කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පරව යයි.
ලෝකයට ජීවය දෙන්නේ - ලෝකය හැඩ කරන්නේ - ලෝකය සුන්දර කරන්නේ - ඇයයි. ඇය ලොව ජීවනාලියයි.
මැක්සිම් ගෝර්කි පවසන පරිදි ලෝකයේ නිර්මාණය වී ඇත්තේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලිනි. මෙලොවට බිහිවන ඕනෑම මිනිසෙකුට මිනිස් ජීවය දෙන්නේ මව් කිරිවලිනි. ඒ අසීමිත ශක්තිය මිනිසෙකුට දෙන්නේ ගැහැනියයි. මෙවැනි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබෙයි.
සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා වෙසෙන ජනතාව සෑම වසරකම මාර්තු 08 වනදා ලෝක කාන්තා දිනය සමරනු ලබයි. මෙම වසරෙහි එහි තේමාව වන්නේ “ක්‍රියාව වේගවත් කරන්නී” යන්න යි.
දියුණු සංවර්ධිත රටවල ද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ල ද ඒකරාශිව කාන්තා අයිතිවාසිකම් රැක ගැනීම සඳහා එදිනට විශේෂයෙන් හඬක් නඟයි. කාන්තාව සමාජයේ අඩු වරප්‍රසාදලාභී දුර්වල චරිතයක් නොව - පුරුෂයන් සමග කරට කර සිටිමින් පවුල තුළ හා සමාජය තුළ ඇගැයීමට ලක්විය යුතු කාර්ය භාරයක නියැළෙන ශක්තිමත් මිනිස් කොට්ඨාසයක් බවට ලොවට හඬ ගා කීම කාන්තා දිනයෙහි අරමුණක් වේ.
වාමාංශික කණ්ඩායම් හා වෘත්තිය සංවිධාන ඒ සඳහා පෙරමුණ ගනු ලබයි.
ස්ත්‍රීන්ට සිදුවන මදිපුංචිකම් ඇරැඹෙන්නේ ළදැරියක ලෙස උපතේ පටන්ම යි. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැදි ප්‍රශ්නය වැනි හේතු මත දැරියන් උපදින්නටත් පෙර ගබ්සා සිදුකර මරණයට පත් කරයි. දැරියන් පවුලට බරක් මිස යහපතක් නොවන බව සිතන ගෝත්‍රික මිනිස්සු තවමත් ඇතැම් විට අපේ රට තුළත් සිටිති. පිරිමි දරුවන්ට මුල් තැන දීම පවුල තුළ හොඳම ආහාර කොටස පියා සහ පුතුනට බෙදා දී මව සහ දූවරුන් ඉතිරිය බෙදාගැනීම තවමත් අපේ රටේ බොහෝ පවුල්වල දක්නට ලැබේ.
අධ්‍යාපනය ලබාදීමේ දී බොහෝ විට ගැහැනු ළමයින්ටත් සමාන අවස්ථා හිමි වුවත්, රැකියා ලබාගැනීමේ දී තවමත් අපේ රටේ පිරිමින්ට හොඳම සහ මූලිකව අවස්ථා ලැබීම දැකගත හැකිය. රැකියාවලට බඳවා ගැනීමේ දී ප්‍රසූත නිවාඩු ලබාගැනීම, රාත්‍රි වැඩ මුර වැනි හේතු නිසා කාන්තාවන්ට අවස්ථා අහිමි වීම බොහෝවිට සිදු වේ. වගකීම් පැවරීමේ දී හා උසස්වීම් ලබාදීමේ දීත් තවමත් පිරිමින්ට මුල් තැනක් ලබාදීම සුලබ සිදුවීමකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතුවෙන් සිදුවන මෙවැනි වෙනස්කොට සැලකීම්වලට එරෙහිව හඬ නැඟීම, පක්ෂග්‍රාහීත්වයට එරෙහිවීම, ගබ්සා සඳහා සමූහිකව එක්ව පිළියම් සෙවීමත් කාන්තා දිනයේ අරමුණු වේ.
කෙටියෙන් ….......................... ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි. එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව්‌යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමුවරට ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ “ක්ලාරා සෙට්කින්” නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර, ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි. 1911 වසරේ දී එය පළමු වරට සමරන ලද්දේ - ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය. ජාත්‍යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ - 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේ දී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර - එහිදී තේමාව වූයේ, ”අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම”ය.
