IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


බරවැලි Heavy Sand අනතෝලි රිබාකොව්

පොතක මතක 17


 

අනතෝලි රිබාකොව්


දෙවැනි ලෝක මහා යුද්ධයේ දී සෝවියට් දේශය විශාල කාර්යභාරයක් ඉටු කරන ලද බවත්, ඇත්තටම නාසින්ගේ පරාජය ඇරැඹුණේ එරට දී බවත් පතළ කරුණකි. ඒ සඳහා මිලියන 11ක් පමණ සෝවියට් භටයන් සහ මිලියන 7ට වැඩි එරට සිවිල් පුරවැසියන් ද දිවිදුන් බව සඳහන් ය.

'බරවැලි' නම් මේ නවකතාව ගෙතෙන්නේ ඒ යුද සමයට පෙරත්, ඒ සමයේත් සහ ඉන් පසුවත් සෝවියට් ගමක සිදුවූ දෑ වටා ය.

රුසියානු - සෝවියට් ලේඛක අනතෝලි රිබාකොව් (1911 - 1998) විසින් රුසියානු බසින් ලියන ලද 1979 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ Tyazhelyi pesok  නම් නවකතාව රුසියාව පිළිබඳ විශේෂඥයකු වූ ඉංගිරිසි ජාතික,    හැරල්ඩ් ෂුක්මාන් විසින් Heavy Sand  නමින්  ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබී ය. 'බරවැලි' ඒ ඇසුරින් කරන ලද සිංහල පරිවර්තනයයි.

දෙවැනි ලෝක මහා යුද සමයේ යුදෙව්වන් අත් විඳින ඉමහත් දුක් සමුදාය තවත් ආකාරයක දෘෂ්ටි කෝණයකින් දකින ‘බරවැලි’ යුදෙව් සමුලඝාතනය (The Holocaust) තේමාව කැරගත් ප‍්‍රථම සෝවියට් නවකතාව  බව සඳහන් ය. මෙතැන දී 'යුදෙව්' යන්න විශේෂ ය. මන්දයත් The Holocaust යෙදෙන්නේ යුදෙව්වන්ට පමණක් අදාළ ව වන හෙයිනි. 1960 දශකයේ අග දී පවා යුදෙව් සමූලඝානය වෙසෙසි ව ගැනීම තහනම් කැර තිබිණි. හැම්බර්ග් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියකව සිටි ආචාර්ය අන්ජා ටිප්නර් විසින් 2003 වසරේ එළි දක්වන ලද Representation of the Holocaust in Soviet Literature and Film යන මැයෙන් වූ පර්යේෂණ පත්‍රිකාවේ ඒ බව සඳහන් ය.

එය එහි කතුවර අනතෝලි රිබාකොව්ගේ ම අත්දැකිම් ඇසුරින් නිර්මිත හෙයින් අර්ධ චරිතාපදානමය නවකතා ප‍්‍රවර්ගයට ඇතුළත් කරනු ලැබ තිබේ. එහෙත් ඇතැම් විචාරකයකු පෙන්වා දෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇති හෙයින් එලෙස ගැනුණත් මෙය චරිතාපදානයක් නොවන බවයි.

මෙහි එන්නේ පරම්පරා හතරක කතාවකි. එය දළ වශයෙන් කොටස් එනම් යුග හතරකට බෙදිය හැකි ය. පළමුවැන්න නම් විප්ලවයට පෙර රුසියාවේ අයිවනොව්ස්කි - රාක්ලෙන්කෝ නම් කල්පිත පෙළපතේ පරම්පරා දෙකක කතාවයි. දෙවැන්න  සෝවියට් පාලන සමයේ එහි තුන්වැනි පරපුරේ කතාවයි. තුන්වැන්න යුද සමයේ  එම පෙළපතේ වර්තමාන පරපුර මුහුණ දෙන බරපතළ ඛෙදය වන අතර සිවුවැන්න පශ්චාත් යුද සමයේ ඔවුන්ගේ ජීවන පුවතයි. 

