රට තුළ පසුගිය මාස කීපය තුළදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිදුවීම් වැල, රටේ ජාතික ආරක්ෂාවක් පවතින්නේ ද යන්න පිළිබඳව කතිකාවක් නිර්මාණය කළේය. පසුගිය මාස දෙකක කාලයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතන බහුතරයක් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදු වූ වෙඩි තබාගැනීම්ය. තවත් ඝාතන කීපයක් පෞද්ගලික කෝන්තර නිසා සිදුවූ ඒවාය. මෙම සිදුවීම් දාමයේ උච්චතම අවස්ථාව වූයේ, ගණේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු අලුත් කඩේ අංක 05 දරන උසාවි මැදිරිය තුළ විනිසුරුවරිය ඉදිරියේ විත්ති කූඩුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමය. එමෙන්ම විශේෂ කාර්ය බළකාය, පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ භූමියේ ආයුද සන්නද්ධව රැකවල් ලා සිටියදී ඝාතක යුවළ ඝාතනය සිදුකර එම ස්ථානයෙන් පලායෑමය.
මෙම සිදුවීමත් සමගම, රටේ ජාතික ආරක්ෂාවක් නොමැති බවට විපක්ෂයේ දේශපාලනඥයෝ හා විවිධ පුද්ගලයෝ චෝදනා කළහ. එහෙත් ජනාධිපතිවරයාත්, අගමැතිනියත්, ආණ්ඩුවේ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් කියැවුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවෙන මෙවැනි හුදකලා සිදුවීම් වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවය. එමෙන්ම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවය.
රජයේ පාර්ශ්වයෙන් එසේ සඳහන් කළත්, සත්‍ය ලෙසම රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇද්ද? විපක්ෂය පවසන පරිදි, මෙම වෙඩිතැබීම් වැල නිසා ජාතික ආරක්ෂාව දුර්වල වී ඇද්ද? ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් බැට කෑ රටක් ලෙස, ඇත්තටම රටක ජාතික ආරක්ෂාව කියන්නේ කුමක් ද? රටක ජාතික ආරක්ෂාව යනු අපරාධ කල්ලිවලින් බේරීම පමණක් ද? නැතිනම් රටේ ජාතික ආරක්ෂාව සත්‍ය ලෙසට තහවුරු වී ඇත්දැයි විමසා බැලීම වැදගත්ය.
ජාතික ආරක්ෂාව කියන්නේ කුමක් ද?
ජාතික ආරක්ෂාව පිළිබඳව විවිධ අර්ථකථන පවතී. එය සමස්තයක් ලෙස ගතහොත්, රටක ජාතික ආරක්ෂාව යනු එම රටට අභ්‍යන්තරව හෝ බාහිරව හෝ රටේ ස්වෛරීභාවයටත් භෞමික අඛණ්ඩතාවටත් රටේ මහජනතාවටත් ඇතිවිය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ඇති හැකියාවයි. මෙම තර්ජන, සම්ප්‍රදායික හෝ සම්ප්‍රදායික නොවන තර්ජන විය හැකිය. සම්ප්‍රදායික තර්ජන ලෙස සැලකෙන්නේ, රටවල් දෙකක් හෝ රටවල් කීපයක් සමග පවතින යුදමය තත්ත්වයයි. සම්ප්‍රදායික නොවන තර්ජන වෙන්නේ, යුදමය තත්ත්වයන්ගෙන් පරිබාහිරව ඇතිවිය හැකි වෙනත් ඕනෑම තර්ජනයි. රටේ හා සමස්ත ශ්‍රී ලාංකික ජාතියේම ආරක්ෂාව රඳාපවතින්නේ එවැනි තර්ජනයන් ඇතිවීමේදී ඉන් ආරක්ෂාවීම තුළ දීය. ඕනෑම රටක තිරසාර සංවර්ධනයක් ඇතිවිය හැක්කේ, සෑම අතින්ම ආරක්ෂිත පරිසරයක් තුළ පමණකි. රටක ජාතික ආරක්ෂාව නිර්ණය කිරීමේදී මූලික අංශ 8ක් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි.
ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව,සයිබර් ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, හමුදාවල හා ආරක්ෂක අංශවල ආරක්ෂාව, බළශක්තියේ ආරක්ෂාව, රටේ අතිශය වැදගත් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව හා දේශපාලනික ආරක්ෂාව යන අංශ ඊට ඇතුළත් වෙයි. මෙම සෑම අංශයකම ආරක්ෂාව සුරක්ෂිත වීම යනු සමස්තයක් ලෙස රටක ජාතික ආරක්ෂාව සුරක්ෂිත වීමය.
