IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අලුත් වාරයක් ඇරඹෙයි


රටම ඉතා උනන්දුවෙන් බලා සිටි මහ මැතිවරණය ඉකුත් සති අන්තයේ අවසන් විය. ඒ කිසිවකුත් අපේක්ෂා නොකළ, විශේෂයෙන් ජාතික ජන බලවේගයවත් අපේක්ෂා නොකළ, අතිවිශාල ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලබාදෙමිනි. එය එක් අතකින් මැතිවරණයක් නොව දේශපාලන සුනාමියකි. ඒ දේශපාලන සුනාමියෙන් විපක්ෂයේ පක්ෂ සේදී ගියේ විපක්ෂයේ පක්ෂවල නායකයන්ද අන්ද මන්ද කරමිනි.

සුනාමියක් ඇවිත් 

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන්නට ඇත්තේ, පාර්ලිමේන්තුවේ 120ක එකසිය තිහක මන්ත්‍රීවරුන් පිරිසකි. එහෙත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159 ක් හිමිවිය. එය මෙරට  මනාප ඡන්ද ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව දේශපාලන පක්ෂයක් ලැබූ සුවිශාලම ජයග්‍රහණය වේ. ඉන් පෙර පැවති මැතිවරණවල දී ජයග්‍රහණය කළ පක්ෂ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි කර ගත්ත නමුත් මෙය තුනෙන් දෙකේ බලයද ඉක්මවා යාමකි. සමානුපාතික  ඡන්ද  ක්‍රමය හඳුන්වාදීමට මුල් වූ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාවත් දෙපාලන පක්ෂයකට මෙතරම් මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි වේ යැයි අපේක්ෂා කරන්නට නැත.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ,ආණ්ඩු බලය හිමි කරගත් ජාතික ජන බලවේගය, සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු‍ ජාතීන්ගේ විශ්වාසය දිනාගැනීමය. උතුරු නැගෙනහිර හා  වතුකරයේ බලය මීට පෙර හිමිව තිබුණේ ඒ ඒ පළාත්වල ජනවර්ග පදනම් කර ගනිමින් පිහිටුවා ගත් ජාතිකවාදී දේශපාලන පක්ෂවලටය. එහෙත් එම තත්ත්වය උඩුයටිකුරු කරමින්, දකුණේ දේශපාලන පක්ෂයක් ඉතිහාසයේ පළමු වතාවට උතුරත් නැගෙනහිරත් වතුකරයත් ජයග්‍රහණය කළේ අලු‍ත් දේශපාලන ගමනකට මුල පුරමිනි. එම පළාත්වල ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවත්, ඔවුන්ට මෙවැනි අන්ත අසරණ  ඉරණමක් අත්වෙනු ඇතැයි අපේක්ෂා කරන්නට නැත. ජාතික ජන බලවේගය මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙන් මඩකළපුව දිස්ත්‍රික්කය හැරෙන්නට අනෙකුත් සියලු‍ම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළේය. මඩකළපුව දිස්ත්‍රික්කයේ පමණක් ජයග්‍රහණය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි විය. රටේම ඡන්ද හැට අටලක්ෂය ඉක්ම වූ ජාතික ජන බලවේගය, දෙවැනි තැනට පත් සමගි ජන බලවේගයට වඩා වැඩි ඡන්ද හතළිස් නව ලක්ෂයක් පමණ ලබා ගත්තේය. අනුර කුමාර දිසානායක සුළුතර ඡන්දයෙන් ජයග්‍රහණය කළ බවට ඇතැමුන් කළ  ප්‍රකාශවලට රටේම ජනයා දුන් කදිම පිළිතුරකි. සමගි  ජන බලවේගයත් නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණත් මහ මැතිවරණයේදී ලබාගත්  ඡන්ද  ප්‍රමාණය ඉතා විශාල වශයෙන් අඩු කරගත්තේය.

