වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වූයේ සැප්තැම්බර් මස 22 දාය. වර්තමාන රජය බලයට පත් වූයේ නොවැම්බර් 15 දා යුග පෙරළියක් සිදු කරනවා කියූ රජයකට සිදු වූයේ මුළු රටම වෙළාගනිමින් ඇති වූ වර්ෂාව නිසා හටගත් ගංවතුර තත්ත්වයට මුහුණ දීමට ය. බෙංගාල බොක්කේ හටගත් අඩු පීඩන තත්ත්වය යටතේ ස්වාභාවික විපතක් ලෙස මෙරටට සිදු වූ මෙම හදිසි ආපදාව නිසා මරණ 18ක් සිදු වී කුඹුරු ලක්‍ෂ 2 කට වැඩි ප්‍රමාණයක් සහ එළවළු වගා බිම් රැසක්ද විනාශයට පත්විය.
මීට අමතරව, ඉතිහාසයේ කවරදාවත් දක්නට නොලැබුණු සහල් අර්බුදයක් පැන නැගිණ. රටේ වී නිෂ්පාදනය මැනවින් සිදු වී තිබුණත්, රටේ වෙළෙඳපොළට අවශ්‍ය තරම් සහල් නිකුත් නොවීය. මේ නිසා පත් වූ රජයට දොස් නගන ජනයා, සතොස වෙළෙඳසල්වල රැස්කන්නට විය. මීට අමතරව, මෙරට ඉතිහාසයේ කවරදාකවත් නොමැති ආකාරයෙන් පොල් ගෙඩියක මිල රුපියල් 200ට ඉහළ ගියේය. පත් වූ රජයක් දැඩි දුෂ්කරතාවකට පත් කිරීමට මේ කාරණා හේතු වී තිබේ.
2023/2024 මහ කන්නය සහ 2024 යල කන්නය එනම් 2024 වර්ෂය තුළ වී මෙට්‍රික් ටොන් මිලියන 4.24ක් නිෂ්පාදනය කර තිබේ. වාර්ෂික සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් 2.46කි. 2024 ලැබුණු වී අස්වැන්න සහල් බවට පරිවර්තනය කළහොත් මෙරට 2024 වර්ෂය සඳහා සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.88ක් තිබිය යුතුය. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කොට තවත් අමතර සහල් මෙට්‍රික් ටොන් 422260 ක් ඉතිරි විය යුතුය. මෙම ගණන් ගැනීම සිදු කරන්නේ සහල් සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට යොදා නොගෙන්නේය යන පදනම මතය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 2020 ජූලි 23 දින නිකුත් කරන ලද 2185/67 ගැසට් නිවේදනය මගින්, මෙරට පාරිභෝජනය සඳහා නිපදවන සහල් සත්ව ආහාර හෝ වෙනත් එවැනි නිෂ්පාදනයකට යොදා ගැනීම තහනම් කර ඇත. එසේම, බියර් නිෂ්පාදනය සඳහා දැනට ශ්‍රී ලංකාවේ එක් සමාගමක් ඔවුනට අවශ්‍ය සහල් ඔවුන් විධිමත්ව නිපදවා ගැනීමට යොමුවුවත්, බියර් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයෙන් සහල් යොදා ගත්තේ නැත. එසේම සත්ව ආහාර සඳහා සහල් අවශ්‍ය නම් කැඩුණු සහල් හෝ ‘සුනුසහල්’ යොදා ගැනීම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 125 මට්ටමක පැවැති අතර එය නාගරීකරණය සහ සමාජ පරිවර්තනයක් නිසා කිලෝග්‍රෑම් 90 දක්වා පහත බැස තිබිණ. නමුත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ, යළි කිලෝග්‍රෑම් 112 දක්වා ඉහළ නැග ඇති අතර වර්තමානයේ එය කිලෝග්‍රෑම් 114 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව දළ වශයෙන් වාර්ෂිකව සහල් පරිභෝජනය 1.1% කින් වැඩි වීමට පටන් ගෙන තිබේ. මේ නිසා සහල් නිෂ්පාදනය වාර්ෂිකව 30%කින් වැඩි කළ යුතුව තිබේ.
