- සුනිල් ගංගෝපාධ්‍යාය -
අර්ජුන් සිය මිතුරාගේ නැගණිය මෙන් ම තමාගේත් මිතුරිය වූ ශුක්ලාට පෙම් කරයි. එහෙත් සුනිල් ගංගෝපාධ්‍යාය එය එතරම් උත්කර්ෂයට නංවන්නේ නැත.
'"මට ආයෙත් අර ඔයාගේ සුවඳ දැනෙන්න පටන් ගත්තා. එතකොට ඇත්තෙන්ම මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා" අර්ජුන් කීවේය.
"මෙතන හරි රස්නෙයි, කොහොමද මේ රස්නෙ වැඩ කරන්න ෆෑන් එකක් ගන්න බැරිද?"ශුක්ලා ඇසුවාය.
"ෆෑන් එකක් ගන්න? ඔය වගේ සුඛෝපභෝගී දේවල් අපට උහුලන්න බෑ"
"අපොයි...අපොයි... නවත්තගන්න හැමතිස්සේම ඔයා දුප්පත්කම ගැන මහා ආඩම්බරයෙන් කියනවා. ඒත් ඔයා හොඳටම දන්නවා ෆෑන් එකක් ගන්න ඔයාට පුළුවන් කියලා. ඒක ඔය හැටි සුඛෝපභෝගි දෙයක් නෙවෙයි. ඒක අවශ්‍යතාවක්. අපේ ගෙදර ෆෑන් තුන හතරක් ම තියෙනවා. එයින් එකක් මං එවන්නම්."
"බොහෝම ස්තූතියි. ඔය තරම් ත්‍යාගශීලී වෙන්න ඕන නැහැ. මට පුළුවන් ෆෑන් නැතුව ඉන්න"
"ඕ... සමාවෙන්න අපේ ගෙදරින් ෆෑන් එකක් ගැනීම ඔයාගේ ආත්මාභිමානයට මදිකමක්. ම්.... හොඳයි. එහෙනම් ෆෑන් එකක් ගන්න සල්ලි දීලා"
"ඔව් මම දන්නවා මට ෆෑන් එකක් ගන්න පුළුවන් කියලා. එක ෆෑන් එකක්. ඒත් ඒක හොඳ නෑ. මේ කොලනියෙ කාගෙවත් ගෙදරක ෆෑන් එකක් නෑ. අපේ ගෙදර විතරක් තියෙන එක හරි නෑ."
"එහෙනම් ඇයි ඔයා මේ විදියට ජීවත් වෙන්නේ? ඔය දෙන්නා විතරනේ ඉන්නේ. අම්මයි ඔයයි. ලේසියෙන්ම කොහෙන් හරි ෆ්ලැට් එකක් කුලියට ගන්න පුළුවන්නේ"
"ඔව් බැරිකමක් නෑ. ඒත් අපි සේරම කොයිතරම් දුක් කරදරවලට මුහුණ දීගෙන එක දිගට ආපු අයද? අපි කොහොමද අනිත් අය දාලා යන්නේ?"
"අයියෝ නවත්තගන්න ඔයාගේ නාහයෙන් ඇඬිල්ල. මිනිස්සු ඕවා අමතක කරලා ජීවිත වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෑ"
⋆ ⋆ ⋆
'"මං දැන් යනවා" ශුක්ලා කීවා ය".
"නෑ. ටිකක් ඉන්න. ගිය පාර මං ඔයාට දොස් කිව්වේ මාව බලන්න එකපාරක් විතරක් ආව කියලා. එතෙන්දි මම ටිකක් ලෝබ වුණ එක ඇත්ත. මොකද ඔයා දකින්න මට වෙනත් වෙලාවක් තිබුණේ නැති නිසා. මට මොකක් හරි වුණාම විතරයි එහෙම වෙන්නෙ. ඇත්තෙන්ම ශුක්ලා, ඔයා ආයිත් මාව බලන්න එන්න ඕන නෑ"
" ඇයි?"
