පැරිස් පියතුමා: සෑම අහිංසක ක්‍රිස්තියානි මිනිහෙක්ම සෑම අහිංසක ක්‍රිස්තියානි ගෑනියක්ම සතුටුයි සලෙම් ගමේ උසාවියක් ඇතිකරපු එකට! මේ මිනිස්සු විතරයි ඒකෙන් විසප්පු වෙලා ඉන්නේ. (කෙළින්ම ඩැන්ෆෝත් අමතමින්) මං හිතනවා තමුන්නාන්සේ දැනගන්න ඕන ඔය අත්සන් කරපු හැම ගෑනියෙක්ගෙන්ම, හැම පිරිමියෙක්ගෙන්ම, මොකක්ද ඒගොල්ලන්ට තමුන්නාන්සේත් එක්ක තියෙන කෝන්තරේ කියලා.
හාතෝන්: මං හිතන්නේ ඒ හැම කෙනෙක්ම පරීක්ෂාවට භාජනය කරන්න ඕනි සර්.
ඩැන්ෆෝත්: මේක එහෙම එල්ල කරපු පහරක්ම නෙමෙයි මං හිතන්නේ ඒත්.. ,
ෆ්‍රන්සිස්: මේ හැම කෙනෙක්ම ආගම ධර්මයට ලැදී ශ්‍රද්ධාවන්ත ක්‍රිස්තියානි කාරයෝ ස්වාමීනි.
ඩැන්ෆෝත්: එහෙමනම් මට හොඳට විශ්වාසයි ඒගොල්ලන්ට බයවෙන්න හේතුවක් නැහැ නැහැ. (ෂිවර්ට කඩදාසිය දෙයි) මිස්ට ෂිවර් මේ හැම දෙනාටම වරෙන්තු නිකුත් කරන්න. පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගන්න. (ප්‍රොක්ටර්ට) දැන් මිශ්‍ර ප්‍රොක්ටර්, තව මොනවද අපි වෙනුවෙන් තියෙන තොරතුරු?
( ප්‍රන්සිස් තවමත් ගල්ගැසී බලා සිටී)
ප්‍රැන්සිස්: මං මේ මිනිස්සුන්ව අමාරුවේ දැම්මා. මං-
ඩැන්ෆෝත්: නැහැ මනුස්සයෝ ඒගොල්ලන්ට යහපත් හෘදි සාක්ෂියක් තිබෙනවා නම් මොන විදිහකින්වත් ඔවුන්ට තමුන්ගෙන් හානියක් වුණා කියලා කියන්න බෑ. ඒත් තමුන් මෙතන තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා තියෙනවා. ඕනෑම පුද්ගලයෙක් එක්කෝ උසාවියත් එක්ක එකට ඉන්න ඕනෑ. එහෙම නැත්නම් මේ උසාවියේ විරුද්ධ කාරයෙක් විදියට සැලකෙන්න ඕනෑ. අතරමැද පාරවල් මෙතන නැහැ. මේක ඉතා තීරණාත්මක මොහොතක්. අතිශය තීරණාත්මක මොහොතක්. යහපත් ගුණධර්ම සමග කුරිරු පාපයත් අනර්ථයත් කල්ලි ගැහිලා. ලෝකයා මුලා කරපු ඒ අඳුරු හැන්දෑවෙ නෙවෙයි අපි දැන් ජීවත් වෙන්නේ. බැබළෙන සූර්යයා, දෙවියන් වහන්සේගේ මහා කරුණාවෙන් අහස් තලේ විරාජමාන වෙලා ඉන්නවා. ආලෝකයට බය නැති කවුරුත් ඒ සූර්යයාට ප්‍රශංසා කරනවාට සැකයක් නෑ . තමනුත් එයින් එක්කෙනෙක් කියලයි මං විශ්වාස කරන්නේ. (මේරි වරන් හිටි හැටියෙම ඉකි බිඳින්නට පටන් ගනියි.) එයාට ඔරොත්තු දෙන් නෑ මට පේන විදියට.
