තනිශකි ජුන්ඉචිරෝ
එක්ව වසන්නට ගිවිසගෙන එක වහලක් යට එක්තැන් වන ගැහැනු සහ මිනිස්සු ලෝකාස්වාදරතියේ යෙදෙති. රතිය ද ආස්වාදය ද එකසේ ප්‍රමුඛ ය. එකක් අනෙකට දෙවැනි තැනෙක ලිය නොහැකි ය. ආස්වාදය, තෘප්තිය අන්ත කැර ගනියි. රතියෙන් ආස්වාදය ද ආස්වාදයෙන් තෘප්තිය ද මිනිස්සු සොයති. 'මිනිස්සු' කියන්නේ ගැහැනු සහ පිරිමි දෙකාට්ඨාසය ම ය. මෙතැන දී ආස්වාදය පෞද්ගලික වුවත් තෘප්තිය ගනුදෙනුවකි.
ලෝකාස්වාද රතියෙන් තෘප්තියක් නොලැබෙන්නේ නම් කුමක් කළ හැක්කේ ද? විකල්ප දෙකක් තිබේ. එක හැර යාම ය. දෙක ඉවසා දරා ගෙන සිටීම ය.
මගේ මතකය අවදි කරවන, යතුර යන අරුත් ඇති 'කගි' නම් ජපන් නවකතාවේ එන්නේ එසේ අතෘප්තියෙන් දිව විකාගෙන එකට ජීවත්වන ජපන් අඹුසැමි යුවළකගේ කතාවකි.
'එකල මට තිවුනු ලොකුම කනගාටුව නම් ඔහු මා තෘප්තිමත් නොකිරීමයි. ඔහුගේ දුබලකම්වලට චෝදනා කරනවා වෙනුවට මං මගේ සරාගික බව ගැන ලජ්ජාවට පත්ව සිටියා. ඔහුගේ ශක්තිය පිරිහෙමින් පැවැතීම ගැන මට කනගාටුවක් දැනුණා. මා ඔහුට දොස් කියනවා වෙනුවට ඔහුට ඉඩ සලසන්න හැකිතාක් දුරට උත්සාහ ගත්තා.'
'ඒ විදියට ඔහු මා ගැන කල්පනා කිරීමේ වරදක් නෑ කියල මට හිතෙනවා. මගේ මවුපියන් මට කියා දිල තිවුණෙ ගැහැනිය නිසඟයෙන් ම නිශ්ශබ්ද, ලජ්ජාශීලි කෙනෙක් විය යුතුයි කියලයි. ඇය කිසි විටෙකත් සැමියා සමග හරි හරියට කලහකාරී විදියට හැසිරෙන්නෙ නෑ. මං රාගාසාවෙන් හීන ගැහැනියක් නොවෙයි. මගේ සාමාන්‍ය ස්වරූපය වුණේ සංවාසයේ යෙදෙන විට කාම රතිය ආරම්භයේ දී නිසල ව පවතින ගිනි කන්දක් මෙන් විදාරණය වන්නට පටන් ගැනීමයි. එවිට ඇතිවන ලාවා පිට කරන්නට මා උත්සාහ ගන්නවා. මගේ සැමියාට වටහා ගන්නට බෑ ආරම්භයේ දී මා වෙතින් දිස්වන උදාසීන බව කුමක් ද කියා. ගිනි කන්දකට සන්සන්දනය කළා නම් වැටහෙන්නට තිවුණා. එහි සැබෑ තේරුම යටපත් ව පවතින කාමෝන්මාදයයි.
අපේ විවාහය බරපතළ අත්වැරැද්දක්. මවුපියන්ට අවශ්‍ය වූ නිසා මා ඔහු සමග විවාහ වුණා. විවාහ වුණු අලුත මා සිතුවේ විවාහ ජිවිතය ඒ වාගේ කියලයි. තෘප්තියක් ගැන දැන සිටියේ නෑ. ඒත් මට දැන් තේරෙනවා මට හිමි වුණු මිනිහා සම්පූර්ණයෙන් ම මා සමග නො සැසඳෙන්නෙක් බව. ඒත් ඔහු මගේ නිත්‍යනුකූල සැමියා නිසා මට ඉවසන්නට සිදුව තිබෙනවා. මට දරා ගන්නට බැරි ඒකයි. මට මෙන් ම ඔහුටත් සුදුසු පංගුකාරයෙක් කොහේ හරි සිටිය යුතුයි. එවිට අපට අවශ්‍ය ආකාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදිය හැකියි.'