අනතෝලි රිබාකෝව් එවකට රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ යුක්රේනයේ චෙර්නිගොව් නම් නගරයේ යුදෙව් පවුලක 1911 ජනවාරි 01 දින උපත ලැබී ය. 1933 වසරේ එවකට සෝවියට් දේශයේ තාක්‍ෂණික අභ්‍යාස ආයතනයක සිසුවකුව සිටි ඔහු ස්ටාලින් පාලනය විසින් විප්ලවයට එරෙහි වීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන සයිබීරියාවට පිටුවාහල් කරන ලදී. මේ සිද්ධිය මිලාන් කුන්දේරාගේ කොලොප්පම නවකතාවේ එන ලුඩ්වික්ට මෙන් ඔහුට මහත් සේ බලපෑවේ ය. ඉන්පසු 1941 වසරේ හමුදාවට බැඳෙන තුරු ම ඔහුට ප‍්‍රධාන නගරවල වසන්නට මෙන් ම විධිමත් රැකියාවක නියැළෙන්නට ද අවසර නොතිබුණි. සාමාන්‍ය සෙබළකු මෙන් හමුදාවට බැඳුණු හේ දෙවැනි ලෝක මහා සංග‍්‍රමය අවසන් වන තුරු ම මොස්කව් සිට බර්ලින් දක්වා වූ විවිධ යුද පෙරමුණුවල සටන් කළේ ය. සංග‍්‍රාම දස්කම් නිසා විවිධ පදක්කම් රැසක් දිනා ගත් ඔහු යුද්ධය අවසානයේ විශ‍්‍රාම ගත්තේ මේජර්වරයකු වශයෙනි.

1948 දී සිය ප‍්‍රථම කෘතිය වූ ‘කොර්ටික්’ (කිණිස්ස) එළි දැක්වූ හේ ඉන්පසු තවත් කෘති දොළහක් නිමැවී ය. 'අරබත් හි දරුවෝ' නම් ඔහුගේ නිර්මාණය මුල දී සෝවියට් රුසියාවේ මුද්‍රණය කරන්නට අවසර නොලැබුණි. ඒ එය ස්ටැලින් පාලනය දැඩි ලෙස විවේචනය කරන කෘතියක් වු හෙයිනි.

දෙවැනි ලෝක මහා යුද සමයේ ජාතිවාදී නාසින් විසින් යුදෙව්වන් ගාල් කොට පවත්වාගෙන යන ලද ගෙටෝ (ghetto) නොහොත් සාන්ද්‍රතා කඳවුරුවල තත්වය අති බිහිසුණු විය. ඒ යුද සමයේ ගෙටෝවක් යනු යුදෙව් යන පදය සමග බැඳුණු පදයකි. ගෙටෝ නම් යුදෙව් - එආකාරයෙනි. මේ කඳවුරුවල ඉඳහිට නැගී සිටීම් ද ඇති නොවුණා ම නොවේ. 1943 වසරේ සිදුවූ වෝර් ගෙටෝවේ නැගි සිටීම ඒවායින් පළමුවැන්න සේ සැලකේ. 300,000 අධික යුදෙව් රැඳවියන් පිරිසක් සිට මෙහි රැඳවියෝ බොහෝ සංඛ්‍යාවක් තදබදය නිසාම මරු දුටහ. නැගී සිටීමේ දී වෙඩි තබා ඝාතනය කරන ලද සංඛ්‍යාව 13,000 ඉක්මවන බව සඳහන් වෙයි. එම කැරැල්ලට සහභාගී වූ නමුත් ගෙටෝවෙන් මිදී දිවි ගලවා ගන්නට සමත් වූවන් විසින් කියන ලද කතා ඇසුරින් රිබකොව් මේ කෘතිය නිර්මාණය කළේ ය’යි සැලකේ.   

මේ කතාවේ එන රාඛෙල් රාක්ලෙන්කෝ නම් අම්මා විශේෂ චරිතයකි. සියලු ව්‍යසන හමුවේ අභීතව. දිරිමත් ලෙස නැගී සිටින ඇයගේ මරණය සිදු වූ ආකාරය කිසිවෙක් නොදනිති. එය සිදුවන්නේ කතාව අවසානයේ ය. එතෙක් ඇය සිය සැමියාගේ, දරුවන් අතරින් කිහිප දෙනෙකු සහ මුණුපුරන් නාසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු දුටුවා ය. ඒ් කිසිවකින් සැලුණේ ඇය නොවේ. ඇය ගැන සිතන විට මට සිහියට එන්නේ මාර්කේස්ගේ 'සියක් වසක හුදෙකලාව' කාතියේ උර්සුලා ඉගුවාරන් සහ පර්ල් ඒස්. බක් ගේ 'සාර භූමි' හි එන ඕ ලෑං යන දිරිමත් අම්මලා ය.

ඇය සිය මුනුපුරා අනිවාර්ය මරණයට දිරිගන්වන ආකාරය කියවන්නකුගේ හිතේ දැඩි ශෝකයක් ඉපැදෙනු නියත ය.

' ඇද වැටිය හැකි අවදානමේ තරම දැන සිටි හෙයින් මේ වනාහි අම්මාට ගැනීමට සිදුවූ සියලු තීරණ අතරින් දුෂ්කරම එක වූයේය. එහෙත් ඇය ඉදිරියේ අන් විකල්පයක් ද නො වී ය. ඉතින් ඇය රාත්‍රියේ ඔහු පිටත් කර හැරියාය. ඇගේ උපදෙස් අනුව පිටත් වූ ඉගෝර් අදාළ ගම්මානය කරා ගියේ නියම පුද්ගලයා හට සිය අත්තම්මාගේ පණිවුඩය බාර දුන්නේය. 

මුර සංචාරක භට පිරිසක් විසින් නතර කරනු ලබන විට ආපසු එමින් සිටි ඉගෝර් නගරයට හොඳටම ළං වී උන්නේය. 

"උඹ නං පාටිෂාන්ලා ඉන්න දිහාවල් ගැන දන්න පාටයි" පොලිස් භටයෝ ඔහුට කීවෝය.

මං දන්න පාටිෂාන් කෙනෙක් නෑ" ඉගෝර් පිළිතුරු දුනි.

"එහෙනම් උඹ මේ කොහේ ගිහිල්ලා එන ගමන්ද?"

"ගමකට"

"ඒ මොකටද?'

"මං එයාලගෙන් කන්න මොනවා හරි ඉල්ල ගන්න ගියේ"

" ඉතිං උඹට උන් මොනවා හරි කන්න දුන්නද?"

"ඔව්"

"කවුද"

"ගෑනු කෙනෙක්"

"මෙහෙවරෙන්, උඹ අපිට ඒ ගම පෙන්නපන් ඒ ගෑනිවත් එක්කම"

"මං එන්නෑ. එයා මට කන්න පාන් කෑල්ලකුත් දුන්නා. දැන් ඔහෙලා හදන්නේ ඒකට එයා  මරලා දාන්නයි"

"අපි ඒකි මරණ එකක් නෑ බං. අපිට නිකමට ඒකි කවුද කියලා පෙන්නපන්. එතකොට උඹ පාටිෂන්ලා මුණගැහෙන්න නොගිය බව අපිට පිළිගන්න පුළුවනි"

"නෑ මං පෙන්නන්නේ නෑ. මං දන්නවා ඔහේලා එයාව මරයි"

එවිට ඔවුහු ඉගෝර්ට අත වූ පොලු හා කස වලින් පහර දුන්නෝය. එහෙත් ඔහු නොසැලී සිය වදනෙහි ම රැඳී උන්නේය. කාරණය එපමණකි. 

