නේ අත්දැකීම් සමුදායක්. ඒ අත්දැකීම් ඇතුළේ යහපත් දේ සහ අයහපත් දේ අඩංගු වෙලා තිබෙනවා. එතකොට අපේ මුතුන් මිත්තෝ මේ සංස්කෘතික අංග සිරිත් විරිත් ගොඩනඟාගත්තේ, ඒ අත්විඳි සියලුම යහපත් දේ අවුරුදු දහස් ගාණක අත්දැකීම් එකතු කරලා. බක්මහ අලුත් අවුරුද්දේ අලුත් වෙනවා කියන එක අපි අධ්‍යයනය කරලා බලන කොට, හඳුනගන්න පුළුවන් දේ තමයි, ලෝකයේ අනෙකුත් සංස්කෘතීන්ට අයත් නොවන විදිහේ විශේෂත්වයන් අපි ගොඩනඟා ගෙන තිබෙනවා. වැඩවරන සංස්කෘතියක් වෙනත් කිසිම රටක සංස්කෘතියක නැහැ. වැඩවරන සංස්කෘතිය තියෙන්නේ අපට විතරයි. අලුත් අවුරුදු සම්ප්‍රදායන් ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ සූර්ය සම්ප්‍රදාය සහ චන්ද්‍ර සම්ප්‍රදාය දෙක කේන්ද්‍රගත කරගෙන. ලෝකයේ මේ ප්‍රවණතා දෙක අදටත් පවතිනවා. නමුත් වර්තමානයේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ සූර්යය සම්ප්‍රදාය.
අපේ සිංහල අවුරුද්දේ, එහෙමත් නැතිනම් කෝණ මංගල්‍යයේ මූලිකම සම්මතය, නොඑසේනම් සංස්කෘතික වටිනාකම තියෙන්නේ අපේ අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර මත. ලාංකිකයින් විදිහට, බක්මහේ අලුත් වීම කියන එකට ප්‍රබලවම බලපාන්නේ, එහෙම නැත්නම් සිරිත් විරිත් එකිනෙකට බැඳලා තියෙන හුය බවට පත්වෙලා තියෙන්නේ, අවුරුදු නැකැත්.
එතකොට මානව සංස්කෘතික ක්‍රියාකාරකම් වලින් අපට ඇති කරන්නාවූ තෙරපුම තමයි වාර්ෂිකව අපි මේ අලුත් කරගන්න උත්සාහ කරන්නේ.
අනිත් දේ තමයි, ලාංකීය මිනිස්සු සංස්කෘතිකව ගොඩනඟා ගත්ත මනෝභාවයක් තියෙනවා. මෙන්න මේ සංස්කෘතික මනෝභාවය තමයි අලුත් අවුරුද්දකදි අපි අලුත් කරගන්න උත්සාහ කරන්නේ. එක අවුරුද්දක් මේක අලුත් නොකර, බලන්න ඇතිවෙන මානසික ව්‍යාධි තත්ත්වය කොච්චරද කියලා. සරලවම, සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ ලාංකිකයන්ගේ සංස්කෘතික හැඳුනුම්පත අලුත්කර ගැනීමක්. හැඳුනුම්පතේ මුහුණුවර අලුත් කරගන්නකොට, අපි කරන ක්‍රියාකාරකම් සිරිත් විරිත්, වත් පිළිවෙත්, ඇවතුම් පැවතුම් අවුරුද්දෙදි ඉෂ්ට කරගත යුතු යුතුකම් තියෙනවා. එතකොට ලෝකේ කොච්චර වෙනස් වුණත් ලාංකිකයන්ට සංස්කෘතික මනෝභාවය අතෑරලා ඉන්න බැහැ.