'සමහරවිට ඔහු මා නොඉවසිලි සහගත තත්වයකට පොලඹවනවා. ඒ මානසිකත්වය දැන්නම් හුරුයි. අපේ විවාහයේ පළමු රැයේ දී ම - බොහෝ කලකට ඉහත හනිමූන් රාත්‍රියේ - එකී තත්වයට මා මුහුණ දුන්නා. ගන කාච ඇති උපැස් යුවළ ගැල වූ පසු ඔහුගේ මුහුණ දැකීමෙන් මා තැතිගත් අයුරු මට තාම මතකයි.'
කෙසේවෙතත් පසු කලෙක, සිය දියණිය ඇසුරු කරන කිමුර නම් තරුණයා ඉදිරියේ ඇගේ කය ද සිත ද පිබිදෙයි. ඇය ඔහු ඉදිරියේ ඇඳිවත උනයි.
‘යතුර’ ජපන් ලේඛක තනිශකි ජුන්ඉචිරෝ (1886 - 1965) විසින් 1956 වසරේ රචනා කරන ලද ‘කගි’ නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි.
ජුන්ඉචිරො නවකතා 20ක්, නාට්‍ය කිහිපයක් සහ සාහිත්‍යය පිලිබඳ විමර්ශන කෘති දෙකක් ලොවට දායාද කළ කෘතහස්ත ලේඛකයෙකි. 1964 වසරේ නොබෙල් ත්‍යාගයට යෝජනා කැරුණු නම් පහකින් යුතු කෙටි ලැයිස්තුවට ඔහුගේ නම ද ඇතුළත් විය. ඔහුගේ අභාවය සිදු වු 1965 වසරේ සිට ජපානයේ ප්‍රකට පැරණි ප්‍රකාශන සමාගමක් වන චඋකරොන් ෂින්ෂා විසින් ඔහු අනුස්මරණය කරනු වස් ජුන්ඉචිරො සාහිත්‍ය ත්‍යාගය පිරිනමනු ලැබේ.
ජුන්ඉචිරො හැඳින්වීම පිණිස පරිවර්තක විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති දීර්ඝ ප්‍රස්තාවනාවෙන් ගත් උධෘතයකි මේ.
'තනිශකිගේ නවකතාවල එක් ලක්ෂණයක් නම් අඳුර ප්‍රිය කරන ආකාරයේ චරිත ගොඩ නැගීම ය. බොහෝ වැදගත් දෑ සිදු වන්නේ රාත්‍රිකාලයේ ය. "මුසෂි ස්වාමිවරයාගේ රහස්‍ය ඉතිහාසය" (Bushukō hiwa), "අෂිකරි" (Ashikari), "ෂිගෙමොතො ජනරාල්ගේ මව" (Shōshō Shigemoto no haha), මෙන් ම මේ කියවන්නට යන ‘යතුර’ වැනි නවකතාවල ඒ ලක්‍ෂණය ප්‍රමුඛ ව දැකිය හැකි ය. ‘අන්ධ මිනිසකුගේ කතාවක්’, ‘ෂුන්කින් ආලේඛ්‍යය’(Shunkinshō), ‘පරණ කතන්දරයක සටහන්වලින්’ යන නවකතාවල කථකයා වන්නේ අන්ධයෙකි. ‘උමතු මහල්ලකුගේ දින සටහන්’ (Fūten rōjin nikki) නවකතාවේ පාඨකයා අන්ධයකු නොවුණත් ඔහු අසූවක තරම් වයසේ සිටින කෙනෙකි. ඔහුගේ ඇස්වල පෙනුම දුබල ය
ඒ අනුව ඔහුගේ නවකතාවල කතන්දරයේ විනිවිද ගිය හෙවණැල්ලක් දැකිය හැකි ය. ‘මකිඔක සහෝදරියෝ’ (Sasameyuki) නවකතාවේ හිරු එළිය ගෙට ඇතුළු වන්නේ මඳ වශයෙනි. මෙහි සහෝදරියන් සිවුදෙනා ඉපදුනේත් ඇති දැඩි වන්නේත් වෙන වෙනම වන අතර පසුව ඔවුන් ජීවත් වන්නේ අඳුරු නිවෙසක ය.
