1505 වර්ෂයේදී පෘතුගීසින්ටද, 1658 ලන්දේසි පාලනයට නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදු විය. එලෙස විදේශ ග්‍රහණවලට බොහෝ කලක් යටත් වීමෙන් සිටි ලාංකිකයන් ඉන් නිදහස ලබා වසර 77 ක් සපිරේ. නිදහස ලබාගැනීමේ ගමන් මගෙහි සුවිශේෂී සිදුවීම් රාශියකි.
මහා බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු සමයේදී එනම් 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. ඉන් පසුව 1837 ජුනි 20 වන දින මහා බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස වික්ටෝරියා මහ රැජින පත් වූ අතර හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු, අටවන එඩ්වඩ් රජු, හයවන ජෝර්ජ් යන රජවරු අපගේ රජවරු ලෙස සැලකීමට සිදු වූ අතර 1948 පෙබරවාරි 04 දිනට සීමිත නිදහසක් ලැබෙන තුරුම ලංකාවට බ්‍රිතාන්‍ය රජවරු 5කට යටත්ව පාලනය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.
1815 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දුම්බර මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එකල මේ රට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගැනීමට ඉංග්‍රීසිහු සමත් වූහ. එම හේතුව නිසා දෙදහස් වසරකට වැඩි කාලයක් පැවත ආ ශ්‍රී ලංකාවේ රාජාවලියද නිමාවට පත්විය. එපමණක් නොව අපේ රටේ පැවති ජාතිකාභිමානයට සුවිශේෂි වශයෙන් හේතු වූ ජාතික නිදහස මෙන්ම ස්වාධීනත්වයද අහෝසි වී ගියේය. ශ්‍රී ලංකාවාසී ජනතාව එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ පාලනයට යටත් වූ වහල් ජනතාවක් බවට පත්විය. මේ රට පාලනය කිරීම මුළුමනින්ම එංගලන්ත කිරීටයට හිමිවූවේය. එම පාලනය බ්‍රිතාන්‍යයන්ට හිමි වූයේ 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරටදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගිනි.
ආරම්භක මොහොත් සිට සමහර ඉහළ නිලමේවරු බ්‍රිතාන්‍යයන්ට යටත්වීම ප්‍රතික්‍ෂේප කළහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ නුවර කලාවියේ දිසාව නියෝජනය කළ නුවරවැවේ නිලමේ එවැන්නෙකි. මාර්තු 02 වැනිදා මහනුවර මඟුල් මඬුවේ පැවති උඩරට ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය ඔහු වර්ජනය කළේය. වගන්ති දොළහකින් සමන්විත එම ගිවිසුම වලංගුවීමට නම් නුවර කලාවිය භාර දිසාවේ වශයෙන් නුවරවැවේ නිලමේගේ අත්සන් තැබීම අනිවාර්ය විය.
තමාගේ බලාපොරොත්තු කඩවන අයුරින් හැසිරෙන නුවරවැවේ නිලමේගේ ක්‍රියා කලාපය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ ඉමහත් කෝපයට හේතුවිය. වහාම නුවරවැවේ දිසාව අල්ලා අධිකරණය හමුවට පැමිණවිය යුතු බවට අණ කළ බ්‍රවුන්රිග් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසි හමුදා පිරිසක් නුවර කලාවියට යැවීය. අනතුරුව ඇහැළේපොල අදිකාරමගේ උපදෙස් පරිදි උඩරට පාලනයේ ප්‍රබලයකු වූ ගලගොඩ විජේසුන්දර රාජපක්‍ෂ මුදියන්සේ නුවරකලාවියේ දිසාපති ලෙස පත්කර ඔහුගේ අත්සන ලබාගැනීමෙන් උඩරට ගිවිසුම නීත්‍යනුකූල කරගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.
බ්‍රිතාන්‍යය හමුදාවේ නිලධාරියෙකු වූ එල් ද බුෂේ නමැත්තා තම මිතුරෙකුට යැවූ බ්‍රිපියක උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව විස්තර කර ඇත්තේ මේ ආකාරයෙනි. “අප මහනුවර අත්පත් කර ගනිද්දී එහි කිසිම මනුෂ්‍යයෙක් පේන තෙක් මානයක නොවීය. සතියක් ගත වෙන්නටද කලින් එහි සියලු නිවෙස් ඒවායේ අයිතිකරුවන්ගෙන් පිරී ගිය අතර නගරයෙහි බොහෝ වූ වීදි මාර්තු 02 වැනිදාට නියමිත වූ උත්සවය දැකගැනීම සඳහා එදිනට කලින් නන් දෙසින් පැමිණි ජනකායකගෙන් ගහන විය. එදින උදෑසනම මාළිගයේ සුවිසල් ශාලා මොහොට්ටාල, කෝරලේ හා විදානේ යනුවෙන් හැඳින්වුණු ජන නායකයන්ගෙන් පිරෙන්නට පටන් ගත් අතර ඒ හැම දෙනාම කළුවන් හෝ සුදුවන් දිගු රැවුලකින්ද මනා බුද්ධිමත් පෙනුමෙන්ද යුත් වෘද්ධයෝ වූහ.
