IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නම අවභාවිත කළ බවට විපක්‍ෂය චෝදනා නැඟීය. මෙම ප්‍රකාශය කටට “බ්‍රේක් නැති” දේශපාලන වේදිකාවට අලුත් දෙයක් නොවේ. ගෙවුණු දශක හත අටක කාලය තුළ අනෙකා ඉලක්ක කරමින් දේශපාලකයන් කළ කතා දුසිම් ගණනක් දැකගත හැකිය. 

1956 දී අගමැතිවූ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට එකල ඇතැමුන් කියා සිටියේ “සෙවල බණ්ඩා” යනුවෙනි. මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මැළිවීම එයට හේතුවය. එතුමාගේ ආණ්ඩුවේ සිටි ඇමැතිවරියක වූ විමලා විජයවර්ධනට නැඟුණු එක් චෝදනාවක් වූයේ කවියකු වූ පී. මල්ලගොඩ ලවා අගමැතිට එරෙහිව “කැලෑ පත්තර” ප්‍රචාරය කළ බවය. “බණ්ඩට කොන්ද පණ නෑ, අගමැතිකම සුමාන දෙකකට මට දෙන්න කියනවා කරලා පෙන්නන්න...” ඇමැතිවරිය තම ඡන්දදායකයන්ට ප්‍රසිද්ධියේ කී බව එකල පුවත්පත්වල පළ විය. 

1960 – 65 ශ්‍රීලනිප රජයේ අගමැතිනිය වූයේ බණ්ඩාරනායක මැතිනිය ය. ටී.බී. ඉලංගරත්න මහතා ඇමැතිවරයකු විය. එකල විදේශීය තෙල් සමාගම් පවරා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබූ කාලයයි. එහෙත් පවරා ගැනීම ප්‍රමාද වූයේ අදාළ පනත ප්‍රමාද නිසාය. පෞද්ගලික තෙල් සමාගම් ඉලංගරත්නට අල්ලස් දී ඇතැයි ප්‍රචාරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ දී ද මේ ප්‍රශ්නය මතුවුණේය. තමාට අල්ලස් දී ඇතැයි ප්‍රචාරය වන කතාව ඉලංගරත්න මැතිනිය හමුවේ කීවේ ප්‍රමාදය තමාගේ නොව ඇමැති මණ්ඩලයේ බව කියමිනි. “ඔබට ලොකු පසුම්බියක් තියෙන බව මිනිස්සු කියනවා...” යි බණ්ඩානායක මැතිනිය කියා සිටියාය. ඉලංගරත්න ද නිහඬ නොවීය. “ඔබට ලොකු අත්බෑගයක් තියෙන බව මිනිස්සු කියනවා...” ඉලංගරත්න කීවේය. අන්තිමේ දෙදෙනාම සන්සුන් කිරීමට පාර්ලිමේන්තු කණ්ඩායමට සිදුවිය. අද වගේ නොව එදා අල්ලස් ගැන දේශපාලකයන් ව්‍යාංගාර්ථයෙන් කීවේ ඒ අයුරිනි. 

 ඔළු තුනේ බූරුවෝ 

1947 පළමු පාර්ලිමේන්තුව සඳහා ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගත් අවස්ථාවේ කිසිම කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණේය. උතුරු - නැගෙනහිරින් පැමිණි ස්වාධීන මන්ත්‍රීවරුන් විසි දෙදෙනකු තම පැත්තට ගැනීමට එජාපයත් වාමාංශික පක්‍ෂත් උත්සාහ කරමින් සිටියේය. එකල බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂයේ නායක කොල්වින් ආර්. ද සිල්වා මෙම මන්ත්‍රීවරුන් විසිදෙදෙනා හැඳින්වූයේ ඔළුතුනේ බූරුවන් හැටියටය. මෙම කතාව තමන්ට කළ උපහාසයක් හැටියට හැඳින්වූ මෙම මන්ත්‍රීවරුන් වාමාංශික පක්‍ෂ වෙත නැඹුරු වූයේ නැත. ඔවුන් බහුතරයකගේ සහාය ලබාගත් එජාපය ආණ්ඩුවක් පිහිටුවූයේය. 

