ආධාර ලැබෙන තෙක් පොහොසත් රටවල් දෙස බලා සිටි යුගය අවසන් වේද? ධනවත් රටවල සේප්පු අගුළු වැටෙමින් පවතීද? දැනට අමෙරිකාව නිවේදනය කර ඇති විදෙස් ආධාර අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය වසරකට බලාත්මක වුවහොත් ඒ අනුව ලොව දරිද්‍රතාවෙන් පීඩිත රටවල් 23ක දළ ජාතික ආදායම 1% කින් පහත වැටෙනු ඇතැයි ගෝලීය සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රය සිය වෙබ් පිටුවේ සඳහන් කරයි. ඒ අතරින් වඩාත් පහත අඩියක සිටින රටවල් 8 ක දළ දේශීය ආදායම 3%කින් අඩුවනු ඇත. එය අතිශයෙන් පීඩාකාරි අවදානමකි. ඒ ට්‍රම්ප් 2.0 යුගයේ ලොව සෙලවූ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයයි. ප්‍රශ්නය එතැනින් අවසන් නැත. අමෙරිකාව අඩියක් පස්සට ගනිද්දී අනෙකුත් සංවර්ධිත රටවල් එම හිඩැස පිරවීමට ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කළද ඇත්තටම සිදුවෙමින් පවතීන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අමෙරිකාව පසුපසින් බ්‍රිතාන්‍යයද පෙරහරට එකතු වී තිබේ. වඩාත්ම අවධානයට ලක්වූ කරුණ වන්නේ බ්‍රිතාන්‍යය විදෙස් ආධාර කපා හැරීමේ යෝජනාව ගෙන එන්නේ කම්කරු පක්ෂ රජයක් පවතින අවස්ථාවක වීමයි.
සාමාන්‍යෙයන් මෙවැනි දැඩි තීරණ අරගන්නේ බ්‍රිතාන්‍යයේ මධ්‍ය දක්ෂිණාංශික කන්සර්වෙටිව් පාලනයක් තිබෙන අවස්ථාවකයි. එහෙත් සියල්ල කණපිට හැරී වඩාත් ජනතාවාදී යැයි සැලකෙන කම්කරු පක්ෂයද ට්‍රම්ප්වාදී අන්තර්ජාතික ආධාර කප්පාදු මෙහෙයුමට ආවැඩීමට ඉදිරිපත් වී ඇත. එය නිවේදනය කළේ අගමැති කියර් ස්ටාමර් විසින්මය. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය පමණක් නොවේ.. යුරෝපයද ඒ මගටම අවතීර්ණ වේද? එම ප්‍රශ්නය පැනනැඟී ඇත්තේ යුරෝපා රටවල චර්යාව දෙස සුපරික්ෂාකාරීව බැලීමේදීය. එමතුද නොවේ ආසියාවේ මහා දානපතියා හෙවත් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ කෙරෙහි අතිශයින් ලොල් නොවී සහන අවශ්‍ය තැනට සහන දෙන රට ලෙසටද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජපානයයි. ට්‍රම්ප්ලාගේ කැපීමේ කලාව ගැන ජපාන ජාතිකයන්ද උනන්දු වන බව මෑතදී අධ්‍යයනයක් මගින් හෙළිවී ඇතැයි නිකායි ඒෂියා නම් ප්‍රවෘත්ති වෙබ් අඩවිය පෙන්වා දෙයි. මේ සියළු පුවත් අපි වැනි සංවර්ධනය වෙමින් පවතින හා විදෙස් ආධාර අපේක්ෂා කරන රටවලට නරක ආරංචි වන්නේය. මේ සියලු කපාහැරීමේ මැද ගෝලීය වශයෙන් විද්‍යමාන වන ප්‍රධාන භූමිකා වෙනස වන්නේ චීනය ලොව ප්‍රධාන දානපතියා ලෙස හිණි පෙත්තට ළඟාවීමය. එහෙත් ඔවුන්ගේ ප්‍රදානයන් හා බැඳුණු විවිධාකාර තත්ත්වයන් ලෝකයේ බොහෝ රටවල විවිධ ස්වරූපයේ මතබේද හා සංකීර්ණාත්මක තත්ත්වයන් නිර්මාණය කර ඇත.
