IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අමුතු ඉලන්දාරියා Funny Boy ශ්‍යාම් සෙල්වතුරෙයි

පොතක මතක 27


fun යන ඉංගිරිසි වචනයට සිංහලෙන් අරුත් කිහිපයක් ම තිබේ. ඒ අතුරින් වඩා ප්‍රකට විනෝදමත් යන්න විය යුතු යයි හඟිමි. උපතින් ශ්‍රී ලාංකිකයකු වූ දැන් කැනේඩියානුවකු වන ශ්‍යාම් සෙල්වතුරෙයි ( 1965 පෙබරවාරි 12 -) විසින් 1994 දී ඉංගිරිසි බසින් ලියන ලද ඔහුගේ ප‍්‍රථම නවකතාවේ නම Funny Boy ය. සුගතපාලද සිල්වා මහතා ඒය සිංහලට පෙරළන්නේ 'අමුතු ඉලන්දාරියා' ලෙසිනි.

මෙ පොතේ එන Funny Boy හෙවත් අමුතු ඉලන්දාරියා එක්දහස් නවසිය අසූව දශකයයේ මුල් භාගයේ ගැටවර වියට එළැඹෙමින් සිටින - ඔහුගේ වයස අවුරුදු දොළහක් පමණි- දෙමළ පවුලක පිරිමි ළමයකු වන අර්ජුන් චෙල්වරත්නම් නොහොත් අර්ජි ය. මේ ඔහු තමා ගැනම කියන කතාවයි. ඒ් කියන්නේ මේ කතාවේ 'මම' ලෙස පෙනි සිටින්නේ අර්ජි බවයි. 

අර්ජිගේ පියා දෙමළ වන අතර මව සිංහල ය. කොළඹ ඉහළ පැලැන්තියේ මිනිසුන් වෙසෙන පරිසරයක ලොකු ගෙවත්තක් ඇති විසල් මැඳුරක වෙසෙන කාසිකාර පවුලක දරුවකු වන ඔහුට අයියා කෙනෙක් සහ නංගී කෙනෙක් සිටිති. 

 එකිනෙකට අසම්බන්ධිත සේ බැලු බැල්මට පෙනෙන නමුත් සැමෙකක් ම අර්ජි කේන්ද්‍ර කැර ගනිමින් විකසනය වන කතාංග පහකින් සමන්විත මෙම නවකතාවේ විශේෂත්වය නම් එක දිගට කියවා ගෙන යා හැකි තරම් සරල වීම ය. මෙහි කතුවරයා පරම්පරා තුනක ඒකිනෙකාට වෙනස් චරිත විස්සක් පමණ මෙතුළ මනා සේ හසුරුවයි.

අරිජි ද, සහෝදරයා සහ සහෝදරිය ද, නෑ පවුල්වල දරුවෝ ද කුඩා කල ජනවර්ග දෙකට ම අයත් නෑදෑ පවුල් අතර හරිහරියට ගැවසෙමින් කෙලි සෙල්ලම්වල යෙදෙමින් සාමකාමී ජීවිත ගත කරති. පොත ඇරඹෙන්නේ ‘හොටබරියාට පියාසර කළ නොහේ’ හෙඩිමෙන් යුතු කතාංගයක් සමගිනි. හොටබරියා යනු ඌරා ය. අර්ජි නෑදෑ කෙල්ලන් සමග ‘මනමාලී - මනමාලී’ නම් ක්‍රීඩාවේ යෙදෙයි. කෙල්ලන් කොයිතරම් සිටියත් සෑමදාම මනමාලිය වනුයේ කොල්ලා වන අර්ජි ය. මෑතක දී අමෙරිකාවේ සිට පැමිණි නැන්දා කෙනෙකුගේ දියණියක වන තනුජා ඔහු ගැන සිය මවට පැමිණිළි කරන අතර ඔහුගේ ගැහැනු වැඩ වැඩිහිටියන්ගේ හාස්‍යයට ලක් වේ. ඔහු ‘ෆනියකු’ බවට පත් වනු ඇත’යි ද ඉන් තමන්ට නින්දා විඳින්නට සිදුවනු ඇත’යි ද බිය වන තාත්තා, අයියා සමග ක්‍රිකට් ක්‍රීඩාවට යන්නැයි අර්ජිට බල කරයි. එහෙත් කොල්ලෝ ඔහු ක්‍රීඩාවට වැද්ද ගැනීමට මැලිවෙති. එක කොල්ලෙක් කියන්නේ ඔහු ‘කොලූ පැටික්කියක්’ බවයි. කොල්ලන් වෙතින් පළායන ඔහු කෙල්ලන්ගේ සෙල්ලම්වලින් ද ඈත් වන්නට මහත් ශෝකයෙන් යුතුව තීරණය කරයි. ඔහුට නිතර සිහිපත් වනුයේ සිය මව කියන අහස කොතරම් විශාලව පැවැතියත් ඌරන්ට කිසිදා පියාසර කළ නොහැකි ය යන්නයි.