ජාත්‍යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය. 1917 වසරේදී රුසියානු කාන්තාවන් ”පාන් සහ සාමය” ඉල්ලමින් නිරත වූ විරෝධතා ව්‍යාපාරය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර, ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය. රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය මාර්තු 8 වන දා විය. මාර්තු 8 දිනයේ එය සමරන්නේ එබැවිනි.
කාන්තාවන් සඳහා සම අයිතීන් ඉල්ලා, ලොව පුරා කතුන් - වාමාංශික ව්‍යාපාර හා කම්කරු සංවිධාන සමග සම්බන්ධ වෙමින් අරගල කරන්නට පටන් ගත්තේ - එක් දහස් නවසිය 70-80 දශකවලදී ය. කාන්තාවන්ටත් පිරිමින්ට සමාන වැටුප් තල, සමාන ආර්ථික අවස්ථා, සමාන නීතිමය අයිතිය, ළමයින් සඳහා සහනාධාර ලබාගැනීම මෙන්ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වැනි ඉල්ලීම් දිනාගැනීම ඔවුන් ගේ කාන්තා දින සැමරුම්වල මූලික පරමාර්ථයන් විය.
වසර 1977 පැවැති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී මාර්තු අට වැනිදා එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස සලකා ඒ දිනය කාන්තාවන් ගේ අයිතිවාසිකම් දිනාගැනීමට හා ලෝක සාමය දිනාගැනීම සඳහා කටයුතු කරන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
කාන්තාවන් ගේ අයිතිවාසිකම් උදෙසා හඬක් නගන්නට කාන්තාවන් සඳහා නිසි තැන ලබාගන්නට අවධානය යොමු විය යුත්තන් ගේ අවධානය ඒ සඳහා යොදාගැනීම සඳහාත්, කාන්තාවන් සවි බල ගැන්වීම සඳහාත්, මං පෙත් විවර කරන්නට ක්‍රියාශීලිව කටයුතු කළ යුතු කාර්යක්ෂම උද්‌යෝගිමත් දිනයක් ලෙස අන්තර්ජාතික කාන්තා දිනය සැමරීම වඩා සුදුසු බව ලෝකයේ බොහෝ රටවල තීරණය වී තිබේ.
මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක හෝ හතරක කාලය තුළ සිට මල් අලෙවිය දෙගුණ වන රුසියාව ඇතුළු බොහෝ රටවල ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් වේ. ලෝකයේ බොහොමයක් රටවල් කාන්තා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් ලංකාවේ එදින වැඩ කරන දිනයකි. චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි එරට බොහෝ කාන්තාවන්ට මාර්තු 8 වන දින වරුවක් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීමේ අවස්ථාව හිමි වේ.
ඉතාලියේ ‘ලා ෆෙස්ටා දෙලා දෝනා’ හෙවත් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මිමෝසා මල් (නිදිකුම්බා වැනි) ලබා දීමෙනි. මෙම සම්ප්‍රදායේ මූලාරම්භය අපැහැදිලි නමුත්, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ. එක්සත් ජනපදයේ මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරනු ලබන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකින් ඇමෙරිකානු කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ අගය කරනු ලබයි. 1913 දී රුසියාව ජුලියානු කැලැන්ඩරයට අනුව පළමු වරට පෙබරවාරි මාසයේ අවසාන සෙනසුරාදා සමරනු ලැබීය. කොරියානු කැලැන්ඩරයට අනුව එය යෙදී තිබුණේ මාර්තු මස අට වැනිදාවකයි. කෙසේ වෙතත් 1914 මාර්තු 8 වැනිදා ජර්මනිය පළමුවරට කාන්තා දිනය සමරනු ලැබීය.
ලොව අපූර්වතම නිර්මාණයක් වූ ඇය වර්තමානයේ මුහුණ දෙන අභියෝග සහ බාධක හමුවේ විශිෂ්ටත්වයට පත්වීම පිළිබඳව කතිකා කිරීමේදී අතීත කාන්තා භූමිකාව අතික්‍රමණය කරමින් වර්තමාන කාන්තාව ප්‍රසාරණය වී තිබේ. පැරණි සමාජ ආකල්ප සමග සසඳන විට වර්තමාන කාන්තාව පිරිමින් සමග කරට කර සිටිමින් සමාජ ආර්ථික සංවර්ධනයෙහි ලා මහඟු දායකත්වය සපයන පිරිසක් බව අවිවාදයෙන් තොරව පිළිගත යුතුය. සාම්ප්‍රදායික ගැහැනිය සීමා කොට තිබූ රාමුව තුළ ඇයට පැවරී තිබූ කාර්යයන් සමබරව ද නොපිරිහෙලා ඉටුකරන අතරම විවිධ වෘත්තීය ක්ෂේත්‍ර තුළ නියැලෙමින් කුටුම්භය මෙන්ම සමාජයට ද අනභිභවනීය මෙහෙවරක් ඉටු කරමින් සිටී.