බොහෝ දෙනෙක් යුරෝපීය මුහුණක් එතෙක් නුදුටුවෝ වූහ. අපගේ හමුදා දුටුවෝ වී නම් ඒ කීප දෙනෙක්ම පමණි. නැතිනම් එවැනි කිසිවෙක් නොසිටියහ. සුපුරුදු පරිදි නියමිත හෝරාවේ දෛනික මුර සෙබළුන් ඔවුන්ගේ සේවා ස්ථානවලින් මුදා හැරෙද්දී එකී ජන නායකයෝ විස්මයට පත් වූහ.
එය ඉතාම දීප්තිමත් දිනයක් විය. සෙබළුන්ගේ අවිවල දීප්තියත්, තූර්ය වාදනයත්, සෙබළුන්ගේ රිද්මයානුකූල ගමන් විලාසිතාවත් ඒ ජන නායකයන්ගේ කුහුල් සිත් පිනවීමට සමත්විය. එදින සවස හතරේ කණිසම එළඹෙත්ම අපගේ මිත්‍ර ඇහැලේපොල පළමුවැනි සහ දෙවැනි අදිකාරම්වරුන්ද සියලුම දිසාවේවරුන් හා සේවකයන් කීප දෙනෙකුද කැටුව මාළිගයට පැමිණියේය. පුරාණ රෝමයේ තානාපතිවරුන් නිල උත්සවයකට සම්ප්‍රාප්ත වනවිට ඔවුන් පෙරටුව ගමන් ගත් යෂ්ටිධරයින් වැනි සේවකයෝ දෙදෙනෙක් යෂ්ටි වෙනුවට නියඳ කෙන්දෙන් තැනුණු විශාල කස දෙකක් අතැතිව අදිකාරම්වරුන් දෙදෙනා ඉදිරියෙන් ගමන් කළහ.
අදිකාරම්වරුන්ගේ සම්ප්‍රාප්තිය නිවේදනය කිරීමත් ඔවුන්ට වීදියේ ඉඩකඩ ලබාදීමත් පිණිස කසකාරයෝ දෙදෙනා උස් හඬක් නැගෙන සේ නොකඩවා කස පිපිරවූහ. අදිකාරම්වරුන් දෙදෙනා සුවිසල් ශාලාවට පිවිසෙන තෙක්ම කස හඬ අඛණ්ඩව නැංවිණි. සම්මන්ත්‍රණ ශාලාව තුළදී ගිවිසුම සම්මත කෙරුණු අතර මාළිගා අංගණය වෙත ගෙනෙන ලද ගජනාවලින් නැංවුණු ආචාර වෙඩිමුර මධ්‍යයෙහි අදාළ සියලු පාර්ශ්ව ගිවිසුමට අත්සන් තැබූහ.’’
මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට අයත් වූ අතර එම පාලනය යටතේ උඩරට ගිවිසුමේ කොන්දේසි ආරක්‍ෂා නොවන බවත් දේශීය ප්‍රජාවගේ ආගම්වලට නිසි ආරක්‍ෂාවක් නොලැබෙන බවත් මෙරටවාසීහු වටහා ගත්හ. තමන් රැවටීමකට ගොදුරු වූ බව දේශීය පුරවැසියෝ තේරුම් ගත්හ. ආරම්භයේදී කුතුහලයක් පමණක් වූ අදහස් ක්‍රමයෙන් දැඩි විරෝධයක් සහ කෝපයක් බවට පත් වූ අතර උඩරට දේශප්‍රේමීහු මහා කැරැල්ලක් ආරම්භ කළහ. ඌව වෙල්ලස්සේදී පටන් ගත් මෙම සටන මාතලේ, දුම්බර, වලපනේ, දෙනුවර, හතර කෝරලේ සහ හත්කෝරලේ දක්වාද පැතිර ගියේය.