දෙවැනි කතාංගය වනුයේ රාධා නැන්දා ය. රාධා නැන්දා යනු අර්ජිගේ පියාගේ නැගණියයි. අමෙරිකාවේ කලක් ගත කොට මෑතක මෙරටට පැමිණෙන ඇය මහගෙදර ටික කලක් වසයි. එ සමයේ අර්ජි ඇය හා මිතුරු වෙයි. සංගීතය හා නර්තනය හදාරා ඇති ඇය ද කිං ඇන්ඞ් අයි නම් ඉංගිරිසි නාට්‍යයේ පුහුණුවීම් සඳහා අර්ජි ද කැඳවාගෙන යයි. රාධා නැන්දා අනිල් ජයසිංහ නමැති සිංහලයකු සමග මිත‍්‍රත්වයක් ඇති කැර ගෙන සිටියි. ඇයත් ඔහුත් අතර සමග පෙම් සබඳතාවක් ඇති විය හැකි ය සිතා අනිල් ජයසිංහගේ ඇසුරෙන් ඇය දුරස් කරන ඇගේ මව සහ ඥාතියෝ ඇය දෙමළෙකුට ම පාවා දෙති. සිංහලූන් සහ දෙම`ඵන් අතර ඇති විරසකය අර්ජි හඳුනා ගන්නේ මෙහි දී ය.

නපුරක් දකින්නවත් අහන්නවත් එපා නම් තුන්වැනි කතාංගයේ දී පාඨකයාට ඩැරිල් අන්කල් මුණ ගැසෙයි. ශ්‍රී ලංකාවේ උපන් ලංසියකු වන ඔහු දැන් පදිංචිව සිටින්නේ  ඔස්ට්‍රේලියාවේ ය. තාත්තා හා සම්බන්ධ වන්නට පෙර අම්මා ඔහු සමග ආලයෙන් වෙළී සිටි බව අර්ජිට පසුව වැටහේ.

එහෙත් අර්ජි අපට ඒබවක් නොකියයි.

ඩැරිල් අංකල් ලංකාවට ආවාට පසුව අර්ජි රෝගාතුර වෙයි. ඔහුට වැලඳී ඇත්තෙ සෙංගමාලය බව වෛද්‍යවරිය නිගමනය කරයි. අම්මා කරන්නේ ඔහුත් කැටිව උඩරට නිවාඩු බංගලාවකට යාම ය. මේ දවස්වල තාත්තා විදෙස්ගත ව සිටින හෙයින් ඒ් ගමන යන්නේ අම්මා සහ අර්ජි පමණි. ඩැරිල් අංකල් ද එහි පැමිණේ. අසනීපයෙන් පසුවන අර්ජි කාමරය තුළට වී සිටින අතර අම්මා සහ ඩැරිල් අංකල් සාමිචියේ යෙදී සිටිති.

මාධ්‍යවේදියකු වන ඩැරිල් මේ පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් ලියන්නට ය. අම්මාගේ විරෝධය නොතකා ඔහු යාපනේ යයි. එහි දී ඔහු මුහුදේ ගිලී මිය ගිය බව දැන ගන්නට ලැබෙයි. එය ඝාතනයක් බව නිසැක ය. ඔහු රජයේ හමුදා හෝ පොලීසිය හෝ විසින් ඝාතනය කරනු ලැබ මුහුදට දමන්නට ඇත’යි අම්මාගේ විශ්වාසය වෙයි.

