IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


සිද්ධාර්ථ හර්මන් හෙස

පොතක මතක

මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.

'පසුදින උදේ කාලයේ දිනපතා චාරිකාවේ යාමට පැලෙන් නික්ම යන ගෝවින්ද සැකයෙන් මෙතෙපුල්  පැවසීය. "සිද්ධාර්ථ මාර්ගාවතීරණයට පළමුව තොපගෙන් තවද එක ප්‍රශ්නයක් ඇසීමට අවසර දුන මැනවි. තොපට ජීවත් වීමට හා නිවැරදි දේ කරන්නට අනුබල දෙන තොප අනුගමනය කරන ධර්මයක්, විශ්වාසයක් හෝ දැනීමක් වෙයිද?"

සිද්ධාර්ථ කීය: "මා මිතුර, තෙපි දන්නහු ය, තරුණයකු වශයෙන් පවා අප තවුසන් සමඟ වනාන්තරයේ විසූ සමයේ ඉගැන්වීම් හා ගුරුවරුන් ගැන මම සැක කළෙමි. ඔවුන්ට පිටු පෑවෙමි. එවක් සිට මට බොහෝ ගුරුවරු සිටියහ. බොහෝ කලක් සුරූපී වරඟනක්ද, ධනවත් ව්‍යාපාරිකයෙක්ද මගේ ගුරුවරු වූහ. වරෙක දූ කෙළින්නෝ ද මගේ ගුරුවරු වූහ. තවත් වරෙක චාරිකාවේ වඩිනා ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මගේ ගුරුවරයෙක් විය. මා වනාන්තරයේ නින්දට වැටී සිටි කළ ඔහු තමාගේ වන්දනා ගමන නවත්වා මා රැකවරණයට සිටියේය. ඔහුගෙන් ද මම යමක් උගත්තෙමි. මම ඔහුට බොහෝ කෘතඥ වෙමි. ඒත් ඒ සියලු දෙනාගෙන්ම උගත් දේට වඩා මම මේ නදියෙන් ද මගේ පුරෝගාමී වාසුදේවගෙන් ද ඉගෙන ගත්තෙමි. වාසුදේව අල්පේච්ඡ පුරුෂයෙක් විය. ඔහු චින්තකයෙක් නොවී ය. එහෙත් ගෞතමයන් මෙන් අවශ්‍ය දේ දැන සිටියේ ය. හෙතෙම මහාපුරුෂයෙක් වීය. සත්පුරුෂයෙක් ද වීය."

ගෝවින්ද මෙසේ කීය: "සිද්ධාර්ථ තොප තවමත් සරදම් කිරීමට කැමති බව මට පෙනේ. තොප කිසි ගුරුවරයකු අනුගමනය නොකළ බව මම දනිමි. ඒ බව විශ්වාස කරමි. ඒත් ඒ තොපගේ ම ධර්මයක් නැතහොත් තොපගේ ඥානයක් නොවන්නේ ද? ඒ පිළිබඳව තෙපි යමක් කියන්න වු නම් එය මට මහත් ආනන්දයකි."

සිද්ධාර්ථ කීය: "එසේය, තන්හි තන්හි මට සංකල්පනා හා දැනීම ද තිබිණි. එකකු තමා හද තුළ ප්‍රාණය හඟින්නා සේ ඇතැම් විට පැයකට හෝ දවසකට හෝ මා තුළ දැනීම ඇති බව හැඟිණි. මට බොහෝ සංකල්පනා ඇති විය. එහෙත් ඒ පිළිබඳව ඔබට කීම මට අසීරු වෙයි. එහෙත්  මා තුළ හටගත් සංකල්පනාවකි: මා ප්‍රිය ගෝවින්ද! බලව, ප්‍රඥාව තවත් කෙනෙකුට දිය හැක්කක් නොවේ. ප්‍රඥාවන්තයෙකු විසින් ලබාදීමට යත්න දරන ප්‍රඥාව නිතරම අඥාන සේ පෙනේ."

"තෙපි සරදම් කරවු ද?"යි ගෝවින් ද ඇසීය.