1816 දී ආරම්භ වූ නිදහස් අගලය 1818 දී තීව්‍ර විය. තම ආගමික හා ආර්ථීක අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුණින් අප රට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කර ගැනීමට 1815 සිට 1948 දක්වා අරගල ක්‍රියාත්මක විය. 1818 කැරැල්ල ඌව වෙල්ලස්සෙන් ඇරඹුණු විට සත් කෝරලයේ දේශප්‍රේමීන් එකතු කොටගෙන එම ප්‍රදේශයෙන් නිදහස් අරගලයක් ආරම්භ කිරීමට ආරම්පොළ මොහොට්ටාල මූලිකත්වය ගත්තේය. ඉහළ දොළොස්පත්තුවේ මොහොට්ටාල, වැල්ලව නිලමේ, බොරලුවැවේ කෝරාල, අරම්පොල කුඩා මොහොට්ටාල, කඳුළව මොහොට්ටාල, මාවතගම නිලමේ වෑඋඩ අප්පු, හුනුපොළ නිලමේ, ආදීහු අරම්පොළ මොහොට්ටාල සමග එක්ව සත් කෝරලය පෙදෙසින් ජාතික විමුක්ති සටනට තම දායකත්වය ලබාදුන්හ. සටන කොතරම් උග්‍ර වූවේද යත් ඉංග්‍රීසි හමුදාවන්ට සත් කෝරලය අතහැර මහනුවරට පසු බසින ලෙස නියෝග කිරීමට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට සිදුවිය. මෙවැනි ජයග්‍රාහි මාවතකට අපේ නිදහස් අරගලය පැමිණ තිබුණත් සමහර සිංහලයන්ගේම පාවාදීම් නිසා කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ ආදී නායකයෝ සතුරු අත්අඩංගුවට පත් වූහ. එනිසා ඌව වෙල්ලස්සේ හා උඩරට පළාත්වලදී සටන අඩපණ වූයේය.
පාවාදීම ආරම්භ වූ පසු අරම්පොළ මොහොට්ටාලට අවබෝධ වූයේ තවදුරටත් කැරැල්ල පවත්වාගෙන යා නොහැකි බවයි. අන්තිමේදී පරාජය පිළිගැනීමට සිදුවුවහොත් තම පළාත් වැසියන්ට නොයෙක් දුක් ගැහැටවලට සහ සම්පත් විනාශයකට මුහුණ දී විශාල හානියකට ලක්වීමට සිදුවන බව තේරුම් යාම නිසා ඉතා අකමැත්තෙන් යුතුව වුවත් හත් කෝරලේ බ්‍රිතාන්‍යය හමුදා අණදෙණ නිලධාරියා වූ කර්නල් හුක්ගේ කුරුණෑගල හමුදා මූලස්ථානයට ගොස් භාර වූ බව කියවේ. ඔහු භාර වූ බවත් නොසලකා කටයුතු කළ බ්‍රිතාන්‍යයෝ අරම්පොල මොහොට්ටාල යුද්ධාධිකරණයට පමුණුවන ලදුව එල්ලා මරා දැමීමට නියම විය. ඔහු පෝරකයට නංවන ලදුව වධකයා විසින් මෙම වීරයාගේ ගෙලට කඹය දමා ඔහු සිටුවා තිබුණු පුවරුව ගස්සා ගෙල සිරකරනු ලැබීය. අනතුරුව ඔහු පෝරකයේ එල්ලී සිටිනු දක්නා ලදී. මොහොතකින් කඹය කඩාගෙන අරම්පොල මොහොට්ටාල බිමට ඇද වැටුණි. ඔහුගේ ගෙල පෙදෙස සම්පූර්ණයෙන්ම හම ගැලවී ගොස් තිබුණි. දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෝරකයෙන් වැටී මරණයෙන් බේරී ඇති නිසා ඔහුට සමාව දිය යුතුයැයි ඒ මොහොතේ යෝජනා වී ඇතත් අරම්පොල මොහොට්ටාල පවසා ඇත්තේ සුද්දන්ගෙන් ලැබෙන සමාව තමාට අවශ්‍ය නොවන බවයි. තමා එල්ලා මරා දමන ලෙස ඔහු එඩිතරව ඉල්ලා සිටියේය. එය එසේම සිදුවූ බව කියනු ලැබේ. 1818 නිදහස් අරගලයේදී මෙසේ දිවි පිදුවෝ බොහෝය.
ඉන් පසුව එළඹුණේ 1848 සටන් ව්‍යාපාරයයි. පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා ආදී නායකයන්ගෙනුත්, හඟුරන්කෙත ඩිංගි රාල, දිනේශ් හා කරෝඅප්පු ආදී පිරිසක් විසින් මෙම අරගලය ආරම්භ කරන ලද්දේ නිදහස් සටනේ කොටසක් වශයෙන් නොව එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා විසින් පනවන ලද බදු හතකට විරෝධය පළ කරමිනි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිණිස ඇඟ බද්ද, තුවක්කු බද්ද, කරත්ත බද්ද , බලු බද්ද ආදී වශයෙන් මෙම බදු නම් කර තිබුණි. මේවාට එරෙහිව බදු විරෝධී අරගලයක් වශයෙන් දියත් වූ මෙම සටන් ව්‍යාපාරය කුරුණෑගල සිට මාතලේ දක්වා ප්‍රචලිත විය. එය මැඩීමට ඉංග්‍රීසි හමුදා යොදන ලද අතර ක්‍රමයෙන් එය ජනතා විමුක්ති අරගලයක් බවට පත්විය. මහනුවරට ආසන්නයෙන් පිහිටි උඩුනුවර, යටිනුවර, පාතදුම්බර, උඩුදුම්බර, හාරිස්පත්තුව, හේවාහැට, මාතලේ, තුම්පනේ ආදී ප්‍රදේශවලින්ද ජනයා මහනුවර කච්චේරිය අසලට එක් රැස් වී තම විරෝධය පළකළහ. එයට නායකත්වය දුන්නේ ගුන්නෑපානේ ආරච්චි නම් වූ ප්‍රාදේශීය නායකයාය. මෙම විරෝධතාව මැඩ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ නායකයාට අසුපිටින් වැටෙන තුරු මිනිස්සු පහර දුන්හ. මෙය ආයුධ සන්නද්ධ සටනක් බවට පත්වූයේ ඒ අනුවය.
මෙසේ මෝරා ගිය සටන තවත් තීව්‍ර කරමින් 1848 අගෝස්තු 31 වැනි දින වඳුරාගල නොතාරිස් රාලහාමිගේ ප්‍රධානත්වයෙන් වූ දහස් ගණනක විශාල සිංහල තරුණ පිරිසක් අරගලයට එක්වූහ. මේ අතරවාරයේ දඹුල්ලේ රාජමහා විහාරයට රැස්වූ පනස් දහසක පමණ ජනතාවක් මධ්‍යයේ එම විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති නාහිමියන් විසින් ඔටුනු පළඳවන ලදුව ගොන්ගාලේගොඩ බණ්ඩා වීරයා සිංහලේ රජු වශයෙන් අභිෂේක කරන ලදී. ඒ ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි යන නමිනි. එම රජුගේ යුව රජු වශයෙන් හඟුරන්කෙත ඩිංගි රාලත් පුරන් අප්පු වීරයා සේනාධිනායක ලෙසත් දිනේෂ් හා කරෝ අප්පු යන දෙදෙනා උප සේනාධිනායකවරුන් ලෙසද තනතුරු ලැබූහ. තනතුරු වරප්‍රසාද හා මිල මුදල් ත්‍යාග කෙරෙහි ලොල් වූ සිංහලයන්ගේ පාවාදීම් සහ කුමන්ත්‍රණ නිසා සටන ක්‍රමයෙන් දුර්වල විය. ඉංග්‍රීසින් සමග ඉතා කිට්ටු සම්බන්ධතා පැවැත්වූ දරටියාවේ රටේ රාල පාවාදෙන්නන්ගේ ප්‍රමුඛයා බවට සඳහන් වේ. ඔහු සැපයූ ඔත්තුවකට අනුව අරගලයේ නායකයෝ සියලු දෙනාම අත්අඩංගුවට පත්වූහ. ඔවුන් මරා දැමීමෙන් සටන නිමාවට පත්විය. මරණයට ගොදුරු කිරීමට පෙර පුරන් අප්පු වීරයා ප්‍රකාශ කළේ “මගේ මව මා වැනි තව එකෙක් වැදුවා නම් එක පර සුද්දෙක් ඉතිරි නොකරන” බවයි.
මෙසේ ඉදිරියට ගිය නිදහස් සටන 1915න් පසු දේශපාලන සටනක් බවට පත්විය. සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, රාජ නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඇෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක වැනි දේශපාලනඥයෝ මෙම දේශපාලන සටනට ක්‍රියාකාරීව නායකත්වය දුන්හ.