'අප යන විට සාරිය මාරු කරමින් සිටි අම්මා හිස ඔසවා බැලුවාය. "මට තාමත් අදහන්න බෑ එයා මැරුණයි කියලා" ඈ කීවාය "මට විශ්වාසයි, පස්සේ මට ඒක දැනේවි"
නීලියා ලොකු හිස සැලුවාය.
"එයා මැරුනේ දියේ ගිලිලා නෙවෙයි. ඔයා දන්නවනේ මරලා මූදට විසි කරල තියෙනවා"
ඇගේ සෘජු වචනවලින් මා හැකිළිණ. නීලියා ලොකූ මහත් අපහසුතාවකින් පසුවෙයි.
"මොකට කියනවද එයා මුහුදේ පීනන්න යනවා දැක්ක සාක්කිකාරයොත් ඉන්නවා." ඈ සාවඥ ලෙස කීවාය. "මේ දවස්වල ඕන එකකට ඒ ගොල්ලන්ට සාක්කිකාරයෝ ඉන්නවා-" ඇගේ සාරිය දෙපා ළඟ බිමය. ඒ උඩින් පැන ඈ එහි කොනක් අතට ගත්තාය. අනතුරුව ඈ අප දෙස බැලුවාය. "අපි මොනවා හරි කරන්න ඕන අපට මේවා මෙහෙම යන්න දීලා බෑ"
"නාලිනී" නීලියා ලොකූ කීවා ය.
"ඇයි?" ඈ අසා සිටියාය. "ඔයා හිතන්නෙ අපි මොකවත් කළ් යුතු නෑ කියලද?"
නීලියා ලොකූ බිම බලා ගත්තාය. "දැන් කරන එකේ තේරුමක් නෑ-" ඈ කීවාය. "ඔයා මොනවා කළත් එයා ආපහු එන්නේ නෑ නේ"
"ඒත් මොනවා හරි කරන්න ඕනෑ" අම්මා කෝපයෙන් කෑ ගැසුවාය. "මිනිසුන්ට මේවා කරලා ඇඟ බේරගන්න බැහැ. ඇයි දෙයි හාමුදුරුවනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්"

නීලියා ලොකූ පිළිතුරක් නොදෙයි.
එදා ඇඳිරි වැටෙන විට අම්මාට තද හිස රදයක් සැදී හිස කරකැවෙන්නට වූයෙන් ඇය ඇඳට වැටුණාය. ඇයට කොහොමද යි බැලීමට මම ඇගේ කාමරයට ගියෙමි. ජනිල් තිර වසා තිබිණ. ඈ ඇඳේ වැතිර බාහුව නළලට උඩින් රඳවාගෙන සිටියාය. ඇගේ ඇස් කාමරයට පිවිසෙන මා සමග ගමන් කළේ ය. මම ඇය පසෙක හිඳ මොහොතක් නිහඬව සිටියෙමි. "ඒක හරිම භයංකරයි. මට එයා අඳුනගන්න බැරි තරමට වෙනස් වෙලා. එයා ළඟ තිබිලා පර්ස් එක හම්බනොවෙන්න ඒ වෙන කෙනෙක් කියලා මං දිවුරන්න තිබුණා." ආ මාවෙත හැරුණාය. " ඔයා හිතන්නේ නෑ නේද පුතා එයා ගිලුණයි කියලා"
මම හිස සැලුවෙමි.
"මට මොනවා හරි කරන්න තිබුණා. ඒ ගිය ගමන වළක්වන්න. මට මොකහරි මාර්ගයක් හොයාගන්න තිබුණා. මට තමයි දොස් කියන්න ඕනෑ"
"නෑ අම්මේ. නෑ. අම්ම පුළුවන් තරම් බැලුවනේ." මම විරෝධය පෑවෙමි. "නෑ මට තිබුණේ කොහොම හරි එයා නවත්තන්න"
ඇය වැලමිටි දෙකට වැර දී කෙළින් වූවාය. "එහේ වෙන දේවල් ගැන එයා කියපුවා ඇයි මං විශ්වාස නොකළේ? පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි කියලා මම මොන හිතකින්ද හිතුවේ?"
ඈ යළි වැතිරුණාය. "හැම දෙයක් ම හොඳට කෙරීගෙන ගිය නිසා ඇත්තටම සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න මට ඕන කළේ නෑ-"
මම ඇය දෙස බැලුවෙමි. ඇගේ  කටහඬක් නැතුව වූ දීප්තිමත් බැල්මත් මගේ හිතට කරදර  කරයි. ඈ වැළකුණා නම් එය වඩා ස්වාභාවිකය.
"අපි මොනවා හරි කරන්න ඕනේ." නිහඬතාව බිඳිමින් ඈ කීවාය. "කිසිම දෙයක්  නොවුණා වගේ අපිට ඔහේ වාඩිවෙලා ඉන්න බෑ. ඇය මා දෙස බැලුවාය. "ඒත් පොලිසියයි ආණ්ඩුවයි වැරදි කරනකොට මිනිහෙක් කොයි අත හැරෙන්නද?" මම පිළිතුරු නොදුන්නෙමි. '

