ව්‍යවස්ථාව පැනවීම් වැනි කටයුතු බලයට පත් වී ඉතා කෙටි කලකින් කළ යුතුයි
වර්තමාන ආණ්ඩුවද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව මැතිවරණ සමයේ ප්‍රතිඥාව දුන්නේය. එහෙත් දැන් ඔවුන් කියන්නේ මහජන අදහස් විමසා විධිමත් ආකාරයට තවත් වසර තුනකින් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවය.
ලංකාව තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදූ රටක් ලෝකයේ තවත් තිබේදැයි සැක සහිතය. 1947 දී හැදූ ව්‍යවස්ථාව 1972 දක්වාම තිබුණේ එය බ්‍රිතාන්‍යයන් විසින් සකසා දී තිබූ නිසාත් එවකට මෙරට සිටි පාලකයන්ට බලකාමයක් නොතිබූ නිසාත්ය.
1970 න් පසු මෙරට බලයට පැමිණි සෑම ආණ්ඩුවකටම අලුතෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා රට පාලනය කිරීමට වුවමනා විය. 1972 දී සිරිමාවෝ රජය හා 1977 දී ජේ.ආර්. ජයවර්ධන රජය එතෙක් තිබූ ව්‍යවස්ථාව ඉවත් කර අලුතෙන්ම ව්‍යවස්ථා පනවා රට පාලනය කළේය. ඒ අවස්ථා දෙකේදීම ව්‍යවස්ථාව හැදුණේ පාලක පක්ෂයට වුවමනා හැටියටය. එවැනි ව්‍යවස්ථාවලින් රටට ඇති සුගතියක් නැත.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ ජනාධිපති ජයවර්ධනගේ සොහොයුරු ආචාර්ය එච්.ඩබ්ලිව්. ජයවර්ධන සහ එවකට තරුණ අධිනීතිඥයකු වූ මාක් ප්‍රනාන්දු විසිනි. නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් 1977 ඔක්තෝබර් 20 වැනිදා පත්කරන ලදී. සභාපති ලෙස අගමැති ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, රොනී ද මැල්, කේ.ඩබ්ලිව්. දේවනායගම්, ඇම්.එච්.ඇම්. නයින මරික්කාර් යන එජාප මන්ත්‍රීවරුන් හා ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක හා ඒ වන විටත් එජාපයට සම්බන්ධ වී නොසිටි ඇස්. තොණ්ඩමන් යන අය එම තේරීම් කාරක සභාව නියෝජනය කළහ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩකටයුතු ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළේ ඔහු 1977 ජූලි මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය පදවියට පත්වී ඉතාම කෙටි කලකිනි. බලයට පත්වෙද්දීම ඔහුට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහි කිරීමේ අදහස ඇතිවී තිබිණි. මාස හයක් ඇතුළත තමා නව ව්‍යවස්ථාවක් යටතේ ජනාධිපතිවරයා විය යුතු බවට අධිෂ්ඨානයක්ද ජේ.ආර්ගේ සිතේ විය. ඒ අනුව 1972 දී සමගි පෙරමුණු රජය යටතේ බණ්ඩාරනායක මැතිනිය සම්මත කර තිබූ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2 වැනි සංශෝධනය ගෙන එමින් විධායක ජනාධිපති ධුරය බිහි කිරීමේ පරිච්ඡේදය 1977 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගන්නට ජේ.ආර්. සමත් විය. ජේ.ආර්. විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි 4 වැනිදාය. අගමැතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා පත්කෙරිණි.
නව ව්‍යවස්ථාව පිළිබඳ තේරීම් කාරක සභාවේ වැඩකටයුතු කෙරීගෙන යද්දී බණ්ඩාරනායක මැතිනිය නව වැඩපිළිවෙළට විරෝධය පා ඉල්ලා අස්වූවාය. ඇය කියා සිටියේ තමා මුලදී තේරුම් ගත්තේ 1972 ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කරන බව වුවත් තමා හැදූ සම්පූර්ණ ව්‍යවස්ථාවම ඉවත්කර නව ව්‍යවස්ථාවක් පැනවීමට තමාට එකඟ විය නොහැකි බවත්ය. ඒ වන විට ප්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද ව්‍යවස්ථාව සකස් කිරීමේ වර්ජනය කර තිබූ අතර මැතිනියගේ ඉවත්වීමත් සමග ව්‍යවස්ථා ක්‍රියාවලියම එජාපයේ ඒක පාක්ෂික කටයුත්තක් බවට පත්විය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අවසන් කර එය ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත කරන ලද්දේ 1978 සැප්තැම්බර් 7 වැනිදාය. එතැන් සිට ජාතික රාජ්‍ය සභාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ලෙස නිල වශයෙන් හැඳින්වීම ද ආරම්භ විය. 1977 ජූලි මහ මැතිවරණයෙන් බලයට පැමිණි ජයවර්ධන රජයට එම වසරේම ඔක්තෝබරයේ ව්‍යවස්ථාවේ වැඩ අරඹා වසරක් ගෙවී යද්දී නව ව්‍යවස්ථාවක් පනවන්නට හැකියාව ලැබිණි.
