දෙවැනි ලෝක මහා යුද්ධයේ දී නාසි හමුදාවේ කෲර, ම්ලේච්ඡ, නින්දිත ස්වරූපය වටහා ගන්නට ඉවහල් විය හැකි මේ කෘතියෙන් ගත් උධෘත දෙකක් මෙසේ ය.
'හෙන්රික්ට හා මට ජනේලය වෙතින් නෙත් ඉවතට ඇද ගැනීමට හැකි වූයේ නැත. එක් නිමේෂයක් හෝ දෙකක් ඇඳි පුටුව පිටින්ම හිස් අවකාශයේ රැඳුන මහල්ලා අනතුරුව පුටුවෙන් ඉවතට විසි වී යනු අපි දුටිමු. අනතුරුව එම ඇඳි පුටුව වෙනම මාවත මතට පතිත වන හඬ ද මිනිස් සිරුරක් පදික වේදිකාවේ ගල් මත පතිත වන හඬද අපට ඇසුණි. හුන් තැනම පොළොවට මුල් ඇද්ද විටෙක මෙන් ගල් ගැසී අප එහි නිහඬව සිටගෙන උන්නේ එතනින් ඉවත් වීමට හෝ අප නෙත් ඉදිරියේ දිස් වූ කුරිරු දසුනෙන් නෙත් ඉවතට ඇද ගැනීමේ හැකියාවක් නැතිවය.
මේ අතරේ ජර්මන් එස්.එස්.භටයෝ, ඒ වන විට ද ගොඩනැගිල්ලේ සිටි මිනිසුන් දුසිම් දෙකක් පමණ පිටත වීදියට ගෙනවුත් සිටියෝය. අනතුරුව සිය රථයේ ඉදිරිපස පහන් දැල්වූ ජර්මාවෝ සිය සිරකරුවන්ට එම එළිය ඉදිරියේ සිටිනා ලෙස පළමුව අණකර ඉන්පසු එම එළිය දිගේ ඉදිරියට දිව යනමෙන් විධාන කළෝය. ඊළඟ මොහොතේ ගොඩනැගිල්ලේ ජනෙල් වෙතින් තැතිගත් විලාපයක් ද, රථය වෙතින් පිටවූ මැෂින් තුවක්කු වෙඩිහඬ ද එකවර අපේ සවන් වැකිණි. වාහනයේ ආලෝකයට හසුව ඉදිරියට දිව යමින් සිටි මිනිසුන් එවිට මූණිස්සම්පාර වැදුණු තැනින් කරණම් ගසනවා පරිද්දෙන් ගුවනට විසි වී අනතුරුව වටයක් කරකැවී එකා පසුපස එකා බැගින් ඇද වැටුණේ ජීවිතයෙන් මරණය කරා යන මාවත අතිශය අසීරු එමෙන්ම සංකීර්ණ පිම්මකින් සමන්විත වූ විටෙක මෙනි. මේ අතරේ ඔවුනතරින් එකෙක් පමණක් වාහනය එළිය වැටෙන සීමාවෙන් පිටට පැන ගැනීමට සමත්ව සිටියේය. ඔහු මුළු වැර යොදා ඉදිරියට දුවමින් සිටි අතර පෙනුනේ අපේ වීදිය හා සම්බන්ධ වීදිය තෙක් දිව යාමට ඔහුට හැකිවන සෙයකි. එහෙත් එවන් අහඹු සිදුවීම්වලදී භාවිත කිරීම උදෙසා ජර්මානුවන්ගේ රථයේ වහලෙහි අධිසැර ලාම්පුවක් සවි කැර තිබිණි. ඉදින් එය දැල්වී ගිය පලායන්නා ඊට කොටු වූ අතර, තවත් වෙඩි වටයක හඬ නිකුත් වූයේය. ඒ වනාහි ගුවන් කරණම සඳහා ඔහුගේ වාරයයි. හිසට ඉහළින් දෑත් එසැවූ ඔහු උඩපනිද්දී පිටුපසට නැමුණේ අනතුරුව උඩුබැල්ලෙන් බිම ඇද වැටුණේය.
අනතුරුව සිය රථයට ගොඩ වූ එස්.එස්.බටයෝ එම මළසිරුරු යට කැරගෙන රථය පදවා ගෙන යන්නට ගියෝය. මළ සිරුරු මතින් රථය ධාවන වෙද්දී එය මදක් ඇලවී ගියේ හරියට පාරේ ඇති නොගැඹුරු වළවල් මතින් යන විටෙක මෙනි.
