IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


අර්ධනාරී - Half of Man is Woman

පොතක මතක - 9


 

අර්ධනාරී  - Half of Man is Woman 

ස්ෂෑං ෂියැං ලියැං 

මේ ඒ කෘතියෙන් ගත් උධෘත තුනකි.


"මාඕගේ පුංචි රතු පොතට අනුව වැඩිම බුද්ධිමතුන් වූයේ පහත් ගණයේ අය ය. ප්‍රභූන්ට මග පෙන්වීම අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වූයේ ප්‍රභූන් අතර පොත ගැන අවිශ්වාසයක් උද්ගත වීමය. කෙනකු අයත් පන්ති කණ්ඩායම කවරක් වුවද ඔවුන් කැමති කවර දෙයක් හෝ එයින් උකහා ගන්නට හැකිය.  කෙබඳු අරමුණක් වුවත් යුක්ති සහගත බව සනාථ කරන වස් පුංචි රතුපොත උපයෝගී කරගත හැකි විය.

නිදසුනක් වශයෙන් ප්‍රතිගාමී කොටස් යන්න ගනිමු. ඔවුන් කවුද? ඔබ අදහස් කරන දේ ම අනෙක් අයත් අදහස් කරන බවට ඔබ සහතික වන්නේ කෙසේද? ප්‍රභූන්ගේ සිත් සසල කරන්නට විශේෂයෙන් සමත් වූයේ සිරකරු පිරිස ය. නිනව්වක් කළ නොහැකි එකී අයාලයන් අතර, ඔවුන් ප්‍රතිගාමී කොටස් යනුවෙන් හැඳින් වූයේ කවුරුන්ද යන්න හරියාකාර දැනගන්නේ කෙසේද?

අනතුරුව පුංචි රතු පොතේ ගී සපුරා තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදී. එහෙත් ඒ අවදියේ වෙන කිසිම ගීයකට අවසර නොතිබිණි ඒ නිසා අපි අපේම ගීය ගායනා කරන්නට වූයෙමු. "


"නෑම හමාර කළ ඇය රෙදිකඩමාල්ලකින් ගත පිසදා ගත්තාය. මද පවනක් හමා එන්නට වූ හතර දිගු වලා රොදවල් ගුවනේ දිස්විය.  සීතල දැනෙන්නට වූ ඇය හැරී සිය ඇඳුම් මත තබා තිබූ තමාගේ යට ඇඳුම ගන්නට පාත්වූවාය.  යළිත් ආපසු හැරී හිස එසැවූ ඇගේ දෙනෙතට ලක් වූයේ මාය.

ඇය හඬක් පිට කළේ නැත. සිරුර වසා ගන්නට තැත් කළේ ද නැත. ඇය දෙගිඩියාවෙන් රවා බැලුවාය. ඇගේ දෙනෙතෙහි රැඳී පැවතියේ කෝපය, අභියෝගය සහ සැකයයි. කළ යුත්තේ කුමක්ද කියා නිශ්චය කරන්නට ඇයට සිදුවිය.
ප්‍රාතිහාර්යයකට මෙන්, ඇය මඳ සිනාවක් පෑවාය. ඉක්බිති සවන් යොමු කරනු වස් හිස ඔසවා ඇල කළාය. ඇසෙන්නට ඇති එකම හඬ වූයේ සුළඟ සහ උණ ගස් පෙම්වතුන් සේ මුමුණන හඬ පමණි. ඇඳුම් ඇඳගන්නට උත්සුක නොවූ ඇය එතෙක් අතෙහි තබාගෙන උන් යට ඇඳුම බිම හෙළුවාය. සීතලට බියෙන් මෙන් දෑත් පොරවා ගත්තාය. දෙවුරට දෑත තබාගෙන මට මුහුණ දී බලා සිටියා ය.
සුළඟට හසුවූ හිරු රැස් මඳ කහ පැහැයකට හැරුණේය. ඇගේ සිරුර එම මඳක හා එළියේ බබළන්නට විය."