යාන්තම් අට හැවිරිදි දරුවෙක්. එහෙත් ඔහු අපූරුවට කට උත්තරයක් ගෙතුවේ යළි යළි එයම පුනරුච්චාරණය කළේය.  "එයා මට පාන් දුන්නා ඔහෙලා එයාව මරන්නයි හදන්නේ"

දැන් යළිත් වරක් ප්‍රසිද්ධ චතුරස්‍රයේ නාටකය. යළිත් වරක් මිනිසුන් යැයි යාන්තමට කිව හැකි වැහැරුණු සත්ත්වයන්. යළිත් වරක් මගේ මව. මෙවර ඇය උන්නී ඔල්ගා පමණක් ළඟ ඇතිවය. චතුරස්‍රය මැද ඉගෝර් දණ ගසාගෙන සිටියේය. ඔහුගේ දෑත් පිටුපසට කර ගැට ගසලාය. ඔහුගේ පිටුපසින් සිටගෙන උන්නේ දිග මිටක් ඇති කෙටේරියක් ගත් එස් එස් භටයෙකි. උන් එය සොයාගත්තේ කෙසේදැයි මට හිතාගත නොහැකිය. එය පැරණි එකකි. තලය අඩ සඳැති ය. එස් එස් භටයන් අණ දෙන නිලධාරි කාර්යාලය ඉදිරිපිට මිදුලේ හුදු එකිනෙකාගේ විනෝදය තකා ඉන් හරඹ කළ බව පමණක් මම දැන සිටියෙමි. එහිදී දෑත් පිටිපස්සට කර බඳින ලද ළමයකු දණ ගැස්සූ ඔවුහු ළමයාට හිස පහත් කිරීමට නියෝග කර අර පොරොවෙන් ඔහුගේ ගෙලට පහර දුන්නෝය. එක පාරින් ළමයෙකුගේ ගෙල සිඳලිය හැක්කේ කාටද යනුවෙන් ඔට්ටු ඇල්ලීමට ද ඔවුහු පුරුදුව සිටියෝය. ඔවුන් අණදෙන නිලධාරියාගේ කාර්යාලය ඉදිරිපිට මිදුලේ විනෝද ක්‍රීඩා කළේ ඒ අයුරෙනි. දැන් මේ ප්‍රසංගය වනාහි පොදුවේ සැමදෙනා උදෙසාමය.

ස්කෙල්බෙ මෙහිදී අම්මා ඇමතුවේය. "උඹේ මුනුපුරා පාටිෂාන්ලා පස්සේ ගිහින් අහුවුණා දැන් ඌ අපිට පාර පෙන්නනවනම් උගේ පණ බේරෙයි, එහෙම නොකළොත් ඌ මැරෙයි"

"පාටිෂාන්ලා ඉන්න තැනට යන පාරවල් ඔය දරුවා දන්නේ නෑ" අම්මා ඔහුට පිළිතුරු දුන්නාය.

එවේලේ ඉගෝර් හඬා වැටුණේය. "අත්තම්මේ අනේ මට බයයි" 

"බයවෙන්න එපා පුතේ" ඇය ඔහුට කීවාය. "එයාලා ඔයාට මොකුත් කරන්නෑ. ඔළුව පාත් කරලා ඇස් දෙක පියා ගන්නකො"

එවිට හිස පහත් කළ ඉගෝර් දෑස් කරකවා බැලුවේය නියම නිපුණයකු මෙන් වධකයා පොරොව ඉහළට එසවුවේ සැණින් ඉගෝර්ගේ හිස කඳින් වෙන් කර  දැම්මේය. ලේ දහරා විද්ද නමුත් හැඳ සිටි ඒප්‍රණය නිසා වධකයාට එය ප්‍රශ්නයක් නොවීය.

හිටපු පාසල් ගුරුවරයෙක් වූ ස්කෙල්බේ අනතුරුව මෙසේ නිවේදනය කළේය. "ගෙටෝවෙන් එළියේදී අපිට අහුවෙන පොඩි එවුන්ට අපි සලකන විදිහ තමයි මේ. අන්න ඒක මතක තියා ගනිල්ලා"

ඔහු ඊළඟට හැරුණේ අම්මා වෙතටය. "ගිහිල්ලා උඹේ මුනුපුරාගේ මළකඳ අහුලා ගනින් කිසි කෙනෙක් ඒකට උඹට උදව් කරන්නේ නෑ"'

හාස්‍ය රසය නොමඳව මුසු මේ දීර්ඝ නවකතාවේ අන්තර්ගතය, එහි අවසානයේ එන මේ ඡෙද කිහිපයෙන් සංක්‍ෂිප්තව වටහා ගත හැකි ය.