කෲරත්වය පිළිබිඹු කෙරෙන සුන්දරත්වය තනිශකි අගය කළේ ය. ඔහු විශ්වාස කරන ආකාරයට කෲරත්වය තුඩු දෙන්නේ මිනිසාගේ යටිහිතේ හැඟීම් විනාශකාරී වීම ය. කාන්තාවන්ගේ සුන්දරත්වයේ පූර්ණ පිබිදීම සිදුවන්නේ ඔවුන් පුරුෂයන්ගේ අගැයීමට ලක්වීමෙන් පසුව ය. එසේ නැතහොත් කාන්තාවන්ගේ යටිහිත ස්වභාවයෙන් ම නපුරු ය. පුරුෂයන් ද ඔවුන් ආදරය කරන කාන්තාවන් විසින් හෙළා දකිනු ලැබුවහොත් කිසිදා තෘප්තිමත් වන්නේ නැත.
යතුර නම් මෙම නවකතාවේ ඇත්තේ ප්‍රධාන වශයෙන් චරිත දෙකකි. ඒ 55 හැවිරිදි මහාචාර්යවරයෙක් සහ ඔහුට වඩා 11 අවුරුද්දකින් බාල ඔහුගේ බිරිඳ වන ඉකුකො ය. සැමියා දිනපොතක් ලියන අතර එය ලාච්චුවක දමා අගුලු දමා යයි. බිරිඳ එය දනියි. දවසක් ඔහු යතුර බිම වැටන්නට හැර එතැනම තිබිය දී පිටව යයි. බිරිඳ එය කියවා බලම්දෝ නොබලම්දෝ යන දෙගිඩියාවෙන් සිටින්නී ය. දිනපොතේ තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයයි. විශේෂයෙන් ම බිරිඳ ගැන හා ඔවුන් දෙදෙනා අතර රමණයේ තොරතුරුයි. තමා කෙමෙන් බෙලහීන වෙමින් සිටින බව මහාචාර්යවරයා දිනපොතේ සටහන් තබයි.
ඉකුකො එසමයේ පැවැති සදාචාර සීමාවන් තුළ සිය සැමියා අබිමුව වුව නිරුවතින් සිටිනු නොකැමැත්තියකි. එහෙත් මහාචාර්යවරයා සිය බිරිඳගේ නිරුවත් රුව නරඹා සතුටු වන්නට සහ ඇගේ පා සිඹින්නට කැමති ය. මෙය කිසියම් ආකාරයක විකෘති කාමයක් ය'යි කෙනෙකුට කෙසේවෙතත් ඔහු අධික ලෙස ආසාවෙන් පෙළෙන්නකු වුව ද මෛථුන්‍ය සේවනයේ අසමර්ථයෙකි. එහෙත් බිරිඳ එසේ නොවේ. ඇය දැන් සිය සැමියා විසින් ම උත්කර්ෂයට නංවනු ලැබ කාමසේවනයෙන් තෘප්තියක් ලැබීමේ නොහිම් ආසාවෙන් පෙළෙන්නී ය.
මේ අතර ඉකුකො ද දිනපොතක් පවත්වාගන යන්නී ය. අපට කියවන්නට ලැබෙන්නේ ඇය තබන සටහන් ය. ඇගේ සිතේ ඔහු කෙරේ ආදරයක් මෙන් ම පිළිකුලක් ද ඇත. උපැස් පළඳින්නකු වන සිය සැමියා රෑ සයනයේ උපැස් ගලවා රමණයට එළැඹුණු මුල් දවස්වල තමාට ඔක්කාරයට ආ බව ඇය සිය දිනපොතේ සටහන් තබා ඇත.
දෙදෙනාම කියා සිටින්නේ තම සටහන් එකිනෙකාගෙන් රහසිගතව තබා ගැනීමට සහ ඔවුන්ගේ ලිංගික ජීවිතයේ දුෂ්කරතා ගැන අතෘප්තිමත් බව පළ කරන්නට අවශ්‍ය බවයි: ඇය ඇගේ සැමියාට තමා තෘප්තිමත් කරන්නට ඇති නොහැකියාව ගැන, ඔහු ඇගේ තෘප්තිමත් නොවන බව ගැන, ඇගේ පැරණි තාලයේ ආකල්ප සමග මුහු වුණු තමාගේ ලිංගික ආදර ජනන ඕනැකම් ප්‍රතික්ෂේප කිරීම ගැන. ඔහුට රිසි පරිදි ඒ ඕනෑකම් ක්‍රියාත්මක කරන්නට ඇය ඉඩ දෙනවා නම්, ඇයට ද ඇගේ ආශාවන් ඉටු කර ගත හැකි බවයි ඔහුගේ අදහස.