ප්‍රොක්ටර්: ඔව් ඔරොත්තු දෙන්නේ නැහැ ස්වාමීනී, මේරිට- ඈ වෙත නැවෙමින්. ඇගේ අත අල්ලාගෙන සන්සුන්ව) දැන් මතක් කර ගනින් රෆායෙල් දෙව් දුව නොබියාස් කොලුවාට කියපු දේ. අන්න ඒක මතක් කර ගනිං.
මේරි වොරන්: (කනට ඇහෙන නෑහෙන ගානට) ඔව්.
ප්‍රොක්ටර්: 'යහපතක්ම කරනු කිසිදාක නුඹට හානියක් නොවනු ඇත.'
මායා බන්ධන යනු අමෙරිකානු නාට්‍යවේදී ආතර් මිලර් (1915 - 2005) විසින් 1953 දී රචිත The Crucible නම් නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. Crucible යන්නට අරුත් කිහිපයක් තිබේ. තියුණු පරීක්‍ෂණය, නොඑසේනම් පරීක්‍ෂණදාමය යන ඒවා ද එහි අරුත්වේ. එයට දේශපාලනය ද සම්බන්ධ බව අර්ථයට එකතු කෙරී ඇත. මේ නාට්‍යය පුරා දැකිය හැක්කේ එවැනි පරීක්‍ෂණ සන්තතියකි. මේ නාට්‍යය දෘෂ්ටාන්තයක් (allegory) ලෙස හැඳින්වේ. සරල ව ගතහොත් දෘෂ්ටාන්තයක් යනු යටිපෙළ කියැවීමක් ඇති කෘතියකි. කවරාකාර හෝ නිර්මාණාත්මක කෘතියක් කියැවීමේ දී, ඇසීමේ දී, දැකීමේ දී මෙන්ම නැරඹීමේ දීත් අපි නිර්මාණකරුවා ඉදිරිපත් කරන කතා න්‍යාසය සහ එහි චරිත මෙන් ම පසුබිම ද අපේ අත්දැකීමක් කැර ගනිමු. එහෙත් නිර්මාණකරු ඉදිරිපත් කරන දැයට යටින් ඊට වඩා යමක් තිබේ. බොහෝවිට එය දේශපාලනික ය. වෙනත් ආකාර නිර්මාණවලට වඩා වේදිකා නාට්‍යවල මේ ලක්‍ෂණය දක්නා ලැබේ. එසේ ම මේ නාට්‍යය පාර්ශ්වික වශයෙන් පරිකල්පිතයක් ( partially fiction) සහ නාට්‍යයක් බවට පත් කරනු ලැබූ අතීත සිද්ධියකි.
ආතර් මිලර් මෙය රචනා කරන්නේ එවක අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති දේශපාලන තත්වය විවේචනය කිරීම සඳහා බව ප්‍රකට ය.
අමෙරිකා එක්සත් ජනපදය කවදත් උග්‍ර කොමියුනිස්ට් භීතිකාවකින් පෙළෙන බව ප්‍රකට කාරණයකි. සෝවියට් සංගමය පැවැති සමයේ එය දැඩි සෝවියට් විරෝධයක් හා භීතියක් විය. ප්‍රථම ලෝක යුද්ධය අවසන් වූ පසු ‘පළමුවන රක්ත භීතිකාව’ (1st Red Scare) පැවැති අතර දෙවන ලෝක සංග්‍රමය අවසන් වු පසු ‘දෙවන රක්ත භීතිකාව’ (2nd Red Scare) පැවැතිණි. මේ දෙවන රක්ත භීතිකාවේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ සෙනෙට් සභික ජෝ මැකාර්ති ය.
1950 ඇරැඹි දශකයේ සෝවියට් දේශය බොහෝ ප්‍රගතියක් අත්පත් කැරගත් බව වාර්තා විය. අමෙරිකාවේ කොමියුනිස්ට් පක්‍ෂයක් පැවැති අතර එයට සාමාජිකයන් බැඳීම වර්ධනය විය. කොමියුනිස්ට් ක්‍රමයට පක්‍ෂපාත ෆෙඩරල් නිලධාරීන් ඉන් වැළැක්වීමට ජනාධිපති ටෲමන් 1947 දී විධායක නියෝගයක් අත්සන් තැබී ය.
