-බරීස් පලෙවොයි -
'ඔරු කාරය නාවොත් අපට මෙතන රෑ ගත කරන්න සිද්ධ වෙනව නේ?' අලෙක්සෙයි කී ය.
'ඔයා ඉන්නවනේ. මං බය නෑ' ඕල්යා පිළිතුරු දුන්නා ය.
ඔහු ඇය ගෙලවටා දෑත් යවා සිප ගත්තේ ය. ඔවුන් දෙනො සිපගත් පළමු අවස්ථාව එය විය. හබල නදී දියේ වැදෙන හඬ ඇසිණ. එගොඩ සිට එන මිනිසුන්ගෙන් ඔරුව පිරී තිබිණි. අලෙක්සි සහ ඕල්යා විස්මිත ව ඔරුව දෙස බලා සිටියේ තමන්ට තව මොහොතකින් දැන ගන්නට ලැබෙන පුවත පිළිබඳ ව කිසිම නිච්චියක් නොමැති ව ය.
පැමිණි මිනිස්සු ඔරුවෙන් බැස්සෝ ය. සැම දෙනාම උත්සවයකට සරිලන ඇඳුමින් සැරැසී සිටියත් ඔවුන්ගේ විලාසය බැරෑරුම් විය. මුහුණු අඳුරු වෙලා ය. ඒ මිනිස්සු ඔවුන් පසු කොට කරබා ගත් වනම ගියෝ ය. අලෙක්සේයි සහ ඕල්යා ඔරුවට නැග හිඳ ගත්තෝ ය. දෙපා නැති තොටියා වන අර්කාෂා ඔවුන්ගේ පියකරු මුහුණු දෙසින් ඉවත යොමු කළ දෑසින් යුතුව මෙසේ පැවසී ය: "යුද්දෙ පටං අරං. රේඩියෝ එකේ කීවා."
"යුද්දෙ?කාත් එක්කද?" අලෙක්සේයි හුන් තැනින් නැගී සිටිමින් කලබලෙන් ඇසීය.
"ඇයි දන්නැද්ද? ජර්මන් දුෂ්ටයො එක්ක මිස වෙන කාත් එක්කද?" කී අර්කාෂා උන්දෑ වේගයෙන් හබල් ගෑවේ ය. "මිනිස්සු ගියා පක්ෂ කාර්යාලෙට. පිරිමි හැම දෙනෙකුට ම යුද්දෙට බැඳෙන්න නියම කරල"
අකේසේයි ගෙදර නොගොස් කෙළින්ම පක්ෂ කාර්යාලයට ගියේ ය. එදින මැදියම් රැයේ පිටත්වන දුම්රියෙන් අහස්යානා පාසලට යන්නට ඔහුට නියම කරන ලදී. තම ඇඳුම් බෑගය ගන්නට ගෙදර ගිය ඔහුට ඕල්යාට කියන්නට පවා වෙලාවක් තිබුණේ නැත.
ඔවුුහු එකිනෙකාට ඉඳ හිට ලියුම් ලියූහ. එසේ ඉඳ හිට ලියුම් ලීවේ එකිනෙකා කෙරේ ඇති හැඟුම් වෙනස් වීමෙන් නොවේ. ඇගේ ලියුම් ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. ලියුමක් ලැබුණු විට එය කබා සාක්කුවේ බහා ගෙන වරින් වර ඉවත ගෙන අතට ම දියවන තෙක් ඊළඟ ලියුම ලැබෙන තෙක් නිති පතා කියැවී ය. වනයේ දණ ගාමින් බඩ ගාමින් යනවිට පවා ඒ ලියුම් ඔහු සිය ළැමට තද කැර ගත්තේ මහත් ආසාවෙනි. දෙදෙනා අතර පැවැති සබඳතාව හිටි හැටියේ ම කඩා වැටීම නිසා තමන්ගේ ලියුම්වලින් ඔවුන් එකිනෙකා ඇමතූයේ මිතුරන් ලෙසිනි.
එහෙත් ඕල්යා, සිය ලිපිවල ආර වෙනස් කරමින්, එදා සවස ආකර්ෂා මාමා නොපැමිණියා නම් තමා සතුටු වන බවත්, ඔහු නැති නිසා තමා කාන්සියෙන් හා දුකෙන් පසුවන බවත් ලියා එවීම නිසා ඔහු විමතියටත් සතුටටත් පත් විය. කවර අභාග්‍යයකට මුහුණ පෑවත් ඔහු වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නට තමා සූදානමින් සිටින බව ලියා එවූ ඕල්යා, කොතැන ගියත් තමාගේ ම නිවෙසක් තිබෙන බව අමතක නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා ය. මේ නම් ඉස්සර සිටි ඕල්යා නොවන බව ඔහුට වැටහිණි. මේ ලියන්නේ වෙනස් ඕල්යා කෙනෙකි. ඒ ලියුම් තම පෙම්වතා එනතුරු බලා සිටින පෙම්බර කතක් විසින් ලියන ලද ඒවා ය.'
