IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


මැති ඇමැතිවරු අසතුටෙන් ද?

ආණ්ඩුවේ ගමන් මග වෙනස් වෙමින් තිබේ ද? ඉකුත් සතියේ ඇතැම් සිදුවීම් සමග එවැනි ප්‍රශ්නයක් ඉස්මතු විය. 

රනිල් වික්‍රමසිංහ රජයේ ද මුදල් අමාත්‍යාංශ ලේකම් වූ මහින්ද සිරිවර්ධන එම තනතුරින් ඉවත්ව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව භාර ලේකම්වරයා ලෙස ලබන මාසයේ පත්වී යන බවට වූ ප්‍රවෘත්තිය ඉන් එකකි. දෙවැන්න පසුගිය කාලයේත් නිරතුරුවම කතාබහට ලක්වූ පරිදි ආණ්ඩුව තුළ ජාතික ජන බලවේග කණ්ඩායම මුළු ගැන්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වීමය. එය වඩාත් තහවුරු වන්නේ අවලංගු කළ පළාත් පාලන නාම යෝජනා ලැයිස්තුවල සිටි ජාතික ජන බලවේග අපේක්ෂකයන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා දී තිබීම නිසාය. 

ජනතා විමුක්ති පෙරමුණ යනු කිසිදු දවසක ජනතා ඡන්දයෙන් බලයට පත් වූ පක්ෂයක් නොවේ. සියයට තුනක හෝ පහක ඡන්ද දායක පදනමක් තිබූ එම පක්ෂයට මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි නිසාම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දර්ශනය අනුව ජාතික ජන බලවේගය නමැති අලුත් සංවිධානයක් පිහිටුවිණි. කිසිදා ජවිපෙ සාමාජිකයන් නොවූ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය වැනි ස්වාධීන වෘත්තිකයන් ඉදිරිපෙළට ගනිමින් ජාතික ජන බලවේගය මාලිමාව යටතේ සංවිධානය වූයේ තමන් ජවිපෙන් වෙනස් වූ පොදු සංවිධානයක් බව රටට පෙන්වමිනි. එජාපය, සජබය සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර කුළල් කාගැනීම් නිසා දේශපාලනය අප්‍රසන්න වී සිටි එම පක්ෂවල ඡන්ද දායකයන් තමා වෙතට ඇද ගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් විය. ඉන් ප්‍රකාශිත චිත්‍රය වන්නේ ජවිපෙට කිසිදා ඡන්දය නොදෙන ජනතාව ස්වාධීන පක්ෂයක් බව පෙන්නුම් කළ තම නව පක්ෂයට ඇදගැනීමේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපක්‍රමය සාර්ථක බවය. 1994න් පසු ජවිපෙ නඟා සිටුවීම සඳහා විමල් වීරවංශගේ කථිකත්වය  ප්‍රධාන සාධකය වූ ලෙසම මෙවර රාජ්‍ය බලය ලබාගැනීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතාගේ කථිකත්වය ප්‍රධාන සාධකය බවට පත්විය. ඔහු ජවිපෙ මාලිමාව තුළ සඟවා ජනතාවට ඉදිරිපත් කළ ඇස්බැන්ඳුම සාම්ප්‍රදායිකව වසර පහකට වරක් කිසියම් වූ හෝ පක්ෂයකට රැවටෙන ඡන්ද දායකයන් බා ගන්නා කොටසක් බවට සාර්ථකව පත්විය. ස්වාධීන චරිතයක් වූ ආචාර්ය හරිනි අමරසූරිය අගමැති කරමින් ජනතාවගේ ඊළඟ ඡන්ද කඩඉම වූ මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ද ජනාධිපතිවරයා සමත් විය. ඇය ජවිපෙ නොවන නිසාම එමෙන්ම ජවිපෙයක් මහා මැතිවරණයේ දී ඉදිරියට නොගත් නිසාම ජනතාව ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු බලය ද ලබාදුන්හ. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ මෙතෙක් ආණ්ඩු කළ පක්ෂවලට හිතවත් ලක්ෂ 53ක ජනතාවක් මෙවර කිසිම පක්ෂයකට ඡන්දය පාවිච්චි නොකළ තත්ත්වයයි. එම පිරිස ඡන්දපොළට ගියේ නම් ජාතික ජනබලවේගයට ආසන 159ක විශාල බලය ලැබෙන්නේ නැත. එමෙන්ම ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ලැබුණේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හතළිස් තුනක් බවද සැලකිය යුතුය. සෙසු අපේක්ෂකයන් දෙදෙනා එක්ව තරග කළේ නම් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු හෝ ජයග්‍රහණය කිරීමට ඉඩ තිබුණේය. කෙසේ හෝ ජනාධිපතිවරයා නිර්මාණය කළ ජාතික ජනබලවේගය පක්ෂය රාජ්‍ය බලය උරුම කර ගත්තේය. 

