• බදු ආදායම්
එකතු කිරීම තවමත් නිසි පරිදි සිදුවෙන්නේ නෑ
• දේපළ බද්දක් පැනවීමෙන් ඉහළ ආදායමක් උපයන්න පුළුවන්
• විදුලි බිල අඩු කිරීම ජනතාවගේ පැත්තෙන් හොඳ වුණත් අයි.එම්.එෆ්. ආයතනය සමග කරගෙන යන ණය වැඩසටහනට එයින් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 334 ක මුදලක් හිමි වේ. එම සමාලෝචනයට අදාළ මාධ්‍ය සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉකුත්දා පැවති අතර එහිදී එම ආයතනයේ ශ්‍රී ලංකාව භාර පීටර් බෲවර් ණය වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ තාක් අත් කරගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසා කළ අතර තව දුර යා යුතු බව ද අවධාරණය කළේය. දිගුකාලීන ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, දේපළ බද්දක අවශ්‍යතාව, බලශක්ති අංශය සඳහා පිරිවැය නිරූපිත මිල ක්‍රමයක අවශ්‍යතාව, ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව චීනය, ජපානය සහ ඉන්දියාව සමග අවසන් ගිවිසුම්වලට පැමිණීම ආදී කාරණා කිහිපයක් ගැන හෙතෙම එහිදී කතා කළේය. ඒවා සම්බන්ධයෙන් විමසමින් මහාචාර්ය සිරිමල් අබේරත්න සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේය.
ජනතා කැපකිරීමකින් ලැබූ ප්‍රගතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහන ආරම්භ කර ගත වූ වසර දෙකහමාරක කාලයේ දී ලබා ගත් ප්‍රගතිය අපි අත්විඳිමින් සිටිමු. එය විශාල කැපකිරීමකින් ලබා ගත් ප්‍රගතියකි. එහිදී ජනතාවට නොයෙක් දුෂ්කරතා විඳගැනීමට සිදු විය. අප එය අමතක නොකළ යුතු ය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ මූර්ත ආදායම් විශාල වශයෙන් පහත වැටුණි. රැකියා හැකිළීමක් ද සිදු විණි. ආර්ථික අර්බුදයේ අහිතකර ප්‍රතිවිපාකවලට අමතරව ප්‍රතිපත්තිවල අහිතකර බලපෑම් ද අපේ ජීවිතවලට බලපෑවේ ය. ඒවායෙහි ප්‍රතිඵල ලෙස භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම, විදුලිය හා ඉන්ධන ගාස්තු වැඩි වීම, බදු අනුපාත ඉහළ නැංවීම ආදිය දැකගන්නට ලැබිණි. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ණය වැඩසටහනෙහි යම් ප්‍රගතියක් අත්කර ගැනීමට අපි සමත්ව සිටිමු. මෙයින් සෑහිමකට පත් විය යුතු නැත.
ආර්ථිකයෙන් අහිමි වූ 40෴ ක් ලැබෙයි
ගත වූ වසර පහක කාලයේදී රටට ලැබීමට තිබූ ආදායම අහිමි විය. ලබා ගෙන තිබූ ආර්ථික වර්ධනයෙන් කොටසක් ද අහිමි විය. තුන්වැනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක අනුමතය ලැබීම නිමිත්තෙන් එහි ශ්‍රී ලංකාව භාර ප්‍රධානියාගේ මූලිකත්වයෙන් මාර්ගතතව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු ප්‍රකාශ කළේ පසුගිය වසර පහක කාලයේදී මෙරට ආර්ථිකයට අහිමි වූ ප්‍රමාණයෙන් සියයට 40 ක් නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවය. එය හොඳ තත්ත්වයක් වුවත් අප තවම ඒ මාර්ගයේ සිටින්නේ අතරමැද ස්ථානයකය. එහි අර්ථය ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථිකයෙන් අහිමි වූ කොටස සම්පූර්ණයෙන්ම ලබා ගෙන නොමැති බවය.
ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම යන්නෙන් කාරණා දෙකක් අදහස් වේ. එකක් අයවැය තත්ත්වය වැඩිදියුණු කර ගැනීමය. එනම්, ආදායම් වියදම් ගළපා ගැනීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමය. දෙවැන්න ණය තිරසරභාවය ඇති කර ගැනීමයි. එය ආර්ථික අර්බුදයත් සමග රටට අලුතින් මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්නයයි. මේ මූලික ප්‍රශ්න දෙකට ආමන්ත්‍රණය කිරීම පිණිස අයි.එම්.එෆ්. හා ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සාකච්ඡා කොට විවිධ නිර්දේශ හා සංඛ්‍යාමය ඉලක්ක සකස් කර තිබේ. දේශීය හා විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩු විය යුතු ප්‍රමාණ එහි දක්වා තිබේ. රට තවමත් ඒ ඉලක්ක වෙත ළඟා වී නොමැත. තවමත් අප සිටින්නේ අතරමග යැයි මුලින් සඳහන් කළේ එබැවිනි. මේ කාලයේදී අප ලබා ගත් එක් ජයග්‍රහණයක් නම්, ප්‍රාථමික ශේෂය ධන අගයකට හරවා ගැනීමය. ලංකාවේ එය සිදු වූ අවස්ථා තිබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකි. ඒ හැම අවස්ථාවකදී ම සිදු වූයේ එකී ආර්ථික ප්‍රගතිය අත් කර ගත් ආණ්ඩුව ඊළඟ මැතිවරණයේ දී පරාජය කිරීමය. වඩාත් වැදගත් වෙන්නේ ඉදිරියටත් ප්‍රාථමික ශේෂය ධන අගයක පවත්වා ගෙන යෑමය. ඊට බාධා නොවන අයුරින් ආණ්ඩුවේ අයවැය ප්‍රතිපත්තිය සකස් කළ යුතුය. තවදුරටත් ණය ගොඩගසා නොගෙන ණය හා ආණ්ඩුවේ ආදායම් වියදම් තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යා හැකි බව පෙන්වන්නේ මෙම ප්‍රාථමික ශේෂය ධන මට්ටමකට ගෙන ඒම මගිනි. එය සෘණ අගයක් ගැනීම යන්නෙන් අදහස් වෙන්නේ ගත් ණය ගෙවීම වෙනුවෙන් තවත් ණය ගැනීමට සිදු වෙන බවය.
ආර්ථික වර්ධනයෙන් පහළ තැනක
මෙයින් නොනැවතී ආර්ථික වර්ධනය වැඩි කරගැනීමට කටයුතු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් අප තවම සිටින්නේ පහළ තැනකය. මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී කීවේය. කාලගුණය යහපත්ව පැවතිය හොත් කෘෂි අංශයෙහි කාර්යසාධනය ප්‍රශස්ත මට්ටමක පවතිනු ඇත. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ නොගිය හොත් වසරකට ආනයනය සඳහා දැනට වැය කරනු ලබන මුදල් ප්‍රමාණය නොවෙනස්ව පවත්වා ගත හැකි වෙනු ඇත. මේ තත්ත්ව සමග ආර්ථිකයට බාහිර කම්පන සිදු නොවුණ හොත් ඉදිරි වසරවලදී සියයට 3 ත් 4 ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට හැකිය. අයි.එම්.එෆ්. හි පුරෝකථනය වෙන්නේත් ඉදිරි වසර 5 ක් පමණ කාලයේ දී ලංකාවට ලබා ගත හැක්කේ සියයට 3 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ය යන්නයි. සංචාරක පැමිණීම් ද ඉහළ යමින් ඇති පසුබිමක සියයට 3 ත් 4 ත් අතර මට්ටමක ආර්ථික වර්ධන වේගයක් අත් කර ගත හැකි බව මගේ තක්සේරුවයි. එහෙත් අප අපේක්ෂා කළ යුත්තේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 6, 7 හෝ 8 මට්ටමට ගෙන යෑමය. ඒ වෙනුවෙන් විශාල උත්සාහයක් දැරීමට
සිදු වේ.