සමගියේ අසමගිය 

මේ අතර පසුගිය සතිය පුරාම රටේම අවධානය යොමු වූයේ පරාජය වූ විපක්ෂයේ  පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු සම්බන්ධයෙනි. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ආසන  කිහිපය බෙදාගැනීමට පසුගිය සතියේ එම දේශපාලන පක්ෂ අතර පැවතියේ දැඩි පොරයකි. විශේෂයෙන් මේ තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරී තිබුණේ සමගි ජන බලවේගයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙනි. ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන පහක් ජාතික ලැයිස්තුවෙන් හිමිව ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන දෙකකි. සමගි ජන බලවේගයට හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන පහෙන් තවම පුරවා ඇත්තේ එකකි. ඒ රංජිත්  මද්දුම බණ්ඩාර මහතාගේ නම පමණි. ඉතිරි හතර පිරවීමට නොහැකි වී ඇත්තේ, සමගි ජන බලවේගය සහ ඊට හවුල්කාරී පක්ෂ තමන්ටද මන්ත්‍රී ආසන අවශ්‍ය බව කියමින් දිගින් දිගටම කේවල් කිරීම හේතුවෙනි. සමගි ජන බලවේගය ඉතිරි මන්ත්‍රී ආසන හතරට ඩලස් අලහප්පෙරුම, ඉමිතියාස් බාකිර් මාකර්, මහාචාර්ය ජී.එල්.පීරිස්, මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න  යන අයගේ නම් යෝජනා වී ඇති බව පැවසේ. සමගි  ජන බලවේගය සමග එක්ව මැතිවරණයේදී තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩුණු දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්  පියදාස ඇතුළු කණ්ඩායම කියා සිටින්නේ ඔවුන්ටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා ඔවුන් අතර මැතිවරණයට පෙර ගිවිසුමක්ද ඇති කරගත් බවත් එබැවින් ඔවුන්ට එක් මන්ත්‍රී ආසනයක් හිමි යුතු බවත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන තර්කයයි. කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ පවතින මෙම කඹ ඇදිල්ල  හේතුවෙන් ඉතිරි ආසන හතර පිරවීම තවදුරටත් කල් යනු ඇත.

රවි ගෑස් සිලින්ඩරයට 
ගිනි තබයි

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඊළඟ අර්බුදය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  කැඩුණු කණ්ඩායම් එක්ව සිලින්ඩරය ලකුණෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සම්බන්ධයෙනි.  සිලින්ඩරයට හිමි වූ මන්ත්‍රී ආසන ද පිරවීම මෙසේ  කල් දමමින් තිබුණේ පක්ෂය අභ්‍යන්තරයේ පවතින බරපතළ ගැටුම හේතුවෙනි. හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සූදානම්ව සිටියේ ඔහුගේ ඉන්දීය සංචාරයෙන් පසුව මේ සඳහා සුදුසු දෙදෙනකු පත් කිරීමටය. එම  මන්ත්‍රී ආසන දෙකට ද බරපතළ තරගයක් තිබිණි. පොහොට්ටුවෙන් කැඩී  තරග කළ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩුණු පිරිස්, මෙන්ම හිටපු මන්ත්‍රී  රවී කරුණානායක ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලා සිටියේය. රනිල් වික්‍රමසිංහ, ජාතික ලැයිස්තුව පිරවීම කල්මරමින් සිටියදී රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා  නව ප්‍රජාතවාදී පෙරමුණේ ලේකම්වරිය ලවා ඔහුගේ නම මැතිවරණ කොමසාරිස්වරයා වෙත හදිසියේම යැව්වේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ‍ලේකම් ෂර්මිලා පෙරේරා, රවී කරුණානායකගේ හිතවතියකි.  මහ මැතිවරණයට එජාපය හා පොහොට්ටුවෙන් කැඩුණු  පිරිස් ඇතුළු කණ්ඩායම්වලට තරග කිරීමට පොදු ලකුණක් නොතිබූ තත්ත්වයක් තුළ, එම පක්ෂය සොයා දී තිබුණේ රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයාය.

ඒ හේතුවෙන් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිගින් දිගටම අයිතිවාසිකම් කීවේය.එම් කණ්ඩායමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාටද හොරෙන්, රවීගෙ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවනු ලැබීය.මැතිවරණ කොමිෂන් සභාවට පක්ෂයේ අය අතර පවතින අර්බුදය අදාළ නැත. පවතින ක්‍රමවේදය යටතේ පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර එවන්නේ නම් මැතිවරණ  කොමිෂන් සභාව එය පිළිගත යුතුවේ. ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ලේකම්වරිය යැවූ රවීගේ නම පිළිගෙන මැතිවරණ කොමිෂන් සභාව එදිනම රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ අතර හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් බලාපොරොත්තුවෙන් සිටියේය.ඔහු දිගින් දිගටම ක්‍රියා තිබුණේ තමාට එම මන්ත්‍රී ධුරය අවශ්‍ය බවය.එහෙත් එම පක්ෂයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අය පමණක් නොව පොහොට්ටුවෙන් ඉවත්ව  තරග කළ  බොහෝ දෙනෙකුද ඊට විරුද්ධත්වය පළ කර තිබුණේ, දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිවරයා සිලින්ඩරයේ ඡන්ද ව්‍යාපාරයට සාධනීය දායකත්වයක් නොදැක්වූ බව පවසමිනි.සිලින්ඩරය යටතේ තරග කර පැරදුණු මන්ත්‍රීවරු පිරිසක් සඳුදා කොළඹ මල් පාරේ පිහිටි  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කාර්යාලයේදී රැස්වී මේ ගැන සාකච්ඡා කළහ. දිනේෂ් ගුණවර්ධන හිටපු  අගමැතිවරයා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලීම සම්බන්ධයෙන් එහිදී දිගින් දිගට කතාබහට ලක්විය.