එහෙත් මෙරට දේශපාලනයේ සැමදාම සිදුවන ආකාරයට බලය ලබාගත් කණ්ඩායම වෙනුවට පසෙක සිටි වෙනත් කණ්ඩායමක් මෙම රජයද පාලනය කරන ආකාරයක් ඉන්පසුව දැකගත හැකිවිය. ඒ අන් කිසිවකුත් නොව සැමදාම ජවිපෙ සැබෑ නායකයන් වූ සැඟවුණු කණ්ඩායමයි. මෙම කණ්ඩායම සමහරුන් හඳුන්වන්නේ බොල්ෂෙවික් පිල යනුවෙන්. එතෙක් පසෙකට වී සිටි ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා නව රජය පාලනය කරන ප්‍රධානියා බවට පත්විය. මේ වනවිට රටේ සැබෑ බලය ඇත්තේ ජාතික ජනබලවේගයට නොව ජනතා විමුක්ති පෙරමුණ සතුවය. එහෙත් ජනතාව එවැනි පක්ෂයකට බලය දුන්නේ නැත. 

ඉහළ වැටුපක් ඇති වෘත්තිකයන්ට ලැබෙන මන්ත්‍රී වැටුප ජාතික ජනබලවේයේ මන්ත්‍රීවරුන් අතට ලැබෙන්නේ නැත. එම වැටුප සහ දීමනා අඩංගු සම්පූර්ණ දීමනාවම මුලින් බැරවන්නේ ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් හසුරුවන ගිණුමකටය. 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණය නොපැවැත්වීම නිසා අවලංගු කළ පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබාදී තිබූ ජාතික ජන බලවේග අපේක්ෂකයන් ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් ඉදිරිපත්වීම ආණ්ඩුව තුළ ජවිපෙ බලය ස්ථාවර කර ගැනීමේ පියවරකි. මෙම පළාත් පාලන මැතිවරණය කලින් මැතිවරණ දෙකට වඩා ඡන්ද අඩුවෙන් ලැබෙන මුත් සභා අති බහුතරයක බලය පිහිටුවීමේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලැබීම කිසිවකුටවත්  නතර කළ නොහැකිය. ඒ අනුව පළාත් පාලන ආයතනවලට තේරී පත්වන්නේ ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් නොව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකි. මේ යටතේ සමස්ත මන්ත්‍රීවරුන් අටදහසෙන් පන්දහසකට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් මුළු රටෙන්ම ජනතා විමුක්ති පෙරමුණට හිමිවේ. 