ට්‍රම්ප් ගේ දැවැන්ත කතුර..
මේ සතියේ ලෝකයේ අවධානය තවදුරටත් අමෙරිකාව දෙසට හැරවූ පුවතක් ගෝලීය මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඒ ට්‍රම්ප්ගේ ආධාර අත්හිටුවීමේ ක්‍රියාවලියට අමෙරිකානු ඉහළතම අධිකරණයේ සහය පළවීම පිළිබද ප්‍රවෘත්තියයි. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එරට විදෙස් ආධාර අත්හිටුවීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාවකාලික නීතිමය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අමෙරිකාව විදෙස් රටවලට ආධාර වශයෙන් ලබාදෙන මූල්‍ය පහසුකම්, ද්‍රව්‍යමය ආධාර හා සේවා 90%කින් කපා හැරෙනු ඇත. ලොව පුරා ක්‍රියාත්මක අමෙරිකානු සංවර්ධන ව්‍යාපෘති වලට නැවතීමේ තිත තබා ඇත. ආධාර වැඩසටහන් මෙහෙයවූ USAID හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සදහා වන අමෙරිකානු ඒජන්සිය දින 90ක කාලයක් සදහා අකර්මණ්‍ය කොට තිබේ. එය යළි ඇරඹුවද පෙර මෙන් ආධාර සපයන ආයතනයක් වේද යන්න හා එහි මුහුණුවර කුමක් වේද යන්න සැක සහිතය. USAID හි සේවය කළ 10000කට අධික සේවකයන් මාස තුනකට අනිවාර්ය නිවාඩු යවා ඇත. ඔවුන්ගේ රැකියා අවිනිශ්චිතය. සමහරුන් රැකියාවලින් නෙරපා ඇත. ව්‍යාපෘති වල සේවය කළ පුද්ගලයන් සිය ගණනින් මහපාරට වැටී ඇත. ලොකුම ප්‍රශ්නය වී ඇත්තෙ අමෙරිකානු ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොන්ත්‍රාත්කරුවන්ටය. ආධාර ඒජන්සියේ ක්‍රියාකාරිත්වය අත්හිටවූ පසු කොන්ත්‍රාත්කරුවන්ට එතෙක් නිමකළ සේවය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් එනම් ඩොලර් බිලියන දෙකක් පමණ ඉකුත් බදාදා මධ්‍යම රාත්‍රිය වනවිට ගෙවා අවසන් කරන ලෙසට අමෙරිකානු දිසා විනිසුරු අමීර් අලි USAID ආයතනයට නියෝග කොට තිබිණ. එහෙත් එම කාලසීමාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් USAID කළමනාකාරිත්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. එය සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ දින 90 තහනම් කාලය යළි අනුමත කළ අතර ගෙවීම් සදහා වෙනත් ක්‍රියා පටිපාටියක් හදුන්වා දීමට පියවර ගෙන ඇත. මේ ක්‍රියාවලිය තවමත් විවිදාත්මකය. අමෙරිකානු පාලන තන්ත්‍රය තුල එම වැඩපිළිවෙළ දිගින් දිගටම මතබේදාත්මක වාතාවරණයක් නිර්මාණය කරයි. එහෙත් ආධාර කපාහැරීම සම්බන්ධයෙන් ජනමතය හා අමෙරිකානු සමාජය තුල ට්‍රම්ප් පිළිවෙත සඳහාද පවතින්නේ පුළුල් සහයකි. ඊට උදාහරණ වශයෙන් මෑතදී පළවූ එක් සමික්ෂණ වාර්තාවක ප්‍රතිළුල ගෙනහැර දැක්විය හැක. ගෝලීය