IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?

1981 වර්ෂයේදීත් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ඇටයක්වත් මිලදී ගත්තේ නැත. ගොවීන් හැරුණේ මණ්ඩලය දෙසට නොව කමතටම පැමිණ තෙත වී මිලදී ගන්නා මුදලාලිලා වෙතටය. මේ සම්බන්ධයෙන් අද මෙන්ම ජනමාධ්‍යයේ පළ වෙද්දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එකල කෘෂිකර්ම ඇමැති ඊ.ඇල්. සේනානායක මහතාගෙන් මෙම පුවත සැබෑදැයි වීමසීය. පුවත සත්‍ය බවත්, මණ්ඩලයට වී ඇටයක්වත් ලැබී නැති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය. ගොවීන් වාහනවලට වියදම් කරමින් මණ්ඩලයට වී නොගෙනෙන බවත්, කළ යුතු එකම දේ පැවැති සමගි පෙරමුණු රජය සමයේ කළ අයුරින්ම “හාල් පොල්ල” යළි ක්‍රියාත්මක කිරීම බවත් ඊ.ඇල්. සේනානායක ඇමැතිවරයා කීවේය. 

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපතිවරයා පැවැසුවේ, වී අලෙවි මණ්ඩලය යළි සක්‍රිය කර මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බවය. වසර දහයකට වැඩි කාලය තුළ වී අලෙවි මණ්ඩලය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ගබඩාවල දූවිලි බැඳී වසා දැමුණු තත්ත්වයට පත්ව ඇත. 
වී ගබඩා 220ක් මණ්ඩලය සතු වුවත්, එම ප්‍රමාණය මෑත ඉතිහාසය තුළ සම්පූර්ණයෙන්ම පිරවුණේ නැත. ඒ සඳහා නිලධාරින්ට උනන්දුවක් තිබුණේත් නැත. 
වී අලෙවි මණ්ඩලය 1970 වර්ෂයේ බලයට ආ සමගි පෙරමුණු රජයේ නිර්මාණයකි. 1971 අංක 14 දරන පනතින් ආරම්භ වූ වී අලෙවි මණ්ඩලය මෙහෙයුම් කටයුතු ඇරැඹුවේ 1972 වර්ෂයේ සිටය. 1972 වර්ෂයේදී සමගි පෙරමුණු රජය යටතේ ආරම්භ කළ වී අලෙවි මණ්ඩලයට “හාල් පොල්ල” දමන තුරුම නිසි ලෙස වී ලැබුණේ නැත. 1974 වර්ෂයේදී ‘ලංකාදීප’ පත්‍රයේ මුල් පුවතින් වාර්තා කළේ, “තිබෙන වී ටිකත් මුදලාලිලා ගනිති” යනුවෙන්. මණ්ඩලය වී බුසලක් සඳහා ගෙවනවාට වඩ වැඩි මුදලක් මුදලාලිලා විසින් ගෙවනු ලැබීම හා වී ගෙනත් දෙනතුරුම මණ්ඩලය බලා සිටීම මණ්ඩලයට වී නොලැබීමට හේතු විය. 


