රසුල් ගම්සොටොව්
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා සේ ය. එසේ නමුදු ගස එසේ ම පවතින්නේ ය. අවුරුද්දෙන් අවුරුද්ද එය සාරයෙන් පිරී ඔදවත් වෙයි. ශක්තිමත් වෙයි. විපුලිත වෙයි. එසේ ම පලදාව උපද්දවයි’
**
‘මගේ සිහින තුළ වගා කෙරෙන බිම ඇත්තට ම වගා කෙරෙන බිමට වඩා විශාල ය. ප‍්‍රතිභාව සේවය කළ යුත්තේ කාට ද? මට ද නැත්නම් මට වඩා බොහෝ ඈත පියා සලා ඇති මාගේ සිහිනවලට ද? ඔබ කිසිවකට මැඬලිය නොහැකි ගින්නකි. ඔබ කිසිවකුට අවසානය දක්වා ගන්නට නොහැකි ගීතයයි. ඔබ කිසිවකුට කිසිදා අවසන් කළ නොහැකි පියාසැරියයි. ඔබේ යුග ගණනක් පැරණි ගීයට එකම තනුවක්, මගේ ම වූ තනුවක්, අවාර් තනුවක් මුසු කරන්නට මට හැකි වේ ද? එවිට මුළු ගීතය ම වඩාත් පොහොසත් වන්නට ද බැරි නැත. ඔබේ නොනිවෙන ගින්නෙන් සුඟක් ගෙන දගෙස්තාන් කඳු මුදුන් මත මට අරැඹිය නොහැකි වනු ඇති ද? ට්සාදා යනු මගේ උපන්ගමයි. අවාර් බසින් එහි නම ගින්න වේ.’
*
ඉහත උධෘත ගන්නා ලද්දේ ප‍්‍රමුඛ සෝවියට් කවියකු වූ රසුල් ගම්සොටොව් (1923 - 2003) විසින් රචිත එකම ගද්‍ය නිබන්ධනයේ සිංහල පරිවර්තනය වන ‘මගේ දගෙස්තානය’ නම් කෘතියෙනි. නවකතාවක් නොවන මෙය නිශ්චිත වශයෙන් කිසියම් ශානරයකට අයත් නොවේ. කවි ද ගැදි සහ විචාර ද අඩංගු මෙය කිසියම් ආකාරයක විත්ති කතාවක් ලෙස හැඳින්විය හැකි ය. එතෙකුදු වුව මේ කෘතිය පරෙස්සමින් කියවන්නකුට මෙය භාෂාව හා සන්නිවේදනය පිළිබඳ අත් පොතක් සේ පෙනෙනු ඇත.
'කළුවා මාරපං ගියා වගෙයි‘ කියා ජනකතාවක් අපි සැවොම අසා ඇත්තෙමු. මාරපන සහ ඇලපාත රත්නපුර ප‍්‍රදේශයේ ගම් දෙකකි. ඇලපාත වලව්වේ මහ නිලමේ දවසක් රැයේ සිය සේවකයකු වන කළුවා අමතා "කළුවෙ උඹ හෙට උදැහැනැක්කෙම මාරපං ගිහිං එන්ට ඕනෑ" කීවේලු. කළුවා ද "හොඳමයි හාංදුන්නේ" පිළිතුරු දුන්නේලු. පසුදා උදෑසන අවදි වූ නිලමේ මාරපන යැවීම සඳහා කළුවා සොයා ඇත. එහෙත් කළුවා නොවූයෙන් උක්කුවා නම් වෙනත් සේවකයකු මාරපන වලව්වට යවන ලදී.
මාරපන දෙසට යන උක්කුවාට මග දී කළුවා හමු විය. මේ ගමන යන්නට සිදු වීම නිසා තරහින් සිටි උක්කුවා එවිට "කොහෙද බොල තෝ මකබෑ වුණේ. අන්න මහ නිලමෙට යකා නැගල. තොගේ කරුමෙ මං පිටින් නේ බොල ගියේ" කියා කෑ ගසමින් කඩා පැන්නේ ය. එවිට කළුවා දුන් පිළිතුර මෙසේය: "ඈ බොල මී හරකො තෝ මොකෑ මට අපහාස කොරන්නෙ? මහ නිලමේ නොවැ මට ඉහැන්දෑවෙ මාරපං ගිහිං එන්ට කීවෙ." යයි කීවේලු.
