මෙරට ඡන්දදායක ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරණි දේශපාලන පක්ෂ දේශපාලන කටුගෙටද දැඩි සත්කාර ඒකකයටද යවා තිබේ. මෙම සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ කෙරෙහි ඡන්ද දායක ජනතාව තුළ කිසිදු කැමැත්තක් නොමැති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් ඉතා පැහැදිලිව පෙන්වාදී තිබේ. මෙවර ඡන්ද ප්‍රකාශ නොකළ පනස් තුන් ලක්ෂයෙන් සාතිශය බහුතරය විපක්ෂයේ ඡන්දය. එජාප – සජබ භේදය නිසා 2020 දී මහ මැතිවරණයේදී එජාප ඡන්ද දායකයන් ලක්ෂ 27 ක් දෙනා ඡන්දය වර්ජනය කළ ආකාරයටම මෙවර ලක්ෂ 53ක ජනතාව පෙන්වා ඇත්තේ විපක්ෂය ප්‍රතික්ෂේප කරන බවය.
මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම ජනතාවගේ උනන්දුව අවම බව පෙනෙන්නට තිබිණි. අපේක්ෂකයන් කිහිප දෙනකු වැඩකරන බව පෙනුණද ජනතාව සිටියේ මැතිවරණය ගැන කිසිම උනන්දුවකින් තොරවය. මෑත කාලයේ මැතිවරණයක් මෙතරම් දුරට එපාවූ අවස්ථාවක් අපගේ සිහියට නොනැගෙයි. බොහෝදෙනාට තිබූ ප්රශ්නය ඡන්දය දෙන්නට සුදුසු පුද්ගලයකු අපේක්ෂක ලැයිස්තු තුළ නොවීමය. මෙයට වගකිව යුත්තේද දේශපාලන පක්ෂ හා ජනතාවම මිස අන් කිසිවකු නොවේ. ජනාධිපතිවරණයෙන් මාලිමාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ පක්ෂවල පළපුරුදු දේශපාලකයන් ගණනාවක් මෙවර තරග නොකිරීමට තීන්දු කර තිබිණ. ජනතාවට මැතිවරණය එපාවීමට එයද එක් හේතුවකි. ලක්ෂ 53ක ජනතාවක් ඡන්දය වර්ජනය කළේ ඒ නිසාය.
විපක්ෂය මහා මැතිවරණයෙන් පරාජය පිළිගත්තේ නාමයෝජනා දෙන්නටත් පෙරය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එජාපය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය එක්ව ඒ ඒ දිස්ත්‍රික්කයට නිතරග ගිවිසුම් යටතේ හෝ එසේත් නැතිනම් පක්ෂ තුනම එක්ව හෝ තරග වැදුණේ නම් වත්මන් ආණ්ඩු පක්ෂයට ප්‍රබල තරගයක් දීමට ඉඩ තිබුණේය. ජනාධිපතිවරණයේදී එම පක්ෂ තුනට සියයට පනස් හතක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර ජාතික ජන බලවේගයට තිබුණේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්රතිශතයකි. සංවිධානාත්මක මැතිවරණ සටනක එක්ව නිරතවීමේ එක්කෝ මහ මැතිවරණය ජය ගැනීමට හෝ නැතිනම් ආණ්ඩු පක්ෂය සමග කරට කර මැතිවරණ සටනක නිරත වී දෙපක්ෂය අතර මන්ත්‍රී ආසන ගණන් පරතරය අඩු කරගැනීමට ඔවුන්ට ඉඩ තිබිණ. එහෙත් එම ප්‍රධාන පක්ෂ තුන ඒ වෙනුවට කළේ කිසිවකුත් නොසිතූ ලෙස පළමු වටයේදීම පරාජය පිළිගෙන උදාසීන අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමය. පක්ෂ තුන එකතු නොවුවාට අමතරව එම පක්ෂ තුනේ ප්‍රධාන පෙළේ බලකණු සියල්ලම දේශපාලනයෙන් සමු ගත්හ. මෙවර තරග නොකරන බවට හිටපු මැති ඇමතිවරුන් නිවේදන නිකුත් කරන්නට පටන් ගත්තේ තරගයටය. එහි ප්‍රතිඵලය වූයේ ඡන්දදායකයා තව තවත් අසරණ වීමය. සම්ප්‍රදායික ප්‍රභූ යයි සම්මත පක්ෂ මෙවර වඳවී ගියේ 1977 දී සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ වඳවී ගිය ආකාරයම සිහිගන්වමිනි.