එකල අධිරාජ්‍යවාදීනට විරුද්ධව බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙහෙය වූයේ ගුණානන්ද හිමි, දොඩම්ගොඩ පියරතන හිමි, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා, වැනි වීරවරයෝයි. මෙකල, එනම් 1915 දී සිංහල මුස්ලිම් කෝලහලය, සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයෝ කළ අසාධාරණ ප්‍රතිපත්ති නිසා අයිතිවාසිකම් උල්ලංඝණය වූයේ මෙරට බහුතර බෞද්ධයන්ගේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ඇරඹී තිබූ උද්ඝෝෂණ ව්‍යාපාර විදේශ ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීමේ නිදහස් ව්‍යාපාරය බවට පත් විය.
කැරලි කෝලාහල තුළින් බ්‍රිතාන්‍යයන්ගේ අසාධාරණ මර්දන ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් ව්‍යාපාරය හා බෞද්ධ නායකත්වය ඇති කළ මෙම පෙළෙඹවීම මෙරට පාලනය කළ ඇතැම් යුරෝපා පුවත්පත් හා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ඇතැම් යුරෝපීය නියෝජිතයන්ද අවධි කරවීමට සමත් විය. පසුව කැරලි කෝලහලවලදී බෞද්ධ ජනතාවට සිදු වූ අසාධාරණ පිළිබඳ සෙවීමට නිල වශයෙන් රාජකීය කොමිසමක අවශ්‍යතාව ඇති විය. ඒ සඳහා පළමුවරට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාල තුමායි. එතුමා 1915 ජුනි 15 දින මේ සම්බන්ධව දීර්ඝ ලිපියක් යටත් විජිත ලේකම්ට යවා ඇත.
මෙතැන් පටන් නිදහස් ව්‍යාපාරය සෑහෙන වෙනසකට බලවත් විය. එයට හේතුව අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන් ව්‍යාපාරයට ක්‍රියකාරී දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට පසුබිම නිර්මාණය වීමය.
මෙම කාලයේදී අසාධාරණයට ලක් වූ මෙරට බෞද්ධ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමිකර දීමට එවක නිදහස් සටන පෙළඹ වීමට බෞද්ධ නායකයන් ප්‍රබල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ පහතරට සිංහල මන්ත්‍රී ධුරයට බෞද්ධ නායකයෙකු වූ ඩබ්.ඒ. සිල්වාගේ නම යෝජනා විය.
මින් පසු නිදහස් සටනේ බටහිර අනුකාරක නායකයෝ නිදහස් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් ගොඩනගා ගැනීමට යොමු විය. මෙහි මූළිකයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතායි. එතුමාගේ නායකත්වයෙන් 1917 මැයි 17 දින ‘ලංකා ප්‍රතිසංස්කරණ සංගමය’ පිහිටුවිය. අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙකලම එනම් 1919 දී ‘ජාතික සංගමය’ ද බිහි විය.
පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස ආදීහු ලේඛන කලාව ඔස්සේ එයට ධෛර්ය දුන්හ.
ඩී. ආර්. විජයවර්ධන මහතාගේ ලේක්හවුස් පත්‍ර සමාගමද මෙම නිදහස ලබාගැනීමේ දේශපාලන සටනට අති විශිෂ්ට සහායක් දුන් බවද සඳහන් කළ යුතුමය. මෙවැනි දීර්ඝ අරගලවලින් සහ 1915 වසරේ ඇතිවූ සිංහල - මුස්ලිම් ජාති භේදවාදී කෝලාහල නිසා ඇතිවූ තත්ත්වයන් මත ලංකා ජාතික සංගමය ආරම්භ වීම මගින් නිදහස සඳහා දේශපාලන ක්‍රියාමාර්ගයක් ආරම්භවීමද යන හේතු නිසා පුළුල් පෙරමුණක ජාතික නිදහස පිළිබඳ අදහස රට පුරා මතු වූවේය. එහි නියත ප්‍රතිඵලය වශයෙන් ලංකාවට නිදහස ලබාදීම තවදුරටත් කල්දැමීමට හෝ ප්‍රමාද කිරීමට බ්‍රිතාන්‍ය පාලනයට නොහැකි විය. එනිසා 1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කරන ලදී.