2024 වසරේ ලබාගත් වී අස්වැන්න කොහේ හෝ ගුප්ත ලෙස තැන් තැන්වල සඟවා තිබිය හැක. මේවා මෙරටින් පිට කරන්නේ නැත. අප රට දූපතක් වෙන බැවින් පිට කිරීමට හැකියාවක් නැත. ඒවා රට තුළම තිබිය යුතුය. රජයේ වගකීම වන්නේ මෙම වී තොග සොයා ගැනීමයි. 40% වී තවම කොහේ හෝ සඟවා ඇත. එය සඟවා ඇති ක්‍රමය සලකා බැලූ කල, ප්‍රධාන මෝල් හිමියන්ට චෝදනා කළද එය සාධාරණ නොවේ. එයට හේතුව, ඔවුන් සතු ධාරිතාවට අනුව එතරම් වී තොගයක් සඟවා තැබීමට නොහැක. ඔවුන් අභියෝග කරන්නේ ඒ නිසාය. අපට වී මෝල් සංකීර්ණවලට පැමිණ පරීක්‍ෂා කර බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ඔවුන් සතු ගබඩාවල වී නැත්නම් වී තොගය රටින් පිට වුණේත් නැත්නම් මෙම වී තොග තිබිය යුත්තේ ගොවියා සතුවය. එසේ නම් සිදු වෙන්නේ කුමක් ද? රජයට මෙයට පිළියම් නැද්ද? රජයක් ලෙස එයට විසඳුමක් දීමට නම් ඔවුන් සතු මානව සම්පත යොදා ගත යුතුය. ග්‍රාමීය වශයෙන් ගත් කල, ග්‍රාමසේවා නිලධාරි, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිනියාමක, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක යන නිලධාරීහු සේවය කරති. මොවුන් ළඟ සියලුම වගා කටයුතු පිළිබඳ දත්ත ඇත. මෙම නිලධාරින් මගින් වී තොග රැස් කර තබා ගෙන සිටින තැන් සොයා බලා පරීක්‍ෂා කළ හැක. සඟවා ඇති වී තොග එළියට ගැනීමට හැකියාව ඇත. රජය මෙයට පසුබට වෙන්නේ ඇයි දැයි ගැටලුවකි.
රටේ නිපදවන සහල් අතිරික්තයක් තිබිය යුතු මේ අවස්ථාවේ වීවලට සිදුවූ දේ සොයා බලා ජනතාවට දැනුම් දීම රජයේ වගකීම වේ. කිසියම් පුද්ගලයකු වී සඟවා ඇත්නම්, එම වී තොග රාජසන්තක කිරීමට හෝ රජයට පවරා ගැනීම කළ හැක. මේ සඳහා ග්‍රාම නිලධාරී හෝ වී නියාමක හා කෘෂිකර්ම උපදේශක නිලධාරීන් ද පාරිභෝගික කටයුතු අධිකාරිය ද යොදා ගත හැක. 2003 අංක දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත මගින් එම අධිකාරියට ඒ සඳහා බලතල පරා තිබේ. පනතේ 36(2) සහ 34 වගන්තියට අනුව යම් විමර්ශනයක් කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට දිසා අධිකරණයක ඇති බලතල ලබා දී තිබේ. වී සඟවා ඇත්නම් පාරිභෝගික අධිකාරියට අධිකරණ නියෝගයක් මත අදාළ ස්ථාන පරීක්ෂා කිරීමට හැකියාව තිබේ. ඒ සඳහා නීති මගින් ක්‍රියා කිරීමට ද හැකියාව තිබේ. පාරිභෝගික අධිකාරියට අවශ්‍ය නීති අණපනත් ප්‍රමාණවත් නොවන්නේ නම් මන්ත්‍රීවරු 159 ක් ඇති 2⁄3 ක බලයක් ඇති මෙම රජයට ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා අදාළ අණ පනත් සම්මත කර ගැනීමේ හැකියාව තිබේ. එහිදී ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කර ගැනීම කළ යුතුය.
