IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


මෙන්න මට එරෙහිව කුමන්ත්‍රණ කළ අයුරු - හිටපු ජනපති ගෝඨාභය හෙළි කරයි

 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කෘතියෙහි මෙම උපුටනය, එකල පැවැති දේශපාලන පරිසරය හඳුනා ගැනීම පිණිසය.
 
 කඩාකප්පල්කාරී ක්‍රියා තුළින් රට 
 අස්ථාවර කිරීම 
 
මා බලයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තයක් ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණි. කලින් පරිච්ඡේදයක පෙන්වා දුන් පරිදි මා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල මහත් කනස්සල්ලට හේතු වී තිබුණි. මෙය 2015 ජනවාරියේ විවිධ විදේශීය පාර්ශ්වල මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණු කාලයේ සිට පැවත එන තත්ත්වයකි. 2009 කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ කාලයේ සිටම අපේ රටේ දේශපාලනයට විදේශීය පාර්ශ්වවල මැදිහත් වීම් උත්සන්න විය. ඇතැම් විදේශීය බලවතුන් එල්ටීටීඊ සංවිධානයේ පරාජය වැළැක්වීමට උත්සාහ කළත් අපි ඒ යුද්ධය අවසන් කළෙමු. 2006 න් පසු ශ්‍රී ලංකාව තුළ චීන ණය පහසුකම් මත ඉදි කෙරෙන යටිතල ව්‍යාපෘති සංඛ්‍යාව වැඩිවීම නිසා මෙම මැදිහත්වීම්වලට ගෝලීය බලවතුන්ගේ භූ දේශපාලනික ප්‍රතිවිරෝධතා නමැති සාධකය ද ඇතුළත් වී තිබුණි.
 
මහා බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි ඇතැම් රටවල මැතිවරණවලදී ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණික ඡන්ද බොහෝ විට තීරණාත්මක වැදගත්කමක් දරන නිසා එම රටවල දේශපාලන පක්ෂ දෙමළ ඩයස්පෝරාව තමන්ගේ පැත්තට නම්මා ගැනීමට මහත් තරගයක නියැළී සිටින බව කවුරුත් දන්නා කරුණකි. එවැනි තදබල අභ්‍යන්තර දේශපාලනික අවශ්‍යතා නොමැති වූවත්, තවත් ඇතැම් සංවර්ධිත රටවල් ශ්‍රී ලංකාවේ කටයුතුවලට අත පෙවීමට නැඹුරු වන්නේ බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි ඔවුන්ගේ සහෝදර රටවලට උපකාර කිරීමේ අවශ්‍යතාව හා තම භූ දේශපාලනික කඳවුර සමඟ එකට සිටගැනීමේ අවශ්‍යතාව නිසාය. 
 
2005 නොවැම්බරයේ මහින්ද රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසු ජයග්‍රහණය කළ නොහැකි යැයි සලකන ලද යුද්ධයක් ජයග්‍රහණය කළා පමණක් නොව, 2005 අග දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2014 අග දී ඇමෙරිකානු ඩොලර් 3,819 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වූ නව වසරක අඛණ්ඩ ආර්ථික උත්පාතයකට ද  අපි නායකත්වය දුන්නෙමු. රාජපක්ෂ ආණ්ඩුවේ ස්වාධීනත්වය සහ සාර්ථකත්වය ඇතැම් බාහිර බලවේගවලට දරා ගැනීමට අසීරු විය. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු සාම ප්‍රයත්නය හා ඒ කාලයේ සිදු වූ ජාත්‍යන්තර මැදිහත්වීම් අසාර්ථක වීමට හේතු දක්වමින්, 2011 දී නෝර්වීජියානු ආණ්ඩුව “පෝන්ස් ඔෆ් පීස්” නමින් පළ කළ වාර්තාවේ සඳහන් කර තිබූ එක් කරුණක් වූයේ, යුද සමයේ දී පවා අඛණ්ඩ ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම නිසා රාජ්‍යයේ ද්‍රව්‍යමය පදනම ශක්තිමත් වී යුද්ධය අවසන් කිරීම සඳහා මිලිටරි වියදම් වැඩි කිරීමට ලංකාවට හැකි වූ බවයි.
 
බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් විදේශීය බලවතුන් විසින් ශ්‍රී ලංකාව තුළට කරනු ලබන අතපෙවීම් ඉහළ මට්ටමක පැවතිණි. විදෙස් මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් රට තුළ ක්‍රියාත්මක වූ අතර ඒ සංවිධාන සියල්ල විවිධ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන් ප්‍රවර්ධනය කරමින් සිටියහ. යුද්ධය අවසන් වන විට, මාක්ස්වාදී හෝ වාමාංශික සංවිධාන ලෙස ආරම්භ වූ ඇතැම් වෘත්තීය සමිති පවා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන්නන් බවට පත් වී තිබුණි.
 
ජාත්‍යන්තර බලවතුන්ට ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇති බලය ඉන් පෙන්නුම් කරයි. ඔවුන්ට මිල දී ගත නොහැකි කිසිවෙක් නැති තරම්ය. බටහිර රටවල්, ඔවුන්ට ඇති මේ බලය ඉලක්කගත රටවල අභ්‍යන්තර දේශපාලනය හැසිරවීම සඳහා යොදා ගන්නා බව අදාළ බටහිර රටවල සිදු කෙරුණු අභ්‍යන්තර විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දැන් මහජනතාවට විවෘතව ඇති රහසිගත නිල ලියැවිලිවලින් පැහැදිලි වේ.
 
දෙවැනි ලෝක සංග්‍රාමය අවසන්වීමෙන් පසු ගත වූ දශක හත තිස්සේ විවිධ රටවල සිදු කළ රහසිගත මෙහෙයුම් තුළින් මෙවැනි කඩාකප්පල් කිරීම් සහ මෙහෙයවීම් පිළිබඳ විශාල දැනුමක් හා නිපුණත්වයක් නව යටත් විජිතවාදී බලවතුන් ලබා ඇත. ඉලක්කගත රටක් තුළ ඔවුන්ට කෙටි දැනුම්දීමකින් මහජන මතය මෙහෙයවීම සඳහා විචාරකයන්, කථිකයන්, ලේඛකයන් දුසිම් ගණනක් යෙදවිය හැකිය. ජාත්‍යන්තර බලවතුන් මෙරට තම න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාකාරීන් පිරිසක් නඩත්තු කරන බව ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්පනාපිටම පෙනෙන්නට තිබෙන සත්‍යයකි.
 
බාහිර බලවතුන්ට මෙරට තුළ පුද්ගලයන් මිල දී ගැනීම ඉතා පහසු බව කවුරුත් දන්නා කරුණකි. මුදල් යනු මිල දී ගැනීමේ එක් මාර්ගයක් පමණි. ස්ථිර පදිංචි වීසා ලබාදීම, වැදගත් පුද්ගලයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ‘පර්‌යේෂණ’ ප්‍රදාන හෝ කෙටි විදේශ සංචාරයක් ලබාදීමෙන් වුවත් ඇතැම් පුද්ගලයන් තම රටටත් ජාතියටත් එරෙහිව ක්‍රියා කිරීමට පෙලඹවීමට ප්‍රමාණවත්ය. ලෝකයේ කිසිම ජාතියක හෝ සංස්කෘතියක කිසිදු ජනගහනයක් එවැනි අල්ලස්වල බලපෑමෙන් මිදී නැති බව පසුගිය දශක හත තුළ ලෝකය පුරා සිදු වූ දේවල්වලින් පැහැදිලි වේ. මෙය ධනවත් රටවලට තම විරුද්ධවාදීන් මෙල්ල කර ගැනීමට යෙදවිය හැකි ලාභදායී ක්‍රමයකි. යම් මුදලක් වියදම් කර තමන්ට අවශ්‍ය දේ ඉලක්කගත රටේ ජනතාවගෙන් කොටසක් ලවාම කරවා ගැනීම එම උපක්‍රමයයි. මෙය ඍජු ආක්‍රමණයකට වඩා බෙහෙවින්ම ලාභදායී වන අතර ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස සිදුවන දේ සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයට කිසිදු වගකීමක් දැරීමට සිදුවන්නේ ද නැත. 
 