"ඇයි ඔයා මේ විදියට කාලේ නාස්ති කරන්න කිසිම තේරුමක් නැතුව ඔයාට හොඳටම වැඩ තියෙනවා නේ මේ දවස් වල? අක්තාරාත් නන්දිතත් යන්න යනවා. ඒගොල්ලෝ ඔයාගෙ කොයිතරම් හොඳ යාළුවො ද?"
"මම ඔයාව බලන්න ඊයෙත් ආවා. පෙරේදත් ආවා. ඒ වෙනකොට ඔයාට සිහිය ඇවිත් තිබුණ තිබුණෙ නෑ. මම හෙට උදේටත් හවසටත් එන්නම්. අනිද්දා උදේ හවස දෙකේමත්, ඉන් අනිද්දත්... ඉන් අනිද්දත්..."
"ඇයි?"
"මට ඕන නිසා, මට එන්න ඕන කියල හිතෙන නිසා"
⋆ ⋆ ⋆
බෙංගාලි ලේඛක සුනිල් ගංගෝපාධ්‍යායගේ ‘අර්ජුන්’ නවකතාව 1971 වසරේ මුද්‍රණයෙන් නිකුත් විය. ඊට වසර කිහිපයකට පසු චිත්‍රිටා බැනර්ජි නම් ලේඛිකාව විසින් එය ඉංගිරිසියට පරිවර්තනය කරන ලදී.
සුනිල් ගංගෝපාධ්‍යාය (1934 - 2012) බෙංගාලි බසින් නිර්මාණකරණයේ යෙදුණු ලේඛකයන් අතුරින් ප‍්‍රවීණතමයා ලෙස දිගු කලක් නම රඳවා ගෙන සිටියේ ය. ඔහුගේ කෘති සංඛ්‍යාව 200 ඉක්මවන බව විකිපීඩියා හි සඳහන් ය. එහෙත් චයිනා ඩෙිලි වෙබ් අඩවියට අනුව ඔහු විසින් ලියා පළ කරන ලද කෘති ගණන 350ට ආසන්න ය. එයට අනුව නෝබෙල් ත්‍යාගය ලබන්නට වුව ඔහු සුදුස්සකු වී සිටියේ ය.
සුනිල් ගංගෝපාධ්‍යායගේ කෘති අතර නවකතා 35කි. පද්‍ය එකතු 7කි. දරුවන් සඳහා ලියූ කාකබාබු කතා මාලාවේ කෘති 26කි. ස්වයං ලිඛිත චරිතාපදාන තුනකි.
ඔහුගේ නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය නොවීම නම් පුදුමයකි. ඉන්දීය සාහිත්‍යයට මහ මෙහෙවරක් කරන සාහිත්‍ය ඇකඩමිය පවා ඊට පියවර ගෙන ඇති බවක් නොපෙනේ.
'අර්ජුන්' නවකතාව ඉන්දියාව කැබැලිවලට බිඳීයාමේ අමිහිරි සිද්ධිය පසුබිම් කැර ගත්තකි.
1947 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කැර ගන්නාා ලද පනතකට අනුව ඔවුන්ගේ පාලනය යටතේ තිබූ ඉන්දියාව කොටස්වලට වෙන් කරන ලදී. ඒ සඳහා බලය පවරනු ලැබූ සිරිල් රෙඩ්ක්ලිෆ් නම් නිලධරියා විසින් ඉන්දියාවේ සිතියමක් ගෙන එහි අඳින ලද පැන්සල් රේඛාවලින් ඒ වෙන් කිරීම කරන ලද බව උපහාසාත්මක ව පැවසේ. පසුව ඇති වූ සිදුවීම් අනුව එහි ඇත්තක් නැත්තේම නැත.
අර්ජුන් යනු 1947 ඉන්දියාවෙන් පාකිස්තානය වෙන් වීමේ දී නැගෙනහිර බෙංගාලයේ සිය දිවි ගලවා ගැනීම් වස් කල්කටාවට පලා එන බ‍්‍රහ්මණ වංශික පවුල්වලින් එක් පවුලක දරුවෙකි. සාමාන්‍ය ගැමියන් වන ඔවුන් ඉසුරු බර දිවියක් ගත නොකළත් අගහිඟකම්වලට මුහුණ දුන්නෝ නොවූහ. හින්දුන්ට ඉන්දියාවත් මුස්ල්මුන්ට පාකිස්තානයත් වෙන් කෙරෙන පරිදි එක්වරම රට දෙකඩ වෙයි. ඔවුන්ගේ ගමේ රහසිගතව හින්දූහු එකා දෙන්නා මරා දැමෙනු ලැබෙති. එහෙයින් ඔවුහු දිවි ගලවා ගැනීම පිණිස කල්කටාවට පලා එති.