මේ පොතේ එබඳු කතාවක් වෙයි. ඒ මෙසේ ය:
'බුන්සාක් ගම්පතියා දිනෙක තමාගේ හොඳම මෙහෙකරුවා වූ අලිබුලට් හට මෙසේ කීය: "උඹ හෙට උදේ පාන්දරම ටෙලෙට්ල් අයිලයට යන්න ලෑස්ති වෙයං"
"මං දැනුත් ලෑස්තියි" ආවතේවකරු පිළිතුරු දුන්නේ ය.
පසුදා කඳු මතින් හිරු නැගෙන්නටත් පෙර අසුට සෑදලය දමා ගත් අලිබුලට්, ටෙලෙට්ල් බලා පිටත් විය. එදින රෑ අහර වේලාව වනවිට ඔහු ආපසු බුුන්සාක් වෙත ළඟා වෙමින් සිටියේ ය. ඒ අවස්ථාවේ දන්නා කියන කඳුකර වැසියන් දෙතුන් දෙනෙකු මග දී ඔහුට හමු විය. මේ මිනිස්සු ඒ වනවිට කාරණය දැන සිටියෝ ය. "අල්ලා උඹව බලා ගනිවි, උඹ බෑරක් ගියා ද?" ඔවුහු ඇසූහ. "මං මේ ටෙලෙට්ල් දිහෑ ගිහිං එන ගමන් "
"එහේ ගියේ අර මක්කටෙයි"
"අනේ මන්දන්නෑ. අපේ නයිබ්තුමා තමා යන්ට කීවෙ. ඉතිං මං ගියා"
ගම්සොටොව් එහි අවසානයට මේ කොටස එක් කරයි. ‘එවැනි අලිබුලට්ලා අපේ සාහිත්‍ය සමාජයේ ද සිටිති.’
ගම්සොටොව් යනු ගම්සාට්ගේ පුතා යන අරුත් දනවයි. ඔහුගේ මුල් නම රසුල් ය. ඔහුට ඒ නම ලැබුණු හැටි ද අපූරු ය. ඒ හරියට සිදුහත් කුමරුන්ට නම් තැබීම මෙනි.
ඔහු ඉපදුණු පසු ඔහුගේ පියා ඔහුට නමක් තබන ලෙස ඉල්ලමින් අයිලයේ ඉහළම ගෞරවනීය වැඩිමහල්ලන්ට සිය නිවෙසට ආරාධනා කළේ ය. පැමිණි සැමට බුසා නම් ඉරිඟුවලින් නිපැයෙන බීර පානයකින් සංග‍්‍රහ කරන ලදී. ඔවුනතුරින් ඉසිවරයකු බඳු වෘද්ධතමයා ඒවායින් බඳුනක් සියත දරා සිටියේ නැත.
'අල්ලපු කාමරයේ සිට පැමිණි අම්මා මා බාර දෙනු ලැබූයේ ඒ වෘද්ධයා අතට ය.
"මගේ විවාහයේදී ඔබ වරක් පන්ඩෝරයත් තවත් වරක් ටැම්බූරිනයත් වයමින් ගී ගැයුවා. ඔබේ ගීත හරි අගේට තිබුණා. දැන් ඔබ මගේ ළපටියා අතේ තියාගෙන ගයන්නේ මොන ගීතය ද?"
"හෝ, ගෘහිනිය! ඔහුගේ අම්මා හැටියට තොටිල්ල පදවමින් ගී ගැයිය යුත්තේ නුඹයි. පසුව කුරුල්ලන් ද ගංගා ද ඔහු වෙනුවෙන් ගයනු ඇති. වක් අසිපත් සහ වෙඩි උණ්ඩ ද ඔහු වෙනුවෙන් ගයාවි. ඒත් ඔහු වෙනුවෙන් හොඳ හොඳම ගීය ඔහුගේ මනාලිය ගැයුවාවේ!"
"එසේ නම් ඔහුට නමක් තෝරා ඔහුගේ අම්මා වූ මටත් අපේ මුළු අයිලයටත් මුළු මහත් දගෙස්ථානයටත් ඇසෙන සේ ඒ නම ඔහුට දෙන්න."