ජාත්‍යන්තර බලවතුන් විසින් වෙනත් රටවල දියත් කරන ලද දේශපාලන මෙහෙයුම් පිළිබඳ නිල වාර්තාවලින් හෙළිදරව් වී ඇති එක් කරුණක් වන්නේ, බොහෝ විට ඔවුන්ට ඉලක්කගත රටේ පුද්ගලයන් කණ්ඩායම් පමණක් නොව එම රටේ පරිපාලන ව්‍යුහය තුළ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානවල වගකීම් දරන පුද්ගලයන් පවා හැසිරවීමේ හැකියාව තිබුණු බවයි. මුදල් විසි කිරීමේ හැකියාවට අමතරව ලිබරල් මතවාදී සාධකය ද මෙහිදී වැදගත් වේ. ලොව පුරා තම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඊනියා ලිබරල්වාදීන් ප්‍රතිපත්ති විරහිත මතවාදීමය සටනක් දියත් කර තිබෙන ආකාරය අපි දකිමු. තමාගේ සදාචාරාත්මක නිවැරදිභාවය පිළිබඳ අදහස්වලින් අන්ධ වී සිටින ලිබරල්වාදීන් ඔවුන්ගේ අභිමතයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඕනෑම දෙයකට පෙලඹෙනු ඇත. මා ජනාධිපති ධුරයෙන් පහ කිරීමට දියත් කර ලද වීදි සටන්වලත් මේ ලක්ෂණය විද්‍යමාන විය. මේ අනුව, ශ්‍රී ලංකාව තුළ විදේශීය න්‍යාය පත්‍රයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගිකව සුදුසු මොහොතක දී මතවාදීමය උත්තරීතරභාවය පිළිබඳ අදහස්වලින් අන්ධ වූ පිරිස් යන සියලු සාධකවල විෂ සහිත සම්මිශ්‍රණයක් ඇති වූ බව කිව හැකිය.
 
 පාසල් ගුරුවරුන්ගේ වර්ජනය 
 
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා අදාළ වෘත්තීය සමිති 2021 ජූලි 12 වැනි දින වෘත්තීය සටනක් ආරම්භ කරන ලදී. එම සටනට ඔවුන් අවතීර්ණ වූයේ කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් තිබුණු උච්චතම අවස්ථාවකදී, සියලු පාසල් වසා දමා තිබියදී අන්තර්ජාලය හරහා පාඩම් පැවැත්වීමෙන් ඉවත් වීම තුළිනි. වෘත්තීය සමිති විසඳුම් ඉල්ලා සිටි මේ ගැටලුව මගේ පාලන කාලය තුළ මතු වූවක් නොව, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේ 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභාව පැවති කාලයේ සිට පැවතෙන ගැටලුවකි. විවිධ හේතූන් මත ආණ්ඩු පෙරළි කිහිපයක් හරහා වසර 25 කට ආසන්න කාලයක් මුළුල්ලේ එය නොවිසඳී පැවතුණි.
 
මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන ඒමට වෘත්තීය සමිති තෝරාගත් මොහොත වූයේ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවය. 2021 ජූලි 26 වැනි දින සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාගයට අදාළ රාජකාරිවලින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඉවත් වූහ. පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නියෝජනය කරමින් වෘත්තීය සමිති 17 ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වී සිටියහ. 2021 අගෝස්තු 5 වැනි දින, රට කොවිඩ්-19 ආසාදනවල තවත් ප්‍රබල වැඩිවීමක් අත්විඳිමින් සිටි අවස්ථාවකදී, රටේ සෞඛ්‍ය අවදානම ද නොතකා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති තම වැටුප් ඉල්ලීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වාහන පෙළපාළි හතරකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවක් පැවැත්වීය.
 
මේ ප්‍රශ්නය ගැන සොයා බැලීමට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන්ගෙන් සැදුම්ලත් කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. මෙම කමිටුව 2021 අගෝස්තු 21 වැනි දින වෘත්තීය සමිති හමු වී ඔවුන්ගේ නිර්දේශ මා වෙත ඉදිරිපත් කළේය. ඉදිරි අයවැයෙන් පටන්ගෙන අදියර කිහිපයකින් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කමිටුව කර තිබූ නිර්දේශය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2022 අයවැය මගින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳන තුරු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ද අනුමත කර තිබුණි.
 
කෙසේ වෙතත් වෘත්තීය සමිති කොටස් වශයෙන් වැටුප් වැඩිවීම ලබාදීමේ විසඳුම ප්‍රතික්ෂේප කර, සම්පූර්ණ ගෙවීම එක්වර ලබා දිය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටියේය. මේ සියල්ල සිදුවෙමින් පැවති අතර, 2021 අගෝස්තු මාසයේදී නැවත වරක් රට ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුවට සිදු විය. එම ලොක්ඩවුන් නියෝගය ලිහිල් කිරීමෙන් පසු, ගුරු විදුහල්පති වෘත්තීය සමිති තම වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ නැවත ආරම්භ කළේ 2021 ඔක්තෝබර් 6 වැනි දින ගුරු දිනයේදී විරෝධතා පෙළපාළි පැවැත්වීමෙනි.
 