ලංකාවේ ප්‍රභූ දේශපාලකයන් බවට ප්රකටව සිටියේ රජවරුන්ගෙන් නින්දගම් ලැබූ පරම්පරාවල පාරම්පරික ධනවතුන්ය. ඔවුන්ගේ මුල්කාලීන පරම්පරා, රාජකාරි ක්‍රමය යටතේ යටත් වැසියන්ගෙන් වැඩ කරවා ගත් අයවූ අතර විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත ‘‘වලව්’’වල පදිංචිව සිටියෝ වූහ. උඩරටදී කොබ්බෑකඩුව පරපුර බෝතලේ සේනානායක පරපුර, හොරගොල්ලේ බණ්ඩාරනායක පරපුර සබරගමුවේදී මහවලතැන්න පරපුර මෙකී ප්‍රභූ සමාජයට උදාහරණ වේ. මේ ප්‍රභූ පරපුර තමන්ගේ ඉඩ කඩම් වස්තුව මන්දිර විකුණමින් හෝ උගස් කරමින් හෝ දේශපාලනයට විදයම් කළා මිස රටේ ජාතික ධනයෙන් මුදල් හම්බ කළේ නැත. එකී ප්‍රභූ පරපුරට ජනතාවගෙන් වන්දනීයත්වයක් තිබිණ. සේනානායක පරපුරේ අගමැති ඩඩ්ලි සේනානායක මියගිය විට ඔහුට අවසන් ගෞරව දක්වන්නට ආ රටවැසියන් ගණන ලක්ෂ පහ ඉක්මවූ බව කියති. කොළඹ නගරයෙන් සැතපුම් ගණන් දිග මිනිස් දම්වැලක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට දින ගණන් පෝලිමේ සිටියහ. මෑත කාලයේ ව්‍යාපාර මගින් ධනවත් වූ කිසිම දේශපාලකයකුට එවැනි ජනතා බුහුමනක් ලැබුණේ නැත. වර්තමාන විපක්ෂයද වෙනස් විය යුත්තේ ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ පුද්ගලයන් ඉදිරියට ගනිමිනි. රූපවාහිනිය ඇතුළු ජනමාධ්‍ය මගින් ජනතාව ඇමතීමේදී ජනතාවට අප්‍රසන්න වූ හිටපු මැති ඇමැතිවරුන් ඉදිරියට නොගෙන අලුත් මුහුණු හඳුන්වාදීමට පෙලඹුණේ නම් විපක්ෂයට මේ වනවිටත් යම් ජනතා ආකර්ෂණයක් ඇති වෙන්නට ඉඩ තිබිණි. එයට හේතුව නම් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ වැඩ පිළිවෙළ තවමත් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීමය. ආණ්ඩුව තවමත් කතා පෙට්ටියක් මිස වැඩ කඳවුරක් බවට පත්වී නොමැති අතර එහි වැසිය ලබා ගැනීමට විපක්ෂය මේ වනතුරත් ඉදිරිපත් වී ඇති බවක් දක්නට නොලැබේ. විපක්ෂයේ ප්රතිසංවිධානක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පැවැති මහ මැතිවරණයේදී විපක්ෂය පරාජය වන බව දැන සිටියත් විපක්ෂයේ පක්ෂ තුනම පෙනී සිටියේ තමන්ට තවමත් අති විශාල