‘බොන්ගැඕන් සිට අපි ක‍්‍රමයෙන් කල්කටාවේ සියල්දා දුම්රිය නැවතුම වෙත ගමන් කළෙමු. අත්විඳින්නට සිදුවූ දුක් පීඩා එන්න එන්නම වැඩි විය. දහවල මැස්සන්ගෙන් අතවර ලැබූ අපි රාත්‍රියේ මදුරුවන්ට ගොදුරු වීමු. දිවා රෑ ගෙවුණේ සාගින්නට යමක් සොයා ගන්නට කළ අතිමහත් පොරයෙනි. මගීන් අප දෙස නොබලා කඩිනමින් ගමන් කරද්දී පදික වේදිකාවේ ඉදෙමින් තිබූ අපේ බත් මුට්ටි ඔවුන්ගේ හිත්පිත් නැති පා පහරින් උඩි යටිකුරු විය. ජන ප‍්‍රවාදයන්හි එන කල්කටාවේ විභූතිමත් නුවර මෙය වුව ද දුම්රිය පොළෙන් බැහැර යන්නට ධෛර්යයක් අප තුළ තිබුණේ නැත. දිගින් දිගටම කුස ගින්නේ සිටිම නිසා අම්මාගේ සිරුර වැහැරී යන්නට විය. ඇගේ සුකුමාර රුව අතිතයට එක් වූවක් පමණක් ම විය. ඉඳහිට අප වෙත පැමිණ ඡායාරූප ගත් පුවත්පත් ආයතනයක ඡායාරූප ශිල්පියකු හැරෙන්නට වෙන කිසිවෙක් අප වෙනුවෙන් තවදුරටත් කරුණාවන්ත නොවූහ. මනාව හැඳ පැළඳගත් වාර්තා කරුවෝ අප වෙත පැමිණ අප සමග බිම වාඩිවී නොයෙකුත් ප‍්‍රශ්න අපෙන් ඇසූහ. ඒවාට පිළිතුරු දීමේ උනන්දුවක් හෝ ආශාවක් අප තුළ තිබුණේ නැත. එවුන් නික්ම ගිය පසු අපේ ඉරණම ගැන අපි බෙහෙවින් ම ශෝක වීමු. එහෙත් අප අතර උන් එක් පුද්ගලයකු පමණක් ශෝක වූයේ නැත. ඒ නිෂිනාත් සීයා. ඇතැම් රැයෙක මැදියම් යාමයේ ඔහු "වන්දේ මාතරම්" ගීය මුමුනනු මට ඇසිණි.’
පසුව ඔවුහු ඩම්ඩම් හි සමින්දාර් කෙනෙකුගේ විශාල වතු යායක පදිංචි කරවනු ලැබෙති. අවරුදු කිහිපයක් ගත වන විට ඔවුහු රැකීරක්‍ෂා සහ ව්‍යාපාර සොයාගෙන එහි ස්ථාපිත වෙති. ශිෂ්‍යත්වයක් ලබන අර්ජුුන් දිගටම අධ්‍යාපනය ලබමින් විද්‍යාපති උපාධිය ලබා ගනී. ඔහුත් සමග එකම ගමේ සිට පැමිණෙන ලැබොන්‍යා හෙවත් ලාවණ්‍යා නම් යුවතිය විද්‍යාවේදී පරීක්‍ෂණය සඳහා පෙනී සිටින්නට සූදානම් වෙයි. එබඳුම වු දිව්යා නම් තරුණයා දැන් අනුන්ට අභියෝග කළ හැකි තරමේ කායික ශක්තියෙන් අනූන ය. ජනාවාසයේ මිනිසුන් අතර දැන් සමගියක් නැති ගාන ය. ලාවණ්‍යා වැනි තරුණියන්ට අශ්ශීල විහිළු කරන තරුණයන්, සෑම දෙයකටම රණ්ඩු සරුවල් කැර ගන්නා පූර්ණිමා වැනි වෛශ්‍යාවන්, සුළුසුළු ගනුදෙනුවලට කලහ කරන ගැහැනුන් යනාදීන්ගෙන් කොලනිය පිරී තිබේ.
‘ අර්ජුන්ගේ මුවගින් නික්ම ගිය සුසුමක් හිස් වායුගෝලයට එක් විය. ජනාවාසය තුළ සණ්ඩුසරුවල් මතභේද දැන් බොහෝ ය. ඒවා නිරතුරුව ම ඇසේ. ගමේ සිටි දවස්වල මේ මිනිසුන් සණ්ඩුසරුවල්වල පැටලූණේ නැත් ද? සත්තකටම ඔවුන් අතර ඒවා තිබිණි. එහෙත් මේ නම් ඔවුන් සියලු දෙනා එක්සත් විය යුතු අවස්ථාවයි. ජනාවාසයේ සිටින වැඩිමහල්ලෝ එක්කෝ අතීත සමරු සිහින මැද ගැලී සිටියහ. නැත්නම් වේදනාකාරී සංකේතාත්මක මතක තුළ ජීවත් වූහ. මෙහි එනවිට කිරි දරුවන්ව සිටි අයට සහ මේ ජනාවාසයේ උපන් දරුවන්ට අතීතයක් හෝ අනාගතයක් නොමැත. ඔවුන්ට රැකියා අවශ්‍ය ය. සෙසු අය හා සමානව සලකනු ලබන්නට අවශ්‍ය ය. ඒවා නොලැබෙන කල කුරිරු සමාජ රටාවක පත්ලට ම ඔවුහු කිඳී යති. ඉතා සුළු වශයෙන් කුපිත වූ විටෙක පවා ඔවුන්ගේ අධ්‍යාත්ම තුළ පැසෙන විසකුරු හැඟීම් හිස ඔසොවයි.’
ඔවුන්ගේ කොලනියට අල්ලපු වත්තේ තුනීලෑලි කම්හලක් අරඹනු ලැබ තිබේ. අලුතින් ලැබුණු ඇණවුමක් නිසා එහි හිමිකරුවාට සිය කම්හලේ වපසරිය වැඩි කැර ගන්නට වුවමනා ය. ඒ සඳහා සහාය ලබා ගන්නට ඔහු දිව්‍යා නතු කැර ගන්නේ මත්පැනින් සප්පායම් කිරීමෙන් හා ඔහු ඇතුළු තරුණයන් කිහිපදෙනෙකුට රැකියා ලබා දීමෙනි. කොලනියේ තුනී ලෑලි කම්හල පැත්තේ ගෙවල් හතරක වසන්නවුන්ට ඒවායින් ඉවත්ව යන ලෙස කම්හල් හිමිකරු කියයි. එහෙත් ඔවුහු ඒවා අතහැර නොයති. ඒ නිවාස ගින්නකට හසුවී විනාශ වන අතර කම්හල් හිමිකරු ඒ කොටස ද අල්ලාගෙන තාප්පයක් බඳියි. මෙහිදි අර්ජුන් මැදිහත් ව සාධාරණය ඉටු කැර ගැනීම සඳහා පොලීසිය ඇතුළු රජයේ කාර්යාලවලට යයි. මේ නිසා කම්හල් හිමිකරුගේ ක්‍රෝධය ඔහු වෙත එල්ල වෙයි.
මේ අතර අර්ජුන්ට හිතැති ලාවණ්‍යා නම් යුවතිය දිව්යා ඇතුළු කණ්ඩායමක විසින් දූෂණය කරනු ලබයි. අර්ජුන් මිනිසුන් කණ්ඩායමක් සමග අලුත් තාප්පය බිඳින්නට යයි. ඔවුන්ට මන්නයක් අතින් ගත් ලාවණ්‍යා ද එක්වෙයි.