තවමත් ඒකාකෘතික වූ පුරුෂාධිපත්‍යය රජයන සමාජය තුළ ස්වාධීනව කටයුතු කරමින් ප්‍රබල චරිතයක් බවට පත්වීමට කාන්තාවන් නිරන්තර අරගලයෙහි යෙදෙමින් සිටී. කාන්තාවකට සමාජය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කිරීම එතරම් පහසු කාරණයක් නොවන්නේ අභියෝග සහ බාධක ඇය අභිමුඛව පවතින බැවිනි.
සංස්කෘතිය, ආගම, රැකියාව, ආර්ථිකය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන් කාන්තාව හමුවේ පවතින අභියෝග හා බාධක අතර ඉදිරියෙන්ම පවතියි. කාන්තාවන් උපතේ සිටම සංස්කෘතික රාමුවක් තුළ සීමා කරමින් සමාජානුයෝජනය කරනු ලබයි. දියණියක් වැඩිවියට පත්වීම, යෞවනියක් විවාහවීම සහ මවක් වීම යන ජීවන අවධීන් කාන්තාවනට තීරණාත්මක වන්නේ සංස්කෘතික රාමුව තුළ මේ සියල්ල සීමා කර ඇති බැවිනි.
දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි. දියණියක් වැඩිවියට පත්වීම සමගම කළ යුතු හා නොකළ යුතු ලෙස යම් රාමුගත කිරීමකට දියණියක් පත් කිරීම සිදුකරනු ලබයි. එලෙසම යෞවනියක් විවාහ ජීවිතය ඇතුළත් වූ පසු තම ස්වාමියාගේ ආධිපත්‍යයට නතුවීම සිදුවන අතරම යම් අවස්ථාවන්හි දී කාන්තාව ආර්ථිකය උපයන්නා බවටද පත්වීමට සිදුවේ. කුටුම්භය හා ආර්ථිකය අතර පොරබදන ඇයට නිරන්තරව කායික මානසික තාඩන පීඩනයන්ට ලක් වීමට සිදු වේ. විශේෂයෙන්ම විවාහ වීමෙන් පසුව බිරිඳක්, මවක් ලෙස ඇයගෙන් සිදුවන සේවය අපරිමිතය. ස්වාමියා වෙනුවෙන් සිය දෙමාපියන්, නෑදෑයන් ගෙන් වෙන්ව යන ඇය සිය නමෙහි පටන් බොහෝ දෑ පිරිමියෙකු වෙනුවෙන් කැප කරයි. දෛනිකව ඉවුම් පිහුම්, නිවස පිරිසිදු කිරීම්, දෙමාපියන් රැක බලාගැනීම, දරුවන් ඇති දැඩිකිරීමත් සමග සියලු පවුල් සබඳතා පවත්වාගෙන යාමේ අඩිතාලම බවට පත් වෙයි. ගැහැනිය සතුව පවතින දරාගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති මෙම කාර්යය භාරය අනුවද වඩාත් ප්‍රකට වේ. තම ජීවිතය දරුවන් වෙනුවෙන් ඇප කැප කිරීමට ඇය නිරන්තරව වෙහෙසෙනු ලබයි. මෙම දියණිය, බිරිඳ සහ මව යන චරිත සඳහා පිටපත සංස්කෘතිය විසින් සම්පාදනය කොට පවතින අතර, මෙම පිටපතට අභියෝග කරමින් සමාජගත වීම ඔස්සේ සමාජ සංස්කෘතිය මගින් කාන්තාව පීඩාවට පත් කරයි.