‘එවේලේ සමූහ මිනීවළ අසල තවත් කිහිප දෙනෙක් ද රැඳී උන්නෝ ය. ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක්, මහලු උදවිය කිහිප දෙනෙක්, මැදි වියේ කිහිප දෙනෙක්, හා යුද්ධයෙන් පසුව මෙහි හැදී වැඩුණු යව්වනයෝ කිහිප දෙනෙකුත්. ඔවුනතුරින් සමහරු මගේ මව රාබෙල්, මගේ පියා යාකොව් සහ මගේ නිර්භීත සීයා රාක්ලෙන්කෝ පිළිබඳව දැන සිටි අතර සමහරු ඔවුන් ගැන දැන සිටියේ නැති. එතෙකුදු වුවත් ඔවුන්ගේ ීයලා සහ අත්තම්මලා ඔවුන්ගේ පියවරු සහ මවුවරු , සහෝදර සහෝදරියෝ ද මෙහි සදාකාලික නින්දට වැටී සිටියෝ ය. නිරායුධව හා අසරණව මැෂින් තුවක්කු වෙඩි පහරින් සමූලඝාතනය කරනු ලැබ මෙහි, මේ සුවිසල් අගලෙහි.

මේ සුවිසල් සමූහ මිනීවළ මත කළුගල් පුවරුවක් ඉදි කරන ලද අතර එහි රුසියානු බසින් මෙසේ කොටනු ලැබ තිබිණි.: ‘ජර්මානු ෆැසිස්ට් ආක‍්‍රමනිකයන්ට ගොදුරු වූවන් සදා මතකයේ රැඳෙණු පිණිස ය.’ ඊට පහළින් වූයේ හීබෲ බසින් වූ වදන් පෙළකි.

හිටපු පතල් කම්කරුවකු වූ ද, ඉන්පසුව පාවහන් කම්හලේ කළමනාකරු වූ ද, ඉනුත් පසුව පාටිෂාන් අණදෙන නිලධාරියකු වූ ද, අවසන දැන් විශ‍්‍රාමිකයකු වන්නා වූ ද, සිදෝරෝව් මා අසලම සිට ගෙන උන්නේ ය. දොන්බාස් ප‍්‍රදේශයේ උපත ලැබුව ද, බොහෝ කලක් මෙහි ජීවත් වූ නිසාවෙන් ඔහු මෙහි සෑම දෙයක් ම දැන සිටියා සේ ම සෑම දෙයම හොඳින්, ඉතා ගැඹුරින් අවබෝධ කැර ගෙන ද සිටියේ ය. 

කළුගල් පුවරුවේ කොටා තබූ රුසියන් පාඨ දෙසට ඇඟිල්ල   දිගු කළ ඔහු අනතුරුව සන්සුන් හඬින් මගෙන් මෙසේ ඇසී ය. ‘‘බොරිස් මට මෙන්න මේක කියාපන්. එයාලා ඔය රුසියානු වචන හරියටම අකුරක් නෑර පරිවර්තනය කරලා තියේ ද?’’

හීබෲ බසේ අක්ෂර මට අමතකව ගොස් තිබුණේ බොහෝ කලකට පෙර දී ය. එතෙකුදු වුව පුරා වසර විස්සකට ආසන්න කාලයකට පසුව එදා, එවේලේ, මගේ මතක ගබඩාවේ නොදත් අනන්ත ගැඹුරු පත්ලේ සිට එම අකුරු හා එම වදන් මා කරා ගලා ආවේ ය. ඉදින් එම වදන් යළි සිහිපත් වූයෙන් මම  කියැවීමි:

Venikoisi domon loi nikoisi

එම වදන් හි අරුත් මෙපරිදි ය: ‘‘සෑම දෙයකටම සමාව ලැබෙයි. එ ද අහිංසකයින්ගේ ලේ සෙලැවූවන්ට කිසිදා සමාවක් නම් නොලැබෙන්නේ ම ය. 