බදු ආදායම් එකතු කිරීම
බදු ආදායම් එකතු කිරීම තවමත් නිසි පරිදි සිදු වෙන්නේ නැත. මේ දක්වා ආදායම් වැඩි කර ගත්තේ වැට් ඇතුළු විවිධ බදු ඉහළ නංවමිනි. බදු ආදායම් වැඩි කර ගැනීමට නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවැන්න රටේ සියලු ජනතාව බදු ගෙවීමට සූදානම් විය යුතු ය. එවැනි සූදානමක් මෙතෙක් පෙනෙන්නට නැත. පිරිසක් බදු ගෙවීමෙන් වළක්වා තිබේ. අඩුආදායම් ලබන්නන් වුව සුළු මුදලක් හෝ බදු වශයෙන් රජයට ගෙවිය යුතු ය. මුදල කුඩා වුවද බදු කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත්කමක් ඇත. අනාගතයේ දී බදු ගෙවන ජනතාවක් බිහි කිරීමටත් එයින් පිටුබලයක් ලැබේ. බදු අනුපාත වැඩි කිරීම වෙනුවට බදු පදනම පුළුල්කිරීම වැදගත් ය. ඉල්ලුම සහ ආර්ථික වර්ධන වේගය වැඩි වීමට ආදළ පරිසරයක් සකස් කළ හොත් ජනතාවගේ වියදම් කිරීම් ඉහළ ගොස් එයින් කොටසක් බදු වශයෙන් රජයට ලැබේ. බදු ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික හා කළමනකරණ හැකියාව ඇති කර ගැනීමට උත්සාහ දැරීමට ආණ්ඩුවට සිදු වේ. දැනට බදු ආදායම් වැඩි වී ඇති ප්‍රමාණය ප්‍රමාණවත් නැත. රට තවමත් විශාල අයවැය හිඟයකට මුහුණ දී සිටින්නේ ද එබැවිනි. එමෙන් ම අයවැය හිඟය පියවාගැනීම සඳහා අපි තවමත් ණය ගනිමු.
දේපොළ බද්දක්
දේපොළ බද්දක අවශ්‍යතාව ද අයි.එම්.එෆ් සමාලෝචනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය විණි. දේපොළ බද්දක් පැනවීමෙන් ලංකාවට ඉහළ බදු ආදායමක් ඉපැයීමට පුළුවන. ලෝකයේ බොහෝ රටවල් ප්‍රගතිශීලි බදු අනුපාතයක් ලෙස මෙම දේපළ බද්ද අය කරයි. පළාත් පාලන ආයතන මට්ටමින් දේපොළ බද්දක් ක්‍රියාත්මක වුව ද එය නිසි පරිදි අය නොකෙරේ. ක්‍රමානුකූලව දේපොළ බද්දක් පැනවීමෙන් රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමට අමතරව තවත් ප්‍රතිලාභ රැසක් ළඟා කර ගත හැකි ය. එකක් නම් විශාල ධනස්කන්ධයක් හිමි ධනකුවේරයන් එම අතිරික්ත ධනය යොදවා අනවශ්‍ය සුඛෝපභෝගී නිවාස තැනීම වැනි කටයුතු දුර්වල කළ හැකි ය. අප දන්නා පරිදි ලංකාවේ ඇතැම් ධනකුවේරයන් මාලිගා වැනි නිවාස තැනීම සඳහා ඔවුන්ගේ ධනය වැය කර තිබේ. එනිසා අතිරික්ත ධනය නාස්තිවීමක් සිදු වෙමින් තිබේ. මෙසේ නාස්ති වෙන මුදල් ආයෝජනවලට හරවා ආර්ථික වර්ධන වේගය වැඩිදියුණු කිරීමටත් මෙවැනි බද්දක් උපකාරී වේ. බදු ගෙවීම පැහැර හැරීම අවම කර ගැනීමට ද එයින් හැකියාව ලැබේ. ධනවතුන් එක් රැස් කර ගන්නා මුදල් බැංකු මගින් නොවුණත් වියදම් කළ යුතුය. එසේ මුදල් වියදම් කරන එක ක්‍රමයක් නම් එම මුදල් යොදවා දේපළ එක් රැස්කිරීමය. පසුගිය කාලයේදී මුදල් ගනුදෙනු වැඩි වී තිබේ. මේ සියලු තත්ත්ව විමසාබැලීමේදී මෙවැනි බද්දක් ලංකාවට ගැළපේ.