සංස්කෘතික රුධිර ධාරාවක් සෑම ප්‍රජාවක් සතුවම තිබෙනවා. මෙහිදී සමාජීය, ආගමික, පාරිසරික ක්‍රියාකාරකම් කියලා ක්‍රියාකාරකම් සමුදායකින් බද්ධවෙලා තියෙනවා. ඇයි අපි සංස්කෘතික රුධිර ධාරාවක් නඩත්තු කරන්නේ. අපේ සිතුවිලි මේච්චල් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිවැරදි සංස්කෘතික රුධිර ධාරාවක් අප සතුව තියෙන තාක්කල් පමණයි. හේතුව තමයි සංස්කෘතික රුධිර ධාරාවේ තිබෙන සත්‍යතාව මත තමයි අප එකිනෙකාට දක්වන ගෞරවය, බුහුමන් දැක්වීම, සාමුහිකව ජීවත්වීම, චින්තන දහම අපට තුළ ගොඩනැඟෙන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ මෙන්න මේ සියල්ල අප ගොඩනඟන මොහොතක්.
අපේ පැරැන්නෝ කුඩා දරුවාගේ ඉඳලා නිවසේ ජීවත් වෙන්නාවූ සියලු දෙනා කොටස්කරුවන් බවට පත්කරගෙන වැඩිහිටියෝ පෙර ගමන්කරුවෝ විදිහට මේ අවුරුදු සිරිත් විරිත් නැකැත් චාරිත්‍ර අනුගමනය කළා. දරුවෝ මේකේ කොටස්කරුවෝ වෙන්නේ හරි ආසාවෙන්. එයා අවුරුද්දෙන් අවුරුද්ද අත්දැකීම් ලබනකොට, මේකට නිරායාසයෙන්ම ඔවුන් අනුගත වෙනවා. සංස්කෘතික රුධිර ධාරාවට සක්‍රීය දායකත්වයක් ඒ දරුවා වැඩෙත්ම සමාජයානුයෝජනයක් වෙලා ඉවරයි.
හැබැයි අවාසනාව, වර්තමාන සමාජයේ දෙමාපියෝ මේ වගකීම අමු අමුවේ පැහැර හරිනවා. අලුත් අවුරුද්ද හා බැඳුණු වටිනාකම්, ඒ හා සාරාර්ථ, සංස්කෘතික උරුමය ඇයි අපි පවරා ගතයුත්තේ කියලා අපි අපේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. සිරිත විරිත හා බැඳුණ වටිනාකම පාසල් දරුවන්ට වර්තමානයේ කියලා දෙන්නේ නෑ. අවුරුදු ක්‍රීඩා ටික දරුවෝ දකින්නේ රූපවාහිනී තිරයෙන්, ජන ක්‍රියාකාරකම් දරුවෝ දකින්නේ නැහැ. කොටින්ම අවුරුදු එනවා කියලා ආසාවෙන් ඉස්සර වගේ මග බලාඉන්න දරුවෝ අද නැහැ. මව්පියෝ කරන්නේ ළමා ළපටි ටික එල්ලගෙන අවුරුදු නිවාඩුවට විනෝද චාරිකා යන එක. දරුවෝ විනෝදය විදිහට දකින්නේ ඒ දේවල්. දරුවන් මේ චාරිත්‍ර වාරිත්‍ර දකින්නේ කරදර විදිහට. එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි, වැඩිහිටි පරම්පරාව ඒ දරුවන්ට ආත්මීය වින්දනයක් විදිහට අවුරුද්ද සමීප කරලා නැහැ. භෞතික සාධකවලින් රටක් කොයි තරම් දියුණු වුණත් වැඩක් නැහැ, අද මානවයාගේ තිරසාර සංවර්ධනය නැත්නම්. මේවායින් වෙන්නේ අනාගතයට මේ සංස්කෘතිය නොපවතිනවා කියන එක නෙවෙයි, සංස්කෘතිය වෙනස් වෙමින් පවතීවි, නමුත් ඔබේ දරුවා විකෘතියෙක් බවට පත්වෙනවා. ඇයි ඔහුට සංඥානනය එන්න තැනක් නැහැ. සංස්කෘතිය අත්හැරපු තැනම මිනිස්සුන්ට සමාජ සවිඤ්ඤානිකත්වයත් එක්ක ගොඩනැගුණ සංජානනය නැති වෙනවා. සමාජ සවිඤ්ඤානිකත්වයෙන් තමයි අපේ සංජානනය ගොඩනැගෙන්නේ. එතකොට තමයි අපිට අනෙකාව දැනෙන්නේ, අනෙකාට ගරුකරන්නේ, බුහුමන් දක්වන්නේ, දේවල් බෙදාහදා ගන්නේ. ඒ නිසා සංස්කෘතියක් පවත්වාගෙන යාමේ සමාජ වගකීම සතු වන්නේ පුද්ගලයාටයි.
Q වත්මන් රජයේ ප්‍රතිපත්ති මාලාවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ දියත් වෙන්නේ සමාජයකට අවශ්‍ය සංස්කෘතික මිනිසා බිහිකරගැනීමේ කාලෝචිත අවශ්‍යතාවක් විදිහට, අලුත් අවුරුද්දේ සංස්කෘතික පිරිපහදුවට ‘ ක්ලීන් ශ්‍රී ලංකා’ දායකත්වය කොහොම ද?
අලුත් අවුරුද්ද කියන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුවිලි වගේම බාහිර ක්‍රියාකාරකම් කියන දෙකෙන්ම අපි අලුත්වීම. මේවට පැරණි සමාජයේ කිව්වේ බක්මහ පිරිපහදුව කියලා. මේ සන්දර්භයම තමයි වත්මන් ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ප්‍රතිපත්තියෙත් තියෙන්නේ. හැබැයි කනගාටුවට කරුණ නම්, රජය මේ වෙනකම් කිසිදු අවධානයක් යොමු කරලා නැහැ, බක්මහ අලුත් අවුරුද්ද, ක්ලීන් ශ්‍රී ලංකා එක්ක කොච්චර දුරට ගලපගන්න පුළුවන්ද කියලා. රජය ඒ අවස්ථාව මේ වෙලාවේ අතහැරදාලා තියෙනවා. බෝඩ් කෑලිවලට විතරක් සංකල්ප එල්ලලා සමාජයක් දියුණු කරන්න බැහැ. සමාජයක් දියුණු කරන්න ඕනැ ක්‍රියාකාරකම් භාවිතාවත් එක්ක. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කැළිකසළ. කැළිකසළ ඉබාගාතේ දාලා යන ප්‍රශ්නය මූලික කරගෙනම තියෙන්නේ මිනිස්සුන්ගේ සිතුවිලිවල තිබෙන අවුලක්.
කුණු ටිකට ගරු කරලා සත්කාර කරලා ඉවත් කරන එකම ජාතිය තමයි ලාංකිකයා. අලුත් අවුරුද්ද උදාවෙනකොට, අවුරුදු චාරිත්‍රයක් තියෙනවා කුණු මුත්තා පිදීම. මේ චාරිත්‍ර හැදිලා තියෙන්නෙම ක්ලීන් වීමට. මේවා මිනිසුන් විසින්ම ගොඩනඟාගත්ත දේවල්. නොනගතයට කලින්, ගෙදර කුස්සිය අතුගාලා ළිපේ අළු අයින් කරලා, අම්මා වත්තේ කෙළවරක තියලා කන්නලව්වක් කරනවා. මේ කුණු අයිති කුණු මුත්තාට කියලා. ඊළඟට එළඹෙන්නේ අලුත් අවුරුද්ද. ජීවිතේ අලුතෙන් පටන් ගන්නවා . පරණ අවුරුද්දේ සියල්ල ඉවත් කරලා අපි ගෞරවයක් දැක්වු වා. ඉතින් ඇයි අපිට බැරි දෛනික ක්‍රියාකාරම්වලට ඒ ගුණාංගය එකතු කරගන්න . එහෙම වුණා නම් පාරවල් පුරා කුණු දාන චින්තනය අපිට නතර කරගන්න පුළුවන්.