තමන් සියලු දෙනා මුල්ගම් අතැර මෙහි පැමිණි අනාථයන් බව සිහි කරන, නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් ගමේ සිට බොහෝ දුක් කම්කටොලූ මැද ඇඳිවත පමණක් ඇතිව එකාවන් ව පැමිණි එක පවුලක දරුවන් වැනි අය ලෙස තමන් දන්නා, දැන් ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ප‍්‍රාග්ධන හිමිකරුගේ ධනයට යට වී සමානයන්ට දුක් පීඩා පමුණුවන බව දකින, තමන්ට මෑණියන් සමග මෙයින් ගැල වී යන්නට හැකියාව ඇතත් එසේ නොකරන අර්ජුන් මේවා ගැන බෙහෙවින් කම්පා වෙයි.
අර්ජුන්ට දැඩි මුගුරු ප‍්‍රහාරයක් එල්ල වෙයි. එය මාරාත්මක ප‍්‍රහාරයකි. මිට පෙර එල්ල වූ මෙවැනි ම ප‍්‍රහාරයකින් ඔහු දිවි ගලවා ගත් නමුත් මෙවර තත්වය බරපතළය. මේ පහර එල්ල කරනු ලබන්නේ ඔහු තාප්පය බිඳින්ට තවත් මිනිසුන් පිරිසක් හා ගිය අවස්ථාවේ දිව්යා විසිනි.
ආදරය කෙතරම් දුෂ්කර දෙයක් ද යන්න ද මෙහි ඇඟවුම් කෙරේ. ලැබොන්‍යා අර්ජුන්ට පෙම් කරන්නී ය. එහෙත් අර්ජුන්ගේ හිතේ ඇය ගැන එබඳු හැඟීම් නැත. අර්ජුන්ට මුල් මාරක ප‍්‍රහාරය එල්ල වූ විට එය මුලින්ම දැන ගන්නේ ඇයයි. ඔහුගේ දිවි රැකෙන්නේ ඇය ඒ ගැන ගන්නා ක්‍රියා මාර්ග නිසා ය.
පොත අවසන් වන්නේ රෝහල් ඇඳක වැතිර සිටින අර්ජුන්ගේ මේ සිතිවිලි ද සමගිනි:
‘ජීවත් වෙන එක කොයි තරම් හොඳ ද? මොන තරම් සතුටක් ද?එහෙනම් ඇයි මිනිස්සු මරණයට කැමති? ඇයි ඒ අයට තමන්ගෙම මිනිස්සු මරන්න ඕන වෙන්නෙ? නර්ස්, මට ටිකක් නැගිටින්න උදව් වෙන්න. තවදුරටත් මගේ පපුව කකියන්නෙ නැ. මගේ කල්පනාව සන්සුන්. මට ජීවත් වෙන්න ඕනෑ. මම ජිවත් වෙන්න ආසයි. ඒ ගොල්ල මා මරන්න හැදුවා. ඒත් මම මැරෙන්නෙ නෑ.
පුංචි කාලේ ඉඳල කී පාරක් මරණය මගේ පස්සෙන් ආව ද? ගම අත් ඇරල ආපු ඒ දුෂ්කර ගමනේදි කී පාරක් මැරෙන්න තිබ්බ ද?. කුල්නාවෙදි අර මිනිස්සු අපේ අම්මව ඇද ගෙන යන්න හදන කොට, සියල්දා ඉස්ටේසමේ දි කොලරාව හැදිල හරියට මැස්සො මදුරුවෝ වගේ ළමයි මැරෙන කොට. කොලනියට ආවට පස්සෙ වුණත් ඒ අයට මා මරන්න ඕන වුණා. ඒත් හරි ගියේ නෑ. කවදාවත් මා මරන්න බෑ. මං ජීවත් වෙනවා. ඔව් සත්තකටම මං ජීවත් වෙනවා.
ඔහු එසේ කියන්නේ ශුක්ලා නම ඔහුගේ යෙහෙළිය ව්‍යංගයෙන් ආදරය ප‍්‍රකාශ කළ විට එය වටහා ගත් ඉක්බිතිව ය.
මෙම නවකතාව ගාමිණී විජේතුංග විසින් එනමින් ම සිංහලට පරිවර්තනය කරන කරනු ලැබ ඇත. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි. පුණර්මුද්‍රණයක් නොමැත.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්ජුන්