මා ඔහුට පිළිතුරු දිමට පමා වන බැව් දුටු සිදොරොව් මා දෙස විපරම්කාරී බැල්මක් හෙලී ය. ඔහුට, මේ වයස්ගත සිඟාලයාට සියල්ල වැටහී ඇත. ඔහු යළිත් මෙසේ ඇසී ය.

‘‘ඉතින් එයාලා ඒක හරියට ම අල්ල ගෙන ද?’’

‘‘ඔව්’’ මම කීවෙමි. ‘‘ ඒක හරි. හරියටම ඒකම තමයි.’’ ’

මේ වනවිට 20ක් ඉක්මවන විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති මෙම කෘතියේ සංස්කරණ 62ක් නිකුත්ව ඇති අතර මුද්‍රණය වු පිටපත් සංඛ්‍යාව මිලියන විසිපහ ඉක්මවන බව පැවසේ 

මේ ඇසුරින් 2008 වසරේ රුසියානු අධ්‍යක්‍ෂ ඇන්ටන් බාච්කෙව්ස්කි විසින් මිනිත්තු 800ක ධාවන කාලයෙන් යුත් රූපවාහිනී මාලා නාටකයක් සහ එම වසරේ ම මිනිත්තු 150ක ධාවන කාලයකින් යුත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරනු ලැබී ය. 

‘බර වැලි’ චූලානන්ද සමරනායකගේ පරිවර්තනයකි.



අදහස් (0)

බරවැලි Heavy Sand අනතෝලි රිබාකොව්

ඔබේ අදහස් එවන්න

පොතක මතක

පියානෝ වාදකයා The pianist
2024 සැප්තැම්බර් මස 10 127 0

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී නාසි හමුදාවේ කෲර, ම්ලේච්ඡ, නින්දිත ස්වරූපය වටහා ගන්නට ඉවහල් විය හැකි මේ කෘතියෙන් ගත් උධෘත දෙකක් මෙසේ ය.


රෑ මාතා Mother Night
2024 සැප්තැම්බර් මස 03 208 0

‘මා හොඳින් දන්නා හඳුනන සදාචාරයක් ගැන කියැවෙන මගේ එකම කතාන්තරය මෙයයි. එය ආශ්චර්යවත් සදාචාරයකියි මම නොසිතමි.


වෙිලාසන කොක්කු ඇවිත් The Early Cranes
2024 අගෝස්තු මස 27 215 0

ගමේ සියලු වැඩිහිටි පිරිමින් යුද සේවයට කැඳවලා ය. ඉතිරිවී සිටින්නේ යෞවනයන් පමණි. ඔවුන් තවමත් පාසල් සිසුන් ය.


හතරවන තට්ටුව DEATH IS PART OF THE PROCESS
2024 අගෝස්තු මස 20 115 0

හතරවන තට්ටුව - මෙය අසන දකින ඕනෑම ලාංකිකයෙක් ඒ කවරක්ද කියා දනී. ලංකාවේ රහස් පොලීසියේ පටබැඳි නාමයයි ඒ.


අර්ජුන්
2024 අගෝස්තු මස 13 222 0

අර්ජුන් සිය මිතුරාගේ නැගණිය මෙන් ම තමාගේත් මිතුරිය වූ ශුක්ලාට පෙම් කරයි. එහෙත් සුනිල් ගංගෝපාධ්‍යාය එය එතරම් උත්කර්ෂයට නංවන්නේ නැත.


හිරු උදාවෙයි The Sun Also Rises
2024 අගෝස්තු මස 06 225 0

’ඉන්න පරපුර නැති වෙලා වෙනත් පරපුරක් ඒවි. ඒත් මහ පොළොව සදාකාලිකයි. ඉරත් පායයි. බැහැල යයි ආයෙත් හිටපු තැනට ම. සුළඟ දකුණට හමයි. හැරිල උතුරට හමයි. සුළි කුණාටු


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site