IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


’අමරදේවයන් ආදර්ශයට ගෙන අමරදේව පරපුරක් ගැන සිතීමට කාලය ඇවිත්’

 

(අංජුල මහික වීරරත්න)

කලාව පුද්ගල වන්දනාවට සහ ප‍්‍රශස්ති ගායනයට යට වූ යුගයක ‘අමරදේවයන්’ ලක් පොළොවේ බිහි වූ විශිෂ්ටතම ජනතාවාදී කලාකරුවකු වූ බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ දී පැවැසීය.

කිසි දිනෙක ජාතිවාදියකු නොවූ අමරදේවයන් ආදර්ශයට ගෙන නව අමරදේව පරපුරක් ගැන සිතිය යුතු කාලය එළැඹ ඇතැයි ද මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවැසුවේ හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සිහිපත් කරමින් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ ඉදිකෙරෙන ‘අමරදේව අසපුව’ සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විමලා අමරදේව මහත්මිය සහ කලාකරුවන්ගේ ද මැති ඇමැතිවරුන්ගේ ද සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.

රුපියල් මිලියන 200ක වියදමින් ඉදිකෙරෙන සංගීත අසපුවෙහි අමරදේව කෞතුකාගාරය ද ස්ථාපිත කිරීමට නියමිතය.

ප‍්‍රවීණ ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ප‍්‍රවීණ සංගීතවේදිනී නන්දා මාලනී මහත්මිය අමරදේව අසපුවට මුල්ගල තැබූහ.

ඉන්පසුව පැවැති උත්සවයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.

-හෙළ කලා කෙතෙහි අද්විතීය සංගීතඥයකු පර්යේෂකයකු වූ ඩබ්ලිව්.ඞී. අමරදේවයන් වෙනුවෙන් අද තබන පියවර හෙට දවසේ කලා සම්ප‍්‍රදායේ නව පිටුවක් පෙරළනු ඇතැයි මා විශ්වාස කරනවා. මෙවැනි සංගීත අසපුවක් නිර්මාණය කිරීම සඳහා අමරදේවයන්ගේ සිතේ සිහිනයක් තිබුණා.

ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්න එතුමාට හැකි වූයේ එතුමාගේ අවසන් උපන් දිනයේදී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සුබ පතන්න පැමිණි අවස්ථාවේදීයි. ඒ සිහිනය කිහිපවරක්ම පසුගිය ආණ්ඩුවලට කීවත් සැබෑ නොවූ බව අමරදේවයන් එහිදී පවසා තිබුණා.

අමරදේවයන්ගේ අරමුණ ගැන ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපතිතුමන්ට පැවැසූ පසුව ඒ කටයුත්තට අනුමැතිය දී සති දෙකක් වැනි කෙටි කාලයකදී අගමැතිතුමන් සංගීත අසපුව ඉදිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීන්දුව මත අමරදේවයන්ගේ සිහිනය සැබෑ කිරීමට හැකිවීම අපට සතුටක් වනවා. ඒ සිහිනය සැබෑ වන මොහොතේ මාධ්‍ය ඇමැති ලෙස මේ කටයුත්තට සහභාගි වන්න හැකිවීම සුවිශේෂියි.

අසපුව තුළින් අමරදේව සූරීන් මෙරටට දායාද කළ මහා කලා සම්ප‍්‍රදාය ඉතිහාසයට වැළලී යාමට ඉඩ නොතබා හෙට දවසේ කලා කෙත අස්වැද්දීමට අමරදේව පරපුරක් නිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

අප නව අමරදේව පරපුර ගැන සිතන්නේ ඇයි? අමරදේවයන් සිංහල භාෂාවෙන් පමණක් ගීත ගායනා කළ ද කිසි දිනෙක ජාතිවාදියකු වූයේ නැහැ. ඔහු හැමවිටම ජනතාවාදී ගායකයකු වුණා.