එම හමුවට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ කියා සිටියේ, දිනේෂ්ට  එම මන්ත්‍රී ධුරය දීමට කිසිදු සුදුසුකමක් නැති බවය. මේ බව ඔහු හමුවී දැනුම් දෙන ලෙසද එම මන්ත්‍රීවරු එහි සිටි පිරිසගෙන් ඉල්ලීමක් කළහ. ඒ  අනුව එම සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන විජේසේකර, කෝකිලා ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි , රෝහිත අබේගුණවර්ධන  ඇතුළු පිරිසක් දිනේෂ්  ගුණවර්ධන හිටපු අගමැතිවරයා හමුවෙන්නට ගියහ. එහිදී ඔවුන් කියා තිබුණේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ මන්ත්‍රී ආසන දෙකෙන් එකක් දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට දීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවය. හිටපු අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් ඉන්නේ නෝක්කාඩුවෙනි. ඔහු ඒ බවක් ඍජුව ප්‍රකාශ කර නැති අතර, කැමති තීරණයක් ගන්නැයි  දැනුම් දී ඇති බව පැවසේ.

සිලින්ඩරයට හිමි වූ ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් සාකච්ඡාවක් කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වැනිදා දහවල් පැවැත්විණි. මෙම සාකච්ඡාවට ගෑස් සිලින්ඩරයෙන් තරග කර පැරදුණු මන්ත්‍රීවරුන් මෙන්ම, ජයග්‍රහණය කළ රෝහිත අබේගුණවර්ධන, චාමර සම්පත් දසනායක දෙදෙනාද පැමිණ සිටියහ.ඒත් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන එම සාකච්ඡාවටද සහභාගී නොවීය.විශේෂත්වය වෙන්නේ, ජාතික ලැයිස්තුවට හොරෙන් නම යැවූ රවී කරුනානායක මන්ත්‍රීවරයාද ඊට සහභාගි වී සිටීමය.රවී කරුණානායකගේ නම ජාතික ලැයිස්තුවට යැවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු එහිදී විරෝධය පළ කර ඇති  අතර, එම මන්ත්‍රී ධුරය සඳහා බොහෝ දෙනෙක්  අයිතිවාසිකම් කියන්නට ද වූහ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට දැඩි වෙහෙසක් ගත් නිමල් ලන්සා හිටපු මන්ත්‍රීවරයා රවි කරුණානායකට දොස් කියමින් කියා සිටියේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමිවිය යුතු බවය. “රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කරන්නට වැඩියෙන්ම මහන්සි වුණේ මම.ඒ නිසා මේ ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මම” යැයි ලන්සා කියද්දි, පොහොටුවේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ ජයන්ත  වීරසිංහ කියා සිටියේ, සිටින ජ්‍යෙෂ්ඨයා ඔහු බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඔහුට හිමි විය යුතු බවය.
සිලින්ඩරේ අයට මාලිමාවෙන් දේශපාලනය ඉගෙන ගන්නැයි ප්‍රමිත කියයි

මේ කතා බහ යන අතරේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයාද කතා කළේය. ඔහු කතා කළේ තරමක් ආවේගයෙනි

“මම මේ කතාබහ අහගෙන හිටියා, මම කියන්නේ, ඔබතුමාල පොඩ්ඩක්  ජාතික ජන බලවේගයෙන් දේශපාලනය ඉගෙන ගන්න. අපි මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම්  දෙකකට රණ්ඩු වෙනවා. එයාල එක මන්ත්‍රීකමක් අරන් රණ්ඩු කරන්නැතුව, හරිනි අමරසූරිය දාලා එයාලා ආණ්ඩුවකුත්  පිහිටෙව්වා. ඊට කලින් පාර්ලිමේන්තුවේදී මාලිමාවට හම්බු වුණේ  ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රීකමයි. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ, දර දිය ඇඳපු අය ගොඩාක් ඉදිද්දී, කිසිම රණ්ඩුවක් නැතුව ඒගොල්ලො හරිනි අමරසූරිය දැම්මා.එයාලා ආණ්ඩුවකුත් පිහිටෙව්වා.

