IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ශ්‍රීලනිප අර්බුදය දිග් ගැහෙයි

ජනාධිපතිවරණයට දින ළංවෙමින් තිබේ. ඒ නිසා දේශපාලන කරළිය දවසින් දවස උණුසුම් වෙමින් තිබෙන බවක් ද පෙනේ. විවිධ  සන්ධාන හැදීම පිළිබඳ කතාබහ යන අතරේ ඇතැම්හු පක්ෂ මාරු කිරීමට ද සූදානම් වෙති. හොඳ ‘හොඳ සෙල්ලම්  එළිවෙන ජාමෙට’ යැයි කීවා සේ මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට පනින ආකාරය ද තව සති කීපයකින් දැකගැනීමට හැකි වෙනු ඇත.
ජනාධිපතිවරණයට කුමක් කරන්නේ දැයි පොහොට්ටුව තවමත් ප්‍රකාශ කර නැත. පොහොට්ටුවේ නායකයන් සිටින්නේ හොරගල් අහුලන ස්ථාවරයක බව පෙනේ. එළියට නොපෙන්වුවද බොහෝ දෙනා කියන්නේ පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වනු ඇති බවය. පොහොට්ටුව ඉකුත්දා බත්තරමුල්ල නෙළුම් මාවත ආසන්නයේ වෙනමම කාර්යාලයක් විවෘත කළේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙනි. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද එම අවස්ථාවට එක් වූ අතර සමහරුන් මුල දී කීවේ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් ධම්මික පෙරේරා ඉදිරිපත් කරනු ඇති බවය. එහෙත් දැන් බොහෝ දෙනා කියන්නේ පොහොට්ටුව ජනාධිපතිවරයාට සහාය දක්වනු ඇති බවය. පොහොට්ටුවේ වැඩි දෙනා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග බව  පැහැදිලිය. සමහරු පොහොට්ටුවේ රැස්වීම්වලට පවා නොයති.
ඒ නිසා බොහෝ දෙනෙකුගේ අදහස වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්  අන්තිම මොහොතේ ජනාධිපතිවරයා සමග සිට ගනු ඇති  බවය.

 


නිමාවක් නොපෙනෙන ශ්‍රීලනිප අර්බුදය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ද තවමත් විසඳෙන පාටක් නැත.
මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සහ නිමල් සිරිපාල පාර්ශ්වය අතර ගැටුම ද උග්‍ර අතට පැමිණ තිබේ. ආණ්ඩුවේ මැති ඇමති ධුර දරන සියලු‍ දෙනාම පාහේ ඉන්නේ නිමල් සිරිපාල සමගය.  පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, මෛත්‍රී සමග සිටින අතර, විජයදාස රාජපක්ෂ එහි සභාපතිත්වය දරයි. විජයදාසගේ සභාපති ධුරයට එරෙහිව දුමින්ද දිසානායක උසාවි ගිය අතර, ඔහු ඉල්ලා තිබුණේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසය. එහෙත් කොළඹ දිසා අධිකරණය දුමින්දගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර දැන් විජයදාස රාජපක්ෂට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීමේ අවස්ථාව හිමිව ඇත.

 