කටයුතු පිළිබඳ චිකාගෝ කවුන්සිලය මෑතදී හදුන්වා දුන් සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ අමෙරිකානු ජනතාවගෙන් 51% විදෙස් රටවලට දෙන අමෙරිකානු ආර්ථික ආධාර කපාහැරිය යුතු බව පිළිගන්නා බවයි. තවත් 50ක් විදෙස් රටවලට ලබාදෙන අමෙරිකානු හමුදා ආධාර නතර කළ යුතු බව පිළිගෙන ඇත. ඒ වෙනුවට ජනතාවගෙන් 67%ක් විශ්වාස කරන්නේ එරට ප්‍රබල සමාජ ප්‍රශ්නයක්ව ඇති ජනතාවට නිසි සෞඛ්‍ය ආරක්ෂණය ලබාදීමේ වැඩසටහනට වැඩිපුර රාජ්‍ය මුදල් යොදවා එය බලගැන්විය යුතු බවකි. එමෙන්ම අධ්‍යාපනය සදහා වන ප්‍රතිපාදන ඉහළ නැංවිය යුතු බව ජනතාවගෙන් 61%ක් විශ්වාස කරන බව සමික්ෂණ වාර්තාව පෙන්වා දෙයි. යටිතල පහසුකම් සඳහා වන ප්‍රතිපාදන නැංවිය යුතු බව ජනතාවගෙන් 57%ක් විශ්වාස කරති. මේ අනුව පෙනී යන්නේ ලෝකයට සෙත සැලසීමට පෙර අමෙරිකාවේ ජනතාවට සෙත සැලසීමට එරට රජය පියවර ගත යුතු බවට පිළිගැනෙන ශක්තිමත් ජනතා මතයක් රටතුළ නිර්මාණය වී ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ද අමෙරිකානු ජනතාවට මුල්තැනක් දෙන බවට පොරොන්දු වන “අමෙරිකාන ෆස්ට්“ සංකල්පය මතයි. ඒ අනුව ට්‍රම්ප්ගේ කපා හැරීමේ වැඩපිළිවෙළ ලෝක වාසීන්ට රිදුම් ගෙන දුන්නද අමෙරිකානු ජනතාවට වඩාත් සැනසිලිදායක වනු ඇති බවට ජන සමාජය තුළ පිළිගැනීමක් පවතින බව ලෝකය අවබෝධ කරගත යුතු කරුණකි.
විදෙස් ආධාර අවශ්‍ය කාටද?
ODA යන කෙටි නිල නාමයෙන් හදුන්වන විදෙස් ආධාර ලබාදීම රටක් හෝ අන්තර්ජාතික සංවිධානයක් විසින් සිදුකරන මුල්‍යමය හෝ වෙනත් සම්පත් ගණයේ ලා සැලකෙන ද්‍රව්‍යමය ආධාර තවත් රටක්, සංවිධානයක් හෝ ජන කොටසක් වෙත පිරිනැමීමකි. OECDහෙවත් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබද සංවිධානය (ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගත් 1948දී ස්ථාපනය කෙරුණු අන්තර්ජාතික ආධාර හා සහයෝගිතාව පදනම් කරගත් ආයතනයකි) ප්‍රකාශ කරන පරිදි 2023 වසරේදී එම ආයතනයේ විධායක කමිටුව හරහා පමණක් විවිධ රටවලට ලබාදුන් විදෙස් සංවර්ධන ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 223.3 හෙවත් ඩොලර් කෝටි 22330ක් තරම් අති විශාල වූ මුදල් සම්භාරයකි. මීට අමතරව ද්විපාර්ශ්වික ආධාර, එක්සත් ජාතින්ගේ සංවිධානය හා අනු ආයතන හරහා කෙරෙන ආධාර හා විවිධ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන (INGO) හරහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් දිළිදු රටවල් සදහා කෙරෙන ආධාර ලෙස සංසරණය වෙයි. මේ ක්‍රියාවලිය සලකා බලන කල දිළිඳු රටවල