අපි බලන්න ඕනැ අතීතය ගැන නෙමෙයි, අනාගතය ගැනයි.ඒ නිසා අනාගතය ගැන හිතලා මේ මන්ත්‍රී ධූරය දෙන්නැයි කී ප්‍රමිත, හැඟීම්බරව විමසා සිටියේ අපි මේ මොනවද කරන්නේ” යනුවෙනි.

“මම තරුණ දේශපාලනඥයෙක්, අනාගතය හදාගන්න අපි මේක පාවිච්චි කරමු”‍ ඔහු කීවේය.

සාකච්ඡාවට රවී කරුණානායක මන්ත්‍රීවරයාද පැමිණ සිටියේය. එහි සිටි බොහෝ දෙනෙකු ඔහුට දොස් කී අතර, පක්ෂයේ  සභාපති වජිර අබේවර්ධන, කරුණානායකට විරෝධය පළ කරමින්  කීවේ ජාතික ලැයිස්තුවට සුදුසු තලතා අතුකෝරල බවය. මේ අතර, රවී කරුණානායක හා අසාත් සාලි අතර ද ගැටුමක් ඇතිවීමට ගියේය. අසාද් සාලි,  රවීට චෝදනා කරමින් කතා කරද්දී රවි ද කීවේ තමා මේ මන්ත්‍රී ධූරය ගත්තේ පක්ෂය වෙනුවෙන් බවය. බදුල්ලෙන් තේරී පත් වූ චාමර සම්පත් දසනායක  “ඕනැ කෙනෙක් තෝරලා එවන්න. තෝරලා එවන කෙනත් එක්කයි අපිට වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා මම මෙතන ඉන්න එක සුදුසු නැහැ” යයි කියමින් චාමර එතනින්  පිටත්ව ගියේය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කීවේ රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නම යවා ඇත්තේ තමා නොදැනුවත්ව බවය. එය නොකළ යුතුව තිබූ දෙයක් බව රනිල් කීවේය. වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත්වෙන්නේ නම් තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙන බවත් වෙන කාටවත් ලබා නොදෙන බවත් රවී කියා සිටියේය. “මම හොර වැඩක් කළෙත් නෑ , කළානම් මෙතනට එන්නෙත් නෑ. එහෙම කළා නම් මන්ත්‍රී ආසන දෙකම පුරවල යවනවා. මට ඕන්නම් මේ මන්ත්‍රීකම විකුණන්නත් තිබුණා, ගන්න කට්ටියත් ඕනැ තරම් ඉන්නවා” යයි රවී කීවේය.

මේ අතර පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකර සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන දෙදෙනාගේ නම් ද එහිදී යෝජනා වී ඇත. කෙසේ වුවද අවසානයේ මන්ත්‍රී ධූරය කංචන විජේසේකර හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තීරණය වී තිබේ. 

තරුණයන්ට 
එජාපයෙන් ආරාධනා

හිටපු ජනාධිපති වික්‍රමසිංහ පසුගිය දා හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව වගකීම් බාරගන්නා ලෙසය. අනුරාධ ජයරත්න, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කංචන විජේසේකර,  ශෙහාන්  සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය ඇතුළු පිරිසකට මෙම ආරාධනය කර ඇති බව දැනගන්නට ඇත.එහෙත් ඔවුන් කිසිවෙකුගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද වාර්තා වේ.


රනිල් අනුරට,

විජිතට කතා කරයි 

රනිල් ඉකුත් සඳුදා ජනපතිටත් ප්‍රධාන ඇමැති ධුරයකට පත් වූ විජිතටත් දුරකථන ඇමතුමක් දී සුබපැතුවේය. රනිල් ඒ ඇමතුම ගත්තේ අනුරගේ මෙන්ම විජිතගේ සරසවි සමකාලීන හිතවතකුගේ දුරකතනයෙනි.

“ඔන්න මම 2024ට ලොකු ආදායමක් ඉතුරු කරලා ආවා. ඒ නිසා වැඩිය හිතන්නේ නැතිව ආණ්ඩුවේ සේවකයන්ගේ පඩිය වැඩි කරන්න”‍ රනිල් විජිත සමග කීවේය.

රනිල්, අනුර ජනපති අමතමින් පැවසූයේ “ ඔබට ලොකු ජනවරමක් ලැබිලා තියෙනවා, දැන් වැස්සත් පෑව්වත් ඒ දෙකේම වගකීම පවරා ගන්න වෙනවා”‍ යනුවෙනි.