මෙම ජවිපෙ බලය තහවුරු කර ගැනීම සරල හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් රාජපක්ෂ පවුල බලවත් වී ගෝඨාභය රාජපක්ෂගේ ජනබලය දූෂණය වූවා සේම අනුර දිසානායක ජනාධිතිවරයාට හිමිවී තිබූ මධ්‍යස්ථ ජනතාවගේ ජනබලය දූෂණය වීම ජවිපෙ ඉස්මතු වීමෙන් සිදුවෙයි. එහි ඛේදනීය ප්‍රතිඵලය වන්නේ ජනාධිපතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගැනීමට අවකාශ නොලැබී ඔහුට ජනතා විමුක්ති පෙරමුණ මත යැපීමට සිදුවීමය. එයින් ජනාධිපතිවරයා සියලු පක්ෂ සමග වගා කරගෙන ඇති ඔහුගේ ආකර්ෂනීය පෞද්ගලික ප්‍රතිරූපයට සැලකිය යුතු හානියක් සිදුවී පිටස්තර පක්ෂවලින් ඔහු වෙත ආ ඡන්ද දායකයන් විශාල වශයෙන් ඔහුගෙන් ඉවත්වී යාම  අනාගතයේ සිදුවේ. යම් හෙයකින් දැනට දේශපාලන අංශ අතර කතාබහට ලක්ව ඇති හරිනි අමරසූරිය මෙණවිය අගමැති තනතුරෙන් ඉවත් කර ජවිපෙ නායකයකු අගමැති කරන වෑයම ඉටු වුවහොත් මෛත්‍රී ජනපතිවී රනිල් එක්වරම අගමැති බවට දිවුරුම් දුන් ‘ඇස්බැන්දුමම’ යළිත් සිදුවී මෙම ආණ්ඩුවේ ‘ස්වාධීන’ පිරුවටය ගැලවී ආණ්ඩුව නිරුවත්වීම දැකගත හැකිය. 

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකු තනතුරට පත්වීයාම ඒ මහතාට ලැබෙන උසස්වීමක් වන මුත් එමගින් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එලැඹි එකඟතා අනුවම වත්මන් ආණ්ඩුව ද රට පාලනය කරන බවට පෙන්නුම් කරන ප්‍රධාන නිර්මාණයකය ඉවත් වීමය. ඉන් පසුව පත්වන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා  මූල්‍ය අරමුදලේ එකඟතා කඩකරන ලේකම්වරයකු වේ ද? නැනහොත් ජවිපෙට අදාළ වාමාංශික ආර්ථික උපක්‍රම ක්‍රියාත්මක කරන ලේකම්වරයකු වේ ද යන්න ප්‍රශ්නකාරීය. ජවිපෙ පැරණි පැවතුම් නිසා ඔවුන් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි ජනතාව හිත හදා ගත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන එම තනතුරේ සිටීම නිසා වාමාංශික ආර්ථික අත්හදා බැලීමේ කටයුතුවලට වත්මන් රජය නොපෙලඹේය යන විශ්වාසයෙනි. ඔහුගේ ඉවත්වීම සිදුවුවහොත් රටේ ආර්ථික ඉදිරි ගමන ගැන අස්ථාවර්වයක් ඇතිවීම කිසිවකුටවත් වැළැක්විය නොහැක්කේය. ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙ සාමාජිකයන් ඩැහැ ගැනීමට උත්සාහ කිරීම රජයට මතුව ඇති තවත් ප්‍රශ්නයකි. 

වර්තමානයේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව දූවිලි පිසදමා එළියට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය වත්මන් රජය බලයට පත්වෙද්දීම සිහිපත් කළ අතුරුදන් වූවන් සහ ඝාතන සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි යන සටන් පාඨය දිනෙන් දිනම ඉස්මතු වෙමින් පවතින නිසාය. වත්මන් රජය බලයට පත්වුවත් ජවිපෙ සාමාජිකයාට සාධාරණයක් ඉටුවී නැති බවට පෙරටුගාමීන් ගෙනයන මතය මෙම මැතිවරණ කාල සීමාවේ රජයට හානි කරන නිසා තම පහළ මට්ටමේ යාන්ත්‍රණය සතුටට පත් කිරීම සඳහා අතට හසුවූ කුමක් හෝ කොමිෂන් සභා වාර්තාවක් එළියට දමන්නට රජයට සිදුවිය. අනෙක් කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබීම නිසා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකිය. බටලන්ද වාර්තාව චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තමා ළඟ තබාගත් හෙයින් වත්මන් රජය එම වාර්තාව සභාගත කරන්නට තීරණය කළේය. බටලන්ද වාර්තාව යළිත් මතු වූයේ ඒ ආකාරයෙනි. මෙම වාර්තාව සභාගත කරමින් යළි සමාජ මතයක් සකස් කිරීමේ අරමුණ නම් පෙරටුගාමීන් සතුටු කිරීම මිස අන් යමක් නොවේ. 