සංවර්ධනය සදහා සංවර්ධිත රටවල් හා ආයතනවලින් ලැබෙන සහය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම මානුෂීය සහන වැඩසටහන්, සමාජ සංවර්ධන හා ප්‍රජා සේවා වැඩසටහන් ආදිය වැදගත් වන්නේ ලෝකයේ අන්ත දිළිඳු යැයි සැලකෙන රටවල් 26 ක විවිධ සංකීර්ණ හේතු නිසා අඩාළ වී ඇති ජන ජීවිතය නඟා සිටුවීමට විදෙස් ආධාර ක්‍රියාවලියෙන් ලැබෙන්නේ ඉතා ප්‍රබල දායකත්වයකි. එය නොවන්නට ඉහත සඳහන් රටවල ජන ජීවිත දැනට පවතින තත්ත්වයට වඩා බෙහෙවින් අවදානම් සහගත මට්ටමක පවතිනු ඇත. කෙසේ වෙතත් ගෝලීය වශයෙන් නැගෙන ප්‍රශ්නයක් වන්නේ මානව ඉතිහාසය පුරාවටම මෙවැනි ජනකොටස් නඩත්තු කිරීමට ඇති හැකි රටවලින් මුදල් යෙදවිය යුතුද යන්නය. දක්ෂිණාංශික මතවාද බටහිර ලෝකය තුළ පැතිර යන මේ වකවානුවේ ඉහත සදහන් මතය සංවර්ධිත රටවල ජන සමාජයන්හි නිරන්තර සංවාදයට ලක්වන්නකි. ඔවුන් මෙය දැන් දකින්නේ සුව නොවන හිඟන්නාගේ තුවාලයක් ලෙසයි. අනෙක් අතට ඊට එරෙහිව ප්‍රති තර්ක නඟන පාර්ශ්ව පෙන්වා දෙන්නේ අප්‍රිකාවේ ආසියාවේ හා ලතින් අමෙරිකාවේ දිළිඳු රටවල් මේ තත්ත්වයට පත්ව ඇත්තේ අද ගෝලීය ධනවතුන් බවට පත්ව සිටින ජාතීන් යටත්විජිතකරණය තුළින් සිදුකළ සූරාකෑම නිසා දිළිඳු බවට පත් ජාතීන්ට අද ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම ගෝලීය සංවර්ධිත රාජ්‍යයන්ගේ වගකීමක් වන බවයි. උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යටත්විජිතවාදී බලවතුන්ගේ සූරාකෑම නිසා සියවසකට ආසන්න කාලයක් නිදහස් රටක්ව සිටිමට යටත්විජිතවාදී බලවතුන්ට තම සියළු ජාතික සම්පත් උගසට තබා වන්දි ගෙවීමට සිදුවීමේ සාපය මත අසමත් රාජ්‍යයක් බවට පත්ව සියළු පද්ධති කඩා වැටි වනචාරි සමාජයක් බිහිවී ඇති හයිටි රාජ්‍යයේ ඉරණම සළකා බැලීමේ වැදගත් කමයි. මේ නිසා ප්‍රශ්නයේ පැහැදිලිව දෙපැත්තක් තිබෙන බව බැලු බැල්මට පෙනී යන්නේය.
ආධාර කැපිල්ලෙන් පීඩා විඳින්නෝ
අමෙරිකානු ආධාර කපාහැරීම ප්‍රථමයෙන් සලකා බලමු. ලොව දිළිඳුම රටවල් 26 ඔවුන් ලබන විදෙස් ආධාර වලින් 1/5 ක් ලැබුවේ ඹී්Iෘ ආයතනයෙනි. ඒ අනුව එම රටවල් මෙතෙක් හිමිකරගත් විදෙස් ආධාර වලින් 20%ක් ඔවුනට අහිමි වෙයි. මෙහිලා දකුණු සුඩානය, කොංගොව, ඇෆ්ගනිස්ථානය, ලයිබීරියාව හා උගන්ඩාව යන රටවල් මුල් තැනක් ගනී. තවත් පහළ මැද ආදායම් ලාභී රටවල් 51ක් USAID ආධාර ලැබීය. ඉන් ඇතැම් රටවල් පසුගිය වසර තුළ දළ වශයෙන් 3%ක ආර්ථික වර්ධන වේගයක් අත්කරගෙන සිටි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. ආධාර අහිමි වීම එම රටවල ආර්ථිකයන් කබලෙන් ළිපට