අයිඑම්එෆ් ගිවිසුම සම්බන්ධයෙන්ද රනිල් එහිදී අනුරට විශේෂ හෙළිදරව්වක් කළේය.

“ප්‍රශ්නවලට මුහුණ දීලා ආණ්ඩුව පවත්වාගෙන යන එක තමයි ලොකුම වැඩේ”‍ රනිල් දුරකථනය තැබුවේ එසේ කියමිනි.

රනිල් 21 වැනිදා උදේ ඉන්දියාව බලා ගියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර්  හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමටයි. අනතුරුව ඔහු ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක ද නිරත වෙයි. රනිල්  නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදාය. රනිල් ලංකාවට පැමිණි පසු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී රවී ගැන තීරණයක් ගනු ඇති බව දැනගන්නට තිබේ.

මාලිමාවේ මන්ත්‍රීන් 
වෑන් අරන් 
පාර්ලිමේන්තු එති 

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කර ජයගත් බොහෝ මන්ත්‍රීවරු මුදල් හදල් ඇති මන්ත්‍රීවරු නොවේ. මේ නිසා දුර පළාත්වල සිට දියවන්නාවට පැමිණීම ඔවුන්ට වෙනම වැඩක් විය. වෙනදා මන්ත්‍රීවරයෙකු වෙන අයෙකුට වාහන දෙන්න මුදලාලිලා පොරකෑවත් මෙවර එසේ වාහන නොඉල්ලන මන්ත්‍රීලා පත්වී සිටිති. ඔවුන් පාර්ලිමේන්තුව ඇරඹීමට පෙර පැවති පුහුණුවට පැමිණියේද එකට එකතු වීය. වෙනදා මෙන් ගෙවල් ලැබෙන්නේ කවදාද, පර්මිට් ලැබෙන්නේද වැනි ප්‍රශ්න ඔවුන්ට නොවීය. 

මෙවර පත්වූ පිරිස අතර මහචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉන්ජිනේරුවන් ආදී නොයෙක් පිරිස් සිටිය ද මේ සියලු දෙනා කෝඩුකාරයන්ය. මේ නිසා මීට පෙර එක් අවස්ථාවකදී හෝ පාර්ලිමේන්තු පැමිණ ඇති ජාජබ මන්ත්‍රීවරු 14 දෙනාටත් ජනාධිපති අනුර කුමාර දිසානායකටත් මේ පිරිස නිවැරදි මාර්ගයේ ගෙන යෑම එතරම් අපහසු නොවනු ඇත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදීත් කීවේ අලුතින් පැමිණි පිරිස වැඩි නිසා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා කරන කටයුතු පහසුවෙන් කළ හැකි බවය. මේ අනුව නැවත පත්වී සිටින විපක්ෂයේ මන්ත්‍රීවරු 53 දෙනාටත් පාර්ලිමේන්තුව තුළ පැරණි නැටුම් නැටීමට ඉඩක් නොවන බව පැහැදිලිය. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස්වෙන සුවිශේෂ අවස්ථාවක් බවට පත්වෙනු නොඅනුමානය. 

මාලිමාවේ ස්තූතිය

පසුගිය බ්‍රහස්පතින්දා දිවුරුම් දීමෙන් අනතුරුව, මාලිමාවේ ජයග්‍රාහී මන්ත්‍රීවරු තමන්ට ඡන්දය දුන් ජනතාව වෙත ගොස් ස්තූති කරන්නට අමතක නොකළහ. කොළඹින් බැහැර බොහෝ දෙනෙකුද, වෙහෙස නොබලා තමන්ගේ ප්‍රදේශවලට ගොස් ජනතාව හමුවී ස්තූති කළහ. වෙනදා ඡන්දයකින් පසුව මන්ත්‍රී උන්නාන්සේ බලන්නට ජනතාව ගියද මෙවර මාලිමාවේ මන්ත්‍රීවරු ජනතාව බලන්නට යෑම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. එහෙත් අප රටේ බහුතර ජනයාට මතක් කරන්නේ මේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රදේශයටත් රටටත් වැඩ කිරීමට උදව්වෙනවා මිස ඔවුන්ගෙන් පෞද්ගලික වාසි ඉල්ලා අමනාප නොවන්න කියාය. 


රාජ-දූත


 



අදහස් (0)

අලුත් වාරයක් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 3778 7

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 2551 10

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 6809 13

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 3226 27

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5929 16

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3674 15

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site