මහල්ලා මා සීලිම දෙසට ඔසවා මෙසේ කීය:
" ගැහැනු ළමයෙකුගේ නම තරුවක් සේ දිස්නය දිය යුතුයි. මලක් සේ සුවඳ හැමිය යුතුයි. පිරිමියකුගේ නමේ ඇතුළත් විය යුත්තේ අසිපත් ගැටෙන හඬ සහ පොත් වල නුවණයි. මම පොත්වලින් බොහෝ ගණනක් නම් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම මගේ පොත් සහ මගේ අසිපත් මට නමක් කොඳුරනවා. ඒ තමා රසුල්"
ඉක්බිති ඉසිවරයකුගේ වන් පෙනුමැති මහල්ලා මා වෙත නැවී එක් කනකට "රසුල්" යි කොඳුරා අනෙක් කනට "රසුල්"යි මහ හඬින් බෙරිහන් දුන්නේය. හඬන බිලිඳා ඔහුගේ මවට දුන් ඔහු නිවසේ ඉඳගෙන හුන් සැම අමතා කතා කළේය. මේ ඉන්නේ "රසුල්"
රසුල් යනු අරාබි වදනකි එහි තේරුම පණිවුඩකරුවා නැතහොත් නිවැරදිව කිව්වොත් නියෝජිතයා යන්නයි. එසේ නම් මා කාගේ පණිවිඩකරුවා ද? කාගේ නියෝජිතයා ද?'
පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් වැ තිබූ දගෙස්තානයේ උපත ලද ගම්සොටොව් කවියාගේ මවුබස එරට භාවිත බස වූ අවාර් ය. ඔහු මේ කෘතියේ සිය දේශය ගැනත් බස ගැනත් අභිමානයෙන් යුතු ව කියන කතා, යොදන යෙදුම් තමන්ගේ භාෂාව සම්බන්ධයෙන් අපට වුව ආදේශ කැර ගත හැකි ය.
අවාර් බසින් නිර්මාණකරණයේ යෙදුණු කවීන් අතර රසුල් ගම්සොටොව් ප‍්‍රමුඛ ය. ඔහු 1963 දී ලෙනින් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර තවත් ප‍්‍රමුඛ සෝවියට් ත්‍යාග කිහිපයකින් ම පිදුම් ලබා ඇත. එසේම ඔහුට විශ්ව සාහිත්‍යධරයන් සඳහා බල්ගේරියානු සමූහාණ්ඩුවෙන් පිරිනැමෙන අන්තර්ජාතික බොතෙව් ත්‍යාගය ද 1981 වසරේ පිරිනමනු ලැබී ය. සෝවියට් දගෙස්තාන් ජනතාවගේ නව ජීවිතය ඔහුගේ කවිවල තේමාවයි. 'දගෙස්තානය ඔබ මගේ ආදරය සහ ප‍්‍රතිඥවයි. මගේ ආයාචනය සහ යාඥාවයි. මගේ දිවියේ ද සියලු පොත්වල ද තේමාව ඔබ මැ පමණයි.'
දගෙස්තාන් සමූහාණ්ඩුවේ ප‍්‍රමුඛ සාහිත්‍යධරයකු වැ සිටි ගම්සාට් සාදාසා ඔහුගේ පියා ය. අතීත විශිෂ්ට කවින් හැඳින්වීමට යොදන Bard යන අභිධානය ඔහු හැඳින්වීමේ දීි යෙදේ.
මේ කෘතිය ඕනැම ලේඛකයකුට මඟ පෙන්වන්නකි’යි විචාරකයෝ කියති. අතීතය කියා පෑමක් වන මෙහි ජීවිතය හා කලාව පිිළිබඳ ලේඛකයාගේ සිතිවිලි පැහැදිලිි කරයි. අතීත උල්පතකින් පැන නැගුණත් එය සංක්ෂිප්ත ආඛ්‍යාන කාව්‍යයක් බඳු ය. මේ ගැදිය පුරා පැදි මෙන් ම කෙටි පැදි මෙන් ම දිග පැදි ද අතරින් පතර විසිර තිබේ. උපදේශාත්මක උපමා කතා සහ පිරුළු මෙන් ම ගැමි ජන ප්‍රඥාව යටින් දිවෙන කියමන් ද ඒ අතර වෙයි.
පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ සිය හැඳින්වීමේ දි මේ කෘතිය ගැන මෙසේ කියයි:
'මේ පොත තුළ ඔබ ඔබේ ම වූ කිසිවක් සොයන්නේ නම් තමා සතුටු වන බව රසුල් කියයි. එසේ ය. පොතෙන් වැඩිමනතක දී මට මගේ අදහස් සොයා ගත හැකි විය. එහෙයින් මම එය පරිවර්තනය කළෙමි. ඒ තුළ සිංහල පාඨකයනට බොහෝ දේ සොයා ගත හැකි බව මට නිසැක ය. මෙය අපේ පටු මනස් මායිම් බිඳ හෙළා හොඳ ය'යි සිතා සිටින අය සිටින පැත්තේ දුබලතාත්, නරක යයි සිතා සිටින අය සිටින පැත්තේ ප‍්‍රබලතාත් ගැන සිතන්නට අප පොළඹවයි. එහෙයින් මම මෙය පරිවර්තනය කළෙමි.
"ආදරණීය පරිවර්තකය, මා සිටින සැටියෙන් ම සිටින්නට මට ඉඩ දෙන්න. මා වඩා හොඳට හෝ නරකට හෝ නොව ඒ සිටින සැටියෙන් ම පෙන්වන්න"යි රසුල් මගෙන් ඉල්ලා තිබේ. එහෙත් ඔහු අවාර් බසින් කළ නිමැවුම එලෙසින් ම ඔබ අතට පත් කරන්නට හැකි වූයේ ය කියා නොසිතමි. එය අවාර් බසින් රුසියානු බසට ද ඉන් ඉංගිරිසියට ද පෙරැළීමෙන් අනතුරුව ය මෙසේ ඔබ අතට එන්නේ. රසුල් එය දැන සිටි බව මෙය අවසානය දක්වා කියැවූ විට ඔබට වැටහෙනු ඇත. කෙසේවෙතත් කර්තෘට කියන්නට වුවමනා වු දේ ඔබ ලබා ගත් බව නිසැක ව කිව හැකි ය.'
මෙය සාහිත්‍යය නමැති කලාව කෙරේ නැඹුරුවක් ඇති සැම අයෙකුටම අත් පොතක් වනු ඇති බව පරිවර්තක කියයි. එසේම රට ගැන, මිනිසා ගැන කැප වීමෙන් යුතු ව වැඩ කළ යුතු සෑම විෂය ක්‍ෂෙත‍්‍රයකම මිනිසුන්ගේ බුද්ධි ප‍්‍රබෝධනයට මෙය හේතු වනු ඇත.
පරිචෙඡද වෙන් නොකළ මෙහි අංකනය නොකළ කොටස් 14ක් අන්තර්ගත ය. ඒවා පිළිවෙලින් මෙසේ ය: ( සැලකිය: මෙතැන අංක යොදා ඇත්තේ මෙය කියවන අයගේ පහසුව පිණිස මා ය.)
1.පෙරවදනක් වෙනුවට පොදුවේ පෙරවදන් ගැන 2. මේ පොත උපත ලද්දේ කෙසේ ද? 3. මෙය ලියනු ලැබුයේ කොහි දී ද? 4. මේ පොතේ අදහස හා එහි නම ගැන. 5. පොතේ ආෘතිය සහ එය ලිවිය යුත්තේ කෙසේ ද යන්න ගැන 6. භාෂාව 7. තේමා පිළිබඳව 8. ශෛලිය 9. රටාව 10. මේ පොත් ප‍්‍රාසාදය හා වස්තු විෂයය 11. ප‍්‍රතිභාව 12. වැඩ 13. සත්‍යය හා ධෛර්යය 14. සැක
මේ අනුව පොත කවරාකාර ද'යි තීරණය කළ හැකි වනු ඇත. විශේෂය වනුයේ මේ සැමෙකක්ම වෙන් වෙන් කතාංග ලෙස ගැනීමට හැකි වීමයි.
උදාහරණ තුනකි මේ:
මගේ කුඩා ට්සුඩා ගම්මානයේ සිට බුන්සාක් නම් ගම්මානයට දිවෙන මෝටර් රිය මඟකි. දිස්ත්‍රික් මධ්‍යස්ථානය වූයේ එයයි. බුන්සාක් වෙත තාත්තාට කොයි මොහොතක යන්නට සිදු වුවත් ඔහු එය කළේ ඒ පොදු පාරේ යමින් නොවේ. ඔහුගේම කැමැත්තට තෝරා ගත් අඩි පාරකිනි ඔහු ගමන් කළේ. ඔහු එය සොයා සකසා උදේ සවස ප්‍රයෝජනයට ගත්තේය.