ජනබලයක් ඇති පක්ෂ ලෙසටය. එහෙත් ජනතා තීන්දුව වූයේ සමස්ත විපක්ෂයම ශුද්ධ කර දැමීමය. සජබය දිනා ගත්තේ මැතිවරණ කොට්ඨාශ දෙකක් පමණකි උතුරේ දෙමළ සංධානයට ආසන හයක ජය හිමිවිය. මුස්ලිම් කොංග්‍රසයට ජය හිමි වූ මැතිවරණ කොට්ඨාසයත් සමග සමස්ත විපක්ෂයම ජය ගත්තේ මැතිවරණ කොට්ඨාශ නවයක් පමණකි. ජේ ආර් ගේ සමානුපාතික ඡන්ද ක්‍රමය නොතිබුණේ නම් සජබයෙන් පාර්ලිමේන්තු යනු ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණකි. සමස්තයක් ලෙස ගත්විට විපක්ෂයක් මෙතරම් සෝදාපාළු වූ අන් මැතිවරණයක් මෙරට නොවීය. යාන්තමින් හෝ සමස්ත විපක්ෂයට මන්ත්‍රී ආසන 66ක් ලැබී ඇත්තේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හදා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමයට පිං සිද්ධ වෙන්නය. මෙතරම් දරුණු ආකාරයට සෝදාපාළු වී ගියත් විපක්ෂයේ සියලු පක්ෂවල නායකයන් තවමත් එම තනතුරුවලමය. වසර ගණනාවක් තිස්සේම අසාපුරුදු පක්ෂ ප්රතිසංවිධාන ගැන යළිත් කතාකරන බව පෙනෙන මුත් විපක්ෂයේ හුරුපුරුදු ක්‍රමය අනුව කාලයට ඉඩදී බලා සිටිවිට මාස දෙක තුනක් යද්දී ප්රතිසංවිධාන හඬ වියැකී යයි. අවසානයේ විපක්ෂයේ සියලු පක්ෂවල දැන් සිටින නායකයන්ම ඉදිරියටත් එම තනතුරුවලම කටයුතු කරන ආකාරය දැනගත හැකිවනු ඇත.
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළත් මහ මැතිවරණ ව්‍යාපාරය තුළත් විපක්ෂයේ පක්ෂ තුනටම නිසි සංවිධානාත්මක වැඩපිළිවෙළක් හෝ ක්රියාකාරීත්වයක් තිබුණේ නැත. ආඬි හත්දෙනාගේ කැඳහැළිය මෙන් අනුන් වැඩකර තමන් දිනවනු ඇතැයි බලා සිටියා මිස කිසිදු ආසන සංවිධායකවරයකු සක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක යෙදුණේ නැත. සජබය, සිලින්ඩරය හා පොහොට්ටුව යන පක්ෂ තුනටම මෙම චෝදනාව පොදුය.
දේශපාලන පක්ෂයක් දේශපාලනය කළ යුත්තේ ජනතාවගේ කාලීන අවශ්‍යතා තේරුම් ගනිමිනි. ජනතාවගේ කාලීන වෙනස්කම්වලට හැඩ ගැසෙමිනි. පොදුවේ ගත්විට යාවත්කාලීන වීම යනුවෙන් හැඳින්වෙන්නේ එයය. එහෙත් මෙරට දේශපාලන පක්ෂ යාවත්කාලීන වීම තබා ඒ ගැන හදාරා ඇති බවක්වත් පෙනෙන්නට නැත.