තම සුහදා යුද සේවයට ගොසිනි. ඔහු ආපසු ඒද? එහෙත් ඔහුගේ සුහදිනිය ඔහු ආපසු එති'යි විශ්වාසයෙන් යුුතුව බලා සිටින්නී ය. දෙපා අහිමිව රෝහල් සයනයක වැතිර සිටින අලෙක්සේයි මෙරේස්යේව් ඒ ගැන සිතමින් සොවින් තැවෙයි. ඇගේ එවදන් ඔහු සිත තුළ දිරිය සඳහා උත්තේජනය සැපයී ය.
මෙය ඇතුළත් වනුයේ දැදිගම වී. රුද්රිගු මහතාගේ 'සැබෑ මිනිසකුගේ කතාවක්' නම් කෘතියේ ය.
'සැබෑ මිනිසකුගේ කතාවක්' යනු බරීස් පලෙවොයි (1908 - 1981) නමැති සෝවියට් ලේඛකයා විසින් 1947 දී රුසියන් බසින් ලියන ලද Повесть о настоящем человеке නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි. එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ද වේ. එය A Story About a Real Man නමි. එය කරන ලද්දේ ලෙනින්ගේ කෘති ද ඇතළු සෝවියට් පත පොත විශාල සංඛ්‍යාවක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජෝ ෆින්බර්ග් විසින් වන අතර ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් 1950 දී එය පළ කරනු ලැබ ඇත.
බරීස් පලෙවොයි සෝවියට් සමයේ ප්‍රසිද්ධ ලේඛකයකු මෙන් ම පුවත්පත් කලාවේදියකු ද වැ සිටියේ ය.
ඔහු යුද්ධය අතරතුර සෑම තැනකම පාහේ සිටියේය. ගුවන් නියමුවකු නොවුණත් පොලෙවෝයි දක්ෂ පැරෂුට් භටයෙකි. ඔහු බොහෝ වාර ගණනක් සතුරාගේ පසු පෙරමුණට කිහිප වතාවක් පැරෂුට් ප්‍රහාර එල්ල කළ සොල්දාදුවෙකි. ස්ටාලින්ග්‍රෑඩ් පෙරමුණේ දී ඔහු නාසි හමුදා ප්‍රධානියකු වූ ෆ්‍රෙඩ්රිච් පවුලුස් යටත් වූ ක්‍රියාන්විතයට සහභාගි වූවෙකි. ස්ලොවැක් ජනයා හංගේරියානු පාලනයෙන් මිදි සෝවියට් දේශයට එක්විම සඳහා ගෙන ගිය අරගලය ගැන වාර්තා කළේ ඔහු ය. උස්විට්ස් කඳවුර මුදා ගැනීමෙන් පසු එහි ගිය මුල් ම සොවියට් පත්තරකාරයා වූයේ ද පලෙවොයි ය. ඔහු නියුරම්බර්ග් නඩු විභාගයේදී, විශේෂ වාර්තාකරුවකු ලෙස සෝවියට් මාධ්‍යවේදීන් කණ්ඩායමට නායකත්වය දුන්නේය.
නාසි යුද්ධයට එරෙහි ව ලිපි විශාල සංඛ්‍යාවක් ප්‍රාව්දා පත්‍රයට ලියූ හේ පසුව නවකතා කිහිපයක් ද රචනා කළේ ය. කෙසේවෙතත් ඔහුගේ කෘති සැලකෙන්නේ සෝවියට් ප්‍රචාරක සාහිත්‍යයේ අංග ලෙස ය. එබැවින් ඒවා එතරම් විචාරක ඇගැයීමට බඳුන් වී නොමැත.
'සැබෑ මිනිසකුගේ කතාවක්' හැම අතින් ම ඊට වෙනස් කෘතියක් ලෙස පිළි ගැනේ. එය මනුෂ්‍යයකුගේ නොසිඳෙන දිරිය පිළිබඳ සත්‍ය කතාවක් වන හෙයිනි.