1833 සිට ව්‍යවස්ථාදායක සභා හරහා යම් යම් ආණ්ඩුක්‍රම සංශෝධන සිදු වූ අතර 20 වන සියවස වන විට අපට නිදහස ප්‍රදානය කිරීමට ඔවුන් මඟ එළි පෙහෙළි කරේ, 1833, 1848, 1910, 1921 ව්‍යවස්ථා සංශෝධන හා 1931 ලැබූ සර්වජන ඡන්ද බලය හේතුවෙනි. විධායක කාරක සභා, රාජ්‍ය මන්ත්‍රණ සභාව, හරහා ප්‍රජාතන්ත්‍රවාදීව නව යෝජනා විධායක කාරක සභා, රාජ්‍ය මන්ත්‍රණ සභාව, හරහා ප්‍රජාතන්ත්‍රවාදීව නව යෝජනා ඉදිරියට ගලා ගිය අතර, දේශපාලන පිළිලයක් ලෙස හැඳින් වූ වාර්ෂික සංයෝජනය වෙනුවට පළාත් බද නියෝජනය ඉදිරියට ඒමද නිදහස ලබා දෙන ගමනේ ප්‍රබල සංධිස්ථානයකි.
මෙවන් වූ සිද්ධීන් දාමයකට පසුව බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවැති ලංකාවට නිදහස ප්‍රදානය කිරීමට 1947 නොවැම්බර් 11 වන දින හයවන ජෝර්ජ් රජු අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ. 1947 දී ඉන්දියාවට නිදහස ලැබුණු අතර ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යට යටත්ව තබා ගැනීම නිෂ්ඵල යැයි ඔවුන් තීරණය කර ඇත. එම නිසා 1948 ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලබා දෙන ලදී. එය 1947.06.18 දින තීරණය කළද එය ලැබුණේ ඊට මාස 8 කට පසුවයි. ඉන් පසුව වසර 450 ක් පමණ විවිධ ජාතීන්ට යටත් වී සිටි අප රටට 1948 පෙබරවාරි 04 වන දින නිදහස හිමිවිය.
පළමු නිදහස් උළෙල අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට එවකට මෙරට ක්‍රියාත්මක වූ ඩී.ඇස්. සේනානායක මහතාගේ රජය කටයුතු සංවිධානය කර තිබුණි. එදින සමස්ත ලංකාව පුරා සියලුම වෙහෙර විහාරස්ථානවල සහ දේවස්ථානවල ඝණ්ඨා නාද විය. වරායන්වල නවතා තිබූ නැව්වල නළාවල ශබ්ද නිකුත් විය. දේශපාලන අංශයෙන් සිදුවූ ප්‍රථම සිදුවීම වූවේ කලින් මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මන්ක් මේෂන් මුවර් මහතා නව නිදහස් රාජ්‍යයේ නව අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් දිවුරුම් දීමයි. එවකට ලංකාවේ සිටි අග්‍ර විනිශ්චයකාරවරයා වූ සර් ජෝන් හාවඩ් ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවිය. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සහිතව ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුණු නිසා බ්‍රිතාන්‍යයේ කිරීටයේ නියෝජිතයා වශයෙන් බලවත් තැනක් අග්‍රආණ්ඩුකාර ධුරයට හිමිවිය.
එනිසා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේෂන් මුවර් දිවුරුම් දීම අතිශය සුවිශේෂි සිදුවීමක් ලෙස සටහන් වූවේය. අනතුරුව අගමැති ඩී.ඇස්. සේනානායක මහතා ජාතිය ඇමතීම සිදු කෙරුණි. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම එතුමා ජාතිය අමතා ඇත.
මෙම උළෙල සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ හෙබවූ හයවැනි ජෝර්ජ් මහ රජතුමා නියෝජනය කරමින් මෙරටට පැමිණියේ එම රජුගේ බාල සොහොයුරා වූ ග්ලොස්ටර්හි ආදිපාදවරයා සහ එම කුමරියයි. ඔහු සම්බන්ධවූ උත්සවය පැවතියේ 1948 පෙබරවාරි 10 වැනිදා නිදහස් චතුරශ්‍රයේ ඉදිකළ තාවකාලික ගොඩනැගිල්ලකදී ය. එහිදී ග්ලොස්ටර්හි ආදිපාදවරයා විසින් අපේ ජාතික කොඩිය එසවීමෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු බව සංකේතවත් කළේය. එය ලංකාවේ පාර්ලිමේන්තුවේ සභා වාරයක් ලෙසින්ද හැඳින්වේ.
ශෂිකා අබේරත්න
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිදහස් සටනේ ගමන් මග