 වැස්සී සහ පැටවා 

පාර්ලිමේන්තුවේ ජනප්‍රිය කථිකයකු ලෙස එක්දහස් නවසිය හැත්තෑව – හැත්තෑ හත සමයේත් ඉන්පසුව අගමැතිවරයා ලෙස හැත්තෑ තුනෙන් පසුවත් විරුද්ධවාදීන්ට තදබල වාග් ප්‍රහාර එල්ල කළ කථිකයකු වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාසගේ කටට බොහෝ දුරට සීමාමායිම් නොවීය. කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත වූ ‘ඇත්ත පත්‍රය’ නිරතුරුවම ප්‍රේමදාස වෙනුවෙන් භාවිත කළේ “කානු කටා” යන වචනය ය. ප්‍රේමදාස බණ්ඩාරනායක මැතිනිය විවිධාකාර වචනවලින් හඳුන්වමින් පාර්ලිමේන්තුවේ කතා කළේ, එතුමිය මන්ත්‍රීවරියක ලෙස සභාගැබේ වාඩිවී සිටියදීය. ප්‍රේමදාස මැතිනියට පහර දෙද්දී මැතිනියගේ සමීප මිතුරියක වූ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියට ද අනියමින් පහර වැදුණේ ය. 

එක්දහස් නවසිය හැත්තෑ තුනේදී ඉන්දිරා ගාන්ධි මැතිනිය කොංග්‍රස් පක්‍ෂයේ ලාංඡනය ලෙස අත ලකුණ තෝරා ගත්තාය. එයට පෙර ඉන්දීය කොංග්‍රසයේ ලාංඡනය වූයේ එළදෙන සහ පැටවාය. ප්‍රේමදාස මෙම තත්ත්වය බණ්ඩාරනායක මැතිනියට පහරදීම සඳහා යොදා ගත්තේය. ඔහු එකල පාර්ලිමේන්තුව වූ ජාතික රාජ්‍ය සභාවේදී කියා සිටියේ ඉන්දිරාගේ පරණ ලාංඡනය අපූරුවට ලංකාවට ගැළපෙන හෙයින් ශ්‍රීලනිපයේ ලාංඡනය ලෙස එළදෙන සහ පැටවා තෝරාගෙන අත ලකුණ ඉන්දිරාට දෙන ලෙසය. ප්‍රේමදාස මෙහිදී එළදෙන සහ පැටවා ලෙස උපමා කළේ බණ්ඩාරනායක මැතිනිය සහ ඇගේ පුත් අනුර බණ්ඩාරනායකය. ඉන්දියාවේදී ඉන්දිරා සහ ඇගේ පුත් සංජය ගාන්ධි එරට විරුද්ධ පක්‍ෂයේ නිරන්තර ප්‍රහාරයට ලක්ව තිබිණි. ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශය නිසා වඩාත් රිදුණේ බණ්ඩාරනායක මැතිනියටත් වඩා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනියටය. ඇගේ රජය ජේ. ආර්. සහ එජාපය කෙරෙහි සතුරු ආකල්පයක් අනුගමනය කිරීමට ප්‍රේමදාස සහ ජේ. ආර්. ගේ මෙම ප්‍රකාශද හේතු විය. 

 චිං චිං නෝනා ගියා 
 ටොම් පචයා ආවා 

තමාගේ පාර්ලිමේන්තු ජයග්‍රහණය සිදුවී ටික කලකින් කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටරයක් ගැන 1977 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව අමතමින් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ කීවේය. 