**

"නැහැ මං හිතන්නේ ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි කියලා තව තවත් කියන්න" මම කරබාගෙන ම කීවෙමි.

"ඒ නිසා සමහර අංශවලින් ඔබයි මායි අතර පුදුමාකාර සමාන කමක් තිබෙනවා." කියමින් වයසක පුල්ලියා මා වෙත හෙළූ කාරුණික බැල්ම නිසා උගේ දෙනෙත් අඳුරේ දීප්තිමත් ව දිලිසුණේය.
"එක අතකින් කර ඇඹීම නිසා මගේ රාගාධික චේතනා නැති වෙලා ගියා. ඒත් ඒ අතරම මා තුළ පවිත්‍රතාව ඇතිකර ගැනීමේ වරය මට ලැබුණා. අනෙක් සතුන් වාගේ නොව මම අධ්‍යාපනයක් ලබන්නට මහන්සි වුණා. මනුෂ්‍ය භාෂාව කතා කිරීමේ හැකියාව ලැබෙන තරමටම. ඔබත් ඊට බොහොම සමානයි. කඳවුරුවල බරපතළ වැඩ කරමින් උධෘත පාඨ ගායනා කරමින් ඉන්නකොට ඔබ මාක්ස්, එංගල්ස්,  ලෙනින්, ස්ටාලින්, මාවෝ යන අයගේ කෘතී හොඳින් හදාළ කෙනෙක් නොවේ ය'යි කිසිවකුට කියන්නට පුළුවන්කමක් තිබුණේ නෑ. අනෙක් අතට සිමාකියන්ගේ වාගේ ඔබේ මෙවලම් කිසිත් කපා දාලත් නෑ. මගේ වචන අනුචිත නම් සමාවන්න! ඒ නිසා ඔබ මානසික වශයෙන් දරුණු පීඩනයකට භාජනය වුණා. අන්තිමට මගේ තත්වයට ම පත්වුණා. අවසාන ප්‍රතිඵලය එකමයි. මගේ වාගේම ඔබේ ජීවිතයත් ඔබට අවනත නෑ. ඔබට වෙලා තියෙන්නේ ඔබව එහා මෙහා දක්කන්නට අනිත් අයට ඉඩ දීලා ඉන්නයි. හඃ!හා! අපි කියාපු ජෝඩුවක්! අපි දෙන්නා! බෙලහීන කරන ලද මනුෂ්‍යයෙක් සහ කර අඹන ලද අශ්වයෙක්! මට සමාවන්න! මගේ හාස්‍ය රසය නිසා මට පිට නොපැන ඉන්න ඉන්න අමාරු වෙනවා.! ඒ අතින් බැලුවත් ඔබයි මමයි එක සමානයි පොඩි උත්ප්‍රාසයක්, නර්මාලාපයක් අතරින් පතර දාලා තියෙනවා.
ඔව්! මට වෙලාවකට සැක  හිතෙනවා, ඔබේ සමස්ත බුද්ධිමත් ප්‍රජාවම බෙලහීන බවට පත්කරලාද කියා. ඔබ අතරින් සියයට දහයක්වත් පුරුෂ ශක්තිය සහිත මිනිසුන් වුණා  නම් අපේ රට මේ දුක්ඛිත තත්වයට වැටෙන්නේ නෑ. ඔබ කොහොම හිතනවද කියා මම දන්නේ නෑ. මට නම් අර යකඩ කට දිනපතා අහගෙන ඉඳලා තිත්ත වෙලා. ඒකේ තේරුම අපගේ විශේෂඥතා අතර ඉස්තරම්ම තැන දරන භාෂාව අතින් වත් අපට යමක් නිර්මාණය කරන්නට බැරි බවද?" 


Half of Man is Woman යනු ස්ෂෑං සියැං ලියැං නමැති චීන ලේඛකයා විසින් 1986 වසරේ චීන බසින් ලියා එළි දක්වන ලද කෘතියේ ඉංගිරිසි පරිවර්තනයයි. එය 1987 දී අමෙරිකානු ජාතික මාර්තා ඒවරි නමැති කෘතහස්ත චීන සහ ජපන් පරිවර්තනවේදිනිය සිදු කොට තිබේ.

ස්ෂෑං ක්ෂියැංලියැං උපත ලද්දේ 1936 දෙසැම්බර් මස දිනක නැගෙනහිර චීනයේ ජියැංයු පළාතේ අගනුවර වන නැන්ජිං නගරයේ ය. 1949 ඔක්තෝබර් පළමුවන දා මා ඕ සේඩොං  කමියුනිස්ට් පාලනය සහිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවන ලදී. වයස අවුරුදු 19 වන විට සෑහෙන අධ්‍යාපනයක් ලබා සිටි ක්ෂියැංලියැං කාඩර්වරුන් සඳහා වූ පාසලක ගුරුවරයකු ලෙස පත් වී ය. ඔහුට බොහෝ කලක් ඒ රාජකාරියේ යෙදෙන්නට අවස්ථාවක් නොලැබුණේ මා ඕගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වු ‘දහසක් මල්’ ව්‍යාපාරය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලද හෙයිනි. ඊට හේතු වූයේ ඔහු ඒ වන තෙක් ලියා තිබූ කවි, බුර්ෂුවා පන්තියේ(සුළු ධනේශ්වර )දැක්ම නිරූපණය කරන්නේ ය’යි පාලනයට ඒත්තු යාමයි. ‘දහසක් මල් ව්‍යාපාරය’ විසින් මෙවැනි බුද්ධිමතුන් දස දහස් ගණනින් හඳුනා ගෙන ඔවුන්ගේ දස්කම් ඇගයීමේ මුවාවෙන් ප‍්‍රතිශෝධන කඳවුරුවලට යොමු කරන ලදී. ඔහු එම කඳවුරක  දණ්ඩනයට නියම කැරුණු කාලය විසි වසරකි.

 1976 වසරේ මා ඕ සහ චූ එන්ලායි යන දෙදෙනාගේ ම අභාවයන් සිදු වූ අතර චීන සංස්කෘතියට මහා විනාශයක් සිදු කළ ඊනියා සංස්කෘතික විප්ලවය ආපසු හැරිණ. ප‍්‍රතිශෝධන කඳවුරුගත කැරුණු බුද්ධිමතුන්ට ඔවුන්ගේ ආස්ථානයන්ට පෙරළා යාහැකි වන පරිදි 1979 දී ඔවුහු පුනරුත්ථාපනය කරන ලදහ. ස්ෂෑං සියැංලියැං නවකතා නිර්මාණයට එළැඹෙන්නේ ඉන් පසුව ය.

මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ ශ‍්‍රම ප‍්‍රතිශෝධන කඳවුරක දඬුවමට නියම කරන ලදුව එම දඬුවම් විඳිනා ස්ෂෑං යොංලිං නමැත්තෙකි.

පත පොත හදාරමින්, කවි ලියමින් ගත කළ ස්ෂෑං යොංලිං කිසිදා ස්ත්‍රී ඇසුරක් ලබා නොමැත. එමතු නොව කිසිදාක එවැන්නක් සිතා තිබුණේ ද නැත. කඳවුරේ අනෙකුන් එවැනි දෑ ගැන කතාබහේ යෙදෙද්දී ඔහු කළේ පතපොත කියැවීම ය. මේ නිසා ඇතැමකු ඔහු දෙස අවඥාවෙන් බැලූව ද බොහෝ දෙනෙක් රහසින් ඔහුට ගෞරව කළහ. ස්ෂෑං යොංලිංට පැවරී තිබුණේ බැටලූවන් බලා ගන්නට ය.

එක් දිනක් හදිසියේ ම ඔවුන්ගේ කඳවුරට රැඳවුම්කාර ස්ත්‍රීහු පිරිසක් පැමිණෙති. ඉන් දිනකට දෙකකට පසුව ඇලක් අයිනෙන් යන ස්ෂෑං නිරුවතින් එහි ස්නානය කරනා ස්ත්‍රියක් දකියි. කිසිදා නග්න ස්ත්‍රී සිරුරක් දැක නොමැති ඔහු උණ පඳුරකට මුවා වී ඇගේ නාරි දේහයේ දර්ශනය රස විඳියි. ස්ත්‍රිය ද ඔහු දකිනා මුත් ඉන් කලබලයට පත් වූ බවක් නොපෙනෙයි. තවදුරටත් එහි රැඳී සිටිය නොහැකි තරමේ අපහසුවකට පත් වන ස්ෂෑං වහා එතැනින් පලා යයි.

ඔහු දුටු රුව ඔහුගේ සිතේ තැන්පත්ව රැයේ ඉස්මතුව අවුත් ඔහුට කරදර කරන්නට වෙයි. 

ඉන්පසු ඇය ඔහුට දක්නට නොලැබෙයි.

වසර අටකට පසුව ඇය අහම්බෙන් මෙන් ඇය ඔහුගේ වැඩ ඒකකයට අනුයුක්ත කෙරේ. ඇය හා කතා බහේ යෙදී සබඳතාවක් ගොඩනගා ගන්නා ඔහු ඇය වසන නිවස්නයට රැයක එළැඹෙයි. පසුව ඔහුු ඇයට විවාහ යෝජනා කරයි. 

හුඇං ක්ෂියැංජියු නමැති මේ කාන්තාව ඒ වනවිටත් විවාහ දෙකකින් දික්කසාද වී සිටි තැනැත්තියකි. ඒ නිසා ඇය තුළ පිරිමින් කෙරේ නුරුස්නා බවක් ද පවතියි. කෙසේවෙතත් ඔවුහු ඔවුනොවුන්ට මනාප වෙති. පක්ෂයේ භට සේනාවේ පහළ ගොවි පන්තියේ කාඩරයේ ලේකම් කා ඕ ද ඇය ගැන උනන්දුමත් වෙයි. එහෙත් ඔහු විවාහකයකු වන හෙයින් ඇය සමග විවෘත නොනිල සබඳකම් පවත්වන්නට නො එයි.

පක්‍ෂයේ අනුමැතිය ඇතිව ස්ෂෑං සහ හුඇං විවාහ වෙති. 

මංගල රාත්‍රියේ දී තමා ලිංගික බෙලහීනතාවකින් පෙළෙන බව ඔහු අනාවරණය කැර ගනියි. මෙය ඔහුගේ දැඩි කනස්සල්ලට හේතු වෙයි. මේ නිසා රෑ කාලයේ ගෙදර මග හැර සිටින්නට ඔහු යොමු වෙයි.

දවසක රැයේ ඔහු පොහොර පටවා ගත් ට‍්‍රැක්ටරයක පොහොර තොගයක් භාරව යයි. අබලන් ට‍්‍රැක්ටරය මග දී ක්‍රියා විරහිත වේ. ස්ෂෑං ට‍්‍රැක්ටරය අදින්නට අශ්වයකු ගෙන එන්නට රාත්‍රියේ ම ගොවිපොළ වෙත එයි. එහි දී ඔහු අනාවරණය කැර ගන්නේ ලේකම් කා ඕ සිය බිරිඳ වෙත එළැඹි බව ය.

මෙයින් පසු ඔහු හුඇං නොරිස්සයි. ඔවුහු කාමර දෙකක වෙන් ව වෙසෙති. තමා දික්කසාදයක් ගන්නට සූදානම් බව ඔහු කියයි. ඇය ඊට එරෙහි වෙයි.

