"අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා" ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. " මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්නා මේ පැළ දෙක එකට ඉන්දමු. ඒවා වැඩීලා ශක්තිමත් වේවි. ඒ එක්කම ඔයා ටිකටික ලොකු වෙලා ශ්‍රේෂ්ඨ කාන්තාවක් වේවි. ඔයා හොඳ හදවතක් හා විමසුම් සිතක් තියෙන කෙනෙක්. ඔයා පඬිවරියක් වන බවට මට හොඳට විශ්වාසයි. ඒක දෛවයෙන් නියම වූ දෙයක්. මේ පැළ දෙකත් ඔයා වගේමයි. බොහොම ළාබාලයි. හීනියි. අපි මේවා අපේ අත්වලින් ම ඉන්දවමු. ඉගෙනීමෙන් ඔයාට සැපතක්ම ලැබෙයි."
ඒ පැළ දෙක සිහින්. මා තරම් උසයි. කඳන් නිල්පාටයි.අප ඒවා සිටුවා අවසාන වනවාත් සමගම කඳු දෙස සිට හැමූ සුළං පහර එහි කුඩා කොළ පළමු වරට ස්පර්ශ කරමින් ඒවාට ප්‍රාණය ලබා දුන්නා. කොළ සෙලවුණු අතර පොප්ලර් පැළ දෙක සුළඟේ නැටුවා.
"බලන්න කොයිතරම් ලස්සනද කියා. දූයිෂෙන් අඩියක් පස්සට තබා මහත් සතුටින් කීවා."
මේ පැළ දෙක ලස්සනට උසට වැඩේවි. මේ දෙක මේ කඳු මුදුනේ එක ළඟ සිටින සහෝදරයන් දෙදෙනෙක් මෙන් පෙනේවි. යහපත් මිනිසුන්ගේ හදවත් සතුරු කරමින් හැම පැත්තෙන්ම හැමදාම දකින්නට තිබේවි. ඒ කාලය වන විට අපේ ජීවිතය හුඟක් දුරින් ම ඇති හොඳ කාලය ලබන්නේ ඉදිරියටයි.
දූෂන්ගේ ගුණ යහපත්කමින් මා තුළ පහළ වූ හැඟීම් දැන් වුවද මට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකිය. ඔහුගේ මුහුණේ දක්නට තිබුණු උදාර අලංකාරයක්. දයාවෙන් හා කරුණාවෙන් තෙත් වූ දෑසින් මා ඔහු දෙස බලා සිටියා ඔහුගේ දෑතෙහි ශක්තිය හා සමත්කම නොදැන සිටියා මෙන් හදවත උණුසුම්කරණ සිනාවෙහි පැහැපත්කම නොදැන සිටියාක් මෙන් මා ඔහු දෙස බලා සිටියා. මෙතෙක් කල් මගෙන් සඟවන ලද භාවයන්ගෙන් පිරුණු දේශයක සිට පැමිණි උණුසුම් රැල්ලක් වැනි අලුත් අද්භූත හැඟීම් මගේ ළය තුළ පිරෙන්නට පටන් ගත්තා. අභ්‍යන්තරයෙන් මා ඔහු දෙසට ඇදෙන්නට වූවා ගුරුතුමනි ගුරුතුමනි, මාව වෙනුවෙන් කරන ලද මේ හැමදේටම මා ඔබට කෘතඥ වනවා. ඔබ වැළඳගෙන සිඹින්ට කැමැත්තක් ඇත'යි කියන්නට සහ මට ආශිර්වාද කරන්නට'යි කියන්නට සිතුනත් එසේ කියන්නට ධෛර්යයක් මා තුළ වූයේ නෑ.
'ගිරි දුර්ග අතර දෝංකාරය නංවමින් ඈත සිට එන දුම්රියේ නලා හඬ ඇසුණා. අනතුරුව ළං වන දුම්රියේ පහන් එළි අප දුටුවා. දුම්රිය එනතුරු බලා සිටි අය අතර කලබල ගතියක් ඇතිවුණා.
"තව මිනිත්තු දෙක තුනකින් ඔයා යනවා" දුයිෂෙන් වෙව්ලන කටහඬින් කීවා. " එහෙදි සන්තෝසෙන් ඉන්න. මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න. ඒක තමයි ප්‍රධානම දේ"
මගේ උගුරේ මොක්කද ලොකු ගුලියක් හිරවූ හෙයින් මට කතා කරගන්නට බැරි වුණා.
"අල්තිනායි අඬන්න එපා. " ඔහු මගේ කඳුළු පිස දමමින් කීවා. "අපි දෙන්නා පැළ කළ පොප්ලර් පැළ දෙක මම මගේ අතින් ම හදා වඩා ගන්නම්. ඔයා වැදගත් උගත් තැනැත්තියක් වෙලා ගමට එන්න. ඒ ආවාම ඒවා කොච්චර ලස්සනට හැදිල තිබෙනවද කියල දැක ගන්න පුළුවන් වේවි." ඔහුට හදිසියේම පොප්ලර් ගස් මතක් උන හැටි!
දුම්රිය වේදිකාවට ආවා. තිරිංග තද කළාම එකිනෙකට හැපුණු දුම්රිය මැදිරි අන්තිමේදී නතර වුණා.
"දැන් ඉතින් අපි සමුගන්න ඕනෑ" දුයිෂෙන් මා වැලඳ මගේ නළල සිප ගත්තා. ඉක්බිති ග්‍රහණය බුරුල් කර ඔහු මෙසේ කීවා: " අල්තිනායි ඔයාගේ ජීවිතය වාසනාවන්තවේවි. කිසිම දේකට බයවෙන්න එපා. නිර්භීත වෙන්න"
දුම්රියට ගොඩ වූ මා ආපසු හැරී බැලුවා ඒ මොහොත මට කවදාවත් අමතක වන්නේ නෑ. කැඩුණු අත රෙදි පටියකින් උරමාවක් දාගෙන එල්ලා ගෙන සිටි දුයිෂෙන් කඳුළු පිරි දෑසින් මා දෙස බලා සිටියා. තවත් වරක් මගේ අතින් අල්ලන්නට උ
වුවමනා වූවාක් මෙන් ඔහු මට ළං වුණා. ඒත් ඒ මොහොතේම දුම්රිය වේගයෙන් ඉදිරියට යාම ඇරඹුවා.
"ආයුබෝවන් අල්තිනායි" දුම්රිය සමග සමාන්තරව වේදිකාව දිගේ ඉදිරියට දුවමින් ඔහු කෑ ගැසුවා. "මා යනවා ගුරුතුමනි! ආයුබෝවන්!" කියන්නට මට වුවමනා වුණු නමුත් වචන පිටවුණේ නෑ.
"තිනායීඊඊ" ඔහු නැවත කෑගෑවා. ඔහුට යම් දෙයක් කීමට අවශ්‍ය ව තිවුණා වාගෙයි මට හිතුණේ. දැන් පමා වෙලා වැඩි බව ඒ එක්කම ඔහුගේ සිතට නැගෙන්න ඇති. ඒ ඇමතීම, මා අමතා එසේ කෑ ගෑම, ඔහුගේ අභ්‍යන්තරයෙන්ම පැන නැගුණක්. අදත් මට එය ඇහෙනවා.
උමගට ඇතුළු වූ දුම්රිය අනතුරුව කෙලින් දිවෙන මාර්ගයට පිරිස කසාක් ස්ටෙප්ස් තරම් බිම හරහා මා අලුත් ජීවිතයක් කරා ගෙන ගියා.
"මගේ පළමුවන ගුරුතුමනි! ඔබට ආයුබෝවන්! මගේ පළමු වන පාසලට මගේ ළමාවියට, මගේ ප්‍රථම ප්‍රේමයට ආයුබෝවන්"
ඉහත ඡේද දෙක The First Teacher ඉංගිරිසි පොත බලා ගෙන මවිසින් ලියන ලද්දකි.
සෝවියට් කිර්ගීස් ලේඛක චින්ගීස් අයිත්මාතොව් විසින් ලියන ලද පෙර්වි උචිටෙල් නමැති කෙටි නවකතාව The First Teacher සහ Duishen යන නම්වලින් ඉංගිරිසියට පරිවර්තනය වී තිබේ. ඔල්ගා ෂාරෙට්ස් නමැති ලේඛිකාවක විසින් කරන ලද ‘දුයිෂෙන්’ නමැති පරිවර්තනය අන්තර්ජාලයෙන් කියැවිය හැකි ය.
චින්ගීස් අයිත්මාතොව් 1928 දෙසැම්බර් 12දා පසු කලෙක සෝවියට් දේශයට ඈඳා ගැනුණු මධ්‍යම ආසියාවේ මනරම් භූමි භාගයක් වන කිර්ගිස්තානයේ ශේකර් නමැති ප‍්‍රදේශයේ දී උපත ලැබී ය. එවකට හරි හැටි හෝඩියක් පවා නොතිබුණු කිර්ගිස්තානයේ වැසියෝ අධ්‍යාපනය යනු කුමක්ද කියා නොදත්තෝ ය. චින්ගීස්ගේ පියා වූ තොරෙකුල් අයිත්මාතොව් ළදරු සෝවියට් කමියුනිස්ට් පක්‍ෂයේ පූර්ණ ක්‍රියාකාරිකයකු හෙවත් කොම්සොමෝල් වරයකු ලෙස කටයුතු කළේ ය. එහෙත් 1937 වසරේ දි බුර්ෂුවා එනම් ග‍්‍රාමිය ධනපති පන්තියේ සාමාජිකයකු ලෙස විප්ලවයට එරෙහි ක්‍රියාවල නිරත විණි ය’යි චෝදනා එල්ල කරනු ලැබ ඔහු මරණිය දණ්ඩනයට යටත් කරන ලදී. මෙය කුඩා චින්ගීස්ගේ සිතේ කෙතරම් බලපෑමක් ඇති කළේ ද යත් පාසල් වියේ දී සිය පියාගේ වාසගම භාවිතයට පවා ඔහු මැලි කමක් දැක් වි ය’යි පැවසේ.
කිර්ගිස්තානයේ පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ මූලිකයා වි සිටියේ තොරෙකුල් අයිත්මාතොව් ය. ඔහු විසින් අරඹන ලද ශේකර් පෙදෙසේ පාසලේ චින්ගීස් සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබී ය. තෙලෙසැවිරිදි වියට එළැඹෙත් ම යුද්ධය ආයෙන් අධ්‍යාපනය නතර කොට යුද පෙරමුණේ පණිවුඩකරුවකු ලෙස කටයුතු කරන්නට චින්ගීස්ට සිදුවිය. යුද්ධය අවසන් වීමෙන් පසු පෙරළා අධ්‍යාපන කටයුතුවලට එළැඹෙන ඔහු කෘෂිකර්ම විද්‍යලයයට බැඳී ගොවිපොළ කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. ඉන් අනතුරුව රාජ්‍ය සාහිත්‍ය ආයතනයට ඇතුළත් වුණු හේ සිය සාහිත්‍ය කටයුතු එහි දී ඇරැඹූ අතර පසුව ගෝර්කි ආයතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා පූර්ණකාලීන ලේඛන වෘත්තියට පිවිසියේ ය.
'පෙර්වි උචිටෙල්' කෙටි නවකතාවේ එන්නේ කිසිදාක පාසල් අධ්‍යපනය ගැන අසා නොතිබුණු කුර්කුරේඋ නමැති කිර්ගීස් ගමට ඒ පිළිබඳ සුබාරංචිය ගෙන යන පුද්ගලයකු පිළිබඳ කතාන්තරයයි. නමින් දුයිෂෙන් නමැති මේ තරුණයා යුද සේවයේ යෙදී සිටියෙකි. කතාවේ පසුබිම් කාලය 1920 සිට 1925 අතර යයි අනුමාන කළ හැකි ය. මන්දයත් 1924 දෙසැම්බර් 21දා සිදුවූ ලෙනින්ගේ මරණය ගැන මෙහි විස්තර කැරෙන හෙයිනි.
ඇත්තටම නම් දුයිෂෙන් නිසියාකාරව කිර්ගීස් හෝඩියේ අකුරු සියල්ලම පවා දැන සිටියෙක් නොවේ. එහෙත් සෝවියට් කොම්සොමෝල් සාමාජිකයකු වූ ඔහුට පැවරුණු රාජකාරිය වූයේ සිය උපන් ගමට ගොස් පාසලක් ඇරඹීම ය. ඒ සඳහා සෝවියට් සභාව ඔහුට බලය පවරා ඇත. ගමේ රැස්විමක් කැඳවා මේ පිළිබඳව කරුණු පැහැදිලි කැර දෙන අවස්ථාවේ ගමේ වැඩිහිටියෝ ඉගැන්විමට ඔහුට ඇති සුදුසුකම් පිළිබඳ විමසති.
'ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේ ය.
"පුතේ මේ අහපන්" ඔහු ඉක්කා ගසමින් සිය ප‍්‍රශ්නය ඇසුවේ ය. "ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්නුවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වාගේ ම එයත් දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොමද මුල්ලා කෙනෙක් වුණේ කියලා කියපන්.?"
"මම මුල්ලෙක් නෙවෙයි ලොකු උන්නැහේ. මම කොම්සොමෝල් කෙනෙක්."යි දුයිෂෙන් වහා පිළිතුරු දුන්නේ ය. "මීට පස්සේ ළමයින්ට උගන්නන්නේ මුල්ලාවරු නොවේ, ගුරුවරු. මම හමුදාවේ ඉඳිද්දී ඉගෙන ගත්තා, ඊට ඉස්සෙල්ලත් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොමයි."
"ඒක අපූරුයි" '
පාසලක් සඳහා ස්ථානයක් ඔහු ඉල්ලා සිටී. පාරම්පරිකව කෘෂිකර්මාන්තයෙන් යැපෙන තමන්ට පාසලකින් ඇති ප‍්‍රයෝජනයක් නැත'යි එවිට ගම්මු ඔහුට කියති. ගම්මුන්ගේ බාධා කිරීම්වලින් වෙහෙසට පත්වන ඔහු තමාට රජයෙන් ලැබුණු බල කඩදාසිය පෙන්වයි. අකුරු නොදත් වුව ද මිනිස්සු ඊට අවනත වෙති. දුයිෂෙන් පාසල අරඹා එහි උගන්වන්නට පටන් ගනී.
මේ ගමේ අල්තිනායි නමැති තුදුසැවිරිදි දැරියක් සිටියි. දෙගුරුන් නැති ඇය හැදී වැඩෙන්නේ සිය මාමාගේ නිවසේ ය. පාසලට විරුද්ධ ඇගේ නැන්දා ඇගේ පාසල් ගමනට එකහෙලාම විරෝධය පාන්නී ය. එහෙත් කොම්සොමෝල් නිල ලියැවිල්ලේ බලය නිසා ඇයට මේ පාසලට ඇතුළත් වන්නට වරම් ලැබෙයි. ඇය එහි ඉගෙන ගන්නේ බොහෝ ආසාවෙනි.
මේ අතර සිදුවන විශේෂ සිද්ධියක් නම් ලෙනින්ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබිමයි. එදින සියල්ලෝ ශෝක වෙති.
අල්තිනායිගේ නැන්දා ඇය කිසියම් මිනිසකුට පාවා දෙයි. ඒ මිනිසා වනාහි මුදලට තුරුණු වියේ කෙල්ලන් බිලි ගන්නා බුර්ෂුවා කාමාතුරයෙකි. සිය බිරිය ද ආරක්‍ෂකයන් කිහිප දෙනෙකු ද සහිතව කඩා වැදී එලෙස කෙල්ලන් මිල දී ගන්නා ඔහු එම දැරියන් දෙවැනි අඹුකමේ තබා ගනියි. බිරිඳ සියල්ල දන්නා නමුත් විඳ දරා ගෙන සිටියි. ඒ කාලේ සමාජයේ ස්වභාවය එය විය.
මෙලෙස අල්තිනායි රැගෙන යන ඒ මිනිසා ඇය දූෂණය කරයි. දුයිෂෙන් මිට එරෙහිව සටන් වදින නමුත් ඔහුට පහර කන්නට සිදුවෙයි. පසුව කොම්සොමෝල් තරුණයන් කැඳවා ගෙන එන දුයිෂෙන් අල්තිනායි බේරා ගනී.
ඉන්පසු ඇගේ මාමාගේ නිවසින් ඇය ඉවත් කැර ගන්නා ඔහු, ඇය නගරයේ ද්විතියික පාසලකට ඇතුළත් කරයි. එහි දී මනාව අධ්‍යාපනය ලබන ඇය පසුව උසස් අධ්‍යාපනය ලබා මහාචාර්යවරියක් බවට පත්වෙයි.
දුයිෂෙන් ගැන ඇයට ආරංචි නොලැබී යයි. නගරයේ උසස් පාසලේ අධ්‍යාපනය ලබන සමයේ ඇය සිය හදවත ඔහු වෙනුවෙන් පිදූ බව දන්වා ඔහුට ලිපියක් එවයි. එහෙත් ඊට පිළිතුරක් නොලැබේ. ඔහු යුද්ධයේ දි මියැදුන'යි ආරංචි පැතිර යයි. අධ්‍යාපනය නිමැවීමෙන් පසුව යහපත් මිනිසකුට ආවාහ වන ඇය සැපවත් දිවියක් ගත කරයි.
කුර්කුරේඋවේ පාසලේ අලුතෙන් ගොඩනැගිල්ලක් නිමවා එය විවෘත කිරීමේ උත්සවයට ඇයට ආරාධනා කෙරෙයි. සතුටින් එය පිළිගන්නා ඕ දින දෙක තුනක් නැවතීමේ අපේක්‍ෂාව ඇතිව ගමට පැමිණෙයි. එහි දී ඇයට නැවත දුයිෂෙන් ගැන අසන්නට ලැබෙයි. මේ වන විට ඔහු ගමේ තැපැල්කරු ලෙස කටයුතු කරයි. උත්සවයට ඔහුට ආරාධනා කොට නොමැත. අල්තිනායි ඔහු ගැන විමසන විට ගමේ සෝවියට් ඒකකයේ ප‍්‍රධානියා දුයිෂෙන් උත්සවයේ නවත්වා ගන්නට උත්සාහ කරතත් ඔහු ඒ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරන්නේ තමාගේ දෛනික ලියුම් බෙදීමේ රාජකාරිය තවමත් අවසන් නොමැති බව කියමිනි.
අතීතය සිහිපත් කරන අල්තිනායිගේ හදවත ශෝකයෙන් පිඩිත වෙයි. මේ පාසලේ පුරෝගාමියා දුයිෂෙන් බව ගම්මුන්ට අමතක වී තිබීම ඇයගේ ශෝකය තීව‍්‍ර කරන්නට හේතු වෙයි. ගමේ නැවතිමේ සිය තීරණය වෙනස් කරන ඇය එදිනම පෙරළා නගරයට යන්නේ ගම්මුන්ගේ නොමනාපය ද නොතකමිනි.
කතාව දිග හැරෙන්නේ අල්තිනායි ඉන්පසුව එම ගමේ ම වෙසෙනා එදින උත්සවයට සහභාගිව සිටි ඇය හඳුනන ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියෙකුට එවන ලිපියක් ලෙසිනි.
ඇගේ ලිපිය කියවා ශෝකභරිත වන ඔහු පළමුවන ගුරුවරයා ලෙස දුයිෂෙන්ගේ චිත‍්‍රයක් ඇඳිය යුතු ය’යි සිතයි.
මේ කෘතිය 1965 දී අන්ද්‍රෙයි කොන්චොලොවැස්කි නම් විශිෂ්ට සෝවියට් සිනමාකරු විසින් සිය සිනමාකරණ ඩිප්ලෝමාවේ පැවරුම ලෙස ඉදිරිපත් කරන ලදී. පසුව දේශිය හා විදේශිය සම්මාන කිහිපයක් ම දිනා ගැනීමේ සමත් වූ එමගින් ඔහුට ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ලබා දුන්නේ ය.
සෝවියට් දේශය බිහිවු අලූත එහි වී. දුයිෂෙන් නමැති අධ්‍යපනඥයකු සිට ඇත. මුල් යුගයේ සෝවියට් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදුව ඇත්තේ ඔහුගේ ප‍්‍රධානත්වයෙනි. ඒ අයිත්මාතොව් උපදින්නටත් පෙර ය. සමහරවිට මෙහි ප‍්‍රමුඛ චරිතය ලෙස දුයිෂෙන් යන නම යොදා ගන්නට ඇත්තේ ඒ නිසා විය හැකි ය. එසේම සිය ගම් පෙදෙසේ පාසලේ නිර්මාතෘ වූ පසුව අසාධාරණ චෝදනාවලට ලක්ව ඊට ජීවිතයෙන් වන්දි ගෙවූ සිය පියාණන් ද මෙ මගින් ඔහු සිහි කරනවා විය හැකි ය.
මෙහි සිංහල පරිවර්තන තුනකි. ඉන් පළමුවැන්න වනුයේ රුසියන් පිටපත ඇසුරින් දැදිගම වී. රුද්රිගු විසින් කරන ලද පළමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය නමින් යුත් පරිවර්තනයයි. එය රාදුගා ප‍්‍රකාශනයක් ලෙස පළමු වරට 1966 දී මුද්‍රණයෙන් නිකුත් වී ඇති අතර මේ වනවිට එහි පුනර් මුද්‍රණ ගණන නිශ්චිතව ම කිව නොහැකි ය. දෙවැන්න දුයිෂෙන් නමින් සිරිපාල තිලකසේන විසින් කරන ලද අසංක්ෂිප්ත පරිවර්තනයයි. එය 2000 වසරේ දී ගොඩගේ පොතක් ලෙස එළි දිටී ය. තුන්වැන්න ආචාර්ය ජයන්තලාල් රත්නසේකර විසින් රුසියානු පෙළ ඇසුරින් කරන ලද පරිවර්තනයයි. එය විදර්ශන ප‍්‍රකාශනයකි. මීට අමතරව 'පළමුවන ගුරුවරයා' නමින් තවත් පරිවර්තනයක් ද තිබී ඇති අතර පරිවර්තක ගැන සඳහනක් නොමැත.
‘‘අපේ රටේ බටහිර පෙදෙසේ සිට අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණියේ ය. සිය යුතුකම් ඉටු කළ හෙතෙම තමා පැමිණි දිසාවට ම ආපසු ගියේ ය. ඒ මිනිහා ෂේන් ය.’’
’ගමේ කෙල්ලක නොවූ ෂෙෆ්ටෙල් යම් ප්‍රදේශයකින් පැමිණි තැනැත්තියක වන්නීය. සාමාන්‍යයෙන් සොරුන් සිරගත වූවන්ගේ බිරියන්ට ගරුත්වයෙන් සැලකූ නමුත් ෂෙෆ්ටෙල් සැ
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ගුරු ගීතය: චින්ගීස් අයිත්මාතොව්