ඇය ඒ ගැන ක්‍රියාත්මක වනු පිණිස නීති ආධාර ලබා ගැනීමට පවුලේ හිතවතකු වන රාජ නීතිඥයකු හමු වන්නට යයි. ඔහු දෙන උපදේශය නම් නපුරක් දකින්නවත්, අහන්නවත්, කතා කරන්නවත් එපා යන්නයි.

මෙහි දී පැන නැගෙන ගැටලුව නම්, ඩෙරිල්ගේ මරණය රජයේ හමුදාව හෝ පොලීසිය විසින් කරන ලද්දක් ය යන නිගමනයට ඔවුන් එළැඹන්නේ කෙසේ ද යන්නයි. ඒ, ඒ සන්දියේ රජයේ හමුදාව සහ පොලිසිය ගැන ජනතාව දැරූ පොදු ආකල්පයයි. ඊට හේතු අර්ජි නමැති බාලයාගේ අත්දැකීමක් ලෙස ඉහත උධෘතයට පූර්වයේ පිටු කිහිපයක් පුරා ඇත. දැනුදු ඒ ආකල්ප එතරම් ම වෙනස් වී නැති බව කිව යුතු ය.

ඊළඟ පරිච්ඡෙදය පුංචි පුංචි දේවල් ය. මේ වනවිට තාත්තා සිංහලයකු වන සේන අන්කල් සමග හෝටල් ව්‍යාපාරයකට අතගසා සිටියි. විසිපස් හැවිරිදි දෙමළ තරුණයකු වන ජෙගන් තාත්තාගේ පන්ති මිතුරකුගේ පුතෙකි.  ඒ මිතුරා මේ වනවිට මිය ගොස් ය. ජෙගන්ගේ මවගේ ඉල්ලිම පරිදි තාත්තා ඔහු තම ව්‍යාපාරයේ සේවයට බඳවා ගනී.  ජෙගන් එවකට උතුරේ ක්‍රියාත්මක වූ ගාන්ධියන් ව්‍යාපාරයේ සාමාජිකයකු ව සිට ඇත. එවකට අලුතින් පැතිරෙමින් පැවැති කොටි සංවිධානය සමග ඔහුගේ සම්බන්ධයක් ඇත’යි සැක කෙරේ. නොයෙක් හේතු නිසා තාත්තාත් සේන අංකලූත් ජෙගන් සේවයෙන් ඉවත් කරන්නට තීරණය කරති.