ඒ රාත්‍රියේදී ගෙටෝව පුරා සියයකට ආසන්න පිරිසක් එසේ ඝාතනය කරන ලද්දෝය. එහෙත් මේ ඝාතනය ප්‍රථම ඝාතන විසින් ඇති කරන ලද කම්පනය තරම් ප්‍රබල හැඟීමක් ජනිත කළේ නැත. පසු දින උදෑසන පුරුදු පරිදි සියලු කඩ සාප්පු හා අවන්හල් විවෘත කරන ලද්දේය.'
'එහෙත් අවාසනාවට මෙන් එසේ වූයේ නැත. සැබැවින්ම ඊළඟ දින කීපයේ දී ලිතුවේනියානුවන් හා යුක්‍රේනියානුවන් ගෙන ඒමත් සමඟ කාරණා වඩාත් නරක අතට හැරුණේ ය. ඔවුහු යුදෙව් පොලිසිය මෙන්ම විසකුරු කොට්ඨාසයක් වූවෝය. එහෙත් ඒ වෙනම ආකාරයකටය. ඔවුහු ද අල්ලස් ගත් අතර එසේ අල්ලස් ගත් ගත් වහාම ඔවුහු කිසිදු තෙතක් මිතක් නොමැතිව අල්ලස් දුන් තැනැත්තා මරා දැමුවෝය. සෑම ආකාරයකම ඝාතනවලට ඔවුහු ඉමහත් කැමැත්තක් දැක්වූවෝය. සෙල්ලම පිණිස එසේනැති නම් සිය කාර්යයන් පහසු කර ගැනීම පිණිස මෙන්ම ඉලක්කය ඇල්ලීමට හුරුවීම සඳහා හෝ හුදු විනෝදය තකා ඔවුහු මෙසේ මිනී මැරුවෝය. මව්වරුන්ගේ දෑස් ඉදිරිපිට දරුවන් මරා දැමූ ඔවුහු එම අසරණ මව්වරුන්ගේ අසරණ බවින් අපමණ විනෝදයක් ලැබුවෝය. එසේම මිනිසුන් වධ විඳීනා යුරු බැලීමේ රිසින් එම අසරණයන්ගේ කුසට වෙඩි තියන්නට වූයේ ඇතැම් විට ඔවුන් කීප දෙනෙක් එක්කෝ මිනිසුන් පේළියකට සිටුවා එකින් එකාගේ යම් දුරක සිට ඔවුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කළේ වඩාත් ම නිවැරදි ඉලක්කය ඇල්ලීමට හැකි කාටදැයි බලනු පිණිස ය. සෑම යුද්ධයක්ම විවිධ කුඩා කණ්ඩායම් මතු කරයි. ඉදින් විවෘතවම සටන් කිරීමට බැරි තරමේ බියසුළු නිදහස් දේශපාලන කාර්යභාරයක් ඉටු කරන්නට නොහැකි තරමටම නොවැදගත්. ඒත් සටන් වැදී ඉන්නා බලවේගයකට පක්ෂව කුලියට මිනීමරන්නන් බවට පත්වීමට තරම් තුච්ඡ සුළු ජන කොටස් මෙසේ යුද්ධ තුළින් මතුවෙයි. මේ යුද්ධයේදී එසේ මතුවූ ජන කණ්ඩායම වූයේ යුක්‍රේනියානු හා ලිතුවේනියානු පැසිස්ට්වාදීන් ය.'
ව්ලැඩිස්ලාව් ස්පිල්මාන් නම් ප්‍රකට සංගිතඥයා විසින් නාසි ආක‍්‍රමණ සමයේ සිය අත්දැකීම් ඇසුරින් පොලිෂ් බසින් රචිත අතීතානුස්මරණ (memoir) නමැති ෂානරයට ගැනෙන ප‍්‍රබන්ධය ‘නගරයක මරණය’ යන අරුත් ඇති Smiere Miasta නම් වී ය. එය 1999 දී ඇන්තියා බෙල් විසින් The Pianist නමින් ඉංගිරිිරියට පරිවර්තනය කරන ලදී. මේ වනාහි ස්පිල්මාන් විසින් ලියන ලද එකම පොතයි.