"මම සරදම් නොකරමි" යි සිද්ධාර්ථ කීය. "මා සොයාගත් දේ මම තොපට කියමි. දැනීම තවත් අයෙකුට දිය හැකිය. ඒත් ප්‍රඥාව එසේ නොවේ. එකෙකුට එය ලබාගත හැකි ය. ඒ අනුව ජීවත් විය හැකි ය. ඉන් ආරක්ෂාව ලැබිය හැකි ය. ඒ මඟින් ප්‍රාතිහාර්ය පෑ හැකිය. එහෙත් එය තවත් කෙනෙකුට දීම හෝ ඉගැන්වීම හෝ කළ නොහැකිය. තරුණයකුව සිටියදී පවා  මඟින් ප්‍රාතිහාර්ය පෑ හැකියි එහෙත් එය තවත් කෙනෙකුට දීම හෝ ඉගැන්වීම් හෝ කළ නොහැකියි. තරුණයකුව සිටියදී පවා මම මෙය දැන සිටියෙමි." '


Siddhartha යනු නොබල් ත්‍යාගලාභී හර්මන් හෙස (1877 - 1962) නමැති ජර්මානු සම්භවයක් සහිත ස්විස් ලේඛකයා විසින් 1922 දීජර්මන් බසින් ලියන ලද කෘතියයි. ඔහුගේ නවවැනි නවකතාව වූ මෙය 1951 දී හිල්ඩා රෝස්නර් නමැති ලේඛිකාව විසින් එනමින් ම ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබී ය.

නෝබල් ත්‍යාගලාභී අනෙකුත් ලේඛකයන් මෙන් නොව හර්මන් හෙස විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් ලද්දකු නොවන බව ප්‍රකට ය. යොවුන් වියේ දී වයසින් වැඩි මදාවිකාරයන් හා ඇසුරට වැටුණු හේ කිහිප වරක්ම නිවෙසින් පැන ගිය බව පැවසේ. පසුව දෛවෝපගත ලෙස පොත් සාප්පුවක රැකියාවක් සොයා ගත් හෙස එහි දී කියවන්නට යොමු විය. සරල කෘතිවලින් කියැවීම ඇරඹූ ඔහු ඉන්පසු ගොතේ, නීට්ෂේ වැනි දාර්ශනිකයන්ගේ කෘති ද කියැව්වේ ය. කවියකු වන්නට සිහින මැවූ ඔහුගේ මුල් කවිපොත 1899 වසරේ දී ද ප්‍රථම නවකතාව වූ ‘පීටර් කේමන්සින්ඩ්’ 1904 දී ද ප්‍රකාශයට පත් විය. මේවායින් කිසියම් සාර්ථකත්වයක් නෙලා ගත් හෙස ඉන්පසු දිගට ම ලේඛන කාර්යයේ නිරත වූයේ ය.

මෙහි එන්නේ සිද්ධාර්ථ නම් බ්‍රාහ්මණ තරුණයකු වටා වූ සිද්ධි දාමයකි. සිද්ධාර්ථ, ඔහුගේ සමවියේ මිත්‍ර ගෝවින්ද, ගෞතම බුදුන්, කමලා නම් වරාංගනාව, කාමස්වාමි නම් ව්‍යාපාරිකයා සහ වාසුදේව නම් තොටියා මෙහි දී පාඨකයාට හමුවනවා ඇත. මුලදී ආත්මයට විමුක්තිය සොයා යන සිද්ධාර්ථ බුදුන් හමු වීමෙන් පසුව තමා කවුරුන්දැයි සොයන්නට උත්සුක වේ. කෘතිය පුරාම එන්නේ සම්මත ඇදුරන් සැක කරන සිද්ධාර්ථගේ ඒ සොයා යාමයි.

‘තමා තුළ අතෘප්තියක ලකුණු පහළ වන බැව් සිද්ධාර්ථට හැඟී යන්නට පටන් ගත්තේ ය. සිය පියාගේ හා මවගේ සෙනෙහස ද එමෙන්ම සිය මිත්‍ර ගෝවින්දගේ ඇල්ම ද සැමවිටම තමා කරා ශාන්තිය නොගෙනෙන බැව් ද තමා සැපවත් හෝ තෘප්ත නොකරන බැව් ද ඒ තමාට තරම් නොවන බැව් ද ඔහුට හැඟෙන්නට ගත්තේ ය. ස්වකීය සම්භාවනීය පියා හා තමාගේ අන්‍ය ආචාර්යවරුන් මෙන් ම ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයන් ද ඔවුන්ගේ ප්‍රඥාව හා දැනීම මුළුමණින්ම තමාට ලබා දී ඇති බැව් ද ඔවුන් තමාගේ විද්‍යාර්ථී මනස නමැති බඳුන පුරවා ඇති බැව් ද එනමුත් ඒ භාජනය සම්පූර්ණයෙන් ම නොපිරී ඇති බැව් ද එසේ ම සිත් සන්සිඳී ආත්මය නිසංසල වී හදවත ශාන්ත වී නොමැති බැව් ද ඔහු සැක කරන්නට පටන් ගත්තේ ය....’

මෙලෙස සිතන හේ සිය මිතුරු ගෝවින්ද සමග ශ්‍රමණයන් වෙත එළැඹේ. ඒ සඳහා මුල දි පියාගේ අනුමැතිය නොලැබුණ ද සිද්ධාර්ථගේ ස්වභාවය දන්නා පිය බමුණු තෙමේ ඊට එරෙහිව කිසිත් නොකියන්නේ සිය නොමනාපය සඟවා ගනිමිනි. එදා සිය මවුපියන් වෙතින් නික්ම යන සිද්ධාර්ථ නැවත කිසිදා ඔවුන් බැහැ දක්නට නො ඒ.

ශ්‍රමණයන්ගේ ඉගැන්වීම්වලින් ද සාරයක් උකහා ගත නොහැකි ය’යි සිතන සිද්ධාර්ථ ඔවුන්ගේ ඉගැන්වීම් ද සැක කරයි. ඔහු ගෝවින්දගෙන් මෙසේ අසයි: ‘ ගෝවින්ද, අපි නිවැරදි මාර්ගයේ ගමන් කරමු ද? අපි නිවැරදි දැනුම ලබා ගනිමු ද? අපි විමුක්තිය කරා ගමන් කරමු ද? නැතහොත් සංසාර චක්‍රයෙන් මිදීමට කතා කළ අපි ඒ චක්‍රයේ ම නොයමු ද?’ සිය ගුරුවරුන් සැක කරන හේ මේ වෘද්ධ ශ්‍රමණයන් අතුරින් එකෙකුටවත් නිවන් සාක්‍ෂාත් කැර ගත නොහැකිය’යි කියයි. ‘අපි සැනසුම් ලබමු. අපි කුහකකම් උගෙන එයින් ම අප රවටා ගනිමු. ඉතින් ඒ උසස් මාර්ගය අපට හමු නොවේ.’ 

 ඉන්පසු හේ බුදුන් වෙත එළැඹෙයි. බුදුන් වහන්සේ ඔහුගේ සිතේ මහත් භක්තියක් ඇති කරවන නමුදු හේ උන් වහන්සේගේ දේශනාව එකපැහැර පිළි නොගනියි. ඔහු බුදුන් හා තර්ක කරයි. ‘...ලෝකයේ ඒකීය භාවය ද භවය හා චුතිය යන එකම හේතු නියායෙන් එකම ප්‍රවාහයෙන් කුදු මහත් සියලු දෑ වැළඳ ගන්නා ආකාරය ද යන සියලුම සිද්ධීන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධය සියලු ධර්මයන්ගේ ප්‍රතීත්‍යසමුප්පාදය ඔබ වහන්සේගේ නිර්මල ධර්මයේ මනාව පැහැදිලි වෙයි. බුදුන්වහන්ස, ඔබ වහන්සේගේ ම ඉගැන්වීම් අනුව මේ ඒකීය භාවය හා හේතුඵල නියායෙන් සියලු ධර්මතාවන්ගේ පැවැත්ම එක් තැනෙක් හි දී බිඳ වැටෙයි.... මම මෙසේ  විරුද්ධත්වයක් ඉදිරිපත් කරන්නේ නම් සමාවුව මැනව’ හේ කියයි. ශ්‍රාවකයකු වීම පිළිකෙව් කරන සිද්ධාර්ථගෙන් බුදුන් අසන්නේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ධර්මය අතහැර ලෞකික ජීවිතය හා කාමාසාව කරා ආපසු යාම වඩා යහපත් වනු ඇත’යි කියා ඔහු සිතන්නේ ද යන්නයි. තමා එවැන්නක් අදහස් නොකරන බව පවසන සිද්ධාර්ථ බුදුන්ට කියන්නේ තමා උන් වහන්සේගේ ශ්‍රාවකයකු බවට පත් වුවහොත් එය ආත්ම වංචාවක් වනු ඇති බවයි. තොපගේ කැමැත්තක් ’යි පවසන බුදුහු මෙසෛ් වදාරති: ‘ශ්‍රමණය තෙපි දක්ෂය. කථාවෙහි චතුර ය. සගය, වුවමනාවට වඩා දක්‍ෂ නොවීමෙන් ආරක්‍ෂා වන්න’ 

 ගෝවින්ද බුදුන්ගේ සසුනේ පැවිදි බව ලබා ගනියි.

ගෝවින්දගෙන් වියෝ වීම සිද්ධාර්ථගේ සිතේ සාංකාවක් ඇති කරයි. එය මැඬ ගන්නා හේ නගරයට පිවිස කමලා නම් වරාංගනාව හමු වන්නට යයි. දක්‍ෂ පැණසර කමලා යාචකයකු බඳු එවැනි මිනිසුන් සිය මැඳුරට වැද්ද නොගන්නේ වුව ඔහු කවරාකාර පුද්ගලයකු දැ’යි හඳුනා ගෙන ඔහු හා ඇසුරට කැමැතිව ඔහු කාමස්වාමි නම් ව්‍යාපාරිකයකු වෙත යවයි. කමලාගේ උපදෙස් පරදි සිද්ධාර්ථ කාමස්වාමි වෙත සේවය කරන්නේ ඔහුගේ සේවකයකු ලෙස නොව සමානයකු ලෙස ය. එහි දී ඔහු බොහෝ මුදල් උපයා ස්වීය වූ මන්දිරයක දැසි දසුන් සහිතව කාමභෝගී දිවිපෙවෙතක් ගත කරමින් වසර කිහිපයක් ම කමලා වෙත එළැඹෙමින් ඇගෙන් සමහන් සුව විඳියි. සතුට ලබා ගත හැක්කේ එය අන්‍යයන්ට දීමෙන් ය යන්න ඔහුට පසක් කැර දෙවන්නී කමලා ය. ඇගෙන් තමා බොහෝ දෑ උගත්තේ ය‘යි සිද්ධාර්ථ කියයි. ඔහුගෙන් දරුවකු ලබා ගැනීමේ අපේක්‍ෂාවක් ඇය තුළ වෙයි. දිනෙක ඔහු ඇයටත් නොකියාම නගරයෙන් නික්ම යයි. එය අසන කමලා පුදුම නොවෙයි. තමා නිසා ඇය ගැබ්ගෙන ඇති බව සිද්ධාර්ථ හා කියන්නට ඇයට අවස්ථාවක් නොලැබී යයි.

ඉන්ක්බිති හේ වාසුදේව නම් තොටියකු හා වෙසෙයි. මේ අතර බුදුන්ගේ පරිනිර්වාණය අසා ඊට පෙර බුදුන් බැහැ දකින්නට යන සේනාව අතරේ එන කමලා  තොටුපොළ අසල දී සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ මිය යයි. ඇය සමග එන තුදුස් හැවිරිදු දරුවා සිද්ධාර්ථගේ පුත්‍රයා බව මිය යන්නට පෙර මරණාසන්න මොහොතේ ඕ ඔහු හා පවසයි. දරුවා ඔහු සිත තුළ මහත් ස්නේහයක් වඩවයි.

රූක්‍ෂ ජීවිතයට නුපුරුදු ළමයා සිද්ධාර්ථ කෙරෙන් පළායයි. දැඩි දරු සෙනෙහෙන් ඌ සොයන්නට බොහෝ වෙහෙසෙන නමුත් සොයා ගත නොහැකි වන හෙයින් සිද්ධාර්ථ මහත් කම්පාවට පත්වෙයි. ගං දියේ පිළිබිඹු වන සිය මුහුණ දකින සිද්ධාර්ථට සිය පියා සිහිවෙයි. වසර ගණනාවකට පෙර තමා විසින් හිතුවක්කාර අන්දමින් අතහැර දමා ආ සිය මවුපියන් සිහිපත් කරමින් පසුතැවෙයි.  පියාට අකීකරුව ඔහු වෙතින් ආ තමා පෙරළා කිසිදා ඔහු වෙත නොගිය බව සංවේගයෙන් සිහිපත් කරයි. එයින් දරුවාගේ ක්‍රියාව සාමාන්‍යකරණය වෙයි.

නූගත් මිනිසකු වන නමුත් වාසුදේව කෙරෙන් තමා බොහෝ දෑ උගත් බව සිද්ධාර්ථ වටහා ගනී. අවසානයේ ඔහුට ශුද්ධ ‘ඕං’ ස්වරය නව අරුත් දෙමින් ඇසේ. සිය සොයා යාම සම්පූර්ණ ය’යි ඒ මොහොතේ ඔහුට පසක් වෙයි.

අවසානයේ ගෝවින්ද නම් භික්‍ෂුව තොටුපොළ වෙත පැමිණයි. ඔහු සිද්ධාර්ථ හඳුනා නොගන්නා නමුත් ඔහු කවුරුන්දැ’යි සිද්ධාර්ථ හඳුනා ගනී. තමා වටහා ගත් සත්‍යය ඔහු එවිට සිය මිතුරාට අවබෝධ කරවයි.

ගෝවින්ද මෙසේ සිද්ධාර්ථ හඳුනා නොගන්නා දෙවැනි අවසථාව ඒ ය. ඊට පෙර සිද්ධාර්ථ තමා විඳි සියලු සැප සම්පත් හැරපියා ආපසු අවුත් සිය දිවි නසා ගන්නට සිතා ගහකට නැග නදියට පනින්නට ගොස් නැවත ඒ අදහස අත්හැර දීර්ඝ නින්දකට වැටී සිටින අවස්ථාවේ ඔහුට නපුරක් වෙතැ’යි සිතා එතැන පළඟ බැඳ සිටින භික්‍ෂුව ගෝවින්ද ය. එවේලේ ද ගෝවින්ද ඔහු හඳුනා නොගනියි. 


‘සිද්ධාර්ථ’ යනු උපේක්‍ෂාව පිළිබඳ අත්පොතකි. මෙහි එන සිද්ධාර්ථ නම් බ්‍රාහ්මණ පුත්‍රයා කිසිවක් අපේක්‍ෂා නොකරයි. කිසිවකින් නොසැලෙයි. ඔහු සොයා යන විමුක්තිය පිළිබඳ ඔහුට පවා මූලික අදහසක් නොමැත. තමා යමක් උගත්තේ ය’යි ඔහු කියන්නේ සාම්ප්‍රදායික ඇදුරන්ගෙන් නොවේ; ඔහු කියන පරිදි ඔහු ගෝවින්දගෙන්, කමලාගෙන්, කාමස්වාමිගෙන්, වාසුදේවගෙන් මතු නොව සිය පුත්‍රයාගෙන් පවා යම් යම්දේ උගෙන ඇත. අවසානයේ ඔහු නදියෙන් ද බොහෝ දෑ උගනියි. නදියට සවන් දෙන්න ය’යි ඔහුට කියන්නේ වාසුදේව ය. බුදුන් හමුවට එළැඹෙන නමුත් උන් වහන්සේ හා කතාබහ කරන නමුත් ගෝවින්ද සිය ගමන එතෙකින් නිමා කරන නමුත් සිද්ධාර්ථ භික්‍ෂු සාසනයේ ද නො ඇලෙයි.

මෙය ඇසුරින් කොන්රඩ් රූක්ස් විසින් තිරපිටපත ලියා අධ්‍යක්‍ෂණය කරන ලද ශෂි කපූර් ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කළ  චිත්‍රපටය 1972 වසරේ ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කරන ලදී.

මෙහි මුල් ජර්මන් කෘතිය ඇසුරින් දයාරත්න ගරුසිංහ පරිවර්තනය කළ සිද්ධාර්ථ නම් කෘතිය 1974 වසරේ  ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.  ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.

මේ කෘතිය ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහයන් විසින් ද සිංහලට පෙරළා ඇත.



අදහස් (0)

සිද්ධාර්ථ හර්මන් හෙස

ඔබේ අදහස් එවන්න

 

 

පොතක මතක

නිදි කුමරියන්ගේ නිවහන
2025 ජනවාරි මස 14 108 0

‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය.


යකඩ යුගය Age of Iron
2025 ජනවාරි මස 07 122 0

“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.


අන්දීසයේ මරණය - Death in the Andes
2024 දෙසැම්බර් මස 31 130 0

අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.


සිද්ධාර්ථ හර්මන් හෙස
2024 දෙසැම්බර් මස 24 111 0

මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.


බල්ලකුගේ හදවත - මිඛායෙල් බුල්ගකොව්
2024 දෙසැම්බර් මස 17 325 0

‘ “ඔබ ලෝකේ දිහා බලන්නේ හරිම අසුබවාදී විදියට, පිලිප් පිලිපොවිච්,” තරුණයා කීය. “ඒ ගොල්ලෝ මෑතක දී හුඟක් දේවල් වෙනස් කරලා තියෙනවා.”


කොකොරො - නත්සුමෙ සෝසෙකි
2024 දෙසැම්බර් මස 10 149 0

‘දිවි හානි කර ගැනීමට මා තීරණය කර දැන් දින දහයකටත් වැඩියි. එයින් වැඩි කාලය මා ගත කළේ ඔබට මේ දීර්ඝ ආත්ම කථනය ලිවීම සඳහායි. දැන් එය ලියා අවසන්.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 295 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 574 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 317 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site