දැන් නව යොවුන් වියේ සිටින අර්ජි ඉගෙන ගනිමින් සිටින පාසල වෙනස් කොට වෙනත් පාසලකට යවන්නට තාත්තා තීරණය කරයි. අයියා අධ්‍යාපනය ලබන්නේත් ඒ පාසලේම ය. එහි දි ඔහු ෂෙහාන් සොයිසා නම් සම වයසේ සිංහල තරුණයකුගේ ඇසුරට යොමුවෙයි. ෂෙහාන්ගෙන් ඈත්ව සිටින්න’යි අයියා අනතුරු හඟවන නමුත් ඔවුහු දෙදෙන ප්‍රේමයෙන් වෙළෙති. ඔවුන් අතර ලිංගික සම්බන්ධයක් ඇතිවෙයි.

අවසාන පරිච්ඡෙදයේ දී කළුජූලිය එයි. පිය පාර්ශ්වයේ මවුපියෝ කෲර ලෙස ඝාතනය කරනු ලැබෙති. ඔවුන්ගේ හෝටලයට ගිනි තැබේ. දෙමළුන්ට නොයක් වධ හිංසා පමුණුවයි. අවසානයේ අර්ජිගේ පියා රැකවරණ පතා කැනඩාවට යන්නට තීරණය කොට ඔවුන් එහි රැගෙන යයි. ඔවුන් කිසිදා මේ දිවයින අතහැර යන්නට සිතා තිබුණේ නැති නමුත් දිවි ගලවා ගැනීමට අන් මගක් නොවන හෙයින් එය කරන්නට සිදුවෙයි. කතාව එතැනින් නිමවේ.

මේ වනාහි ශ්‍යාම් සෙල්වතුරෙයි නමැති ඉහළ පැළැන්තියේ දෙමළ යෞවනයා මුහුණ දුන් අව්‍යාජ අත්දැකීම් ඇසුරින් නිර්මිත නවකතාවකි. කොළඹ විසූ දෙමළ සමාජය සිංහල - දෙමළ විරසකය දකින්නේ සාමාන්‍ය දෙමළ ගැමියන් දකින පරිද්දෙන් නොවේ. සිංහල ගැහැනියක වන අම්මා අසාධාරණය ප‍්‍රශ්න කරන්ට අඩු තරමින් වරක්වත් උත්සාහ කරන නමුත් තාත්තා කරන්නේ සුතනඹුවන් ද කැටිව පලා යාම ය.

ජාතියක් වශයෙන් සිංහලයන් සදාකල්හි ම ලජ්ජාවට පත් කරන 56 ජාතිභේද කලබල, 78 යාපනේ පුස්තකාලය ගිනි තැබීම සහ 83 කළුජූලිය යන ඒවායින් දෙමළ ප‍්‍රජාවට සිදුවූ අසාධාරණකම් ගැන මේ පොතේ ඉතා සංක්‍ෂිප්ත වශයෙන් නමුත් භාවාතිශය ව සිහිපත් කෙරේ.

Funny Boy සුගතපාල ද සිල්වා විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ අමුතු ඉලන්දාරියා නමින් 2002 වසරේ මුල්වරට මුද්‍රණයෙන් නිකුත් විය. ජනප්‍රිය පරිවර්තනයක් වන මෙහි පුනර් මුද්‍රණ කිහිපයක් ම මේ වනවිට නිකුත් ව තිබේ. මේ 2006 වසරේ නිකුත් වූ එහි 6වන මුද්‍රණයේ කංචුකයයි.



අදහස් (0)

අමුතු ඉලන්දාරියා Funny Boy ශ්‍යාම් සෙල්වතුරෙයි

ඔබේ අදහස් එවන්න

පොතක මතක

ගුරු ගීතය: චින්ගීස් අයිත්මාතොව්
2024 නොවැම්බර් මස 19 114 0

’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න


ගැඹුරු මුහුද The Deep Range ආතර් සී. ක්ලාර්ක්
2024 නොවැම්බර් මස 12 103 0

‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන


මගේ දගෙස්ථානය
2024 නොවැම්බර් මස 05 125 0

‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා


1984
2024 ඔක්තෝබර් මස 29 215 0

’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ


හජි මුරාත්
2024 ඔක්තෝබර් මස 22 125 0

Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.


ගෝරා
2024 ඔක්තෝබර් මස 15 158 0

වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නො⁣බෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site