විවිධ ආණ්ඩු යටතේ මෙවැනි බද්දක් පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා වුව ද එය මේ දක්වා යථාර්ථයක් බවට පත් වූයේ නැත. දේශපාලනික හේතු ඊට ඉවහල් වූවා වන්නට පිළිවන. විශේෂයෙන්ම මෙවැනි කාරණා මැතිවරණවලට බලපාන ආකාරය ගැන දේශපාලනඥයන් උනන්දු වෙන හෙයින් ඉතිහාසයේ සිට අප දුටු දෙය නම් වඩාත් යහපත් යෝජනා අත්හැර දැමීමත් නරක ඒවා ක්‍රියාත්මක කිරීමත් ය. මෙවැනි බදු පැනවුවහොත් මැතිවරණවලදී තමන්ට ආධාර කළ පාර්ශ්වවලට හානියක් වෙන හෙයින් බලයේ සිටි ආණ්ඩු එම උත්සාහයන් අත්හැර දැමීය. එනයින් බලන කල පසුගිය කාලයේදී ගෙන ගොස් තිබෙන්නේ උගුරට හොරා බෙහෙත් බීමේ ආර්ථික ප්‍රතිපත්තියකි.
බලශක්ති ගැන අවධානය
මීළඟ සමාලෝචනයට පෙර අවධානය යොමු කළ යුතු අංශ දෙකක් ගැන ද එම මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය විය. පළමුවැන්න බලශක්ති ක්ෂේත්‍රය සඳහා පිරිවැය නිරූපිත මිලකරණයක් හඳුන්වා දීමය. මෑතක දී විදුලිය ගාස්තු අඩු කළ අතර එය කොතෙක් දුරට විද්‍යානුකූලද යන්න මම නොදනිමි. මිල ගණන් වැඩි කළ අවස්ථාවල දී එසේ කළේ බලශක්ති ආයතනවල අකාර්යක්ෂමතාව හේතුවෙන් ජනනය වූ පිරිවැය පාරිභෝගිකයා මත පටවමිනි. එම ආයතනවල පවතින අකාර්යක්ෂමතාව නැති කිරීමට ආණ්ඩු කටයුතු නොකළේ දේශපාලන ප්‍රශ්නයක් නිසාය. මේ සන්දර්භයේ බලශක්ති සේවාවන්ට අදාළ පිරිවැය නිරූපිත මිල ගණන් තීරණය කෙරිණ. දුර්වලතා තිබුණ ද ඇතැම් අංශවලදී යහපත් තත්ත්ව ද දැකගන්නට ලැබිණ. විදුලි බල මණ්ඩලය සතු ණය බර යම් පමණකින් අඩු කර ගැනීමට වැඩි ආදායම් ලැබීමෙන් හැකියාව ලැබිණ. විදුලි ගාස්තු අඩු කිරීමෙන් ඒ තත්ත්වය නැවත හරවා තිබේ. විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර ප්‍රධානියා ප්‍රශ්න කළේ ද මේ තත්ත්වය විය යුතුය. විදුලි බිල අඩු කිරීම ජනතාවගේ පැත්තෙන් යම් සහනයක් වුව ද අයි.එම්.එෆ්. ආයතනය සමග කරගෙන යන වැඩසටහන අනුව ගත් විට එයින් යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි ය. විදුලි බල මණ්ඩලයේ ආදායම් අඩු වෙන විට යළි ණය ගැනීමට සිදු වේ. එබැවින් පරණ දුෂ්ට චක්‍රයටම වැටීමට ඉඩ තිබේ. කළ යුත්තේ පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් හඳුන්වා දීමට සමගාමීව අකාර්යක්ෂමතාව නැති කිරීමය. එයින් වියදම් අඩු කර ගැනීමට පුළුවන.
අයවැය ප්‍රශ්නය ගැන ද එම මාධ්‍ය සාකච්ඡාවේ දී සාකච්ඡා විය. මෙවර අයවැයෙන් සුභසාධන වියදම් ඇතුළුව වියදම් ඉහළ දමා තිබේ. එම වියදම් වැඩි කිරීම අත්‍යවශ්‍ය වුව ද උභතෝකෝටිකයක් ඇත. එනම් ප්‍රමාණවත් පරිදි ආදායමක් නොමැති වීමය. එවිට අයවැය පරතරය පියවා ගැනීම සඳහා ණයවල විශාල ඉහළ යෑමක් සිදු විය යුතුය. එයින් ණය තිරසරභාවයට හා අයවැය පරතරය අවම කර ගැනීමට අහිතකර බලපෑම් ඇති වේ.
උපුල් වික්‍රමසිංහ
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රට තවම අයි.එම්.එෆ් මාර්ගයේ අතරමැද