සියලූම දෙනාට ජනතාවාදී කලාකරුවකු වීමට නොහැකි බව ඔබ සැම පිළිගන්නවා. ඊට විවිධ හේතු පැවැතිය හැකියි. නමුත් සැබෑ කලාකරුවා කිසි දිනෙක ජාතිවාදියකු නොවිය යුතුයි.

ඒ අරුතින් ගත්ත ද අමරදේව සූරීන් ලක් පොළොවේ බිහි වූ විශිෂ්ටතම ජනතාවාදී කලාකරුවකු ලෙස අප දකිනවා. ජනතාවාදී කලාකරුවාගේ අවසන් කාලයේදී එතුමන්ගෙන් රටට ගත හැකිව තිබූ බොහෝ නිර්මාණ බිහි නොවූ බව මගේ හැඟීමයි.

පසුගිය දශකයකට ආසන්න කාලය තුළ මෙරට කලාව එකම පවුලක බූදලය බවට පත් වූ නිසා බොහෝ ජනතාවාදී කලාකරුවන්ට නිර්මාණශීලි නිර්මාණ බිහි කරන්න වාතාවරණයක් තිබුණේ නැහැ.

ඒ කාලයේ බිහි වූ බොහෝ නිර්මාණ පුද්ගල වන්දනාවට මෙන්ම ප‍්‍රශස්ති ගායනයට සීමා වුණා. එකල පෝෂණය වූයේ රජුට ආවඩන කලාවයි. එදා පෙනී සිටියේ රජුට ආවඩන නිර්මාණකරුවායි.

ඒ නිසා ජනතාවාදී කලාව පමණක් නොව සැබෑ කලාකරුවා ද රාජ්‍ය උදහසට හසු වුණා. ඇතැම් අවස්ථාවල තහනමටත් ලක් වුණා.

අමරදේවයන් ද බලහත්කාරී රජ කලා සම්ප‍්‍රදාය තුළ පීඩාවට ලක්වීම නිසා නව නිර්මාණ එළිදැක්වීමට අවකාශ අහිමි වූ පුද්ගලයකු ලෙස මා දකිනවා.

කලාව මෙන්ම කලාකරුවාත් ස්වාධීන විය යුතු බව මගේ හැඟීමයි. එසේ නොවුවහොත් සැබෑ නිර්මාණ බිහි වීමේ අවකාශ අහිමි වෙනවා.

එදා තිබූ අඳුරු කලා සම්ප‍්‍රදායට දැන් තිත තබා වර්තමානයේ කිසිවකුටත් ආවඩන කලාවක් නැහැ. ප‍්‍රශස්ති ගායනා නැහැ. කලාව නමින් ඉතිහාසය හෝ ආගම හෝ වවාගෙන කන්නේ ද නැහැ.

පසුගිය යුගයේ එක්තරා කලාකරුවකු එවකට සිටි රාජ්‍ය නායකයා බුදුන්වහන්සේටත් නෑකම් තිබෙන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. රටක කලාව සංස්කෘතිය පෝෂණය කිරීම සදාචාර සම්පන්න සමාජයක් අනෙකා ගැන සිතන මිනිස් හැඟීම් සහිත පරපුර නිර්මාණය වීමට මහත් රුකුලක් වෙනවා. එමෙන්ම විවිධ ජාතීන්ගෙන් සමන්විත රටක සංස්කෘතික සහජීවනය ජාතීන් අතර සංහිඳියාව වර්ධනය වීමටත් හේතු වෙනවා.

කලා ක්‍ෂේත‍්‍රය සැබෑ ලෙසම පෝෂණය කිරීමට අදාළ කටයුතු ඉටු කිරීමට ආණ්ඩුව ලෙස අප රජය බැඳී සිටිනවා. දියුණු සමාජය ගොඩනැගීම වෙනුවෙන් කලාවේ සංවර්ධනය මෙන්ම ආර්ථික දියුණුව ද අත්‍යවශ්‍යයි. අප ඒ භාරදුර කටයුත්ත සඳහා දැන් මුලපුරා සිටිනවා. ඒ වෙනුවෙන් දුරදර්ශී සැලසුම් සහගත වැඩපිළිවෙළ ළඟදීම රට හමුවේ එළිදැක්වීමටත් සූදානමින් සිටිනවා.

හෙට දවසේ ඉපදෙන දරු දැරියන්ට ලෝකය හමුවේ දියුණු වන රටක් උරුමකර දීමට අවශ්‍ය මඟ හැදීමේ සහතිකය ඔබට දෙනවා.”

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

-පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් හැරුණු කල ජාතියේ මහා ගාන්ධර්ව, ජාතියේ අග‍්‍රගන්‍ය සංගීතඥ යන විවිධ නාමයන්ගෙන් හැඳින්විය හැකි සංගීතඥයකු තවත් නැහැ.

සිංහල සංගීත ක්ෂේත‍්‍රයේ අමරදේව අතුල්‍යයි. අමරදේව අප‍්‍රමාණයි. අමරදේව අසදෘශයි. අමරදේව අසමසමයි.

මහාවංශයට අනුව සිංහබාහුගේ මව වන සුප්පාදේවියගේ අත තැබූ හැම දෙයක්ම රත‍්‍රන් බවට පත්වූයේ යම්සේ ද ඒ ආකාරයටම අමරදේවයන්ගේ සංගීත ස්පර්ශය ලත් සෑම නිර්මාණයක්ම රත‍්‍රන් බවට පත් වුණා. ස්වර්ණමය නිර්මාණ බවට පත් වුණා.

අමරදේවයන්ගේ සංගීත ස්පර්ශය ලත් චිත‍්‍රසේනගේ නළ දමයන්ති මුද්‍රා නාටකය, ස්වර්ණමය වුණා. සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස, වෙස්සන්තර වැනි වේදිකා නාටක ස්වර්ණමය වුණා.

ලෙස්ටර්ගේ ගම්පෙරළිය, රන්සළු චිත‍්‍රපට ස්වර්ණමය වුණා. මහගමසේකරයන්ගේ මධුවන්ති ගුවන්විදුලි වැඩසටහන ස්වර්ණමය වුණා.

මේ ස්වර්ණමය පුරුෂය තරම් භාග්‍යවන්තයෙක් මේ කලා ක්ෂේත‍්‍රයේ තවත් සිටියාදැයි මට නම් සැක සහිතයි. මා එසේ කියන්නේ වසර 88ක් වූ සිය ජීවිත කාලයේදී අමරදේව තරම් කීර්ති ප‍්‍රසංශාවට ලක්වූ, ගෞරව බහුමානයට සහ සම්භාවනාවට ලක්වූ රාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ පටන් දුගී දුප්පත් යාචක ජනතාව දක්වා සකල්විධ ජනතාවගේ සමාදරයට ලක්වූ විදග්දයන්ගේ මෙන්ම අවිදග්දයන්ගේත් ප‍්‍රසාද ප‍්‍රණාමයට ලක්වූ වෙනත් කලාකරුවකු මෙරට බිහි වී නැති නිසයි.

අමරදේවයන් මුළු ජීවිතයම කැප කළේ අපේ යැයි කිව හැකි සංගීත සම්ප‍්‍රදායක් සොයා පාදා ගැනීම සඳහායි. එතුමා ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව ඔස්සේ විවිධ අත්හදාබැලීම් කර සාර්ථක ප‍්‍රතිඵල සහිත ලිපිලේඛන, පොත් පත් ලියා පළ කළා. ඒ නිසා එතුමා සංගීත ප‍්‍රාඥයකු ලෙස හඳුන්වාදීම වඩාත් යුක්ති සහගතයි.

අමරදේවයන් ලත් ජයග‍්‍රහණ ඇත්තෙන්ම පුදුමාකාරයි. අමරදේවයන් මියගියේ 88 වැනි වියේදීයි. නමුත් 87 වැනි වියේදීත් ලංකාවේ ජනප‍්‍රියම ගායකයා අමරදේවයි. මහජන ඡන්දයෙන් පිරිනැමූ ජනප‍්‍රියම ගායකයා සම්මානය වසර ගණනාවක් තිස්සේ අමරදේව විසින් ලබා ගත්තා.