වැටෙන්නාක් බදු තත්ත්වයකට පත්කරන්නකි. එමෙන්ම ඉහත සදහන් කළ පරිදි යම් ආර්ථික ශක්‍යතාවක් අත්කරගෙන ඇති රටවල් නැවතත් අගාධයට වැටීමේ අවදානමක් නිර්මාණ්‍ය වෙයි. එම ආධාර ජාලය සැලකූ කළ අමෙරිකා එක්සත් ජනපදය තවමත් ලෝකයේ ප්‍රධාතම ආධාර සැපයුම්කරුය. එහෙත් නව කපාහැරීමේ ක්‍රියාවලිය තුළ අමෙරිකාව එම ඉහළ තලයෙන් ඉවත්ව යන්නේය. USAID ආයතනය ලොව රටවල් 60 මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. ට්‍රම්ප් පාලනයේ ඉලක්කය එම මෙහෙයුම් වලින් 90%ක් අකර්මණ්‍ය කිරීමයි. මෙහි මූල්‍ය වාසිය අමෙරිකාවට අත් වුවද දේශපාලනික වශයෙන් හා අන්තර්ජාතික සබඳතා ක්‍රියාවලිය පදනම් කරගනිමින් දිගුකාලීනව අමෙරිකාව ප්‍රමුඛ බටහිර බල කදවුරට අවාසි සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ දිළිඳු රටවල් සඳහා ආධාර ලබාදීමේදී බලවත් රටවල් පවත්වාගෙන ගිය කොන්දේසි සහිත බලපෑම්කාරී වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසාවෙනි. අමෙරිකාවේ ඉවත්වීමෙන් හිස්වන තැනට පිවිසීමට චීනය වැනි විකල්ප බලවතුන් සූදානමින් සිටින බවක් ඉතා පැහැදිලිව
දක්නට හැක.
බ්‍රිතාන්‍යය හා යුරෝපයත් අමෙරිකානු පෙරහරට
ඉකුත් බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් විදේස ආධාර කපාහැරීමක් නිවේදනය කළේ එරට ආරක්ෂක වියදම් වැඩිකරගැනීමේ අපේක්ෂාවෙනි. 2022 වසර තුළ පමණක් බ්‍රිතාන්‍ය රජය විදෙස් ආධාර ලෙස ස්ටර්ලිං පවුම් 12786ක් වැයකොට තිබේ. එය ඊට පෙර වසරට වඩා පවුම් මිලියන 1300ක පමන වැඩිවීමකි. බ්‍රිතාන්‍යයද ලෝකයේ විවිධ රටවල විවිධ අවශ්‍යතා පදනම් කරගනිමින් තම විදෙස් ආධාර වැඩසටහන ක්‍රියාත්මක කළේය. එහෙත් පුදුමය නම් ඉතා කෙටි කලකින් ආධාර වැඩසටහනට සීමා පැනවීමට හා ඇතැම් ක්ෂේත්‍රවල මූලික ආධාර මෙහෙයුම් වලින් ඉවත්වීමට බ්‍රිතාන්‍ය රජය හදිසියේ ගත් තීරණය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කියර් ස්ටාමර්ගේ කම්කරු පක්ෂ රජය තීරණය කර තිබීමයි. ඒ බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. එය ආන්දෝලනාත්මක නිවේදනයකි. එහෙත් බ්‍රිතාන්‍යයට මෙවැනි තීරණයකට එළැඹීමට සිදුවූයේ ඇයි. ප්‍රධාන වශයෙන්ම යුරෝපා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි බරක් තැබීමට බ්‍රිතාන්‍යය උත්සුක වීම නිසා බ්‍රිතාන්‍ය රජය කම්කරු පක්ෂයක් බලයේ සිටියද එතෙක් සාම්ප්‍රදායක් ලෙස යොදා නොගන්නා ක්‍රියාපිළිවෙතකට එළැඹෙමින් ආරක්ෂක වියදම් වැඩිකොට ආධාර කපාහැරීමේ පියවර අනුගමනය කිරීමට පෙලබුණු බවක් පෙන්නුමි කරයි.
අමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සදහන් කරන්නේ බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් තවදුරටත් නිශ්ක්‍රිය ලෙන නොඉඳ යුරෝපා ආරක්ෂාව වැඩි මූල්‍ය මය හා සම්පත් දායක්ත්වයක යුරෝපා ආරක්ෂාව, නේටෝ සංවිධානයේ වියහියදම් හා අනෙකුත් මූල්‍ය ප්‍රතිපාදන වර්තමාන ප්‍රමාණයට වඩා ඉහළ නැංවිය යුතු බවයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ අගමැති කියර් ස්ටාමර් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂිංටනයේ ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවලදීද ට්‍රම්ප් බ්‍රිතාන්‍ය දායකත්වය නැංවිම හා අමෙරිකාව සියල්ල තම කරපිට පටවා ගැනිම සිදු නොකරන බව දන්වා සිටීමයි. විදෙස් ආධාර සඳහා වන ප්‍රතිපාදන 0.3-0.5 දක්වා ප්‍රමාණයකින් අඩුකිරීමට බ්‍රිතාන්‍ය රජය තිරණය කොට තිබේ. එමෙන්ම 2027 වසර වනවිට ආරක්ෂක වියදම් ස්ටර්ලිං පවුම් බිලියන 13.4 දක්වා නැංවීම බ්‍රිතාන්‍ය රජයේ අරමුණයි. යුරෝපයේද මෙම තත්ත්වයට සමාන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. ඒ ජනසමාජය තුළින්ම සංක්‍රමණියක් හා විදේශිකයන් කෙරෙහි ඇති නුරුස්නා බව ඉහළ යන තත්ත්වයක් විවිධ සමාජ සමීක්ෂණ මගින් පෙන්නුම් කරයි. 2024 වසර තුළ යුරෝපයේ රටවල් 7ක් මැතිවරණවලදී දක්ෂිණාංශය වෙත බරවී ඇත. එම නැඹුරුව තුළින් පෙන්නුම් කරන්නේ දක්ෂිණාංශික මතවාදයන් ඉතා බරපතළ ලෙස රටවල ජනසමාජයන් වෙළාගනිමින් පවතින බවයි. සංක්‍රමණිකයන් තුළින් තමරටවල සම්පත් වියැකීයාමක් සිදුවන බවට මතයක් එම ජන සමාජයන් තුළ මුල් බැස ගනිමින් පවතින අතර එහි තවත් පැතිකඩක් වන්නේ දිළිඳු රටවලට ආධාර දීඹ සඳහා තම රටවල ජනතාව වෙහෙස
මහන්සි වී උපයා රජයට ගෙවන බදුමුදල් වැය කිරීම යම්තාක් දුරකට හෝ සීමා කළ යුතු බවයි. මේ අනුව යුරෝපා රටවල් කිහිපයක් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ගමන් කරන විදෙස් ආධාර කැපීමේ පෙරහරට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවක් පෙන්නුම් කරයි. යුරෝපයේ ඉහළ මානුෂීය ගුණයක් සහිත රටවල් ලෙස පිළිගැනෙන නෝඩික් කලාපිය රටවල පවා විදෙස් ආධාර විරෝධි මතවාදයන් ජන සමාජයන් තුළ සංසරණය වන බව සමාජ විද්‍යාත්මක අධ්‍යයන හා මාධ්‍ය සමීක්ෂණ මගින් තහවුරු වෙයි. එය යුරෝපය දැනට සිටින ගෝලීය මානව හිතවාදී ස්වරූපයෙන් බැහැර කරන්නක් විය හැකි බව සමාජ හා දේශපාලන විද්‍යාඥයන්ගේ අදහසයි.. ජපානයද එම පෙරහරට එක්වේද යන්න ගැන බලවත් සැකයක් නිර්මාණය වී තිබේ. ජපානය 2022 වසර තුළ ගෝලීය සංවර්ධන ආධාර ලෙස වැයකොට ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 17.5 ඉක්මවයි. එය ඊට පෙර වසරේ ලබාදුන් ආධාර ප්‍රමාණයට වඩා ඩොලර් කෝටි 10 ක අඩුවීමක් පෙන්නුම් කරයි. එය සැලකිය යුතු අවදානම් සහගත තත්ත්වයක් නොවේ. අවදානම වන්නේ ජපානය තුළ වර්ධනය වන ජනමතයයි. මෑතදී කළ සමික්ෂණ මගින් විදෙස් ආධාර සඳහා ජපාන ජනතාව තුළ ඇති කැමැත්ත හා කැපවීම අඩුවෙමින් පවතින බව පෙන්වා දී තිබේ. නිකායි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ එය ගෝලීය අවධානයට හා ජපාන දේශපාලන ක්ෂේත්‍රෙය් අවධානයට ලක්විය යුතු කරුණක් බවයි.