එහි වූ චමත්කාර ජනක මල් සොයා ගැනීමේ ද ඒවායින් ඊටත් වඩා චමත්කාරජනක මල් කළඹ සෑදීමේ ද අපූරු සුහුරු බවක් තාත්තාට තිබිණි.
ශීත කාලයේ දී ඔහු මාර්ගය දෙපසෙහි ම මිනිසුන්ගේත් අසුන්ගේත් අසරුවන්ගේත් කුඩා රූ හිමවලින් නිමවා ලී ය. ට්සුඩාවේත් බුන්සාක්හිත් මිනිස්සු මේ රූ අගයන්නට එහි ආහ.
මල් පොකුරු මැළවී ගොස් දිගු කලකි. හිමරූ දිය වී ගොස් දිගු කලකි. ඒත් දගෙස්ථානයේ කුසුම් සහ කඳුකර වැසියන්ගේ ප්‍රතිරූ තාත්තාගේ පද්‍ය තුළ ජීවත් වෙති.
තාත්තා ජීවතුන් අතර සිටි කාලයේ නොමේරූ කොල්ලකු ලෙස බොන්සාක් වෙත යන්නට මට අවස්ථාවක් ලැබිණි. මහමගෙන් හැරී තාත්තාගේ පාරට යන්නට සූදානම් වෙද්දීම ඒ දුටු මහල්ලෙක් මා නවතා මෙසේ කීවේ ය.
"තාත්තා හදාපු පාර අතෑරපං. උඹේ ම පාරක් හොයා ගනිං"
ඔහුගේ උපදෙස පිළිගත් මම තවත් පාරක් සොයන්නට පිටත් වුණෙමි. මා ගිය මාවත ඉතා දිගු මෙන්ම මහත් වංගු සහිතය. එහෙත් මම මගේ ම මල් කලඹට කුසුම් නෙලමින් තවමත් ඒ මාවත දිගේ ම යමි.
මේ පොතේ අදහස මට හමුවන්නේ ඒ මාවත දිගේ යමින් සිටියදී ය."
2.
'වටපිට කඳුකරයෙන් අපේ ගමට බොහෝ පටු අඩි පාරවල් ඇදී එයි හරියටම අර කුඩා දිය පාරවල් සේම ඒවාද අපේ ගමේ දී එකට එකතු වේ. එහෙත් ඔබට ගමෙන් පිටව දිස්ත්‍රික් මධ්‍යස්ථානයට හෝ ළඟම නගරයට හෝ ඉන් එවිට ලෝකයට යන්නට ඕනෑ නම් යන්නට ඇත්තේ එකම එක පුළුල් මාවතක් පමණි.
මා සමාන කර ගත හැක්කේ මාවතකට ද දොළ පාරකට දැයි මම නොදනිමි මා දන්නා එකම දේ නම් කඳුකරයේ සිට එන කුඩා දිය පාරවල් හා වංගු ගැසුණු අඩි පාරවල් අපේ ගමේ දී එකට එක්වීම සොයන්නා සේ මගේ හිතවත් ගම් වැසියන් බොහෝ දෙනෙකුගේ වදන් සේම, මගේ හිතවත් ගම් වැසියන් බොහෝ දෙනෙකුගේ හැඟීම් මා තුළ මුසුවී තිබෙන බවය. මගේ අඩිපාර මගේ මාවත මා ගමේ සිට කාව්‍ය රාජධානියට යොමු කරනු ලැබ තිබේ'
3.
'මේ මොහොතේ සම්මේලනයේ තවත් සාමාජිකයෙක් වේදිකාවට නැගෙයි. ඔහු ප්‍රාණවත් සහ ප්‍රීතිමත් අයෙකි. අනෙක් සියල්ලන්ට වඩා කිසියම් තරමකට යොවුන් පෙනුමකින් යුතු වූවෙකි. පහත පැදියෙහි එන අයගෙන් ඔහුගේ විලාසය වෙනස්ය.
කෙනෙක් සිටගෙන සිටිනා විට
කිව නොහැකිය ඔහු විකල බව
කෙනෙක් නිදමින් සිටිනා විට
කිව නොහැකිය ඔහු අඳ බව
කෙනෙක් අහරක් බුදිනා විට
කිව නොහැක නිබය බව දැමුණු බව
කෙනෙක් නිහඬව සිටිනා විට
කිව නොහැක කිසිවකුට ඔහු සිත."
මගේ දගෙස්තානය මහින්ද සෙනරත් ගමගේ ගේ පරිවර්තනකි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගේ දගෙස්ථානය