රනිල්ට සහාය දෙන්න වටේ යන සිරිපාල කණ්ඩායම


නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කණ්ඩායම අනුර යාපා - නිමල් ලංසා කණ්ඩායම සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට මේ දිනවල වෙහෙසමින් සිටි. අනුර යාපා - නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත  ජනාධිපතිවරයා බවට පත් කරගත යුතුය යන ස්ථාවරයේය. ඔවුන් පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ  මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටි අතර, ඒ වෙනුවෙන් නව සන්ධානයක් ගොඩ නැගීමට ද කැපවී සිටී. අනුර යාපලා කණ්ඩායම නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායම ඇතුළු පාර්ශ්ව සමග එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ගිය සතියේ පැවැත්වුණේ ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදීය. නිමල් සිරිපාල කණ්ඩායම නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, ආචාර්ය සුරේන් රාඝවන්, දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම සහභාගි වූ අතර නිමල් ලංසා, ප්‍රියංකර ජයරත්න ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ. මීට අමතරව වෙනත් පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් එස්. වියලේන්ද්‍රන්, සුදත් මංජුල, උදය කාන්ත ගුණතිලක, ජගත් ප්‍රියංකර, එම්.එම්. හාරිස්, ඉශාක් රහුමාන්, එම්. මුෂාරුෆ් ඇතුළු පිරිසක් ද එක්ව සිටි අතර, හිටපු මන්ත්‍රීවර​ෙයකු වන වීරකුමාර දිසානායක ද සහභාගි විය. පිරිස සඳහා හෝටලයේ උදේ කෑම ද සූදානම් කර තිබූ අතර, ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ නිමල් ලන්සාය. පිරිස කල් වේලා ඇතිවම පැමිණි අතර, මහින්ද අමරවීර තරමක් ප්‍රමාද විය. ඊට හේතු වූයේ ඔහුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් තිබීමය.
සාකච්ඡාව ආරම්භ වූයේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල දෙදෙනාගේ මූලිකත්වයෙනි. පිළිගැනීමේ කතාව කළේ අනුර ප්‍රියදර්ශන යාපාය. ඉන් අනතුරුව පිරිසට විවෘතව අදහස් දක්වන්නට අවස්ථාව ලබා දී තිබිණි. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කීවේ ඔක්තෝබර් මුල සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවය. ඒ නිසා සන්ධානය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා සියල්ල ජූලි 15 වැනිදාට පෙර අවසන් කළ යුතුව ඇතැයි ඔහු කීවේය
අනතුරුව අදහස් දැක් වූයේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාය. ‘අපේ පක්ෂයේ තියෙන අර්බුද ටිකත් අපි ඉක්මනින් විසඳගන්න ඕනැ. අපි හැමෝම එක මතයක ඉඳලා ඉදිරි මැතිවරණවල දී  රටේ තීරණාත්මක  බලවේගය වෙන්න ඕනැ’  දුමින්ද කීවේය. ඔහු කීවේ දැනටමත් එම තත්ත්වය උදාවී ඇති බවය. නිමල් සිරිපාල දුමින්දගේ කතාව අනුමත කරමින් කියා සිටියේ, අපි රජුන් තනන කණ්ඩායම වෙන්න ඕනෑ කියාය. මුස්ලිම් පක්ෂ නියෝජනය කරන එම්.එම්. හාරිස් කීවේ රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් අතාවුල්ලා, මනෝ ගනේශන් වගේ අය එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවය
එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා කීවේ මේ සම්බන්ධයෙන් ටී.එන්.ඒ. එක සමගත් විග්නේෂ්වරන් පාර්ශ්වය සමගත් සාකච්ඡා කළ යුතු ඇති බවය.
මේ කතාබහ යන අතරේ පිරිස කතා කළේ නව සන්ධානයේ ප්‍රධාන ප්‍රචාරක රැලිය හම්බන්තොටින් ආරම්භ කිරීම ගැනය. එය ලබන මස අටවෙනි දා පවත්වන්නට තීරණය විය. ජනතා ආකර්ෂණය දිනා ගන්නා ආකාරයට ඉතා සාර්ථකව මෙම රැළිය පැවැත්විය යුතු බව ජගත් පුෂ්ප කුමාර යෝජනා කළේය. නිමල් ලංසා කීවේ රැලියට කලින් අපේ කණ්ඩායම සමග එක් වීමට සූදානම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද එකතු කරගත යුතු බවය. ප්‍රියංකර ජයරත්න  ද කතාවට එක්විය. ඔහු කීවේ මේ සියලු‍ දේ අතරවාරයේ අපි ජනාධිපතිතුමා එක්කත් කෙලින්ම කතා කරන්න ඕනෑ කියාය. කතාබහ ඇදී ගිය නිසා දවල් ආහාරය ද හෝටලේ සූදානම් කර තිබූ අතර සාකච්ඡාවේ කතාබහට ලක් වූ තීන්දු තීරණ ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීම දුමින් ද දිසානායකටත් අනුර යාපාටත් පැවරිණි.

 