රජය සතු වී ගබඩාවල ධාරිතාව වී කිලෝ ලක්‍ෂ තුනකි. එහෙත්, එම ප්‍රමාණය පිරවීමට වී මිලදී ගැනීම සඳහා රජයට මුදල් නොමැති අතර, ජනාධිපතිවරයා පවසන්නේ, රජය සතු ගබඩාවලින් කොටසක් පෞද්ගලික අංශයට කුලියට දෙන බවය. පසුගිය ආණ්ඩු කිහිපයක්ම වැඩි මිලට ගත් වී අඩු මිලට විකිණුවා අපට මතකය. මෙහිදී එම වී විකිණීමට සිදුවන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් ළඟ වී තොග හිඟ වූ පසුවය. රජය ගන්නා වී කොටා සහල් කර වෙළෙඳපොළට විකිණීමේ යාන්ත්‍රණයක් නොමැති අතර, වැඩි මිලට ගත් වී තොග වෙළෙඳුන් ඉල්ලන මිලට ලබා දී ගබඩා හිස් කිරීමට රජයට සිදු වීම දෝෂාරෝපණයට ලක්විය යුතු දෙයක් නොවේ. එහෙත්, සිදුවන්නේ එයයි. පෞද්ගලික වෙළෙඳුන් රජයට පෙර වී තොග සූරා ගැනීම ගෙවී ගිය වසර හැට හැත්තෑවක කාලය පුරාම සිදු විය. ගොවියා වී සඳහා සහතික මිලක් ඉල්ලා හඬ නැගීමත්, රජය වී සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට පෙර පෞද්ගලික වෙළෙඳුන් අඩු මිලට වී තොග සූරා ගැනීමත් සැමදාම දැකගත හැකි වූ තත්ත්වයක් විය. වී සහතික මිල යනු, මෙරට ගොවීන්ගේ නොනවතින අරගලයකි. 
අතීතයේදී වී සහතික මිල නියම කළේ මුදල් ඇමැතිවරයා තමන්ගේ අයවැය යෝජනාවලියෙනි. වසරකට එක් වරක් පමණක් වී සහතික මිල නියම කෙරෙයි. 1970 වර්ෂයේදී සමගි පෙරමුණු රජයේ මංගල අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වී බුසලක සහතික මිල රුපියල් 18ක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 1977 වර්ෂයේදී එ.ජා.ප. රජයේ පළමු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළ මුදල් ඇමැති රොනී ද මැල් වී බුසලක සහතික මිල රුපියල් 40ක් ලෙස නියම කළේය. එකල අද තරම් සහල් මෝල් හිමියෝ බලවත්ව නොසිටියෝය. වී තොග රැස්කරගෙන සිටියත් ඔවුන්ට සහල් විකුණන්නට සිදු වූයේ රජය ලබා දෙන පාලන මිලටය. එහෙත්, අද තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. රජය පාලන මිලක් නියම කළ ද, වී සහ සහල් යන වර්ග දෙක සඳහාම අවසානයේ වෙළෙඳපොළේදී තීන්දු වන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් සිල්ලර වෙළෙන්දාට ලබා දෙන මිල මිස, රජය ලබා දෙන මිල නොවේ. 2020 වර්ෂයේදී එවක රජය ද වර්තමාන රජය සේම වී සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් වැටලීමට කටයුතු කළේ යුද හමුදාව ද යොදවමිනි. හමුදා වාහනවලින් සහල් ටිකක් ප්‍රදර්ශනාත්මක ලෙස බෙදාහැරීම ද සිදු විය. එහෙත්, අවසානයේ ඒ සියල්ල යට ගිය අතර, සිදු වූයේ, රජය පැනවූ පාලන මිලට වෙළෙඳපොළේදී මිලට ගන්නට සහල් හිඟ වීම නිසා මහා පරිමාණ වෙළෙඳුන් නියම කරන මිල උපරිම සිල්ලර මිල ලෙස පිළිගැනීමට රජයට සිදු වීමය. 
ජේ.ආර්. අගමැති වූ විගසම තමා යටතට පවරා ගත් ආයතන අතර වී අලෙවි මණ්ඩලය ද විය. එතෙක් කල් ආහාර හා සමුපකාර අමාත්‍යාංශය යටතේ පැවැති මෙරටට ආහාර ගෙන්වීමේ කටයුතුත්, ඉඩම් අමාත්‍යාංශය යටතේ තිබූ වී අලෙවි මණ්ඩලයත් පවරා ගත්තේ එම ආයතනවල නාස්තිය හා දූෂණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ නිසාය. ආහාර දෙපාර්තමේන්තුව සහල්, පිටි හා සීනි කෙළින්ම පිටරටින් ගෙන්වූ අතර, වී අලෙවි මණ්ඩලය මෙරට ගොවීන්ගෙන් වී මිලදී ගත්තේය. සහල් මිලදී ගැනීමේදී ඇතැම් නිලධාරින් කොමස් ගැසීම නිසා මිනිස් ආහාරයට නුසුදුසු සහල් පිටි ආදිය ගෙන්වා ඇති බව අගමැතිවරයාට වාර්තා වී තිබිණ. 
1977 වර්ෂයේ රජය බලයට පත්වූ වහාම ජයවර්ධන අගමැතිවරයාට වාර්තා වූයේ, ආහාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ලංකාවට සහල් ගෙන්වීමේදී රුපියල් පන්කෝටියකට අධික මුදලක් පිටරට සමාගම් කිහිපයකින් ලබා ගෙන ඇති බවය. මේ ගැන වහාම පරීක්‍ෂණයක් පැවැත්වීමට අගමැතිවරයා පියවර ගත්ත ද, නිලධාරියා වැරැදිකරු කිරීමට සාධක තිබුණේ නැත. 
වී අලෙවි මණ්ඩලය අභාවප්‍රාප්ත වීම ආරම්භ වූයේ 1977 වර්ෂයේ එ.ජා.ප. රජය පත්වූ පසුව බවට ඇති මතය සාවද්‍යය. මණ්ඩලය අවසන් හුස්ම හෙළීම ආරම්භ කළේ මණ්ඩලය ආරම්භ කළ සමගි පෙරමුණු රජය සමයේදීමය. එයට හේතුව මණ්ඩලය වී ගත්තේ නීති පනවා‌, හාල් පොලු දමා‌‌, වී ප්‍රවාහනය ගැන පොලිසියේ පරීක්‍ෂා කිරීම් සිදු කර, ත්‍රස්තවාදින් කුදලාගෙන යන ආකාරය සිහිගන්වන රාජ්‍ය මැදිහත්වීම් මත නිසාය. එකල රටේ තිබූ ආනයන පාලනය හා ආහාර පාලනය නිසා හාල් පොල්ලෙන් වී හා සහල් ප්‍රවාහනය තහනම් කෙරිණි. කරකියාගත දෙයක් නොමැති ගොවියෝ වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට යටත්ව වී ටික විකුණා රජයෙන් ලබා දෙන සොච්චම් මුදල හෝ භාර ගත්හ. එකල පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගත්ත ද, වර්තාමනයේ තරම් ආධිපත්‍යයක් එදා වෙළෙඳුන්ට නොතිබිණි. අද තරම් ශරීර හොරුන් එකල සිටියේ ද නැත. රටින් සහල් නොගෙනෙන නිසා කම්මැලියාට වුවත් කුඹුරු ගොවිතැනේ යෙදීමට සිදු විය. අද වෙළෙඳසල්වල ඕනෑ තරම් සහල් ඇති නිසා ඉඩකඩම් ඇති කම්මැළියෝ කුඹුරු ගොවිතැන අතහැර කඩෙන් හාල් මිලදී ගනිති. හාල් හිඟ නම් ආණ්ඩුවට බැණ වදිති. 