අනිත් ප්‍රධානම කාරණය තමයි, අවුරුදු උදා වූ සතියට කියන්නේ, ලාංකික සමාජයේ පොදු සමා කාලය කියලා. අලුත් අවුරුද්දේ බුලත් දීලා වඳින එක සිරිතක්. කෙනෙක් කියන්න පුළුවන් බුලත් දීලා වඳින එක වෙනදටත් අපි කරනවා කියලා . හැබැයි අවුරුද්දට බුලත් දීලා කතාකරනවා කියන එක වෙනස්. අවුරුද්දට වැඩිහිටියන්ට බුලත් දීමේදී කළ යුත්තේ, බුලත් අතක් දිලා, ‘‘මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පෙර අවුරුද්දේ වරදක් වුණා නම් සමාවෙන්න’’ කියලා කියන එක. මෙතනදී වෙන්නේ, තරහක් මරහක් තිබුණනම් අපේ ඇතුළාන්තයේ තියෙන වේදනාවන් ඉවත් කිරීම. මෙහෙම සමාව ගත්තාම, වෛර පැසව පැසවා ඉන්නේ නැහැ. පුද්ගල මානව බැඳීමක ආයෙම අලුත් වෙනවා. පොඩි සිදුවීම් එක්ක වයිරක්කාරයෝ බවට පත්වෙන අය ඉන්නවා. අන්න ඒ වගේ අවස්ථාවක් ඔබේ ජීවිතේ එළඹුණොත් අලුත් අවුරුද්දකට අවුරුදු සතිය ඇතුළත බුලත් අතක් අරන් සමාව ගන්න ගෙදරකට ගියොත් කිසිම කෙනෙකුට එළවන්න බැහැ. මේවත් එක්තරා විදිහට සමාජය ක්ලීන් කිරීමක්. අලුත් අවුරුද්දේ හැම සිරිතකම තියෙන්නේ ක්ලීන් වීම. මේ තියෙන උත්තම ගුණාංග ඇයි අපට සමාජ ගත කරන්න බැරි. රජයක් ගොඩනඟන ප්‍රතිපත්ති මාලාවක් බෝඩ් ලෑලිවලට එල්ලෙනවනම් ඒ පාලන රජයෙන් ඇති වැඩේ මොකද්ද. මිනිස්සු සංස්කෘතියක් ගොඩ නඟාගෙන තියෙන්නේ ජාතික අවශ්‍යතාවන් සඳහා. නූතන සමාජයේ කිඳාබැහැලා තියෙන ප්‍රජා මූලික අවශ්‍යතාවලින් නිරූපනය වෙන පිරිපහදු වීම අද සමාජයට ගළපලා ඉදිරිපත් කරා නම් රාජ්‍ය ප්‍රතිපත්තිය මීට වඩා හොඳට මිනිස්සු වැලඳ ගනිවි. නව රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා සංස්කෘතික මිනිසෙක් බිහිකරනවා කියලා. ඒ ගැන තාමත් වැඩ පිළිවෙළක් නැති එක ගැන කනගාටුයි.
අලුත් අවුරුදු උත්සව, චාරිත්‍ර-වාරිත්‍ර වැරදි විදිහට ව්‍යවහාර වෙනවා නම් ඒවා නිවැරදි මගට ගෙන ඒම මහ මිනිසුන්ගේ වගකීමක් හිරු ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරක් වශයෙන් සැලකිය හැකි මෙම රාශි මාරුව සඳහා ගතවෙන කාලය නොනගතය ලෙස හඳුන්වනවා. සංක්‍රාන්තික කාලය වසරකට උදාවන්නේ එක අවස්ථාවයි. වසරක් පුරා මහන්සිවෙලා වැඩ කරලා මේ සංක්‍රාන්තික කාලය උදාවුණාට පස්සේ සියලු වැඩ අත්හැර මේ කාලය තුළ ගෙදර සියලු දෙනා එකතුවෙලා කතා බස් කිරීම අතීතයේ සෑම ගෙදරකම සිදුවුණා . මේකට පැරැන්නෝ හැඳින්වුවේ ‘අවුරුදු සල්ලාපය’ කියලා. මෙතනදි ඒ අය කතා වෙන්නේ අලුත් බලාපොරෙත්තු , අලුත් සිහින , දරුවන්ගේ විශේෂ වැඩ කටයුතු , මේ සියල්ල අවුරුදු සල්ලාපය ඇතුළේ කතා කළා.