රනිල්ට  කඩේ යන්න ලජ්ජ නැද්දයි ප්‍රසන්නගෙන් අහලා


ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කේ මිනුවන්ගොඩ සහ මීරිගම ආසනවල ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් සාකච්ඡා මාලාවක් ඉකුත් සතියේ පැවැත්වුණේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න  රණතුංග පසුගිය කාලය පුරාම කීවේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතු බවය. මේ රැස්වීමට සහභාගි වූ පරණ ශ්‍රී ලංකා කාරයෙක් ප්‍රසන්නගෙන් ඇසුවේ ‘‘සර් මම ඉපදුණේම ශ්‍රී ලංකාකාරයෙක් විදිහට. මෑතක දී ඇමතිතුමාට කතා කරලා මම ඇහුවා රනිල්ට කඩේ යන්න ලජ්ජ නැද්ද කියලා. හැබැයි ඇමතිතුමා දැන් මට තේරෙනවා ඔබතුමා කියන දේ හරි කියලා. මමත් ඔබතුමාගේ මතයේ ඉන්නවා’’. එම පාක්ෂිකයා කීවේය.
ප්‍රසන්න කීවේ අපට සතුරාගේ බලාපොරොත්තුව ඉටු කරන්න බෑ. අරගලකාරයෝ මගේ ගේ ගිනි තිබ්බා. හැබැයි මාත් එක්ක ගිහිල්ලා ගෙවල් දොරවල් වාහන නැතිවුණු ඔයාලට සාධාරණය ඉෂ්ට කරලා තමයි මම උඩුගම්පොළ මගේ ගේ හදාගන්නේ ප්‍රසන්න කීවේය.

 


නොකියාම වෙඩින් එකට ගිහින් 


ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිය ආරක්ෂක අංශ දැනුම්වත් නොකොට හදිසියේම කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට ගියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුතකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවීමටය. එම මංගල්‍යයට ජනපති සහභාගී වන බව දැනහුන්නේ ව්‍යාපාරිකයාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ජනපති පමණකි.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයට ගිය රනිල් එය නිමවා එද්දී ආරක්ෂක අංශ වෙත කීවේ තමන්ට තවත් මංගල උත්සවයකට යාමට තිබෙන බවකි. එයින් ආරක්ෂක අංශ කලබලයට පත්වුව ද ඒ වන විටත් රථ පෙළ අදාළ හෝටලය ආසන්නයේ වීම නිසා ළඟම සිටින ආරක්ෂකයන් සමග ජනපති රනිල් විවාහ උත්සවයට ගියේ ඊට පැමිණ සිටි අයවළුන් ද පුදුමයට පත් කරමිනි.
ව්‍යාපාරික ෂම්මි මුතුමාල ඔහුව උත්සව ශාලාව වෙත කැඳවාගෙන යද්දී අතරමග නතර වූ ජනපති එහි හුන් අයගේ පුදුමය නිමා කරමින් “මම මෙතනට එන බව කලින් කියලා තිබුණා නම් අපේ ආරක්ෂක අංශයෙන් මෙතනට ඇවිල්ලා ඔයාලව පරීක්ෂා කරනවා. නොකියා ආවම කිසි ප්‍රශ්නයක් නෑ නේයි.” කියද්දී සැවොම අත්පොළසන් දුන්හ.
ජනපතිට අසුන් ගන්න මේසයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිටිනු දැක උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ද එහි පැමිණ අසුන් ගත්තේය. මෙලෙස පිළිවෙළින් මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පී. හැරිසන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ෂම්මි මුතුමාල ද එහි අසුන් ගත්තෝය.
විදෙස් විශ්වවිද්‍යාල ගැන හා ඒවායේ උපාධි ගැන කතා බහක් ඇදී ගියේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා ඒ ගැන කතාවක් ඇද ගත් අවස්ථාවේදීය. “මටත් උසස් අධ්‍යාපනය කරන්න විදෙස් විශ්වවිද්‍යාලවලට යන්න යෝජනා ආවා. හැබැයි මම තීන්දු කළේ මෙරට විශ්වවිද්‍යාලයට යන්න නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට මම ඇතුළත් වුණා. ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියේ වටිනාකම එදා ඉඳලම මම දැනගෙන හිටියා.” ජනපති කිසිදා හෙළි නොකළ කතාවක් හෙළි කළේ එලෙසිනි..
“ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියට ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා. ජනාධිපතිතුමා එදා ගත්තු තීරණයේ වාසිය අදටත් ලැබෙනවානේ.” දිනිත් චින්තක කියද්දී ජනපති ද හිස සැලු‍වේය.
ලංකාවේ විශ්වවිද්‍යාලයට ගිහින් උපාධි ලැබූ අය සේම ලංකාවේ ව්‍යාපාර සිදුකොට ඉහළට පැමිණි අයත් සිටින බව ජනපති කීවේ ෂම්මි මුතුමාල පෙන්වමිනි.

 


පොහොට්ටු පළාත් සභා මන්ත්‍රී සංසදය රනිල්ට 


ජනපති රනිල් ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරු මුණ ගැසුණු අතර එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කාංචන ජයරත්න විසිනි. වසර 5 ක කාලයක් මන්ත්‍රී ධූර අහිමිව සිටිය ද තවමත් ගමේ ඔවුනට මන්ත්‍රීවරු ලෙස සලකන බව පෙන්වා දුන් මේ පිරිස, පක්ෂයක් ලෙස පොහොට්ටුව තීන්දුවක් ගත් පසු ජනපතිට සහාය දෙන බව ද ප්‍රකාශ කළහ.
අස්වැසුම හා කෘෂි නවීකරණ වැඩසටහන් ගම තුළ ක්‍රියාත්මක කරන්නැයි මෙහිදී ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එහිදී 2022 මැයි 09 දින ප්‍රහාරයෙන් විනාශ වූ දේපළවලට තවමත් වන්දි ලැබී නැතැයි හිටපු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. මේ ගැන සොයා බලන්නැයි ජනපති රනිල් පැවරුවේ එහි සිටි කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකටය. ඔහු අමාත්‍යංශ නිලධාරීන් සමග මේ පිළිබඳව කතා කළ අතර එහි පිළිතුර ද මන්ත්‍රීවරුන්ට එම අවස්ථාවේදීම ලබා දුන්නේය. 
එසේම මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මගින් ලැබෙන්නට සල්වන්නැයි ද දැනුම් දුන්නේය. සඳුදා පෙරවරුවේ කාර්යාලයට පැමිණි ජනපති රනිල් සාකච්ඡා කිහිපයකින් පසුව පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේ දේශපාලන කැබිනෙට්ටුවට මෙන්ම ඇමැති මණ්ඩල හමුවට එක්වීමටය. ආර්ථික ප්‍රතිස්ථායිකරණ පනත් කෙටුම්පත එදින අනුමත වූ අතර එය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බව ජනපති දැනුම් දුන්නේය.

 


හොරු අල්ලන්න පනත් 75 ක් 


ජනපති රනිල් බදාදා පෙරවරුවේ තෙල්දෙණියට ගියේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමටය. එහිදී ඔහු කී කතාවක් සමාජ මාධ්‍ය තුළ හිට් විය. එනම් හොරු ආරක්ෂා කරනවා කියන ආණ්ඩුව විසින් වසර දෙකක් තුළ දී හොරු අල්ලන පනත් 75 ක් ගෙනවිත් ඇති බවට කළ කතාවය. බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරු ද මේ කතාව ඇදගත්තේය. “එදා ඉඳලම මේ අය ෆයිල් පෙන්න පෙන්න හොරු ආරක්ෂා කරනවා කියලා චෝදනා කළා මිස හොරෙක් අල්ලන්න පුළුවන් නීති හදන්න එක යෝජනාවක් වත් ගෙනාවේ නෑ. ජනාධිපතිතුමා තමයි මොන චෝදනා ආවත් රටට අවශ්‍ය දේ කළේ.” ඇමති ෂෙහාන් කීවේ මුදල් අමාත්‍යංශයේදීය.
“ඔය ෆයිල් අපි ඉන්න කාලෙත් තිබ්බා නේ. එකේ හිටියා වැලිඅමුණ, ආනන්ද විජේපාල වගේ අය. තමන්ගේ පක්ෂෙම කෙනෙක් ඉඳලත් ඒ ෆයිල් ටික උසාවියට හරියට ගෙනියන්න බැරිවුණ කට්ටියෙන් දැන් මිනිස්සු රවටන්න ආයෙත් ෆයිල් උස්සගෙන එන්නේ.” මන්ත්‍රී වජිර කීවේ උපහාසයෙනි.
“අවුරුදු දෙකකින් අපි මේ නීති ටික හැදුවේ. තව කිහිපයක් ගේන්නත් තියෙනවා. යුක්තිය පසිඳලීමට අවශ්‍ය කාරණා 3 ක් අපි ගෙනල්ලා තියෙනවා. මුලින්ම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ආර්ථික පනත් 3 ක් තව ගේන්න තියෙනවා. අනෙක අපි ආණ්ඩුවේ මූල්‍ය කටයුතුවලට අවශ්‍ය පනත් විශාල සංඛ්‍යාවක් ගෙනල්ල ඉවරයි. අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පතත් ඇමති මණ්ඩලයට ගෙනල්ලා තියෙන්නේ. මේ සියලු‍ පනත් ගෙනාවා වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කරන්නත් ඕනේ. මේ කටයුතුවලට ටික කාලයක් යයි.” ජනපති රනිල් පැහැදිලි කළේය.
“මේක ඉතිහාසගත වාර්තාවක් නේද?” ඇමති සියඹලාපිටිය ඇහුවේ ජනපතිගෙනි. “මම සභානායක කාලෙත් අවුරුදු කිහිපයක් තුළ පනත් ගණනාවක් ගෙනාවා. නමුත් අවුරුදු දෙකක් තුළ මෙලෙස පනත් 75 ක් ගෙනාපු පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ.” ජනපති පිළිතුරු දුන්නේ සැහැල්ලු‍වෙනි.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ සංවිධානයෙනි. මාධ්‍යවේදීන්ට පැවැති ප්‍රශ්න ගණනාවකට ජනපති රනිල් පිළිතුරු බැන්දේ උසුළුවිසුළු ද එකතු කරමිනි.

