වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ ඨාකූර් විසින් වංග බසින් රචිත නවකතාවකි. ගෝරා.
කාලානුක‍්‍රමණය අනුව තාගෝර්ගේ නවකතා දොළොස අතරින් පස් වැන්න වන ගෝරා ඔහු විසින් රචිත දීර්ඝතම නවකතාවයි. හින්දු ආගමේ දැඩි වෘත හිසින් දරා සිටින බ‍්‍රහ්ම සමාජය පසුබිම් කැර ගනිමින් රචිත මේ කෘතිය ආගම, දේශපාලනය හා ආදරය පිළිබඳ සංවාදයක් පවත්වා ගෙන යයි. සම්ප‍්‍රදාය හා නව්‍යත්වය අතර මෙන් ම නාගරික ප‍්‍රභූන් සහ පිටිසර ගැමියන් අතර ද සන්සන්දනයක් මෙහි ඉදිරිපත් කෙරේ.
මේ නවකතාව පෙම් පුවත් දෙකක් ඒවායේ විවිධ අවස්ථා ද සමග පාඨකයාට ඉදිරිපත් කරයි. ඒ අතරම යටිපෙළේ වත්මන් ඉන්දීය සමාජයට අඩිතාලම දැමූ යටත් විජිත ඉන්දියාවේ සමාජයීය තත්වය කර්තෘ දිවැසිවරයකු වෙසින් ඉදිරිපත් කරයි.
ගෞර්මෝහන් බාබු නම් බෙන්ගාලි බ‍්‍රාහ්මණ වංශික තරුණයා දන්නා හඳුනන සියල්ලන් අතර හැඳින්වෙන කෙටි නම ‘ගෝරා' ය. මෙසේ හැඳින්වෙන්නට හේතුව ඔහු අනෙක් බංගලින්ට වඩා වෙසෙසි ඡවි වර්ණයකින් යුක්ත වීමයි. සරල සිංහලෙන් කියන්නේ නම් ගෝරා යනු සුද්දා ය. උගත් යව්වනයකු වන ඔහු විටෙක දැඩි මතධාරී හින්දු ලබ්ධිකයෙකි. ඔහුගේ පියා වන කෘෂ්ණදයාල්, සන්‍යාසින් ඇසුරේ හිඳිමින් උග‍්‍ර වෘත රකින්නෙකි. එහෙත් මව වන ආනන්දමොයි භක්තිමත් ලෙස ආගම නොඅදහන අතර ඇයගේ සේවිකාව වනුයේ ලචිමියා නමැති හින ජන්මී ගැහැනියකි. කෘෂ්ණදයාල් කෙතරම් දැඩි මතධාරියකුදැයි කිවහොත් ඔහු ලචිමියාගේ කුලය නිසා අපවිත‍්‍ර වී ඇත’යි කියමින් සිය නිවසේ මුලූතැන්ගෙයි පිසින කිසි දැයක් ආහාරය පිණිිස නොගනියි. වෙනකක් තබා ඔහු සිය බිරිය වන ආනන්දමොයිට තමාගේ කුටියට ඇතුළු වන්නට පවා අවසර නොදෙයි.
මෙහි එන වකවානුව දහනව වැනි සියවසේ අවසන් කාර්තුවයි. භාරත වර්ෂ හෙවත් භාරත දේශය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වී බොහෝ කල් ය. (මෙහි වර්ෂ යනු දේශයයි.) දේශීය ආගම් අභිභවමින් ක්‍රිස්තියානි වැනි ආගම් ද, බටහිර සිරිත් විරිත් සහ ආහාර ද ප‍්‍රචලිත ය. මේ නිසා භාරත වර්ෂය ආරක්ෂා කැර ගත යුතු යයි බ‍්‍රාහ්මණ වංශික හින්දු ලබ්ධිකයෝ සංවිධානය වෙමින් සිටිති. එහෙත් ඔවුහු අනෙක් කුල ද ජාතීන් ද ඉඳුරා බැහැර කරති.
මෙසේ සංවිධානය වන්නට හේතු කිහිපයක් ම තිබේ. 18 වැනි සියවසේ ශංකරාචාර්ය විසින් ඇති කරන ලද නව්‍යකරණය නොහොත් සංකරකරණය සහ ඉන්පසු 19 වැනි සියවසේ රාම් මෝහන් රායි නමැති හින්දු වංශවතකු විසින් හඳුන්වා දෙන ලද බ‍්‍රහ්ම සමාජ නමැති සංකල්පය නිසා සාම්ප‍්‍රදායික භාරතීය ලබ්ධියට, වත් පිළිවෙත්වලට සහ සාරධර්මවලට වැදී ඇත්තේ මරු පහරකි. ඒ වනවිට කල්කටා වැනි නගරවල සාම්ප‍්‍රදායික හින්දුහු සහ බ‍්‍රහ්ම සමාජ අනුගාමිකයෝ ඔවුනොවුන්ට එරෙහි මතවාදී අරගලයක් ගෙන යති. ගෝරා නවයොවුන් වියේ දී ම සාම්ප‍්‍රදායික හින්දු දර්ශනය වෙනුවෙන් පෙනී සිටිනවුන්ගේ නායකත්වයට පත්වෙයි. ඔහුට අනුගාමිකයෝ බොහෝ වෙති.
බිනොයිබාබු හෙවත් විනය නමැති ඔහුගේ ප‍්‍රාණසම මිතුරා ද එවැනි අනුගාමිකයෙකි. ආනන්දමොයි ගෝරාට සමානව ම මව නැති බිනොයිට ද ආදරය කරයි. බිනොයි ද එසේ ම ය. පෙරළා ඇයට මහත් සෙනෙහසක් දක්වන බිනොයි කිසිදු අවස්ථාථාවකගේ සිත නොරිදවන්නට වග බලා ගනී.
මේ තරුණයෝ සිය අධ්‍යාපනය හා ඉන් අනතුරුව සමාජ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාර ගැන මිස කාන්තාවන් කෙරේ එතරම් උනන්දුවක් දක්වන්නෝ නොවෙති. එහෙත් හදිසියේ ම දවසක සුචරිතා නමැති තුරුණු ලියක් විනයට මුණ ගැසෙයි. මවුපියන් අහිමි සුචරිතා සහ ඇයගේ බාල සොහොයුරු සතිශ් සිටින්නේ බ‍්‍රහ්ම සමාජයේ ගෞරවනීය සාමාජිකයකු වන පරේශ්බාබුගේ නිවසේ ය. මිය යන අවස්ථාවේ දී ඇයගේ පියා සිය දෙදරුවන් පරේශ්බාබු ගේ රැකවරණයට පත් කැර ගොසිනි. පරේශ්බාබුගේ බිරිඳ වරදාසුන්දරී ය. ඔවුන්ට ලාවණ්‍යා, ලලිතා සහ ලීලා යනුවෙන් දියණියෝ තිදෙනෙක් වෙති.
උග‍්‍ර හින්දු වෘත ගනන් නොගන්නා පරේශ්බාබු විනයට සිය නිවසට එන්නට ඇරියුම් කරයි. ඒ ඇරියුම අනුව විනය එහි ගොස් දැරියන්ගේ විශේෂයෙන්ම සුචරිතාගේ සහ ලලිතාගේ ඇසුරට වැටෙයි. ඒ නිවෙසට යනෙන බ‍්‍රහ්ම සමාජයේ පානුබාබු හෙවත් හරාන් නමැති තරුණයා සුචරිතා ගැන අදහසක් ඇතිව සිටී. සුචරිතා ඊට එරෙහිව කිසිවක් නොකියන නමුත් ඔවුන් අතර ප්‍රෙමයක් ද නොවේ.
අසල් වැසියන් වන තමා සහ කෘෂ්ණදයාල් කලක් එක කාර්යාලයයක සේවකයන්ව සිටි බව කියන පරේශ්බාබු ගෝරා මුණ ගැසුණු විටෙක ඔහුට ද එහි එන්නට ආරාධනා කරයි. ගෝරාගේ ආක‍්‍රමණශීලි කතා විලාසය අසා සුචරිතා සහ ලලිතා ඔහු ගැන පැහැදීමක් ඇති කැර ගනිති. මේ තරුණියන්ගේ චරිත හැඩ ගැස්වීමේ ලා අධීක්‍ෂණ මට්ටමේ වගකීමක් තමාට පවරා ගෙන සිටින පානුබාබු මේ ගැන ද කිපෙයි. එහෙත් සුචරිතා සහ කුලවත් බමුණු තරණයකු වන හරාන් බාබු අතර විවාහයක් සිදුවනු ඇත’යි එකඟතාවක් තිබේ. කෙසේවෙතත් හරාන්ගේ දැඩි බමුණු වෘත හා ඒ අනුව ඇගේ ඇවතුම් පැවතුමවලට කෙරෙන බලපෑම් නිසා ඇගේ සිතේ ඔහු ගැන කිසියම් නොාපහන් බවක් ද වෙයි.
‘පුදුමයට කරුණ වූයේ කලින් දුර සිට බලද්දී සුචරිතාගේ භක්තිය ආකර්ෂණය කළ හරාන් බාබුගේ ගති ගුණ,ළං වූ විට ඇයට පීඩා ගෙන දෙන්නට වීම ය. බ‍්‍රහ්ම සමාජයේ යම් කිසි සත්‍යයක්, මංගල්‍යයක් හෝ සුන්දරත්වයක් වී නම් හරාන් බාබු එහි බාරකරුවකු වී එය රැකීම බාර ගැනීම නොවැදගත් සේ ඇයට පෙපෙනන්නට විය. මිනිසා ගැන වූ යථාර්ථය භක්තියත් සත්‍යයත් සමග බැඳී තිබේ. එයින් මිනිස් ස්වභාවය සංයත භාවයට පත් කරයි. එලෙස නොවී කිසිවකු ඉන් අහංකාර විණි නම් ඒ සත්‍යයත් සමග සසඳන විට ඒ තැනැත්තාගේ නොවැදගත්කම පැහැදිලිව පෙනී යයි. පරේශ් බාබු ගැන සිතන විට හරාන්ගේ වෙනස ගැන නොසිතා සිටින්නට සුචරිතාට නොහැකි විය. පරේශ් බාබු බ‍්‍රහ්ම සමාජයෙන් ලබාගත් ආදර්ශය නිසා ඔහු නිහතමානී බවට පත් විය., ගැඹුරු විය. පරේශ් බාබුගේ ශාන්ත මුහුණ දකිනවිට ඔහුගේ හදවතේ ඇති සත්‍යයේ උසස් බව පෙනේ. හරාන් බාබුගේ එසේ නොවේ. ඔහුගේ සෑම කතාවකදී ම, කාර්යයක දී ම අනෙක් සියල්ල මැඩගෙන දැඩි මමත්වයක් අසෝබන ලෙස මතුවෙයි. ඇයට සාම්ප‍්‍රදායික ව පවතින පටු බන්ධන හා බැඳිය නොහැකිය.ඇගේ අව්‍යාජ මානුෂික හැඟුම්වලට එය පීඩාවක් ම ගෙන දුන්නේ ය.’
මේ අතර සුදු පාලකයන්ගෙන් දිළිඳු ගමක හීන කුල මිනිසුන් කණ්ඩායමකට සිදුවන අසාධාරණයකට මැදිහත් වන ගෝරා මසකට සිපිරිගත කෙරේ.
සුචරිතාගේ මවගේ වැඩිමහලූ සහෝදරියක් වන හරිමෝහිනී නම් වැන්දඔුවක් ඔවුන් සොයා පැමිණ පරේශ්බාබුගේ නිවසේ ලැගුම් ගනියි. ඇගේ උග‍්‍ර හින්දු වතාවත් ගැන කිපෙන වරදාසුන්දරීගේ ඇනුම්පද නිසා සුචරිතාට සහ සතිශ්ට ලොකු අම්මා ද සමග වෙනත් නිවෙසක පදිංචියට යන්නට සිදුවෙයි. නිවෙස සුචරිතාගේ පියා ඉතිරි කොට ගිය මුදලින් පරේශ්බාබු ඇය වෙනුවෙන් මිල දී ගත් එකකි.
පරේශ්බාබුගේ නිවෙසට විනය යන්නේ ලලිතා සමග ඔහුගේ සබඳතාවක් ඇති නිසා ය’යි කතාවක් පැතිරේ. වරදාසුන්දරී කියන්නේ බිනොයිට ලලිතා ආවාහ කැර ගන්නට අවශ්‍ය නම් ඔහු බ‍්‍රහ්ම සමාජයට ඇතුළත් විය යුතු බවයි. මීට බිනොයි එකඟ වන නමුත් ආනන්දමොයි සහ පරේශ්බාබු යන දෙදෙනා ම ඔහුට එසේ නොකරන ලෙස කියති. බිනොයි සහ ලලිතාගේ විවාහය ඔවුන්ගේ පමණක් ආශීර්වාදය ඇතිව චාරිත‍්‍රවලින් තොරව සිදු කෙරේ.
හිරෙන් නිදහස් ව පැමිණෙන ගෝරා සුචරිතාගේ නිවෙසට යයි. ඇය ඔහුට මනාප ය. එහෙත් හරිමෝහිනීගේ විරුද්ධත්වය නිසා ඇය හමුවීම නවතා දමන්නට ඔහුට සිදුවෙයි.
සිපිරිගෙයි දී ගෝරා සාම්ප‍්‍රදායානුකූල බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව ආහාර ගෙන ඇති නිසා එයින් මිදෙන්නට පාපෝච්චාරණ යාගයක් කළ යුතු බව හින්දු සමාජයේ සාමාජිකයෝ තීරණය කරති. ඒ යාගයට ගෝරා සහභාගි කරවා නොගන්න'යි ක්‍රිෂ්ණදයාල්, අවිනාශ් නමැති සංවිධායකයාට කියයි. ඊට හේතුව විමසන ගෝරාට දැන ගන්නට ලැබෙන්නේ තමා උපතින් ම බ‍්‍රාහ්මණයකු නොව අයිරිෂ් ජාතික යුවළකගේ දරුවකු බවයි. බ්‍රිතාන්‍ය හමුදා භටයන්ට එරෙහිව පැන නැගුණු කැරැල්ලේ හමුදා නිලධාරියකු වූ ගෝරාගේ පියා එහි දී මරණයට පත් වු අතර මව කෘෂ්ණදයාල්ගේ නිවසේ රැකවරණය ලබා ඇත. මව ද දරු උපතේ දී මිය ගියා ය. දරුවන් නොමැති ආනන්දමොයි මහත් සෙනෙහසින් බිලිඳා හදා වඩා ගෙන කුලවද්දා ගත්තා ය. දැන් එය වරදක් ය’යි කෘෂ්ණදයාල් සිතයි. ඒ අනුව ගෝරා බ‍්‍රාහ්මණයකු නොවේ. යමකුට බ‍්‍රාහ්මණයකු විය හැක්කේ උපතින්ම පමණකි.
මෙයින් මහත් කම්පාවට පත්වන ගෝරා, සුචරිතා හමුවන්නට ගොස් ඇගේ අත ගැනීමට සූදානම් බව දන්වයි.
මෙහි දී තාගෝර් නම් නවකතාකරු අභිබවා තාගෝර් නම් කවියා සහ දාර්ශනිකයා ඉස්මතු වීම ඉතා ප‍්‍රකට ය. පෙම් හැඟුමන් ගැන ලියන විට ඔහුට අමුතු ආවේශයක් ලැබෙන්නා සේ ය.
‘ඒ මුහුණ කෙබඳු එකක් ද? ඇගේ ආත්මයේ ආලෝකය ඇගේ කොපුල්තලවල කොමල බව තුළින් පිළිබිඹු වනුයේ කෙතරම් සුකුමාර ලෙසින් ද? ඇගේ සිනාවෙන් ඇගේ අභ්‍යන්තරය කෙතරම් ආශ්චර්යවත් අන්දමින් ප‍්‍රකට වේද? ඇය කෙතරම් බුද්ධිමත් ද? ඇගේ ඝන ඇහි පිහාටුවල සෙවණ ලබන දෑස්වල වචනයෙන් විස්තර කළ නොහැකි ගැඹුරු බවක් වෙයි. ඇගේ දෑත සේවයේ සහ සෙනෙහසේ මිහිර ඵලදායක කරන්නට සූදානම් වැ සිටියි. මේ හමුවීම නිසා විනය බාබු තමාගේ යෞවනය පිළබඳ හැඟීම් සහිත විය. ඔහුගේ හදවත පුරවමින් එහි ආනන්දය මතුව තිබෙයි. පෘථිවියේ වැඩි කොටසක් නොදකින යමක් ඔහුගේ ජීවිතයට සම්බන්ධ වි ඇත. මෙවැන්නක් දකින්නට ලැබීම තරම් ආශ්චර්යයක් මෙලොව තවත් නොමැත.
ඒත් මේ මොන උමතුවක් ද? මෙය නොසිදුවිය යුතු දෙයකි. එහෙත් ඔහුට එය වැළැක්විය නොහැකි ය. මේ ප‍්‍රවාහයේම ඉවුරක් නොදැක ම, තමා එහි පාවී ගියත්, එය තුළ ගිලී ගියත් කළ හැකි දෙයක් නොමැත. ඉන් බැහැර වන්නට කැමැත්තක් සිතේ ඇති නොවීම ඔහුට ඇති අපාසුවයි. මෙතෙක් කල් හුරුපුරුදු වී සියල්ල යටපත් කර දැමීම ජීවිතයේ සාර්ථකත්වය යයි ඔහුට සිතෙයි.’
මේ කෘතියේ සුචරිතාගෙන් නිරූපණය කෙරෙන්නේ භාරත මාතාවයි. ඇය දැන් තනිකරම සාම්ප‍්‍රදායානුකූල නොවේ. සංකරකරණය වූ ඇගේ අත ගන්නා ගෝරා බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති බ‍්‍රාහ්මණ සමාජයකට ජන්මීය උරුමයක් නොමැත්තෙකි. මෙය හුදෙක් පෙම් කතාවක් නොව මහා වීරාඛ්‍යානයක් ලෙස විචාරකයෝ හඳුන්වති. ඒ මෙහි ඇතුළත් දේශය ගොඩනැගීම පිළිබඳ තාගෝර්ගේ සංකල්පය ඉදිරිපත් කරන වියමනේ වර්ණවත් බව නිසා ය. බ‍්‍රාහ්මණ භාවයෙන් පිටමං වන්නට නොයෙක් මං ඇතිමුත් එයට ඇතුළු වන්නට උත්පත්තිය ම හැර අන් මගක් නැති හෙයින් ඒ සමාජය ක්‍ෂය වී යනු ඇත’යි මේ කෘතියේ පෙන්වා දෙනු ලැබ තිබේ.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් ගෝරා නවකතාව වංග බසින් ම සිංහලට පෙරළන ලදුව එනමින් ම විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය විසින් 1999 වසරේ ප‍්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් කරනු ලැබී ය. මේ 2022 නිකුත්වූ ඒහි නවවන මුද්‍රණයේ පිට කවරයයි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝරා