‘දිවි හානි කර ගැනීමට මා තීරණය කර දැන් දින දහයකටත් වැඩියි. එයින් වැඩි කාලය මා ගත කළේ ඔබට මේ දීර්ඝ ආත්ම කථනය ලිවීම සඳහායි. දැන් එය ලියා අවසන්. දැන් මගේ සිතේ ඇති වන්නේ ඔබ හමු වී එය කීවාට වඩා පැහැදිලිව, නිරවුල් ව මගේ ආත්ම කථනය ඔබට කියන්නට මට හැකිවිණි’යි යන සොම්නස් සහගත සිතිවිල්ලයි. මෙය ලියන්නට මගේ සිතේ ඇති වු අදහස හදිසියේ පහළ වුවක් නොවෙයි. මගෙ අතීතය මිනිස් ජිවිතයක අංශුවක් පමණයි. එය මනාව අන්‍යයකුට පැහැදිලි කිරීම අසීරු වැඩක්. මෙය ලියන්නට මා ගත් උත්සාහය අපතේ නොයනු ඇති. මිනිසුන් හදාරන්නට තැත් කරන ඔබට මෙන් ම අන්‍යයන්ට ද එය එකසේ ප්‍රයෝජනවත් වනු ඇති’යි මා සිතනවා. එය අප්‍රයෝජනවත් වනු ඇති’යි කියා නම් මා සිතන්නේ නෑ. වකනබෙ කද්සන්, සිය ‘කන්තන්’ ලෙස නම් කළ චිත්‍රය ඇඳ අවසන් කිරීම සඳහා ජීවිතය නසා ගන්නට ඔහු ගෙන තිබු තීන්දුව සතියකින් කල් දැමූ බව මෑතක මට දැන ගන්නට ලැබුණා. බාහිර කෙනෙකුට එය නිශ්ඵල ක්‍රියාවක් සේ පෙනෙන්නට පුළුවන්. එහෙත් ඒ තැනැත්තාට එසේ කරන්නට යම් වුවමනාවක් තිබුණු නිසා එය වැළැක්විය නොහැකි යයි අපට කිව හැකියි.
වරක් ඔබට වු පොරොන්දුව ඉටු කිරීම සඳහා ම නොවෙයි. මෙවන් දිගු ලියැවිල්ලක් ඉදිරිපත් කරන්නට මා අදහස් කළේ. ඇත්තටම නම් මෙය ඔබේ අවශ්‍යතාවට වඩා මගේ ඕනෑකමට ලිව්වා වාගේ මට දැන් දැනෙනවා. මගේ ඒ ඕනෑකම දැන් ඉටු වුණා. මේ ලිපිය ඔබ අතට පත් වනවිට මා මෙලොව නැහැ. සිය මව අසනිපයෙන් නිසා ඔවුන්ට උදව් කරන්නට ය කියා මගේ බිරිඳ ඉචිගයේ එයාලගේ මහ ගෙදර ගියා. මා මේ ලිපියේ වැඩි කොටසක් ලියා හමාර කළේ ඒ කාලයේ. වරින්වර ඇය ගෙදර ආවා. එවිට මා මෙය වහා සඟවා ගත්තා.
මගේ අතීතයේ තිබි හොඳ නරක හැම අන්‍යයන්ට ප්‍රයෝජනවත් වෙති'යි සිතා මා මෙසේ පරිත්‍යාග කරනවා. ඒ වුණත් මගේ ආදරණීය බිරිඳට මෙය දැන ගන්නට සලස්වනවාට මා කැමැති නැති බව ඔයා හොඳින් වටහා ගනු ඇත'යි සිතනවා. සිදු වූ සියල්ල ඇය හමුවේ විස්තර කරන්නට මට හිත් දෙන්නේ නෑ. මගේ එකම අභිලාෂය මගේ අතීතය ගැන බිරිඳ දැක් වූ ආකල්පය හැකි තරම් සුපිරිසුදු ලෙස පවතිනවා දැකීමයි. මගේ අභාවයෙන් පසුවත් එය එසේ ම විය යුතුයි. ඒ නිසා මවිසින් කරන ලද මේ පාපොච්චාරණය සදාකාලික රහසක් ලෙස ඔයාගේ හදවතේ සඟවා ගෙන සිටිනු මැනවි යන්න මගේ අවසන් ඉල්ලීමයි.’
ඒ ‘කොකොරො’ නමින් සිංහලට පරිවර්තනය වී ඇති නවකතාව අවසන් වන ආකාරයයි. හෙවත් අවසන් ඡේද කිහිපයයි.
‘කොකොරො’ ජපන් ලේඛක නත්සුමේ සෝසෙකි (1867 - 1916) විසින් 1914 වසරේ රචිත නවකතාවයි. ඒ ජපන් වචනයේ පදානුගත අරුත 'හදවත' යනුයි. වඩාත් හොඳින් කියන්නේ නම් පීඩාවට පත් හදවත වැන්නකි.
මේ නවකතාව මුලින්ම පළවූයේ අදටත් ජපානයේ පළවන ‘අසාහි ශිංබුං’ පත්‍රයේ ය. පසුව එය පොතක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වු අතර කොකොරො නමින් ම එඩ්වින් මැක්ලෙලන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.
නත්සුමේ සොසෙකි එංගලන්තයේ සරසවියක ඉංග්‍රීසි බස හදාරා සියරට පැමිණ තෝකියෝ රාජ්‍ය විශ්වවිද්‍යලයයේ ඉංග්‍රීසි පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. එහෙත් ඉගැන්වීමට රුචියක් නොදැක් වු හේ විශ්වවිද්‍යාලය සමග වූ සිය ගිවිසුම අවසන් වූ වහාම ඉන් ඉවත් වී අසාහි ශිංබුං පත්‍රයේ කර්තෘ මණ්ඩලයට එක් විය. ඔහු නවකතා නිර්මාණයට එළැඹුණේ එහි සේවය කරමින් සිටින අතරතුරේ දී ය. හයිකු කවියකු ලෙසින් ද ප්‍රකටව සිටි සෝසෙකි විසින් නිර්මාණය කරන ලද නවකතා සංඛ්‍යාව විස්සක් පමණ වේ. ජිවිතයේ හුදෙකලා බව සහ ඉන් ජනිත වන වේදනාව ඔහුගේ සැම කෘතියකම ප්‍රකට ය. ඔහුගේ නවකතා අසාහි පත්‍රයේ කොටස් වශයෙන් පළ විය.
බටහිර සාහිත්‍යයේ ආභාසය ලැබූ ප්‍රථම ජපන් ලේඛකයා ලෙස සැලකෙන්නේ සෝසෙකි ය. ඔහුගේ නවකතා මගින් ඒ ආභාසය ජපන් නවකතා වෙත ගලා ආයේ ය. ඔහු අභාවයට පත් වී මේ වනවිට එකසිය අට වසරක් ගෙවී ඇතත් අදත් ජපාන සාහිත්‍යය හදාරන සිසුහු ඔහුගේ කෘති ගැඹුරින් අධ්‍යයනය කරති. ඒවා මනස විශ්ලේෂණය කරන්නට ගත් සාර්ථක උත්සාහ ලෙස සැලකේ.
කොකොරො හි එන ප්‍රධාන චරිතය ලෙස ගිණිය හැක්කේ තරුණ සරසවි සිසුවෙකි. ඔහුගේ නම සඳහන් නොවේ. ඔහුට හමුවන වැඩිහිටියකු හා ඔහු අතර ඇතිවන ඇසුරක් හා එයින් ගොඩ නැගෙන දැඩි මානුෂික සබඳතාවක් මෙහි කියැවේ. සිසුවා, වැඩිහිටියා හඳුන්වන්නේ ගුරුවරයා යන අරුත් ඇති ‘සෙන්සෙයි’ යන පදයෙනි. එහෙත් මේ සෙන්සෙයිගෙන් ඔහු කිසිදා උගෙන නැත. ඊළඟට පාඨකයාට මුණ ගැසෙන්නේ ශිෂ්‍යයාගේ පියා ය. ඔහු මාරාන්තික රෝගයකින් පෙළෙන නමුත් මරණය හමුවේ පරාජය පිළිගැනිමට නොකැමැත්තෙකි. එහෙත් සෙන්සෙයි එසේ නොවේ. කිසියම් අපැහැදිලි හේතුවක් නිසා ඔහු දිවි ගෙවන්නේ දැඩි කලකිරිමකිනි. ඊට හේතු ඔහුගේ බිරිඳ වන ඕජෝසං පවා නිශ්චිතව නොදන්නා බව කියැවේ. තමාගේ අඩුපාඩුවක් නිසා ඔහු මේ අයුරින් කලකිරීමෙන් කල් ගෙවති’යි ඕ තොමෝ විස්සෝප සිතින් පසු වන්නී ය. අවසානයේ දි තරුණ ශිෂ්‍යයාට දීර්ඝ ලිපියක් ලියා එවන සෙන්සෙයි සිය දිවි හානි කැර ගනියි. ඒ ලිපිය කියවමින් ශිෂ්‍යයා දුම්රියෙන් තෝකියෝ වෙත පෙරළා පැමිණෙයි. සෙන්සෙයිගේ ජිවිත කතාව හා කලකරීමට හේතුව ඒ ලිපියේ අන්තර්ගත ය.
කේ නමැති සිය මිතුරාගේ ස්වයං ජිවිත හානිය සෙන්සෙයි බලවත් සේ කම්පාවට පත්කළ බැව් මෙහි එයි. ඒ මරණයට තමා වගකිව යුතුය යන හැඟිමක් ඔහුගේ සිතේ හට ගෙන කෙමෙන් එය මෝදු වීමෙන් ඇති වු කම්පාව සෙන්සෙයිගේ සියදිවි නසා ගැනුමට හේතු වෙයි.
‘කේගේ අවමගුල් අත්සවය අවසාන වී පෙරළා එන ගමනේ දී ඔහුගේ මිත්‍රයෙක් කේ සියදිවි නසා ගත්තේ ඇයිදැයි මගෙන් ඇසුවා. කවුරුත් බොහොවිට අසන මේ ප්‍රශ්නයෙන් මා බලවත් වෙදනාවට පත් වුණා. ඔකුසං හා ඇගේ දියණිය, (මෙයින් අදහස් කෙරෙන්න්නේ ඔහුගේ බිරිඳ වන ඕජෝසං ය.) ගමෙන් පැමිණි ඔහුගේ පියා සහ සොහොයුරා, ඔහුගේ හිතමිතුරන් හා කේ සමග කිසිදු සම්බන්ධයක් නොමැති ප්‍රවෘත්ති පත්‍ර වාර්තාකරුවන් පවා නොවරදවාම මේ එකම ප්‍රශ්නය මගෙන් ඇසුවා. මේ ප්‍රශ්නයට මුහුණ පාන්නට සිදුවු හැමවිටම මාගේ හදවතට ඉඳිකටුවකින් අනින්නාක් වැනි දරුණු වේදනාවක් හට ගත්තා. ඔවුන්ගේ ඒ ප්‍රශ්නයෙහි "ඔබ හැකි ඉක්මනින් කේ මැරූ බව පාපෝච්චාරණය කරන්න" වැනි සැඟවුණු අරුතක් හා එවැනි අදහසකින් යුත් ස්වරයක් ගැබ් වි ඇත්තා සේ මට හැඟුණා.
මා කාටත් දුන්නේ එකම පිළිතුරක්. ඔහු අවසානයේ මට ලියා ඇති ලිපියේ සඳහන් කර ඇති කරුණු නැවත නැවතත් ඔවුන්ට කියා සිටියා මිසක් ඊට වඩා වචනයක්වත් මා විස්තර කළේ නෑ. අවමගුල අවසන් ව පෙරළා එනවිට මගෙන් ඒ ප්‍රශ්නය අසා මගේ පුරුදු පිළිතුර ලත් කේගේ මිතුරෙක් හදිසියෙන් මෙන් පත්තර කැල්ලක් එළියට ගෙන මට පෙන් වූවා....’
පරිවර්තකගේ සටහනේ මෙසේ සඳහන් ය:
'කොකොරො ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත ය. මුල් කොටස් දෙකේ කතාව කියන්නේ ප්‍රධාන චරිතය වූ සෙන්සෙයිගේ මිත්‍ර ශිෂ්‍යයකු විසිනි. තුන්වෙනි කොටසේ සෙන්සෙයි ම තමාගේ ජීවිත කතාව හෙළිදරව් කරයි.
මුල් කොටසෙන් තරුණ ශිෂ්‍යයාට සෙන්සෙයි හමුවන සැටිත් ක්‍රමයෙන් ඔහු හා මිතුරු වන සැටිත් සෙන්සෙයිගේ ගූඪ චරිතය තේරුම් ගන්නට ඔහු උත්සාහ දරන සැටිත් පැහැදිලි කෙරේ. සෙන්සෙයිගේ යටගියාව ගැනත් ඔහුගේ චරිතය ගැනත් පාඨකයාගේ සිත තුළ විශාල කුතුහලයක් ඇති කිරීමට මේ කොටස බෙහෙවින් ඉවහල් කරගෙන ඇත.
දෙවැනි කොටසින් විස්තර කෙරෙන්නේ තරුණ ශිෂ්‍යයා ගමට පැමිණ තම මවුපියන් හා ජීවත්වන සැටි ය. මේ කාලය තුළ දී ශිෂ්‍යයාගේ පියා කෙමෙන් මරණය කරා ගමන් කරමින් සිටියි. පියා හා සසඳමින් සෙන්සෙයිගේ චරිතය ඉස්මතු කරලීමත් ශිෂ්‍යයා හා සෙන්සෙයි අතර තිබූ සෘජු සම්බන්ධතාව මද කලකට දුරස් වූ බව පෙන්වීමත් මේ කොටසේ පරමාර්ථය වූවා සේ ය. මේ කොටස අවසන් වන්නේ ශිෂ්‍යයාට සෙන්සෙයිගෙන් දීර්ඝ ලිපියක් ලැබීමෙනි.
තුන්වන කොටස එන්නේ සෙන්සෙයිගෙන් ලැබෙන ලිපියේ අඩංගු දීර්ඝ ආත්ම කථනයයි. තෝකියෝ බලා යන දුම්රියකට නැගෙන ශිෂ්‍යයා ඒ දීර්ඝ ලිපිය කියැවීම අරඹයි. ඒ වන විට සෙන්සෙයි සියදිවි නසාගෙන ඇති බව එයින් ඔහු වටහා ගනී.
ලෝකය කෙරෙහි කලකිරුණු ඉතා හුදකලා පුද්ගලයෙකුගේ සිත් සතන් සෙන්සෙයි තුළින් හෙළිදරව් කරන්නට සෝසෙකි උත්සාහ ගනියි. මේ ප්‍රයත්නය බෙහෙවින් සාර්ථක වූ බව පෙනේ. සෙන්සෙයි පාඨක සිත් තුළ සදාකල් හි ම ජීවත් වනවා නිසැකය.
සෙන්සෙයි උතුම් පුරුෂාර්ථයන්ගෙන් යුත් අයකු බව පාඨකයාට පෙනී ගියත් ඇත්ත වශයෙන් ඔහු දැඩි ආත්මීමානයෙන් යුත් පුද්ගලයෙකි. තමා ගැන ඉතා නිර්මල හැඟීමක් බිරිඳ තුළ ඇති කිරීමට ඔහු උත්සාහ කළේය. එහෙත් ඔහුගේ ක්‍රියාවලියෙන් බිරිඳගේ සිත තුළ ඇතිවන්නේ මහත් වේදනාවකි. බිරිඳ ඔහුගේ අතෘප්තිය ගැන සිතමින් ඔහු දෙස බලන විට සෙන්සෙයිගේ හෘද සාක්ෂියට පිහි තුඩකින් අනින කලෙක මෙන් වේදනා ඇතිවෙයි. ඒ වේදනාව ඔහුට වචනවලට නැගිය නොහැකිය. එහෙයින් ඔහු ඒ වේදනාව නමැති බර එකලාව උසුලාගෙන යාමට දැඩි උත්සාහයක් දැරුවේය. සෙන්සෙයි නිතරම සිටින්නේ හුදකලා මනසින් යුතුවය. ඔහු බිරිඳ සැක කළේ ය. බාප්පා සැක කළේය. ඒ පමණකින් නොනැවතී මුළු මානව සංහතියම සැක කරමින් ස්වයං ඝාතනය කරගත්තේය.'
කොකොරො ප්‍රකට ජපන් සිනමාකරුවන් දෙදෙනෙකු අතින් දෙවරක දී සිනමාවට නැගීි තිබේ. ඒ සම්භාව්‍ය ජපන් සිනමාකරු කොන් ඉචිකාවා විසින් 1955 දී සහ, තවත් එවැනිම සම්භාව්‍ය සිනමාකරුවකු වු කැනෙටෝ ශින්ඩෝ විසින් 1973 දී ය.
කොකොරො සිංහල පාඨකයා වෙත තිළිණ කළේ ද ජපනකු විසින් විම විශේෂත්වයකි. හැත්තෑවේ දශකයේ දී එවකට පේරාදෙණිය සරසවියේ ඉගැන් වූ ප්‍රකට සිංහල පඬිවරුන් වූ සරච්චන්ද්‍ර, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ඇම්.බී. ආරියපාල, ආනන්ද කුලසුරිය වැනි මහාචාර්යවරුන් සෙවණේ ශිල්ප හදාරා සිංහල විශේෂ ගෞරව උපාධියක් ලබාගත් ඔහු තදශි නොගුචි ය. අනිත්‍ය ජිවිතයක් නමින් සිංහලෙන් නවකතාවක් එළි දක්වා ඇති නොගුචි ජපන් - සිංහල හා සිංහල - ජපන් ශබ්ද කෝශ දෙකක් සම්පාදනය කළ වියතෙකි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දුව සහ විරාගය, සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ඇතුළු සිංහල කෘති කිහිපයක් ම ජපන් බසට පරිවර්තනය කළේ ඔහු ය. කොකොරො සිංහලට පරිවර්තනය කරන්නට තමා පෙලඹ වූ හේතුව නොගුචි සඳහන් කරන්නේ මෙසේ ය.
‘ශ්‍රී ලංකාවේ සිටි කාලයේ දී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ "සිංහල නවකථාව සහ ජපන් කාමකතා හෙවණැල්ල" නම් කෘතිය මට කියවන්නට ලැබිණි. යුද්ධයෙන් පැරදුණු ජපන් සමාජය නමැති අළු ගොඩ උඩ පහල වූ ක්ෂණභංගුර අපරිණත සාහිත්‍යය එම කෘතියෙන් දැඩි විවේචනයට ලක්වෙයි. තම ග්‍රන්ථකරණයේ පරමාර්ථය ඉටු කරගැනිම සඳහා එබඳු දැඩි විවේචනයක් කරන්නට වික්‍රමසිංහ සූරීන් පෙලඹුණා විය හැකි ය. එසේම එතුමන් ජපන් සාහිත්‍යයේ උසස් නවකතා ද ඇති බව පිළිගෙන තිබේ.
කෙසේවුවත් එම කෘතිය කියවීමේ දී මාතෘභූමියට මෙන්ම ශ්‍රී ලංකාවටත් ඉතා ආදරය කරන්නාවූ ජපන් ජාතිකයකු වන මා සිතේ කිසියම් ශෝකයක් උපන්නේ ය. වික්‍රමසිංහයන්ගේ කෘතිය මැනැවින් වටහා නොගන්නෝ ජපන් සාහිත්‍යය එකම කාම සාහිත්‍යයක් සේ සිතති‘යි සැකයක් ද මා සිතට පිවිසියේ ය.
එතුමන්ගේ කාතියට පිළිතුරක් ලිවිම මට අදාළ කාරියක් නොවේ. එහෙත් උසස් ජපන් නවකතා කිහිපයක් වත් සිංහලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මා සිත පහල වූයේ එම පොත කියැවීමෙන් පසුව ය......’
තදශි නොගුචි විසින් සිංහලට පරිවර්තනය කරන ලද කොකොරො මුල්වරට 1979 දි මුද්‍රණයෙන් නිකුත් ව ඇති අතර 1999 දි ගොඩගේ සමාගම විසින් පුණර්මුද්‍රණයක් පළ කරන ලදි. ඉහත උධෘත ගත්තේ එයිනි.
‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය.
“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.
අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.
මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.
‘ “ඔබ ලෝකේ දිහා බලන්නේ හරිම අසුබවාදී විදියට, පිලිප් පිලිපොවිච්,” තරුණයා කීය. “ඒ ගොල්ලෝ මෑතක දී හුඟක් දේවල් වෙනස් කරලා තියෙනවා.”
‘දිවි හානි කර ගැනීමට මා තීරණය කර දැන් දින දහයකටත් වැඩියි. එයින් වැඩි කාලය මා ගත කළේ ඔබට මේ දීර්ඝ ආත්ම කථනය ලිවීම සඳහායි. දැන් එය ලියා අවසන්.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොකොරො - නත්සුමෙ සෝසෙකි