එසේ වුව ද, මෝල් හිමියෝ සමහරක් මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. මේ අනුව ගොවීහු මෝල් හිමියන්ගේ මෙම උගුලට අසුවේ. මෙහිදී සමහර මෝල් හිමියන් කරනුයේ ගොවියාට අවශ්‍ය පොහොර සඳහා මුදල් ලබා දීම සිදු කිරීමයි. එසේම පළිබෝධ නාශක මිල දී ගැනීමට මුදල් ලබාදීමයි. අනතුරුව අස්වැන්න නෙළීමේ දී අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා යන වියදම ලබා දෙයි. නැතහොත් අස්වැන්න නෙළීම සිදු කරයි. මේ සියල්ලට ගොවියාගේ අස්වැන්න මුදලින් අඩු කරගනී. එපමණක් නොව, වෙළෙඳ මාෆියාව සකස් කොට වෙළෙඳපොළ සහල් මිල කෘත්‍රීම ලෙස ඉහළ නංවා අවශ්‍ය වෙලාවට වී තොගය මෝල් කරා ගෙන යනතුරු රැක ගැනීමට ගොවියාට සිදුවේ. මෙලෙස කිරීමේ දී හාල් මෝල් හිමියන් සුතුව පෙන්වන්න වී තොග නැති වීමට පුළුවන. ඔවුහු අවශ්‍ය වේලාවට වී තොග යළි රැස්කිරීම කරති. මෙහි බරපතළ කාරණය වන්නේ වී මිල දී ගන්නේ තුට්ටු දෙකටය. ගොවියාට එයට අවනත වීමට සිදුවේ. මෙය කලක සිට සිදු කරන, පැවැති රජයන්ට මෙය තේරුම්ගැනීමට නොහැකි මෙන්ම නොසලකා හැරි කාරණාවකි. වර්තමාන රජය බලයට පත්වූ පසු මෙය උග්‍ර අතට හැරුණ අතර රජයට මෙන්ම ජනතාවට සත්‍ය වැටහීම සිදුවිය. කලක පටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත් උත්සාහයේ ප්‍රතිඵලය ලෙස, වර්තමානයේ අක්කරයකින් මෙට්‍රික් ටොන් 2.12 ක් එනම් බුසල් 103 ක් ලබා ගැනීමේ හැකියාව ඇත. මෙය දේශගුණය, කලාපය අනුව වෙනස් වන අතර දිවයිනේ සමස්ත අස්වැන්න මෙලෙස ලබා ගත හැක. ඒ අනුව අක්කරයකට දල වශයෙන් මෙට්‍රික් ටොන් 2.12 ක් ලැබුණහොත් ගොවියා එය සහතික මිල වූ රුපියල් 105.00 කට විකුණුවහොත් රුපියල් 27500.00 ක මුදලක් ලැබේ. වී ගොවියා කනකර උකස් කොට හෝ බැංකු ණය ලබාගෙන හෝ පොලියට ලබාගෙන වගා කිරීමෙන් පසු ඔහු බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් වී අස්වැන්න විකුණා මුදල් කර ගැනීමටය. ඒ නිසා ඔහු හැකි ඉක්මනින් වී තොගය විකිණීමට උත්සාහ කරයි. මෙහිදී තව කාරණයක් කිව යුතුය. රජයේ වී අලෙවි මණ්ඩලය වී ලබාගන්නේ ප්‍රමිතියක් නැතුව, ඔවුගේ ගබඩාවලට වී ගෙනවිත් දුන්නොත් පමණි. 14% තෙතමනය හා වෙනත් බීජ 5% වඩා අඩු වීම, බරින් යම් ප්‍රමාණයක් අඩු කිරීම, එවෙලේම මුදල් නොලැබීම, වී අලෙවි මණ්ඩලයේ ගබඩා දක්වා ප්‍රවාහනය කිරීම, දවස් 2 - 3ක් රස්තියාදු වීම ආදී කරුණු මත ගොවියා වී අලෙවි මණ්ඩලයට වී ලබා දීමට මැළිකමක් දක්වයි. පෞද්ගලික වෙළෙන්දා කමතට ගොස් එවලේම අත්පිට මුදල් ලබා දී වී තොගය මිල දී ගන්නා අතර ඔවුන් ප්‍රමිතිය සලකන්නේ නැත. වී අස්වැන්න නෙළන අවස්ථාවේ දී තෙතමනය සහිතව මිල දී ගණිති. ඒ අවස්ථාවේ දී අඩු මිලට වී ලබා ගත හැක. සුළු පිරිසක් ගොවීන් වී වේළා තබා මිල ඉහළ ගිය අවස්ථාවලදී විකිණීම සිදු කරයි. මේ තත්ත්වය හොඳාකාර අවබෝධ කර ගෙන සිටින මෝල් හිමියෝ අයුතු ප්‍රයෝජන ලබා ගනිති.
රජය හමුවේ ඇති ඊළඟ බරපතළ ගැටලුව වෙන්නේ, ආර්ථික දුෂ්කරතා මැද ඇති රජයකට වන්දි ගෙවීමට සිදුවීමයි. සෑම වසරකම මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී වගා කරන අතර මෙවර මහ කන්නයේ හෙක්ටයාර 854800 ක් වගාකර ඇත. එයින් හෙක්ටයාර 140000 ක බිම් ප්‍රමාණයක් විනාශ වී ඇතැයි සැලකේ. තවම මේ පිළිබඳව නිශ්චිත ගණන් බැලීමක් සිදු කර නොමැත.