“චිං චිං නෝනා ගියා ටොම් පචයා ආවා” යනුවෙන් සඳහන් පෝස්ටරයක් මම ළඟදී දැක්කා. පචයා කියන්නේ අසත්‍ය දේ ප්‍රකාශ කරන තැනැත්තාවයි. එය මට එල්ල කරන ලද්දකැයි මා සිතනවා. නමුත් චිං... චිං... නෝන කියා සඳහන් කර ඇත්තේ බණ්ඩාරනායක මැතිනිය ගැනයි. මේ පෝස්ටරය අලවා ඇත්තේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක යැයි අනුර බණ්ඩාරනායක කියනවා. මා ඔවුන්ගේ සතුරා නිසා මා ගැන කියන දේ තේරුම් ගත හැකියි. එහෙත් ඔවුන්ගේම නායිකාවට ‘චිං චිං නෝනා’ යැයි කීම ඉතා අකාරුණික ක්‍රියාවක්...” ජේ. ආර්. මේ කතාව කීවේ බණ්ඩාර නායක මැතිනිය ද විපක්‍ෂයේ වාඩිවී සිටියදීය. එහෙත් එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නට කිසිවකුත් ඉල්ලා සිටියේ නැත. 

කාන්තාවක නිසාම මැතිනියට ප්‍රේමදාසගෙන් තවත් වාචික හිංසනයකට ලක්වීමට සිදුවිය. ඔහු වරක් පැවසුවේ මැතිනිය වාඩිගත් පුටුව සෝදන්නට වන බවය. කාන්තාවකට පමණක් උරුම ස්වාභාවික හේතුවක් වාග් ප්‍රහාරයකට ඔහු යොදා ගත්තේ ඒ අයුරිනි. 

 අනුර බැනලා 
 මැතිනි ඇඬුවා 

පිටස්තරයන්ගෙන් පමණක් නොව ඇගේ පුත් අනුර බණ්ඩාරනායකගේ ප්‍රකාශ නිසාද මැතිනියගේ හිත රිදුණේය. එක්දහස් නවසිය අසූ පහ – අසූ හය පමණ කාලයේ ශ්‍රීලනිපය තුළ බොහෝ අර්බුද තිබුණේය. පක්‍ෂය නිසා මැතිනියගේ දරුවෝද බෙදී සිටියහ. ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් එස්.බී. දිසානායක මහතා එවැනි සිද්ධියක සාක්‍ෂිකරුවෙකි. අනුරගේ ප්‍රකාශයක් නිසා මැතිනිය හඬා වැටුණු හැටි එස්.බී. මෙසේ සිහිපත් කරයි. 

“මැතිනි එක පාරක් සූරියප්පෙරුමව අස් කළා. එදා තමයි මාවයි, මංගලවයි මැතිනි දේශපාලන මණ්ඩලයට ගත්තෙ. ඒ රැස්වීමේදී සූරියප්පෙරුම අයින් කරන්න එපා කිය අනුර බොහොම තදින් කතා කළා. එයා කතා කරද්දි කැත විදිහට මැතිනියට බැන්නා. මං ඔයාගෙ පුතා. පුතාට ඔහොම වෛර කරන්න එපා කියලා බැන්නා. නරක වචනයක් කීවා. ඔයා පිළිගන්නවද මං ඔයාගෙ පුතා කියල. ඔහොම කීවා. මැතිනි එතකොට ඇඬුවා. 

ගැටුම දිගටම යනකොට මහින්ද රාජපක්‍ෂ කීවා, හරි ඉතින් මැතිනිට සූරියප්පෙරුම එක්ක වැඩ කරන්න බැරිනම් එයා අස්කරල වෙන කෙනෙක් දාමු කියල... ඒක තමයි මාත් මේ කියන්නෙ කියල මැතිනි කීවා. එතකොටම මහින්ද කීවා අනුර බණ්ඩාරනායක පක්‍ෂයේ මහ ලේකම් හැටියට යෝජනා කරනවා කියලා. ඒක හලීම් ඉෂාක් ස්ථිර කළා. කලින් සූදානම් වෙලා හිටියෙ අනුර දාන්න නෙවෙයි. ලක්‍ෂමන් ජයකොඩි නැගිටල ධර්මසිරි සේනානායක මහලේකම් කරන්නයි එකඟවෙලා හිටියෙ. එයා ඒක කළේ නෑ. මම පැනල ධර්මසිරිගෙ නම යෝජනා කළා. අලෙවි මව්ලානා ඒක ස්ථීර කළා. 

මට කැමති කෙනෙක් දාගන්න ඉඩ දෙන්න කියල මැතිනි කිව්වා. මැතිනි කඳුළු පෙරාගෙන නැගිටල ගියා, උඩ තට්ටුවට. එතැනදි වැටිලා පැරලයිස් වුණා. එහෙමම හොස්පිට්ල් එකට ගෙනාවා. මැතිනිට හරියට හිතට අමාරු වුණේ ලක්‍ෂමන් ජයකොඩි ධර්මසිරි සේනානායකගෙ නම යෝජනා කරන්න පොරොන්දු වෙලා ඒක නොකළ එක. මැතිනි අනුරගෙන් කොහොමත් එහෙම වචන බලාපොරොත්තු වුණේ නෑ. එදා සිදුවීමට මැතිනිට හොඳටම හිත රිදිල හිටියෙ...” එස්. බී. දිසානායක මහතා කීවේය. 

 ‘බිංදුමතී’ කවුද?  

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජයේදී බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට විපක්‍ෂය “ටෙන් ප්‍රසන්ට්” යන නම පටබැඳි විලසටම සමගි පෙරමුණු රජය සමයේදී එවකට මන්ත්‍රීවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා බණ්ඩාරනායක අගමැතිනියට නම පට බැන්ඳේ “බිංදුමතී” යනුවෙනි. ඇතැම් මූල්‍ය ගනුදෙනුවල ඉලක්කම් සංකේතවත් කිරීම මෙම නම පටබැඳීමේ හේතුව විය. 

 වාසුගේ කුණුහරුප  

2015 පැවැති පාර්ලිමේන්තුවේ දී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ කටට බ්‍රේක් නැතිවිය. 2015 යහපාලන රජයේ අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. එකල ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී වාසුදේව නානායක්කාර මහතා අගමැති රනිල්ට කුණුහරුපයෙන් බැණ වැදුණේය. එහෙත් රනිල් එම වචන නොතකා දිගටම කතා කළේය. වාසු යළිත් කලින් කී කුණුහරුපයම කීවේය.

“ඔබේ රැවුල කපා ගන්න... එතකොට මොළය පෑදෙයි...” අගමැති වාසුට කීවේය. එහෙත් වාසු බාධා කිරීම නතර කළේ නැත. “මේ පිස්සව වාඩිකරවන්න කථානායකතුමා, සභාවෙන් ඇසිණ. “උඹට පුළුවන්ද මාව වාඩිකරවන්න...” වාසු තවත් වචන සමග කියාගෙන ගියේය. වාසුගේ කුණුහරුප සමාජ මාධ්‍යයේ දිගු කලක් සංසරණය විය. 

එයට පෙර මෙවැනිම බ්‍රේක් නැති කතාවක් අගමැතිවරයකුට එරෙහිව එල්ල කළේ 1953 දී පීටර් කෙනමන් මන්ත්‍රීවරයා විසින් 1953 හර්තාලය අවස්ථාවේ හමුදා හා පොලිස් වෙඩි පහරින් විශාල පිරිසක් මරා දැමුණු අවස්ථාවේය. විපක්‍ෂයේ මන්ත්‍රී පීටර් කෙනමන් අගමැති ඩඩ්ලි ආමන්ත්‍රණය කළේ “මිනීමරුවා” යනුවෙනි. 

 ඩී. බී. විජේතුංගට 
 “පිනා” කී ඒ. ජේ

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු වූ ඒ. ජේ. රණසිංහ එකල ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැතිවරයා විය. ඒ. ජේ. ගේ කටටද බ්‍රේක් නැත. ප්‍රේමදාසට එරෙහිව විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද අභියෝග මතුවූ අවස්ථාවල නොබියව පෙරට පැන්නේ ඒ. ජේ. රණසිංහය. ඔහු තම ස්වාමියාට කීකරු දේශපාලකයකු විය. ඒ. ජේ. ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති සමයේ කැබිනට් ඇමැතිවරයා වූයේ විජමු ලොකුබණ්ඩාරය. ඔහුටද මුඛරි කතා ශෛලියක් තිබූ නමුත් ඒ. ජේ.ගේ කටට වඩා විජමුගේ කටට පාලනයක් තිබුණේය. 

