IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සුබ ආරංචි සහ අසුබ ආරංචි

සුබ පණිවුඩයේ කතාව        
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් බදාදා ජාතිය ඇමතුවේය. ඔහු එලෙස ජාතිය ඇමතීමට සුදානම් වූයේ සතියකටත් පෙර සිටය. ඒ පැරිස් සමාජය නියෝජනය කරන ජපානය ඇතුළු රටවල් කිහිපය මෙන්ම චීනය හා ඉන්දියාව ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කිරීමත් සමගය. ජනපති රනිල් මෙම කාරණය දේශපාලන කැබිනෙට්ටුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පණිවුඩය ජනපති රටට ලබාදෙන ආකාරය ගැන ඔවුහු සැලසුම් සකස් කරන්නට වූහ. එම කාර්ය බාර කෙරුණේ දේශපාලන කැබිනෙට්ටුව යටතේ ඇති මැති ඇමතිවරුන් හා නිලධාරීන්ගෙන් සැදුම්ලත් මාධ්‍ය අනුකමිටුවටය. පැරිස් සමාජය හා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජාතිය ඇමතීමට ජනපති රනිල් තීන්දු කළේය.
මාධ්‍ය අනුකමිටුව සැලසුම් කළේ ඒ වෙනුවෙන් පූර්ව ප්‍රචාරණයක් සහ ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ප්‍රචාරණයක් ආරම්භ කිරීමටය. ඔවුන් මාධ්‍ය මෙහෙයුම ගැන සාකච්ඡා කරද්දී ජනපති රනිල් ඉකුත් සති අන්තයේ මඩකළපුව බලා පිටත්ව ගියේය.
සඳුදා ජනපති රනිල් කාර්යාලය වෙත ගියේ සතියේ රාජකාරි ආරම්භ කිරීමටය. එහිදී  කිහිප   දෙ​ෙනකුගෙන් ඔහුට දැනගන්නට ලැබුණේ එදින අලවා තිබූ පෝස්ටරය ගැනය. “ආරංචිය සුබයි” කියලා පෝස්ටරයක් ගිහින් තියෙනවා.” ජනපති හමු වූ පිරිස කීවේ එවැන්නකි.
“ඔව් ඕක මනූෂගේ වැඩක්නේ. එයාගේ කට්ටිය තමයි පෝස්ටරය හදලා තියෙන්නේ. මටත් ඒ ගැන කිව්වා.” ජනපති පිළිතුර එය විය.
ඇමති මනුෂ මාධ්‍ය කමිටුවට මෙය ඉදිරිපත් කළේ පූර්ව ප්‍රචාරක පෝස්ටරයක් ලෙසය. එය සැමගේ සිත්ගත් බැවින් පළමුව එය රට පුරා ඇලවීමට තීන්දු විය. කාලෙකට පසු පෝස්ටරයකට ලැබුණු හොඳම ප්‍රචාරණය ඊට ලැබී තිබුණේ විපක්ෂ කණ්ඩායම් විසින් මෙම පෝස්ටරය ඔවුන්ගේ සංශෝධන ද ඇතුළත් කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය 
කිරීමත් සමගය.
ජනාධිපති රනිල්ගේ, ජාතිය ඇමතීම ගැන ද විපක්ෂය කලබල වී සිටියේය. ඔවුන් ජනපතිගේ කතාව සහ ආරංචිය සුබයි පෝස්ටරය ගැන විවිධ අදහස් මාධ්‍ය හමුවේ පළ කරන්නට වූවේය.
“රට බංකොලොත් බවින් මිදෙනවා කියන පණිවිඩය, සර් ජාතිය අමතල කියන්න යනවා කියලා හර්ෂ ඇතුළු සජබ අය කියනවා. එයාලා කියන්නේ ඒක කියන්න පුළුවන් ණය ශ්‍රේණිගත කරන කණ්ඩායම්වලට කියලයි” අකුරැස්ස සංවිධායක දිනුක් කොළඹගේ කීවේ ජනපතිටය.
