IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


81 අමිර්තලිංගම්ට එරෙහි විශ්වාසභංගය


ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකයා වූ එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු එම පක්ෂයේ නායකත්වයට පත්වූ ඒ. අමිර්තලිංගම් දෙමළ ඊළම පෙරට දමා 1977 මහ මැතිවරණය ජය ගත්තේය. ඒ, කන්කසන්තුරේ ආසනයයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ පළමු දමිළ ජාතික විපක්ෂ නායකයා වූයේ ඒ. අමිර්තලිංගම්ය. විපක්ෂ නායක ලෙස අමිර්තලිංගම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවස්ථා කීපයකදීම පෙනී සිටියේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තීරණය කළේය. ඒ 1980 ජූලි 16 වන දිනය. එම අවස්ථාවේදී කවුරුත් නොසිතු පරිදි ඇය වෙනුවෙන් කතා කළ පක්ෂනායකයා වූයේ අමිර්තලිංගම්ය. එම අවස්ථාවේ දී ඔහුගේ මැදිහත්වීම සුවිශේෂි විය.

“කථානායකතුමනි, සිරිමාවෝ මැතිනියගේ පාලන කාලය තුළ එක්සත් ජාතික පක්ෂයට යම් අසාධාරණයක් වූවා විය හැකියි. ඊට වඩා කිහිප ගුණයකින් අපේ පක්ෂයට අතවරවලට මුහුණ දෙන්න වුණා. නමුත් මෙය එකට එක කිරීම හෝ පළිගැනීමේ අවස්ථාවක් නොව යුක්ති සහගතව ක්‍රියා කළ යුතු මොහොතක්. ඒ නිසා ඇගේ ප්‍රජා අයිතිය අහිමි කරනවාට මම එකහෙළා විරුද්ධයි.” 

විශිෂ්ට කථිකයකු වූ අමිර්තලිංගම්ගේ මුවින් සැර වදන් පිට වූයේ වෙඩි උණ්ඩවලටත් වඩා වේගයෙනි. 1981 ජනවාරි 05 දින ඉන්ඩියන් එක්ස්ප්‍රස් පත්‍රයේ පළවූ වාර්තාවක් දඩමීමා කරගෙන අමිර්තලිංගම්ට විශ්වාසභංගයක් එල්ලවිණි. ඊට මදුරාසියේ ද්‍රවිඩ සහෝදරයන්ගේ සංගමය සංවිධානය කළ ලෝක ද්‍රවිඩ සම්මේලනය අමතා ඔහු කළ ප්‍රකාශයක් ද අඩංගුව තිබිණි. ඒ අනූව 1981 වසරේදී පාර්ලිමේන්තුව තුළ අතිවිශේෂිත සිදුවීමක් උද්ගත විය. එය නම් විරුද්ධ පක්‍ෂ නායක ඒ. අමිර්තලිංගම්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමය. මෙය එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙහිදී එම ක්‍රියාවලිය සඳහා එදා එක්තරා තරුණ මන්ත්‍රීවරයකු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. ඔහු දේශපාලකයෙකු වන්නට පෙර ජීවකයකුව සිටි අතර, හේ නම් දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. 1977 මහ මැතිවරණයෙන් පානදුර ආසනය ඉහළින්ම දිනාගත් දොස්තර නෙවිල් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. එතැන් සිට ඉතා ක්‍රියාශීලී මන්ත්‍රිවරයකු වූ ඔහු එදා අමිර්තලිංගම්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය, ලොව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු විපක්‍ෂ නායකවරයෙකුට ගෙනා ප්‍රථම විශ්වාසභංගය බවට වාර්තාගත විය. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ සන්නද්ධ ව්‍යාපාරය පටන්ගත් අලු‍ත එවකට බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව එවකට විපක්ෂ නායක ඒ. අමිර්තලිංගම්ගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට වෛර කරන්න පටන් ගත්තේය. ඊට හේතු වූයේ, ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විපක්ෂ නායක ලෙස අමිර්තලිංගම්ට කැබිනට් ඇමති ධුරයකට සමාන වරප්‍රසාද දී තිබුණ ද, අමිර්තලිංගම් බණ්ඩාරනායක මැතිනියට සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දැක්වීම නිසාය.

1980 වසරේදි  ජේ. ආර්.  ජයවර්ධනගේ ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවට එරෙහිව හඬ නැඟුවේ අමිර්තලිංගම්ය. 1981 සංවර්ධන සභා ඡන්දය දිනන්න ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව උතුරේ කෝලාහල කළ ද දිනන ලද්දේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ය. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න දමිළ ඡන්ද අවශ්‍ය බව දැනගත් ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඒ සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කළ යුතු බවට නිගමනය කළේය. ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට බය තිබුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දෙයි කියාය.

ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව 1981 ජූලි ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට විපක්ෂ නායකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ අමිර්තලිංගම්ටත්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටත් පාඩමක් උගන්වන්නටය. ඒ සඳහා ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව, ඒ වෙන විටත් උතුරේ පටන්ගෙන තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලිවල බැංකු මංකොල්ලකෑම්, ඝාතන, රාජ්‍ය ආයතන ගිනිතැබීම් පිටුපස අමිර්තලිංගම් ඉන්නවා යැයි චෝදනා කළේය.

අමිර්තලිංගම් 1977 මහ මැතිවරණයට පෙර දමිළ ඊළමකට සටන් කරන බව කීවත් විපක්ෂ නායක වූ පසු දමිළ ඊළම අතහැර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු දමිළ ඊළමට සහාය පළ කළේ ඡන්දෙ දිනන්නටය. ඔහු විපක්ෂ නායක වූ පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලි ඔහුට චෝදනා කළේ සටන පාවා දුන්නා කියාය.