මේ සංක්‍රාන්ති කාලය කියන්නේ වැඩ අත්හැරීම පමණක් නෙමෙයි, කෑමෙන් බීමට පවා තහංචි වැටෙන කාල සීමාවක්. මේ නොනගත කාලය අද බොහෝ දෙනා වැඩක් නැති දෙයක් විදිහට නොසලකා හරිමින් යනවා. නොකා බඩගින්නේ ඉන්න එක පිස්සු වැඩක් විදිහට වර්තමාන පරපුරේ සමහරු දකිනවා. හැබැයි අපේ පැරුන්නෝ නොනගත කාලයට අමතරව බඩගින්නේ ඉන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා. නොනගතයට කළින් අපේ පැරැන්නෝ නිරාහාරව සිටින අවධියක් තියෙනව බෝහෝ දෙනෙක් නොදන්න. ඒ වගේම අපේ ගම්වල තිබුණා අවුරුද්ද හා බැඳුණ පත්තිනි දේව ක්‍රීඩා. ප්‍රධාන පත්තිනි දේව ක්‍රීඩා දෙකක් තිබුණා . අංකෙළිය , පොරපොල් කෙළිය. මේ ක්‍රීඩා පවත්වන්න කලින් මහ පූජාව පවත්වන දවසේ ගමේ සියලුදෙනා නිරාහාරව සිටිය යුතු වෙනවා. නිරාහාරව සිටීමේ චාරිත්‍ර ක්‍රීඩාව ඇතුළෙත් තිබුණා. අං අදින ක්‍රීඩාව කියන්නේ ජවය උපරිමයෙන් තිබිය යුතු ක්‍රීඩාවක්. ආහාර තහංචියෙන් කෙරෙන්නේ සිරුරේ අනවශ්‍ය මේදය තැන්පත්වීම් අවම කර ගැනීම. අද මේ සිංහල අවුරුදු කියලා වැඩිපුර කරන්නේ කන්අඩි පැළෙන්න රතිඤ්ඤා පත්තු කරන එකයි, රා අරක්කු බොන එකයි, සූදු කෙළින එක තමයි විතරයි. මේ විභාග අධ්‍යාපන ක්‍රමය තුළ , පාසල්වලින්වත් දරුවන්ට මේ දේවල් උගන්නන්නේ නෑ. මහ මිනිසුන්ට දරුවන්ට ඒවා දෙන්න උවමනාවකුත් නැහැ.
මහගෙදරට අවුරුද්ද ලබන්නේ දරුවන් ගෙදර එනදාටයි.
ආකල්පමය වශයෙන් මානව ගුණයක තිබෙන වටිනාකම නූතන දරු පරම්පරාවට සමීප කරලා නැහැ. වර්තමාන පරම්පරාව තනතුරු, පහසුකම් වැනි පසුබිම්වලින් ඉහළින්ම ඉන්නවා. ඒ අයට අම්මා තාත්තා සමීප නෑදෑයෝ කියන්නේ සාමාන්‍ය දෙයක් විතරයි. සමාජයේ ඉදිරි පැවැත්ම හදාගන්න මානව බැඳීම් අවශ්‍යයි. දැන් ඉන්න අයට මානව බැඳීම නැති නිසා අලුත් අවුරුද්ද නාමික ක්‍රියාකාරකමක් විතරයි. ලෝකයේ සහල් සංස්කෘතින් තියෙන රටවල් අතුරින් අලුත් අවුරුදු උදාවේ පළමුවෙනි බත් කට තමන්ගේ බිරිඳට කවන එකම ජාතිය අපි. ඇයි එහෙම කරන්නේ. අවුරුද්දේ 365 දවසේ දිනකට තුන්වේලක් ආහාර සකස් කරලා පවුලම පෝෂණය කරන අම්මාට බිරිඳට කරන ගෞරවය විදිහට තමයි ඒ බත්කට ඇයට පුද කරන්නේ. ඒක ඇතුළේ දරුවන්ට දැනෙන ආත්මීය හැඟීම ශක්තිය සුවිශාලයි. පිරිමි දරුවෝ හිතනවා මමත් කවදාහරි මගේ බිරිඳට සලකන්නෙත් ඒ ආකාරයටයි කියලා. අද මේ චාරිත්‍ර අපේ සමාජයේ නිවෙස්වල සිදුවෙනවාද කියලා හිතලා බලන්න වෙනවා. ඒ වගේම තමයි සිංහල අවුරුද්දකට මහගෙදරට ගියහම අම්මාට දරුවෝ කොච්චර හිටියත් දරු මුනුබුරන් එක පොදියට ඒ ගෙදර දවසක් හරි ගත කරලා තමයි ගියේ. ඒත් අද සමාජයේ වෙනස් වෙලා සමහර දරුවෝ අවුරුද්දට ගමේ ගිහින් නතර වෙන්නේ හෝටල් කාමරවල. වැඩිහිටියන්ගේ පැත්තෙන් ඒක ලොකු සිත් වේදනාවක් ගෙන දෙන්නක් වෙනවා. නගරයේ ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන ජීවත්වෙන සමහර දරුවෝ, ගමේ මහගෙදරට ගියහම මහගෙදර බිරිඳ දරුවෝ එක්ක රැයක් ගත කරන්න කැමති නැහැ. මොකද, ඒ අයගේ භාර්යාවන්ට දරුවන්ට මහගෙදර වැසිකිළිය ගැළපෙන්නෑ කියයි, ගමේ ගොඩේ ආහාර පාන දරුවන්ට හරියන් නෑ කියයි. ඉතින් හවස් වෙනකොට යනවා තානායමකට . අර දෙමාපියන්ට කොච්චර නම් දුකක් දැනෙනවා ඇති ද?
