IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“

 

(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.

“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.

ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.

මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.

දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?

පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.

අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.

අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.

නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.
අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.

අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.
අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.

ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.

අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.

ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.

මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.

රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.

තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.

මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.

කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.

රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.

පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.

ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.

යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.

අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.

සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.

ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.
සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.

ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.

සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.

මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.

අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.

සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.

බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.

අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.

නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?

ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.

මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.

මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.

අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-
අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -
එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.

සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.

එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-
අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.
ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-
“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.
අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.”
 
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-
“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.

අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.

පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”

එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.

සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.”
 
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-
“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා.
 
සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද?
 
මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.”
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා.
 
ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”
විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ.

 



අදහස් (0)

“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site