මේ ප්‍රමාණය මීට වැඩි වීමට ඉඩ ඇත. ඒ අනුව වී වගා කළ කුඹුරු ඉඩම් වලට රජය අක්කරයකට රුපියල් 40000.00 ගණනේ වන්දි ගෙවන්නේ නම් රුපියල් කෝටි 1400 ක් අවශ්‍ය වේ. ගොවීන් ඉල්ලන පරිදි ලක්ෂයක් වන්දි ගෙවන්නේ නම් රුපියල් කෝටි 3500 ක් අවශ්‍ය වේ. සත්‍ය වශයෙන්ම හානි වූ කුඹුරේ වී අස්වැන්න සැලකිල්ලට ගෙන වන්දි ගෙවන්නේ නම් රුපියල් කෝටි 7791 ක් අවශ්‍ය වේ. මේ තරම් මුදලක් රජයට මේ අවස්ථාවේ දැරිය හැකි ද? යන්න සැක සහිතය. නියඟය නිසා හටගත් වගා හානිවලට වන්දි ගෙවීම පසුගිය රජය හරි හැටි
ක්‍රමවේදයකට ඉටු නොකර මගහරිනු ලැබීය. ඒ එම රජයට එතරම් මුදලක් දැරීමට නොහැකි නිසාය. නව රජය හමුවේ බලාපොරොත්තු නොවූ ව්‍යවසනයක් ඇති වී තිබේ. මෙයට පිළියමක් ද ඇත. වහාම ක්‍රියාත්මක වෙන පරිදි අදාළ රාජ්‍ය ආයතන සහ ග්‍රාමීය මට්ටමේ සිටින නිලධාරීන් සැවොම එක්වී හානියට පත් වී ඇති කුඹුරු යථා තත්ත්වයට පත් කොට සාමාන්‍ය පරිදි වී වැපිරීම සිදු කිරීමයි. බිත්තර වී බුසල් ලක්ෂ 7 ක් මේ සඳහා අවශ්‍ය අතර එය කිසිසේත් මේ අවස්ථාවේ ලබා දිය නොහැක. ඒ සඳහා කළ යුත්තේ කෑම සහ විකිණීම සඳහා ඇති වී පිරිසිදු කොට යම්තාක් බිත්තර වී සඳහා සුදුසු ආකාරයෙන් සකස් කොට බිත්තර වී ලෙස සකස් කොට භාවිතා කිරීමයි. ඒ අනුව වන්දි ගෙවීම අවම වෙන අතර මාර්තු වෙන විට අස්වැන්න ලබා ගත හැක. 2024/25 මහ කන්නයේ අහිමි වීමට ඇති වී මෙට්‍රික් ටොන් 74200 ක හානිය ද අවම කර ගැනීමට හැක. මේ පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුය.
2024 නොවැම්බර් 18 දින නව අමාත්‍යවරු දිවුරුම් දීමෙන් පසුව ද ඊට දින කිහිපයකට පසුව පැවැත්වූ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සහල් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වීමට අනුමැතිය දීමට සිදුවිය. මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ සහල් හිඟයක් නිසා නොව කුමන හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙන නිසා ය. මේ ගැන රජය අවදියෙන් සිටීම ඉතා වැදගත් ය. කුසගින්න නිවීමට අසමත් වෙන රජයකට අත්වෙන ඉරණම ඉතා ඛේදජනකය. “හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා යැයි” සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පොරොන්දු වීමට සිදු වූයේත් “ධාන්‍ය රාත්තල් 8 ක් ලබා දෙනවා යැයි” ජේ.ආර්. ජයවර්ධන ට පොරොන්දු වීමට සිදු වූයෙත් මේ නිසාය. 1977 දී පොල් බෑයක් රැගෙන ආර්. ප්‍රේමදාස මහතා වේදිකාවල නැග එවකට තිබූ සමගි පෙරමුණ රජය පෙරළීමට කටයුතු කළේ මේ නිසාය.
වර්තමාන රජයට මෙම තත්ත්වය ඇති වී තිබීම ඔවුන්ගේ දේශපාලන ගමනට බරපතළ හානියක් කිරීමට ඉඩ ඇත. මාගේ දේශපාලන අත්දැකීම මත, මෙම තත්ත්වය එතරම් ශුභදායක නැත. රජයක් අකර්මන්‍ය කිරීමත් ජනතා අප්‍රසාදයට ලක් කිරීමත් විරුද්ධවාදීන්ට උඩ ගෙඩි දීමක් වෙන්නේය. බලයට පත් වූ වහාම මෙවැනි තත්ත්වයන් ඇති වූයේ ඇයි ද යන්න රජය සොයා බැලිය යුතුය. මෙය හුදෙක් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් වීමටද බැරි නැත. එබැවින් ඉතා පරිස්සමෙන් ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්‍ෂා කර ගෙන රජයේ ගමන යා යුතුව ඇත.
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සහල් මාෆියාවේ ඇත්ත මෙන්න