මෙහි එන්නේ වීරයකුගේ කතාවකි. ඒ වීරයා අලෙක්සේයි මෙරේස්යේව් නම් සෝවියට් ගුවන් නියමුවෙකි. ඔහු දෙවන ලෝක මහා යුද්ධයේ දී සෝවියට් ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ ලුතිනන් වරයෙකි. දවසක් ගුවන් ප්‍රහාරයක නිරත වී සිටින විට ඔහුගේ යානය සතුරු ජර්මන් හමුදා ප්‍රහාරයකින් බිම පතිත වෙයි. අලෙක්සේයිගේ වාසනාවට යානය විශාල දේවදාර ගසක වැදෙන අතර ඔහු ඉවතට විසිවෙයි. රැයක් පුරා සිහි නැතිව සිටිනා ඔහු මරා කන්නට වලහෙක් පැමිණේ. සිය කලිසම් සාක්කුවේ තවමත් ඇති පිස්තෝලයෙන් වෙඩි තබා ඌ මරා දමන අලෙක්සේයි හරිහැටි අහරක් ද නොමැතිව දින 18ක් තිස්සේ ඉතා අපාසුවෙන් ගමන් කරයි. එසේ යන විට ළමයින් කණ්ඩායමක් විසින් ඔහු දකිනු ලැබේ. තමා කවුරුන්දැයි සිය යානා පැදවීමේ බල පත්‍රය පෙන්වා අලෙක්සේයි කියන නමුත් පරෙස්සම් සහගත ළමයින් එක්වරම ඔහු පිළි ගන්නේ නැත. වැඩිහිටියන් කැඳවේ. පිරිමියකුට සිටින්නේ මිහයිල් නමැති වෘද්ධයකු පමණි. ඔවුහු අමාරුවෙන් හිම මත ගමන් කළ හැකි කරත්තයත තබා ගෙන කිලෝ මිටර් පහක් ඔබ පිහිටි ජනාවාසයකට ඔහු ගෙන යති. ඔවුන්ගේ ගමේ සියලු පුරුෂයන් පැසිස්ට් හමුදාව විසින් මරා දමලා ය. තමන්ටවත් අහරක් නොමැති ඒ ගමේ මිනිස්සු දින කිහිපයක් ඔහු රැක බලා ගනිති. ගැමියන් විසින් දන්වනු ලැබ හමුදා හෙලිකොප්ටරයක් පැමිණ ඔහු මොස්කව් හි හමුදා රෝහලකට ගෙන යනු ලැබේ.
මුල දි ඔහුගේ ජිවිතය අවිනිශ්චිත තත්වයක පැවැතිය ද ඔහුට ප්‍රතිකාර කරන හමුදා රෝහලේ කාරුණික වෛද්‍යවරයා වන විසිලියෙව් වසීලියෙවිච්ගේ වෙදකම සහ ඔවුන්ගේ කාමරයේ සේවය කරන හෙදිය වන ක්ලාව්දියා මීහයිලොව්නාගේ හෙදකම නිසා යළි මෙලොවට එන්නට ඔහුට වාසනාව ලැබේ. එහෙත් ඔහුගේ දෙපා සුව කළ නොහැකි බැවින් ඒවා කපා දැමිය යුතු බව දොස්තර කියයි. නැවත ගුවන් යානා පැදවීමට යන්නට සිහින මවන අලෙක්සේයි එයට විරුද්ධ වෙයි.
ඔවුන්ගේ කාමරයේ තදබද වී නිලධාරී මට්ටමේ රෝගීහු පස් දෙනෙක් සිටිති. මොවුන් සියල්ලන්ම සංග්‍රාම පෙරමුණේ දී ප්‍රහාරවලට ලක්ව දැඩි ලෙස ගිලන් වූවන් ය. ඒ අතර සේනාංකයක දේශපාලන කොමසාරිස් වරයකුව සිටි අයෙක් ද සිටියි. අනෙක් රෝගීන් විසින් ඔහු හඳුන්වනු ලබන්නේ කොමිසාර් යන නමිනි.
මේ කොමිසාර් තදබල වේදනාවකින් පෙළෙමින් සිටින නමුත් එය වසං කරමින් සිටින අතර නිතර අන්‍යයන් දිරි ගන්වයි. කකුලක් කපා දැමු ගුවන් නියමුවකු පළමුවන ලෝක මහා යුද්ධයේ දී යානාවක් පදවන අයුරු දැක්වෙන පින්තූරයක් සහිත ලිපියක් අඩංගු සඟරාවක් කොමිසාර් අලෙක්සේයි අත පත් කරයි. නිතර නිතර එය බලන අලෙක්සේයිගේ ආත්ම විශ්වාසය වැඩේ. දිරිමත් වන ඔහු නැවත ගුවන් නියමුවකු වන බවට හේ තමාටම ප්‍රතිඥා දෙමින් සිය දෙපා කපා දමන්නට අවසර දෙයි.
තුවාල සුව වූ පසු දොස්තරගේ ඇණවුම පරිදි පරිණත ශිල්පියකු විසින් නිමවන ලද බොරු කකුල් යුවළක් ඔහුට සවි කෙරේ.