“තාම මම කතාව කරලා නෑනේ. අනෙක මම එහෙම දෙයක් කියන බව කියලත් නෑ. රට බංකොළොත් බවින් මිදෙනවාට එයාලා කැමති නැද්ද?” ජනපති දුන්නේ වෙනත් පිළිතුරකි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැරිස් සමාජය හා චීනය එකඟවීමට අදාළ තොරතුරු සඳුදා සවස පැවැති ඇමති මණ්ඩලය වෙත ජනපති රනිල් විසින් ඉදිරිපත් කරනු ලැබිණ. ජාතිය ඇමතීම ගැන ද එහිදී තොරතුරු හෙළිදරව් කෙරිණි. කැබිනට් හමුවෙන් පසුව ජනපති රනිල් 26 දා කරන කතාව ගැන හිතවතුන් සමග සාකච්ඡා කළ අතර ඔහු පිරිසගෙන් විමසා සිටියේ ප්‍රකාශය කිරීමට සුදුසු වේලාව කුමක් ද කියාය.
“පැරිස් ගිවිසුම අත්සන් කෙරෙන්නේ ලංකාවේ වෙලාවෙන් දහවල් දෙකට විතරනේ. එතන වෙන දේත් බලලා අප්ඩේට් එකක් අරගෙන රාත්‍රී 8.00 ට මේ කතාව සියලු‍ම මාධ්‍යවල ලයිව් යවන්න පුළුවන් නම් හොඳයි.” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සිය අදහස 
ඉදිරිපත් කළේය.
එය අනුමත කළ ජනපති රනිල්, 26 දා රාත්‍රී 8.00ට තමන් ජාතිය අමතන බවත්, ඒ ගැන දැනුම් දෙමින් මාධ්‍ය ආයතන ප්‍රධානින්ට ලිපි යොමු කරන ලෙසත් උපදෙස් දුන්නේ දිනිත් චින්තකටය. ඒ අනුව ඔහු සියලු‍ මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත 26 දා රාත්‍රී 8 ට ජනාධිපතිවරයා වෙනුවෙන් කාලය වෙන් කර දෙන ලෙස ඉල්ලා තිබුණි.පැරිස් සමාජය හමුවීමත් චීන කණ්ඩායම මුණගැසීමත් සැලසුම් කර තිබුණේ බදාදා දහවල්ය. ඒ අතර ජනපති සවස ජාතිය ඇමතීමේ කතාවට ද සූදානම් වූවේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ මුලින්ම සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද කැඳවමින් ජනපති රනිල් ජාතිය ඇමතීමේ කතාවට සූදානම් වූවේය.
ප්‍රංශයේ තොරතුරු සියල්ල ජනපති වෙත දැනුම් දුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසිනි. චීන තානාපති කාර්යාලය හරහා චීන තොරතුරු ලැබුණි. ඒ තොරතුරුත් එකතු කර ගනිමින් ජනපති රනිල් ජාතිය ඇමතීය. 
ජනපති රනිල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ තොරතුරු රැගෙන බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ගියේය. රටේ ආර්ථික තත්ත්වය ගැන මෙන්ම සමාජ ගැටලු කිහිපයක් ගැනම මෙහිදී කතා බහ කෙරිණි. දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනපති රනිල්, දළදා මාළිගාව වෙත පැමිණ සිටි වන්දනාකරුවන් සමග ද පිළිසඳරක නිරත වූවේය.
අනතුරුව බලංගොඩට පැමිණ අමරපුර නිකායේ මහනාහිමි බැහැ දැක රටේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කර දුන්නේය. සවස කෝට්ටේ පාර්ශ්වයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේට ද කරුණු පැහැදිලි කර දීමට ජනපති අමතක නොකළේය.
සුබ ආරංචියට 
එරෙහිව සජබ සටන 

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය උපයෝගී කර ගනිමින් ආණ්ඩුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගත් ප්‍රචාරක වැඩපිළිවෙළක් සැලසුම් කරන බව, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් දැනුම් දී තිබුණේ රට බංකොලොත් භාවයෙන්  මිදුණා යැයි යන මතය ජනගත ​ෙවන ආකාරයට සිදු කිරීමට සැලසුම්කොට ඇති බව ප්‍රකාශ කරමිනි. ඒ සඳහා ආණ්ඩුව විශාල වියදමක් දරමින් උපදේශක සේවාවක් පවා ලබා ගන්නා බව එම මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි. මේ පිළිබඳව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සිය අවධානය යොමු කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව කරන වැඩේ කල් ඇතිවම රටට හෙළි කළ යුතු බවයි.
එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රනිල් වික්‍රමසිංහ මහතා මීට ප්‍රථම රට බංකොලොත්භාවයෙන් මිදුණායැයි කියපු ප්‍රකාශය සහ මෑතකදී යළිත් එය ප්‍රකාශ කළ ආකාරය පැහැදිලි කරමින් යළිත් වතාවක් එවැනිම ප්‍රයෝගකාරී කතාවකට සූදානම් වන බව 
කිවයුතු බවයි.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කීවේ “මීට සති කිහිපයකට පෙරත් ඒ පිළිබඳව අපි මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළා. නමුත් ඒ ගැන වැඩි අවධානයක් යොමු වුණේ නෑ. ඒ නිසා අපි මේ කතාව යළිත් වතාවක් ඉස්මතු කරන එක හොඳයි.”
ඒ අනුව  එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ රට බංකොලොත්භාවයෙන් මිදිලයි කියලා මීට පෙර ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් පසුව සිදුවුණේ බදු බර වැඩිවෙලා, ETF/EPF  සමාජිකයන්ගේ පොලී අනුපාතයන් අඩු කිරීම 
පමණක් බවයි.
ඒ අතරේ ආණ්ඩුව පෝස්ටර් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සූදානම් බවත්, සුබ ආරංචියක් යනුවෙන් පළමු පොස්ටරය නිකුත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුට දුරකතනයෙන් දැනුම් දුන්නේය. 
‘‘අපි මේ ගැන වහාම රටට කියන්න ඕනෑ. ආරංචිය සුබයි කියලා රට බංකොලොත්භාවයෙන් මිදුණායි කියන මිත්‍යාව ජනගත කරන්නයි මේ සූදානම් වෙන්නේ’’ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් 
සඳහන් කළේය.
‘‘රට බංකොලොත්භාවයෙන් මිදෙන්න නම් රටට හිතකර ආකාරයට ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත වෙන්න ඕනැ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ ගේන්නට ඕනෑ. එහෙම නැතිව අපි කරන ප්‍රකාශ වලින් එය සිද්ධ වෙන්නේ නෑ’’ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.
‘‘ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පසුව කබීර් හෂීම් මන්ත්‍රිවරයා, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සහ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පක්ෂයේ ආර්ථික කමිටුව පවත්වන මාධ්‍ය සාකච්ඡාව බදාදා නොව බ්‍රහස්පතින්දා පවත්වලා ඒ ගැන පැහැදිලි කරන එක සුදුසුයි” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළහ. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විදේශගත වී සිටි නිසා එම සාකච්ඡාවට සහභාගි වූයේ නැත.
මෙහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ, ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අවශ්‍ය බව මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බවය. අත්සන් කර ඇති එකඟතාවයන් පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් තාම හෙළි කරලා නෑ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඉලක්ක කළේ ETF/EPF , රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම දිවියේ හිමිකම්, මේවා ජයග්‍රහණ ද? අපි ඒවාට විරුද්ධයැයි ද 
ඔහු කීවේය. 
“ජනාධිපතිවරයා මේ කතාවේදී ‘හුණුවටයේ කතාවේ- අසඩක්’ ගැන කතා කරනවා, රටේ ජනතාවට අසඩක් වගේ කටයුතු කරන්න කියලා. සමගි ජනබලවේගයේ අපි මුල ඉඳලම අසඩක් වගේ තමා කටයුතු කළේ. වැරදි දේ වැරදියි කිව්වා. හරි දේ හරියි කිව්වා. හැබැයි ආණ්ඩුවට, ජනතාවට නිවැරදිව වගඋත්තර බඳින්න බැරි වෙලා තිබෙනවා. රට බංකොලොත් කරපු උදවිය ආරක්ෂා කරන ආණ්ඩුව ඉන්නේ විත්ති කූඩුවේ මිසක් පැමිණිල්ලේ නෙවෙයි.” මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ කබීර් හෂීම් කීවේය. 
“ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාවේම තිබුණේ මම, මම, මම. ගෝඨාභය වගේ මම තමයි හොඳටම කළේ වගේ කතාවක්. එදා රාජපක්ෂවරු යුද්ධය විකුණාගෙන කෑවා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ණය විකුණාගෙන කනවා.” යැයි හර්ෂණ රාජකරුණා කීවේය. 

