IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“

(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, ගම්පහ තිලකරත්න දිසානායක, උඩුගම්පොල එල්.ඩබ්ලිව්. ආරියරත්න, කිරිඳිවැල උපාලි රණවීර සහ දෙහිවල එච්.එම්. ධර්මපාල)

“ජනපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා කරන සියලු නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් හැම පොරොන්දුවක්ම අකුරක් - අකුරක් නෑර ඉටු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා 2019 ප්‍රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවැසීය.

සරල බදු ප්‍රතිපත්තිය නිර්මාණය කර මධ්‍යම පන්තියේ අසහනය සම්පූර්ණයෙන්ම අවසන් කරන අතරම ජනතාව මත පීඩනය කිසිලෙසකින් වත් ඇති නොකරන පාලනය ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමගම මෙරට බිහි වෙතැයිද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලි අමතා ප්‍රකාශ කළේය.

“ඇමෙරිකාවේ - එංගලන්තයේ ඉගෙන ගත්තද මගේ මාතෘ භූමියේ පුරවැසිභව අහිමි කර ගත්තේ නැහැ. මම සීයට සීයක්ම ශ්‍රී ලංකිකයි. රට අතහැර පලා නොයන, ඔර්ජනල් ශ්‍රී ලාංකිකයා මම” යැයිද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.

දේශපාලකයන් දුක් විඳින සහ ජනතාව සැප විඳින පාලනය අරඹන බව කී ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය මුදල් යනු ජනපතිගේ හෝ අගමැතිගේ හෝ සල්ලි නොව ජනතාවගේ සහ රටේ සම්පත් බව සිහි තබාගෙන රාජ්‍ය පාලනය ගෙන යතැයිද අවධාරණය කළේය.

ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ගල්ගමුව, ආනමඩුව, මීගමුව, කඩවත, පූගොඩ, දෙහිවල, මොරටුව, පොළොන්නරුව, අනුරාධපුරය, කුලියාපිටිය, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර සහ මැද කොළඹ යන අවසන් ජනරැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“ගම්පහ දුම්රිය ස්ථානය වැඩි ජනගහනයක් සිටින දුම්රිය ස්ථානය බව කිව යුතුයි. ඒ දුම්රිය ස්ථානය ප්‍රදේශයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් කඩිනම් සංවර්ධනයකට ලක්කරනවා. 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු දුම්රිය ස්ථානය ක්ෂණික සංවර්ධනයකට ලක්කිරීම මගේ අරමුණයි.

ගම්පහ රෝහල ලංකාවේ ප්‍රධානම රෝහලක් බවට පත් කර භෞතික සහ මානව සම්පත්  දීමට ද කටයුතු කරනවා. මා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමටද කටයුතු කරනවා.

දෑත් පිරිසුදු හොඳ තීන්දු තීරණ ගන්නා ජනතා රජයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය යි. ජනතාවට දැනෙන, ජනතා සේවයක් කරන රජයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තුළ මනුස්සකමට මුල් තැන දිය යුතුයි. මනුස්ස වර්ගයාගේ ඕනෑ එපාකම්වලට විසඳුම් දෙන පාලනයක් බිහි කළ යුතුයි.

16 වැනිදා බිහි කරන නව පාලනය තුළ මෙතෙක් කල් පැවති ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පාලකයන් රජ වන තත්ත්ව පසුගිය සමයේ ක්‍රියාත්මක වුණා. දේශපාලකයන් සුර සැප ලැබුවා. මහජන සම්පත්වලින් පාලකයන් ඉහළ වරප්‍රසාද වින්දා.

මම පිහිටුවන රජය තුළ දේශපාලකයන්ට දුක් විඳින්න වෙනවා. දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති වීමත් සමග දේශපාලකයන් සුර සැප වින්ද යුගය අනිවාර්යෙන්ම අවසන් වෙනවා.

මගේ දේශපාලන ගමන තුළ උපරිමයෙන් ම දුක් විඳිනවා. උපරිම කැප කිරීම් කරනවා. රාජ්‍ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි. මෙය වසර පහෙන් පහට අලුත් වෙනවා. එලෙස වන්නේ ජනතා අභිලාෂය අනුවයි. රාජ්‍ය මුදල් යනු ජනපතිගේ - අගමැතිගේ හෝ මැති - ඇමති ඇමතිවරුන්ගේ හෝ මුදල් නොවෙයි. ඒ ජනතාවගේ මෙන්ම රටේ ද සම්පත් බව සිහි තබාගත යුතුයි.

වඩා වැදගත් වන්නේ වෙඩි නොවදින වාහනය ද දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමද කියා පාලකයා තේරුම් ගත යුතුයි. මා වැටුප් දීමනා නොලබන ජනාධිපතිවරයකු බවට පත් වෙනවා.