ඊට හුරු වූවාට පසුව අලෙක්සේයි නිතිපතා ව්‍යායාම්වල නිරත වෙයි. (පසුව නටන්නට පවා පුහුණු වන ඔහු නර්තනයේ ද හසලයෙක් වෙයි.) මෙලෙස සිවු මසකට අධික කාලයක් ඔහු රෝහලේ ගත කරයි. නැවත ගුවන් නියමුවකු බවට පත් වීමේ සිය එකම අභිලාෂය ඔහු කිසිවිටෙක පසෙක නොතබයි.
දොස්තර වසිලියෙව් ගේ පුත්‍රයා වන කනිෂ්ඨ දොස්තර වසිලියෙව් සටන් බිමේ දී මියගිය බව දැන ගන්නට ලැබෙයි. සිය පුතාගේ මරණය ගැන කම්පා වන නමුත් වෛද්‍යවරයා රෝහලේ සිය රාජකාරිය නොපිරිහෙලා ඉටු කරයි. මේ අතර කොමිසාර් ද මිය යයි. සියල්ලෝ ඔහුගේ මරණය ගැන සංවේගයට පත් වෙති.
අලෙක්සේයි සුව වී රෝහලෙන් පිටවෙයි. ඔහු යනවිට දොස්තර තමාගේ බස්තම ඔහුට තෑගි දෙන අතර හෙදිය නළල සිප ඔහුට සුබ පතයි. හමුදා මූලස්ථානයට වාර්තා කරන ඔහු නැවතත් ගුවන් යානා පැදවීමට අවසර ඉල්ලා සිටියි. තමාගේ පැත්තට කරුණු ඉදිරිපත් කිරීමේ දී ඔහු කොමිසාර් දුන් සඟරාව ද ඉදිරිපත් කරන අතර එය ඔහුගේ වාසියට සිටියි. බොහෝ වාද විවාදවලින් පසුව ඔහුට නැවත ගුවන් නියමු අසුනේ හිඳ ගන්නට ලැබෙයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වරක් පවසන පරිදි අලෙක්සේයි දෙපා නොමැතිව ගුවන් යානා පදවන ලොව ප්‍රථමයා ය.
මාස තුනක පමණ පුහුණුවකින් පසුව ප්‍රහාරක යානා පදවන්නට ඔහුට අවස්ථාව ලැබේ. ජර්මන් හමුදාවට එරෙහිව සෝවියට් හමුදා ප්‍රහාර කිහිපයකට ම සහභාගි වන අලෙක්සේයි අති සාර්ථක නියමුවකු වෙයි.
යුද්ධය අවසන් වීමෙන් පසු සෝවියට් දේශයේ ගෞරවාචාරයට භාජනය වන ඔහු මේජර් නිලයකට උසස්වීම් ලබයි. සිය ගමේ වෙසෙන ස්නේහවන්තිය වන ඕල්යා සමග විවාහ වන ඔහු සැපවත් දිවි පෙවෙතක් පවත්වාගෙන යයි.
සිය යානය ගිනි ගෙන අහසින් පොළොවට පතිත වන පුද්ගලයකු පත් වන ශෝචනීය අසරණබව මැනවින් කියැවෙන මේ කෘතිය පුරා ම අප්‍රතිහත ධෛර්‍ය්‍යය සහ මනුෂ්‍යත්වය මෙන් ම යුද බිමේ අත් දැකීම් ඇසුරින් කෙරෙන යුද්ධයේ කටුක බව පිළිබඳ විග්‍රහයක් ද ඇතුළත් ය.
Повесть о настоящем человеке, 1947 දැදිගම වී. රුද්රිගෝ විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව සැබෑ මිනිසකුගේ කතාවක් නමින් මොස්කව් හි ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
’කල්පයක් පමණ ගෙවී ගියා සේ දැනුණු පසුව දැරිය මතු වූවා, පුදුමයට පත් විලසින් බැලූවාය. මරතෝන්ඩි ආලේප කළ පුංචි ඇඟිලි පෙනෙන සේ විවෘත සුදු සෙරෙප්පු පැලඳ සිටි ඇ
ඔහු ඇය ගෙලවටා දෑත් යවා සිප ගත්තේ ය. ඔවුන් දෙනො සිපගත් පළමු අවස්ථාව එය විය. හබල නදී දියේ වැදෙන හඬ ඇසිණ. එගොඩ සිට එන මිනිසුන්ගෙන් ඔරුව පිරී තිබිණි. අලෙක්සි ස
එක්ව වසන්නට ගිවිසගෙන එක වහලක් යට එක්තැන් වන ගැහැනු සහ මිනිස්සු ලෝකාස්වාදරතියේ යෙදෙති. රතිය ද ආස්වාදය ද එකසේ ප්‍රමුඛ ය. එකක් අනෙකට දෙවැනි තැනෙක ලිය නොහැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සැබෑ මිනිසකුගේ කතාවක් A Story About a Real Man