පොහොට්ටුව 
හොරගල් අහුලයි 

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ හරියටම මාස තුනක පමණ කාලයකි.ඒ නිසාම දේශපාලන කරළිය ද දවසින් දවස ගිනියම් වෙමින් තිබේ. මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලන ක්‍රියාධරයන්  එහෙට මෙහෙට බා ගැනීමද මේ වෙන විට ආරම්භ වී තිබේ. තව සති කීපයක් යන විට එය තව  තවත් වේගවත් වෙනු ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව තවමත් සිටින්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හොරගල් අහුලමිනි.  ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් ඔහුට සහාය දීමට පොදු ජන පෙරමුණේ නායකයන් දැනටමත් තීරණය කර තිබිය  හැකිය. එළිපිට නොකිව්වද ඒ බව ජනාධිපතිවරයාටද ඔවුන් දැනුම් දී තිබෙන්නට පුළුවන. ඒත් පොහොට්ටුව  ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේ ද යන්න නිල වශයෙන් තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. පොහොට්ටුවේ නායකයන් එළිපිට කියන්නේ ජනාධිපතිවරණය කැඳවූ පසුව ඒ  සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවය. එසේ වුව ද පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ පොහොට්ටුව තුළද ඒ සම්බන්ධයෙන් යම් බෙදීමක් තිබෙන බවය.පොහොට්ටුවේ මැති ඇමතිවරුන් වැඩිදෙනා සිටින්නේ ආණ්ඩුව සමගය.ආණ්ඩුව සමග සිටින  මැති ඇමතිවරුන්ගෙන් බහුතරය සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගය. ඔවුන් එළිපිටත් ඇතුළෙත් කියන්නේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවය. ප්‍රසන්න රණතුංග,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, කංචන විජේසේකර ඒ අතරින් ඉදිරියෙන්ම  සිටින පිරිසකි. පොහොට්ටුවේ මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා සිටින්නේ ද ජනාධිපතිවරයා සමගය. ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත්දා ජාතිය ඇමතීමෙන්  පසුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින්නට ගිය අවස්ථාවේදී ද මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සමග  ඉදිරියෙන්ම සිටියේය.
මේ අතර ජනාධිපතිවරයා ජාතිය  ඇමතු දිනම  රනිල් වික්‍රමසිංහ මහතාගේ   ජනාධිපතිවරණ  මෙහෙයුම් කටයුතු  වෙනුවෙන්  බම්බලපිටිය ලොරිස් පාරේ ආරම්භ කර ඇතිමෙහෙයුම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.පොහොට්ටුවේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා සහ ආණ්ඩුවේ මනුෂ නානායක්කාර ඇමතිවරයාත් ඊට සහභාගී වී සිටියහ.සමහරුන් කියන්නේ  එම මාධ්‍ය හමුව  රනිල්  වික්‍රමසිංහ මහතාගේ   ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කළ මාධ්‍ය හමුවක් බවය. ප්‍රසන්න  එහිදීද කීවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව සහ ඔවුට  සහාය දක්වන බවය.පොහොට්ටුවේ    ප්‍රබල​ෙයකු   වෙන  මහින්දානන්ද අලු‍ත්ගමගේ ද එම මාධ්‍ය හමුවට පැමිණ සිටියේ ජනාධිපතිවරයාට සහාය දැක්වීමේ අපේක්ෂාවෙන් 
බව පැහැදිලිය.
ප්‍රසන්නගෙන් 
රනිල්ට මල් 

මේ අතර ප්‍රසන්න රණතුංග ඇමතිවරයා උඩුගම්පොළ කාර්යාලයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල  හිටපු මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් පිරිසක් හමුවිය. ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර  රාජපක්ෂ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසක් ද ඊට සහභාගි වූහ. ප්‍රසන්න සමග දේශපාලන විරසකයක සිටින රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ඊට සහභාගී වූයේ නැත. ප්‍රසන්න කීවේ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කරන බවය. මැයි 9 වැනිදා සිදුවීමෙන් පසුව පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන නැවත මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් හදල  දුන්නේ රනිල්  වික්‍රමසිංහ  ජනාධිපතිවරයා බව ඔහු කීවේය.
ඩලස්ලාගේ තීරණය 