පිටතට නෙපෙනුණාට  ආණ්ඩුව ඇතුළේ නොසන්සුන්තා ගණනාවක් ඇතිවෙමින් තිබේ. මේවා තවම ගිනි ගොඩවල් නොව ගිනි පුලිඟුය. ඉන් පළමුවැන්න ඉහළ වැටුපක් ඇති වෘත්තිකයන් ලැබෙන මන්ත්‍රී වැටුප ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතට ලැබෙන්නේ නැත. එම වැටුප සහ දීමනා අඩංගු සම්පූර්ණ දීමනාවම මුලින් බැරවන්නේ ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් හසුරුවන ගිණුමකටය. ඉන්පසුව එයින් රුපියල් අසූපන්දාහක් මන්ත්‍රීවරයා අතට පත්වෙයි. මන්ත්‍රී ඇමැති සියලු දෙනාගේම වැටුප් හිමිවන්නේ ඒ ආකාරයටය. වැටුපෙන් එකතු වන ඉතිරි මුදලින් පක්ෂ අරමුදල තරවෙයි. 

මෙම මුදල පසුගිය කාලයේ වැලේ වැල් නැතිව හන්දි හන්දි ගානේ උද්ඝෝෂණ මෙහෙයවමින් සිටි ජවිපෙ සාමාජිකයාට මන්ත්‍රීවරම් ලැබුණු පසු ජීවත්වීමට ප්‍රමාණවත් විය හැකි මුත් රෝහල්වල ආචාර්ය මහාචාර්යවරුන් ලෙස ලක්ෂ හතරක පහක වැටුප ගත් වෘත්තිකයන්ට කිසි ලෙසකින් හෝ ප්‍රයෝජනවත් නොවන්නේය. වත්මන් රජයේ ඉහළ තනතුරක් දරන වෘත්තිකයෙකුට හිමි වූ තනතුර වෙනුවෙන් සුබ පැතීම සඳහා වෘත්තිකයන් ඉකුත් දිනක පැවැත් වූ ප්‍රිය සම්භාෂණයක දී ද එම තත්ත්වය එළියට ආවේය. මිතුරන් සුබ පතද්දී ඔහු පැවසුවේ ‘මට ඉස්සර ඩොක්ටගෙ පඩියක් ලැබුණා. මං ප්‍රයිවට් ප්‍රැක්ටිසුත් කළා. මාසෙකට ලක්ෂ හතක් විතර මම හෙව්වා. ඒකාලෙ මම දරුවන්ට කන්න දුන්නේ තෝර මාළුයි බතුයි. අද මගේ පඩිය අසූදාහකට විතර සීමාවෙලා. මගේ පඩියෙන් කොටසයි මට ලැබෙන්නේ. අද මම දරුවන්ට රෑට කන්න දෙන්නෙ හුරුල්ලෝ මාළුයි බතුයි. මම මගේ මිත්‍රයන්ට කියන්නේ කිසි දවසක හිතන්න එපා ජේවීපී එකේ මන්ත්‍රී කෙනෙක් වෙන්න නම්. එම මන්ත්‍රීවරයා තම සගයන්ට කියා සිටියේය. 