තමාගේ දින පොත අනෙකා කියවන්නට ඇතැයි යන අදහස දෙදෙනා තුළම තිබේ. සැමියා, අවශ්‍ය නම් එය බිරිඳ කියෙව්වාට වරදක් නැත'යි සිතන බව පෙනෙන නමුත් බිරිඳ නම් එය ඔහුගෙන් සහ දියණියගෙන් වසං කරන්නට හැකි සෑම උත්සාහයක් ම දරන බව පෙනේ.
ඉකුකො ද කිසියම් අසනීපයකින් පෙළෙන්නී ය. වරින්වර සිහි මුර්ඡා වීම ඇගේ රෝගයයි. ඊට හේතුවක් හෝ පිළියම් හෝ කිසිවකු දන්නේ නැත.
ඉකුකො සිය දියණියට ඊර්ෂ්‍යා කරයි. ඊට නිශ්චිත හේතුවක් නැත. සමහරවිට ඇගේ සිතේ සිටින කඩවසම් පුරුෂයාගේ පෙම්වතිය ඇය වීම නිසා විය හැකි ය. ඒ අතර මහාචාර්යවරයා ඉකුකොට ඊර්ෂ්‍යා කරයි. එය ඇත්තට ම ඊර්ෂ්‍යාව ම නොවේ. මාත්සර්යයි. (envy) ඒ ඇගේ නග්න රුවේ නිරූපිත සුන්දරත්වය සහ කාමුක බව නිසා ය.
මේ අතර කිමුර නම් තරුණයෙක් ඔවුන්ගේ දියණි තොශිකො ගැන උනන්දු වෙයි. ඇගේ ඔහුට එතරම් මනාපයක් නැත. ඔහු නිතර ඔවුන්ගේ නිවෙසට පැමිණෙයි. එවිට දියණිය කරන්නේ අධ්‍යයන අවශ්‍යතා පිණිස ය කියමින් මවුපියන්ගේ ද එකඟත්ව ඇතිව පිට තැනක නවාතැන් ගන්නට යාමයි. එහෙත් කිමුර දිගට ම ඇගේ දෙගුරුන් බැහැ දකින්නට එළැඹෙයි. තමා කිමුර වුණා නම් තෝරා ගන්නේ දුව නොව අම්මා බව මහාචාර්යවරයා වරක් සිය දිනපොතේ සටහන් තබයි.
දවසක් මහාචාර්යවරයා කිමුර ලවා කැමරාවක් ගෙන්වා ගනියි. එය පොලරොයිඩ් කැමරාවකි. එයින් සිය බිරියගේ නිරුවත් ඡායාරූප ගන්නා නමුත් මුද්‍රිත පිටපත් ලබා නොගන්නා ඔහු කැමරාව ආපසු කිමුරට දෙයි. කිමුර ඒවායින් පින්තුර ලබා ගෙන ඒ බව ඉකුකොට කියයි.
මේ අතර මහාචාර්යවරයා සිය බෙලහිනතාවට පිළියම් ලෙස සිය වෛද්‍යවරයා ලවා කිසිියම් ඔසුවක් නික්ෂේප කරවා ගනි. එයින් ඔහු ලෙඩ ඇඳට වැටේ.
ඉකුකො සහ කිමුර අතර සබඳතාවක් ඇති වෙයි. රෝගියා නින්දට වැටුණු පසු ඇය නිවෙසින් පිටතට අවුත් කිමුර හා සම්භෝග සුව විඳ ගෙට යයි. දියණිය මේවා දනියි. අම්මා සහ කිමුර අතර පවත්නා සබඳතාව ගැන ඇය පියා සමග කියයි. දුව මවගේ දිනපොත හොරෙන් ගෙන තාත්තා ඉදිරියේ කියවයි.
නොබෝ දිනෙකින් මහාචාර්යවරයාගේ රෝගය ආඝාතය බවට පෙරැළේ. එය අසාධ්‍ය වෙයි. ඔහුු මාස කිහිපයක් එසේ සිට මියයයි. අවසන් කටයුතුවලින් අනතුරුව ඉකුකො සැමියාගේ දිනපොත ගෙන තමාගේ දිනපොත සමග සසඳමින් කියවයි.