මේ අතර දවසක මහ වැසි ඇද හැලෙන්නට වෙයි. නදිය උතුරා මහා දිය කඳක් ඔවුන්ගේ ගොවිපොළ වෙත ඇදෙයි. ගොවිපොළේ ප‍්‍රයෝජනය සඳහා දිය රැස්කරන ජලාශයේ පත්ලේ කාන්දුවක් ඇති බව අනාවරණය කැර ගන්නා ස්ෂෑං දිවි නොතකා ජලාශය පතුලට බැස වැලිකොට්ට හා පිදුරු මගින් එය ආවරණය කරයි. වේල්ල කැඩී යාම එමගින් වළකී. මෙයින්ස්ෂෑං වීරයකු බවට පත්වෙයි.

පෙරළා නිවෙසට එන ස්ෂෑංට හුඇං ඉඟුරු තේ සකස් කර තිබේ. එය පානය කරන නමුත් ඔහුගේ සීතල පහව නොයයි. හුඈං සිය තුරුලට ඔහු ගෙන උණුසුම් කරයි. ඔහුගේ රාගය ඇවිස්සේ. එදින ඔහු මෛථුන්‍යයේ සමත් වෙයි. ඔහුුට පුරුෂ භාවය ලබා දුන්නේ තමා බව ඇය පුන පුනා කියයි.

මෙලෙස ඇය හා රමණයේ යෙදුන ද ඔහුට ඇය නුරුස්සයි. ඔහු දික්කසාදය ලබා ගැනීම සඳහා ලේකම් කා ඕ වෙත යයි. දික්කසාදය ලැබෙන නමුත් හුඈං එය ඉරා දමයි. ඇය හා නැවත එක්වන ඔහු පිරිමියාගේ අනෙක් අර්ධය ගැහැනිය බව වටහා ගනියි.

පවුල් ජීවිතය හා සම්බන්ධ කොට ඇතත් මෙහි එන්නේ දේශපාලන විශ්ලේෂණයක් බව අවධානයෙන් යුතුව කියවන විට පසක් වෙයි.

මෙහි එන ගැහැනිය නම් චීන දේශයයි. කමියුනිස්ට් පාලනය යටතේ දහදුක් විඳින ස්ෂෑං සිටින්නේ කර ඇඹූ තත්වයේ ය. එහෙත් හදිසියේ වීරත්වයට පත්වීමත් සමග යටපත් ව පැවැති ශක්තිය ඔහුට ලැබේ. තමාට ඇවැසි වුවත් ඔහුට ඇගෙන් කිසිදා වෙන්විය නොහැකිය.

කතුවරයා පොතේ පෙරවදනේ සඳහන් කරන්නේ චීනය නම් අබිරහස් දේශයේ ආකර්ෂණ ගුණය රැඳී ඇත්තේ එහි පවත්නා අපාරගම්‍ය ස්වභාවය මත ම බවයි. එය වටහා ගන්නට මේ පොතෙන් කිසියම් ඉඟියක් ලැබෙනු ඇත’යි ඔහු කියයි.

Half of Man is Woman ඩී.බී.කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව අර්ධනාරී නමින් කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස 2002 දී මුද්‍රණයෙන් නිකුත් වී ය.



අදහස් (0)

අර්ධනාරී - Half of Man is Woman

ඔබේ අදහස් එවන්න

පොතක මතක

ගුරු ගීතය: චින්ගීස් අයිත්මාතොව්
2024 නොවැම්බර් මස 19 15 0

’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න


ගැඹුරු මුහුද The Deep Range ආතර් සී. ක්ලාර්ක්
2024 නොවැම්බර් මස 12 103 0

‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන


මගේ දගෙස්ථානය
2024 නොවැම්බර් මස 05 123 0

‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා


1984
2024 ඔක්තෝබර් මස 29 215 0

’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ


හජි මුරාත්
2024 ඔක්තෝබර් මස 22 125 0

Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.


ගෝරා
2024 ඔක්තෝබර් මස 15 158 0

වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නො⁣බෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 458 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site