එමෙන්ම මා රජයේ නිල නිවාස භාවිත කරන්නේ ද නැහැ. රට පුරා ගොස් මහජන සේවය කරන්න මට ජනාධිපති මාලිගා අවශ්‍ය නැහැ. ජනතා මුදලින් නඩත්තුවන සියල්ල පරිහරණය කළ යුත්තේ රටට සේවයක් වන ආකාරයටයි.

ජනපති - අගමැති ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන් සඳහා තීරු බදු රහිත වාහන පර්මිට් දීම අත්හිටුවනවා නොව අහෝසි කරන බව මෙහිදී අවධාරණය කරනවා. පාර්ලිමේන්තු නීතියෙන්ම එය අහෝසි කරනවා. කාට හෝ නැවත වාහන පර්මිට් දිය යුතු නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා.

රට ගැන සිතා මගේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දැනුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් කිරීම මගේ අරමුණයි. ඒ සඳහා පාසල් දරුවන්වත් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. පාසල් දරුවන් සඳහා වැඩි සහන දීමට මා අරමුණු කළේ ඒ නිසයි.
මේ සහන දෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. බුද්ධිමතුන්ගේ ජන සමාජය නිර්මාණය කිරීම සඳහායි.

දුප්පත්කම ගැන හැමදාම මැතිවරණ වේදිකාවල කතා කරනවා. ග්‍රාමීය දුප්පත්කම පමණක් නොව නාගරික දුප්පත්කමත් දිනෙන් දින විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. හතර දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීම සඳහා 55,000 අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප සහන දෙන්නේ ජනතාව හැම හැමදාම දුප්පත්කම තුළ රඳවා ගන්න නොව ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නයි.

දැනට තිබෙන අවුල් - වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා රටේ මධ්‍යම පන්තිය අසහනයට පත් වී සිටිනවා. සරල බදු ප්‍රතිපත්තියක් මා නිර්මාණය කරනවා. ජනතාව මත පීඩනය ඇති කරන ආණ්ඩුව වන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

මගේ පියාගේ පාලන සමයේදී සෑම විටම උත්සාහ කළේ ජීවන බර අඩු කරන්නයි. රටක් පවතින්න නම් මනුෂ්‍යයන් ජීවත්ව සිටිය යුතුයි. වර්ධන වේගය උද්ධමනය ආදී ඉතා බරපතළ වචන දේශපාලකයන් විසින් පාවිච්චි කරනවා. මොන වචන පාවිච්චි කළත් පොදු ජනතාව සතුටින් ජීවත් විය යුතුයි. ජනතාවට ආත්ම තෘප්තිය තිබිය යුතුයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයකු ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික විප්ලවයක් කරන්න මා සූදානම්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙනවා. රටේ අවශ්‍යතාවට පමණක් සීමා නොවී අපේ බව භෝග අපනයනය කරන්නත් ජාතික සැලැස්ම හදනවා.

වී වගාව, එළවළු, පළතුරු බව භෝග වගාව, හේන් වගාව, තේ - පොල් - රබර් වගාව, කුරුඳු - ගම්මිරිස් - කරාඹු නැටි වැනි සුළු අපනයන භෝග වගාව යන සෑම වගාවකටම ඉතිහාසයේ පළමු වතාවට නොමිලේ පොහොර දෙනවා.

වල් අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුම දෙනවා. කරදිය - මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනඟනවා පමණක් නොව සහනාධාර ක්‍රමවේදයට උපකරණ මෙවලම් දෙන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කරනවා. සංස්කෘතික ක්ෂේත්‍රය පදනම් කර ගත් සංස්කෘතික සංචාරක කර්මාන්තය මා ගොඩ නඟනවා.

පුත්තලම හරහා අනුරාධපුර දක්වා යන අධිවේගී මාර්ගය ද නිර්මාණය කරනවා. මහව සිට ශාන්ත ආනා දේවස්ථානය දක්වා වූ දුම්රිය මාර්ගයද පුළුල් කරනවා.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පළමු මාස 5 තුළ වන්දි ගෙවා අවසන් කරනවා. පුත්තලමට කොඩිවිනයක් වෙලා තිබෙන කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට ගෙන පුත්තලම ජනතාව අසහනයට පීඩාවට ලක්කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම දෙනවා.

දහසය වැනිදා ජනතාව පොදුජන යුගය ආරම්භ කරනවිට පාසල් දූ දරුවන් 44 ලක්ෂයට මා ආයෝමය ශක්තිය වෙනවා. මගේ පියා තමයි, දිවා ආහාර හා නිල ඇඳුම දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය දිවා ආහාරය කපා හැරියා. ලබන 16 වැනිදා ජනතාව මා ජනාධිපති කළ පසු රටේම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි. දිවා ආහාරයයි. සපත්තු කුට්ටමයි දෙනවා. යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ ගම්පහ සංවිධායක මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ද කතා කළහ.



අදහස් (0)

“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 521 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6056 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 711 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site