වසංගතය හේතුවෙන් පාසල් වැසී ගිය දීර්ඝ කාලසීමාවන්හිදී සිසුන්ට අන්තර්ජාලය හරහා ලැබුණු ඉගෙනීම පවා අහිමි කරමින් මේ වන විට ගුරු සංගම් දින 80 කට අධික කාලයක් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව තිබුණි. 2021 ඔක්තෝබර් 12 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී අයවැය අදියර දෙකකින් හා වාරික තුනකින් වැටුප් වැඩි කිරීමට යෝජනා කළේය. ඒ අනුව පළමු වාරිකය 2022 අයවැය හරහාත් ඉතිරි වාරික දෙක 2023 අයවැය හරහාත් ලබා දීමට නියමිත විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රාජ්‍ය ආදායම විශාල ලෙස පහත වැටී ඇති බැවින් එකවර වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව අගමැතිවරයා ගුරු සංගම්වලට පැහැදිලි කළේය. වෘත්තීය සමිති එම යෝජනාව ද පිළි නොගත් අතර වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක විය.
 
සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ 2021 ඔක්තෝබර් 21 වැනි දින විවෘත කරන බව රජය ප්‍රකාශ කළ විට වෘත්තීය සමිති නායකයෝ කියා සිටියේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එදින පාසල්වලට වාර්තා නොකරන නමුත් 2021 ඔක්තෝබර් 25 වැනිදා සිට සේවයට වාර්තා කරන බවයි. ඔවුන් සේවයට වාර්තා කිරීමට මෙලෙස අකමැත්තෙන් හෝ ගත් තීරණයට හේතු වූයේ සිසුන්ගේ දෙමාපියන්, ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් වෘත්තීය සමිති වෙත එල්ල වූ පීඩනයයි. සේවයට වාර්තා කළ ද තම වැටුප් ඉල්ලීම් වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් කරන ලද උද්ඝෝෂණ අඛණ්ඩව සිදු විය. 2021 නොවැම්බර් 9 වැනි දින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කොළඹ නගර ශාලාව අසල තම වැටුප් විෂමතා විසඳන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූයේය. ඒ වන විට රට විවෘත කර සියලුම එදිනෙදා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කර තිබූ නමුත් මෙම විරෝධතා සහ පෙළපාළි හේතුවෙන් කොවිඩ්-19 ආසාදන නැවත ඉහළ යෑමේ අවදානමක් පවතින බවට මම මහජනතාවට අනතුරු හැඟවූයෙමි.
 
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා 2021 නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 වසර සඳහා වූ අයවැයෙන් අමතර රුපියල් බිලියන 30 ක මුදලක් වෙන් කරන ලදී. 2022 ජනවාරි මස මුලදී ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. මගේ දැනුමේ හැටියට, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ දශක ගණනාවක් පැරණි වැටුප් විෂමතාවක් විසඳන ලෙස ඉල්ලා රට පුරා වැඩවර්ජනයක් පැවති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. වසංගතය පැවති සමයේ බොහෝ රටවල සිදුවූයේ ලොක්ඩවුන් කිරීම් වැනි ක්‍රියාමාර්ග හමුවේ ආර්ථිකය පිරිහෙන විට සේවක වැටුප් කප්පාදු කිරීමයි. නමුත් ලංකාවේ, විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කිසිදු කප්පාදුවකින් තොරව ලොක්ඩවුන් කිරීම් මධ්‍යයේ ගෙදරට වී සිටින විට පවා සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබීය.
 