ගුප්ත චරිතයක් ඇති මේ මහාචාර්යවරයා දැන දැනම එහෙත් අහම්බෙන් වාගේ සිය දින පොත ඇති ලාච්චුවේ යතුර බිරිඳට හසු වන්නට දමා යන්නේ ඇයි? ඔහුට අවශ්‍ය ඒ යතුරෙන් බිරිඳට සිය හද දොරගුලු විවෘත කැර ගන්නට අවස්ථාව සලසා දෙන්නට බව පාඨකයාට පසුව පසක් වෙයි.
මෙය හුදෙක් කාම කතාවක් නොවේ. එකොළොස්වසරක වයස් පරතරයක් ඇති යුවළක පුරුෂයා බෙලහීන වීමෙන් පසු මුහුණ දෙන ගැටලුව විග්‍රහ කරන මනෝ විශ්ලේෂණාත්මක කතාවක් අන්තර්ගත අගනා කෘතියකි.
මේ කතාවේ අවසානය ද අපූරු ය. 'කිමුරගෙ සැලසුමට අනුව, මිය ගිය පුද්ගලයා වෙනුවෙන් සෝක වන කාලය අවසන් වුණාට පස්සෙ, තොෂිකො ඔහු හා විවාහ වේවි. ඈට යම් පරිත්‍යාගයක් කරන්නට වෙයි. අපි තුන් දෙනාට මෙහේ එකට ජීවත් වන්න සිදුවෙයි. ඒකයි කිමුරගෙ අදහස'
මේ කෘතිය 1959 සිට 2022 දක්වා විවිධ අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකු අතින් සිනමාවට නැගී තිබේ. ඒ අතර ප්‍රකට මෙන් ම ආධුනික ද දේශීය මෙන් ම විදේශීය ද සිනමාකරුවෝ වෙති.
‘යතුර’ මුල් ජපන් කෘතියෙන් ඍජු වැ ම සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ආචාර්ය කුලතිලක කුමාරසිංහයන් විසිනි.
තනිශකි ජුන්ඉචිරෝ ගැන විස්තරයක් මේ කෘතිය ආරම්භයේ දී අපට කියවන්නට ලැබේ. එසේම කතාව කියවා අවසන් කළ පසු කියවන්නට 'වර්තමාන ජපන් ප්‍රබන්ධ කතා සාහිත්‍යය හා සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යය' යන මැයෙන් යුතු පර්යෙෂණාත්මක නිිබන්ධයක් ද ඇතුළත් ය. එය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'සිංහල නවකතාව සහ ජපන් කාම කතා සෙවණැල්ල' නම් කාතියේ මත සමග සම්පාත වන විමසීමකි. ඒ ලිපි දෙක කියැවීම ද සිංහල පාඨකයකුට ප්‍රයෝජනවත් විය හැකි ය.
'යතුර' 2003 වසරේ ප්‍රථම වරට ගොඩගේ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මේ දැක්වෙන්නේ ඒ මුල් මුද්‍රණයේ පිටකවරයයි.
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
’කල්පයක් පමණ ගෙවී ගියා සේ දැනුණු පසුව දැරිය මතු වූවා, පුදුමයට පත් විලසින් බැලූවාය. මරතෝන්ඩි ආලේප කළ පුංචි ඇඟිලි පෙනෙන සේ විවෘත සුදු සෙරෙප්පු පැලඳ සිටි ඇ
ඔහු ඇය ගෙලවටා දෑත් යවා සිප ගත්තේ ය. ඔවුන් දෙනො සිපගත් පළමු අවස්ථාව එය විය. හබල නදී දියේ වැදෙන හඬ ඇසිණ. එගොඩ සිට එන මිනිසුන්ගෙන් ඔරුව පිරී තිබිණි. අලෙක්සි ස
එක්ව වසන්නට ගිවිසගෙන එක වහලක් යට එක්තැන් වන ගැහැනු සහ මිනිස්සු ලෝකාස්වාදරතියේ යෙදෙති. රතිය ද ආස්වාදය ද එකසේ ප්‍රමුඛ ය. එකක් අනෙකට දෙවැනි තැනෙක ලිය නොහැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
යතුර