මෙවර විපක්ෂයට ගොස් සිටින දේශපාලන පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍රය ජනතාව ලවා අනුමත කර ගන්නට හැදුවා විනා ජනතාවගේ න්‍යාය පත්‍රයට ඉඩ ලබාදුන්නේ නැත. දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රය හා ජනතාවගේ න්‍යාය පත්‍රය අතර බරපතළ වෙනස්කම් තිබේ. මෙරව විපක්ෂයට ගිය දේශපාලන පක්ෂ ජනතාවට එපා වී සිටි සම්ප්‍රදායික වට්ටෝරුවේ අපේක්ෂකයන් ඉදිරිපත් කළා විනා නවරැල්ලේ අලුත් පන්නයේ අපේක්ෂකයන් ඉදිරිපත් කළේ නැත. ජාතික ජනබලවේගය උඩරට තේ වත්තක දුෂ්කරතා මැද තේදලු නෙළන එමෙන්ම කුඩා ලැයිම් කාමරයක දිවි ගෙවන අම්බිගා සැමුවෙල් අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් කරනවිට සාම්ප්‍රදායික පක්ෂ ඉදිරිපත් කළේ මුදලාලි පෙළැන්තියේ හා ව්‍යාපාරික පෙළැන්තියේ අපේක්ෂකයන්ය. මෙවර මහා මැතිවරණයේ රැල්ල තිබුණේ අම්බිගා වැනි අපේක්ෂිකාවන්ට මිස මුදලාලි පන්නයේ අපේක්ෂකයන්ට නොවන බව මෙම දේශපාලන පක්ෂ දැන සිටියේ නැත. යාවත්කාලීන වෙනවා කියන්නේ ඒකටය. ජාතික ජන බලවේගයද ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා මහා මැතිවරණය අතරතුරදී වඩ වඩාත් යාවත්කාලීන වී තිබිණ. තමන්ට ඡන්දය දුන්නේ සාම්ප්‍රදායික ජවිපෙ පාක්ෂිකයා පමණක් නොව අති විශාල ලෙස වෙනත් පක්ෂවලට ඡන්දය දුන් ජනතාව බව ඔවුන් තේරුම් ගත්හ. ඒ අනුව ජනවරම ලැබුණේ වාමාංශික රජයක් ඇති කිරීමට නොවන බව ඔවුහු තේරුම් ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ රජයක් බිහි කිරීමට නොවන බවද ඔවුන් තේරුම් ගත්හ. යාවත්කාලීන වෙනවා කියන්නේ ඒකටය. ඒ නිසා මහ මැතිවරණ ජයග්රහණයෙන් පසු කැබිනට්ටුව තෝරාගැනීමේදී සැමදාම පැවැති ආණ්ඩුවල කෘෂිකර්ම ඇමැතිවරුන් විවේචනය කළ නාමල් කරුණාරත්නට කෘෂිකර්ම ඇමැති ධුරය නොලැබුණේය. කෘෂිකර්ම ඇමති ධුරය යනු ජවිපෙට පමණක් සේවය සැලසිය යුතු ඇමැති ධුරයක් නොවන බව ජාතික ජනබලවේග රජය තේරුම්ගෙන තිබිණ. ඉටු කළ යුත්තේ සියලු ජනතාවගේ අභිලාෂයන්ය. ජාතික ජනබලවේගය එසේ යාවත්කාලීන වෙද්දී සෙසු පක්ෂ ගමන් කළේ පැරණි පාරේය. ඔවුන්ගේ නාමයෝජනා ලැයිස්තුවල සිටි අපේක්ෂයන් දෙස බලන විට ලක්ෂ 53ක ජනතාවක් ඡන්දය වර්ජනය කිරීම පුදුම වෙන්නට දෙයක් නැත.
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය සිහි ගන්වන්නේ වටු කුරුල්ලන් දැල ඔසවාගෙන ගොස් ජයගත් පැරණි කතාවය. සාමූහික ජයග්‍රහණයේ කතාවය. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය තුළම තිබුණේ කූඹි ගුලක කඩිසරකමය. විපක්ෂයේ සියලු පක්ෂවල තිබුණේ කුම්භකර්ණගේ ජීවන රටාවය.
විපක්ෂය දේශපාලනය ඉගෙන ගත යුත්තේ අන් කවරයකුගෙන්වත් නොව ජවිපෙන් සහ ජාතික ජන බලවේගයෙනි. ජාතික ජනබලවේගය ක්‍රියාත්මක කළේ ජනතාවගේ න්‍යාය පත්‍රයය. ජනතාව ඉල්ලා සිටි දෙයය. ගාලුමුවදොර අරගලයේදී ජවිපෙ හා ජාතික ජනබලවේගය නියෝජනය කළේ ඉන් කුඩා කොටසකි. එහෙත් එයට සහභාගී වූ සියලු ජනතාවගේ මුවග තිබුණේ ප්‍රභූන් රට පාලනය කළා දැන් ප්‍රමාණවත් බවය. දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසකට රට භාරවිය යුතු බවය. ජාතික ජනබලවේගය මැතිවරණයට ඉදිරිපත් වූයේ ජනතාවගේ පොදු ඉල්ලීම් තේරුම් අරගෙනය. ඔවුන්ගේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම ඒ අනුව හැඩ ගැසුණේය. නිරතුරුවම ගැටුම්වලට බර වූ ජවිපෙ කථිකයන් පසෙකට කර මැදහත් සාධාරණ කථිකයන් පෙරට ගෙනෙනු ලැබීය.