සංස්කෘතිය මෙන්ම ආගම විසින් ද කාන්තාවන් කෙරෙහි ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ලබයි. පාපකර්මයක් හේතුවෙන් කාන්තාවක්ව ඉපදී ඇත වැනි ගතානුගතික අදහස් පවා ආගම හරහා සමාජගත කිරීම දැකගත හැකි වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමකර වූයේ සංඝමිත්තා තෙරණිය නම් වූ කාන්තාවයි. නමුත් පන්සලක බෝධිය නෑවීමට කාන්තාවට අවැසි නැත. එමෙන්ම දන්ත ධාතුන් වහන්ගේ කෙස් කලඹෙහි සඟවාගෙන මෙරටට වැඩම කරවූයේ හේමමාලා කුමරිය නම් වූ කාන්තාව වුව ද, අද දළදා වහන්සේ වැඩ හිඳිනා කරඬුව පවතින ස්ථානයට යා හැක්කේ පිරිමින්ට පමණි. නමුත් ආගම කළ යුතු වන්නේ ආගමික ඉතිහාසය තුළ ස්ත්‍රිය ගේ කැපකිරීම දායකත්වය කෙබඳු ද යන්න පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැගීමයි. නමුත් එය කෙතරම් දුරට සාධනාත්මකව සිදුවෙනවා ද යන්න පිළිබඳ ගැටලු පවතී.
ජනමාධ්‍ය යනු ප්‍රබල සමාජ බලවේගයක්ව පවතින බැවින් කාන්තාවට වටිනාකමක් එක් කිරීමට පහසුම ශානරය වන්නේ ද ජනමාධ්‍ය යි. ජනමාධ්‍ය හරහා කාන්තා විශේෂීකරණයට පත් කිරීම නොව සීමා කිරීමට කටයුතු කිරන බව නොරහසකි. මන්ද ජනමාධ්‍ය පවා සංස්කෘතියට මුවා වී මාධ්‍යකරණය සිදු කරයි. ජනමාධ්‍ය වුවද සංස්කෘතික රාමුවෙන් ඔබ්බට ගියහොත් සමාජ විවේචනයට ලක්වීම සිදුවේ.
මෙවැනි වූ බාධක අභියෝග හමුවේ ඉදිරියට යන කාන්තාව විශිෂ්ටත්වය කරා ගමන් කිරීමට නම් වැදගත්ම සාධකය වන්නේ අධ්‍යාපනයයි. සම්ප්‍රදායන් සංස්කෘතීන් අතික්‍රමණය කිරීමට ප්‍රබල දායකත්වයක් අධ්‍යාපනයෙන් සපයයි. අධ්‍යාපනයෙන් සවිබලගැන්වූ කාන්තාව කුටුම්බය තුළදී වුව ද වටිනාකමක් ඇති කාන්තාවක් බවට පත්වීමට හැකිය. එමෙන්ම කාන්තාවක් සෑම විටම ආර්ථික වශයෙන් ස්වාධීනවීම වැදගත්ය. තමාට හැකි පමණින් ස්වයං රැකියාවක් හෝ නියැලෙමින්, ආර්ථිකය ශක්තිමත් කරගැනීම කාන්තාවක් කළ යුතු වන්නකි.
විශිෂ්ටත්වය කරා ගමන් කිරීමට පුද්ගලික වශයෙන් කුසලතා හැකියාවන් දක්ෂතා හඳුනාගනිමින් ඒවා සංවර්ධන කර ගැනීම, ස්ථීර සාර අරමුණක් අභිමුඛව කටයුතු කිරීම, තමන් තුළ තමා පිළිබදව යහපත් දර්ශනයක් ගොඩනඟාගැනීම ඉතා වැදගත් වේ. බාධක අභියෝග හමුවේ නොසැලී ඉන්නටත්, පරාජිත වූ මොහොතක නැවත අභියෝගයන්ට අභියෝග කරමින් ජය ගැනීමටත්, කාන්තාවක් ශක්තිමත් විය යුතුය. සමාජය තුළ සම තැන ලබන්නට නොව නිසි තැන ලබන්නට නිතැතින්ම වෙහෙසිය යුතුය.
වසරකට එක් වරක් කාන්තා දිනයේ දී පමණක් කාන්තාව පිළිබඳව හෝ ඇගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානයට යොමු නොකොට සෑම විටම කාන්තාවට ලැබිය යුතු ගෞරවය ලබා දිය යුතුය. මන්ද යත් ජිවිතයේ ස්වභාවික උල්පත වනුයේ කාන්තාවය. ඇය නොසිටින්නට ලොවම නිහඬ වී බොහෝ කල්ය. ඉදින් ඔබ කාන්තාවට ආදරය කළ යුතු ම ය. ගෞරව කළ යුතු ම ය. අගය කළ යුතු ම ය. මන්ද කාන්තාවක් වීම පහසු නැත. ඉදින් ලොවක් ගොඩනඟන්නට අත්තිවාරම වන්නේ කාන්තාව බව අප සැවොම සිහි තබාගැනීම අගනේ ය.
ශෂිකා අබේරත්න
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය