IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මාලිමා ආණ්ඩුවත් අසමත්ද?

කවර ආණ්ඩුවක් බලයට ආවත් රාජ්‍යයට හිමි ආරක්ෂක වැඩපිළිවෙළක් තිබේ. ඒ කටයුතු සිදු කරන්නේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසිනි. එම වැඩපිළිවෙළ තීන්දු කරන්නේ ආරක්ෂාව පිළිබඳ පළපුරුදු වෘත්තිකයන් වන එම මුලාදෑනීන් විසිනි. ආණ්ඩුවක් වෙනස්වූ පළියට එම ප්‍රතිපත්තිය වෙනස්  කිරීම රාජ්‍යය පවත්වාගෙන යාමට බරපතළ ගැටලු ඇති කරයි. ගණේමුල්ලේ සංජීව ඝාතනය වූදා එවැනි ආධුනික බවක් රටටම ප්‍රදර්ශනය විය. 

ආණ්ඩුව පත්වී මාස පහක් ගෙවී යද්දී ගෙන ආ අයවැය ආණ්ඩුවේ ගමන්මග හා ප්‍රතිපත්ති ගැන යළිත් කතිකාවක් ආරම්භ කරන්නට හේතුවක් වී තිබේ. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන තේමාවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති එකල බොහෝ ජනතාවක් ආදරයෙන් වැලඳ ගත්තේ තමන්ගේ ආර්ථික අපහසුතා වලට විසඳුම අනාගත මාලිමා  රජයකින් ලැබෙනු ඇති බව විශ්වාස කරමිනි. එහෙත් මේ වනතුරුත් ජනතාවගේ ආර්ථික දුෂ්කරතා වලට විසඳුමක් රජයෙන් හෝ අයවැය යෝජනාවලියෙන් හෝ ලැබී ඇති බවක් නොපෙනේ.  
සමාජවාදී, මාක්ස්වාදී, ප්‍රගතිශීලි, ජනතාවාදී විවිධාකාර පට්ටම්වලින් සැරසී පැමිණි ජාතික ජන බලවේගයත් -  ජනාධිපති ජේ. ආර්. මේ රටට තිළිණ කළ ලිබරල් ධනවාදී මාර්ගය ඉත සිතින්ම වැළඳ ගෙන සිටින බව දැන් ඉතින් සැඟවිය නොහැකිය. 
සිදුවිය යුත්තේත් එයම මිස අන් යමක් නොවේ. හරි හෝ වැරදි හෝ ජේ. ආර්. හැදු මාවතේම යාම හැර දෙකෝටි විසි ලක්ෂයක  කුස පිරවීම සඳහා අන් මගක් නැති බව අනුරට තේරුම් ගන්නට දශක තුනක්ම ගතවිය. 
එදා ලංගම බස් ගිනි තැබුවාට හෝ ඡන්දය දැමූ පළමු දහතර දෙනාට වෙඩි තිබ්බා ට හෝ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනස් කරන්න අනුරලා ට නුපුළුවන් වුණේය. ඉන්දියන් ආක්‍රමණ ගැන කීවාට ජනතාව අනුරලා දෙසට හැරුණේ නැත. වෙනස් වෙන්න සිදුවුණේ අනුරලාට ය. ටී පනස් හය අතහැර බැලට් එක අතට ගත්තාට, 1994 සිට 2024 වෙනකම්ම ජනතාව අනුර ලා විශ්වාස කළේ නැත. ජනතාවට විශ්වාසය ඇතිකර දෙන්න අනුරලා ට ජවිපෙ අතහැර “මාලිමාවක්” හදා ගන්නට සිදුවිය. වාමාංශික, සමාජවාදී, මාක්ස්වාදී දේශපාලන සංකල්ප අටුවට දමා අනුරලා නව ලිබරල් ධනවාදය වැලඳ ගත්තේය. අනුර ගේ මංගල අයවැයට ආචාර්ය හර්ෂ ද සිල්වාත්, හිටපු මුදල් ඇමති රවි කරුණානායකත් සුබ පැතුවේ ඒ නිසාය. අද අනුර ජේ.ආර්. හදා දුන් ක්‍රමය ආරක්ෂා කරන්නේ රවිලා ටත් රනිල්ලා ටත් වඩා හොඳට ය. 


අනුර යන මග වැරදි නැත. අනුරගේ මංගල අයවැය 1970 මැතිනිය ගේ සමගි පෙරමුණු අයවැය මෙන් ජනතාවගේ බත්පත නීතියෙන්ම තහනම් කළ, යට ඇඳුමත් පෙනෙන පරිදි අමුරෙදි පමණක් අඳින්නට සිදුවූ “‘සමාජවාදී”  අයවැයක් වේ දැයි භය බිරන්තට්ටුව සිටි ජනතාවට හුස්ම ටිකක් වැටුණේ, අනුර ඒ මග නොගිය නිසාය. රට හැදීම කෙසේ වෙතත් කන්න ටිකත් නැතිවේ දැයි දැන් බියවන්නට හේතුවක් නැත . නන්නත්තාර සමාජවාදයට අනුර මේ රට ගෙන ගියේ නැත. 
ජනතාව ආණ්ඩුවක සමත් අසමත්භාවය මනින නිර්ණායක කිහිපයක් තිබේ. බඩුමිල අඩුවීම, බඩු සුලභවීම, අපරාධ අඩුවීම, විදුලිය පැය විසිහතරේම ස්ථාවරව ලැබීම ඒ හේතු අතරින් කිහිපයකි. ඒවා ආණ්ඩුවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සමත් අසමත් නිර්ණායකවලට වෙනස් විය හැකිය. එහෙත් අඩුමිලට බඩුමුට්ටු ගත නොහැකි නම් ජනතාව කියන්නේ ඒ ආණ්ඩුව වැඩක් නෑ කියාය. මුදල් තිබුණත් බඩු නොමැති නම් ජනතා අරුතින් ඒ ආණ්ඩුවද ෆේල්ය. ගෝඨාභයට සිදුවුණේ ඒකය. ජනතාව අත මුදල් තිබිණ. එහෙත් පිරවුම්හල්වල ඉන්ධන නැත. මෙවර ද ජනතාව අත මුදල් ඇත. එහෙත් පොල් නැත. සහල් නැත. ජනතාව ජාතික ආරක්ෂාව දෙස බලන්නේ මහින්ද රාජපක්ෂ එල්ටීටීඊය පරාජය කළ තැන සිටය. ටොන් ගණනක් පම්පෝරි ගසා බලයට ආ යහපාලන රජයට ඉතා ඉක්මනින් ගෙදර යන්න සිදුවුණේ යළිත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූ නිසාය. මේ ආණ්ඩුව යටතේ ද බහුතරයක් ජනතාව සිටින්නේ ජාතික ආරක්ෂාව ගැන නොසතුටිනි. පාතාලය දිගට හරහට ගිනි බිඳින්නට පටන් ගැනීම එයට හේතුවය. ඇමැතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වාම ආණ්ඩුවේ බලවතුන්ට ජාතික ආරක්ෂාවට හානියක් වී නැතැයි කියන්නට සිදුවී තිබෙන්නේ ඒ නිසාය. ඒ අරුතින් ගත් විටද ආණ්ඩුව අසමත් බවම ජනතාව තුළ ඇති මතය ආණ්ඩුවේ පැවැත්මට අතිශය අවාසිදායකය. 
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරටට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, විධායක ජනාධිපති ක්‍රමයත්, මන්ත්‍රීවරුන් තෝරා ගන්නා සමානුපාතික නියෝජන ක්‍රමයත්, ඉන්පසුව පත්වූ කිසිම ආණ්ඩුවකට වෙනස් කරගත නොහැකි විය. 1983 දී පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීම වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් පිටතට තල්ලු‍කර දැමූ රෝහණ විජේවීර ගේ පක්ෂය ජේ. ආර්. කිසිදා නොසිතූ ලෙස අද රටේ පාලන බලය හොබවයි. ජේ. ආර්. මහත් අභිරුචියෙන් භාවිත කළ විධායක බලතල අද පවතින්නේ එදා විජේවීර වනාන්තරයක සැඟවී ආරම්භ කළ සන්නද්ධ අරගලයේ අනුරාධපුර - කුරුණෑගල මායිමේ ප්‍රාදේශීය නායකයකු වූ අනුර කුමාර දිසානායක අතය. ජේ. ආර්. මහත් ආඩම්බරයකින් තබාගෙන සිටි පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලතලවලටත් වඩා වැඩි බලයක් ජනතා විමුක්ති  පෙරමුණු රජයට අද හිමිය. එහෙත් ඒ බලය ඵලදායී ලෙස රට වෙනුවෙන් පාවිච්චි කෙරෙනවාදැයි සහතිකයක් ජනාධිපතිවරයා ගේත් ඔහුගේ ඇමැති මණ්ඩලයේත් කතාවලින් ලැබෙන්නේ නැත. 2015 දී යහපාලන රජයේ ජනාධිපති වූ මෛත්‍රීපාල  සිරිසේනගේ වගාඩම්බර කතා අභිභවා යන කතා වත්මන් රජයේ ප්‍රධානීන්ගෙනුත් අසන්නට ලැබුණද ජේ. ආර්. කැපූ පාරේම අඩිය තබනවා විනා ඉන් බාහිර මාවතක් කපන බවක් පෙනෙන තෙක් මානයක නැත. 


ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගොඩනැගූ තර්කය මෙහිදී වඩාත් වැදගත් වෙයි. දේශීය පාලක ප්‍රභූ පංතිය ඇදවැටී පොදු ජනයා අතරින් බිහිවූ නවක පාලක පංතියක් අත බලය රැඳී ඇති මේ මොහොතේ එය හොඳින් අධ්‍යයනය කළ යුතු බව මහාචාර්යවරයාගේ තර්කය වේ. 
ශ්‍රීලනිපයෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති පළමු වතාවට බාහිර කණ්ඩායමක් අතට ගිය පළමු අවස්ථාව මෙයයි. 
වර්තමාන රජය සැකසී ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳි මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාල ආදියේ ඉගෙන ගත් නිර්ප්‍රභූ මහජන නියෝජිතයන් කොට්ඨාසයකිනි. 
ප්‍රභූ දේශපාලනයේ උරුමක්කාරයන් වූ රනිල් වික්‍රමසිංහ ලා, සජිත් ප්‍රේමදාස ලා, මහින්ද රාජපක්ෂලා ගේ දේශපාලනය කඩා වැටී බණ්ඩාරනායක විසින් පිරිවෙනක සිට විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දුන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ ගොවි ජනපදයක උපන් අනුර කුමාර දිසානායක ට පාලන බලය මාරුවීම අලු‍ත්ම කියවීමක් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගේ නිර්වචනයයි. ඔහු පවසන්නේ අනුරගේ ගමන ශ්‍රීලනිප මූලධර්ම මත යන ගමනක් බවද පෙනෙන බවය.
‘“අනුරගේ ආණ්ඩුව කියනවා අපි ජාතික සම්පත් විකුණන්නේ නෑ ඒවා රකිනවා කියලා. බණ්ඩාරනායක ආණ්ඩුවකින් හදපු වී අලෙවි මණ්ඩලයට යළි පණ දෙනවා කියලා. ඒ ප්‍රතිපත්ති හොඳයි. පරණ හැමෝටම රිදිලා තියෙන්නේ. මේක වෙනස කියවීමක්. ඒ කියවීම කාටවත්ම හරියට කියවගන්න බැරිව ඉන්නේ” මහාචාර්යවරයා සඳහන් කරයි. 
රටේ පවතින නිලධාරීවාදී අණපනත් හේතුවෙන් කිසිම ආයෝජකයකු රටට පැමිණෙන්නේ නැත. රට සංවර්ධනයට ඇති එකම මාර්ගය රටවැසියා උපන්දා සිට පුරුදු පුහුණු වූ ගොවිතැනට පරිභෝජන ගොවිතැනෙන් අපනයන කෘෂිකර්මාන්තය දක්වා උසස්වීමක් ලබාදීම පමණය. ලංකාව කාර්මික මිරිඟු‍වක් පසුපස දුවමින් සිටියදී අපගේ අසල්වැසි රටවල්  ලෝක   වෙ​ෙළඳපොළට කෘෂිකාර්මික අපනයන සිදු කරමින් ඩොලර් උපයමින් සිටියි. ලෝක වෙළෙඳපොළේ ඇතිවී තිබෙන එළවළු සහ පලතුරු ඉල්ලු‍ම සඳහා විශාල වශයෙන් අපනයන සිදු කරන ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් දෙස බලන විට එම ඉඩකඩ ලංකාවට ලබාගත හැකිනම් මූල්‍ය අරමුදලේ සහාය ඉවත දැමිය හැකිය. එහෙත් රජය එවැනි වෙනසකට
සූදානම් ද? 
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වී මාස පහක් ගෙවී ගියත් - තවමත් ශ්‍රී ලංකා රාජ්‍යයේ බොහෝ ආයතනවලට ස්ථිර ප්‍රතිපත්තියක් නැත. විදේශ සේවයට තවමත් ස්ථිර ප්‍රතිපත්තියක් නැත. පසුගිය කාලයේ තානාපති සේවයට කළ පත් කිරීම් දේශපාලන පත්වීම බව පවසා ඉන් බොහෝ දෙනා ආපසු ගෙන්වා ගත් නව රජය විසින් කළ පත්වීම් ද විදේශ සේවයෙන් බැහැර පිටස්තරයන් බවට චෝදනා එල්ලවී ඇත. ආර්ථික වැඩපිළිවෙළ බදු අය කිරීම -  ඒ ඒ වෙලාවේ සිටින මුදල් ඇමැතිවරයාට අවශ්‍ය පිළිවෙළටය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිට දී ම සැකකරුවකුට වෙඩි තබා නිරුපද්‍රිතව පලායන තරමට ආරක්ෂක උපක්‍රම නිද්‍රාශීලිය. මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන සියලු‍ම දෙනාගේ හැඳුනුම්පත් අංකය ලියාගෙන එම ස්ථානයට ඇතුළු කරවන තරමේ ආරක්ෂක උපක්‍රමයක්වත් ක්‍රියාත්මකවී නැත. දශක තුනක ඊලාම් යුද ගැටුම පැවැති කාලයේ තිබූ ආරක්ෂක උපක්‍රම “ප්‍රභූවරුන්ගේ උපක්‍රම” ලෙස අර්ථ විග්‍රහ කරමින් අයාලේ යන ආරක්ෂක ක්‍රමයක් ඇති කිරීමේ ප්‍රතිඵලය රටම තිගැස්සු මෙම ප්‍රහාරයයි. රටක ප්‍රතිපත්ති සකස් විය යුත්තේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන ආකාරයෙන් නොවේ. දේශපාලන හේතු හැර අන් ප්‍රතිපත්ති කිසිදා වෙනස් නොවන ප්‍රතිපත්ති විය යුතුය. ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානම දුර්වලතාව ඒ ඒ ඇමැතිවරුන් තවමත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්තිවලට අනුගත නොවීමය. ඇමැතිවරුන් තවමත් සිටින්නේ භාවිතයෙන්ම ඉගෙන ගනිමිනි. රාජ්‍යය අයාලේ යන්නේ මේ හේතුව නිසාය. සිද්ධියක් වූ පසු එතැනට පැලැස්තර ඇලවීම විසඳුම නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව නිරතුරුවම විපක්ෂයේ සිටියදී හඬනැගූ ජාතික ජන බලවේග රජය අලු‍ත්කඩේ අධිකරණයේ ඝාතන සැකකරු රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. පැවැති ආණ්ඩු ද ඒ ක්‍රමයම භාවිත කළ විට එයට එරෙහි වූ පක්ෂයක් බලය ලැබී අත්දැකීමක් ලැබුණු පසු හෝ පැරණි ක්‍රමයේ වටිනාකම තේරුම් ගැනීම යහපත්ය. 
1977 බලයට ආ එජාප රජය මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් දුන්නේ වාහන නැති මන්ත්‍රීවරුන් ගමේ මුදලාලිලාගේ වාහනය පාවිච්චි කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා මුදලාලිලා ගේ අතකොළුවක් වී තිබූ නිසාය. එසේ රජයෙන් ලබාදුන් වාහනය වසර හයකට පසු යකඩ ගොඩක් සේ දිරාපත්වී තිබූ නිසා ඒ වෙනුවට වාහනයක්  ගෙන්වා ගැනීමට බලපත්‍රයක් දුන්නේය. වත්මන් රජය යළිත් කැරකී ගොස් ඇත්තේ ජේ. ආර්. ආරම්භ කළ තැනටය. මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබාදුන් එක් පොලිස් නිලධාරියකු ගේ ආරක්ෂාව දෙකතුන බවට පත්වූයේ ජවිපෙ කැරලි සමයේ මන්ත්‍රීවරුන් ඝාතනය කළ නිසාය. පසුව එල්ටීටීඊ ප්‍රශ්න නිසා ආරක්ෂාව තවත් ඉහළ දැමුවේය. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් අවශ්‍ය නොවූ සමයේ රටේ ජනතාව අත ගිනි අවි තිබුණේ නැත. අද වනවිට පඳුරක් ගානේ ගිනි අවිය. කුඩා දරුවන් පිරිසක් ළඟ ටී පනස් හය උණ්ඩ තිබූ පුවතක් වාර්තා වූයේද ඉකුත් සතියේ ය. ජවිපෙ කැරලි දෙක සහ උතුරේ තිස් වසරක යුද ගැටුමේ අතුරු නිෂ්පාදනයක් වූ පාතාලය හේතුවෙන් මන්ත්‍රීවරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද අද අනාරක්ෂිතය. මේ නිසා එදා තමන්ගේ වේදිකාවල විසිල් මැද දෙසූ කතා රජයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයට අයිතියක් නැත. පත්තුවන තුවක්කුවල හැටියට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩු පක්ෂ මැති  ඇමැතිවරුන්ගේ පමණක් නොව, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පවා සුරක්ෂිත යැයි පවසන්නට අපට නම් නොහැකිය. අද දේශපාලනයේත් රට පාලනයේත් සිටින පුස්සන් දෙස බැලූවිට - රටට වටිනා නායකයන් ටී පනස් හයටත් දේශපාලන කල්ලිවලටත් බිලිවූ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීම රජයේ වගකීමකි. තමන්ට ආරක්ෂාව අවශ්‍ය නැතැයි රජය කල්පනා කරනවා වන්නට පුළුවන. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීමක් රජයට තිබේ. රටේ අනාගත නායකත්වය සඳහා ඉතිරිව සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් ටික හෝ රැකගත යුතුය. 
කවර ආණ්ඩුවක් බලයට ආවත් රාජ්‍යයට හිමි ආරක්ෂක වැඩපිළිවෙළක් තිබේ. ඒ කටයුතු සිදු කරන්නේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසිනි. එම වැඩපිළිවෙළ තීන්දු කරන්නේ ආරක්ෂාව පිළිබඳ පළපුරුදු වෘත්තිකයන්ගේ වන එම මුලාදෑනින් විසිනි. ආණ්ඩුවක් වෙනස්වූ පළියට එම ප්‍රතිපත්තිය වෙනස්  කිරීම රාජ්‍යය පවත්වාගෙන යාමට බරපතළ ගැටලු ඇති කරයි. ගණේමුල්ලේ සංජීව ඝාතනය වූදා එවැනි ආධුනික බවක් රටටම ප්‍රදර්ශනය විය. එක් අවස්ථාවක් වන්නේ නියෝජ්‍ය ඇමැති නීතිඥ වටගලට තම නිල රිය සොයා ගැනීමට ජංගම දුරකථනය කනේ ගසාගෙන සිටීමට සිදුවූ හාස්‍යජනක අවස්ථාවය. පොලිසිය භාරවන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා වන ඔහුට රට හෙල්ලූ මිනී මැරුමක් සිදුවූ අධිකරණ සංකීර්ණය තුළදී “හබං සීයා කොළඹ ගොස් ආපසු ඒමට ත්‍රිරෝද රියක් සොයන අයුරින්” ජංගම දුරකථනයෙන් තම නිල රිය සෙවීමට සිදුවීමම පළමුව මතු කරන්නේ හාස්‍යයක් වුවත් - ඉන් දෙවනුව මතු කරන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යයට තම නියෝජ්‍ය ඇමැතිවරයකු ආරක්ෂා කිරීමට අපහසු වී ඇති ආකාරය ය. 


ඇමැතිවරයකුට නියෝජ්‍ය ඇමැතිවරයකුට පමණක් නොව ඉහළ පෙළේ අමාත්‍යාංශ ලේකම්වරයකුට පවා හිමි නිශ්චිත ආරක්ෂක වැඩ පිළිවෙලක් තිබේ. ඇමැතිවරයා එම අවස්ථාවේ අධිකරණ සංකීර්ණයට ගියේ නඩු නැතුව වේළි වේළි සිටි සුනිල් වටගොඩ හැටියට නොවේ. ඔහු ඒ මොහොතේ නියෝජනය කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව භාර දෙවැනි ඉහළම තනතුරය. එහිදී වටගල ඇමැතිවරයා ආපසු එනතුරු නිල රිය සහ ඔහුගේ ආරක්ෂකයන් රථය නවතා පිටත්වීම සඳහා සූදානමින් සිටිය යුතුය. වසර පහක නිල කාලය ගෙවී යනතුරු ශ්‍රී ලංකා රාජ්‍යය ආණ්ඩුවේ ප්‍රධානීන්ට සැලකිය යුත්තේ ඒ අන්දමිනි. ඇමැති ආරක්ෂකයන් හා රජයේ ආරක්ෂක අංශ රියැදුරන් ඇමැතිවරුන්ට ලබාදෙන්නේ මෙවැනි ස්ථානයකදී සාමාන්‍ය පුරවැසියකුට වඩා ඉක්මනින් රාජකාරිය කර නික්ම යාමට සහ අදාළ වගකිවයුතු ප්‍රභූවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි. ඡන්ද වේදිකාවේ දී කළ  බොළඳ තර්ක රට පාලනයට පත්වූ පසු බැහැර කළ යුතු වුවත්, ඇමැතිවරයකු වූ පසුත් සාමාන්‍ය ත්‍රිරෝද රථ රියැදුරන් සේ ඇමැති වාහනයේ රියැදුරා සහ වාහනය උසාවි භූමියෙන් ඉවත් කර තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍යයට ජවිපෙ මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් තවමත් ආගන්තුක නිසාය. එම භූමියට ආ අධිකරණ ඇමැතිවරයා පරීක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කළේත්, ඇමැතිවරයකුට හිමි නිල බල පරිවාර සම්පත පාවිච්චි කරන ආකාරය තවමත් මාලිමා ජවිපෙ ආණ්ඩුවේ ප්‍රධානීන් තේරුම් ගෙන නැති නිසාය. 
හුදකලා පුද්ගලයන් ලෙස නොව අදාළ ආරක්ෂක මුලාදෑනින් සමග  ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැති ඇමැතිවරන්ට හිමි ‘බලය සමග රාජකාරී ස්ථානවලට ඇතුළුවීම එම තනතුරු නඩත්තු කිරීම සඳහා රජයෙන්ම පනවා ඇති වරප්‍රසාදය. ජවිපෙ මාලිමා දේශපාලන වේදිකාවලදී කීකරු ඡන්දදායකයන් පිනවීම සඳහා ඔල්වරසන් මැද දෙඩු ප්‍රලාපවලට වඩා ශ්‍රී ලංකා රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා තමන් අනුගත වියයුතු බව ඇමැතිවරුන් තේරුම් ගත යුතුය. ඒ අන් කිසිවක්  නිසා නොව ඔවුන් රට කරවන නායකයන් නිසාය. ඔවුන්ට අනතුරක් වුවහොත් අවමානය මුළු රටටම මිස ජවිපෙට පමණක් සීමා නොවන නිසාය. 
ප්‍රේමකීර්ති රණතුංග

 



අදහස් (0)

මාලිමා ආණ්ඩුවත් අසමත්ද?

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 910 5

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 685 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2351 43

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1760 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 2021 15

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 1579 21

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 346 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site