ජෝ මැකාර්ති කොමියුනිස්ට්වාදයට නැඹුරු දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුචක් සකස් කොට ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළේ ය. මේ චෝදනා මැකාර්තිගේ ප්‍රධානත්වයෙන් යුත් සෙනෙට් කමිටුවක් මගින් විභාග කොට වරදකරුවන් වූ අයට දඬුවම් කරන ලදී. සාක්‍ෂි තිබුණේ නැත. චෝදනා හුදෙක් හිතලු පමණක් විය. එහෙත් තර්ක බලවත් විය. හරියට ජෝර්ජ් ඔවෙල්ගේ ‘1984’ කෘතියේ මෙනි.
පූර්වෝක්ත සිද්ධිය නම් 1692 පෙබරවාරි සිට 1693 මැයි දක්වා කාලය අතරතුර අමෙරිකාවේ මැසචුසෙට් බේ කොලනියේ සලෙම් නමැති ග්‍රාමයේ පැවැති අපූරු නඩු විභාගයකි.
ඒ ගමේ පැරිස් නම් කිසියම් ක්‍රිස්තියානි නිකායක පූජකයෙක් වෙයි. නාට්‍යය ඇරඹෙන්නේ ඔහුගේ දියණිය වන බෙටී සිහි මුර්ඡා වන අසනීපයකින් පෙළෙන අවස්ථාවකිනි. පූජක තැන අනාවරණය කරන පරිදි බෙටී සහ තවත් දැරියන් කිහිප දෙනෙක් අසල වන ලැහැබක යක්ෂයා වෙනුවෙන් පුද පූජා පවත්වමින් නැටුමක යෙදී සිටිනු ඔහු දිටී ය. නැටුම මෙහෙයවන ලද්දේ ටිටුබා නමැති වහලිය විසිනි. ඇය යක්දෙස්සියක් ලෙස දැරියන් ඊට පොලඹවා ඇත. මේ කාරණය සම්බන්ධයෙන් දෙආකාර විමර්ශන පැවැත්වේ. එකක් වනුයේ හේල් නම් වෙනත් මීසමක ජ්‍යෙෂ්ඨ පූජකයකු පවත්වන ආගමික විමර්ශනයයි. දෙවැන්න ඩැන්ෆෝත් නම් උප නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අධිකරණය පරීක්‍ෂණයයි.
ඒ අධිකරණය තීන්දු දෙන්නේ සාක්ෂි විමසා වන නමුත් ඒම සාක්ෂි හුදෙක් නටකතා මත පදනම් වූ තර්ක පමණි. වරදකරුවන් ලෙස අනාවරණය කැර ගන්නා ඇතැම් අයට මරණ දඬුවම පවා නියම කරන්නට බලයක් ඒ අධිකරණයට තිබේ.
මේ ගමේ වෙසෙන ජෝන් ප්‍රොක්ටර් නමැත්තා ආගමට එතරම් ලැදිකමක් ඇත්තකු නොවේ. ඔහු පල්ලියට එන්නේ ඉඳහිට වන අතර එම චරියාව පූජකවරුන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත. හේල් පියතුමා විමසන කල ඔහුට දස පනත හරියට කියා ගත නොහැකි ය' ‘කාමමිත්‍යාචාරයේ නොයෙදෙව’ යන සත් වන පනත ඔහුට මග හැරේ. එය සිහිපත් කැර දෙන්නී බිරිඳ එලිසබෙත් ය. ඇත්තටම ඔහු කාමමිත්‍යාචාරයේ යෙදී ඇත. ඒ කැලයේ නටන කෙල්ලන්ගෙන් එකියක වන අබිගේල් සමග ය. නාට්‍යය ආරම්භයේ දී ම ප්‍රෙක්‍ෂකයාට එ බව දැකගත හැකි ය. එහි දී තරුණිය තමාත් ඔහුත් අතර තිබූ සම්බන්ධය දිගට ම පවත්වාගෙන යමු’යි යෝජනා කරතත් ඔහු එය ප්‍රතික්‍ෂෙප කරයි. මේ සම්බන්ධතාව ගැන එලිසබෙත්ට ද කිසියම් ඉවක් ඇත. ජෝන්ගේ පාපෝච්චාරණයෙන් ඇය ඒ බව නිශ්චිතව ම දැන ගන්නීය.
එකේකාගේ සාක්ෂි මත මායා කාරියන් ය යන චෝදනාව අනුව ගමේ වෙසෙන වැදගත් ය'යි සම්මත ස්ත්‍රී පුරුෂයන් අත්අඩංගුවට ගෙන නඩු විමසා දඬුවම් නියම කිරීම දිගටම කෙරීගෙන යයි.
පාපෝච්චාරණය ප්‍රතික්‍ෂෙප කරන අයට මරණ දඬුවම නියම කෙරේ. එලිසබෙත් ද අත්අඩංගුවට ගැනේ. ඇයට ද මරණ දඬුවම නියම කෙරෙන නමුත් ඒ වනවිට ඇය ගැබිනියක් වන හෙයින් එය කල්දැමේ.
මේ අතර තරුණියෝ විනිසුරන් ඉදිරියේ මායා බන්ධනය මවා පාති. ජෝන් ද අත්ඩංගුවට පත් වේ. ඇබිගේල් නමැති ගැහැනිය පහත් චරිතයක් ඇත්තියක බවත් ඇය කියන්නේ බේගල් බවත් තමා ඇය සමග කාමමිත්‍යාචාරයේ යෙදී ඇති බවත් ජා්න් කියයි. එහෙත් විනිසුරන් එය සලකන්නේ පරීක්‍ෂණ නොමග යැවීම පිණිස කියන බොරුවක් ලෙස ය. මේ පිළිබඳව සිය බිරිඳගෙන් විමසන ලෙස ඉල්ලා සිටින ඔහු ඇය ඒ කාරණය දන්නා බවත් තමා කිසිදා බොරුවක් නොකියන ඇය තමාගේ කීම සනාථ කරනු ඇති බවත් පවසයි.
එවිට විනිසුරෝ තමන් හමුවට ඇය කැඳවති. ඇය රැගෙන එනු ලබන්නේ බරැති යදමින් විලංගු ලා ය. ජෝන්ට ඇය දෙස නොබලා අනෙක් පසට හැරෙන්නට නියම කරන විනිසුරෝ ඇගෙන් ඒ කාරණය විමසති. සිය ආදරණීය සැමියාගේ ගෞරවය ආරක්‍ෂා කරනු රිසින් ඕ එවැන්නක් නැත’යි ප්‍රතික්‍ෂෙප කරන්නී ය. ජෝන් ප්‍රොක්ටර් කියන්නේ බොරු බව විනිසුරෝ ඒ අනුව තීරණය කරති.
ඔහුගේ පාපෝච්චාරණය ලියා දෙන ලෙස නියම කෙරේ. පාපොච්චාරණ ගැනීමේ දී එය ලියන්නට නියම කිරීම සාමාන්‍ය ක්‍රමය නොවන බව ජෝන් පවසයි. එලෙස ඉල අන්‍යයන්ට ආදර්ශයක් වනු පිණිස විනිශ්චය ශාලාවේ දොරේ අලවන්නට බව එවිට අනාවරණය වෙයි. ඊට විරෝධය පළ කරතත් ඔහු එය ලියයි. අත්සන් කරන ලෙස ද දැන්වේ. විරෝධය පළ කරතත් ඔහු එය ද කරයි. එහෙත් ඔහු කඩදාසිය විනිසුරන්ට නොදී ඉරා දමයි. ඔහු කියන්නේ තමා විනිසුරන් ඉදිරියේ පාපොච්චාරණය කරන ලද හෙයින් තමා නිදොස් විය යුතු බවයි. එහෙත් එය පිළි නොගන්නා විනිසුරෝ ඔහු එල්ලා මරන්නට නියම කරති.
පැහැදිලිව ම මෙය ඒක පාර්ශ්වික නඩු විභාගයකි. මැකාති කමිටුව එක්දහස් නවසිය පනස් ගණන්වල කරන්නේ ද එවැනිම දෙයකි. මිලර් 17වන සියවසේ ඇත්තටම වු සිද්ධියක් වේදිකාවට ගෙන එන්නේ ඒ කාරණය ගැන සිය විරෝධය පළ කරන්නට ය.
සලෙම් ගම්මානයේ අපූරු නඩු විභාගය ඇසුරින් මිලර්ට පෙර ද නාට්‍ය නිපදවා තිබිණි.
එක්සත් ජනපදයේ පිටුවහල්ව සිටි ජර්මානු-යුදෙව් නවකතාකරුවෙකු සහ නාට්‍ය රචකයෙකු වු ලයන් ෆියුච්ට්වැන්ගර් මැකාති කමිටුව විසින් වාමාංශික බුද්ධිමතෙකු ලෙස සැක කොට චෝදනා කරන ලදී. 1947 දී, ෆියුච්ට්වැන්ගර් කොමියුනිස්ට්වාදීන්ට හිංසා පීඩා කිරීම සඳහා උපමාවක් ලෙස, සේලම් නඩු විභාගය අළලා Wahn oder der Teufel in Boston (බොස්ටන්හි පිස්සුව නොහොත් යක්ෂයා) නම් නාට්‍යය ලිවීය. එහි මංගල දර්ශනය 1949 දී ජර්මනියේ පවත්වන ලදී. එහි ඉංගිරිසි පරිවර්තනය The Devil in Boston යන නමින් 1953 දී ලොස් ඇන්ජලීස් හි වේදිකා ගත කරන ලදී. ආතර් මිලර් ආශාෂය ලබන්නට ඇත්තේ එයින් බව පැවසේ. කෙසේවෙතත් මෙය ස්වතන්ත්‍ර නිර්මාණයක් බව සැලකුව මනා ය.
එසමයේ ‘අමෙරිකානු විරෝධී ක්‍රියාකාරකම් පරීක්‍ෂා කිරීමේ කොන්ග්‍රස් කමිටුව’ නම් කමිටුවක් පිහිටුවා තිබිණි. 1956 දී එම කමිටුව විසින් ආතර් මිලර් තමන් හමුවට කැඳවා කොන්ග්‍රස් සභාවට අපහාස කිරීමේ චෝදනා එල්ල කොට දෝෂාරෝපණය කරන ලදී. එහෙත් දඬුවම් නියම කරනු නොලැබී ය. ඒ ඔහු කලාකරුවකු නිසා ය.
රජයේ සැලකිල්ල එසේ වුව ද, අමෙරිකානු සමාජය විසින් මේ නාට්‍යය සාදරයෙන් පිලිගන්නා ලදී. එය 1953 වසරේ හොඳම නාට්‍යයට හිමි ටෝනි සම්මානය දිනා ගත්තේ ය. පසුව එය අමෙරිකානු සම්භාව්‍ය නාට්‍ය ගණයට ඇතුළත් කරනු ලැබිණි.
ඒ නාට්‍යයේ යටිපෙළ සහ පසුබිමත් පසු -කතාවත් එපරිදි ය. මැකාර්තිස්ම් අද නැත. එහෙත් එමගින් ශේෂ කළ දෑ අදත් අමෙරිකානු රාජ්‍ය පාලනය තුළ දැකිය හැකි ය.
ඒ අනුව The Crucible අදටත් වැදගත් කමකින් යුත් නාට්‍යයක් සේ හැඳින්විය හැකි ය.
ගාමිණී වියන්ගොඩගේ කෘතියක් වන ‘මායා බන්ධන’ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් 2009 වසරේ ප්‍රථම වරට එළි දක්වන ලදී. මේඑහි කංචුකයයි.
පැරිස් පියතුමා: සෑම අහිංසක ක්‍රිස්තියානි මිනිහෙක්ම සෑම අහිංසක ක්‍රිස්තියානි ගෑනියක්ම සතුටුයි සලෙම් ගමේ උසාවියක් ඇතිකරපු එකට! මේ මිනිස්සු විතරයි ඒකෙ
නිසල කඳු ලෙස සිංහලෙන් නම් කරනු ලැබ ඇති මේ පොතේ මුල් නම A Pale View of Hills ය. එහි නියම අරුත ’කඳුවල අඳුරු දසුනක්’ නොඑසේ නම් ’කඳුවල අදීප්ත දසුනක්’ යන්නයි. ඒ කියන්නේ කඳ
‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය.
“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.
අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.
මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මායා බන්ධන - The Crucible