1994 මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගටම අර්බුද ඇතිවිය. නායකත්වය සහ මැතිවරණ පරාජය පිළිබඳව එකිනෙකා බැණ අඬ ගසා ගැනීමේ ප්‍රතිඵලය වූයේ ජනතාවට එම පක්ෂය එපාවීමය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එම පක්ෂය සැමදා විපක්ෂයේය යන මතය ගොඩනගන ලද්දේ ශ්‍රීලනිපයේ ජනමාධ්‍ය ප්‍රධානීන් විසිනි. සැබැවින්ම එජාපය පක්ෂයක් ලෙස 2001 දී දිනූ අර්ධ අවස්ථාව හැර අන් කිසිම අවස්ථාවක මැතිවරණ ජයග්‍රහණයක් ලැබුවේ නැත. අවසානයේ සියළු ජ්‍යෙෂ්ඨයන් එජාපයෙන් නික්ම ගිය ඉක්බිතිව අවසාන බල ගැටුම වූ රනිල් - සජිත් ගැටුමෙන් එජාපය යළි පිළිසකර කළ නොහැකි ලෙස දෙකඩ විය. සජබය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය.
බිහිවූ දා සිට සජබයද කිසිම මැතිවරණයක් ජයග්‍රහණය කර නැත. මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මතුවී ඇත්තේද එම පරාජය සම්බන්ධ සියලුම ආකාරයේ මත ගැටීම් වේ. එම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතර සඳහා ඉල්ලුම්කරුවන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටීම නිසා සජබයේ ජාතික ලැයිස්තු තවමත් පුරවා අවසන් කර නැත. රිෂාද් බදුර්දීන්ගේ පක්ෂය, රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය, ශ්රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක්ම තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව පවසා තිබේ. ඊට අමතරව තරගවැදී පරාජය වූ කිහිප දෙනකුද තමන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර අවශ්‍ය බව කියමින් සටන් මගට බැස ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සජබයට සහාය දුන් කණ්ඩායම සඳහන් කරන්නේ තම කණ්ඩායමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබෙන්නේ නම් සමගි ජන බලවේගයෙන් ඉවත්වන බවය. ඉකුත් මහා මැතිවරණයේදී වඩාත්ම කොටස්වලට කැඩී ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. එම පක්ෂයේ සිටි පිරිස පක්ෂ හා කණ්ඩායම් පහකින් මහ මැතිවරණයට තරග වැදුණද ජයග්‍රහණය කළේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පමණකි. මෙම කණ්ඩායමේ ඇතැමුන්ගේ මතය වන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැමිණෙන විටත් පක්ෂය මන්ත්‍රීධුර ගැටලුව අවසන් නොවනු ඇති බවය.ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වූ කණ්ඩායම ඔවුන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා කා කොටගත් ආකාරය ඔවුන්ට ඡන්දය දුන් සුළු පිරිසට පවා යළිත් එම පක්ෂය දෙස නොබලන්නට අවස්ථාවක් උදාකර දුන්නේය. මන්ත්‍රී ආසන 159ක අති විශාල බහුතර බලයක් සහිත ආණ්ඩුවකට එදිරිව සිටින විපක්ෂය තුළ එවැනි කා කොටා ගැනීම් ඇතිවීම අපට සිහිපත් කරන්නේ විපක්ෂයේ භූමිකාව අපට ඔවුන්ගෙන් දැක ගැනීමට නොලැබෙන බවය. තමන්ගේ වැරදි නිසා මැතිවරණයෙන් අන්ත පරාජයට පත්වූ බවට වටහා නොගන්නා විපක්ෂයේ ඇතැම්හු යළිත් පරණ පුරුදු මෝඩ කතාවලට පණ දෙමින් සිටී. මේ ආණ්ඩුවටද ඉල්ලීම් ඉටුකරගත නොහැකිව ජනතා විරෝධය හමුවේ ගෝඨාභය මෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති. ඔවුන් යළිත් ජනතාව රවටන්නට හදන්නේ එවැනි සුරංගනා කතාවලිනි.
ප්රජාතන්ත්රවාදී ජාතික සංධානය යටතේ මන්ත්‍රීවරුන් සිව්දෙනකු පමණක් ජවිපෙට හිමිව සිටි 2010 මහා මැතිවරණයෙන් පසු එවකට පැවැති රජයේ කටයුතු විවේචනය කළ ප්‍රධානතම කථිකයකු වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. එකලත් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය ලෙස සිටියද පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ හඬ එතරම් ප්‍රබල ලෙස නැඟුණේ නැත. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් බිහිවන කථිකයන්ට වඩා වාමාංශික පක්ෂවල කථිකයන් නිතරම ජනතාව අතර ජනප්‍රිය වන බව අපට අතීතයෙන් අවශ්‍ය තරම් උදාහරණ ලැබේ. ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ආර්.ජී. සේනානායක, සරත් මුත්තෙට්ටුවේගම ඒ සඳහා උදාහරණ කිහිපයකි. ඔවන්ගේ හඬ නිතරම ප්‍රධාන විපක්ෂයේ කථිකයන්ගේ හඬට වඩා ජන මනසට කාවැදුණේය. 2012දීත් ඉතාම සුළු ආසන ගණනක් තිබූ පක්ෂයේ නායකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එවකට රජයේ කටයුතු දැඩි ලෙස විවේචනය කළේය. රාජපක්ෂ බල කඳවුරේ විදේශ තානාපති සේවා නිලධාරීන් පත් කිරීම විවේචනය කරමින් පාර්ලිමේන්තු සභා ගැබම හෙල්ලුම් කවන කතාවක් කළ ජවිපෙ නායකයා තම ඥාතීන් හිතවතුන් තානාපති සේවයට යවා ඇති බවට එවකට රජයට එල්ල කළ චෝදනාව විදේශීය බලවත් රාජ්‍යයන් පවා අවධානය යොමු කළ කතාවක් විය. ජවිපෙ මන්ත්‍රීන් ඉතා සුළු පිරිසක් සිටියද ‘‘ජවිපෙටත් රට බාරදී බලමු’’ යන මතය ජනමනසට කා වැදුණේ එවැනි කතා නිසාය. එජාපය විපක්ෂය ලෙස පාර්ලිමේන්තු ආසනවල ඔවුන්ගේ ශරීර කූඩු සතපවා තිබුණද ඔවුන්ට කිසි විටක එවැනි ජනප්‍රියතාවක් ලබාගත නොහැකි විය.
විපක්ෂයක් ලෙස අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුත්තේ එපරිදිය.
විපක්ෂය සෝදා පාළු කරමින් ජනතාව ලබාදී ඇති පණිවිඩය වන්නේ පක්ෂ තුනේම ප්රතිශෝධනයක අවශ්‍යතාවය. ඔබ සිටිනතුරු අප ඡන්ද පොළට නොයමු යන පණිවිඩය ලක්ෂ 53ක ජනතාවක් ලබාදී ඇත්තේ දේශපාලන පක්ෂවලට වටහා ගන්නටය. මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ විපක්ෂය ගැන උනන්දුවක් දක්වන ජනතාව ජයග්‍රහණයක් ලබාදීමට නම් සිය පක්ෂ අර්ථවත් ප්රතිසංවිධානයකට ලක්කළ යුතු බව පක්ෂ නායකයන්ට ලබාදී ඇති පණිවිඩයය. ජනතාව ඉල්ලා සිටින දේ ඉටු කිරීමට එම පක්ෂ අසමත් වේ නම් මහජනතාව තවදුරටත් එවැනි පක්ෂ කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා නොකරනු ඇත.
ප්‍රේමකීර්ති රණතුංග
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විපක්ෂයට දෝශාභියෝගයක්