නිදහස ජනතා පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේදැයි තවමත් පැහැදිලි නැත. ඔහුගේ කණ්ඩායමේ සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග එක්ව සිටිති. එහෙත් ඩලස්ලා සජිත්ලාට එක්වෙන්නේද, රනිල්ගේ කණ්ඩායමට එක්වෙන්නේද, අනුර දිසානායකලාගේ ජාතික ජන බලවේගය සමග  එක්වෙන්නේ ද යන්න කිසිදු තීරණයක් මෙතෙක්  ගෙන නැත. ඔවුන් ද අවසන් මොහොතේ කුමක් හෝ කණ්ඩායමකට සහාය දැක්වීමට සූදානමින් සිටිනවා විය හැකිය.
ජනපති සටනට 
කාන්තාවක් 

මේ අතර උත්තර ලංකා සභාගයේ කණ්ඩායම  දිලිත් ජයවීරලාගේ මව්බිම ජනතා පක්ෂය ඇතුළු කණ්ඩායම සමග එක්ව ඉකුත් දා සන්ධානයක් පිහිටුවීය. දැනගන්නට ඇත්තේ එම කණ්ඩායම ජනාධිපතිවරණය සඳහා කාන්තාවක ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවය. ඇය හිටපු ආණ්ඩුකාරවරියක් යැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 
ලංසලාගේ 
දෙවැනි රැලිය 

නිමල් ලංසලාගේ නව දේශපාලන සන්ධානයේ  දෙවැනි ජනරැලිය මේ සති අන්තයේ වැල්ලවායේ දී පැවැත්වීමට නියමිතය. එහි සංවිධාන කටයුතුවල බර කරට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන   මන්ත්‍රීවර​ෙයකු   වන  ජගත් පුෂ්පකුමාරය. එම රැස්වීමට අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත,  නිමල් සිරිපාල ද  සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම සහභාගි වෙනු ඇත. එම නව සන්ධානයේ අරමුණ රනිල්  වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී නැවතත් පත් කර ගැනීමය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මේ පිරිස කරමින් සිටිති.
පක්ෂ විපක්ෂ 
රැසක් ඇමෙරිකාවේ 

ඇමෙරිකන් දින  උත්සවය පසුගිය සතියේ දී කොළඹදී පැවැත්විණි. ඇමෙරිකන් දිනය යෙදී ඇත්තේ ජූලි හතරවැනිදාට ය. නමුත් සැමරුම් උත්සවය කලින් යොදාගන්නට කටයුතු යොදා තිබූ අතර, ඇමෙරිකානු තානාපතිනී ජුලී චං මහත්මිය සිය  සේවා කාලය නිමවා ඇමෙරිකාව බලා පිටත් යාමට නියමිතව ඇති බැවින් එය කලින් පැවැත්වීමට තීරණය කරන්නට ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුෆ්  හකීම්, එම්.ඒ. සුමන්තිරන්, විජිත හේරත් ඇතුළු ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන නායකයෝ රැසක් ඊට එක්ව සිටියහ.
හිරුණිකාට වූ දේ 
ගැන සජබ දුකෙන් 

පසුගිය සිකුරාදා දිනයේදී මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක බරපතළ වැඩ සහිත සිර  දඬුවමක් අධිකරණයෙන් නියමවිය. මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කළත් සජබ මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුට මෙය කම්පනයක් ඇති කළ සිදුවීමක් වී තිබේ. මේ නිසාම හිරුණිකා බේරාගැනීමට නීත්‍යනුකූලව ගත හැකි සෑම කටයුත්තකටම උපරිම සහාය දෙන්නට සජබ මන්ත්‍රීවරු එකතු වී සිටින බව වාර්තා වෙයි.



අදහස් (0)

සුබ ආරංචි සහ අසුබ ආරංචි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6373 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6182 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site