සැබෑ විනෝදය තියෙන්නේ විනෝද චාරිකාවක නෙමෙයි ද, අවුුරුද්දට අම්මා බලන්න මහගෙදරට යන දවසට දරුවෝ විවාහ වෙලා හරි, රැකියාව නිසා හරි, නගරයේ නම් ඉන්නේ, ගමේ ඉන්න දෙමාපියෝ සිංහල අවුරුද්ද එනකම් හීන දකිනවා, අනේ අපේ දරුවෝ සිංහල අවුරුද්දට ගමේ එනවනේ කියලා. එ්ත් නාගරිකයක ඉන්න සමහර දරුවෝ අවුරුද්දට වත් දෙමාපියන් බලන්න යන්නේ නැහැ. විනෝද චාරිකා යනවා.
‘‘ආණ්ඩුවට වගකීමක් තියෙනවා රටේ සම්ප්‍රදායන් ඒ විදිහට අනුගමනය කරන්න ජනතාව පොළඹවන්න’’
සිංහල අවුරුදු දවස්වලට ලංකාවේ නිවාඩු නිකේතන පිරිලා. මේක රජය නැවැත්විය යුතුයි. නූතන සංස්කෘතික අමාත්‍යංශයට ආණ්ඩුවට වගකීමක් තියෙනවා, රටේ සම්ප්‍රදාය වත්පිළිවෙත් ඒ විදිහට අනුගමන කරන්න ජනතාව පොලඹවන්න. මේ අවුරුද්ද දක්වාම මෙතෙක් අලුත් අවුරුද්ද අපේ සංස්කෘතියට ගැලපුවේ නැහැ. සුද්දා දුන්න නිවාඩු දවස් දෙකේ එල්ලිලා අපි තාමත් අවුරුදු කන්නේ. අපේ රටේ පාලකයෝ ගිහින් පිටරටවල මහ උජාරුවෙන් කඨින පිංකම් පවා කරනවා. හැබැයි තමන්ගේ රටේ ඉතිරිවෙලා තියෙන සංස්කෘතික අංග ටික රැකගන්න උත්සාහ කරන්නේ නැහැ. ලෝකයේ දියුණුම රාජ්‍යයක් තමයි ජපන් රාජ්‍ය. ජපානයේ ජනතාව අනිවාර් යයෙන් අවුරුදු චාරිත්‍ර සැමරිය යුතුමයි. ඒ නිවාඩු සතිය තුළ සේවය වාර්තා කරන්න, විනෝද චාරිකා යන්න තහනම්. සංස්කෘතිය පවතින්නේ සමාජයේ වගකීම මත පමණයි. සමාජ වගකීම අත්හැරපු දවසට අපේ සංස්කෘතිය ඉවරයි. අපේ රටේ මේ විදිහට කාලයක් ගියොත් අනාගත දරුවන්ට සිංහල අවුරුද්දක් දකින්නවත් ලැබෙන එකක් නැහැ.
සාකච්ඡා සටහන
නදීශා අතුකෝරළ
අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්
එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ
මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර
ශ්රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ
මියන්මාරයේ සිදුවූ භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකු
අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුද්දා දුන්න නිවාඩු දවස් දෙකේ එල්ලිලා අපි තාමත් අවුරුදු කන්නේ