අමිර්තලිංගම් කණ්ඩායම සහ දමිළ සන්නද්ධ කල්ලි අතර සම්බන්ධයක් නැති බව දැන දැනම ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව, අමිර්තලිංගම් කොටියෙක් කියා හංවඩු ගහන්න විශ්වාසභංගය ගෙන ආවේ උතුරේ දමිළ ඡන්ද තමන්ට දිනාගන්න අසීරු බව දැනගෙනය. 1981 ජූලි 23 සහ 24 එය විවාදයට ගැනුණි. ආණ්ඩුවේ මන්ත්‍රීවරු 31ක් ඊට අත්සන් කර තිබිණි. විශ්වාසභංගය ගැන කතා කරන්න අමිර්තලිංගම් නැගී සිටිය දී එක්සත් ජාතික පක්ෂය ඔහුට ද්‍රෝහියා, කොටියා කියා අවමන් කළේය. අමිර්තලිංගම් තමාට ප්‍රකාශයක් කරන්න දෙන ලෙස ඉල්ලා සිටියත් කථානායක එය ප්‍රතික්ෂේප කළේය. ඔහු සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සභාවෙන් නැගිට ගියේ එයට විරෝධය පළ කරමින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයත් පාර්ලිමේන්තුව වර්ජනය කර නැගිට ගියේය.

ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අමිර්තලිංගම්ව ගෝල්ෆේස්  පිට්ටනියට ගෙනවිත් හම ගහන්න ඕනෑ යැයි කෑ ගැසූහ. අමිර්තලිංගම්ට පක්ෂව කතා කළේ තොන්ඩමන් පමණි. එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමති ෂෙල්ටන් රණරාජා විශ්වාසභංගයට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මවිතයට පත් කරවමිනි. ඔහු කීවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටින අමිර්තලිංගම්ලා වැනි දමිළ නායකයන් ආණ්ඩුව රැකගත යුතු බවත්, විශ්වාසභංගයෙන් වෙන්නේ ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු දමිළ සන්නද්ධ කල්ලිවල ඔඩොක්කුවට තල්ලු‍ කිරීම සිදුවන බවය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව එදා කීවේ අමිර්තලිංගම් කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන බවය.

විපක්ෂනායක අමිර්තලිංගම්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් අමිර්තලිංගම් පරාජයට පත්විය. එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂ සිදුවීමක් විය. ඊට හේතුව ඒ විශ්වාසභංගය නිසා තනතුරු අහිමි වීමය. 1978 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උමා මහේශ්වරන්ගේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ දෙමළ සන්නද්ධ පිරිස් අමිර්තලිංගම් ද්‍රෝහියකු ලෙස සැලකූ බවය.

අපේ ව්‍යාපාරය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පාවා දෙන ලදී. ජනතාව සංවිධානය කිරීමේ කටයුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට බාරදී අපි රහස් සංවිධානයක් වශයෙන් කටයුතු කිරීමට 1974 දී එකඟ වීමු. එහෙත් 1977 මහ මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සිය සටන් ඉරියව් වෙනස් කරමින් ධනේෂ්වර පන්තියේ පැත්ත ගත්තේය.

කරුණු කාරණා මෙසේ තිබිය දී 1983 හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන ආවේය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවටත් අනියම් මාර්ගයකින් රට තුළ දී හෝ ඉන් පිට දී ශ්‍රී ලංකා ජනරජ භූමිය තුළ වෙනත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ආධාර සැපයීම හෝ අනුබලදීම හෝ මුදල් සැපයීම නොකරන බවට දිවුරුම් දෙන ලදී. ඊළම පෙරටු කරගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙම දිවුරුම ප්‍රතික්ෂේප කළ අතර පාර්ලිමේන්තුව ද වර්ජනය කළේය. ජේ. ආර්. ජයවර්ධන යුගයේ විපක්ෂයත් නොමැති ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය වූයේ එසේය. පාර්ලිමේන්තු නොපැමිණි නිසා දෙමළ මන්ත්‍රීධුර අහෝසි විය. අමිර්තලිංගම් නැවත පාර්ලිම්න්තු ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසිනි. ඒ 1989 පෙබරවාරි 21 වැනිදාය. 

එල්ටීටීඊය අමිර්තලිංගම් සමග අමනාපවීමට ප්‍රධාන කාරණා කීපයක්ම ඇත. 1977 දී ස්වාධීන ඊළමක් ගැන කියා අනතුරුව සාකච්ඡා මගින් ගැටලු‍ව නිරාකරණය කර ගැනීමට රජය හා එකඟවීමත්, ඉන්දියාව සමග සමීප ඇසුරක් පැවැත්වීමත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් සමග ගැටීමත් නිසා ඔහු ද්‍රෝහියකු බවට නම් කළ එල්ටීටීඊය අමිර්තලිංගම් මරා දැමීමට නියෝග කළ බව කියැවේ. එම නියෝගය ක්‍රියාත්මක වූයේ 1989 ජූලි 13 වැනිදා රාත්‍රී 7.10ට ඔහුගේ නිවසේ උඩුමහල් තලයේදීය. කලෙක ‘අපේ කොල්ලන්’ යන ආදරණීය නාමයෙන් ත්‍රස්තවාදීන් හැඳින්වූ අමිර්තලිංගම්ගේ ජීවිතය එම කොල්ලන් විසින්ම අවසානයේ දී විනාශ කර දමන ලදී.


එම්. තාරික්


 



අදහස් (0)

81 අමිර්තලිංගම්ට එරෙහි විශ්වාසභංගය

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 105 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2019 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1563 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6469 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site