විධායක ජනාධිපති ධුරය ඇතිකිරීම, සමානුපාතික මැතිවරණ ක්‍රමය, ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයක් ලෙස නියම කිරීම, පළමුවතාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඇතුළු එතෙක් ව්‍යවස්ථාවේ නොතිබූ බොහෝ වෙනස්කම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කෙරිණි.
ජේ.ආර්. මේ සියලු කටයුතු සිදුකළේ ඔහුට හයෙන් පහක අතිවිශාල ජනවරම ලැබී වසරක කාලය ඇතුළතය. විධායක ජනාධිපති ධුරය ඇතිකිරීම මාස දෙකක් ඇතුළත සිදුකර අවසන්ව තිබිණි. ඔහු ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසු අප සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී පැවැසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම වැනි සංවේදී කටයුත්තක් මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම රැඳී ඇති කාලයේ හෙවත් ‘ආණ්ඩුවක මධුසමය’ කාලයේ කළ යුතු බවය. හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ කල්පසුවන විට විරෝධතා ඉහළ නගින බවය. තමා ඒ සඳහා 1972 මැතිනියගේ ජනරජ ව්‍යවස්ථාව සැකසූ ආකාරය ද ගුරුකොට ගත් බව ඔහු පැවසීය. 1970 මැයි මස 27 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණ 1972 මැයි 22 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේය. එම ව්‍යවස්ථාව ජනරජ ව්‍යවස්ථාව ලෙස හැඳින්විණි. ‘මමත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස එම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ පාර්ලිමේන්තු සභාව නියෝජනය කළා. එයින් ලත් අත්දැකීම් මත ඉතා කෙටි කලකින් මේ කටයුතු කොරන්ඩ මං තීන්දු කළා....’ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ අයුරිනි.
1994 බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංග රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණේ විපක්ෂයට වඩා එක වැඩි ඡන්දයකිනි. එක් ආසනයක් වැඩිපුර තිබියදීත් චන්ද්‍රිකා අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළාය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණ සමයේ ප්‍රතිඥාව දුන්නේ තමා විධායක ජනාධිපති ධුරයට තරග වදින්නේ එම ධුරය අහෝසි කරන්නට බවය. එසේ කී චන්ද්‍රිකා වසර තුනකට පසු සම්පූර්ණ ව්‍යවස්ථාවම අහෝසි කරන්නට ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළාය. විපක්ෂයේ සහාය නොලැබීමෙන් එම ව්‍යවස්ථා කෙටුම්පත ඉවතට වීසි විය. අලුත් ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් රට පුරා සම්මන්ත්‍රණ පැවැත්විණි. එයට බොහෝ ජනතාවගේ සහභාගීත්වය ද තිබිණි. ජනතා අදහස් විමසමින් පුවත්පත් දැන්වීම් ද පළ කෙරිණි. මහජනතාව, සිවිල් සමාජයේ සංවිධාන හා දේශපාලන පක්ෂවලින් අදහස් විමසා සැකසූ ව්‍යවස්ථාව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකෙරිණි.
එහෙත් එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළදා විපක්ෂය එම කෙටුම්පත ගිනි තැබුවේ පවතින ව්‍යවස්ථාව සහ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන අතුරු කාලයේදී තමා ජනාධිපති ධුරයේ සිටිය යුතු බවට චන්ද්‍රිකා ඉදිරිපත් කළ කොන්දේසිය නිසාය. ජනාධිපති තනතුරට ඇස ගසාගෙන සිටි විපක්ෂනායකවරයාගේ බලාපොරොත්තුව කඩවීම නිසා විපක්ෂය එම කෙටුම්පතට ගිනි තැබුවේය. ව්‍යවස්ථා විගඩම එයින්ම අවසාන විය. මහා භාණ්ඩාගාරය පමණක් එම මගඩියෙන් අමාරුවේ වැටුණේ වියදම් කළ මුදල කිසිදා ආපසු නොලැබෙන නිසාය.
ඉන්පසු බලයට ආ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර අමතර කෑලි එල්ලා තමාගේ වාසියට ඉඩ හදා ගත්තේය. මහින්දගේ වාසියට ජනාධිපති ධුරය තෙවරක් දැරිය හැකි බවට ව්‍යවස්ථාව සංශෝධනය කර යළිත් තරග වැදුණේය. එම වෑයමට එරෙහිව ජනපතිවරණයට තරග කර ජයගත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ යළිත් ව්‍යවස්ථාව සංශෝධනය කෙරුණේ මහින්ද එකතු කළ කෑලි ගලවා ඉවත් කරමිනි. යළිත් 2020 දී බලයට ආ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ දෙසොහොයුරෝ ව්‍යවස්ථාව යළිත් සංශෝධනය කර තමන්ට රට පාලනයට පහසු ලෙස එම ව්‍යවස්ථාව වගන්ති යළි ඇතුළත් කරගත්හ.
වර්තමාන ආණ්ඩුවද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව මැතිවරණ සමයේ ප්‍රතිඥාව දුන්නේය. එහෙත් දැන් ඔවුන් කියන්නේ මහජන අදහස් විමසා විධිමත් ආකාරයට තවත් වසර තුනකින් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවය. පරමාර්ථය යහපත් වුවත් 1970න් පසු බලයට ආ සෑම රජයකටම පොදු වූ පවතින ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බැරි ‘‘අමුතු මානසිකත්වයට’’ වත්මන් රජය ද එකතු වේ.
ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සහ වත්මන් ජනාධිපති ජවිපෙ නායක අනුර දිසානායක මහතා ද ඉකුත් මැතිවරණ සමයේ මෙම පොරොන්දුව ලබාදුන්නේය. පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය මාර්තු 1 වැනිදා පැවසුවේ, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බවය. තම ව්‍යවස්ථාවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ද ඔහු පැවසීය.
විධායක ජනාධිපතිවරුන් විශ්‍රාම ගිය පසු ඔවුන් නඩත්තු කිරීම රටට බරක් බව කියා සිටි ජවිපෙ හා මාලිමා නායකයෝ හිටපු ජනපතිවරුන් එක රැයකින් නිල නිවාසවලින් ඉවත් කරන බවට ද ප්‍රතිඥා දුන්හ. ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කරන බවත් තවත් පොරොන්දුවක් විය.
එහෙත් ජාතික ජන බලවේගයට රටේ විධායක ජනාධිපති ධුරය හා පාලන බලය ලැබුණත් මෙම පොරොන්දු එකක්වත් ඉටුවූයේ නැත. ඡන්ද සමයේ එසේ කියා සිටිය ද එම පොරොන්දු සරල කාරණයක් නොවීම එයට හේතුවය.
හිටපු විධායක ජනාධිපතිවරුන්ට නිල නිවාස, විශ්‍රාම වැටුප්, කාර්යාලයක්, ලේකම්වරයෙක් සහ ආරක්ෂාවක් ලබාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවෙනි. එම හිමිකම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් පමණක් ඉවත් කළ නොහැක්කේය. ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජනතාවගෙන්ද අවසර ලබා ගත යුතුය.
ලංකාවේ පැවැති ආණ්ඩුවලින් අපට බැසගත හැකි නිගමනය නම් රාජ්‍ය පාලනය සහ ආණ්ඩුක්‍රම සංශෝධන සම්බන්ධයෙන් කරන වෙනස්කම් මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම පවතින විටම කළ යුතු බවය. 1978 නව ව්‍යවස්ථාව පැනවූයේ ජේ.ආර්. ජයවර්ධන රජය බලයට පත්වී වසරක් ගෙවෙන්නට පෙරය. 1972 ජනරජ ව්‍යවස්ථාව පැනවූයේ එම රජය බලයට පත්වී වසර දෙකක් ගත වන විටය. 1970 බලයට ආ සමගි පෙරමුණු රජය තම පළමු කටයුත්ත ලෙස සැලකුවේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමය. එම ව්‍යවස්ථා දෙකම රජයේ ජනප්‍රියභාවය පවතින විටම සම්මත කර ගැනීමට හැකි විය.
විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම නව ව්‍යවස්ථාව පැනවුණු දා සිටම එයට එරෙහි මතයක් රටේ පැවතිනි. වඩාත්ම තිබුණේ විධායක ජනාධිපති ධුරයට එරෙහි මතවාදය ය. එම මතවාදයද එතරම් තදබල නොවීය. වරෙක මතු වෙමින්ද, වරෙකු යට යමින්ද පැවැති මේ හඬ වඩත් ප්‍රබලව මතුවූයේ ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව නැගුණු දෝෂාභියෝගයත් සමගය.
එසේ ප්‍රබලව මතයක් ඇතිවුණේ සැමදාම විධායක ජනාධිපති ධුරයට එරෙහිව සිටි ශ්‍රීලනිපය නිසා නොව, විධායක ජනාධිපති ධුරය ඇති කිරීමට ඇප කැප වූ එමෙන්ම ජනාධිපති ප්‍රේමදාස එම ධුරය දැරීම නිසා අභ්‍යන්තර ආරවුල් ඇතිවී එජාපයෙන් එළියට ආ ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන ඇමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයද, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයද යන විවාදයද මතුවිය. 1948 සිට 1977 දක්වා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු පාලන ක්‍රමය ද 1978 සිට මේ දක්වාම විධායක ජනාධිපති යටතේ පාලන ක්‍රමය ද ජනතාව අත්විඳ ඇත. ප්‍රායෝගිකව ගත් කල මෙම ක්‍රම දෙකෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටුවූයේ නැත. මේ පාලන ක්‍රම දෙකම ජනතා පිබිඳීම්, ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දැමීය. පාර්ලිමේන්තු ක්‍රමය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1971 සිට 1976 දක්වා වසර පහක්ම හදිසි නීතියෙන් රට පාලනය කළාය. විධායක ජනාධිපති යටතේ 1980 සිට 2010 දක්වාම රට පාලනය වූයේ හදිසි නීතියෙනි. ඒ අතර වසර දෙක බැගින් අවස්ථා දෙකක් හදිසි නීතිය ඉවත් කර තිබිණි.
විධායක ජනාධිපති ධුරය පැමිණියේම ප්‍රජාන්ත්‍රවාදයට අභියෝග කරමිනි. අගමැති පාලනය ක්‍රමය යටතේ බලයට පත්වූ ජයවර්ධන ජනාධිපතිවරයා ඉතාම කෙටි කලකින් තමාගේ අභිමතය පරිදි සකස් කරගත් ව්‍යවස්ථාවකින් විධායක ජනාධිපතිවරයා බවට පත් විය. එසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය විසින් රටට ශක්තිමත් නායකත්වයක් ලබාදී ඇති බව අප අමතක නොකළ යුතුය. රටේ මතුවූ බොහෝ අර්බුද විධායක ජනාධිපති ක්‍රමය තිබූ නිසා නොව, ඒ ඒ ප්‍රශ්න විසින්ම පැන නැගුණු ඒවාය.
1971 කැරැල්ල පැනනැගුණේ අගමැති පාලන ක්‍රමය හේතුවෙන් නොව තරුණ පරම්පරාව ලෝක දේශපාලන රටාව අනුව සන්නද්ධ විප්ලවයක් ඇරඹීමට තීන්දු කළ නිසාය. 1983දී ජවිපෙ තහනම් කිරීම විධායක ජනාධිපති ධුරය නිසා සිදුවූවක් නොව, අගමැතිවරයා ලෙස සිටියත් ජයවර්ධන මහතා විසින් සිදු කරන කටයුත්තකි. ඉතිරි සියලු ප්‍රශ්න ද ජයවර්ධන රජයේ ප්‍රතිපත්ති මත මිත විධායක ජනාධිපති ධුරය හේතුවෙන් පැනනැගුණු ඒවා නොවේ.
මේ දිනවල ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ජනාධිපතිවරණයට පෙර ඉතා තදබල ලෙස ප්‍රකාශ කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන ආණ්ඩුවට ගාණක්වත් නැති බවය. අනුර දිසානායක මහතා ඉතා පැහැදිලිවම කියා සිටියේ, ජනාධිපතිවරණයෙන් ජයගත් පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත්, දැනට පවතින ව්‍යවස්ථාව අහෝසි කරන බවය. ජනාධිපතිවරණය ජයගෙන මේ වන විට මාස තුනක් ඉක්ම ගොස් ඇතත්, වත්මන් ජනාධිපතිවරයා එම තනතුරේ තව තවත් ස්ථාවර වන බව මිස එම ධුරය අහෝසි කිරීමට ගන්නා පියවර ගැන ජනාධිපතිවරයා නිහඬය. තුන් වසරකට පසු අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පවසා තිබෙන අතර, ආණ්ඩුවේ නිල මතය එය බව ඒ අනුව අපට පිළිගැනීමට සිදුවෙයි. ව්‍යවස්ථා සංශෝධනයකින් කළ යුතු වන සියලු පොරොන්දු ගෙන ඒමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය බලාපොරොත්තු වී සිටිනවා වන්නටද පුළුවන. එහෙත් ගැටලුව වනුයේ තුන් වසරක් ගතවුණු පසු ආණ්ඩුවේ ජනප්‍රියභාවය මේ ලෙසම පවතී ද යන්නය. ජනප්‍රියත්වය ගිලිහුණු ආණ්ඩු කළ කිසිම කටයුත්තක් ජනතාව සාදරයෙන් වැලඳ නොගත් බව ඉතිහාසයෙන් අපට උගත හැකි පාඩමය.
ප්‍රේමකීර්ති රණතුංග
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පොරොන්දුත් සමග කල්යන අලුත් ව්‍යවස්ථාව