ආර්ථික ආරක්ෂාව
රටක ජාතික ආරක්ෂාවට රටේ ආර්ථික ආරක්ෂාව ඉතාම වැදගත් කරුණකි. ගතවූ කාලයේදී, රටේ නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොපැවතීම හා ආර්ථික ආරක්ෂාවට නිසි පිළියම් නොයෙදීම නිසා රට බරපතළ ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. රට බංකොළොත් රටක් බවට පත්වෙන මට්ටමට ආර්ථිකය කඩාවැටිණි. මහජනතාවට එදිනෙදා ඉන්ධන ටික ලබාගැනීමට දින ගණනක් පෝලිම්වල සිටීමට සිදුවිය. පොහොර සහනාධාර නොමැතිව ගොවියෝ විරෝධතා දැක්වූහ. විදුලිය බලය සැපයුම දැඩි ලෙස කප්පාදුවට ලක්විය. ජනතාවත් නොසන්සුන් වී රටත් ආර්ථික ශක්තිය අතින් ඉතා අනාරක්ෂිත තත්ත්වයකට පත්විය.
රටක ජාතික ආරක්ෂාව ශක්තිමත් විමට නම්, දූරදර්ශී ලෙස මනා කළමනාකාරීත්වයකින් යුතුව රටේ ආර්ථිකය නිසි ලෙස හසුරුවාලීම ඕනෑම රජයක ප්‍රධාන වගකීමකි. රටේ පුරවැසියන්ගේ ජීවනෝපාය, රටේ යටිතල පහසුකම්වල නඩත්තුව හා වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් පවත්වාගැනීම, ජනයා වෙනුවෙන් රජය ක්‍රියාත්මක සුබසාධක කාර්යයන් ක්‍රියාත්මක කිරීම යනාදී රටක් ලෙස සිදුකරන හා සිදුකළ යුතු සියලු කටයුතු සඳහා රටේ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීම හා එය ස්ථාවරව පවත්වාගෙන යෑමේ අභියෝග ජයගැනීම රජය සතු වගකීමකි. මේ නිසා ඉදිරියේදී ආර්ථිකයට සිදුවිය හැකි අභියෝග හා තර්ජන හොඳින් හඳුනාගෙන ඒවා නිසියාකාරයෙන් තක්සේරු කර ඊට සාර්ථකව මුහුණ දීම ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමකි.
සෞඛ්‍යමය ආරක්ෂාව
රටේ ජාතික ආරක්ෂාවට සෞඛ්‍යමය ආරක්ෂාවද බලපාන කරුණකි. රටක ජනතාව, සතා සිවුපාවා, තුරුලතා නීරෝගීවීම ඉතා වැදගත් කරුණකි. සෞඛ්‍යමය අතින් රටට එල්ලවියහැකි තර්ජන හඳුනාගෙන, ඊට මුහුණදීමට අපගේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම රටේ සෞඛ්‍යමය ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණකි. ස්ථිරසාර සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැතිව රජයන් මාරුවෙන විට හා අමාත්‍යවරු මාරුවෙන විට සෞඛ්‍ය සේවාවේ වෙනස්කම් සිදුවීම රටේ සෞඛ්‍යමය ආරක්ෂාවට තර්ජනයකි.
අපගේ සෞඛ්‍ය ආරක්ෂාවට ඇතිවූ ප්‍රධාන තර්ජනයක් ලෙස කෝවිඩ්(කොරෝනා) වසංගතය හැඳින්විය හැකිය. එක් කුඩා වෛරසයක් මුළු ලෝකයක්ම දණගස්වමින්, බලවත් රටවල් පවා (ලොක් ඩවුන් කිරීමට) තාවකාලිකව අකර්මණ්‍ය කිරීමට සමත්වීම මෙම සෞඛ්‍යමය අනාරක්ෂිතතාව, රටක ජාතික ආරක්ෂාව කෙරෙහි කොපමණ ලෙස බලපෑමක් සිදුකළ හැකිද යන්න හොඳම නිදසුනකි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඉන් එල්ලවූ හානිය සුළුපටු නොවිණි. ඒ අනුව, රටක් ලෙස සෞඛ්‍යමය ආරක්ෂාව, පවතින රජයේ ප්‍රධාන වගකීමකි. විශේයෙන් මිනිසාට, සතා සිවුපාවාට හා තුරු ලතාවලට අනාගතයේදී ඇතිවිය හැකි වසංගත තර්ජන මොනවා ද? යම් හෙයකින් එවැන්නක් වූවිට පෙර සූදානම කුමක් ද? අදාළ තත්ත්වයන් මුල් අවස්ථාවලදීම හඳුනාගැනීමට හැකි විද්‍යාගාර හා තාක්ෂණික පහසුකම් ආදී ආරක්ෂිත පද්ධති ප්‍රමාණවත්ද? නැතිනම් ප්‍රමාණවත් නොවන්නේ ද ? සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරු හා කාර්ය මණ්ඩල ඊට සූදානම් ද? යන්න පුළුල් ලෙස සොයා බලා රජයක් ලෙස සෞඛ්‍ය පද්ධතිය සෑම අතින්ම ශක්තිමත් කිරීම සෞඛ්‍යමය ආරක්ෂාවට ඉතා අවශ්‍ය කරුණකි.
සයිබර් ආරක්ෂාව
රටක තාක්ෂණික දියුණුවත් සමගම එල්ලවිය හැකි ප්‍රධානම තර්ජනයක් වෙන්නේ සයිබර් තර්ජනයි. මේ නිසා රටක ජාතික ආරක්ෂාවට සයිබර් ආරක්ෂාව ශක්තිමත් වීමත් අත්‍යවශ්‍ය කරුණකි. රටේ අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ පද්ධතීන් සඳහා ප්‍රමාණවත් සයිබර් ආරක්ෂාවක් පවතී ද යන්න සොයා බැලීම මෙහිදී වැදගත් කරුණකි. විශේෂයෙන්, රටේ විදුලියබල පද්ධතිය, බැංකු පද්ධතිය,ගුවන්යානා තාක්ෂණය, සන්නිවේදන ජාලා, ආරක්ෂක දත්ත ගබඩා ආදී පද්ධතීන්වලට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර සඳහා ප්‍රමාණවත් සයිබර් ආරක්ෂාවක් පවත්වා ගත යුතුය.
විශේෂයෙන් වත්මන් රජය මේ වෙන විට රට ඩිජිටල්කරණය කිරීමට හා මුදල් හා කාසි භාවිත නොවන ඩිජිටල් ආර්ථිකයකට යෑමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබෙන නිසා, එය සිදුකිරීමට සමගාමීව එය ශක්තිමත් ලෙස ආරක්ෂා කිරීම සඳහාද ප්‍රමුඛතාව ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමකි. මේ වෙන විට රටේ ප්‍රමාණවත් ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුමැති පුද්ගලයින් හා උපකරණ ප්‍රමාණවත් ද? යනාදී දේ සොයා බලා අනාගතයේදී එල්ලවිය හැකි ඕනෑම සයිබර් ප්‍රහාරයක් සඳහා සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම කළ යුතු දෙයකි.
මහජන ආරක්ෂාව
රටේ මහජනතාවට නිදහසේ ජීවත්වීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම ද ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේහි ලා රජය සතු වගකීමකි. රටේ පුරවැසියාට බියකින් හා සැකයකින් තොරව නිදහසේ තම තමන්ගේ එදිනෙදා කටයුතු සිදුකරීමට හැකි වාතාවරණයක් සැකසීම මෙහිදී වැදගත් දෙයකි. සංවිධානාත්මක අපරාධකරුවන් රටේ තැන තැන වෙඩි තැබීම් සිදුකරනවා නම්, තැන තැන මිනීමැරුම් සිදුවෙනවානම්, තැන තැන සොරකම්, කොල්ලකෑම් සිදුකරනවා නම් එය මහජනතාවගේ ආරක්ෂාව බරපතළ ලෙස බිඳ වැටීමකි. ගෙවුණු මාස දෙක තුළ සිදුවූ වෙඩිතැබීම් දාමය සුළු කොට තැකිය නොහැක්කේ, එය මහජනතාවගේ ආරක්ෂාවට අභියෝගයක් වෙන නිසාය.
එමෙන්ම, මෙවැනි සිදුවීම් හුදෙකලා සිදුවීම් ලෙස නොසලකා කටයුතු කිරීමෙන් අනාගතයේ භයානක ප්‍රතිවිපාක පවා ඇතිවිය හැකි නිසාය. ඊට හොඳම නිදසුන වෙන්නේ, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය සිදුවූ 2019.04.21 වැනිදාට පෙර, එනම් 2017-03-10 සහ 2019.04.16 අතර කාලයේදී, සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම හුදෙකලා සිදුවීම් 11ක් සිදුකළ බව හෙළිවී තිබෙන්නකි. කාත්තන්කුඩි අලියාර් හන්දියේ මුස්ලිම් පිරිස් අතර ගැටුම(2017.03.10), NTKA සාමාජික මසිපිට වෙඩි තැබීම (2017.05.17), NFAGG සාමාජික ෆර්සාන් නිවසට බෝම්බයක් විසිකිරීම(2018.02.06), වෙඩි තබා මරාදැමීම, NFAGG කාර්තන්කුඩි කාර්යාලයට බෝම්බයක් ගැසීම (2018.02.12), කාත්තන්කුඩි පලනි බාවා නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීම(2018.06.08), ආරියම්පති හීදී සහරාන්ගේ සොයුරු රිල්වාන් බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලැබීම(2018.08.26), වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම(2018.11.30), මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම(2018.12.23), වනාතවිල්ලුවහීදී පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හා උපකරණ රැසක් අත්අඩංගුවට පත්වීම(2019.01.16), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුකරු, මොහමඩ් තස්ලින්ට වෙඩි තැබීම(2019.03.08), තාලංකුඩාහිදී යතුරුපැදියක් පුපුරුවා හැරීම(2019.04.16) එම හුදකලා සිදුවීම් වෙයි. මෙම හුදකලා සිදුවීම් පිළිබඳව නිසි තක්සේරු සිදුකර නිසි තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වී තිබුණේ නම්, ඉතා පහසුවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබිණි. ඒත් එසේ නොවීම නිසා මෙම කුඩා සිද්ධි දාමයන් අවසානයේදී රටට සිදුකළ ව්‍යසනය සුළුපටු නොවන අතර එය මෑත කාලයේදී ජාතික ආරක්ෂාව දැඩි ලෙස බිඳ වැටුණු අවස්ථාවකි.
මේ නිසා සංවිධානාත්මක අපරාධ කල්ලි තැන තැන සිදුකරන අපරාධමය ක්‍රියා සුළු කොට තැකීම මහජනතාවගේ ආරක්ෂාව සේම ජාතික ආරක්ෂාවද අභියෝගයට ලක්කරන්නකි. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කරුවන් හෙට දිනයේ කුමන ප්‍රහාරයක් දියත් කරන්නේද? එහි ස්වභාවය කුමක්ද? ප්‍රහාරය දියත් කරන ස්ථානය මහජනයා ගැවසෙන ස්ථානයකද? උසාවියක්ද? මහපාරේ ද? ගුවන් තොටුපළකද? මහජන රැස්වීමක ද? පාසලකද? උත්සව අවස්ථාවකදී ද? එම ප්‍රහාරවලට සාමාන්‍ය පුරවැසියන් කීදෙනෙකේ ගොදුරු වේවිද යන්න කිසිවෙකුටවත් අනාවැකි කිව නොහැකිය. සංවිධානාත්මක අපරාධකරුවන් තමන්ගේ ඉලක්කය ගැන සිතනවා විනා ඒ අසල කවුරුන් සිටී ද? කීදෙනෙක් සිටීද? යන්න පිළිබඳව නොසලකයි. මිද්දෙණියේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය එයට එක් නිදසුනක් පමණකි. ඉලක්කය පියා වුවත් කුඩා දරු දෙදෙනාත් ඊට බිලි වී තිබිණි. මේ නිසා මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, පොලීසිය, බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදාව සූදානම් කිරීම, ඔවුනට අවශ්‍ය සම්පත් හා පුහුණුව ලබාදීම රාජ්‍ය සතු වගකීමකි.
පාරිසරික හා ස්වාභාවික ආපදා ආරක්ෂාව
වර්තමානය වෙන විට ලෝකයම දේශගුණික විපර්යාසවල ගොදුරක් බවට පත්වී තිබීම නිසා, රටක ජාතික ආරක්ෂාවට පාරිසරික හා ස්වාභාවික ආපදා ආරක්ෂාව අතිශය තීරණාත්මක සාධකයක් බවට පත්වී තිබේ. අපේ රට කෘෂිකර්මාන්තය මත යැපෙන රටක් නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් කරුණකි. විශේෂයෙන් වර්ෂාව ලැබීම, වර්ෂාව නොලැබීම, ගංවතුර තත්ත්වයන්, ලැව්ගිනි තත්ත්වයන්, සුළි සුළං තත්ත්වයන් හා නාය යෑම් ඇතිවීම්,වනාන්තර විනාශයෙන් ජල උල්පත් සිඳී ජල ප්‍රශ්න මතුවීම්, සුනාමි හා භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැනි පාරිසරික හා ස්වාභාවික ආපදා තත්ත්වයන් පිළිබඳ නිසි තක්සේරු සිදුකර අදාළ තර්ජනයන්ට මුහුණ දීමට සූදානම් වීමද රජය සතු වගකීමකි.
මෙහිදී අපට පවතින සමීපතම අත්දැකීම වෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයයි. සුනාමියක අද්දැකීමක් නොතිබූ නිසා, බොහෝ ජනයා හා දේපළ සුනාමිය විසින් බිලිගැනීම සිදුවිණි. මෑත ඉතිහාසයේ අපට අත්දැකීම් නැතත්, එහෙත් වෙනත් රටවල සිදුවෙන භූමිකම්පා හා ටොනේඩෝ වැනි අලුත් ව්‍යසනයක් හෝ අත්දැකීම් ඇති ව්‍යසනයක් මීළඟ නිමේෂයේ අපේ රටට සිදුනොවිය හැකියැයි කිසිවෙකුටවත් පැවසිය නොහැකිය. මේ නිසා ජනතාව දැනුම්වත් කිරීම, අදාළ ව්‍යසනයන්ට මුහුණදීමට හා සිදුවිය හැකි හානීන් අවම කිරීමට ඉතා ප්‍රශස්ථ ලෙස හා විද්‍යාත්මක ලෙස පෙර සූදානමින් සිටීම පාරිසරික හා ස්වාභාවික ආපදා ආරක්ෂාව අතින් අත්‍යවශ්‍ය වෙන්නකි.
හමුදාමය ආරක්ෂාව
රටක ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශවල ආරක්ෂාව හා පැවැත්ම අත්‍යවශ්‍ය කරුණකි.රටේ භෞමික අඛණ්ඩතාවට හා සෛවරීභාවය වෙනුවෙන් මෙන්ම රටේ නීතිය හා සාමය සුරැකීම වෙනුවෙන් සෘජුව පෙනී සිටින පිරිස් මොවුන් වෙන නිසා, එම ආරක්ෂක අංශවල සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් කරුණකි.
විශේෂයෙන්, අදාළ ආරක්ෂක අංශවල ගුණාත්මක භාවයන් පවත්වාගෙන යෑම, ඇතිවෙන ඕනෑම හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වීමට නිසි පුහුණුව ලබාදීම, ලෝකයේ පවතින නව තාක්ෂණය ලබාදීම ද වැදගත් වෙන්නකි. විශේෂයෙන් රටේ බුද්ධි අංශ නිසි ලෙස සංවිධානාත්මකව පවත්වාගැනීමද අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රධාන වශයෙන් රටට දිගුකාලීනව ආරක්ෂා වීමට නම්, රටේ ආරක්ෂක අංශවලට ස්වාධීනව කටයුතු කිරීමට රජය ඉඩදීම සිදුකළ යුත්තකි. ඒ සියලු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ පවතින රජයේ නියෝග මත වීම නිසාය.
බලශක්ති ආරක්ෂාව
වත්මන් ලෝකයේ පැවැත්මට බලශක්තිය තීරණාත්මක සාධකයකි. බලශක්තිය ප්‍රමාණවත් නොමැතිව රටක හෝ ජනතාවට පැවැත්මක් නොමැත. මේ නිසා රටක ජාතික ආරක්ෂාවට බලශක්ති ආරක්ෂාවද අතිශය වැදගත්ය. පසුගිය කාලයේ දිනකට වැඩි පැය ගණනක් විදුලිය විසන්දි කිරීමෙන් රටට සිදුවූ ආර්ථික, සාමාජීය හානිය සුළුපටු නොවෙයි. මේ නිසා රටේ බලශක්ති අවශ්‍යතාව තක්සේරු කිරීම, අවශ්‍ය බලාගාර ඉදිකිරීම, අවශ්‍ය පද්ධති නිසි පරිදි කළමනාකරණය කිරීම මෙන්ම අදාළ බලාගාරවල භෞතික ආරක්ෂාව කෙරෙහිද දැඩි අවධානය යොමු කිරීම රජයක වගකීමකි.
වර්තමානයේ, ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව කෙතරම් පහළ අඩියක පවතින්නේ ද යන්න පිළිබඳව සමීපතම උදාහරණය වෙන්නේ, විදුලියබල අමාත්‍යවරයා පැවසූ ලෙස, වඳුරෙක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීම නිසා මුළු ලංකාවේම විදුලිය විසන්ධි වී පැය ගණනක් විදුලිය කැපීමකට සිදුවීමය. අනිත් අතින්, එම සිදුවීම පිළිබඳ ඉන්ජිනේරු මතයක් වූයේ, සූර්ය කෝෂ බලශක්තිය පද්ධතියට ගැනීමේදී සිදුවූ දෝෂයක් ලෙසය. අදාළ විදුලිය විසන්ධි වීම කුමන හේතුවක් හමුවේ සිදුවුවද එම සිදුවීම මුළු රටේම විදුලිය විසන්ධි වීමට තරම් බලපෑවේය. නොරොච්චෝලේ යන්ත්‍ර 3ම අක්‍රිය වීමෙන් දින කීපයක් පුරා පැය කීපයක විදුලිය කප්පාදුවක් සිදුවීමය. එම සිදුවීමෙන් රටේ ආර්ථිකයට සිදුවූ හානිය කොපමණදැයි තවමත් තක්සේරු වීමක් පවා සිදුවී නොමැත. දැනටත් නොරොච්චෝලේ අක්‍රිය වුවොත් අනිවාර්යයෙන් ම විදුලි කප්පාදුවක් කිරීමට සිදුවීමේ අවදානමක් රටතුළ පවතී. මේ නිසා තිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් යටතේ රටේ වත්මන් හා අනාගත බලශක්ති ඉල්ලුම පිළිබඳ නිසිලෙස තක්සේරු කර අවශ්‍ය නිවැරදි තීන්දු ගැනීම රජයක් ලෙස අවශ්‍යම දෙයකි.
සුවිශේෂී පුද්ගලයන්ගේ ආරක්ෂාව
රටක සිටින අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ආරක්ෂාවද ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අත්‍යවශ්‍ය තවත් දෙයකි. එක් පුද්ගලයෙක් වුවත්, ඔහුට හානියක් සිදුවීමෙන් රටක් අරාජික වේනම් හෝ මහජන කැලඹිලි සිදුවේ නම් හෝ රටට යම් අත්‍යවශ්‍ය ක්ෂෙත්‍රයක්, දැනුමක් අහිමිවෙන්නේනම් එය බරපතල තත්ත්වයකි. විශේෂයෙන් රටේ රාජ්‍ය නායකයා, අගමැතිවරයා, කථානායකවරයා, හමුදා ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය නිලධාරීන්, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට අත්‍යවශ්‍ය විද්‍යාඥයින් හා සුවිශේෂ පුද්ගලයන්. යනාදී වූ රටක් ලෙස අත්‍යවශ්‍ය පුද්ගලයන් ජීවිත තර්ජන හමුවේ ඔවුන්ව ආරක්ෂා කිරීමද රජයක් ලෙස සිදුකළ යුත්තකි.
දේශපාලනික ආරක්ෂාව
ප්‍රජාතන්ත්‍රවාදී රටක, මහජනතාවගේ බහුතර කැමැත්තෙන් පත්වෙන රජයේ පැවැත්ම පිළිබඳ ආරක්ෂාව ජාතික ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපාන්නකි. ශ්‍රී ලංකාවේ රජයක් පත්වෙන්නේ වසර 5ක කාලයකටය. යමෙක් හෝ යම් කණ්ඩායමක් රජය පෙරළා දැමීමට සැරසෙනවා නම්, නැතහොත් හමුදා කුමන්ත්‍රණයකින් රජය පලවා හැරීමට කටයුතු සිදුවෙන්නේ නම් එවැනි ක්‍රියා සිදු නොවෙන සේ කටයුතු කිරීම හා එවැනි දේ වැළැක්වීමට කටයුතු කිරීමට රජය වගබලාගත යුතුය. රජයක් ඉවත්කිරීම හෝ ඉවත්වීමේ මට්ටමට සැලැස්වීම බොහෝදුරට රට අභ්‍යන්තරයේ ක්‍රියාකාරීන් මෙන්ම විදෙස් රටවල්වල ක්‍රියාකාරිත්වයන් නිසාද සිදුවිය හැකිය. පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රජාතාන්ත්‍රික ලෙස පත්වුවත්, අවසානයේදී වසර 2කින් තනතුරු අතහැර යෑමට සිදුවූ අත්දැකීමද අප සතුව පවතී.
ජාතික අරක්ෂාවට ඇති තර්ජන
ඉහත තත්ත්වයන් තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී, ජාතික ආරක්ෂාව අභියෝගයකට ලක්කළ හැකි අවස්ථාද පවතී. ප්‍රධාන තර්ජනයන් අතරින් අන්තවාදය,ත්‍රස්තවාදය,සංවිධානාත්මක අපරාධ හා මත්දුව්‍ය, ඇතිවිය හැකි මහජන කැලඹීම් පෙන්වාදිය හැක.
අන්තවාදය
අන්තවාදය යනු වර්තමානයේ ලෝකය පුරා ව්‍යාප්තව පවතින්නකි. මේවෙන විට කලාපීය වශයෙන් මෙන්ම රටක් ලෙස ශ්‍රී ලංකාවටද එහි බලපෑම් එල්ලවී තිබේ. අන්තවාදයේ එක් උච්චතම අවස්ථාවක් වූයේ, පාස්කු ප්‍රහාරක සිදුවීමය.එම ප්‍රහාරය සිදුවීමට පෙර, වසර ගණනාවක සිටම සහරාන් හෂීම් කල්ලිය හා අයි.එස්.අයි.එස්. සංවිධානයට සෘජුවම සම්බන්ධ වූවන් හා ශ්‍රී ලංකාවේ අදාළ මතවාදය දරන්නන් පිළිබඳ තොරතුරු ඕනෑතරම් තිබියදීත්, ප්‍රහාරය එල්ල කරන බවට අවශ්‍ය තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ජාතියේ අවාසනාවට එය වළක්වා ගැනීමට නොහැකි වූවේය.
එමෙන්ම එම ප්‍රහාරයෙන් පසු, එවැන්නක් යළි සිදු නොවීමට හා ඒවැනි ප්‍රහාර වළක්වා ගැනීමට කළයුතු දේ පිළිබඳව ජනපති කොමිසම්, කමිටු වාර්තා, සාකච්ඡාවල නිර්දේශ, සටහන් පොත් අතරට හා ෆයිල් කවර වලට පැමිණියත් අදටත් ඒවා කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක භාවයට පැමිණ ඇද්දැයි විමසිය යුත්තකි. අන්තවාදයට ගොදුරු වූවන් පුනරුත්ථාපනය කිරීම, මූලධර්මවාද හා අන්තවාදයට එරෙහි නීතිපද්ධතියක් සෑදීම වැනි අත්‍යවශ්‍යම කරුණු පවා මෙතෙක් ඉටු නොවීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. අදටත් ලෝකයේ අන්තවාදීන් ක්‍රියාත්මක වෙන්නේ එක් අයෙක් දෙන්නෙක් හෝ ඉතා සීමිත පිරිසක් ලෙසය. ලෝකයේ සිදුවීම් දෙස බැලීමේදී නැවතත් අන්තවාදී ප්‍රහාරයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවේවි යැයි කිසිවකටත් පැවසිය නොහැක්කකි. එමෙන්ම බුද්ධි අංශ ශක්තිමත් කිරීම, ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස විමර්ශනය කර ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය නිසිපරිදි නොවුණොත් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. මේ නිසා අන්තවාදය හා මූලධර්මවාදය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම රජයක් ලෙස සිදුකළ යුතු දෙයකි. එහෙත් අවාසනාවට, පාස්කු ප්‍රහාරයට වසර ගණනක් ගතවුණත් තවමත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනීමට පවා නොහැකි වී තිබේ.
ත්‍රස්තවාදය
ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ත්‍රස්තවාදය නිසා බොහෝ බැට කෑ රටකි. රටේ ත්‍රස්තවාදය බෙදුම්වාදයත් සමග බැඳී තිබෙන්නකි. ආයුධ සන්නද්ධ සංග්‍රාමික ත්‍රස්තවාදය උපුටාදමා ඇතත් තවමත් රට තුළ බෙදුම්වාදය විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාත්මක වීම ජාතික ආරක්ෂාවට තවත් තර්ජනයකි. විශේෂයෙන්, එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය තවමත් මතවාදී ලෙස ඇතැම් පුද්ගලයන් තුළ පවතින බව බැහැර කළ නොහැකිය. විශේෂයෙන්, දෙමළ ඩයස්පෝරාව තවමත් ලෝකය පුරා එල්.ටී.ටී.ඊ.මතවාදය වපුරමින් හා පවත්වාගනිමින් සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. මේ නිසා එල්.ටී.ටී.ඊ.ය මතවාදී ලෙස ජනයාගේ සිත් තුළින් ඉවත් කිරීමට කටයුතු කිරීම, යළි ප්‍රචණ්ඩත්වයකට ඔවුන්ට අවස්ථාවක් නොදීම ද මෙහිදී වැදගත් වෙන්නකි.නැවතත් එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය සාමාජයීය හා ආරක්ෂක සැලසුම් සකසා ක්‍රියාත්මක කිරීමද රජයක් සතු වගකීමකි.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය
රටේ යුද්ධය අවසන්වීමත් සමග, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලිය තර්ජනයක් බවට පත්වී තිබේ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දෙස බැලීමේදී, එයින් ශ්‍රී ලංකාව හුදකලා වී නොමැතිවීම මෙහි ඇති භායානකත්වයයි. මත්ද්‍රව්‍ය රට තුළට පැමිණෙන්නේ විදෙස් රටවලිනි. අයිස් වැනි කෘතිම මත්ද්‍රව්‍ය තායිලන්තය, මියන්මාරය, මලයාසියාව වැනි රටවලින් බහුලව පැමිණෙයි. හෙරොයින්,හෂීස් වැනි ස්වාභාවික මත්ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් පැමිණෙන්නේ ඇෆ්ගනිස්ථානය කේන්ද්‍රකර ගනිමිනි. ඉන්දියාවෙන් පැමිණෙන ගංජා හා දුම්කොළ ප්‍රමාණයද සුළුපටු නොවෙයි. මේ නිසා වර්තමානය වෙන විට මෙය ජාත්‍යන්තර ජාවාරමක් හා ජාවාරම් ජාලයක් බවට පත්වී තිබීම ජාතික ආරක්ෂාවට මතුව ඇති බරපතළ තර්ජනයකි.