1981 වර්ෂයේදීත් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ඇටයක්වත් මිලදී ගත්තේ නැත. ගොවීන් හැරුණේ මණ්ඩලය දෙසට නොව කමතටම පැමිණ තෙත වී මිලදී ගන්නා මුදලාලිලා වෙතටය. මේ සම්බන්ධයෙන් අද මෙන්ම ජනමාධ්‍යයේ පළ වෙද්දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එකල කෘෂිකර්ම ඇමැති ඊ.ඇල්. සේනානායක මහතාගෙන් මෙම පුවත සැබෑදැයි වීමසීය. පුවත සත්‍ය බවත්, මණ්ඩලයට වී ඇටයක්වත් ලැබී නැති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය. ගොවීන් වාහනවලට වියදම් කරමින් මණ්ඩලයට වී නොගෙනෙන බවත්, කළ යුතු එකම දේ පැවැති සමගි පෙරමුණු රජය සමයේ කළ අයුරින්ම “හාල් පොල්ල” යළි ක්‍රියාත්මක කිරීම බවත් ඊ.ඇල්. සේනානායක ඇමැතිවරයා කීවේය. ජනාධිපතිවරයා පැවැසුවේ, එය තම ප්‍රතිපත්තිය නොවන බවය. වී මිලදී ගන්නට බැරි නම් මණ්ඩලය වසා දැමිය යුතු බව ජනාධිපතිවරයා ඇමැතිවරයාට පැවැසුවේය. 
බොහෝ ස්ථානවල වී අලෙවි මණ්ඩලය ගබඩා පවත්වාගෙන ගියේ කුලියට ගත් ගොඩනැගිලිවලය. වී මිලදී ගැනීමේ බලය රට පුරාම සමුපකාර ප්‍රාදේශීය වෙතත් ලබා දී තිබුණි. මෙම ස්ථානවලදී නිරතුරුවම වී අපතේ යාම, නරක් වීම සිදු විය. ඇතැම් රජයේ නිලධාරිහු වී ගෝනි සිය ගණනින් ඒවා සටහන් කළ පොත් සමඟම අතුරුදන් කළහ. ඇතැම් තැනක වී ගබඩා කරන්නට තිබූ හිස් ගෝනි දහස් ගණනින් අතුරුදන් විය. ගෝනි නොමැතිව වී මිලදී ගැනීමට ක්‍රමයක් නැති විය. සමගි පෙරමුණු රජය යටතේ තමන්ගේ ගෝල බාලයන් වී අලෙවි මණ්ඩලයේ ගබඩා භාරකරුවන් හා සේවකයන් ලෙස පත් කළ අතර, අනතුරුව ආ එ.ජා.ප. රජය තමන්ගේ ගෝල බාලයන් මෙම තනතුරුවලට පත් කළේය. අවසානයේ සිදු වූයේ, 1972 වර්ෂයේදී වැඩ ආරම්භ කළ වී අලෙවි මණ්ඩලය, 1982 වර්ෂයේ දස වස් පිරුණු සමය වන විට වී නොමැතිව මන්දපෝෂණයෙන් පෙළීමය. 
වර්තමාන රජය වී අලෙවි මණ්ඩලය යළි සක්‍රිය කිරීමට උත්සාහ කිරීම අගය කළ යුතුය. ඒ සඳහා මණ්ඩලය පමණක් තනිව කටයුතු කළ නොහැකිය. ජනාධිපතිගේ විධායක බලතල ඒ සඳහා අත්‍යවශ්‍යය. 
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවතින තත්ත්වය පැහැදිලි කරන්නේ මේ අයුරිනි.


“මෙහෙමයි... ලොකු ගණන් නොවෙයි, ටොන් එක දෙක දැන් අපිට ගෙනත් දෙනවා. තව ඉදිරියටයි ප්‍රධාන යායවල ගොයම් කැපෙන්න පටන් ගන්නේ. අපිට රුපියල් මිලයන පන්දාහක් දැනට දීලා තියෙනවා. ඒ මුල් වටයට. වී එන හැටියට තව මුදල් ලබා ගන්න පුළුවන්. අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක ඉඳලා වී අලෙවි මණ්ඩලය වැහෙන්න ඇරලයි තිබුණේ. අපිට එක පාරට නම් මේක හදන්න බැරි වෙයි. ඒත් අපි පටන් ගන්නවා. දැන් අලුත්වැඩියා කටයුතු ටිකක් ආරම්භ කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා ආහාර තොග පවත්වාගෙන යාම. වී පමණක්ම නොවෙයි. වී අලෙවි මණ්ඩලය හරහාමත් නොවෙයි. කවුරු මිලදී ගත්තත් සංචිත ගැන දත්ත පද්ධතියක් හැදීමයි රජයේ අරමුණ. ඒ සඳහා වී අලෙවි මණ්ඩල පනතත් වෙනස් කරගෙන යනවා. වෙනත් පනතකින් අපි වී මෝල් සියල්ල ලියාපදිංචි කරනවා. තොග එක්රැස් කිරීම කියන එක පනතෙන් ආවරණය වෙන්නේ නෑ. ඒ කාලෙ එහෙම අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති. ඇමැතිතුමාගේ උපදෙස් මත ඒ සඳහා නීතිය දැනට සකස් වෙමින් යනවා. කවුරු වී ගත්තත් අපි දන්නවා එතකොට රටේ මෙච්චර වී තියෙනවා කියලා..” සභාපති පින්නලන්ද සඳහන් කරයි. 
වී මිලදී ගැනීමට රජය මුදල් වෙන් කළ පමණින්ම මණ්ඩලයට වී ලැබෙන්නේ නැත. වී මිලදී ගැනීමට දිසාපතිවරුන්ට මහා භාණ්ඩාගාරයෙන් යැවූ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයටම එයි. උදාහරණයක් ලෙස, 2020 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන් එම තත්වය පැහැදිලි කරගත හැකිය. 2020 වර්ෂයේදී වාර්ෂිකව වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන තුනක් (ලක්‍ෂ තිහක්) ලෙස ගණන් ගැනිණි. එයින් වී මෙට්‍රික් ටොන් තුන් ලක්‍ෂයක් මිලදී ගැනීමට රජය වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය. ඒ සඳහා ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1900ක් වෙන් කළේය. එහෙත්, අවසානයේ මිලදී ගෙන තිබුණේ මෙට්‍රික් ටොන් 52,252කි. දිසාපතිවරුන් වෙත යැවූ රුපියල් මිලියන 1,900න් රුපියල් මිලියන 597ක්ම මහා භාණ්ඩාගාරයට පෙරළා ආපසු ආවේය. මෙට්‍රික් ටොන් ලක්‍ෂ තිහක අස්වැන්නෙන් රජයට මිලදී ගැනීම සඳහා ගොවීන් අලෙවි කර තිබුණේ මෙට්‍රික් ටොන් 52,252ක් පමණි. එතරම් විශාල අස්වැන්නක් රාජ්‍ය පංගුව වූයේ සොච්චමකි. 
මේ තත්ත්වයට බලපෑවේ අන් කිසිවක් නොව මණ්ඩලය කුඹුරට නොයා මණ්ඩලයේම සිට ගොවීන්ගෙන් වී ඉල්ලා සිටීමය. වී මුදලාලිලා ලොරි සිය ගණනකින් කමතටම ගොස් වී ගොවීන්ගෙන් කැපූ ගමන්ම තෙත වී තම ගබඩාවලට ගෙන එද්දී, වී අලෙවි මණ්ඩලය උභය කුල පාරිශුද්ධ නොඉඳුල් නොකැලැල් නිසි ලෙස වියළා පදම් කළ වී රැගෙන ගොවීන් වී අලෙවි මණ්ඩලය වෙත එනතුරු බලා සිටියේය. එවැනි වී ඇටයක් කිසිදා එන්නේ නැත. පෞද්ගලික අංශයේ මුදලාලිලා කමතටම ගොස් තෙත වී වැඩී ගණනක් ගෙවා මිලදී ගනියි නම්, වී අලෙවි මණ්ඩලය ද එවැනි ක්‍රියාදාමයක් වෙත යොමු විය යුතුය. සමස්ත නිෂ්පාදනයම රජයට මිලදීගත නොහැකි වන මුත්, අවම වශයෙන් ජනාධිපතිවරයා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දුන් රුපියල් බිලියන පන්සියයට සරිලන වී තොගය හෝ රැස් කරගැනීමට වී අලෙවි මණ්ඩලය ගොවි බිම වෙත යා යුතුය. එසේ නොමැත්තේ නම්, ලබන වසරේදීත් වී ප්‍රශ්නය මතු වන අතර, ඉන්දියානු ආයනනික සහල් පරිභෝජනය කිරීමට රටවැසියන්ට සිදු වීම අනිවාර්ය වේ. 

ප්‍රේමකීර්ති රණතුංග 



අදහස් (0)

වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 910 5

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 685 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2351 43

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1760 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 2021 15

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 1579 21

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 346 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site