2021 වසර ශ්‍රී ලංකාවේ පමණක් නොව ගෝලීය වශයෙන් ද වසංගතයේ දරුණුම වසර විය. එවන් තත්ත්වයක් තුළ වුවත්, වැටුප් වැඩිවීම වාරික වශයෙන් නොව එකවර ලබා දෙන ලෙස වෘත්තීය සමිති බල කර සිටියේය. රජය අස්ථාවර කිරීමේ චේතනාවක් නොමැති නම් ගෝලීය ව්‍යසනයක් මැද රජයේ ආදායම් බරපතළ ලෙස අඩු වී ඇති අවස්ථාවක, එවැන්නක් සිදුවිය හැකිද? පාසල් ගුරු-විදුහල්පති වැඩවර්ජනයට නායකත්වය දුන් පුද්ගලයන් දෙස බැලුවහොත් ඔවුන් සියලු දෙනාම පාහේ දේශපාලන වශයෙන් ක්‍රියාකාරී පුද්ගලයන් වන අතර ජනතාව හොඳින් හඳුනන අය වෙති.
 
1997 සිට ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු පෙරළි පහක් සිදුවී තිබුණු අතර, එම කිසිදු රජයක් යටතේ සැලකිය යුතු ආකාරයකින් කරළියට නොපැමිණි මේ වැටුප් විෂමතා ප්‍රශ්නය 2021 ජූලි මාසයේදී කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවෙහිදී රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් පත් කරගනු ලැබීය. එකල රටේ සාමාන්‍ය ජනතාව පවා කියා සිටියේ මේ ගුරු වර්ජනය පසුපස ඇසට නොපෙනෙන යමක් ඇති බවය. මගේ මතයට අනුව, 2021 ගුරුවරුන්ගේ වැඩවර්ජනය, 2022 දී දේශපාලනික වශයෙන් සැලසුම් කරන ලද ආර්ථිකය කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරය සඳහා සිදු කරන ලද පෙරහුරුවක් විය.
 
මෙම වසංගතය පාසල් සිසුන්ට බලපෑ ආකාරය අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන දන්නා සියලු දෙනා හොඳින් දැන සිටියහ. සම වයසේ මිතුරු ඇසුරු නොමැති වීම දරුවන්ගේ සංජානන වර්ධනයට බලපාන බැවින් නැවත වරක් පාසල් වසා නොදමන ලෙස 2021 නොවැම්බර් මස අවසානයේදී කාදිනල්තුමා රජයෙන් ඉල්ලා සිටියේය. නිසි දෙමාපිය මගපෙන්වීමකින් තොරව අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගත කරන විට දරුවන්ට ඇතිවන අවදානම ද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව සිසුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කරමින් හැකිතාක් පාසල් විවෘතව තබන ලෙස කාදිනල් හිමිපාණන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
 ගෑස් පිපිරීම්  
 
අයවැය ප්‍රතිපාදන හරහා ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳෙමින් තිබියදී රට පුරා ගෑස් පිපිරීම් ඇතිවීමට පටන් ගත්තේය. 2021 දී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආරම්භ වූයේ ඉවුම් පිහුම් කටයුතු සඳහා බහුලව භාවිත වන ද්‍රව පෙට්‍රොලියම් ගෑස් සිලින්ඩර හිඟවීමත් සමඟය. 2021 අග භාගයේදී, ගෑස් හිඟයට අමතරව, රටේ විවිධ ප්‍රදේශවල ගෑස් පිපිරීම් ද වාර්තා වීමට පටන් ගත්තේය. 2021 නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ් අලෙවිසලේ සිදුවීමක් සමගින් මෙම පිපිරීම් ආරම්භ විය. ලිට්‍රෝ ගෑස් සමාගම එම ආයතනයට ගෑස් සැපයීම නොකළ ද, ගෑස් හෝස් හෝ උදුනේ ඇතිවූ ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස ගෑස් කාන්දුවීම් හේතුවෙන් එවැනි සිදුවීම් විය හැකි බව මාධ්‍යයට පැහැදිලි කළේය. එල්පී ගෑස් වායුවට වායුගෝලයට වඩා වැඩි ඝනත්වයක් තිබෙන නිසා කාන්දු වීමකදී එම වායුව බිම් මට්ටමේ එකතු වේ. මේ ආකාරයේ කාන්දුවක් සිදු වූ විට පිපිරීම් සිදුවිය හැක. ගෑස් සිලින්ඩරවල ගබඩා කර ඇති අන්තර්ගතයට වඩා හය ගුණයක පීඩනයක් එම සිලින්ඩරවලට දරාගත හැකි නිසා එල්පී ගෑස් සිලින්ඩරය පුපුරා යන්නේ නැත.
 
පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන, මෙම පිපිරීම් ගෑස් සමාගම් විසින් ගෘහස්ථ සිලින්ඩරවල ප්‍රොපේන් සහ බියුටේන් අනුපාතය වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූවක් බවට චෝදනා කර සිටියේය. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක බියුටේන් ප්‍රතිශතය 80% ක් සහ ප්‍රොපේන් ප්‍රතිශතය 20% ක් වේ. නමුත් ගෑස් සමාගම් මේ සංයුතිය 50-50 දක්වා වෙනස් කර තිබුණි. බියුටේන් උණුසුම් දේශගුණයක් තුළ බහුලව භාවිත වන අතර ප්‍රොපේන් ගෘහස්ථ වායුවක් ලෙස භාවිත කරනු ලබන්නේ අතිශය සීතල දේශගුණයක් තුළ පමණි. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් තම එල්පී ගෑස් සංයුතියේ වෙනස්කම් සිදු කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය. 2021 වසරේ අවසන් මාස දෙක තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් රැසක් වාර්තා වූ අතර එය ජාතික ප්‍රශ්නයක් බවට පත් විය. ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විපතට පත් සියලු දෙනාට නොමිලේ නීති ආධාර ලබාදීමට ද ඉදිරිපත් විය.
 
ගෑස් පිපිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශ්වවිද්‍යාල විද්‍යාඥයන් සහ කාර්මික තාක්ෂණ ආයතනයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මම පත් කළෙමි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා කළ හෙළිදරව්ව මෙම කමිටුවේ සොයා ගැනීම්වලින් තහවුරු විය. ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් යන සමාගම් දෙකෙන්ම බෙදාහරින ලද තොගවල සාම්පල පැරණි සාම්පල හා සසඳන විට ප්‍රොපේන් වැඩි ප්‍රතිශතයක් අඩංගු බව කමිටුව සොයා ගත්තේය. මේ නිසා සිලින්ඩරවල පීඩනය වැඩිවීම නිසා කාන්දුවීම් සිදු වී අනතුරු සිදු විය. කාන්දු වන අවස්ථාවකදී අනතුරු ඇඟවීමට උපකාරී වන එල්පී වායුවට සුවිශේෂී ගන්ධයක් ලබා දෙන එතිල් මර්කැප්ටන් ප්‍රතිශතය පිපිරුම් සිදු වූ කාලසීමාව තුළ අලෙවි කරන ලද සිලින්ඩරවල අවශ්‍ය මට්ටමට නොතිබුණු බවද සොයාගන්නා ලදී.
 
නියාමන රාමුවේ ඇති හිඩැස් භාවිත කරමින් ඔවුන් විකුණන ගෑස්වල සංයුතිය වෙනස් කිරීම ගැන විමර්ශන කමිටුව ගෑස් සමාගම් දෙකට දෝෂාරෝපණය කළේය. 2021 සැප්තැම්බර් මස අග දී, පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ලිට්‍රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම් විසින් එල්පී ගෑස් මිල දී ගැනීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට නියමිත බවත්, ගෑස් සමාගම් ඒකාබද්ධ වී රජයේ මැදිහත් වීමෙන් ගෑස් මිල දී ගන්නේ නම් ගෑස් මිල රුපියල් 125-130 කින් පමණ අඩු කිරීමට හැකිවන බවත් ප්‍රකාශ කළේය. ඒකාබද්ධ ප්‍රසම්පාදනයේ මෙම අත්හදා බැලීම ගෑස් පිපිරුම්වලට යම් ආකාරයකින් හේතු වූයේ ද යන්න පැහැදිලි නැත. 2021 දෙසැම්බර් මස මැද වන විට ගෑස් සමාගම් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ප්‍රමිතීන්ට අනුකූල එල්පී ගෑස් පමණක් බෙදාහරින බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ඇති අන්තර්ගතයේ සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සමඟ බෙදාහරින බවත් ගෑස් සමාගම් අභියාචනාධිකරණයට දැනුම් දීමත් සමඟ ගැටලුව විසඳුණි. 
 