2015 දක්වා වසර හයක් අඛණ්ඩව ජනතාවගේ කලාකරුවා බවට පත් වූයේ අමරදේවයි.

ලංකාවේ විශ්වවිද්‍යාල පහකින් සම්මාන උපාධි පහක් ලැබූ එකම පුද්ගලයා වන්නේ අමරදේවයි. සංගීතඥයකුට තබා ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යඥයකුට, වෛද්‍යවරයකුට, ඉංජිනේරුවෙකුටවත් අපේ විශ්වවිද්‍යාල මේ තරම් සම්මාන උපාධි පිරිනමා නැහැ.

ඉන්දියාව විසින් අමරදේවයන්ට -පණ්ඩිත්” යන ගෞරව නාමය පිරිනමනවා. අනතුරුව භාරතීය ජාතික සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ප‍්‍රදානය කරනවා.

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රැන්ගුන් මැග්සේසේ සම්මානයෙන් 2001 වසරේදී අමරදේවයන් පිදුම් ලබනවා.

මේ තරම් විශ්ව සම්භාවනාවට ලක්වූ ශ්‍රී ලංකා සංගීතඥයකු අපේ ඉතිහාසයේ නැහැ. අනාගතයේ දී බිහිවෙතැයි සිතා ගන්නත් බැහැ.

ඒ පුණ්‍යවන්තයාට සිය ජීවිත කාලයේදී ඉටුකරගත නොහැකි වූ එක් සිහිනයක් තිබුණා. ඒ තම සංගීත උරුමය අනාගතයට දීම සඳහා සංගීත කේන්ද්‍රයක් බිහි කිරීමයි. එතුමා ජීවතුන් අතර සිටියදී ඒ අරමුණ ඉටු කර ගැනීමට විවිධ උත්සාහ ගත්ත ද සාර්ථක වූයේ නැහැ.

අමරදේවයන් පරිහරණය කළ පත පොත ඇතුළු සියලූ දේ සංගීත ආශ‍්‍රමයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කෙරෙනවා. එමෙන්ම සංගීත රසඥතාව වර්ධනය කෙරෙන වැඩසටහන්, සංගීත පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. අමරදේවයන්ගේ භස්මාවශේෂ තැන්පත් කරන්නේ ද මේ ආශ‍්‍රමයේයි.

අද දවස සුවිශේෂියි. අමරදේව - විමලා යුවළගේ 54 වැනි විවාහ සංවත්සරය ඉරිදා (27) දිනට යෙදී තිබුණා. ඔවුන්ගේ 55 වැනි විවාහ සංවත්සරයට පෙර සංගීත ආශ‍්‍රමය විවෘත කර ගන්න ලැබුණොත් මොනතරම් භාග්‍යක් වන්නේද?”

අමරදේව පුත් රන්ජන අමරදේව මහතා

-දුෂ්කර ගමන් මඟ ආලෝකවත් කළ ඔබ සැම ආදරයෙන් සිහිපත් කළ යුතුයි. මේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට ජනපති, අගමැති පූර්ණ ආශිර්වාදය දුන්නා. ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා.”

මේ අවස්ථාවට ප‍්‍රවීණ කලාකරුවෝ ද මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (1)

’අමරදේවයන් ආදර්ශයට ගෙන අමරදේව පරපුරක් ගැන සිතීමට කාලය ඇවිත්’

sathyayaa Tuesday, 05 September 2017 12:16 AM

ඒ ශ්‍රේෂ්ඨ හෙළයේ මහා කළා කරුවාට මෙවන් සත්කාරයකින් පිදීම ඉතා වැදගත්. මෙහි ඇති නීරසම දෙය ගර්හිත දේශපාලනයම හැම දෙකටම ඉස්සරහට පැනීම. දේශපාලනය හා සංවේදී කලාව අතර ඇත්තේ අහසට පොළොව වගේ පරතරයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2145 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 732 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site