 


සමගියේ කතා 


සමගි ජනබලවේගයට අනුබද්ධිත සංවිධාන ගණනාවක් පසුගිය සතියේ  විවිධ වේලාවන්හිදී සමගි ජනබලවේග මූලස්ථානයේදී රැස්වුණේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටය. මෙම සාකච්ඡාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ උප සභාපති කබිර් හෂිම්, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය ලේකම් ඉරාන් වික්‍රමරත්න, සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි රෝහිණී කවිරත්න, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහභාගි වූහ. එහිදී යළිත් පාර්ලිමේන්තුවට පත්වුණ මුජිබර් රහුමාන් මහතාට සියලු‍ දෙනාම සුබපැතුම් එක් කළ අතර එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ පාර්ලිමේන්තුවට යළි වතාවක් රණ හඬක් එක්වුණ බවයි. 
එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විමසා සිටියේ,    “මහලේකම්තුමා මොකක්ද මේ ඩයනාගේ මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරන කතාව.” කියාය.  “ඒ ගැන මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා මම, නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා. සමගි ජනබලවේගය අලු‍ත් දේශපාලන පක්ෂයක් කියලත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා.” යැයි මද්දුම බණ්ඩාර කීවේය. 
“ඒ ගැන කිසිදු ගැටලු‍වක් නෑ කියලා හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෑතකදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීලා තිබුණා. ඒ වගේම සමහර අය කියනවා පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට මම ආපු එකෙන් විශාල බලපෑමක් අනෙකුත් අපෙක්ෂකයින්ට සිද්ධ වෙලා කියලා. හැබැයි මම මේ ඔක්කොම හොයලා බලලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. එහෙම කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. හැබැයි දැන් බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා තිබෙනවා පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්න සාකච්ඡා කරන්න අගමැතිවරයාට භාර දුන්නා කියලා.” මුජිබර් කීවේය. 
“ඔය හදන්නේ වෙනත් වැඩක් කරන්න. ජනාධිපතිවරයා යෝජනා කරලා තිබෙන ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවලා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ඒවාට රිංගවලා ඡන්දයට බිම් මට්ටමේ බලපෑමක් ඇති කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න.” යැයි මහලේකම් යළිත් කීය.  
“එහෙම කළොත් අපි නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න ඕන”රෝහිණී විජේරත්න කීවාය.  මොණරාගල පැවැති සමාජික ප්‍රවර්ධන වැඩසටහන සිහිපත් කරමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේ “දැන් බිම් මට්ටමේ විශාල වෙනසක් ඇති වෙලා තිබෙනවා.  මොණරාගල දිස්ත්‍රික්කයේ පවත්වපු සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී ඒ බව හොඳට තේරුණා. මහලේකම්තුමා ලොකු පරිශ්‍රමයක් යොදලා ඒ වැඩ කටයුත්ත සංවිධානය කරලා තිබුණා.”
“ඔව් ඔව් සමහර ගම්මානවලට ගියාම විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සියලු‍ම දෙනා අපි සමඟ එකතු වෙන්න ඇවිත් හිටියා. ඒ වගේම ලාල් කාන්ත තමන්ගේ සාමාජිකයන්ට පොලිස් බලයයි ගමේ නඩු අහන්න අධිකරණ බලයයි දෙනවා කියපු කතාව නිසා රටේ විශාල කැළඹීමක් ඇති වෙලා තිබෙනවා.  මම වැලිගම සමහර ගම්වලට ගියාම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මට කියනවා ජනතා විමුක්ති පෙරමුණ කරන මෙවැනි වැඩවලින් වෙන්නේ ඔවුන්ට ගමේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි වාතාවරණයක් ඇතිවෙන එක කියලා.” කතාවට එක්වූ  රෙහාන් ජයවික්‍රම කීවේය. 

■ රාජ-දූත



අදහස් (0)

ශ්‍රීලනිප අර්බුදය දිග් ගැහෙයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2205 3

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 3110 9

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 10989 41

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 7268 24

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 15721 28

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 1173 7

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1556 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site