අමෙරිකාව නැති වළට චීනය
බටහිර රටවල් ආධාර කපා දමමින් තම ගෝලීය බලපෑම්කාරී ශක්‍යතාව දුර්වල කරගැනිමට උත්සාහ දරමින් සිටින වකවානුවක චීනය ආර්ථික වශයෙන් අභියෝග පැවතුණද තම විදෙස් මූල්‍ය පහසුකම් නැංවීමේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරයි. බටහිර බලවතුන් යොමු නොවන කලාප ඔස්සේ යමින් තම ගෝලීය ශක්‍යතාව ශක්තිමත් කරගැනීම චීනයේ අපේක්ෂාව බව පෙනේ. චීනය විදෙස් මූල්‍ය ආධාර හා ණය වැඩසටහන් සඳහා 2016-2018 වකවානුවේ වෙන්කළ මුල්‍ය ප්‍රතිපාදන වල වටිනාකම ජාතික අයවැයෙන් 7.9%කි. එය 2022-2024 වකවානුවේ 15.2% දක්වා ඉහළ නංවා තිබේ. මේ අගයන් හුදෙක් ආධාරම පමණක් නොවේ. විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා ලබාදෙන ණය මුදල්ද ඊට ඇතුළත් වෙයි. ගෝලීය දකුණේ දිළිඳු රටවලට බටහිර මූල්‍ය සම්පත් නොලැබෙන වකවානුවක ඔවුන් හමුවේ ඇති එකම හා පහසුම විකල්පය චීනය බවට පත්වෙමින් තිබේ. කොතරම් ණය උගුලක් බවට බටහිර රටවල් හඩඟා කියුවද අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ බොහෝ රටවල් අද අත්වැල් බැදගෙන ඇත්තේ චීනය සමගයි. ඒ සමගම අප්‍රිකානු රටවල ස්වාභාවික සම්පත් වලින් උපරිම ඵල නෙළීමේ වාසියද චීනයට අත්ව තිබේ. බටහිර කඳවුරට අභියෝග කරමින් චීනය දකුණු ශාන්තිකර සාගර කලාපයේ කුක් දුපත් වැනි කුඩා රාජ්‍යයන් සමග සහයෝගිතා ගිවිසුම් හා මූල්‍ය සංවර්ධන ක්‍රියාදාමයන් සදහා ගිවිසුම් වලට එළැඹ ඇත්තේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි කලාපීය බටහිර බලවතුන් විපිළිසර කරමිනි.
ට්‍රම්ප් පාලනය විදෙස් ආධාර වැඩසටහනෙන් සම්පූර්ණයෙන් මිදුණද නව යෝජනා සමග ගෝලීය දකුණ වෙත අවතීරණ වනු ඇත. එහෙත් අමෙරිකානු පාලනය නොබෝදා ශ්‍රී ලංකාවද උදාහරණ කරගනිමින් පෙන්වා දුන් විවිධ පාර්ශ්ව සංතර්පණය කිරීමේ හා දේශපාලනික හා සමාජයීය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේ අතීත ස්වරුපයේ මෙහෙයුම් කරා එළැඹෙනු ඇතැයි සිතිය නොහැක. එය පැහැදිළි ප්‍රතිපත්ති වෙනසක් ලෙස
දක්නට හැක.
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදෙස් ආධාර නැත ඉල්ලන්නත් එපා අමෙරිකානු කසකාරයා පසුපස බ්‍රිතාන්‍යය හා යුරෝපයත්