IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මේ ප්‍රශ්නය අවසන් ​​වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි

මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවේ පැතිරුණු හැටි:

ඇමැති චම්පික රණවකගේ විග්‍රහයක්

 

මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති 
පාඨලී චම්පික රණවක   

 

මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කළ විවරණයකි.   

 

• ප්‍රශ්නය - එක් ජාතිවාදයක් විසින් තවත් ජාතිවාදයක් පෝෂණය කරන බව ඔබ පිළිගන්නවාද?   


පිළිතුර - සාමාන්‍ය අදහසක් ඕක. ඇත්තටම පීඩාවට පත්වන ජන කණ්ඩායම් ජාති හා ආගමික ජන කණ්ඩායම් පීඩාවට එරෙහිව සටන් කිරීම මනුෂ්‍ය ස්වභාවයක්. මනුෂ්‍යයා කියන්නේ පරිණාමයේදී තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වුණාම අනිවාර්යයෙන්ම එයට ප්‍රතිචාර දක්වපු කෙනෙක්. සංවිධානාත්මකව ප්‍රතිචාර දක්වපු කෙනෙක්. නිර්මාණශීලිව ප්‍රතිචාර දක්වපු කෙනෙක්, ඒ නිසානේ මිනිසා අනික් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ. ඒක සාමාන්‍ය ස්වාභාවික කාරණයක්.   


කිසියම් ජන කණ්ඩායමක් වේවා, ආගමික කණ්ඩායමක් වේවා, තර්ජනයකට අභියෝගයකට ලක් වුණාම ඒ ජන කණ්ඩායම එකට ගැට ගැසීමක් පැවැත්ම සඳහා ප්‍රතිචාර දැක්වීමත් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය සමාජයේ සිදු වෙනවා.   


• ප්‍රශ්නය - ‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනාගනී’’ කියලා කාල් මාක්ස් ලිව්වා?   


පිළිතුර - කාල් මාක්ස්ගේ බොහෝ නියමයන් අද වෙනකොට ඉතිහාසය තුළ අවලංගු වෙලා ඉවරයි. ලංකාවට 1935දී කාල් මාක්ස්ගේ මතය හඳුන්වා දුන්නා. ඊට පස්සේ ලංකාවේ වම-දකුණ දේශපාලනය ඇතිවුණා. ජර්මන් පාර්ලිමේන්තුව ආදර්ශයට ගනිමින් වාමාංශික සමාජවාදීන් හා දක්ෂිණාංශිකයන් කියලා.   


මේ රටේ දක්ෂිණාංශිකයන්ගෙන් ජේ.ආර්. ජයවර්ධන හැරෙන්න අනික් කවුරුවත් තමන් ධනවාදීන් යැයි සවිඥානකව දැනගෙන හිටියේ නැහැ. හැබැයි වාමාංශිකයන් හැම කෙනෙක්ම වගේ තමන් වාමාංශිකයෝ බව සවිඥානකව දැන සිටියා. වාමාංශිකයන් නොදැන හිටපු දේ තමයි 1983 ජූලි මාසයේ සිදුවෙච්ච දෙමළ විරෝධි ගැටුම විසින් ලංකාවේ දේශපාලනය සුසමය දර්ශන වෙනසකට ලක් වුණා කියලා. එතැන් සිට මේ අප්‍රේල් 21 වැනිදා දක්වා ලංකා දේශපාලනයේ ප්‍රධාන තේමාව වූයේ වම-දකුණ බේදයවත් පංති සටනවත් නොවෙයි. දෙමළ බෙදුම්වාදී අරගලය හා එයට කොහොමද සමාජයේ අනෙකුත් කොටස් ප්‍රතිචාර දක්වන්නේ කියන එක. එහි සම්පූර්ණ ගුරුත්ව කේන්ද්‍රය වේළුපිල්ලේ ප්‍රභාකරන්.   


• ප්‍රශ්නය - ඔබ කියන්නේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා දේශපාලනයේ මාර්ග සිතියම වෙනස් කළා කියලද?   