සම්භාව්‍ය සංගිතඥයකු වැ සිටි ව්ලැඩිස්ලාව් ස්පිල්මාන් (1911 - 2000) ප‍්‍රගුණ කළ වාද්‍ය භාණ්ඩය වූයේ පියානෝවයි. 1933 දක්වා ජර්මන් කලා ඇකඩමියේ සංගීතය හැදෑරූ හෙතෙම 1933 වසරේ හිට්ලර් බලයට පත් වීමත් සමග පෙරළා සියරට පැමිණ පෝලන්ත ගුවන් විදුලි සේවාවට එක් විය. පසුව සිනමා පසුබිම් සංගීත අධ්‍යක්‍ෂ වරයකු ලෙස සිය නිසඟ කුසලතා එළිදැක් වු හේ පියානෝව පමණක් වාදනය කෙරෙන ගීත සඳහා සංගීතය සැපයීමේ විශේෂඥයෙක් විය.
පෝලන්තයේ වෝර්සෝ නගරයේ සාමකාමී දිවි පැවැත්මක සිටි ස්පිල්මාන්ලාගේ පවුල 1939 සිට දෙවැනි ලෝක යුද්ධයේ නිමාව දුටු 1945 දක්වා කාලය තුළ මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් මේ මතක සටහන් පොතේ දිග හැරෙයි. බහුල වශයෙන් අප කියවා සහ අසා පුරුදු ඇත්තේ නාසි වධකාගාරවල එස්එස් භටයන්ගේ කුරිරු සැහැසිකම් මධ්‍යයේ ජිවත් ව සිටි අසරණයන්ගේ කතන්දර ය. එහෙත් තමන්ගේ ම නිවාසවලින් පලවා හරිනු ලැබ මුඩුක්කුවල ට ගාල් කරන ලදුව විවිධාකාර වධයට ලක් කරන ලද මිනිස්සු ද එසමයේ විසූහ. ඔවුන් ගැන කතා එතරම් බහුල නොවන අතර ප‍්‍රචලිත ද නොවේ. මේ එබන්දකි.
මේ කතාවේ පසුබිම වෝර්සෝ ගෙටෝවයි. (The Warsaw Ghetto) ගෙටෝ යනු මුඩුක්කුව යන අරුත් ඇති වචනයකි. මේවා යුදෙව්වන් සිටි රටවල ඔවුන් සිය නිවෙස්වලින් ඉවත් කොට ගෙන ගාල් කරනු සඳහා නාසින් විසින් නිර්මිත වාසස්ථාන විශේෂයකි. වකිමි. 3.4 බිමක් අරා පැවැති වොර්සෝ ගෙටෝව 1940 මැයි මස ඇරැඹිණි. මෙහි විශේෂත්වයක් ව පැවැතී ඇත්තේ එය එසමයේ පැවැති විශාලතම ගෙටෝව වීමයි. එතුළට ගාල් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව 445,000 බව පැවසේ. 1943 ඔක්තෝබර් මස එය හිස් කරන ලද අතර ඒ මාස පනස් තුන අතර තුන් ලක්ෂයක් දෙනා වෙඩි තැබීමෙන් හෝ ගෑස් වධයට පාත‍්‍ර කිරීමෙන් මරා දැමූ බව සඳහන් ය. මෙි අතර පාචනය ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වීමෙන් සහ සාගින්න නිසා මළ සංඛ්‍යාව අනූ දෙදහසකි. ටේරබ්ලින්කා තදබද කඳවුර (Treblinka extermination camp) වෙත මාරු කර යවන ලද සංඛ්‍යාව 254,000කි. එසේ කොට කඳවුර හිස් කරන ලද්දේ එහි ගාල් කැර සිටි යුදෙව්වන්ගේ නාසි විරෝධී නැගී සිටීමක් සහ කැරැල්ලක් හේතුවෙනි.
ලන්ඩනයේ පලවන ඩෙිලි ටෙලිග‍්‍රාෆ් පත‍්‍රයට මේ පොත ගැන විචාරයක් ලියූ කාර්මෙන් කාලයිල් පෙන්වා දී ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ ජර්මානු ආක‍්‍රමණයට කොටු වූ යුදෙව් මෙන්ම යුදෙව් නොවන සාමාන්‍ය ජනතාව පිළිබඳව ලියන්නට තවදුරටත් යමක් ඉතිරි වී ඇත්දැයිි මේ පොත කියැවීමෙන් පසු සිතෙන බවයි.
නාසි ආක‍්‍රමණයට හසුව ඉන් පසු එයින් මිදී පලා යමින් සිටි කාලයේ දී ස්පිල්මාන්ට එස්එස් හමුදාවේ ජර්මානු නිලධාරියෙක් බොහෝ උදව් කරයි. ඊට හේතුව ස්පිල්මාන් සංගීතඥයකු වීම ය. තමා හසු වුව හොත් පාවා දීමෙන් වැළැකෙනු පිණිස ස්පිල්මාන් කිසි විටෙක් ඔහුගේ නම දැන ගන්නට උත්සාහ නොකරයි. එහෙත් ඔහු ඒ නිලධාරියාට මෙසේ කියයි: ‘මම ස්පිල්මාන්. පෝලන්ත ගුවන් විදුලියෙ. පස්සෙ ඕන කමක් වුණොත් මට උපකාරයක් කරන්න පුළුවන් වේවි’. යුද්ධය අවසන් වීමෙන් පසුව එම නිිලධාරියා මිතුරු හමුදාවේ අත්අඩංගුවට පත් වෙයි. ස්පිල්මාන්ගේ මිතුරකු වන ලෙඩ්නිකි නමැති සංගීතඥයාගෙන් ඒ ජර්මානුවා ස්පිල්මාන් සිහිපත් කොට පිහිටක් ඉල්ලා සිටියත් ලෙඩ්නිකිට ද ඔහුගේ නම අසා ගැනිමට නොහැකි වෙයි. මෙ පුවත අසන ස්පිල්මාන් සිය කම්පාව මෙහි සටහන් තබන්නේ අප ද ඉන් කම්පාවට පත් කරවමිනි.
1945 වසරේ දි ලියා අවසන් කරන ලද මේ පොත ස්පිල්මාන් විසින් මුද්‍රණය කරවන ලදී. එහෙත් සමාජවාදී පෝලන්තයේ එය වාරණය විය. පසුව දිගු කලක් ඔහුගේ පොත් රාක්කයේ මුල්ලක තිබු මෙය 1995 දී නැවත පළ කරන ලද්දේ ඔහුගේ පුත් අන්ද්‍රෙසෙජ් විසිනි. එයට ලියන පෙරවදනේ ඔහු මෙසේ සටහන් තබයි:
‘ .....මීට වසර කිහිපයකට පෙර සිය මුනිවත බිඳි දවස දක්වාම මගේ පියා කිසිවිටෙකත් යුද සමයේ සිය අත්දැකීම් පිළිබඳව කතා කළේ නැත. එසේවතුදු කුඩා අවදියේ සිටම ඒ සියල්ල මගේ දැනුමේ කොටසක්ව පැවැතියේ ය. යන්තම් දොළොස් හැවිරිදි දරුවකුව සිටි අවදියේ සිටම අපේ පොත් රාක්කයේ කොනක තිබි රහසින් ගෙන මා කියැවූ මේ පොත තුළින් මා හට පිය පාර්ශ්වයේ සීයා හා ආච්චී කෙනෙකු නැති හේතු මෙන් ම තාත්තා කිසිවිටෙකත් පවුලේ උදවිය ගැන කතා නොකළ හේතුව ද මම සොයා ගතිමි....’
‘...... මගේ පියා , ව්ලැඩිස්ලාව් ස්පිල්මාන් ලේඛකයකු නොවේ. පෝලන්තය තුළ හැඳින්වෙන පරිදි වෘත්තියෙන් ස්වකීය සංගීතය ජීවිතය කැර ගත් අයෙකි... ඇතැම් සංගීත සංධ්වනි රචනා කළ හෙතෙම ජනප්‍රිය ගීත තුන් සියයකට පමණ තනු නිර්මාණය කළේ ය. ලොව පුරා සංගීත ප‍්‍රසංග දෙදහසකට අධික ප‍්‍රමාණයකට සහභාගි වීමෙන් අනතුරුව ඔහු සිය කාලය මුළුමණින් ම ස්වර රචනය පිණිස කැප කිරීමේ අරමුණින් 1985 ප‍්‍රසිද්ධ වේදිකාවෙන් සමු ගත්තේ ය.’
අන්ද්‍රෙසෙජ්ගේ ඉල්ලීමෙන් පොතට පසුවදනක් ලියන ජර්මනියේ ප‍්‍රසිද්ධ කවියකු වන වුල්ෆ් බියර්මාන්ට අනුව මෙයට පෙරවදනක් හෝ පසුවදනක් මතු නොව විවරණයක් පවා අවශ්‍ය නොවෙයි. ‘.....මෙහි දී එක් දෙයක් මගේ සිතට තදින් දැනෙයි; ස්පිල්මාන්ගේ මේ භවාත්මක ලේඛනයේ කොතැනකවත් පළිගැනීමේ චේතනාවක සේයාවක් හෝ අතුළත් නොවෙයි.....‘
‘......මරණයේ දොරටුව කරා ඔවුන් ගෙනයන දුම්රිය එනතුරු රැඳී සිටිනා දන්ත වෛද්‍යවරයාගේ නොඉවසිලිිමත්බව මට මෙහි දී සිහිපත් වේ. ”මේක අපි හැමෝටම කරන මහ අවමානයක්! හරියට මස් මඩුවට දක්කන බැටලූවො වගේ අපිව මරන්න ගෙනියන්න උන්ට ඉඩ ඇරලා අපි ඔහේ බලා ඉන්නවා! අපි, ඒ කියන්නේ ලක්‍ෂ පහක් වෙච්චි මේ අපි සේරම එකතුවෙලා ඔය ජර්මානුවන්ට පහර දුන්නා නම් අපිට ගෙටෝව කඩාගෙන යන්න ඉඩ තිබුණා. එහෙම නැත්නම් ඉතිහාසයේ අප‍්‍රසන්න කැළලක් නොතියා අඩුගානේ ගරුත්වයක් ඇති විදියට මැරෙන්න තිබ්බා.!” එවිට අන්ද්‍රෙසෙජ්ගේ පියාගේ ප‍්‍රතිචාරය මෙබඳු ය.
‘මේ බලන්න අපි ඇවිල්ලා වීරයො නෙවෙයි! අපි ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු. එහෙම පිටින්ම ජීවත් වෙන්න තියෙන සියේට දහයෙ බලාපොරොත්තුවෙ අපි එල්ලෙන්න කැමති ඒකයි.’ ඕනෑම සැබෑ ඛෙදවාචකයක දී මෙන් මෙහි දී ද අන්ද්‍රෙසෙජ්ගේ පියා මෙන්ම දන්ත වෛද්‍යවරයා යන දෙදෙනාම නිවැරදි ය. එරෙහිව නැගී සිටීම පිළිබඳව වූ මේ පිළිතුරු දිය නොහැකි ප‍්‍රශ්නය අරබයා සිය දහස් ගණන් මිනිසුන් තර්කවල පැටලී සිට ඇති අතර ඉදිරි පරම්පරා ගණනාවක් ද ඒ ගැන වාද කරනු ඇත්තේ ය.’
The Pianist ඇසුරින් රොනල්ඩ්හාඩ්වු නම් සම්මානලාභී තිර රචකයා විසින් ලියන ලද තිරනාටකය උපයෝගි කැර ගනිමින් රෝමන් පොලන්ස්කි විසින් එනමින් යුත් චිත‍්‍රපටය 2002 වසරේ නිර්මාණය කරන ලදි. එය එම වසරේ හොඳම චිත‍්‍රපටයට හිමි පාමෙඩි’ඔරේ ස්වර්ණ සම්මානයත් ප‍්‍රංශයේ සෙසර් සම්මානයත් දිනා ගත් අතර ඇකඩමි සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී ප‍්‍රශස්ත නිර්මාණයක් ලෙස නම් කරනු ලැබී ය. එම වසරේ රෝමන් පොලන්ස්කි The Pianist වෙනුවෙන් හොඳම අධ්‍යක්‍ෂ වරයාට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් අතර එහි ස්පිල්මාන්ගේ චරිතයට පණ පෙවූ ඇඩ්රියන් බ්‍රෝඩි හොඳම චරිත නිරූපණයට හිමි සම්මානය දිනා ගත්තේ ය.
The Pianist චූලානන්ද සමරනායක විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ‘පියානෝ වාදකයා’ නමින් මුලින් සරසවි ප‍්‍රකාශකයන් විසින් හා පසුව සුභාවි ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියානෝ වාදකයා The pianist