ප්‍රේමදාසගේ ක්‍රමය වූයේ කැබිනට් ඇමැති පසෙක සිටියදී රාජ්‍ය ඇමැතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් වැඩ ගැනීමටය. විජමුද ප්‍රේමදාස සමයේ සිටියේ අවලංගු කාසියක් ගණනට ය. රාජ්‍ය මාධ්‍ය සියල්ලම පාලනය වූයේ ඒ.ජේ. රණසිංහට වුවමනා ආකාරයටය. අමාත්‍යංශයේ සිදුවන හැම දෙයම ඒ. ජේ. ජනාධිපතිවරයාට පවසන බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කතාවක් විය. මේ නිසා විජමු සිටියේ නුදුරේදීම තම කැබිනට් ඇමැති ධුරයට තට්ටුවේදැයි බියපත්වය. ඒ පිළිබඳව ඒ.ජේ.ම තම ජීවිත කතාවේ මෙසේ සටහන් කරයි. 

“මා ජනාධිපතිතුමාට ඉතා ළඟින් එතුමාගේ පවුලේ කෙනකු මෙන් සිටීම මගේ අවාසියට හේතුවූ තවත් කරුණක් විය. දිනක් මා පාර්ලිමේන්තු සභා ගැබෙහි මගේ ආසනයෙහි සිට විවාදයකට කන්දෙමින් සිටින විට මගේ ආසනයට යාබද ආසනයට කඩිමුඩියේ විත් වාඩිවූ ලොකු බණ්ඩාර ඇමැතිතුමා තරමක චංචල ස්වභාවියකින් මා අමතා “තමුන්නාන්සේ මා ගැන ජනාධිපතිතුමාට ගතු එහෙම කියනවා ද? කියා විමසුවේ එවැන්නක් සිදුවී ඇති විලසටමය.” ඒ.ජේ. කියන්නේ දෙදෙනාගේ ඇයි හොඳයියද එතැනින්ම අවසාන වූ බවය. 

ප්‍රේමදාසගේ අකල් මරණයෙන් පසු ජනාධිපති වූ ඩී. බී. විජේතුංග ඒ.ජේ. ඇතුළු ප්‍රේමදාසගේ ගෝල බාලයන් කොන් කර ප්‍රේමදාස සමයේ කොන්වී සිටි ඇමැතිවරුන් උඩට ගත්තේය. ඒ. ජේ. ද පසුපසට තල්ලුවිය. ඉන්පසු ඒ. ජේ. ගේ කටට “බ්‍රේක්” නැතිවිය. ඔහු ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා උපමා කළේ පිනාටය. පිනට අගමැති ධුරය හිමිවීම මෙන්ම වළං කඩේට පැන්න පිනා සේ එජාප රජය තුළ ගැටුම් ඇතිවීමට විජේතුංග ගේ ක්‍රියා පිළිවෙත හේතුවූ බව කියමින් ඒ. ජේ., ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා “පිනාට” උපමා කළේය. 

මේ පිරිස පමණක් නොවේ. දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් තම නම ජනප්‍රිය  කරගත්තේ තම විරුද්ධවාදීන්ට දරුණු අපහාස උපහාස සිදු කරමිනි. ඔසී අබේගුණසේකර, මර්වින් සිල්වා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, මාවතගම ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර ඒ අතරින් කිහිපදෙනෙකි. ඒ සියල්ලම සටහන් කිරීම පොතක් ලියන තරම්ම වෙහෙසකර කටයුත්තකි.


ප්‍රේමකීර්ති රණතුංග


 



අදහස් (0)

කටට බ්‍රේක් නැති දේශපාලකයෝ

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 917 5

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 691 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2368 43

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1764 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 2021 15

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 1580 21

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 155 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site