පිළිතුර - ඔව්! අනිවාර්යයෙන්ම. ඒක තමයි ඔතැන තිබුණේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ 1983දී ප්‍රභාකරන් උපත ලැබුවා කියලා. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය අඩුම තරමින් එස්.ජේ.වී චෙල්වනායගම්ගේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ 1949දී ගෙන ආ යෝජනාවත් එක්ක ගලා ආපු ගමනේ තර්කානුකූල ප්‍රතිඵලයක්.   


• ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් කැරැලි ගැහුවා. ඒ ප්‍රකාශනයේ ආරම්භයට තුඩු දෙන්නේ?   


පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණේ උපතට තුඩු දෙන්නේ ලංකා සමසමාජ පක්ෂය වපුරන ලද සමාජවාදී රාජ්‍යයක් ධනපති පංතිය පෙරළලා හදන්න ඕනෑ කියලා කියපු ඒ ක්‍රියාවලියේම තර්කානුකූල ප්‍රතිඵලයක්. එතකොට නිදහසින් පස්සේ ලංකාවේ පළමු යුගයේදී ලංකා දේශපාලනයේ ප්‍රධාන බළ කඳවුරු ගොඩනැගුණේ වමේද දකුණේද කියන එක මත. මේකට සන්නද්ධමය විලාශයෙන් ජවිපෙ වගේ පක්ෂ ප්‍රතිචාර දැක්වූවා. ඒක තමයි උච්ඡස්ථානය.   


හැබැයි 83 න් පස්සේ එළැඹුණේ දෙමළ බෙදුම්වාදයට ඒ ඒ කණ්ඩායම් දක්වන ප්‍රතිචාර වෙනුවෙන්, සමහරවිට ප්‍රභාකරන් පරාජය කළ යුතුයි කියලා හිතපු අය ඒ වෙනුවෙන් උපාය මාර්ග කල්පනා කළා. උදාහරණයක් හැටියට චන්ද්‍රිකා - රනිල් දෙපළ අනුගමනය කළ උපාය මාර්ගය තමයි ෆෙඩරල් විසඳුමක් දෙමළ ජනයාට ලබාදිලා ඒ හරහා දෙමළ ජනයා දිනාගෙන ප්‍රභාකරන් පරාජය කළ හැකිය කියන උපාය මාර්ගයේ.  

• ප්‍රශ්නය - නමුත් ඒක යථාර්ථයක් නොවෙයි?  


පිළිතුර - ඔව්! ඒ නිසාම අපි ඒ උපාය මාර්ගය ප්‍රතිකේෂප කළා. අපි කිව්වා ‘‘උතුරේ දෙමළ ජනයා ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපයේ ඉන්නේ. ප්‍රභාකරන්ට විරුද්ධව ඒ ජනයාට කරන්න කිසිම දෙයක් නෑ. ඒ නිසා දෙමළ ජනයා පැත්තකට කරලා මුලින් ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළ යුතුයි කියලා. එහෙම පරාජය කළාට පස්සේ තමයි නිදහස් දෙමළ ජනයාත් සමඟ ඕනෑම සාකච්ඡාවක් කළ හැකිවන්නේ කියලා.  


අවසන් වශයෙන් අපේ මතය තමයි මේ රටේ ජයග්‍රහණය කළේ. ඒ අනුව සමහරු මේක ස්වයං නිර්ණ අයිතිය හැටියට අරගෙන මේකට පක්ෂ වුණා. සමහරු මේක හරහා රට බෙදෙනවා, නිර්ධන පංතිය බෙදෙනවා කියලා මාක්ස්වාදීන් විරුද්ධ වුණා. ධනපතියන් බලය බෙදලා මේක විසඳන්න පුළුවන් කියලා. ඒ විදියට විවිධ ප්‍රතිවිරෝධතා මේක ඇතුළේ ඇති වුණා.  


• ප්‍රශ්නය - දැන් සහ්රාන් හෂීම් මතුවෙලා ඉන්නවා. මේක ඉතිහාසයේ අලුත් තත්ත්වයක්?  


පිළිතුර - ඔව්. සහ්රාන් හෂීම්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රිස්තියානි ජනයාට එරෙහිව කළ ප්‍රහාරය හරහා කරුණු කිහිපයක් නිසා මේ රටේ දේශපාලනයේ වෙනසක් වෙනවා. දේශපාලන පද්ධතියේ වෙනසක් වෙනවා. මින් ඉදිරියට ඉස්ලාමීය මූලධර්මවාදී ව්‍යාපෘතිය හා අනෙක් සමාජයේ අනිකා බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි දේශපාලනයේ ඉදිරි කාලයේ ස්වභාවය වෙන්නෙම.  


• ප්‍රශ්නය - එයින් කියැවෙන්නේ මෙයින් ගැලවීමක් නෑ?  


පිළිතුර - මෙහෙමයි. ඔබට මතක ඇති 2000 කියන්නේ අලුත් සියවස ආරම්භ වෙච්ච දවස. හැමෝම කිව්වා 1999 දෙසැම්බර් 31 වැනිදා අලුත් සියවස ආරම්භ වෙනවා කියලා. එතකොට ආතර් සී. ක්ලාක් මැතිතුමා කිව්වා ‘‘සුද්දෝ බිංදුව දැනගෙන හිටියේ නෑ. සුද්දෝ එකෙන් තමා ගණන් කරන්න පටන් ගත්තේ. ඒ නිසා වසර 2000 එන්නේ 2001 වසරේ ජනවාරි පළමුවැනිදා ඉඳන් කියලා. නමුත් දේශපාලන විචාරකයෝ කියන්නේ අලුත් සියවස ආවේ 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල කරපු නිව්​ෙ‌යා්ර්ක්  අල්කයිඩා ප්‍රහාරයෙන් කියලා.  


• ප්‍රශ්නය - ඒක එහෙම වෙන්නේ කෙහොමද?  


පිළිතුර - ඒ ප්‍රහාරයත් එක්ක ලෝකයේ එතෙක් තිබුණ දේශපාලන සීමා මායිම් සියල්ලම ඉස්ලාමීය මූලධර්මවාදයේ අනෙකා හැටියට බෙදෙනවා. මේ තත්ත්වය පසුගිය දශක දෙක තුළ අපට මුළු ලෝකය තුළින්ම දකින්න පුළුවන්. හැම රටකම මූලික ප්‍රශ්නය බවට වම-දකුණ ප්‍රශ්නය හෝ බෙදුම්වාදී ජාතිවාදී ප්‍රශ්න නොවෙයි මේක පත් වුණා. ඇමෙරිකාවේ අද මූලික ප්‍රශ්නය ඉස්ලාමීය මූලධර්මවාදයයි. යුරෝපයේ ප්‍රශ්නයත් ඒකමයි.  


මහා රුසියාවේ ගැටලුව මොකද්ද? චෙස්නියාවෙයි ඩාවිස්තානයෙයි සහ වෙනත් ප්‍රදේශවල රුසියාවට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කරලා තියෙන ප්‍රශ්නය. ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වෙනවා. මොකද්ද මූලික ගැටලුව. කාශ්මීරයේ සහ අනෙක් ප්‍රදේශවල ඇති වෙලා තියෙන යුදමය අභියෝග.  


චීනයේ මොකද්ද ප්‍රශ්නය. රතු චීනයේ ප්‍රශ්නය ෂිංහැයන් පළාතේ තියෙන ඉස්ලාමීය මූලධර්මවාදයට එරෙහිව තියෙන සටන. චයිජිං පින් අැමෙරිකාව එක්ක වෙළෙඳ යුද්ධයක පැටලිලා ඉන්නවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය අරක. අප්‍රිකාව ගන්න අප්‍රිකාව ගිනිගෙන දැවෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නය. උතුර මුස්ලිම්වරුන්ටත් දකුණ ක්‍රිස්තියානුවන්ටත් ගිහිල්ලා. ඒ දෙක මැද්දෙ තියනෙ රටවල්වල ක්‍රිස්තියානුවන් හා මුස්ලිම්වරුන් අතර ඇතිවෙලා තියෙන ගැටුම. සුඩානය දෙකඩ වුණා. ඒ විදියට හැම රටකම ගැටුම් ඇතිවෙලා තියෙනවා.  
සුළු රටවල් කිහිපයක් හැරුණාම කියුබාව වෙනිසියුලාව වගේ රටවල් හැරුණාම අනෙකුත් රටවල මූලික බෙදුම් රේඛාව හැඩගැහිලා තියෙන්නේ ඔසාමා බිල්ලාඩන් විසින් ඇති කරපු ඒ බෙදුම් රේඛාවයි.  


• ප්‍රශ්නය - සහ්රාන් හෂීම් ඒ තත්ත්වය අප රට තුළ ඇති කළා?  


පිළිතුර - ඔව්! ඒ තත්ත්වය ඇති කළා. අපට මතකයි 1978දී විතර දෙමළ පොලිස් පරීක්ෂකවරයකු මඩුකැලේදී අතුරුදන් වුණා. ඒ සිද්ධියෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බුල් වීරතුංගව යැව්වා උතුරට. එයා උතුරට ගිහින් කිව්වා හය මාසයකින් ප්‍රශ්නය විසඳනවා කියලා. නමුත් හය මාසය හය අවුරුද්දක් වුණා. හය අවුරුද්ද අන්තිමට තිස් අවුරුද්දක් වුණා.  


ඒ නිසා මේ ප්‍රශ්නය මාස තුනකින් විසඳන්නත් පුළුවන් වෙයි. අවුරුදු තුනකින් විසඳන්නත් පුළුවන් වෙයි. සමහරවිට මේ සියවස පුරාම මේ ගැටුම තියෙයි. ඒක තීරණය වෙන්නේ අපි මේක පාලනය කරන ප්‍රමාණයට. ඒක තමයි අපි දැන ගන්න ඕනෑ පළමු වැනි කාරණය.  


• ප්‍රශ්නය - සහ්රාන් හෂීම් කෙනෙක් එක්වරම බිහි වෙන්නේ කොහොමද?  


පිළිතුර - සහ්රාන් හෂීම් අහම්බයක් නොවෙයි. රෝහණ විජේවීර හා ප්‍රභාකරන් අහම්බයක් නොවුණා සේම මොහුත් අහම්බයක් නොවෙයි. මොහු මුස්ලිම් සමාජයේ ඇති වෙච්ච ඓතිහාසික ක්‍රියාවලියක තර්කානුකූල ප්‍රතිඵලයක්. ඇන්.ඇම්ලා, කොල්වින්ලා රටේ සමාජවාදී විප්ලවයක් කරන්න ඕනෑ කියලා කිව්වාම අවුරුදු 30කට පස්සෙත් ඒක නොවුණාම විජේවීර ඔවුන්ව ප්‍රශ්න කළා.  


විජේවීර හා සනත් බොරලුකැටිය ඔවුන්ව ප්‍රශ්න කළා. ප්‍රශ්න කරලා කිව්වා මේ අය බොරු කාරයෝ කියලා, ‘‘විප්ලවවාදී පක්ෂයක් හදන්න ඕනෑ බොල්ෂෙවික් පක්ෂයක් හදන්න’’ කියලා. එහෙම කියලා 71 අප්‍රේල් කැරැල්ල ගැහුවා. ඒ වගේම තමයි 1999 දී චෙල්වනායගම් පොන්නම්බලම්ට විරුද්ධව කරුණු හතරක් මත, දෙමළ ජාතිය වෙනම ජාතියක් ඔවුන්ට දෙමළ කතා කරන සියලුම දෙනා අයත්. ඔවුන්ගේ නිජබිම උතුර හා නැගෙනහිර ඒ වගේම ඔවුන්ට වෙන් වී යාමේ ස්වයං නිර්ණ අයිතිය තියෙනවා කියන කරුණු හතර මරදානේදී ප්‍රකාශ කළාට පස්සේ දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටෙව්වට පස්සේ ප්‍රභාකරන් අවුරුදු ගානකට පස්සේ කියනවා ‘‘දේශයේ සන්නද්ධ අරගලයකින් අපි ඊළාම් රාජ්‍ය අත්පත් කරගත යුතුයි’’ කියලා එහෙම කියලා මහා විනාශයක් කළා.  


• ප්‍රශ්නය - ලංකාවේ මුස්ලිම් සමාජයෙන් එහෙම ප්‍රකාශයක් තිබුණේ නැහැ?  


පිළිතුර - ඔව්! ලංකාවේ හිටියේ බොහොම සාමකාමී මුස්ලිම් ජනතාවක්. මුස්ලිම්වරු මේ රටට ආවේ ආක්‍රමණිකයන් හැටියට නොවෙයි. වෙළෙඳාමට ආපු සාමකාමී පිරිසක්. ඒ සාමකාමී පිරිසට පළමු තර්ජනය එල්ල කළේ මේ රටට ආපු තවත් වෙළෙඳ ජාතියක් වෙච්ච පෘතුගීසින්. තමන්ට තරගයක් දෙන්න ඉන්න මුස්ලිම්වරුන්ව පෘතුගීසින් රටින් පළවා හැරියා. ඒකට හේතුවකුත් තිබුණා. යුරෝපයේ මුස්ලිම්වරුන්ට එරෙහිව කරපු මහා අරගලයකින් පස්සේ තමයි ස්පාඤ්ඤය හා පෘතුගාලය නිදහස ලබා ගත්තේ.  
ඒකත් එක්ක මුස්ලිම්වරුන් යනවා කන්ද උඩරටට. කන්ද උඩරට රජතුමාගේ සරණ යටතේ ලංකාවේ නොයෙක් තැන්වල පදිංචි වුණා. ඒ නිසා තමයි නොයෙක් මුස්ලිම්වරුන්ගේ වාසගම්වලට සිංහල වාසගම් තියෙන්නේ. මොකද ඔවුන්ගේ බිරින්දෑවරු බොහොමයක් අපේ අතීත මිත්තනියෝ. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට ලන්දේසින් ආවා. ඔවුනුත් කිසිම සමාවක් දුන්නේ නෑ මේ මුස්ලිම්වරුන්ට. හැම වෙලාවෙම තෙරපගෙන හිටියා. ඉංග්‍රීසින් ආවට පස්සේ බොහොම සටකපට විදියට ක්‍රියා කළා. ඉංග්‍රීසින් මේ මුස්ලිම්වරුන්ව බලාත්මක කළා.  


සිංහලයන්ට එරෙහිව කරපු කැරලි මර්දනවලට ඔවුන්ගෙ උදව් ලබාගත්තා. පල්ලිවලට නිදහස දුන්නා. හැබැයි මුස්ලිම් මිනිස්සු 1915 ගැටුමේදී හැරුණු විට පොදුවේ සාමකාමී මිනිස්සු. ඔවුන් වෙළෙඳාම් කළ සුපීසම් කියන ධර්මය. ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වුණ බොහොම ආධ්‍යාත්මික ධර්මයක්.  


සත්‍යකරා යන්න හැකිතරම් ලෞකිකවාදයෙන් ඈත්වෙච්ච මුස්ලිම්වරයෙක් තමයි ඒ ධර්මයෙන් බලාපොරොත්තු වුණේ. සුපී ගුරුවරුන්ගේ සොහොන් තමයි ඔවුන් වන්දනා කළේ. ලංකාවේ පැරැණි පල්ලි බොහොමයක ඒ සොහොන් ගැබ් වන්දනාමාන කළා.  

 

සහ්රාන් හෂීම්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රිස්තියානි ජනයාට එරෙහිව කළ ප්‍රහාරය හරහා කරුණු කිහිපයක් නිසා මේ රටේ දේශපාලනයේ වෙනසක් වෙනවා. දේශපාලන පද්ධතියේ වෙනසක් වෙනවා. මින් ඉදිරියට ඉස්ලාමීය මූලධර්මවාදී ව්‍යාපෘතිය හා අනෙක් සමාජයේ අනිකා බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි දේශපාලනයේ ඉදිරි කාලයේ ස්වභාවය වෙන්නෙම


• ප්‍රශ්නය - පසුකාලීනව මේ තත්ත්වය වෙනස් වෙනවා?  


පිළිතුර - අනුක්‍රමයෙන් විශේෂයෙන්ම අසූ ගණන්වල මැද භාගයේ ඉඳන් මේ රට තුළ වේගයෙන් තබ්ලික් ජමාත් කියන ව්‍යාපාරය. ඒක ඉන්දියාවෙන් ආවේ, ඒකෙදි බොහෝ දුරට කිව්වේ ‘‘සොහොන් ගැබ් වන්දනාව හරියන්නේ නෑ. කුරාණය කියවන්න කුරාණයේ හරය දකින්න. ඒකට අනුව ජීවත් වෙන්න’’ කියලයි. ඒකත් එක්කම මතු වුණා. නැගෙනහිර පළාතේ ගැටුම.  


• ප්‍රශ්නය - එල්ටීටීඊ ප්‍රහාරය?  


පිළිතුර - ඔව්! ඒක ගැනත් මත දෙකක් තියෙනවා. කාත්තන්කුඩියේ පල්ලියේදී මුස්ලිම් ජනයාට ප්‍රහාරයක් එල්ල වුණා. එල්ටීටීඊයට උදව් නොකළ නිසා ඔවුන් පහර දුන්නා කියලා මුස්ලිම් ජනතාව කියනවා.  


දෙමළ ජාතිවාදී ඉතිහාසයේ කියන්නේ ඉරානයේ ආධාර ඇතිව ශ්‍රී ලංකා ආණ්ඩුව සන්නද්ධ මුස්ලිම් ව්‍යාපාරයක් හැදුවා. ඒක මුලිනුපුටා දැමීමට එල්ටීටීඊය ක්‍රියා කළා කියලා.  

• ප්‍රශ්නය - ඔබට අනුව කොයි මතයද හරි?  


පිළිතුර - කොයිකද හරි කියලා තාම පැහැදිලි නෑ. නමුත් මුස්ලිම් සුළු පිරිසක් සන්නද්ධව එල්ටීටීඊයට හිතවත්ව හිටියාය කියන එකත් විරුද්ධව හිටියාය කියන එකත් පැහැදිළියි. 1990 බුර්කාව, ෂරියා නීතිය ආදිය නීතිගත තත්ත්වයට ගෙනාවා. මුස්ලිම් කොංග්‍රසය ඒකට දේශපාලන බලපෑම කරනවා.  


මුස්ලිම් කොංග්‍රසය 1988 ජනාධිපතිවරණයේදී තමන් තීරක බලය බවට පත් වූවා කියා හැඟීමෙන් හිටියේ. කොහොමහරි මේ දේශපාලන බලයයි තබ්ලික් ජමාත් ක්‍රියාකාරීත්වයයි එක්ක ලංකාව තුළ සමාජ බෙදුම්වාදයක් ඇති වුණා. දරුණු වචනයක් පාවිච්චි කරනවා නම් ආපාතයිඩ් එකක් ඇති වෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකේය සමාජයෙන් ගැලවිලා මුස්ලිම් සමාජය අරාබි කරණය වීම.  


අරාබි භාෂාව ඉගෙන ගත්තා සිංහල දෙමළ වෙනුවට. ඇඳුම අරාබි වුණා. කෑම හලාල් වුණා. එහෙම ක්‍රමයෙන් අපිත් එක්ක හිටපු මුස්ලිම්වරුන් තබ්ලික් ජමාත් ව්‍යාපාරයත් සමඟ ආගමික වෙලා යම් අන්තවාදී ස්වරූපයකින් ආපාතයිඩ් එකක් බවට පත් වුණා. ඒක සමාජ ආපාතයිඩ් එකක්. මේක ස්වයංව සිද්ධ වුණේ. මේ සමාජ බෙදුම්වාදයත් සමග ආණ්ඩු දුර්වල වෙන අවස්ථාවලදී ක්‍රමයෙන් යම් යම් ක්‍රියාදාමයන් හරහා මුස්ලිම් සමාජය වෙනමයි කියලා හිතන්න පෙළඹුණා.  


• ප්‍රශ්නය - ඔබ කියන්නේ අද තියෙන්නේ ඒ ගමනේ තාර්කික අන්තය කියලද?  


පිළිතුර - ඒක පටන් ගන්නේ තවුහිත් ජමාත් සංවිධානයේ බිහිවීමත් එක්ක. ඒක එන්නේ ලෝකයේ ඇති වෙච්ච විශේෂ තත්ත්වයත් එක්ක. ඒ තමයි සෞදි අරාබියයි ඉරානයයි අතර ඇතිවන ආගමික ගැටුම. ඒ වගේම සෞදි අරාබිය විසින් විශාල වශයෙන් ඉස්ලාමීය ප්‍රවර්ධනයට ධනය වියදම් කළා. විශේෂයෙන්ම වහාබ් වාදය ව්‍යාප්ත කරන්න දරුණු විදියට උත්සාහ කළා.  


• ප්‍රශ්නය - වහාබ්වාදය ලංකාවට එන්නේ?  


පිළිතුර - වහාබ් වාදය ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවේ ගුරුවරුන්ගෙන්. ඔවුන් ඇවිත් වහබ්වාදය එහෙම නැත්නම් තව්පික්. ඒක දේවවාදය මේ රටේ දේශනා කළා. මේක බොහොම රළු විදියට දේශනා කරනවා. එක දෙවියයි ඉන්නේ අනික් දෙව්වරු බොරු අනික් ආගම් ඔක්කොම බොරු. ඒ විදියට තමයි කිව්වේ. එහෙම කියමින් අනෙක් මුස්ලිම්වරුන් එක්කත් ගැටුම් හදා ගත්තා.  


ඒ විදියට තවුහිත් ජමාත් ව්‍යාපාරය ක්‍රමයෙන් ස්ථාන ගණනාවක තමන්ගේ පල්ලි හදාගෙන. රාජ්‍යන් එක්කත් බුද්ධි අංශ එක්කත් සබඳතා හදා ගන්නවා. මේ රටේ 2013-2014 බුද්ධි අංශ මෙහෙයවපු අය කල්පනා කරනවා කොහොමද මේ බලවේගය අනාගතයේදී තමන්ට බලයට එන්න පාවිච්චි කරන්නේ කියලා. ඒ අනුව මුස්ලිම් සමාජය ඇතුළේ ගිලෙන්න හිටපු අය ඒක තුළ බලවත් වෙනවා.  


• ප්‍රශ්නය - සහ්රාන් එහි ප්‍රකාශකයා?  


පිළිතුර - ඔව්! එහි තීරණාත්මක අවස්ථාව තමයි සහ්රාන්. ඔහු අහනවා ඇයි අපි අනිකුත් අන්‍යාගමිකයන් විනාශ කරන්නේ නැත්තේ? ඇයි අපි පිළිම කුඩුපට්ටම් කරන්නේ නැත්තේ’’ කියලා. ඒකට එකඟ කණ්ඩායමකුත් බිහි වෙනවා. ඒ වගේම සිරියාවේ, ඉරාකයේ අයිඑස් එකත් එක්ක යුද්ධයට ගිය පිරිස් ජාත්‍යන්තරව අන්තර්ජාලය හරහා රැඩිකල් වෙච්ච පිරිස් ආදී වශයෙන් නොයෙක් දෙනා එකතු වෙලා තමයි මේ සිදුවීම කරන්නේ.  


• ප්‍රශ්නය - මෙහි අවසානය පිළිබඳ ඔබේ අනාවැකිය?  


පිළිතුර - මේක මාස තුනෙන් ඉවර කරන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. සමහරවිට අවුරුදු තුනක් යන්නත් පුළුවන්. අවුරුදු තිහක් හෝ මේ සියවසම යන්නත් පුළුවන්. ඒ කාලය තීරණය වෙන්නේ අපි ඒකට මුහුණ දෙන ආකාරය අනුවයි.  

 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 

 



අදහස් (0)

මේ ප්‍රශ්නය අවසන් ​​වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6294 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site