අප මේ ජීවත් වන්නේ බඩ නිසා ආණ්ඩු පෙරළුණු රටක බව ආණ්ඩුවේ නායකයන්ට නොතේරේ නම් එය පුදුමයට කරුණකි. හාල් සේරු දෙක නොමිලේ දීම අත්හිට වූ නිසා අගමැති ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වෙන්න සිදුවුණා සේම 1970-77 සමයේ හාල් පෝලිම් නිසා බණ්ඩාරනායක මැතිනියට ඉන් පසු කිසිම දවසක බලයට ඒමට බැරි වූ බව ද ආණ්ඩුවේ නායකයන් සිහිපත් කර ගැනීම ඉතා වටින්නේය. මන්ද යත් සාමාන්‍ය රටවැසියාට සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ද ඔබත් ගෙදර දොර ජීවන වියදමත් එක ලෙස දැනෙන නිසාය. ඡන්ද ලබාගැනීම සඳහා වැටුප් නොගෙන සේවය කරන මන්ත්‍රීවරුන් බිහි කරන බව රටට පැවසුව ද ඔවුන්ට ද ගෙදර දොර ප්‍රශ්න ඇති බවත් අඹු දරුවන් ජීවත් කරවිය යුතු බවත් පාලකයන් තේරුම් ගත යුතුය. එසේ නොවන්නේ නම් තමන්ට වැඩි වාසි ලැබෙන දේශපාලන පක්ෂ වෙත හැරෙන්නට මන්ත්‍රීවරුන්ට සිදුවනු නිසැකය. මාලිමාවෙන් බලයට පත්වූ පමණින් මැති ඇමැතිවරුන්ගේ ජීවන බර සමනය වන්නේ නැත. මාලිමාව රටේ පාලනය බලය ලබාගත් පමණින්ම රට සංවර්ධනය වී සුඛිත මුදිත වන්නේ ද නැත. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පක්ෂය තුළින්ම දෝෂාභියෝගයක් එල්ල වූයේ මන්ත්‍රීවරයාගේ ද වැටුප් කප්පාදු කරමින් ජනාධිපතිවරයා හැම දෙයටම ඇඟිලි ගැසූ නිසාය. මහින්ද රාජපක්ෂ  ජනාධිපතිවරයාට එරෙහිව ෆවුසි ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරන් එරෙහිවී පිල් මාරු කළේ තමන්ගේ බලය අඩුකර ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරු ලබාදී අලුත් පිරිසකට ඇමැති තනතුරු දුන් නිසාය. ඇහැලේපොල මහ නිලමේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහි වූ පළමු හේතුව වූයේ තමන් සබරගමුවේ සිට ඉහළ වරප්‍රසාද භුක්ති විඳින බවට ගතු කේලාම් කී නිලමේවරුන් පිළිගෙන රජු ඇහැලේපොල ගැන සැක පහළ කළ නිසාය. ‘බලය දූෂණය ​වේ’ යන පිරුල සේම බලය රැකගැනීම සඳහා පාර්ලිමේන්තු සගයන්ගේ හොඳ  හිත   රැකගැනීම ද අවශ්‍ය බව ආණ්ඩුවේ ඉහළම බලධාරීන් තේරුම් ගත යුතුය. අල්ලසට හා කොමිස් ගැනීමට මැති ඇමැතිවරුන් හුරුවන්නේ තමාගේ පසුම්බිය පිරී නොමැති විටය. ජේ.ආර්. මේ ටික තේරුම් ගත් නිසා රට තුළින් මොන ප්‍රශ්න මතු වුවත් තම සගයන්ගේ පක්ෂපාතීත්වය සැමදාම තබාගැනීමට ජේ.ආර්. ට පුළුවන් විය. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තවමත් මූල්‍යමය වශයෙන් දූෂණය වී නොමැති නිසා එවැනි ආණ්ඩුවක් ඇද වැටීම රටට ද හානියකි. ඒ බව තේරුම් ගැනීම පාලකයන්ගේ වගකීමය. 

ප්‍රේමකීර්ති රණතුංග



අදහස් (0)

මැති ඇමැතිවරු අසතුටෙන් ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1755 30

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3376 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1512 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4582 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1332 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1230 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 656 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 557 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1018 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site