මෙම ගෑස් පිපිරීම් අමුතුම සිදුවීමක් විය. දශක ගණනාවක් තිස්සේ මේ රටේ ගෑස් භාවිත කරනු ලබන අතර අපගේ දේශගුණයට සහ අනෙකුත් තත්ත්වයන්ට ගැළපෙන වායුවේ සංයුතිය ගෑස් සමාගම් හොඳින් දැන සිටියේය. සාධාරණ හේතුවක් මත සමාගම් විසින් ගෑස් සංයුතියේ යම් වෙනසක් සිදු කරන්නේ නම්, මෙය සිදු කළ හැක්කේ පුළුල් පරීක්ෂණ හා අත්හදා බැලීම්වලින් පසුව පමණි. කිසියම් හේතුවක් නිසා, මගේ ධුර කාලය අතරතුර වායුවේ සංයුතිය එකවරම වෙනස් විය. මෙය හිතාමතාම සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස බැලූ බැල්මට පෙනී යන අතර, ජාත්‍යන්තර බලවතුන්ගේ අනුග්‍රහය සහිතව ලෝකයේ නොයෙක් රටවල් සිදු වී තිබුණු පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම්වල මේ ආකාරයේ සිද්ධීන් වාර්තාවීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
 
 එරොෆ්ලොට් මගී ගුවන් යානය 
 රඳවා තබා ගැනීම 
 
අයර්ලන්ත සමාගමක් සහ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගම අතර පැවති වාණිජමය නඩු කටයුත්තක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබූ එරොෆ්ලොට් මගී ගුවන් යානයකට 2022 ජූනි 2 වැනි දින බස්නාහිර පළාතේ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එමගින් එම යානය කොළඹින් පිටවීම වළක්වාලනු ලැබූහ. මෙම සිදුවීම මගේ රජයට ඉමහත් අපහසුතාවක් ගෙන දුන් බව නොකිවමනාය. විවිධ පාර්ශ්වවලට මේ රටේ කටයුතු හසුරවමින් තමන්ගේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම කොතරම් පහසු ද යන්න මේ සිදුවීමෙන් පැහැදිලි විය.
 
රුසියාව මේ රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන මූලාශ්‍රයක් සහ අපගේ තේ අපනයනය සඳහා ප්‍රධාන වෙළෙඳපොළක් වෙනවාට අමතරව, ජාත්‍යන්තර වේදිකාවල එම රට ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ද විය. මෙම සිදුවීම සිදුවූයේ ද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධය සඳහා රුසියාව පෙරමුණ ගෙන සිටි අවධියකය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැඳවා තිබුණි. මෙම සිදුවීමෙන් පසු එරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව විදේශ අමාත්‍යාංශය හරහා රුසියාවට දැනුම් දෙනු ලැබුවේය. මෙම කනගාටුදායක සිද්ධිය ගැන සවිස්තර ලෙස ලියා ඇති ද අයිලන්ඩ් පුවත්පතේ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ප්‍රකාශ කළේ “... මහාධිකරණ විනිසුරු සේතුංග ජූනි 02 වැනිදා පස්වරුවේ එරොෆ්ලොට් එස්යූ 289 යානය ගුවන්ගත කිරීමට අවසර නොදෙන ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නියෝග නොකළ බව ප්‍රකාශ කර ඇති” බවයි. එසේ තිබියදී එරොෆ්ලොට් යානය පිටවීම වැළැක්වීම සඳහා එක්තරා නීතිඥවරයෙක් මහාධිකරණයේ ෆිස්කල් නිලධාරියකු සමඟ විදුලි වේගයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් තිබෙන බව ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ තවදුරටත් පෙන්වා දී තිබුණි. මේ පිළිබඳව පසුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණ තීන්දුවක් ලබා දීමට නීතිඥයකු අධිකරණ නිලධාරියකු සමඟ යෑම අසාමාන්‍ය ක්‍රියාවක් බවත්, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍ය බවත්ය. මෙම සිද්ධිය පිළිබඳව දේශපාලන භේදයකින් තොරව සියලු පාර්ශ්ව කම්පාවට පත් විය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රශ්න කළේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා අනතුරේ හෙළීමේ මෙහෙයුමක් බාහිර බලවතුන් මෙහිදී ක්‍රියාත්මක කළේ ද යන්නයි. බටහිර බලවතුන් ලංකාවට පැමිණෙන සංචාරකයන් ධෛර්යමත් කරමින් සිටි බවත් ඔවුහු පෙන්වා දුන්නේය. 
 
විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංස් නෙල්සන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කෝපය පළ කළේ රුසියාව සැමවිටම ශ්‍රී ලංකාවට උදව් කළ රටක් බව පවසමිනි. උසාවියක ෆිස්කල් නිලධාරියා තම රාජකාරිය කරන විට ඔහු සමඟ පෞද්ගලික නීතිඥයකු යන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය. 2023 ජූලි මාසයේ දී ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනත් ද සිල්වා යන විනිසුරුවරයන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, එරොෆ්ලොට් නඩුවට සම්බන්ධ නීතිඥවරයා කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් වැරදි ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
 
2022 ජූලි 6 වැනි දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහිව නිකුත් කර තිබූ නියෝගය වහා අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළ අතර, එම යානය එදිනම මොස්කව් බලා පිටත් විය. පසුව එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීමේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කළ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියා තමාගේ රාජකාරිය අභිබවා කටයුතු කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක් විය. ලොව පුරා බටහිර අනුග්‍රහය ලබන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ව්‍යාපෘති සමඟ ඇතිවූ ආකාරයේ කඩාකප්පල් ක්‍රියාවක සියලු ලක්ෂණ මෙම සිදුවීම තුළ ද ගැබ් වේ. වෙනත් රටවල රෙජිම් චේන්ජ් සිදු කරවන බලවතුන්ට ඉලක්කගත රටේ ආර්ථික හා පරිපාලන ව්‍යුහයේ මර්මස්ථානවල වගකීම් දරන පුද්ගලයන් මෙහෙයවීමට ඇති හැකියාව මෙවන් ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ. 
 
මා බලයට පත් වූ දා සිටම රට තුළ අමුතු දේවල් සිදු විය. මුලින්ම කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක් පැහැරගෙන ගොස් පහර දුන් බවට චෝදනාවක් මගේ ආණ්ඩුවට එල්ල විය. එය සම්පූර්ණයෙන් බොරුවක් බව ඉක්මනින්ම හෙළි විය. තානාපති කාර්යාලයක සුළු රැකියාවක් කරන පුද්ගලයෙකු කුමක් හෝ බලගතු පාර්ශ්වයක අනුග්‍රහය සහිතව මිස එවැනි බොරු රඟපෑමක් තනිව සැලසුම් කරාවි යැයි සිතන්නට අපහසුය. කොවිඩ්-19 වසංගතය අවසන් වනතුරු බලා සිටිය නොහැකි බවත්, අවුරුදු විසි ගණනක් මුළුල්ලේ පැවැති වැටුප් විෂමතා සඳහා වහාම සහන අවශ්‍ය බවත් පවසමින් ගුරුවරු වැඩවර්ජනයක් ආරම්භ කළහ. ඉන් පසු රට පුරා ගෑස් පිපිරීම් ඇති විය. ඉන් පසු එරොෆ්ලොට් ගුවන් යානයක් ලංකාවේදී රඳවා ගනු ලබන්නේ රුසියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙමින් සිටි අවස්ථාවකය. තනි සිද්ධීන් ලෙස හෝ සිද්ධි දාමයක් ලෙස ගත්ත ද, මේ කිසිවක් අහඹු සිදුවීම් විය නොහැක. 
 
බලයේ සිටින රජය විදේශීය බලවතුන්ගේ අණසකට යටත්ව කටයුතු කිරීමට කැමති නම්, ප්‍රශ්නයක් නැත. නමුත් යම් රටක් ස්වාධීන මාවතක ගමන් කිරීමට සහ තමන්ගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ නම්, විදේශීය න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරන කඩාකප්පල්කාරීන් විසින් ජාතික යහපතට පටහැණි මෙහෙයුම් දියත් කිරීම වළක්වාලීමට සමත් නීතිමය ප්‍රතිපාදන තිබිය යුතුය. ඉන්දියාව තුළ විදේශීය න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව රාජ්‍ය ව්‍යුහයේ සහ පුද්ගලික අංශයේ සෑම ක්ෂේත්‍රයක්ම ඉහළ සිට පහළට ආවරණය වෙන ලෙස ඉතාමත්ම තද නීති 1970 ගණන්වල සිටම තිබුණි. නමුත් එවැනි කුමන්ත්‍රණවලට එරෙහිව කිසිදු නීතිමය ආරක්ෂාවක් ශ්‍රී ලංකාවට කිසිදාක තිබුණේ නැත.
 

සැකසුම
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෙන්න මට එරෙහිව කුමන්ත්‍රණ කළ අයුරු - හිටපු ජනපති ගෝඨාභය හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2434 9

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 3048 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 4405 9

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2610 14

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 636 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6343 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site