විශේෂයෙන් රට තුළ මත්ද්‍රව්‍යවලට ඉල්ලුමක් පැවතීම, පාසල් හා තරුණ ප්‍රජාව විශාල වශයෙන් ඒවාට ඇබ්බැහිවීම රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම ඉදිරි පැවැත්මටද විශාල තර්ජනයකි. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාලය හා අදාළ බෙදාහැරීමේ ජාල අතර තිබෙන තරගය නිසා මේ වෙන විට සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිව ක්‍රියාත්මක වීමද විශාල තර්ජනයකි. මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ හවුල්කාර ව්‍යාපාර වෙන කළුසල්ලි සුදු කිරීම, මිනිස් ජාවාරම මෙන්ම විවිධාකාර වූ සංවිධානාත්මක අපරාධ සිදු කිරීමද ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. මේ නිසා සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් රජයක් ලෙස කිසි විටෙකත් සුළු කොට නොතැකිය යුතුය.
මිනිස් කැළඹීම්
රටේ විවිධාකාරයෙන් මිනිස් කැලඹීම් ඇතිවීමද ජාතික ආරක්ෂාවට ඇති තවත් තර්ජනයකි. රාජ්‍ය යේ හෝ ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා හෝ වෙනත් රටවල්වල බලපෑම නිසා හෝ විවිධ හේතු කේන්ද්‍ර කරමින් මිනිස් කැලඹිලි නිර්මාණය විය හැකිය. මහජන අරගලයක් ඇතිවී, හිටපු ජනපති ගෝඨාභයට තනතුර හැරයෑමට සිදුවූයේද එම රජය ජනතාවගේ පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු නොවීම හා නොකිරීම නිසාය. මේ නිසා බලයට පත්වෙන ඕනෑම රජයක්, ජනතා විශ්වාසය දිනාගෙන ජනතාවාදීව කටයුතු නොකළොත් මිනිස් කැලඹීම් යළි ඇතිවීමේ අනතුරක් පවතී. විශේෂයෙන්, ශ්‍රී ලංකාව භූ පිහිටීම අනුව කේන්ද්‍රස්ථානයක පිහිටීම නිසා ලෝකයේ මහ බලවතුන් වෙන ඇමෙරිකාව, ඉන්දියාව හා චීනය සමග නොබැඳි රටක් ලෙස නිසියාකාරයෙන් ගනුදෙනු කිරීමද මෙහිදී ඉතා වැදගත් දෙයකි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යථාර්තයක් කරගනිමු
ඉහත කරුණු අනුව ජාතික ආරක්ෂාව යනු එක් විෂය පථයක් හෝ පහසු කරුණක් නොවන බව පෙනී යන්නකි. රටේ සිදුවෙන ඕනෑම සුළු සිදුවීමක් වුවත්, ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑහැකිය. මේ නිසා සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේත් අගමැති ඇතුළු දේශපාලන අධිකාරියත් ආරක්ෂක අංශ හා ඊට අනුබද්ධිත ආයතනවල ප්‍රධානීන්ගේත් ප්‍රධාන වගකීම සෑම අතින්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමය. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේදී, පුළුල්ව සලකා බලා ජාතික ආරක්ෂාවට බලපාන සෑම අංශයකටම අදාළ වෙන ප්‍රතිපත්තීන් සකසා, අවශ්‍ය නීති සම්පාදනය කර, දූරදර්ශීව කටයුතු කිරීම රජයක සතු වගකීමකි. එසේ වුවහොත්, රට තුළ යළි ත්‍රස්තවාදයක්,අන්තවාදයක්, තෙල් පෝලිම්, විදුලි කප්පාදු, අරගල, සයිබර් ප්‍රහාර නැති පොහොසත් රටක් නිර්මාණය වෙනු ඇත.
දුමින්ද සංජීව බාලසූරිය
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජාතික ආරක්ෂාව යනු කුමක්ද?